Anonymous Reporter

එදා ඉන්දියාවේ නිජලිංගප්පා සහ මෙදා ශ්‍රි ලංකාවේ කුණු කූඩයට වැටෙන “නිර්ලිංගප්පා”

සිද්ධවනහල්ලි නිජලිංගප්පා නොහොත්  එස්. නිජලිංගප්පා යනු මුල් පරපුරේ ඉන්දියානු දේශපාලනඥයෙකි. කොන්ග්‍රස් පක්ෂය නියෝජනය කරමින් ඔහු දෙවරක් කර්ණාටක ප්‍රාන්තයේ මහ ඇමති ධූරය දැරීය. ඔහු ඉන්දියානු ලොක් සභාවද නියෝජනය කළ අතර 1968 වසරේදී සමස්ත ඉන්දියානු කොන්ග්‍රස් කමිටුවේ සභාපති ධූරයට පත්විය. වසර 1968 දී සහ 1969 දී පැවති කොන්ග්‍රස් වාර්ෂික සම්මේලනයන් දෙකම පැවැත්වුනේ ඔහුගේ සභාපතිත්වයෙනි.

නිජලිංගප්පා ශ්‍රී ලාංකිකයන්ට මුලින්ම හඳුන්වාදෙනුයේ ආර්. ප්‍රේමදාසය. හැත්තෑව දශකයේ මුල් භාගයේදී  ඩඩ්ලි සේනානායක පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට ජේ. ආර්. ජයවර්ධන විසින් කුමන්ත්‍රණයක් දියත් කළ අවස්ථාවේදී තමන්ගේ මතු ආරක්ෂාව සඳහා ප්‍රේමදාස පුරවැසි පෙරමුණ පිහිටුවාගෙන රට පුරා රැස්වීම් පැවැත්වීය. ප්‍රේමදාසද ඩඩ්ලි වාදියෙක් නොවේ. ඔහුටද අවශ්‍ය වූයේ එජාප නායකත්වයයි. ඔහු පුරවැසි පෙරමුණේ රැස්වීම් වලදී ජේ.ආර්. ජයවර්ධන හඳුන්වාදෙන ලද්දේ යූඇන්පියේ නිජලිංගප්පා ලෙසය. නිජලිංගප්පා  කළේද සභාපති පදවියට පැමිණ කොන්ග්‍රස් පක්ෂය තුළ තම බලය කුමන්ත්‍රණ මගින් තහවුරු කරගැනීමට උත්සාහ කිරීමයි. එහි ප්‍රතිපලයක් ලෙස 1969 දී කොන්ග්‍රස් පක්ෂය දෙකඩ විය. එක් කොටසකට ඉන්දිරා ගාන්ධි විසින් නායකත්වය දෙන ලද අතර බහුතර පක්ෂ සාමාජිකයන්ගේ සහ ජනතාවගේ සහය හිමිවූයේ ඉන්දිරාටය. අද දක්වාත් කොන්ග්‍රස් (අයි) පක්ෂය ලෙස බලවත් වනුයේ ඉන්දිරා විසින් නායකත්වය දුන් බහුතර කොටසය.

තම සියලු කුමන්ත්‍රණ අසාර්ථක වීමෙන් පසු නිජලිංගප්පාට සිදුවූයේ ගෞරවනීය නොවන ආකාරයෙන් දේශපාලනයෙන් සමුගැනීමටය. පක්ෂය හෝ රට තුළ ජනපදනමක් නැති ජනාධිපති සිරිසේන අද ශ්‍රීලනිපය සහ එජනිසය තුළ නිජලිංගප්පාට නොදෙවෙනි ආකාරයෙන් ක්‍රියාකරයි. ජනාධිපති සිරිසේනටද සිදුවනුයේ නිජලිංගප්පා ලෙසටම නුදුරු අනාගතයේදීම ඉතිහාසයේ කුණු කූඩයට වැටීමටය.එවිට ඔහු හැඳින්වෙනුයේ ශ්‍රී ලංකා දේශපාලනයේ  “නිර්ලිංගප්පා” ලෙසටය. මක්නිසාදයත් ජනාධිපති සිරිසේනගේ වර්තමාන දේශපාලන භාවිතය එම වචනය තුළින් සංකේතවත් කළ හැකි බැවිනි.

Top