Featured

කොරෝනා වසංගතයට එරෙහිව අධිකරණ තින්දුවක්! නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත යටතේ දින 14 ක් යන තුරු තම නිවෙස් වලින් ඉවත්ව නොයන ලෙසට ආඥාවක්!

Published on: Mar 20, 2020- පැතිරී යන කොරෝනා වසංගත (COVID-19 ) තත්වය හේතුකොටගෙන නිරෝධායන කටයුතු සඳහා සෞඛ්‍ය අමාතයාංශය මගින් ගතයුතු ස්වයං නිරෝධායන කටයුතු සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අද (20) දින හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාමන් ට්‍රොස්කි මහතා ඉදිරියේ  1952 අංක 12 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත යටතේ  කරුණු 08 කට අඹගමුව සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි ක්‍රිෂාණ ප්‍රේමසිරි මහතා විසින් නියෝගයක් ඉල්ලා සිටීමෙන් අනතුරුව එහිදී විනිසුරු වරයා විසින් එම නියෝගය හැටන් අධිකරණ බල ප්‍රදේශයේ පොලිස් ස්ථාන 08 ක් සඳහා   ලබා දී තිබුණි.

එම කරුණු 08 මෙසේය.

01. නිරෝධායනයට ලක්වන පුදගලයින්ට උක්ත ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ සාදන ලද නියෝග වල 63 සිට 71 දක්වා කියවෙන වගන්ති ප්‍රකාරව එකී පනතේ ලැබී ඇති බලය අනුව දින 14 ක් යන තුරු තම නිවෙස් වලින් ඉවත්ව නොයන ලෙසට ආඥාවක් නිකුත් කිරීම.

02. මෙම ප්‍රදේශයට විශාල වශයෙන් සංචාරකයින් සාමුහික වශයෙන් පැමිනෙන බස්රථ, වෑන් රථ ඇතුලු මගී ප්‍රවාහන සංචාරක වාහන ඇතුලුවීම නතර කිරිමට 1952 අංක 12 දරණ නිරෝධායන සහ රෝග වැළැතක්වීමේ ආඥා පනතේ 02 වන වගන්තිය යටතේ සාදන දල නියෝග වල 62 වන වගන්ති ප්‍රකාරව ආඥාවක් නිකුත් කිරීම.

03. සියළුම ජනතාව රැස්වන උත්සව, දේශපාලනික රැස්වීම් පැවැත්වීම නැවැත්වීමට කටයුතු කරන ලෙස නියෝග කරමි.

04. සියළුම සංචාරක හෝටලවල ඇතුලු වන දොරටුව අසල විශබීජ නාශක දියරයක් තැබීම හා එය එක් අයෙක් විසින් ඇතුලුවන සෑම සංදාරකයෙක් සඳහා සහ අන් අය දෙඅත් විශබීජ නාශනය කිරීම සහ එය නිරන්තරයෙන් සොයා බැලීමේ ක්‍රමවේදයක් තබා ඇත්දැයි සොයා බැලීම සඳහා නියෝග කරමි.

05. සියළුම පොදු වැසිකිළිවල ඇතුලුවන දොරටුවේ පුද්ගලයින්ගේ දෙඅත් විශබීජ නාශනය කිරීමඑව නිරන්තරයෙන් සොයා බැලීමේ ක්‍රම වේදයක් තබා ඇත්දැයි සොයා බැලිම සඳහා නියෝග කරමි.

06. සෑම මගී ප්‍රවාහන බස් රථ වලට ඇතුලු වන දොරටුව අසල විශබීජ නාශක දියරයක් තැබීම සහ එය කොන්දොස්තර විසින් ඇතුලුවන සෑම මගියෙකු සදහාම දෙඅත් විශබීජ නාශනය කිරිම සහ එය නිරන්තරයෙන් සොයා බැලීමේ ක්‍රම වේදයක් තබා ඇතුදැයි සොයා බැලීම සදහා නියෝග කරමි.

07. සෑම සුපිරි වෙළඳසලකම වෙළද බඩු දමා ගැනීමට භාවිතා කරන ට්‍රොලි රථය හා එහි ඇති කූඩය භාවිතයෙන් වළකින ලෙසට දැනුවත් කිරීම සහ එය අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමට මෙයින් නියෝග කරමි.

08. ඉහත සදහන් නියෝග වල පිටපතක් ඔබ විසින් ශබ්ද විකාශන  ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සහ මුද්‍රිත මාධ්‍ය මගින් මහජනතාව වෙත සන්නිවේදනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීමට හෙයින් නියෝග කරමි. ඉහත සියළුම නියෝගයන් ඉහත කී වසංගත තත්වය නොමැතිවන තුරු බලාත්මක කිරීම සඳහාත් කටයුතු කරන මෙන් නියෝග කර සිටිමි.

ඉහත සියළුම නියෝගයන් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්ති ප්‍රකාරව මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය නොවන අයුරින් මෙම නියෝග ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන ලෙසද ඉල්ලා ඇත.

හැටන් පොලිස් අධිකාරි කොට්ඨාශය යටතේ ඇති හැටන් මූලස්ථාන පොලීසිය ඇතුලු මස්කෙළිය, නෝර්වූඩ්, නල්ලතන්නිය, බගවන්තලාව, ගිනිගත්හේන, නෝටන්බ්‍රීජ්හා වටවල යන පොලිස්ථාන වල ස්ථානාධිපතිවරුන්ට මෙම අධිකරණ නියෝගය සම්බන්ධව දන්වා ඇති බව අඹගමුව සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි ක්‍රිෂාණ් ප්‍රේමසිරි මහතා පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ උපදෙස් මත අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාණ් ප්‍රේමසිරි හා නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා යන මහත්වරුන් විසින් මෙම නියෝග ඉල්ලීම අධිකරණය හමුවේ  ඉදිරිපත් කළහ.

(වාර්තාව  මස්කෙළිය- ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top