Featured

‘ආප්පයා’ කවුද?

පක්ෂ, විපක්ෂ, සම්මුතිවාදී සියලු දෙනා බලාසිටි ඒකබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවත් අවසන් විය. මේ පාද යාත්‍රාව ගැන ඉව වැටුන දා පටන් මුලු ඇමති මණ්ඩලය ඇතුලු ආණ්ඩු පක්ෂ නියෝජිතයින්ට වෙන මාතෘකාවක් නොතිබිනි. මේ කටයුත්තේ කෙස් ගසක වරදක් අල්ලාගන්නට බලා සිටි ඔවුන්ට අල්ලාගත හැකි වූ දේ අතරින් තලු මර මරා රස විඳින්නට ලැබුන හොඳම මාතෘකාව නම් සිව් හැවිරිදි පමන වූ කුඩා දරුවෙකු “ආප්පයා අපට එපා” වැනි සටන් පාඨ කියමින් කෑ ගැසීමයි. මෙය ළමා අපචාරයකැයි පවසමින් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිනිල්ලක් කිරීමට පවා පුද්ගලයෙකු ඉදිරිපත් විය.

මේ දුටු රජයේ මැති ඇමතිවරුන්ගේ හදවත් වෙඬරු පිඬක් සේ උණු වී, දෑස් වලට කඳුලු නැගුනේ ද එතැන සිදුවූ ළමා අපචාරය නිසාය!

2016 ජනවාරියේදී නිකුත් වූ වාර්තාවකට අනුව, 2015 වසරේදී ශ්‍රී ලංකාව තුල ළමා අපචාර සිද්ධීන් 10,732 ක් වාර්තා වී ඇත. ඉන් 2,317 ක් ළමයින්ට කෲර ලෙස සැලකීමත්, 1463 ක් අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමත්ය. නොසලකා හැරීම්   885 කි. ලිංගික අපයෝජන 735 ක් වන අතර ළමා දූෂණ 433 කි. ඉතාම බරපතල ගනයේ ලිංගික අපචාර සිද්ධීන් 365 ක් වාර්තා වී ඇත. මේ උතුම් සිංහල බෞද්ධ රටය, ඉතාමත්ම වටිනා සංස්කෘතියකට උරුම කියන රටක්ය ආදී වශයෙන් වර්ණනා කරන ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වයයි. දැන් 2016 අගෝස්තු මාසයයි. මේ වන විට මේ සංඛ්‍යාවන් කෙසේ යාවත්කාලීන වී ඇත්දැයි අන්තර් ජාලය තුලින් දැන ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ එවන් තොරතුරු එහි නැති හෙයිනි. මෙහි තේරුම නම් යලි මේවා ගණන් බලන්නේ 2017 ජනවාරියේදී විය යුතු බවය. ළමා අපචාර පිටු දැකීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය මින් පැහැදිලි වේ. මේ සංඛ්‍යා ලේඛණ වසරින් වසර වැඩි වන්නේ එබැවිනි. (2015 ජනවාරියේ දී වාර්තා වූ ළමා අපචාර සිද්ධීන් සංඛ්‍යාව 10, 315 කි)

අප රටේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයක් තිබේ. ළමාරක්ෂක අධිකාරියක් තිබේ. මේවායේ මහජන මුදලින් වැටුප් ලැබ නඩත්තු වන කාර්ය මණ්ඩල සිටිති. නමුත් මේ තොරතුරු යාවත්කාලීන කර, අදාල පියවරයන් ගෙන, මෙම සංඛ්‍යාවන් අඩුකර ගැන්මට දරන ප්‍රයත්නයන් දකින්නට නැත. මේ බල අධිකාරීන්වල ප්‍රධානීන්ට ළමා අපචාර ඇති බව සිහි වූයේ මේ පාද යාත්‍රාවේදී සටන් පාඨ කියූ දරුවා දුටු විටය.

ඉහත සංඛ්‍යා ලේඛණවල වර්ගීකරණය වන ළමා අපචාර හැරුන විට වත්මන් ශ්‍රී ලංකාවේ  සිදුවන ළමා අයිතීන් උල්ලංඝනය කිරීම් වලින් අඩුවක් නැත. ලොව පිලිගත් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියක් තිබේ. මේවායේ වගන්ති ගැන පොදු ජනතාවට තබා අදාල අමාත්‍යංශ හා ඒවාට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්ටවත් දැනුමක් තිබේද යන්න සැක සහිතය. වත්මන් සමාජ රටාව තුල දරුවෙකුට අත් වී ඇති ඉරණම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ප්‍රශ්ණය නම් සියලු දෙනා මේ තත්වය දැන සිටියත් ඊට විසඳුම් සෙවීමට අපොහොසත් වීමය.

අප රටේ පවතින අධ්‍යාපන ක්‍රමය, පාසල් වර්ගීකරණය සහ විභාග ක්‍රමය තුල දරුවන් පීඩාවට පත්ව ඇති අයුරු ඉතා විවෘතය. නගරබද නම් දරුවා හොඳ යයි සම්මත පාසලකට යවා ගන්නට ව්‍යාජ ලිපි ලේඛණ සකසන අතරම සම්මුඛ පරීක්ෂණයේදී පවසන්නට බොරු තොරතුරු කට පාඩම් කරවීම, පළමුවැනි ශ්‍රේණියේ පිටම පොත් ගොන්නක් පිට මත පටවා ටියුෂන් පන්ති රැගෙන යාම, ඉතිරිවන නිවාඩු වෙලාවන්හිදී දෙමව්පියන්ගේ අභිමතය පරිදි ළමයා බලහත්කාරයෙන් බාහිර ක්‍රියාකාරකම්වල යදවීම! මේවා තුල කෙසේ ළමා අයිතිවාසිකම් කඩවනවාද  යන්න පිලිබඳව දෙමව්පියන්ටවත් හැඟීමක් නැත. මන්ද ඔවුන් තම අභිමත දිව්‍ය ලෝකයට ගොඩ වන්නට ඉණිමඟක් කරගන්නට බලන්නේ තම දරුවා වන බැවිනි. ඔවුන් තම දරුවා තුලින් ගොඩ නගන්නට බලන්නේ පුරවැසියෙකු නොව තමා සිතන ආකාරයේ මොඩලයකි. පවතින සමාජ රටාව තුල ඔවුන්ටත් වෙන විකල්පයක් නැත.

ගම්බද දරුවන්ට තවත් ආකාරයක ප්‍රශ්ණ තිබේ. පසුගිය දිනෙක තණමල්විලදී වන අලි පහර දීමකට ලක්ව මියගිය 9 හැවිරිදි දැරිය ඔබට මතක ඇති. මේ අයුරින් යන්නට ලඟ පාත පාසලක් නැතිකම, පාසලට යන්නට ආරක්ෂාකාරී ප්‍රවාහන ක්‍රමයක් නැතිකම නිසාම ජීවිත අවදානමට ලක් වෙමින් දිනපතා පාසල් යන දරුවන් කොපමන වේද? එපමනක් නොව අද වන විට ගුරු හිඟය හෝ වෙන යම් හේතු නිසා ගම්බද පාසල් රාශියක් වැසී යාමේ අවදානමට ලක්ව ඇත. එසේ පාසල් වැසී යන විට මේ දරුවන්ට සිදුවන්නේ එක්කෝ දුර බැහැර පාසලකට ඇතුලත් වී දුෂ්කරතාවලට මුහුණ පෑමටය. නැතිනම් ආර්ථික අපහසුතා දරාගත නොහැකිව ඉගෙනීම අවසන් කිරීමටය. පසුගිය වකවානුවේ සිරස රූපවාහිනී නාලිකාව මගින් පැවැත් වූ ‘ජන අසුන’ නම් දේශපාලන චරිත තෝරන තරගයකදී අලි මිනිස් ගැටුම පිලිබඳව අවධානය යොමුකර ඒ සඳහා විසඳුම් යෝජනා කිරීමට පැවරුන කණ්ඩායමක් සිටියහ. මේ කණ්ඩායමේ සිටි එක් තරුණියක් (කොළඹ පදිංචි කාරියකි) ඒ ගමේ මවකගෙන් ඇසුවේ ” ඔයාගෙ දරුවා කොයි වගේ කෙනෙක් කරන්නද බලාපොරොත්තුව? ඩොක්ට කෙනෙක්?” කියායි. ඇය කියමින් සිටියේ ඒ දිනවල වන අලින් ගම් වදින හේතුව නිසා තම දරුවනට දින පහකින් පාසල් යන්නට නොහැකි වූ  බවය. මූලික තරග වට කිහිපයකින් තේරී පැමිනි මේ ඇයට, අනාගතයේ දේශපාලනයට පිවිසෙන්නට පෙරුම් පුරන ඇයට දුෂ්කර ගැමි ජීවිතය පිලිබඳව තිබූ දැනුම හා සංවේදී භාවයයි ඒ.සැබෑව නම් අද සිටින දේශපාලකයන්ගේ දැනීමේ තත්වයද මීට වැඩි වෙනසක් නොමැති බවය.

දරුවෙකුගේ ඉගෙනීමට, නිදහසට, ජීවත් වීමේ හිමිකමට බලපාන ප්‍රශ්ණ ගැන සංවේදී නොවන හා ක්‍රියාත්මක නොවන සියල්ලෝම ළමා අපචාරවලට අනුබල දෙන්නන් බව කිව යුතුය.

පළමුව අප රටේ කාන්තා හා ළමා කටයුතු පිලිබඳ අමාත්‍යංශය සහ ළමාරක්ෂක අධිකාරිය ඉටු කරන කාර්ය භාරය කුමක්ද? මේ ආයතන තුලින් සමාජය තුල ළමයකුගේ හිමිකම් සුරැකෙන පරිදි කටයුතු කරන ආකාරයේ වැඩ පිලිවෙලක් තිබේද? උත්සව අවස්ථාවකදී බර වචන යොදමින් දේශන පැවැත්වූවාට ප්‍රමානවත් නොවේ. ඒ දේශන වල ඇතුලත් කරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනුවස් නිසි වැඩ පිලිවෙලක් යොදන අතරම තොරතුරු රැස් කිරීම, යාවත්කාලීන කිරීම සහ ප්‍රතිචාර දැක්වීම මේ තුල සිදුවිය යුතුය. සැබැවින්ම මෙවන් න්‍යාය පත්‍රයක නොසිටින කාන්තා හා ළමා කටයුතු පිලිබඳ ඇමතිවරියත්, ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියත් ළමා අපචාර සඳහා අනුබල දෙන ලැයිස්තුවේ මුලටම නම් කල හැක.

ඊලඟට, ළමයින්ට තම කුසලතාවන්, දක්ෂතාවන් ඔප මට්ටම් කරගෙන තමා ජීවිතය ගැන සෑහීමකට පත්විය හැකි ආකාරයේ පුරවැසියෙකු බවට පත් වීම වෙනුවට, තමා පිට පටවන ලද බරින් මිරිකී තම ජීවිතය අනුන් අත නැටවෙන රූකඩයක් බවට පත් කරන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගෙන යන අධ්‍යාපනය සහ ක්‍රීඩාව භාර දේශපාලකයින් ද ළමා අපචාර සඳහා අනුබල දෙන්නෝය.

අන්තර්ජාලය ඔස්සේ ලිංගික සහ කාම වැඩසටහන් නරඹන සංඛ්‍යාවට අනුව ශ්‍රී ලංකාව පිට පිටම වසර කිහිපයක් ලෝකයේ පලමු තැනට පත්ව ඇති බව ඔබ දන්නවාද? පසුගිය වසරේ මහත් ආන්දෝලනයට ලක් වූ සේයා සදෙව්මී දැරිය පිලිබඳ සිද්ධියේදී පලමුව අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයාගේ පරිගනකයේ මෙවන් දේ අඩංගුව තිබූ බව පොලිසිය කී අතර ඒ පුවතට ප්‍රතිචාර දැක්වූ අයෙකු පවසා තිබුනේ එසේ නම් ශ්‍රී ලංකාවේ ඔය වයසේ පසුවන ළමුන්ගෙන් 3/4 ක් අත් අඩංගුවට ගත යුතු බවයි. එය යතාර්ථයයි. ළමා පරපුර මෙවන් ප්‍රවනතාවකට යොමු වීමට වගකිව යුත්තෝ කවුද? කිසිදු සීමාවක්, ප්‍රතිපත්තියක් නැතිව තාක්ෂණය දියුණු විය යුතු යයි කියමින් ඕනෑම කුණු කන්දලකට රටට ඇතුලු වීමට දොර හැර දෙන තාක්ෂණ විෂයය භාර දේශපාලකයින් ද ළමා අපචාරයන්හි අනියමින් හවුල් කරුවෝය.

මේනයින් බලන කල අනාගත පරපුර වන ළමා කැලට නිසි පරිදි ගොඩ නැගෙන්නට මං අහුරනන සියල්ලෝම මේ විෂයයෙහි ලා වගකිව යුත්තෝ වෙති. මේ තත්වය නිවැරදි කිරීමේ මූලික වගකීම ඇත්තේ රට කරවන්නට මහජනයාගෙන් වරම් ලබන ඇත්තන් අතය.

නමුත් වත්මනේ සිදුවී ඇත්තේ කුමක්ද? රජයේ මැති ඇමතිවරු සියලු දෙනාම පාහේ ඒකාබද්ධ විපක්ෂය කරන කියන දේ තුල පොටක් අල්ලා ගැනීමට බලා සිටිනවා හැර කරන කෙං ගෙඩියක් නැත. මතක ඇති කාලයක මේ ඇමතිවරයෙකු තමාට භාර වූ විෂයයට අදාලව කතා කරනු ඇසී නැත. ඉතින් මේ නොසලකා හැරීම් තුල ජන ජීවිතයේ පැන නැගෙන ගැටලු ආරවුල් වලට පිලිතුරු වශයෙන් ඔවුන් ලඟ ඇත්තේ පසුගිය රජයේ වැරදි පමනි. තමන් අද බලයේ ඉන්නේ ඒ වැරදි නිවැරදි කිරීමට සඳහා ජනතාව දුන් වරම පිට බව මොවුන්ට අමතකය. මේ තත්වය තුල අප රටෙ ඇති දැවැන්ත ඇමති මණ්ඩලයේ ඉතා සීමිත කිහිප දෙනෙකු හැර, නිකම්ම ඇමති කෙනෙකු බව දන්නවා විනා කාට කුමන අමාත්‍යංශ පැවරී ඇත්ද කියා බහුතර ජනතාවට අමතකය.

මේ සියල්ල මෙසේ තිබියදී කුඩා දරුවකු “ආප්පයා අපට එපා” කීවාය යන පදය අල්ලාගෙන, ඒකාබද්ධ විපක්ෂය විසින් මහා ළමා අපචාරයක්  සිදුකල බව පවසමින් මාධ්‍ය සාකච්ඡා පවත්වති. මේ ‘ආප්පයා’ කවුද? මොවුන් මේ ක්‍රියා කරන පිලිවෙල උඩ මතක් වන්නේ ‘පුහුල් හොරා කරෙන් දැනේ’ කතා පුවතයි.

මැතිවරණ සමයේ තම ප්‍රචාරක දැන්වීම් සඳහා මේ දේශපාලකයන් ළමයින් යොදා ගත්තේ නැද්ද? එමෙන්ම අද බටහිර සම්බන්ධතා ගැන උජාරුවෙන් දොඩවමින්, ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන අය හමුවේ හිස පාත් කරගෙන සිටින රජයේ ඇත්තන්ට, එදා එල්ටීටීඊ ය තම ළමා හමුදාව යොදාගෙන කල අපරාධ තුල සිදු වූ ළමා අපචාරයන් ගැන සඳහන් කරන්නටවත් ධෙෙර්යයක් නැත. අදටද රහසක් වූ, යාපනය කොකාවිල් හින්දු විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ සෙන්දුරන් රාජේශ්වරන්ගේ සිය දිවි හානි කරගැනීම (26/11/2015) ඔබට අමතක නොවිය යුතුය. ද්‍රවිඪ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක් තබා ඔහු දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තේය. මේ සිද්ධිය ගැන විවිධ සැක සංකා පැන නැගුනි. මේ තුලින් දේශපාලන වාසි ලබා ගැන්මට තැත්කල ද්‍රවිඪ ජාතික සන්ධන දේශපාලකයන් සිදු කලේද ළමා අපචාර නොවේද? සංහිඳියාව උදෙසා මෙවන් දේ හීන් සීරුවේම යට ගැසූ රජයේ ඇත්තෝ අද ඒකාබද්ධ විපක්ෂයට උඩ පැන පැන තලන අයුරු අපූරුය.

තව එක දෙයක් කිව යුතුය. මැති ඇමතිලා මේ වන් ප්‍රශ්ණ ඇදගෙන ජනතා අවධානය ඒ වෙත යොමු කිරීමට කටයුතු කරන අල්ල පනල්ලේ හීන් සීරුවේ පිට රටකට ලිස්සා යන අගමැති, විදේශ ඇමති ආදීන් ද්විපාර්ශ්වික ගිවිසුම් යයි කියමින් මොන මොන ගිවිසුම් ගසනවාදැයි දන්නේ ඔවුන්ම පමනි. මොවුන් රටේ  අනාගතය වෙන්දේසියේ දමති. එබැවින් මේවා ජනතාව නොමග යැවීමට කරන මාධ්‍ය සංදර්ශන මිස අන් කිසිවකුත් නොවේ.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය අර දරුවා සටන් පාඨ කීම සඳහා භාවිතා කර අපචාරයක් සිදු කලා නම් රජය විසින් ද මේ සිද්ධිය ඒකාබද්ධ විපක්ෂයට පහර ගැසීමට හා ජනතාව නොමග යැවීමට භාවිතා කරමින් සිදු කරන්නේ ඊට නොදෙවනි අපචාරයකි.

තේජා ගොඩකන්දෙආරච්චි

Top