ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සේවයට හානිකර අයවැය යෝජනා වලට එරෙහිව රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරින්ගේ වෘත්තීය සමිති 19කින් සමන්විත දීප ව්‍යාප්ත සේවාවල විධායක නිළධාරින්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් සාමාජිකයින් 35,000ක් දෙනා දෙසැම්බර් 3 සංකේත වැඩ වර්ජනයක් සිදු කළෝය. තවත් වාර්තාවක් තබමින් ඉතිහාසයේ ප්‍රථමවරට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයින් 2,323ක් අකුරට වැඩ ව්‍යාපාරයක්ද එදිනම පැවැත්විණි. දිවා විවේකයේදී පරිපාලන නිලධාරින්ගේ විරෝධතා ව්‍යාපාර අනුරාධපුර, රත්නපුර, බදුල්ල, ගාල්ල, මොණරාගල, ත්‍රිකුණාමලය ඇතුළු නගර රැසකම පැවැත්වූහ. අමාත්‍යාංශ රැසක් ඉදිරිපිටද පරිපාලන නිලධාරිහු උද්ඝෝෂණය කරනු දක්නට ලැබිණි. අනුරාධපුරයේ වීදි පෙලපාලියක්ද විය. රජය ඊයේ දහවල් ප්‍රකාශයට පත්කළේ වසර 10කට වතාවක් බැගින් තීරු බදු රහිත වාහන බලපත්‍ර දෙකක් උපරිම වශයෙන් පමණක් රජයේ විධායක නිළධාරින්ට ලබාදෙන බවය.
මේ අනුව වසර 30දී යමෙකු රාජ්‍ය විධායක නිලධාරියෙක්ව සිට වසර 60දී විශ්‍රාම යන විට හිමිවන්නේ තිරු බදු රහිත වාහන බලපත්‍ර දෙකකි. කලින් එවැනි වසර 30ක සේවයේ යෙදී සිටි රාජ්‍ය නිලධාරියෙකුට තීරු බදු රහිත වාහන බලපත්‍ර 6ක් හිමිවිය. රාජ්‍ය නිලධාරින් ගේ මෙම වර්තමාන අරගලය තීරු බදු රහිත වාහන පර්මිට් එකකට යැයි ලඝුකර කිසිවෙකු අවලාද නැගිය යුතු නොවේ. රාජ්‍ය නිලධාරින්ගේ වර්තමාන අරගලය අයවැය යෝජනා හරහා රාජ්‍ය සේවය විනාශ කිරීමේ ආණ්ඩුවේ උපාය මාර්ගික සැලසුමට එරෙහිව රාජ්‍ය සේවය සුරැකිනු සඳහාය. ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයින්ගේ අයිතීන් පමණක් නොව 2016 සිට රාජ්‍ය සේවයට ඇතුළු වන රාජ්‍ය සේවකයින්ගේ අයිතීන් කප්පාදුවටද එරෙහිවය. එමෙන්ම එය රාජ්‍ය සේවය දියකර හැරීමේ නව ලිබරල්වාදී වැඩපිළිවෙලට එරෙහි සටනකි.
මෙම විරෝධතාවය මෙහෙයවන දීපව්‍යාප්ත සේවාවල විධායක නිළධාරින්ගේ ඒකාබද්ධ කමිටුවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදක සේවා සංගමය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය, ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවා සංගමය ඇතුළු සංගම් 19ක් අයත් වේ. හුදකලාවේ සටන් කිරීමෙන් වැඩක් නොවන නිසා ඔවුහු එක්ව සටන් කරති. සතුරා පැහැදිලිය. අරගලයද පැහැදිලිය.
වෛද්‍යවරුන්ද ඒ අනුව දෙසැම්බර් 3 සංකේත වැඩවර්ජනයයට එක්විය. නිදහස් අධ්‍යාපනයෙන් උපන් වෛද්‍යවරුන් රටේ මුදල් කාබාසිනියා කරන පිරිසක් ලෙසට සෞඛ්‍ය සේවය සුරකීමේ ජාතික ව්‍යාපාරය ලෙසින් අමුතුම මාදිලියේ සංවිධානයක් හඬ නගති. ශ්‍රී ලංකාවේ බදු ගෙවන පුරවැසියෙකු වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ අධ්‍යාපනයකට වසරකට ගෙවන බදු මුදල ශත 2කි. එක් වෛද්‍යවරයෙක් බිහිකිරීමට එක් පුරවැසියෙකු වසර 6කට ගෙවන මුළු බදු මුදල ශත 12කි. වෛද්‍යවරුන් එදා අරගල කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව නිදහස් අධ්‍යාපනය සුරකීමටය. වෛද්‍යවරු මෙදා අරගල කරන්නේද කාර් පර්මිට් එකකට නොව රාජ්‍ය සේවය සුරකීමටය.
යෝජිත දායක විශ්‍රාම වැටුප 2001/2004 සමය පැවති රජය මගින් ඉදිරිපත් කලද බලවත් විරෝධය මත ඉන්පසු බලයට පත්වූ රජය මගින් අහෝසි කරන ලද්දකි. සහනදායි වාහන ආනයන බලපත්‍රය රජයේ විධායක නිලධාරින්ට සෑම වසර 5කට වරක් දෙනු ලබන්නකි. බුද්ධිගලනය නතර කිරීම සඳහා රාජ්‍ය සේවයට බුද්ධිමතුන් ආකර්ශනය කිරීම පිණිස සහන පොලියට වාහන සහ නිවාස ණය ලබාදීම ආදී වරප්‍රසාද රැසක් මෙයට කලින් ක්‍රමයෙන් අහිමි කරනු ලැබීය. උපාධිධාරින් වශයෙන් තරඟකාරි විභාගයට මුහුණ දෙමින් ඉන් සමත්ව රාජ්‍ය සේවයට ඇතුල්වන්නේ රුපියල් 25,000කට අඩු මූලික වැටුපකටය. පුරවැසියාගේ උපතේ සිට මරණය දක්වා සියළු සේවාවන් ඉටුකරනු ලබන්නේ ඔවුන් විසිනි. මෙවර අයවැය මගින් රාජ්‍ය සේවය උඩුකුරුඤ්ඤංය.
සත්‍ය වශයෙන්ම වාහන බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කරන්නේ රාජ්‍ය ආදායමේ ගැටළුවකට විසඳුමක් ලෙස නොවේ. මෙය ගෙවුම් ශේෂය හා බැදුනු ප්‍රශ්නයකි. එනම් මේ රට තුළින් පිටට ඇදීයන මුදල සහ පිටරටින් මෙරටට ඇදී එන මුදල අතර වෙනස වැඩිවීමේ ගැටලුවය. ප්‍රශ්නය වන්නේ පසුගිය රජයට මෙය ගැටළුවක් නොවූයේද යන්නයි. සැබවින්ම එවැනි අර්බුදයක් ඔවුනට නොතිබිණි. එකල රට තුළ විසල් ව්‍යාපෘති ක්‍රියාත්මක විය. එම ව්‍යාපෘති සඳහා ණය සහ ප්‍රාග්ධනය වශයෙන් විදෙස් මුදල් රට තුළට පැමිණියේය. එනිසා ගෙවුම් ශේෂය පාලනය කරගත හැකි මට්ටමක පැවතීය. වත්මන් රජය පත්වූ විගස හොරු අල්ලා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යාපෘති නතර කළේය. ආයෝජකයන් හා චීනය වැනි රාජ්‍යයන් අධෛර්යමත් කරමින් ඔවුන් මින් පිටමංවන තැනට කටයුතු කළේය. රටට විදේශ විනිමය ගෙනා ඇවන්ට්ගාඩ් වැනි ආයතන රණවිරුවන් හොරුන් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් බිලි දුන්නේය. ආර්ථිකය මතක් වූයේ අය වැය එන විටය.
ප්‍රකට දේශපාලන ක්‍රියාධරයෙකු වූ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග ඉකුත් නොවැම්බර් 27වන සිකුරාදා නව නගර ශාලාවේදී ඩී.ඒ. රාජපක‍්ෂ 48වැනි ගුණානුස්මරණ උත්සවයේදී ප්‍රධාන දේශනය පවත්වමින් කාල බෝම්බයක් අත හැරියේය. එහිදී 21වැනි සියවසේ ස්වාධීන රාජ්‍යයන්‍ගේ පැවැත්ම සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අභියෝග මැයින් පැවති දේශනයේදී ඔහු දුන් පණිවිඩය ඉතාම පැහැදිලිය. එදා හඬක් නොමැති ජනතාවට නායකත්වය දුන් අධිරාජ්‍යවාදී බටහිරට ගැති එජාපයට එරෙහිව ශ්‍රිලනිපය ගොඩනැගීමට සහායවූ ඩී.ඒ රාජපක්ෂයන්ට තිබූ එඩිතරභාවය ආදර්ශයට ගනිමින් රටේ හඬක් නැති ජනතාවට හඬක් වීමට ඔවුන් වෙනුවෙන් සටන් වැදීමට මවිබිමේ නාමයෙන් ශ්‍රිලනිපයේ සිටින එජාප විරෝධීන්ට ඔහු ආරාධනය කළේය.
ගෙවිදු කුමාරතුංග යනු මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පැරදුනු පසු හඬක් නැති මිනිසුන්ගේ හඬ සමාජගතකල පුරෝගාමියාය. දෙමළ බෙදුම්වාදීන්ගේ ග්‍රහණයෙන් කොළඹ සරසවිය 1987 මාර්තු 24 මුදාගත් සරසවි සිසු නායකයාය. ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු දේශනයේදී ඔහු ඉඟි කළේ එජාපයට සහ එජාප ගැති පිරිස් විසින් වර්තමානයේ ප්‍රාණඇපයට ගෙන සිටින ශ්‍රිලනිපයට විකල්පයක් ලෙස තෙවන බලවේගයක් ගොඩනැගෙනු ඇත යන්නය. ලබන වසරේ ජුලි මස පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී නව උපතකට විදුලන නැකත එලඹෙනු ඇතැයි සිතිය හැක.
කුමාරතුංග මුණිදාස සූරින් හීන් සැරය කථා පෙළ ප්‍රථමයෙන් ලීවේ 1935 ලක්මිණි පහන පුවත්පතටය. පසුව හීන් සැරය කථාව අතිශයින් ජනප්‍රියට පත්විය. ගෙවිදුගේ සීයාවූ කුමාරතුංගයෝ හීන් සැරය මගින් කියා සිටියේ කුඩා අය එක්වූ විට ශක්තිය විශාල බැවින් දැවැන්තයින් පැරදවීමේ ක්‍රම සහ විධිය. කැලේ විශාලතමයා අලියාය. ප්‍රබලයා කොටියාය. කපටියා නරියාය. අලියාගේ හොඬවැලේ රිංගා ගත් කටුස්සා අලි හෙම්බිරිස්සාවක් සාදමින් අලියා පැරදුවේය. කොටියා පසු බැස්සුවේය. නරියා ෂේප් න්‍යායේ තියරියට තල්ලු කළේය.
ගෙවිදු සිය දේශනයේදී වැඩිදුරටත් කියාසිටියේ ශ්‍රිලනිප වර්තමාන නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද දෙවනුව ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා සදාචාර විරෝධීවද පරාජය කරමින් එජාප අගමැතිවරයෙක් පත්කරගත් බවය. ඔහු සදහන් කල පරිදි දෙමල සන්ධානය නියෝජනය කරන විපක්ෂ නායකද ඔවුන් වෙනුවෙන් දරදිය ඇද්දෙකි. ජවිපෙ නියෝජනය කරන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද එම සියළු දේශපාලන උපාය උපක්‍රම වෙනුවෙන් පෙනී සිටි අයෙකි. මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුලට එරෙහිව යළි 56ක් බිහිවිය යුතු බව ගෙවිදු එහිදී අවධාරණය කළේය.
වෙනස මාරය. අයවැය දෙවනවර ඡන්ද විමසීමද හමාරය. පක්ෂව 159කි. විපක්ෂව 52කි. වැඩි ඡන්ද 107කින් අයවැය සම්මතය. තාන්න මාන්න වරදාන අබියසදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද දායකයින්ගේ ජනමතය හෑල්ලු නොකරමින් සභාග ආණ්ඩුවේ අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කල මන්ත්‍රීවරුන් 52න් 6 දෙනෙකු ජවිපෙය. ඉතිරි මන්ත්‍රීවරුන් 46දෙනා ඒකාබද්ධ විපක්ෂයේය. එම 46දෙනා ශ්‍රිලනිප(එජාප විරෝධී කණ්ඩායම), විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ, දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, වාසුගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය ඇතුළු සන්ධානයේ මන්ත්‍රීවරුන්ය.
විපක්ෂ නායක ධූරයද දරණ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉතිහාසයේ ප්‍රථම වරට අයවැයට පක්ෂව එජාප ආණ්ඩුව සමඟ එක්විය. බිංකුන්ඩෝ බොල තෝත් නටාපිය මාත් නටන්නන් කියා, ආණ්ඩුව සමඟ එකගෙයි කන මෙවැනි විපක්ෂ වාහෙලා ලෝකයේ මොනම රටකවත් සිටිනවාදැයි සැකයකි. ‘පොඩි මල්ලියි – චූටි මල්ලියි’ ලවා කථානායක පිළිගත් විපක්ෂයේ අයට වෙනස කොහොමද කියා මොවුන්ට ටියුෂන් පන්තියක්වත් දැමිය යුතුය.
මෙවර අයවැය කීමෙන් පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය බව තහවුරු වුයේ සන්ධානයේ විපක්ෂ මන්ත්‍රීවරුන් 54ක් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයයි. ඉන් 46 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ අයවැය කියවීමට එරෙහිව එළිපිටම ඡන්දය ප්‍රකාශ කලහ. කථානායක විසින් පිළිගත් විපක්ෂයට සිටිනුයේ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සහ ජවිපෙ 6 දෙනෙක්ද ඇතුලත්ව මන්ත්‍රීවරුන් 22ක් පමණි. කථානායකගේ විපක්ෂය මන්ත්‍රීවරුන් 22කගේ සුළුතර කණ්ඩායමක් බවද ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රීවරුන් 56ක් නියෝජනය කරන බව මේ අනුව සක්සුදක් සේ පැහැදිලි විය. යහපාලනය යනු මන්ත්‍රීවරුන් 22ක් සිටින සුළුතරය විපක්ෂයක් ලෙස පිළිගන්නා රටකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙයද? සන්ධානයේ ඡන්දයෙන් පත්වූයේ මන්ත්‍රීවරුන් 83 දෙනෙකි. එයට බාහිරව ජාතික ලැයිස්තුවෙන් 12කි. සන්ධානයේ ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 83 දෙනාගෙන් 21ක් එජාප රජයේ ඇමතිවරුන්ය. ඉතිරිවන්නේ ඡන්දයෙන් පත්වූ සන්ධාන මන්ත්‍රීවරුන් 62කි. ඉන් සන්ධාන මන්ත්‍රීවරුන් 54ක් පෙනී සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙනි.
මාතර දිස්ත්‍රික්කයේ සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ අභිමානය සුරකීමට මාතරින් පාර්ලිමේන්තුවට ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 5දෙනා වන ඩලස්, මහින්ද යාපා, ගජධීර, නිරෝෂණ සහ කාංචන එජාප ආණ්ඩුවට මුක්කු නොගසා එක රෑනක් සේ කටයුතු කිරීම මාතරට අභිමානයකි. අක්මීමන වෛද්‍ය රමේෂ් පතිරණ සිය පියාවන උග්‍ර එජාප විරෝධියෙකුවු රිචඩ් පතිරණ පියමං ඔස්සේම යෑම පුදුමයක් නොවේ. ගාල්ලේ මනූෂ නානායක්කාරට පාර්ලිමේන්තුවට එන්නට එදා නොහැකි වූයේ 1980 ජුලි වැඩවර්ජක නායකයින් පස්ස දොරෙන් යළි රැකියා ලබාගත් අන්දමට සර්පයෙකු කාලා දැයි සැකයකි. බෙන්තර-ඇල්පිටිය ගීතා කුමාරසිංහ නෝනාටනම් ඡන්දය දීමට නොපැමිණීම පිළිබදව සමාවදිය යුත්තේ අයවැයට එරෙහිව ඇය කථාකල නිසා නොව ගෙදර ගියොත් ‘අරයා’ නසී, මඟ හිටියොත් ඇය නසී න්‍යාය නිසාය. ආචාර්ය සරත් අමුණුගම කතන්තේ සංස්කෘතිය කීවේ මේවාටදැයි සැකයකි. ප්‍රේමලාල් ජයසේකරනම් තවමත් බන්ධනාගාරයේය.
බුද්ධික පතිරණනම් නාවේ ඇමතිකමක් නොලැබුණ නිසා නොව පොඩි කෙනිත්තිල්ලක් කිරීමටය. අතුරලියේ රතන හිමියෝ අයවැය කියවීමට පක්ෂව ඡන්දය දුන්නේනම් මාධ්‍යවල ප්‍රචාරයක් නොලැබෙන බව නොදන්නවා නොවේ. සිරිපාල ගම්ලත්ට උනේ උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දමන්නටත් බැරි වාගේ වැඩකි. කනක හේරත් සභාගැබේ සිටියානම් සබරගමු මහඇමති මහීපාල හේරත්ගේ ඇපත් නැතිවීමට ඉඩ තිබිණි. ජනක බණ්ඩාර තෙන්නකෝන් ආවානම් සිදුවන්නේ මහඋළුගෙදර තපින්නටය. රොහාන් රත්වත්තගේ නොපැමිණීම සිදුවන්නට ඇත්තේ සිය මලයාවූ මහේන්ද්‍ර, මහනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ සහ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ 19 වන බස්නායක නිළමේ ලෙස අභිනවයෙන් කලින් දවසේ තේරී පත්වීමේ සතුට වැඩිවීම නිසා විය හැකිය. නායකයෝ යනු උපාය උපක්‍රම අනුගමනය කරන්නෝය. මහින්දගේ නොපැමිණීම සලකා බැලිය යුත්තේ ඒ තියරිය අනුවය.
මහින්ද රාජපක්ෂගේ ආගමනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද විශාල සංඛ්‍යාවක් හිමිවීමෙන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 12ක් හිමිවිය. එය ශ්‍රිලනිප නායකත්වය පක්ෂ ව්‍යවස්ථාව කඩතුරාවක් කරගනිමින් කොල්ලකා ගත් අතර ඉන් පත්කල 12 දෙනාගෙන් 6 දෙනෙකු වූයේ සන්ධානයේ ඡන්දදායකයින් ප්‍රතික්ෂේප කර පරාජිත අපේක්ෂකයින්වූ එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජයමුණි, ලක්ෂ්මන් යාපා, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, තිලංග සුමතිපාලය. ජාතික ලැයිස්තුවේ අනෙක් මන්ත්‍රීවරුන් 6 දෙනා වූයේ සන්ධානයේ කිසිදු ඡන්ද පදනමකින් තොරව පත්වූ සරත් අමුණුගම, ඒ.එච්.එම්. ෆවුසි, ඩිලාන් පෙරේරා, ෆයිසර් මුස්තාෆා, මලිත් ජයතිලක සහ අංගජන් රාමනාදන්ය. සන්ධාන පාක්ෂිකයින්ගේ ඡන්දය නැතිවූවාට ඔවුන්ගෙන් සියයට 90ක්ම ඇමතිලාය. මෙම ජාති(ක) ලැයිස්තුවෙන් පත්වූ මෙම 12 දෙනා ශ්‍රිලනිප නායකයාගේ මතයට ගරු කරමින් එජාප ආණ්ඩුවේ අයවැයට පක්ෂ නොවූවහොත් දෙයියෝ සාක්කිය.
ශ්‍රී ලංකාව ඇතැම් වකවානුවල හැර අවුරුදු 67ක් එකම තැන පල්වූ රටකි. ඇල්පෙනිත්තද පිටරටින් ආනයනය කරන රටකි. ගැහැණු මැදපෙරදිග යවා විදේශ විනිමය ඉහළින්ම හම්බකලද ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටින රටකි. මහදවල් සරසවි සිසුවියන්‍ගේ ඔළුවට බැටන් පොල්ලෙන් හොදින් ‘සංග්‍රහකල’ පොලිසිය පසුව වැටුනු සිසුවිය උස්සන්නට එම ප්‍රයත්න දැරූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා අර්ථ නිරූපනය කරන රටකි. කේන්ද්‍රකාරයෝ සහ ෆෙංසුයිකාරයෝ පොරවල් වන රටකි. වැස්සට තෙමෙන නිසා යතුරු පැදිය විකුණා කාරයක් ගැනීමට ගිය ටොයි නංගියා කාරයේ බදු වැඩිකල විටද අයවැය වෙනුවෙන් පෙනී සිටි සිටින රටකි. අගනුවර පාර මැද්දේ අමුඩ යුද්දේ කරමින් ගොවියෝ වාර්ෂිකව පාරට බැස්සවූ විප්ලවවාදීහු පොහොර සහනාධාරයට කෙළවන විටද ඇවන්ගාඩ් ගැන වමාරමින් සිටින රටකි. ශ්‍රී ලංකික ගෘහ සේවිකාවක් අරාබියේදී ගල්ගසා මැරීමට සිටියදී ඒ වෙනුවෙන් හඬක් නොනඟන හැටහුට හමාරක් ස්ත්‍රී එන්.ජී.ඕ. සංවිධාන තිබෙන රටකි. ජාතික සමගිය සහ සංහිඳියාව ගැන පම්පෝරි ගැසුවද පාසැල් නිල ඇදුමට ජාතිවාදී පදනමක් මත වවුචර් දෙන රටකි.
තිබුණායැයි කියූ ලැම්බෝගිනි නැත. බකින්හැම් මාලිගයෙන් ගෙනාආ කියන රත්තරන් අශ්වයින්ද නැත. නාරහේන්පිට මැනින් මාර්කට් එකේ තිබූ ප්‍රයිවට් පේන් එකද නැත. ස්විස් හෝ ඩුබායි එකවුන්ට්ද නැත. ඩුබායි මැරියට් හෝටලයේ අයිතියද නැත. තජුදීන්ගේ ගොඩගත් මළසිරුරේ වාර්තාවට සිදුවූ දෙයක්ද නැත. කොටි නිදහස්වී ඇත. බුද්ධි අංශ හිරේ ඇත. සංවර්ධනය අඩාලවී ඇත. පාරිභෝගික ද්‍රව්‍ය සහ එළවළු මිල වැඩිවී ඇත. ශ්‍රී ලංකාව දැන් කොමඩිලන්තයක් බවට පත්වෙමින් ඇත. එදා තිරගත වූ ‘කොළඹ සන්නිය – කමින් ස්වීට්’ වෙනුවට ‘මහින්ද කොටියාට සල්ලි දීපු හැටි’ කියා රූපවාහිනී මාධ්‍ය සංදර්ශනයක්ද ඉදිරියේදී තිරගත වූවහොත් එහි පුදුමයක්ද නැත. ’වෙනස’ ලැබී ඇත. ‘යහපාලනයේ’ අසිරිය කියා වැඩක් නැත.
ධර්මන් වික‍්‍රමරත්න
(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)