විශේෂාංග

ආඬි හත්දෙනාගේ ජවිපෙ!

මේ රටේ UNP උගතුන් ප්‍රධාන විපක්ෂය කළ යුතු බව කී ජනතා විමුක්ති පෙරමුණට සිදුව ඇත්තේ මාර සන්තෑසියකි. මොවුන් කැට තබා දිවුරා කීවේ ජනතා විමුක්ති පෙරමුණ ආසන 25ක් දිනාගනු ඇති බව ය. එහෙත් ප්‍රතිඵල නිකුත් වූ විට මට සිහියට ආවේ ආඬි හත් දෙනාගේ කැඳ හැලියේ කතාව ය. අවසානයේ ඡන්දය දෙන බව කී කිසිදු UNP ආඬි උගතෙකු JVP එකට ඡන්දය ලබා දී නොමැත. අනුර කුමාර පසු කර ඔහුට වඩා කොළ පැහැ රනිල් අසල ඒ ඡන්ද නතර වී තිබේ. අනුර කුමාර දිසානායක ද බොහෝ විට නොදැනම එජාපයට ඡන්ද ලබා දෙන්නට ඇත.

කෙසේ වුව ද අවසානයේ අනුර කුමාරගේ නැවුම් හරිත පැහැ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ යටතේ තරඟ කර ඉතිහාසයේ ලබා ගත් අඩුම ඡන්ද ප්‍රතිශතය මෙවර වාර්තා කර තිබේ. ඒ 4.87%කි. මෙයට පෙර 2000 වසරේ ඔවුන් 5.99%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර පාර්ලිමේන්තු ආසන 10ක් පක්ෂයට ලැබිණි. 2001 වසරේ ඔවුන් 9.10%ක ප්‍රතිශතයක් වාර්තා කළ අතර මන්ත්‍රී ආසන 16ක් පක්ෂයට ලැබිණි. 2004 සන්ධානය තුළ මන්ත්‍රී ආසන 41ක් දිනා නැවත දෙකක් ශ්‍රීලනිපයට ද ලබා දුන්නේ ය. එකල අපි ඒ පක්ෂයේ සාමාජිකයින් වූයෙමු. එහෙව් ජනතා විමුක්ති පෙරමුණ 2015 නැවත වසර 15කට පෙර ලැබූ ජයග්‍රහණය පවා ලබා ගත නොහැකි තැනට පත් කිරීමට අනුර කුමාර දිසානායකගේ එජාප නායකත්වය සමත්ව තිබේ.

මෙවර ජනතා විමක්ති පෙරමුණට ආසන 4ක් දිනාගත හැකිව ඇති අතර ජාතික ලැයිස්තු ආසන 2 ද සමඟ ආසන 6කි. ජාතික ලැයිස්තුවේ ප්‍රථමයා වන හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ තමන් පාර්ලිමේන්තුවට පත් වුවහොත් ජවිපෙ ප්‍රතිපත්ති අනුව නොව ස්වාධීනව කටයතු කරන බව කීවේ ඇත්ත වැඩසටහනට සහභාගී වෙමිණි. එම ලැයිස්තුවේ දෙවැන්නා සහ තෙවැන්නා හොඳ UNPකාරයින් බව රටට කීවේ සෝමවංශ අමරසිංහ ය. රනිල් වික්‍රමසිංහලාට වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ රවටා කඩේ යැවිය හැකි වූ අතර ඔවුන් ඇමතු ජනතාව ද පණිවිඩ නිවැරදිව තේරුම් ගෙන එජාපයට ඡන්දය ලබා දී තිබේ. අනුර කුමාර දිසානායක පසුගිය සමය පුරා කටයුතු කළේ එජාපයේ ප්‍රබලතම කථිකයා ලෙස මිස ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස නොවේ. දැන් වැපිරු බිජුවල අස්වැන්න ලැබී තිබේ.

අවසානයේ උගතුන්ට ඡන්දය දෙන්න යැයි කෑ ගැසූ ගිය වර කරූ ජයසූරියටත් උඩින් ගම්පහින් පබා පාර්ලිමේන්තු එවූ UNP උගත්තු මෙවර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු එවා හඳුන්නෙත්ති පාර්ලිමේන්තු එව්වේ නැතැයි ද නිශාන්ත මුතුහෙට්ටිගම සහ ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු එව්වේ යැයි ද නාහෙන් අඬති. ගාල්ලේ ජනතාව ජනතා වරම පාවා නොදුන් නිශාන්තලා පාර්ලිමේන්තු එව්වා පමණක් නොව පාවා දුන් පියසේන ගමගේ ලා ගෙදර යැව්වේ ය. නිශාන්ත ගැන කතා කරන මේ UNP උගත්තු රන්ජන් රාමනායක, රවී කරුණානායක, පාලිත තෙවරප්පෙරුම හෝ පාලිත රංගෙබණ්ඩාර ලා ගැන කතා නොකරති. කෙසේ වුව ද පාඨලි චම්පික රණවකලාට මෙන් ජනතා විමුක්ති පෙරමුණට මෙවර එජාපය සමඟ එක්ව තරඟ කළේ නම් ජාමේ බේරා ගැනීමට තිබිණි. එජාපයේ අනුර කුමාර සහ ඔහුගේ ඇම කන සෙසු නායක පිරිස මෙවැනි ජයග්‍රහණ පක්ෂයට දිගට ම ලබා දෙනු ඇත.

මේ පිළිබඳ 2009 වසරේ අහෝ! ජවිපෙ නොදිටි මොක් පුර යනුවෙන් මා තැබූ සටහනකින් මේ ලිපිය අවසන් කරමි. “ජවිපෙ සිය ගමන් මග නැවත ආවර්ජනය කළ යුතු ය. තමන් දැන හෝ නොදැන සේවය කරන්නේ විජාතික පෙරමුණට බව අවබෝධ කරගත යුතු ය. සිදු වූ බලවත් පීලි පැනීම හඳුනා ගත යුතු ය. පක්ෂය දිනවිය හැක්කේ තමන් පෝෂණය කළ මතවාදය වෙත නැවත පැමිණීමෙන් බව එහිදි ඔවුනට පසක් වනු ඇත.

නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය

Top