විශේෂාංග

ආවඩා – ආයුබෝ වේවා!

ශ්‍රී ලංකාවේ 1505 සිට 1931 දක්වා වසර 425ක්ම ආක්‍රමණිකයන්ගේ ආණ්ඩු තන්ත්‍ර අනුව සමාජය විවිධ පරිවර්තනයන්ට භාජනය විය. දේශපාලන පක්ෂ සමාජයේ පරිවර්තනයට බලපෑවේ 1931 ස්වර්ණජන ඡන්දය ලැබීමෙන් පසුවය. සෝල්බරි නිදහස 1948 ලැබුණද සැබෑ සමාජ පරිවර්තනයකට අඩිතාලම වැටුනේ 1951 සැප්තැම්බර් 2වැනිදා කොළඹ නව නගර ශාලාවේදී ශ්‍රිලනිප ආරම්භ කිරීමෙන් පසුව බව 1956න් පසු පසක් විය.

එදා ශ්‍රිලනිප ආරම්භ කරන විට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක කියා සිටියේ ශ්‍රිලනිප මූලික කාර්යය වනුයේ අධිරාජ්‍යවාදීන්ට සහ ඔවුන්ගේ හවුල්කාරයින් වන දේශීය ධනපතියන්ට එරෙහිව සටන් මෙහෙයවීම බවය. වර්තමානයේ එනම් 2016දී ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයද 1951 තත්ත්වයට සමානය. එදා සේම අද රට දේශපාලන වශයෙන් කොටස් දෙකකි. ඒ ප්‍රතිගාමී බලවේග නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ එහි ඇමතිකම් ගෙන ආණ්ඩුවේ සරණගිය ‍ඩාර්ලි පාරේ නෛතික ශ්‍රිලනිපද, ප්‍රගතිශීලි බලවේග නියෝජනය කරන එජාප විරෝධී සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින් වෙනුවෙන් පෙනී සිටින ඒකබද්ධ විපක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලි සහ දේශප්‍රේමී කොටස්ය.

මේ සියල්ල මැද ප්‍රගතිශීලි සහ දේශප්‍රේමී බලවේගය අන් කවරදාකටත් වඩා දැන් ශක්තිමත් වෙමින් පවතී. ඒ අදටත් ශ්‍රිලනිප නියෝජනය කරන මුදුන්මුල සහ අරටුවවූ පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රතිගාමී එජාපය ප්‍රමුඛ නෛතික ශ්‍රිලනිපයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය යටතේ සැබෑ ශ්‍රිලනිප සමඟ අත්වැල් බැදගැනීම නිසාය. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 75ක් ජීවත්වන්නේ ග්‍රාමීයවය. රටේ ඇති 35,421ක ගම්මානයන්හි සැබෑ දේශපාලන නායකයා ගමේ සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන්ය. ශ්‍රිලනිප පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් සියයට 85කට වඩා දැනටමත් එළිපිටම ඒකාබද්ධ විපක්ෂය සමඟ රොද බැදගෙන එක්වී සිටිති. ගම වැළඳගත් මහින්ද රාජපක්ෂගේ ශ්‍රිලනිප යාන්ත්‍රණය උණුසුම්ව පිළිගනිති. මැතිවරණ නාමයෝජනා ප්‍රකාශයට පත්කරන විට ඉතිරි පිරිසද එක්වෙනු ඇත. අවසානයේ නෛතික ශ්‍රිලනිප සමඟ සිටිනු ඇත්තේ තමන්ම සොඳුරු ආඥාදායකයෙකුයැයි හදුන්වා ගන්නා කඩුවෙල ඇත්තෝ වැනි අය පමණි.

පළාත් පාලන හිටපු නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, උප සභාපතිවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් සියයට 85කටත් වඩා දැන් එළිපිටම සැබෑ වෙනසක් ඉල්ලා සිටිති. ඔවුන් එළිපිට දිස්ත්‍රික් සංසද 17ක් පවත්වමින්ද මාධ්‍ය සාකච්ඡා විවෘතව තබමින්ද රටට හඬගා කියා ඇත්තේ නෛතික ශ්‍රිලනිප නිවැරදි නොවන්නේනම් තවදුරටත් ඒ කෙරෙහි බලාපොරොත්තුවක් නැති බවය. ඔවුන්ගේ අදහස අනුව කිසිම දෙයක් ලේසියෙන් අත්හැරිය යුතු නැත. එමෙන්ම එජාපයේ වලිගයක් බවට පත්වූ නෛතික ශ්‍රිලනිප කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීම සැබෑ ශ්‍රිලනිප අන්‍යතාවයේ විනාශයට හේතු වන්නකි. එවැනි පක්ෂයක නායකයින්ට දිය හැකි හොඳම දඬුවම අතහැර දැමීමය. අධිරාජ්‍යවාදීන්ගේ සුළඟ හැරෙන දිසාවට වැනෙන, කරන හෝ කල වැඩක්ද නැති වසරක් ගතවූවද මෙලෝ රහක් නැති නාමික පක්ෂයක තවදුරටත් හිදීමෙන් වැඩක් නැති බව පුංචි මන්ත්‍රීවරුන් හඬගා කියති.

බණ්ඩාරනායක නායකත්වයෙන් ඩී.ඒ රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 6කගේ සුසංයෝගයෙන් ඇරඹුණු ශ්‍රිලනිප ලාංකීය දේශපාලන දේහය තුළ සුවිශේෂි කාර්යභාරයක් ඉටුකර තිබේ. එය කාලයේ තාලයට ගොඩනැගූණු දේශපාලන පක්ෂයකි. ලාංකේය මොඩලය හඳුනාගත් ගමේ දේශපාලනයක් බවට එය බෞතිස්ම කළේ 2005 සිට 2014 දක්වා මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේය. ප්‍රතිගාමි එජාපය සහ ඔවුන්ගේ ඒජන්තවරුන්ට එරෙහිවූ ශ්‍රිලනිප දේශපාලනය කොම්ප්‍රදෝරු ධනේශ්වර එකක් නොවේ. එහි මොඩලය විප්ලවවාදි එකක්ද ‍නොවේ. වසර 2014 නිමාවන විට ශ්‍රිලනිප යනු ගම තුළින් ලැබූ දැනුම, පළපුරුද්ද සහ ගම තුළ ජීවත්වූ අත්දැකිම් ඔස්සේ රට මෙහෙයවූ සුක්කානමකි. ශ්‍රිලනිප පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ කැරැල්ල ගම වෙනුවෙන් ගම තුළින් මතුවූවකි. එජාපය සරණ යන ශ්‍රිලනිපයකින් සැබෑ ශ්‍රීලංකා පාක්ෂිකයාට වැඩක් නැත.

ගමේ පාක්ෂිකයා දුප්පත් බව සැබෑය. ඒත් ඔවුන්ගේ හිතහොදය. බොහෝ විට අවසානයේදී එවැනි හිතහොද මිනිසුන්ට ඉතිරි වන්නේ දුකත්, තනිකමත්, කණස්සල්ලත් පමණි. ඉකුත් මහ මැතිවරණයේදීද එලෙසින්ම සිදුවිය. තවදුරටත් එසේ සිදුවිය යුතු නැත. එසේ සිදුවන්නට ඉඩදී නිහඬව බලා සිටිය යුතුද නොවේ. පක්ෂ නායකයින් අඬන විට ඔවුන් සනසන්නට බොහෝ අය සිටියද ගමේ පක්ෂ සාමාජිකයෙකුගේ දුකේදී බොහෝ දෙනා ඔහු ලඟ නැත. එහෙත් ඔහුටද රිදීමට හදවතක් ඇත. ‘යහපාලන’ ඇත්තන් ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. පිටතින් පෙනෙන්නේ ඔවුන් ඇල්වතුරත් නිමලා බොන පිරිසක් සේය. එහෙත් සැබෑවනම් ඔවුන් නාහෙට නා‍හන පිරිසකි.

ශ්‍රිලනිප බෙදුනොත් එජාපයට වාසියි කියන්නේ මහ ඡන්දයේදී පරාජයට පත්වී ජාතික ලැයිස්තුව හයිජැක් කිරීම නිසා පාර්ලිමේන්තුවට ‘ජාති’ක ලැයිස්තුවෙන් පත්වූ මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා, ෆයිසාල් මුස්තාපා, ඒ.එච්.එම් ෆවුසි වැනි ඇමතිවරුන් පිරිසකි. වෙහෙර ගිල්ල එකාට අග්ගලා කජ්ජක් දැයි? කියමනක් ඇත. ඉකුත් මහ මැතිවරණයේදී සන්ධානය ආසන 95ක් ගත්තේ මහින්ද රාජපක්ෂට පින්සිදු වන්නටය. මහින්ද රාජපක්ෂ වෙනම තරඟ කළේනම් අවම වශයෙන් ආසන 70ක් එම බලවේගයට හිමිවනු ඇත. නෛතික ශ්‍රිලනිපය වෙනම තරඟ කළේනම් ඔවුනට හිමිවනු ඇත්තේ ආසන 20ක් පමණ සුළු ගණනකි.මේ තිත්ත ඇත්ත සැවොම පිළිගත යුතුය.

ශ්‍රිලනිප බෙදීමක් ඇතිවූවහොත් එහි වාසිය සිදුවන්නේ එජාපයට බව එජාප ආණ්ඩුවේ ඇමතිකම් වරදාන යටතේ යැපෙන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පවසති. සමන් ලතා එතෙන්නේ සඳුන් ගස් වටා බවද උජාරුවෙන් පවසති. සමන්ලතාවන් කෙසේවත් දේශපාලන පිළිල වටේ එතෙන්නේ නැති බව දැනගත යුතුය. මේ පාරත් හඳන්නේ ළිදෙන් වතුර බී ගඟට ආවඩන්නය. මහින්ද රාජපක්ෂගේ පිටේ නැගී ඡන්ද දිනා එජාප ඇමතිකම් ලබාගෙන මිනිසුන්ට වැදිබණ දෙසති. පැරණි සදුන් ගස්වල පිළල සෑදී විනාශවන විට සමන්ලතා එතෙන්නට අළුත් සදුන්ගස් සොයාගත යුතුය. එමෙන්ම අලුත් සදුන්ගස් පිළිල වලින් ආරක්ෂා කරගත යුතුය. ශ්‍රිලනිප පාක්ෂිකයින් ඉකුත් මැතිවරණයේදී ඡන්දය දුන්නේ එජාපයට එරෙහිව මිස ඇමතිකම් ගෙන එජාපය ශක්තිමත් කිරීමට නොවේ. ඔවුන් ඡන්දය දුන්නේ මව්බිම බෙදුම්වාදීන් සහ අධිරාජ්‍යවාදීන් හමුවේ දුර්වල කිරීමට නොව ශක්තිමත් කිරීමටය. මහින්ද රාජපක්ෂ බලවේගයන්හි තීරකයින්ට ඉකුත් මහමැතිවරණයේදී වැරදුණේ ඕනෑවට වඩා මිනිසුන්ව විශ්වාස කරන්නට ගොසිනි. තවදුරටත් කාලය, ශ්‍රමය සහ ශක්තිය නිරපරාදේ විනාශ කලයුතු නොවේ.

ගමේ මිනිසාට නෛතික ශ්‍රිලනිප ගැන සැබෑ විශ්වාසයක් නැත. ඔවුන් සිටින්නේ දැඩි කලකිරීමකිනි. ඕනෑම පක්ෂයකින් තරඟයට එන ලෙස පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අවධාරණය කරති. එම ජන මතයට පිටු පෑමට මහජන නියෝජිතයෙකුට නොහැකිය. මහින්දගේ කරේ එල්ලී ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට ගොස් පාක්ෂිකයින්ට කොකා පෙන්වු ශ්‍රිලනිප ඇමතිවරුන්ට ඔවුන්ගේ මනාපයක් නැත. එමෙන්ම අභියෝගයක්ද ඇත. හැකිනම් වෙනත් පිරිස් යොදා නෛතික ශ්‍රිලනිපයෙන් පැමිණ තම බලවේගය සමඟ තරඟ කරන ලෙසය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් එක හඬින් කියා සිටියේ දේපල රාජසන්තක කළද මහින්දගේ ආශිර්වාදයෙන් තරඟ කිරීම ස්ථීර බවය.

ශ්‍රිලනිප දෙකඩ කිරීමට හෝ දුර්වල කිරීමට කටයුතු කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හෝ පළාත් පාලන මන්ත්‍රීවරුන් නොවේ. එජාප ආණ්ඩුව සමඟ යහන්ගතවී ඇති පුද්ගලයින් විසිනි. වර්තමාන ආණ්ඩුව ගමේ සංවර්ධනයේ කොදු නාරටිය බිඳ දැමුවේය. ඒ ගමේ බලය තිබුණු ප්‍රාදේශීය සභා, නගර සභා විසුරුවා හැරීමෙනි. එම ආයතනයන්හි බලය අද නිලධාරි පාලනයකට යටත් කර ඇත. එම නිලධාරින්ගෙන් බහුතරයක් එජාප ඇමතිවරුන් සරණං ගච්ඡාමිය. එජාප ආණ්ඩුව සමඟ සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිකිරීමට සන්ධානයට මැතිවරණයෙන් ජනවරමක් ලැබුණේ නැත.

ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රිලනිප නායකත්වයට පත්වූ ජනාධිපති සිරිසේන විසින් ශ්‍රිලනිප වර්තමාන නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද දෙවනුව ශ්‍රිලනිප අගමැති අපේක්ෂකවරයා සදාචාර විරෝධීවද පරාජය කරමින් එජාප අගමැතිවරයෙක් පත්කර ගත්තේය. ඔවුන් වෙනුවෙන් දරදිය අදිනු ලැබූ දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන නායකයා විපක්ෂ නායකයා ලෙස පත්කිරීමට පාර කපා ගැනීමට සන්ධානයේ මහලේකම් ලවා කථානායකවරයාට ලිපියක් ලිව්වේය. එමෙන්ම මධ්‍යම කාරක සභිකයින් 14දෙනෙකු දොට්ට දමා තමාට හිතැති 14 දෙනෙකු පත් කළේය. බහුතරයක් මගින් ශ්‍රිලනිප සියළු තීරණ බලහත්කාරයෙන් සාධාරණීකරණයට ලක්කිරීම තුළින් පිටතට පෙන්වා ඇත්තේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයකි. නටුව තිබුනත් මලක් නැතිනම් ගසට නටුවෙන් පලක් නැත. සඳක් තිබුනත් අමාවකනම් සදෙන් අහසට එළිය නැත. පක්‍ෂය තිබුනත් වැඩක් නැත්නම් සාමාජිකයින්ට එමගින් පලක්ද නැත.

එදා ශ්‍රිලනිපයේ තිබුණේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයකි. අද ඒ වෙනුවට ඇත්තේ වෛරය, ක්‍රෝධය, ඊර්ශ්‍යාව, පළිගැනීම සහ අවලාද නැගීමය. ‘නහී වේරේන වේරානි’ යන වදන් පොත පෙරළීමට පමණි. බෙග් මාස්ටර් කියූ සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා වැනි ගීතයක ඛණ්ඩයක් මෙවැනි තැනකට එළය. සන්ධානයේ නායකත්වයට මහින්ද රාජපක්ෂට නොදෙන්නේනම් විකල්පයක් ලෙස අළුත් පක්ෂයක් අරඹන ලෙසට පළාත් සභා මන්ත්‍රීවරු එක හඬින් පවසා සිටින්නේ එය එකම විකල්පය බැවිනි. අලුත් පක්ෂයක්, නමක්, ලාංඡනයක්, නායකයෙක් දැනටමත් ඔවුන්ගේ සිතුම් පැතුම් අතර ගොනුවී ඇත. මීලඟ පළාත් පාලන ඡන්දය අගෝස්තු මසට පෙර පැවැත්වීමේදී එහි බලය කවරේදැයි රටට පසක් වනු ඇත.

නිද්‍යාශීලිත්වයට සහ අක්‍රීය කොට තිබූ ජාතිකවාදී කොටස් රජයේ බෙදුම්වාදයට උඩගෙඩි දෙන නිසා අවදි වෙමින් පවතී. සංස්කෘතික ආක්‍රමණයක්ද විශාල ලෙස සිදුවෙමින් පවතී. සමාජ, ආර්ථික සංස්ථාවන් දිනෙන් දින පරිහානියට පත්වෙමින් තිබේ. මේවාට එරෙහිව උඩුගම්බලා යෑමට ගමේ ශ්‍රිලනිප පළාත් පාලන මන්ත්‍රීවරුන් පෙළගැසී සිටීම වාසනාවකි. විවාහයේදී විසි පොරොන්දමෙන් බහුතරයක් ගැලපෙනවා බලනවා මෙන් පෙරමුණකට පක්ෂ ගොනු කර ගැනීමේදී ගැලපීම් නොගැලපීම් පිළිබදව කල්තියා නාඩි දැන ගැනීමේ ශක්තිය තිබිය යුතුය. මවක් තම දරුවා මිනිසෙකු කරන්නට වසර 18ක් ගනු ලබයි. තවත් අයෙකුට ඔහු මෝඩයෙකු කරන්නට ගතවන්නේ විනාඩි කිහිපයකි.

වසර 2005දී ශ්‍රිලනිපයට තිබූ මන්ත්‍රීවරුන් 67ක සංඛ්‍යාව 2010 වන විට 127 දක්වා නංවාලුයේද මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේය. ශ්‍රිලනිප තුළද නායකයින් දෙවර්ගයක් ඇත. පළමු වර්ගය වැඩ්ඩෝය. දෙවැනි වර්ගය කිසිවක් නොකර ලකුණු දාගන්නට පමණක් දඟලන අලයෝය. භගවත් ගීතාවේ පවසන පරිදි යමක් සිදුවීද ඉන් යහපතක්ම විය. යමක් වෙමින් පවතින්නේද ඉන් යහපතක්ම වන්නේය. යමක් සිදුවන්නට නියමිතද ඉන්ද සිදුවන්නේ යහපතක්මය.

අලුතින් හදන පක්ෂය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂයක් නොවේ. විමල් විරවංශගේ හෝ උදය ගම්මන්පිලගේ පක්ෂයක්ද නොවේ. එය සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයාගේ පක්ෂයයි. එයට ඒකාබද්ධ විපක්ෂයේ සියළු මන්ත්‍රීන්ගේ පමණක් නොව එජාප ආණ්ඩුවේ එකගෙයි කන ශ්‍රිලනිප ඇමතිවරු දුසිම්‍ දෙකගේ පමණ ආශිර්වාදයද හිමිය. ‍ඩාර්ලි පාරේ නෛතික ශ්‍රීලනිප අරුම පුදුම හෙයියන්මාරුවක දැන් පැටලී තිබේ. ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පිරිසකට ඇමති වරදාන සහ වරප්‍රසාද ලබාදී එ හරහා ඔවුන් පාලනය කිරීමේ හැකියාවක් නෛතික ශ්‍රිලනිපට තිබුණද එසේ පාලනය කිරීමට හැක්කේ ගම නොව දියවන්නාව පමණි. ශ්‍රිලනිපයට ගම් මට්ටමින් වැඩිපුර ඇත්තේ එජාප විරෝධී සාම්ප්‍රදායක ඡන්දය. ආණ්ඩු මාරුවක් කරන මැතිවරණයක් නොමැති බැවින් පළාත් පාලන ඡන්දවලදී ජාතික මට්ටමේ බෙදීමද වෙනස්ය. බණ්ඩාරනායකලාගේ නින්දගමක් බඳුවූ අත්තනගල්ලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා පවා කැරැල්ලේ ගම්පහ දිස්ත්‍රික් ඉදිරි පෙළ නියමුවෙකි.

නෛතික ශ්‍රිලනිප ශුද්ධ කිරීමටද අසීරුය. ඩාර්ලි පාරේ දැන් ඔවුන් සමඟ ඉතිරිව ඇත්තේ විවිධ චෝදනාවලට ලක්වූවද අත්අඩංගුවට ගැනීම් හෝ නඩුහබ වලට ලක්නොවීමේ ‘වාසනා මහිමය’ උදාකරගත් පිරිසකි. ඒකාබද්ධ විපක්ෂයේ සිටින අලුතින් පත්වූ මන්ත්‍රීවරුන්ට තවමත් එවැනි චෝදනා නැත. වසර 15කට පසු ගමේ යූ.එම්.පී කාරයන් අළු දූවිලි ගසා නැගිට සිටියද එජාප ආණ්ඩුව ජාතික මට්ටමින් පිරිහී ඇති බැවින් උතුරු නැගෙනහිර හැර සෙසු පළාත්වල එජාප පදනම මහමැතිවරණය තිබූ කාලයේදී මෙන් නොව දැන් දෙදරා ගොසින්ය. නෛතික ශ්‍රිලනිප වසරක් තුළ ගමට කල කෙන්ගෙඩියක් නැතැයි ලොකු මැසිවිල්ලකි. එවැනි අල්ල පනල්ලේ එජාප ආණ්ඩුව සමඟ දීගකෑමෙන් වාසිය ඇත්තේ ශ්‍රිලනිප මැති ඇමතිවරුන්ගේ දරු පවුල්වලට පමණක් බව ගමේ පාක්ෂිකයන්ගේ මතයකි.

එජාප සහ එහි සරණ යන ප්‍රතිගාමී කණ්ඩායම්වලට එරෙහිව සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයන් සහ ප්‍රගතිශීලින් එකට එක්වී යාහැකි දේශපාලන ගමනක් මේ මොහොතේ රට තුළ නිර්මාණයවී තිබේ. එවැනි ගමනකට හැකියාවද තිබේ. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පරාජය වූවද සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයන් සැබෑ නායකයා හඳුනාගෙන සිටිති. මහ මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා පරාජය වනවා වෙනවාමයි කියමින් ශ්‍රිලනිප නායකයා හැසිරෙන විට ජයග්‍රහණයක් අපේක්ෂා කිරීම අසීරුය. නව දැක්මක් සහ අලුත් පරිච්ඡේදයක් අවැසි වන්නේ එවැනි අකැප ක්‍රියාවන්ට හසුනොවී ස්වාධීන අන්‍යනතාවයක් ගොඩනැගීමෙන් පමණක් බව ගමේ සැබෑ ශ්‍රිලංකා පාක්ෂිකයාගේ අරමුණය. නෛතික ශ්‍රිලනිපයට සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයන් ඇතුළත අධිකාරියක් නොමැත. තිබෙන්නේ විධායක සහ නෛතික බලයක් පමණි. ඒ හරහා ගම දිනාගත නොහැක. පළාත් පාලන ඡන්දය තුන්කොන් තරඟයක් වුවහොත් එහි තෙවැන්නා ලෙස ඩාර්ලි පාරේ නෛතික ශ්‍රිලනිප පත්වීම පුදුමයක් ‍නොවනු ඇත. ඒකාබද්ධ විපක්ෂය තුළ තවමත් ජුදාස්ලා හෝ අජාසත්තලා දක්නට නොමැත.

වැසි වසින තරමට පොලොව ලිහිල් වේ. අළුත් ජවයකින් පොලව ‍ප්‍රබෝධමත් වේ. පැළ අතු රිකි දරා නැගී සිටී. මහපොලව අළුත් කල යුතුමය. ඒ සඳහා තව තවත් වැසි අවැසිය. අලුත්වන මහ පොලව අලුත් අනාගතයක පෙරවදනද වනු ඇත. ඒ සඳහා ගමේ සිටින සැබෑ ශ්‍රී ලංකික පාක්ෂිකයින් ඇතුළු ප්‍රගතිශීලීන් යෝධ වෘක්ෂයක් ලෙස නැගී සිටිමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ‘යහපාලන’ හවුල් ආණ්ඩුවට එරෙහිව යළි 56ක් බිහිකර ගැනීම කිසිවෙකුට වැලකිය නොහැකි වනු ඇත.

ධර්මන් වික්‍රමරත්න

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

 

Top