ශ්‍රී ලංකාවේ විවිධාකාර රහස් ඔත්තු සේවාවන් වර්තමානයට වඩා අසූව දශකයේදී ක්‍රියාත්මක විය. ඒවා අතර මුල් තැනක් ගත්තේ ඉන්දියානු රෝ ආයතනය, ඇමරිකානු සී.අයි.ඒ, ඊශ්‍රාලයේ මොසාඩ් ඔත්තු සේවය, බ්‍රිතාන්‍යයේ එම්. අයි. 6 යන විදේශ රහස් ඔත්තු සේවාවන්ය. ශ්‍රී ලංකාවේ සිටින මෙම විදේශ ඔත්තු සේවාවන්හි නියෝජිතයෝ අනුයුක්තව සිටින්නේ මෙරට සිටින අදාල තානාපති කාර්යාල වල රාජ්‍ය තාන්ත්‍රික නිල නාමයන් යටතේය. ඔවුන්ගේ තානාපති නිලධාරි නිලය වූ කලී හුදු ආවරණයක් පමණි. මෙම චරපුරුෂ සේවාවන් ශ්‍රී ලංකාවේ වැදගත් තොරතුරු(මෙරට හමුදා කටයුතු, විශේෂයෙන් පකිස්ථානය සහ චීනය සමඟ ජාත්‍යන්තර සබදතා, ඉරණවිල ඇමරිකානු හඬ, ත්‍රිකුණාමල වරාය තෙල් ටැංකි බදු ගිවිසුම්, දේශපාලන ක්ෂේත්‍රයේ චලනයන් වැනිදෑ) ලබාදීමට හැකි මෙරටෙහි ඉහළ පෙළේ පිරිස් යොදාගනු ලැබේ. රාජ්‍ය නායකයින්, ආරක්ෂක ප්‍රධානීන්, දේශපාලඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍යවේදීන් ඇතුළු විවිධ පිරිස් එයට අයත් වෙති. ඔවුන් සඳහා විදේශ ශිෂ්‍යත්ව, චාරිකා, මුදල්, ත්‍යාගයන් ඇතුළු විවිධ වරදාන ප්‍රදානය කරනු ලබයි.
ජවිපෙ මගින් 1971 සිදුකරනු ලැබූ කැරැල්ල මර්ධනය කිරීමට සිරිමා බණ්ඩාරනායක රජයට යුධ උපදෙස් සැපයූයේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවය බව වෙහෙසකර පර්යේෂණයකින් පසු බ්‍රිතාන්‍යයේ ෆීල් මිලර් වසර 40කට පසු සිය පර්යේෂණය මගින් 2015 මුල්භාගයේදී අනාවරණය කළේය. ජවිපෙ නැගිටීම මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හමුදාව සහ පොලිසිය සන්නද්ධ කිරීමටද ඔවුන්ට උපදෙස් ලබාදීමද බ්‍රිතාන්‍ය මගින් ඉටුකල රහසිගත කාර්යභාරය එහිදී ඔහු හෙළි කළේය. ඉන්දියානු සාගරයේ වෙළෙඳ මුහුදු මාර්ග මැද ලංකාවේ භූ දේශපාලන පිහිටීම සහ ත්‍රිකුණාමලය වරායේ යුධමය වැදගත්කම නිසා බ්‍රිතාන්‍යයට ශ්‍රී ලංකාවේ මිත්‍රවය වැදගත් බව එහිදී අනාවරණය වී තිබේ.
ඊශ්‍රායලයේ ඔත්තු සේවය අසූව දශකය මුල් භාගයේ ක්‍රියාත්මක වූයේ කොළඹ ඔබරෝයි හෝටලේ 9වැනි මහලේය. මොසාඩ් ඔත්තු සේවයේ නියෝජිතයෙකු වූ මටානි එම කාර්යාලයේදී ඝාතනය කිරීමට දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1984 ජනවාරි 21 ඔබරෝයි හෝටලයේ බෝම්බයක් පිපිරුවද එය අසාර්ථක විය. එහෙත් හෝටල් සේවිකාවක් මරමුවට පත්විය. පසුව ඊශ්‍රායල් ඔත්තු සේවා කාර්යාලය කොල්ලුපිටියේ ලිබර්ට් ප්ලාසා වෙත ගෙන ගිය අතර එහි සම්බන්ධකාරකවරිය ලෙස සේවය කළේ මොනිකාය. වික්ටර් ඔස්ට්‍රොව්ස්කි විසින් ලියන ලද වේ ඔප් ඩිසෙප්ෂන් ග්‍රන්ථයේදී ඊශ්‍රායල් රජය කිනිමිනි ඔත්තු සේවාව ශ්‍රී ලංකා හමුදා භටයින්ට මෙන්ම දෙමළ බෙදුම්වාදී සංවිධාන වන ඊ.පී.ආර්.එල්.එෆ් සහ කොටි සංවිධානයේ සාමාජිකයින්ටද ඊශ්‍රාලයේදී අවි පුහුණුව ලබාදුන් බවට චෝදනා කළේය.
ඉන්දියානු රෝ සංවිධානය යනු රහසිගත මෙහෙයුම් වල නියැලුනු ඉන්දියානු බලගතුම ඔත්තු සේවාව ලෙස හදුන්වන පර්යේෂණ හා විමර්ෂන අංශය නම් වේ. රෝ යනු එහි කෙටි යෙදුමයි. ඉන්දියානු රෝ සංවිධානය යනු සෘජු ලෙසින්ම ඉන්දිය අගමැති කාර්යාල ලේකම්වරයා යටතේ ක්‍රියාත්මක වූවක් වන අතර අන් කිසිවෙකුට සහ කිසිවකට එහි බැදීමක් නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ගනු ලබන තීරණ වහාම දැන ගැනීමට සහ එම තීරණ ඉන්දියාවට හිතවාදී නොවන අවස්ථාවන්හි මැදිහත්ව ක්‍රියාකිරීම රෝ සංවිධානයේ අරමුණ වේ.
ඉන්දු සෝවියට් මිත්‍රත්ව ගිවිසුම 1971 අත්සන් කිරීමෙන් පසු එක්සත් ජනපදයට ඉන්දියාවේ අසල්වැසි රටක සහාය අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකාව එයට බළල් අතක් සේ යොදා ගත්තේය. ශ්‍රී ලංකාවට සෘජුව අත පෙවීම ඇරඹුණේ ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව 1977 බලයට පත්වීමෙන් පසුවය. එයට හේතු වූයේ එතෙක් ශ්‍රී ලංකාවේ පැවති නොබැදි විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවද නොසලකා හරිමින් ඇමරිකාවට ගැති ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීම නිසා එය ඉන්දිරා ගාන්ධි අගමැතිනිය නොඉවසීමය.
දෙමළ බෙදුම්වාදී සංවිධාන වන ටෙලෝ සමඟ මුලින්ද පසුව ඊ.පී.ආර්.එල්.එෆ්, ඊරෝස් සහ එල්.ටී.ටී.ඊ සමඟද ඉන්දිය ඔත්තු සේවය සබඳතා ඇතිකර ගත්තහ. එම බෙදුම්වාදී දෙමළ සංවිධාන රෝ සරණ පතා ගියා නොව රෝ ඔවුන් සොයා ගෙන පැමිණි බව යථාර්ථය විය. ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව තමිල්නාඩුවේ රාමනාදන්පුරම් දිස්‌ත්‍රික්‌කයේ කීප පොළකම ලංකා බෙදුම්වාදීන් පුහුණු කරනු ලැබුවේ රෝ සංවිධානය මගිනි. මෙවැනි පුහුණු කඳවුරු මාකිලිපට්‌නම්, මන්දපාති, කුම්බකෝනම් වැනි ඉන්දියාවේ දකුණු පෙදෙසට අයත් ස්‌ථානයන්හිද පවත්වාගෙන ගියහ. පසුව ඒවා රට මැද වෙනත් ස්‌ථානවලද පිහිටවනු ලැබීය. ඒ අනුව උත්තර ප්‍රදේශ්හි වක්‍රතා කඳවුරද මධ්‍යම ප්‍රදේශ්හි හමුදා ඇකඩමියක්‌ද මේ සඳහා රෝ සංවිධානය විසින් යොදා ගැණුනි.
බෙදුම්වාදීන්ට වෙඩි පුහුණුව ලබාදෙන ලද්දේ ඉන්දීය යුද හමුදාව මගිනි. ඒ දලායි හා අහමද්නගර් යන ප්‍රදේශ වලදීය. මධ්‍යම ප්‍රමාණයේ මැෂින් තුවක්‌කු, ස්‌වයංක්‍රීය රයිපල, පිස්‌තෝල හා ඒ.කේ. 47 රයිපල පරිහරණයද ඊට ඇතුළත් විය. තවද සිතියම් කියවීම, යුධෝපායයන්, යුද කටයුතු සැළසුම් කිරීම, කැලෑ සටන්, ගරිල්ලා උපක්‍රම යනාදී වශයෙන්වූ අංග සම්පූර්ණ පුහුණුවක් එමගින් බෙදුවාදීන්ට ලැබිණ.ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ කලක් රහසිගතව කරගෙන ගිය කටයුතු පසුව විවෘත රහසක් බවට පත්විය. දෙමළ බෙදුම්වාදීන් පුහුණුකල අය අතර ඉන්දීය බ්ලැක් කැට් කොමාන්ඩෝ ඒකකයේ ප්‍රධානියකු වන නග්රානි සහ ප්‍රති ඔත්තු සේවාවේ නියුතු ඉන්දීය පොලිස් සේවයේ කටයුතු කරන ඒ. අර්ජුන්ද විය.
ශ්‍රී ලංකාවේ 1983 කළු ජූලියේ කලබල වන විට ශ්‍රී ලංකාවේ රෝ සංවිධානයේ ප්‍රධානියා වූයේ මැතිව් ඒබ්‍රහම්ය. ඔහුගෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි රෝ නියෝජිතයා වූයේ රොමේෂ් ෂන්මුගම්ය. ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි 29වැනිදා බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව සමඟ අත්සන්කර ගැනීමෙන් පසු ඉන්දීය ‘සාම’ සාධක හමුදා භටයින් 90,000ක් පමණ මෙරටට ගොඩ බැස්සේය. ඉන්දියාවේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව රජීව් ගාන්ධිගේ තනි තීරණයකට ශ්‍රී ලංකාවට හමුදාව යැවූ බව ඉන්දීය විදේශ ඇමති වරයෙකු වූ නට්වාර් සිං 2014 අගෝස්තු 1වැනිදා නිකුත්කල සිය චරිතාපදානයේ සඳහන් කර තිබේ. ඉන්දීය හමුදා සහායට ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය හරහා ද්‍රවිඩ විමුක්ති හමුදාව නමින් 10,000ක් පමණ වූ දෙමළ පිරිසක් පුහුණු කරන ලද්දේද රෝ සංවිධානය මගිනි. මෙම කණ්ඩායම යටතේ ත්‍රී ස්ටාර් නමින් කණ්ඩායමක් පිහිටවූ අතර දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ තිප්පොලවල් සහ සාමාජිකයන් හඳුනා ගැනීමට එමගින් නායකත්වය දෙනු ලැබුවේද රෝ සංවිධානය මගිනි. මොරවැව සිංහල ගම්බිම්වලට පැන ඔවුන් සංහාරය කළේද මෙම ද්‍රවිඩ විමුක්ති හමුදාව මගිනි.
වඩමාරච්චි මෙහෙයුම අතරතුරදී තමිල්නාඩු රජය මගින් උතුරේ දෙමළ ජනයා සඳහා අතවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ රැගත් බෝට්ටු 19ක් සහනාධාර ලෙස 1987 ජුනි 2වැනිදා නීති විරෝධී ලෙස මුහුදෙන් එවීමට තැත් කරන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාව එම බෝට්ටු ශ්‍රී ලංකා මුහුදු සීමාවට 1987 ජුනි 3 වැනිදා පස්වරු 6ට පැමිණියද ඇතුල්වීම නවතනු ලැබීය. පසුව ඉන්දියාව 1987 ජුනි 4වැනිදා පස්වරු 3.15ට අනවසරයෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහන යානා 5ක් ගුවන් මගින් පැමිණ උතුරට වියලි ආහාර සහ ඖෂධ ටොන් 25ක් හෙළුවේය. ජවිපෙ ආරම්භ කල 1965 මැයි 14වැනිදා සිටම ඉන්දීය ආක්‍රමණයක් පිළිබඳව අනතුරු ඇගවීමක් කර තිබිණි. ජවිපෙ මගින් 1987 ජුනි 7වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලානේ ආරක්ෂක පීඨයට කඩාවැද නවීනතම අවි ආයුධ පැහැර ගැනීමෙන් පසු නිවේදනය කළේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26වැනි ප්‍රාන්තය බවට පත්කිරීමට එරෙහිව සටන් කිරීමට එම ආයුධ ලබාගත් බවය. ඉන්දු ලංකා ගිවිසුමට දෙරටේ රාජ්‍ය නායකයෝ 1987 ජුලි 29වැනිදා පස්වරු 3.37ට අත්සන් කළේ ඇදිරි නීතියද කඩ කරමින් ලක්ෂ ගණන් ජනයා රටපුරා විරෝධතා පලකර සිටියදීය.
අවසානයේ ඉන්දීය හමුදාවට ශ්‍රී ලංකාවෙන් 1990 මාර්තු 24 වැනිදා මුළුමනින් පිටව යෑම සිදුවූ අතර රෝ සංවිධානයේ ශ්‍රී ලංකා මෙහෙයුම කොටි සංවිධානය හමුවේ අසාර්ථක විය. වර්තමාන ඉන්දීය යුධ හමාදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිංද ඉන්දීය හමුදාවේ පවන් මෙහෙයුම සඳහා 1987දී යාපනය ඇතුළු උතුරු නැගෙනහිර මෙහෙයුම්වලට එක්වූවෙකි. ඉන්දීය අගමැති රජිව් ගාන්ධි(46) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1991 මැයි 21වැනිදා රාත්‍රියේ මදුරාසියේ පෙරුම්බුදුර්හි පැවති ඡන්ද රැස්වීමකදි ඝාතනය කිරීමටද කොටි සංවිධානයට හැකිවිය. ලෝකයේ හමුදා ශක්තිය අතින් සිව්වන ස්ථානය දරණ ඉන්දීය හමුදාවට පරාජය කිරීමට නොහැකිවූ කොටි සංවිධානය මුළිනුපුටා දැමීමට හැකිවූයේ 2009 මැයි 18වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුවටය.
ඉකුත් 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදීද එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ඓරෙහිව මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් විපක්ෂය සංවිධානය කිරීමේහිලා ඉන්දියානු රෝ ආයතනය, ඇමරිකානු සී.අයි.ඒ. සහ බ්‍රිතාන්‍යයේ එම්. අයි.6 යන බටහිර රහස් ඔත්තු සේවාවන් කුමන්ත්‍රණය කල බවට චෝදනා ලැබිණි. එයට පෙර ඉන්දියානු රෝ කුමන්ත්‍රණයක් අනාවරණය වූ අතර ශ්‍රී ලංකාවේ නේවාසික රෝ ඔත්තු සේවා ප්‍රධානියාවූ කේ. ඉලගෝ ශ්‍රී ලංකාවෙන් ඉවත් කරන ලෙසට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කල ඉල්ලීමටද අවසානයේ ඉන්දීය තානාපති කාර්යාලයට එකඟ වීමට සිදුවිය.
අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ ගනුදෙනු කල නිලධාරින් වූයේ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරිය. කුමන මතභේද ඉන්දියාව සමඟ තිබුණද ජවිපෙ සමඟ ඇයි හොදැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය.ජවිපෙ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා රෝ සංවිධාන නියෝජිතයින් සමඟ සම්බන්ධකම් පැවැත්වූයේ දේශපාලන මණ්ඩල සභික ඩී.එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීරද, ජවිපෙ වෘත්තීය සමිති වෙනුවෙන් ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් වන සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ගාමිණී විජේගුණසේකර සහ සමස්ථ ලංකා සංස්ථා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ගාමිණී ජයලත්ද, ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් වෙනුවෙන් අන්තරේ කැඳවුම්කරු මොරටු සරසවියේ ඉංජිනේරු සිසු නිමල් බාලසූරිය, දේශප්‍රේමී පොදු එක්සත් පෙරමුණක් ගොඩනැගීමේ සාකච්ඡාවලට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ගාමිණී මාලසිංහ, මානව හිමිකම් සුරකීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සම්බන්ධීකාරක වූ කැළණි සරසවියේ විද්‍යා පීඨ සිසු ගැමුණු යසස් සෙනෙවිරත්න ඇතුළු කිහිප දෙනෙකි. ඩී.එම් ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර පැවති එක් සාකච්ඡාවකට ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිංගේ නායකත්වය යටතේ සේවය කල බ්‍රිගේඩියර් ජේ.එස්. ඩිලෝන්ද සහභාගිවී තිබිණි.
ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂව පළාත් සභාවට තරඟ කිරීමට ඉන්දියාව මගින් රුපියල් ලක්ෂ 400ක් ශ්‍රී ලංකා මහජන පක්ෂයට දෙවරකට ලබා දුන්නේය. පක්ෂය වෙනුවෙන් එය ලබා ගැනීමේ සාකච්ඡාවන්ට එක්වූයේ එහි ජේෂ්ඨ උප සභාපති ඔසී අබේගුණසේකර, ප්‍රධාන ලේකම් යකුපිටි පියසේන ද සිල්වා, ප්‍රේමසිරි පෙරේරා ඇතුළු කිහිප දෙනෙකි. එමෙන්ම රුපියල් ලක්ෂ 200 මුස්ලීම් කොංග්‍රසයටද වෙන් වෙන්ව රුපියල් ලක්ෂ 50 බැගින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට, ලංකා සමසමාජ පක්ෂයට සහ නව සම සමාජ පක්ෂයටද පළාත් සභාවට තරඟ කිරීමට අනුග්‍රාහක දායකත්වයක් ඉන්දියාවෙන් ලැබිණි. ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වීම සඳහා කොටි සංවිධානයට ඉන්දිය රුපියල් දශ ලක්ෂ 520ක්ද ලබාදී තිබිණි. මේ පිළිබදව 1987 සැප්තැම්බර් 28 වැනිදා රජීව් ගාන්ධි සහ ප්‍රභාකරන් අතර එකඟත්වයක් ඇතිවී තිබිණි.
ඉන්දු ලංකා ගිවිසුමෙන් 1987 ජුලි මස ගිවිස ගත් පරිදි පාර්ලිමේන්තුව සම්මත කල 1987 අංක 42 දරණ පළාත් සභා පනතින් ලැබුණු බලතල ප්‍රකාර 1988 පෙබරවාරි 03 වැනිදා පළාත් සභා සංස්ථාපනය කරන ලදි. එජාප ආණ්ඩුව මගින් පළාත් සභා ඡන්දය පැවැත් වූයේ අවස්ථා 4කදීය. උතුරු මැද, ඌව, සබරගමුව සහ වයඹ පළාත් සභා ඡන්ද 1988 අප්‍රේල් 28වැනිදාද මධ්‍යම සහ බස්නාහිර පළාත් සභා ඡන්ද ජුනි 02වැනිදාද, දකුණු පළාතේ ඡන්දය ජුනි 09වැනිදාද, නැගෙනහිර පළාතේ ඡන්දය නොවැම්බර් 19වැනිදාද පැවැත්විණි. පළාත් සභා පනතට එරෙහිව වූ ජවිපෙ පළාත් සභා ඡන්දයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාර සංවිධානය කළේය. පිළිගත් දේශපාලන පක්ෂ වලින් ආණ්ඩු බලය හිමි එජාපය සමඟ තරඟ කළේ ඉන්දීය අනුග්‍රහය ලැබූ එක්සත් සමාජවාදී පෙරමුණ(කොප, සමසමාජ,නසසප සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය), ඊ. පී. ආර්. එල්. එෆ් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පමණි.
මේ අනුව ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ සියළුදෙනා ජවිපෙ මගින් දේශදෝහීන් ලෙස හඳුන්වනු ලැබීය. ශ්‍රී ලංකාවට පැමිණි අන්තිම ඉන්දියන් සෙබලා ශ්‍රී ලාංකික අන්තිම දේශදෝහීයාගේ බඩවැලෙන් එල්ලා මරාදමන බවට ජවිපෙ සපථ කළේය. මේ යටතේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නොහොත් කම්කරු මාවත කණ්ඩායමේ ක්‍රියාකාරිකයින් පවා ඝාතනයට ලක්විය. එක්සත් ඉන්දියානු සෝවියට් සමූහාණ්ඩුවක් තුළ ශ්‍රී ලංකාවක් ඇතැම් වාම කණ්ඩායම්වල දැක්ම විය. කම්කරු මාවතේ ක්‍රියාකාරිකයින්වූ වැලිමඩ පදිංචි පිටවලගේ, පේරාදෙණිය දුම්රිය ස්ථානයේ ගුණපාල, හලාවත ශ්‍රේෂන් ජවිපෙ මගින් ඝාතනයට පත්විය. 1971 කැරැල්ලේද කම්කරු මාවත ක්‍රියාකාරිකයින් දෙදෙනෙකුවූ පොරමඬුල්ලේ ගුණදාස සහ ලක්ෂ්මන්ද ඝාතනයට පත්වී තිබිණි.
ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව ශ්‍රී ලංකා මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය කුමාරතුංග විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව විජය කුමාරතුංග විසින් 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනයවීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් යවා තිබුණේද ඉන්දීය මැදිහත්වීමෙනි. උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු ටී 56 තුවක්කුවකින් විජයද 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20 ඝාතනය කළේය.
ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් 05දෙනෙක් ප්ලොට් සංවිධානයෙන් නැගෙනහිරදී අවි පුහුණුව ලබාගෙන තිබිණි. ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය ඉන්දිය රෝ සංවිධානයෙන් මුළුමනින් නඩත්තුවූ අතර එහි දකුණු දිග ශාඛාව වශයෙන් ක්‍රියාත්මක වූ විකල්ප කණ්ඩායමටද, ද්‍රවිඩ ඊළාම් මිත්‍රත්ව කොංග්‍රසයේ මහජන විමුක්ති ව්‍යාපාරයටද(එයට උඩුවගේ හෙන්ඩි පෙරේරාගේ රතු භටයෝ කණ්ඩායම, ජවිපෙ නව ප්‍රවණතාවය, ජනතා සංගමයේ කණ්ඩායමක් සහ සමාජවාදී ජනතා ව්‍යාපාරය අයත් විය) ඉන්දිය රෝ අනුග්‍රහය ආරම්භයේදී ලැබුණද පසුව ඒවා හුදු නාම පුවරු පමණක් බැවින් නතර විය.
ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව ඉන්දිය භාණ්ඩ වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජවිපෙ ශ්‍රී ලංකාවේ සිටින සියළුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට රටින් පිටවන ලෙස නියෝග කළේය. එය ප්‍රකාශයට පත්කළේ 1989 ජුනි 6 වැනිදා නුගේගොඩදී 70,000කින් පමණ සහභාගිවූ දැවැන්ත රැළියේදීය. එමෙන්ම ඉන්දියාවේ සිට ආනයනය කරන බොම්බයි ලුනු, මයිසූර් පරිප්පු වැනි පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ පොළේ අළෙවිය තහනම් කළේය. ඉන්පසු වෙළෙන්දෝ බොම්බයි ලූනු ලොකු ලුනූ ලෙසද, මයිසූර් පරිප්පු පොඩි පරිප්පු ලෙසද හැදින්වීය. ජංගම වෙළෙඳන්දෝ බොම්බයි මොටයි සීනුව ගසමින් අළෙවි කළේ නයිස් මොටයි කියාය. ජවිපෙ ඉන්දියන් විරෝධයෙන් ජනයා භීතියට පත්වී තිබුණේ එසේය. ඉන්දීය භාණ්ඩ ආනයන කරන ව්‍යාපාරිකයින් ඒවා නතර නොකල විට ඔවුන්වද ඝාතනයට ලක්විය.
ඒ අනුව ප්‍රකට ව්‍යාපාරිකයින් වන ෂන්මුගම් සහෝදරයෝහි ප්‍රධානියා 1989 පෙබරවාරි 6 වැනිදා කොටුවේදීද, පී.බී උම්බචි 1989 පෙබරවාරි 2වැනිදාද ඝාතනයට ලක්විය. කේ. ගුණරත්නම් 1989 අගෝස්තු 9 මරදානේදී, හෙප්තුල්ලාබොහී සමාගමේ අධ්‍යක්ෂ සබීර් හුසේන් 1989 අගෝස්තු 18 වැනිදා කොහුවලදීද ඝාතනය කරන ලදී. පැලවත්ත සීනි කම්හලේ සේවයකල ඉන්දීය ජාතික නිලධාරින් වූ බන්ෂෝල් අඹුසැමි යුවලද 1988 නොවැම්බර් 23වැනිදා සියඹලාආණ්ඩුවේදීද ඉන්දීය ව්‍යාපාරිකයින්වූ ඩී.කේ. සුන්දරම් සහ පී. නඩාර් වීරමුණි 1989 ජුනි 23 වැනිදා හලාවතදීද ඉන්දිය භාණ්ඩ තහනමට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පලකල කොරියානු ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රී ලංකාවේ සේවයේ නිරතවූ කොරියානු ඉංජිනේරු ආන් හෝචි 1989 නොවැම්බර් 23වැනිදා ගොකරැල්ලේදී ඝාතනයට ලක්විය.
ජවිපෙ විසින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට තරඟ කිරීම වෙනුවෙන් 1988 දී ආරම්භ කරන ලද පක්ෂ 8 සාකච්ඡාව පිළිබදව උපක්‍රමික ක්‍රියාමාර්ගයන් පිළිබදවද රෝ සංවිධානය උනන්දුවක් දැක්වූහ.අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවීමෙන් පැවති එම පක්ෂ 8 සාකච්ඡාවලට සහභාගි වූයේ ශ්‍රිලනිප, ජවිපෙ, මහජන එක්සත් පෙරමුණ, අෂ්රොෆ්ගේ මුස්ලීම් කොංග්‍රසය, පොන්නම්බලම්ගේ දෙමළ කොංග්‍රසය, ප්‍රජාත්‍රන්තවාදී වතු සංගමය, ලිබරල් පක්ෂය, එක්සත් ලංකා ජනතා පත්ෂය වේ. මව්බිම සුරකීමේ ව්‍යාපාරය 1986දී ගොඩනැගිමේදී අනුගමනය කරන ලද උපක්‍රමික ප්‍රවේශයේම දිගුවක් ලෙස ජාතික ගලවාගැනීමේ ආණ්ඩුවක් ගොඩනැගීම මූලික කොටගත් සංවාදය අරමුණු කොටගෙන ජවිපෙ මගින් එය පවත්වන ලදී.
ජනපතිවරණය සහ මහ මැතිවරණය ආණ්ඩුව විසුරුවා භාරකාර රජයක් යටතේ එකට පවත්වන ලෙස ශ්‍රිලනිප ජවිපෙ ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ පක්ෂ 8 විසින් 1988 ඔක්තෝබර් 18වැනිදා රජය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. පසුව එහිදී මුස්ලීම් කොංග්‍රසයේ නායක අෂ්රොෆ්, එක්සත් ලංකා ජනතා පක්ෂයේ ලේකම් වෛද්‍ය ගාමිණී විජේසේකර, ජවිපෙ උපාලි ජයවීර සහ අන්තරේ නියෝජිත ගාමිණී මාලසිංහ සමඟ ඉන්දීය රෝ නියෝජිතයෝ කොළඹදී සාකච්ඡාවන්ද පැවැත්වූහ. මුස්ලීම් කොංග්‍රසය මගින් නැගෙනහිර මුස්ලිම් කලාපීය පාලනයක් ඉල්ලමින් පක්ෂ 8 වෙත යෝජනාවක් ඉදිරිපත් කළේ ඉන් අනතුරුවය. සකච්ඡා බිඳවැටීමට එය ප්‍රබල එක් හේතුවක්වූ අතර ජනපතිවරණයට ශ්‍රිලනිපයෙන් සිරිමා බණ්ඩාරනායක තරඟ කිරීමත් සමඟම ශ්‍රිලනිපය දේශදෝහී අන්තයට උපක්‍රමික අවශ්‍යතාවයන් අනුව ජවිපෙට තල්ලු කිරීමට සිදුවූයේද එම ඉන්දීය සාකච්ඡාවෙන් පසුවය.
ජවිපෙ ප්‍රධාන ලේකම්වූ උපතිස්ස ගමනායකගේ මවගේ සොහොයුරියගේ පුතා ප්ලොට් සංවිධානයේ සන්නද්ධ නායකයෙකුවූ එන්. මාණික්කතාසන් වන අතර ඉන්දීය සබඳකම් ඔස්සේ ජවිපෙ සන්නද්ධ කැරළිකරුවන් පිරිසකට කණ්ඩායම් වශයෙන් නැගෙනහිර පළාතේ ප්ලොට් අවි පුහුණු කඳවුරුවලදී ඉන්දීය අනුග්‍රහයෙන් පුහුණුව ලබාදෙන ලදී. එමෙන් බිම්බෝම්බ තාක්ෂණය සහ සීමිත අවි ආයුධ කිහිපයක්ද ප්ලොට් සංවිධානය වෙතින් ලබාගත්තේ එම මැදිහත්වීමෙනි. ජවිපෙ මගින් ක්‍රියාත්මක කල රණහඬ ගුවන්විදුලිය සඳහා තාක්ෂණික දායකත්වය හිමිවූයේද ඒ යටතේය. රණහඬ ගුවන්විදුලි සේවය 1988 සහ 1989දී සෙනසුරාදා සහ ඉරිදා උදේ 7 සිට ක්‍රියාත්මකවූ අතර සඳුදා හැර අනෙක් සතියේ දින 4 රාත්‍රී 7 සිට මෙගා හර්ට්ස් 4.432 කෙටි තරංග 01 ඔස්සේ විකාශනය විය. අතිශයින් ජනප්‍රිය රණහඬ සේවය ඔස්සේ රෝහණ විජේවීරද ජනතාව අමතා කථා කළේය.
ජවිපෙ විසින් මුල් කාලයේදී මාන්කුලමේ සිට මන්නාරම් පාරේ යනවිට හමුවන කුංජිකුලම් එල්.ටී.ටී.ඊ කඳවුරේදීද පුහුණුව ලබාගන්නා ලදී. එහි යුධ පුහුණුව ලැබූ 16 දෙනාගේ ජවිපෙ කණ්ඩායමට ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකුවූ ජැෆ්නා ජයා සහ අනුරාධපුර දිස්ත්‍රික් සන්නද්ධ නායකයෙකුවූ ෆොන්සේකාද ඇතුලත් විය. ඉන්දිය හමුදාවට එරෙහිව නැගෙනහිර ප්‍රහාරයන් නතර කිරීම සහ ඉන්දීය භාණ්ඩ වර්ජනය කිරීම කෙටි කලකින් නතර වූයේ එම ඉන්දීය අනුග්‍රාහකත්වය හේතුවෙනි. වසර 1989 මැදභාගය වනවිට ජවිපෙ පාලනය රෝහණ විජේවීර ගෙන් ගිලිහී තිබුණු අතර ඩී.එම් ආනන්ද ඉන්දියානු නිලධාරින් සමඟ ගනුදෙනු කළේ දේශපාලන මණ්ඩලයේ පූර්ණ අනුමැතියකින් තොරව බව කියති. මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානයේ කටයුතුවලට ඉන්දියාව මගින් සරසවි ආචාර්යවරියක් හරහා මුදල් පරිත්‍යාගයක්ද සිදුකර තිබිණි. එය සම්බන්ධීකරණය කරන ලද්දේ කැළණි සරසවි සිසු ගැමුණු යයස් සෙනෙවිරත්නය.
පල්ලකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරයේ සිටි පේරාදෙණිය ඉංජිනේරු සිසු ප්‍රේමකුමාර් ගුණරත්නම් ඇතුළු ජවිපෙ සාමාජිකයින් 221 දෙනෙකු ජවිපෙ මගින් 1988 දෙසැම්බර් 13 වැනිදා මැගසින් බන්ධනාගාරයට කඩාවැදි නිදහස්කර කරගනු ලැබීය. අනතුරුව 1989 පෙබරවාරි සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජවිපෙ සන්නද්ධ නායකයා ලෙස සිටියේ ප්‍රේමකුමාර්ය. ඉන්දීය හමුදාව සහ ඔවුන්ගේ ආයුධ පැහැර ගැනීම ඉලක්ක කරගෙන ප්‍රහාර කිහිපයක් ප්‍රේමකුමාර්ගේ මෙහෙයවීමෙන් සරත් කුලේගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක විය. නුවර ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ 93වැනි සැතපුම් කනුව අසළදී ඉන්දීය හමුදාව විනාශ කිරීම සඳහා බිම් බෝම්බයක් ඇටවීමටද ප්‍රේමකුමාර් ඇතුළු පිරිස සමත්වූහ. ඒ ඉන්දු ලංකා ගිවිසුමේ දෙවන සැමරුම පැවැත්වෙන 1989 ජුලි මසදීය. ත්‍රිමලේ ජැටියේද තවත් බෝම්බයක් සවි කරන ලදී. වසර 1989 ජුලි 25 වැනිදා මුල්ලිපතානයිදී බිම් බෝම්බයක් මගින් ඉන්දීය හමුදා ටක් රථයක් පුපුරුවා හැරීමෙන් ඉන්දීය සෙබළු 14ක් මරමුවට පත්විය. සියලු ආයුධ පැහැර ගැනීමට ඔවුහු සමත් විය.
ඉන්දීය රෝ නිලධාරින් එම ප්‍රහාරය ජවිපෙ කල බව දැනගත් වහාම එය නතර කරන ලෙසට ජවිපෙ ඉහළ නායකත්වයෙන් ඉල්ලා සිටි අතර ජවිපෙ එම ආයාචනයට අනුගත වෙමින් ඉන්දීය හමුදාවට එරෙහි නැගෙනහිර සියළු ප්‍රහාරයන් නතර කළේය. ඉන් පසු කිසිදිනක ඉන්දීය හමුදාවට එරෙහිව ජවිපෙ මගින් ශ්‍රී ලංකාව තුළ මෙහෙයුමක් සිදු නොකරන ලදී. ප්‍රේමකුමාර් 1989 සැප්තැම්බර් 24වැනිදා ශ්‍රී ලංකික හමුදා අත්අඩංගුවට පත් වන්නේ පාලම් පොට්ටවුර් හිදීය. එයට පෙර 1987 ඔක්තෝබර් 25වැනිදා ජවිපෙ මගින් මහනුවර පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
ජවිපෙ සහ ඉන්දීය රෝ ඔත්තු සේවය අතර සම්බන්ධකම් ඇති කිරීමට කිහිප දෙනෙක්ම මුල්විය. අන්තරේ කටයුතු සම්බන්ධයෙන් නිමල් බාලසූරිය ආරක්ෂක රාජ්‍ය ඇමති ලලිත් ඇතුලත්මුදලි සමඟ නිල නොවන ඇයි හොදැයියක් ගෙන ගිය අතර ඒ මගින්ද ඉන්දීය සම්බන්ධකම් ගොඩනැගිණි. ඩී.එම් ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර ප්‍රධාන සම්බන්ධකම ගොඩනගන ලද්‍දේ කීර්තිධර මාධ්‍යවේදී රිචඩ් සොයිසාගේ මැදිහත්වීමෙනි. ජවිපෙ සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දු ආරක්ෂක හමුදා මගින් 1989 දෙසැම්බර් 27 රාත්‍රී නාවල කොස්වත්තේදී අත්අඩංගුවට ගනු ලැබුවේද රිචඩ් ද සොයිසා විසින් සොයාදුන් කුලී නිවසක සිටින විටය. සෝමවංශ අමරසිංහට සහ ඔහුගේ දරුපවුලට කැළණිය ප්‍රදේශයෙන් රහසිගතව ජීවත්වීමට 1989 අවසාන භාගයේදී නිවසක් සොයා දුන්නේද රිචඩ් ද සොයිසාය. ජවිපෙ-රෝ කපුකම කල වරදට අවසානයේදී 1990 පෙබරවාරි 18වැනිදා අලුයම 3.30ට නාවල වැලිකඩ වත්තේ නිවසින් රිචඩ් ද සොයියා රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව මගින් පැහැරගත් අතර ඔහුගේ සිරුර 1990 පෙබරවාරි 19වැනිදා පස්වරු 4ට මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානය අසළ මුහුදු වෙරළින් මතුවිය.
ජවිපෙ දේශපාලන සභික සෝමවංශ අමරසිංහට ඉන්දියාවට යාමට වීසාද ඉන්දීය තානාපති කාර්යාලය මගින් 1989 දෙසැම්බර් මස ලබා දෙන ලදී. සෝමවංශ ඉන්දිය තානාපති කාර්යාලයට ඒ සඳහා ගියේ ඊශ්වර් බ්‍රදර්ස්හි තොග කලමණාකරුවෙකු වශයෙන් කලක් සේවය කල කොටහේන අල්විස් ඇවනිව්හි පදිංචි මාතලේ වික්‍රමසිංහම් නොහොත් සෙල්වා සමඟය. සෝමවංශ අමරසිංහ විසින් කුරුණෑගල ලිපිනයක පදිංචි මුදියන්සේලාගේ නිමල් බණ්ඩාර දිසානායක නමින් 1989 නොවැම්බර් 23 වැනිදා මෙම ගුවන් බලපත්‍රය සියළු රටවල්වලට වලංගු පරිදි ලබාගත්තේ හැදුනුම්පත් 470721049V මගිනි. එහෙත් ඉන්පසු ආරක්ෂිත පියවරයක් ලෙස ඉන්දියාවට බෝට්ටුවක් මගින් පලායන සෝමවංශට සෞදි අරාබියේ සේවය කරන ඉන්දියානුවෙකුගේ නිවසේ රැකවරණය දෙනුයේද ඉන්දියානු සහායෙනි. සෝමවංශගේ බිරිඳ සහ දරුවාද කලින් එහි ගොස් තිබිණි. ජවිපෙ දෙවනි කැරැල්ලේ පරාජයෙන් පසු 1989 දෙසැම්බර් සිට 1990 මාර්තු දක්වා ඉන්දියාවට ගිය ජවිපෙ ක්‍රියාකාරිකයින් 400කට ආසන්න පිරිසකට තාවකාලික දේශපාලන රැකවරණය ලබාදීමට මැදිහත්වූයේද ඉන්දියානු රෝ සංවිධානය වේ. එම ජවිපෙ ක්‍රියාකාරීන් පසුව යුරෝපයේ රටවල් වලට විවිධ මාර්ග වලින් සංක්‍රමණය විය. සෝමවංශ අමරසිංහට ඉන්දියාවේ සිට පසුව බ්‍රිතාන්‍යයට ආරක්ෂිතව යාමට පහසුකාරකයා වන්නේද ඉන්දියාවය.
අබ්දුල්ලා වෙනුවෙන් මාලදිවයිනේ බලය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ප්ලොට් සංවිධානය 1988 නොවැම්බර් 3 වැනිදා මාලදිවයිනට කල සංවිධානාත්මක ප්‍රහාරය සිදු කළේද රෝ සංවිධානයේ සැලසුමක් අනුවය. ඒ සඳහා ප්ලොට් සංවිධානයට ගෙවන ලද මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි හයහාමාරකි. එය පරාජය කිරීමට අවසානයේ හැකිවූයේ එයට පසුදින ඉන්දියානු ගුවන්යානා වලින් මාලදිවයිනට පැමිණි ඉන්දිය පැරෆුට් භටයින් 150කගේ කණ්ඩායමකටය. එම ප්ලොට් සාමාජිකයින් මාලදිවයින ආක්‍රමණය සඳහා පිටත්ව ගොස් තිබුණේ කල්පිටිය සහ මන්නාරම මුහුදු තීරය ඔස්සේ බහුදින යාත්‍රා මගිනි. එකල ප්ලොට් සංවිධානයේ කඳවුරක් පිහිටා තිබුණේ පුත්තලම මන්නාරම පරණ පාරේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මරිච්චිකට්ටියේය. එකල මාලදිවයිනේ සිටියේ 1,200ක පමණ වූ සිවිල් ආරක්ෂක බලකායේ පිරිසකි. දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියානු ‘රෝ’ භූමිකාව කොතරම් සංකීර්ණදැයි මින් පැහැදිලිය.
ජගත් දේශපාලනයේ ප්‍රතිවිරෝධයන්ට අනුරූපීව කලාපීය දේශපාලනය තුළ බලවේගයන්ගේ හැසිරීම සිදුවේ. කලාපීය බලවතා වශයෙන් ඉන්දියාවේ බලහත්කාරී දේශපාලන භූමිකාව තහවුරු කරන බොහෝ සාධක ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබද ඉන්දියාව සිදුකල මැදිහත්වීම් තුළ ඉතා පැහැදිලිව විද්‍යාමාන විය. ඒ පිළිබදව ජවිපෙ දේශපාලන දැක්ම මෙසේ 2වැනි කැරැල්ල අවසාන භාගයේදී සිදුවූයේ විෂයමූල අවශ්‍යතාවයක් වෙනුවෙන්දැයි හෝ ජවිපෙ පාලනය විජේවීර අතින් අවසාන භාගයේදී ගිලිහීම නිසාදැයි නිවැරදි තක්සේරුවකට පැමිණීමට නොහැකිවීම විවාදාත්මකය.
(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)
ධර්මන් වික්‍රමරත්න