Featured

කොරෝනා වසංගතය තවත් පාස්කුවක් කර ගන්න එපා …තුනෙන් දෙකද, ජනතාවගේ ජීවිතය ද යන්න වහාම තීන්දු කරනු! මැතිවරණය කල් දමනු! ජන ජිවිත සුරකිනු!

Published on: Mar 17, 2020- තුනෙන් දෙකද, ජනතාවගේ ජීවිතය ද යන්න අද රට හමුවේ ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය බවත් උත්ගතව ඇති සියළු තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ සුදුසුම ස්ථානය පාර්ලිමේන්තුව බැවින් වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙස සමඟි ජන බලවේගය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් යලිත් ඉල්ලා සිටිනවා.සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානී හරින් ප‍්‍රනාන්දු මහතා මාධ්‍යයට නිකුත් කර තිබේන නිවේදනය පහත දැක්වේ.

කෙරෝනා තත්ත්වය වසංගතයක් බවට ව්‍යාප්ත වෙද්දී, තම ජයග‍්‍රහණය සහතික නිසා, මැතිවරණය පැවැත්වීම දිනකට හෝ වෙනස් නොකරන්නේ යයි වහසි බස් දෙඞීම තුළින් සහ කොරෝනා මර්ධනයට තුනෙන් දෙකක බලය අවශ්‍ය යයි ආන්ඩුවේ මැතිඇමැතිවරුන් කරනු ලබන ප‍්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ, කුමන මිලක් හෝ ගෙවා තුනෙන් දෙකේ ෆැන්ටසිය සැබෑ කර ගැනීමට දරන අමානුෂික ස්ථාවරයයි.

තුනෙන් දෙකද, ජනතාවගේ ජීවිතය ද යන්න අද රට හමුවේ ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයයි. මේ පිළිබඳව මැතිවරණ කොමිසම ට ජන ජීවිතය වෙනුවෙන්, වගකීමෙන් ඔබ්බට ගිය වගවීමක් තිබෙන බැව් අවධාරණය කරමු.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණය පනතේ 24.1.3 වගන්තිය යටතේ තමාට පැවරී ඇති බලතල, මේ මොහොතේ මැතිවරණ කොමිසම ක‍්‍රියාවට නැංවිය යුතුය. නාමයෝජනා බාර ගැනීමෙන් පසු ප‍්‍රමාණවත් කාලසීමාවකට මැතිවරණය කල් දැමීමට එමගින් කොමිසමට බලය පැවරේ.

ආණ්ඩුව දිනෙන් දිනම තම අසමත්කම් හා නොහැකියාවන්, ප‍්‍රදර්ශනය කරමින් සිටී. ජනතා අභිලාශයන් බිඳවැටෙමින් පවතින වාතාවරණය තුළ, ආන්ඩුවේ එකම අරමුණ කොරෝනා වසංගතයේ සැබෑ තත්ත්වය රටට අනාවරණය නොකොට මහා මැතිවරණය පැවැත්වීමයි.

මැතිවරණය තුළ සිය දේශපාලන ප‍්‍රචාරක වාසිය සඳහා කොරෝනා වසංගතය, පාස්කු ප‍්‍රහාරයේ දෙවන ව්‍යාපෘතිය බවට පත්කර ගැනීමට දරන ප‍්‍රයත්නය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

සියළු මාධ්‍ය පාහේ තම අණසක යටතේ රඳවා ගනිමින් විපක්ෂ සඳහා වූ, ප‍්‍රචාරක වැඩපිළිවෙළ වන රැස්වීම්, සම්මන්ත‍්‍රණ තහනම් කිරීමේ නියෝග පනවමින්, පවත්වන්නට සූදානම් වන මැතිවරණය තුළ දිස්වන්නේ, විපක්ෂය සඳහා වූ සමබිම නිර්මාණය වීමට පවා ඇති අවකාශය අහුරා දැමීමකි. මැතිවරණ ව්‍යාපාරය තුළ සියළු පක්ෂ වලට සාධාරණ ප‍්‍රචාරක අවස්ථාවන් සැලසීම, මැතිවරණ කොමිසමේ අවධානය යොමු විය යුතු කරුණකි.

උත්ගතව ඇති සියළු තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ සුදුසුම ස්ථානය පාර්ලිමේන්තුවයි.

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉල්ලීමට වහාම ප‍්‍රතිචාර දක්වන ලෙස අපි යළි යළිත් බල කරමු. එසේ නොකරන්නේ නම් එය ජනතාවගේ එය ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව යළි කැඳවීමට,ජනාධිපතිවරයාට ඇති බලතල වහාම ක‍්‍රියාවට නැංවීය යුතුය.

මේ පිළිබඳව මහා මැතිවරණයට තරග කරනු ලබන සියළු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල දැඩි අවධානය යොමු කළ යුතු බවට අපි අවධාරණය කරන්නෙමු. මේ තීරණාත්මක හෝරාවේ සියළු මතවාද පසෙක ලා ජනතාවගේ ජීවිතය නම් සාධකය සම`ග එකට පෙළගැසීම සියළු දෙනාටම ආරාධනා කරමු.

හරින් ප‍්‍රනාන්දු

සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානී

Top