Featured

උණුසුම් දේශපාලනයේ සීතල අත්

මහින්ද රාජපක්ෂගේ ශ‍්‍රිලනිප සභාපතිකම මෛත‍්‍රීපාල සිරිසේනට ලැබිණි. එක්කෝ ලබාගන්නා ලදී. ජනතාව ශබ්ද කලහ. මහින්ද සුළඟක් හඹා ගියේය. නාමයෝජනා ප‍්‍රශ්නය පැන නැගිණි. එම කඩුල්ලද පැන්නේය. එන්.ජී. ඕ පිකට් පමණක් නොව නාමයෝජනා දීමෙන් පසු විශේෂ ප‍්‍රකාශයක් මගින් බකට් එකක් වැටුනද එය සුළඟ හමන දිශාවට යෑමට පෙර වාෂ්ප විය. රටපුරා මහින්දගේ කටවුට් නැත. පොලිතින් නැත. ස්පීකර් නැත. පෝස්ටර් නැත. පත‍්‍රිකා නැත. පෙළපාලිද නැත. මෙතෙක් නිහඩව සිටි උගතුන් සහ බුද්ධිමතුන් මහින්ද සුළඟට එක්වී ඇත.

කලකදි වහලූ, කලකදි රහ වෙනවාලූ කියන්නාක් මෙන් අකුරැස්සේ මහින්දගේ අද මිරිකා ශාරිරික අඩත්තේට්ටමක් කල බීමත්ව සිටියේ යැයි කියන මිනිසෙකු ගැන ආණ්ඩු හිතවාදින්ට සත්ව කරුණාවක් පහළ වී ඇත. ඇමති ජෝසප් මයිකල් පෙරේරා පවසන පරිදි මහින්ද රාජපක්ෂ තමන්ගේ පාක්ෂිකයෙකුට පහරදීම තරයේම හෙළා දකිනවාලූ.

මින් ගම්‍ය වන්නේ හිටපු ජනාධිපතිට සළසා ඇති ආරක්ෂාවේ අඩුපාඩුය. තිස් වසරක යුද්ධය නිමාකර කොටි ත‍්‍රස්තවාදීන් මුළුමනින් පැරණි නිසා සෙසු හිටපු ජනාධිපතිවරුන්ට වඩා මහින්දට ඇති තර්ජනය වැඩිය. හිටපු ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි දෝෂාභියෝගයට අත්සන් කල නිසා ජනාධිපති පේ‍්‍රමදාස ඔහුගේ ආරක්ෂාව අඩු කළේය. ඇතුලත්මුදලිට තිබුණේ සාමාන්‍ය ආරක්ෂාවක් පමණි. ඒ අවසරයෙන් ද්‍රවිඩ කොටි ප‍්‍රයෝජනය ගත්තේය.

ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ සිටි ප‍්‍රබලම ඇමතිවරුන් තිදෙනාගෙන් අයෙකුවූ ලලිත් ඇතුලත්මුදලි 1993 අපේ‍්‍රල් 23 වැනිදා රාත‍්‍රී 8.10ට සාහසිකයෙකු විසින් එල්ල කරන ලද වෙඩි පහර 6ක් නිසා ජීවිතක්ෂයට පත්විය. එසේ වෙඩි තැබූ රඝුනාදන් ගේ මළ සිරැුර පසුව මුගලන් පාරෙන් සොයා ගත්තද එම කථාව ජනතාව පිළිගත්තේ නැත. සැබෑ අපරාධකාරයා වසන් කිරීමට රඝුනාදන් මරා සිරැර ප‍්‍රදර්ශණය කල බව ඔස්ටේ‍්‍රලියාවේ ෆන්ට් ලයින් සඟරාව 1993 ජුනි කලාපයෙන් හෙළි කර තිබිණි. ලලිත් ඇතුලත්මුදලි මිය ගියේ පළාත් සභා මැතිවරණයේ බස්නාහිර මහ ඇමති අපේක්ෂක වශයෙන් තර`ග කරමින් සිටියදීය.

එජාපයේ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක ජීවිතක්ෂයට පත්වූයේද 1994 ඔක්තෝබර් 24වැනිදා තොටලඟ පැවති එජාප ප‍්‍රචාරක රැස්වීමකදීය. ගාමිණී දිසානායක, එම්.ජී.පේ‍්‍රමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි යන ඇමතිවරුන්ද ඔසී අබේගුණසේකර, වෛද්‍ය ගාමිණී විජේසේකර සම`ග 61 දෙනෙකු එහිදී මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප‍්‍රහාරයක් නිසා ඝාතනයට ලක්විය.

චන්ද්‍රීකා කුමාරතුංග 1999 දෙසැම්බර් පැවති ජනාධිපතිවරණයේදි 1999 දෙසැම්බර් 18වැනිදා කොළඹ නගර සභා පිටියේ පැවති අවසන් ප‍්‍රචාරක රැුළියට එල්ල කල බෝම්බ ප‍්‍රහාරයකින් ඇයට ඇසක් අහිමි විය. එහිදී පුද්ගලයින් 16 දෙනෙක් මරුමුවට පත්වූහ. ඉන්දියාවේ අගමැති රජිව් ගාන්ධි තමිල්නාඩුවේදීද මරා දැමුවේ ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ත‍්‍රස්තවාදී බෝම්බකාරියක් විසින්ය.

ශ‍්‍රිලනිප ඇතුළත් සන්ධානය මත රොද බදින ඡුන්දදායකයින් මහින්ද රාජපක්ෂ කෙරෙහි වඩ වඩාත් පෙළ ගැසෙමින් පවතී. ඉකුත් ජනාධිපතිවරණයේ හංසයා ලබාගත් ඡුන්ද පදනම මේ වන විට දෙදරා ගොසිනි. මාළුන්ට ජලය නොමැතිව ජීවත්විය නොහැකි වන්නා සේම නව පාර්ලිමේන්තුවේ බහුතර බලය මහින්ද රාජපක්ෂගේ නායකත්වය ලබාගත් පසු ඒ සමඟ ගණුදෙනු කිරීමේ වගකීමෙන් මීදීමට කිසිවෙකුට කිසිසේත් නොහැකි වනු ඇත.

එජාපය ඉතිහාසයේ කිසිම වතාවක ජාතිකත්වයට නැඹුරු වූ අය නොවේ. අනුගතවූ පිරිසක්ද නොවේ. ශ‍්‍රිලනිපයේ නායිකාව ලෙස චන්ද්‍රීකා කුමාරතුංග පත්වූ පසු ඇය බලයට ගෙන ඒමට එක් රොක්වූයේ දෙමළ බෙදුම්වාදය නියෝජනය කල සිංහල පාර්ශවයයි. චන්ද්‍රීකා ආණ්ඩුව තවලම සහ සුදු නෙළුම වැනි රාජ්‍ය මුදල් වැයකල එන්.ජී. ඕ. ව්‍යාපෘති මගින් දෙමළ බෙදුම්වාදය සිංහල ජන මනසට කා වැද්දීමට කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ වර්තමානයේ කෙක්කෙන් හෝ කොක්කෙන් වර්තමානයේ පරාජය කිරීමට බර දරන්නේ එම කොටසමය. ඉන් ඇතැමුන් ජාතිකවාදීන් ලෙස පෙනී සිටීමට ඔවුන් තැත් කලද ඔවුන්ගේ අක් මුල් ඇත්තේ එජාපය සමඟය. කිසිදු හිරිකිතයකින් තොරව යහපාලන කඩතුරාවට මුවාවී එය සිදුකිරීම පුදුමයට කරුණක් නොවේ.

මහින්ද රාජපක්ෂ ඉදිරිපත්ව ඇත්තේ දිනූ දේශය රැුක ගැනීමටය. ඇද වැටුණු රට යළි ගොඩනැගීමටය. එබැවින් දෙමළ බෙදුම්වාදීන්ගේද මුස්ලීම් අන්තවාදීන්ගේද මකර කටවල් වලට ඔහුට මැදිවන්නට සිදුවී තිබේ. යුද්ධයේ විජයග‍්‍රහණයෙන් පසු රටේ වැඩිම සංවර්ධනයකට හිමිකම් පෑවේ උතුරු නැගෙනහිර පළාත්ය. ඉකුත් ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාව ද්‍රවිඩ සන්ධානය, මුස්ලීම් කොංග‍්‍රසයේද සහාය ලැබූ අපේක්ෂකයා වන මෛත‍්‍රීපාල සිරිසේනට උතුරු නැගෙනහිරින් වැඩි ඡන්ද මනාප 654,961ක් ලබාදී තිබිණි. ඒ අනුව මෛත‍්‍රීපාල සිරිසේනට දිස්ත‍්‍රික්ක වශයෙන් යාපනයෙන් 179,300ක්, වන්නියෙන් 107,040ක්, මඩකලපුවෙන් 167,791ක් දිගාමඩුල්ලෙන් 112,333ක් ත‍්‍රිකුණාමලයෙන් 88,227 වශයෙන් වැඩි ඡුන්ද ලැබී තිබිණි. මහින්ද රාජපක්ෂ පරදවා මෛත‍්‍රීපාල සිරිසේන ලබාගත් සමස්ථ ජයග‍්‍රහණය වැඩි ඡන්ද 449,072කි.

‘යහපාලන’ ආණ්ඩුව අසන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වසර 9ක් තුළ කුමක් කළේද යන්නයි. ප‍්‍රථම අවුරුදු 4 සිදුවූයේ එනම් 2005 සිට 2009 මැයි දක්වා කාලය වෙන්වූයේ වසර 30ක් තිස්සේ 60,000ක් බිලිගත් කුරිරු ත‍්‍රස්තවාදය නතර කිරීමටය. ඉන් පසු ඉතිරිවූයේ වසර 5කි. එය වෙන්වූයේ දශක 2ක් තිස්සේ මුළුමනින් වැනසී ගිය උතුරේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කොට සංවර්ධනය කිරීමටය. එමෙන්ම යුද්ධයෙන් අනාථ වූ දස දහස් සංඛ්‍යාතික පිරිස් පුනරුත්ථාපනයට මෙන්ම රටපුරා යෝධ සංවර්ධන වැඩ සැළසුම් දියත් කිරීමටය. එහි වැරදි අඩුපාඩු නොතිබුණා නොවේ. එහෙත් එය එජාපය රට පාලනය කල 1977 සිට 1994 දක්වා වසර 17ක පාලන කාලයට වඩා පියවර දස දහසක් ඉදිරියට ගිය යෝධ ගමනකි.

වර්තමානයේ තරඟ බිමට පිවිසි මහින්ද රාජපක්ෂට දැන් සුදුවෑන් තර්ජනයකි. මහින්ද පදිංචිව සිටින නුගේගොඩ මිරිහාන ප‍්‍රදේශයේ වෑන්රිය අත්අඩංගුවට ගෙන තිබේ. සුදු වෑන් රිය යුධ හමුදාවේ බවත් තිබුණේ හොර අංකයක් බවත් සාමාන්‍ය ඇදුමින් සැරසී පිස්තෝලයක් අතැතිව ගමන් ගත්තේ යුධ හමුදා සෙබලූන් තිදෙනෙකු බවත් හමුදා ප‍්‍රකාශකයාම කියා සිටී. මොවුන් සහ වාහනය ආරක්ෂක අමාතාංශයේ ජේෂ්ඨ නිලයක් දරණ මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වාට අයත්ය. මේවා සුළු කොට බැහැර කලහැකි කරුණු නොවේ.

ද්‍රවිඩ බෙදුම්වාදයට සහ ‘යහපාලන’ ආණ්ඩුවට හිතවත් පක්ෂ, කණ්ඩායම්, කල්ලි සහ පුද්ගලයින් කියා සිටින්නේ පැරණි දේශපාලනය තුළ හැදි වැඩුන දේශපාලඥයින් දැන් සිදුකල යුත්තේ දැන් දේශපාලන වේදිකාවෙන් බැස යා යුතු බවය. කොළඹ මහ නගර සභාවේ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් අවුරුදු 34දී පත්වූ ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපතිවරයා වූයේ වයස 72දීය. ජේ.ආර්. 1989 ජනාධිපති ධූරයෙන් විශ‍්‍රාම යන විට ඔහුට වයස 83කි. සිරිමා බණ්ඩාරනායක මැතිණිය වයස 84දී රෝද පුටුවෙන් ජීවිතයෙන් අවසන් ගමන් යන තෙක්ම හිටියේ අගමැතිනි තනතුරේය. දේශපාලනයට අවුරුදු 24දී පැමිණි රට බේරාගත් නායකයා වන මහින්ද රාජපක්ෂ අවුරුදු 69න් දේශපාලනයෙන් විශ‍්‍රාම යැවිය යුතු නැත. ඒ දිනූ දේශය රුකගැනිම සඳහා තව ටික කලක් සැබෑ නායකයෙකු රටට අවශ්‍ය බැවිනි. දේශපාලන ඉතිහාසයේ ඞී. එස්. සේනානායකට පසු මව්බිමට සිටි දැක්මක් සහිත හොදම නායකයෙකු වන්නේද මහින්ද රාජපක්ෂය.
එලැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මෙහෙයුම් නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය යනු තවත් එක් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් පරාජය කිරීම පමණක්ම නොවේ. එය මෙරට ජාතිකත්වයට එරෙහි බලවේග පරාජය කිරීමක්ද වන්නේය. බෙදුම්වාදී සංකල්පය අළුයට ගිනි පුපුරු එනකොට එන්නේ වට පිටාවම ගිනි තියාගෙනය. කොලයත් ගසත් ඔවුන් හොදට හදුනති.

කැෆේ සංවිධානය කියන පරිදි ජුලි 21වැනිදා වන විට මැතිවරණ නීති උල්ලංඝනය සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පැමිණිලි 372කි. මහජන දේපල සහ රාජ්‍ය සේවකයින් යොදා ගැනීම, පත්වීම් සහ ස්ථාන මාරු ලබාදීම පිළිබදව ලබාදී ඇති පැමිණිලි සංඛ්‍යාව 181කි. ජාතික මැතිවරණ නිරීක්ෂක මධ්‍යස්ථානය පවසන පරිදි ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 218කි. කලවාන පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු ජුලි 14වැනිදා රාත‍්‍රී බලහත්කාරයෙන් මුදාගෙන ගිය බවට චෝදනා ලත් රත්නපුර දිස්ත‍්‍රික් එජාප අපේක්ෂක සරච්චන්ද්‍ර රාමනායක රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් වරයා මුදා හැරියේය. කොළඹ එජාප අපේක්ෂක අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ විඩියෝ දර්ශන නීති විරෝධී ලෙස අවිස්සාවේල්ල නගරයේදී ජුලි 20 රාත‍්‍රී ප‍්‍රචාරය කරමින් සිටින විට අවිස්සාවේල්ල පොලිසිය මගින් සිව්දෙනෙකු වෑන් රථයත් සමඟ අත්අඩංගුවට ගත්තේය. ඇමති හැරිසන්ගේ රුවේ උඩු රැවුලක් ඇන්දැයි රාජාංගන යාය 10 විද්‍යාලයේ 7 වසරේ සිසුවෙකුට ජුලි 18වැනිදා පහර දුන් එජාප ආධාරකරුවෙකු තඹුත්තේගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ජුලි 21වැනිදා ඉදිරිපත් කරන ලදී. දසතින් ඇසෙන්නේ මෙවැනි මැතිවරණ පැමිණිලිය.

මැතිවරණය අගොස්තු 17වැනිදා පැවැත්වීම තීන්දුය. ජනතා තීන්දුවද ඒ වන තෙක් රහසිගතය. දැන් පැමිණ ඇත්තේ විගඩම් සමය වේ. ස්වකීය පක්ෂයේ ප‍්‍රතිපත්ති ජනතාව හමුවේ තබනවා වෙනුවට බොහෝ පක්ෂ කරනුයේ ප‍්‍රතිපක්ෂ වලට ප‍්‍රහාර එල්ල කිරීමය. අපහාස කිරීමය. ප‍්‍රතිපක්ෂ වල ඡුන්ද කැඩුවාට කමක් නැත. එහෙත් මං සුදනා න්‍යායෙන් එය කල යුතු නොවේ. එදාට වඩා මහින්ද රාජපක්ෂගේ දේශපාලන භූමිකාව රටට හෙට අතවශ්‍ය බව හොදින් පෙන්නුම් කළේ ‘යහපාලන’ ආණ්ඩුවේ මාස 7ක ක‍්‍රියා කලාපයෙනි.

ධර්මන් වික්‍රමරත්න

Top