Anonymous Reporter

ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය එන්ජීඕ තිප්පළක්‌

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා මෙරට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ සිදු කරමින් සිටියදී, ඉකුත් නොවැම්බර් 05 වැනිදා ඔහුව ඉවත් කළ පුවතක්‌ද ප්‍රචාරණය වන්නට විය .ඊට පසු දින (06) පුවත්පත් වාර්තා කර තිබුණේද වෛද්‍ය නිලංග සමරසිංහ ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි. වෛද්‍ය නිලංග වෙනුවට නව සභාපති ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වන එච්. එම්. සිරිසේන හේරත් මහතා පත්කර ඇති බවද එම පුවතේ සඳහන් විය .මේ සම්බන්ධයෙන් නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විඡේවීර මහතා මාධ්‍යට පවසා තිබුණේ ඇමැතිවරයාට පවරා ඇති බලතල අනුව හා ජනාධිපතිවරයාගේ එකඟතාව මත නව පත්කිරීම සිදුකර ඇති බවයි.

මේ ගැන වෛද්‍ය නිලංගටද දැනුම් දී තිබිණි. එසේ දැනුම් දී තිබුණේ නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන ද නොමැති ලිපියක්‌ මගින් වීමද විශේෂත්වයකි. එම ලිපිය මගින් වෛද්‍ය නිලංගට දැනුම් දී තිබුණේ, 1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල පනතේ පරිච්ඡේද අංක 03 මගින් ඇමැතිවරයා වෙත පවරා ඇති බලතල අනුව හා ජනාධිපතිවරයාගේ එකඟතාවෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස සිරිසේන හේරත් මහතා පත්කර ඇති බවයි. ඒ අනුව හේරත් මහතාද පැමිණ වැඩ භාර ගෙන තිබුණි. එදින වෛද්‍ය නිලංග ද රාජකාරියට වාර්තා කර තිබුණි. දෙදෙනාම මාධ්‍යයට කළ ප්‍රකාශයන් ද රටටම දැනගන්නට ලැබිණි. මේ අනුව සභාපති ධුරය සම්බන්ධයෙන් ඒ අවස්‌ථාවේ අර්බුදයක්‌ මතු වුවත් මේ වන විට එය විසඳී තවදුරටත් වෛද්‍ය නිලංග සමරසිංහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියි. එහෙත් ඔහුව ඉවත් කිරීමට ගත් උත්සාහය සුළුවෙන් තැකිය නොහැකිය. ඔහුව හදිසියේ ඉවත් කිරීමට උත්සහ කළේ ඇයි? ඒ සදහා තිබූ අවශ්‍යතාව කුමක්‌ද? මේ පිටුපස සිටින බලවේග මොනවාද? ඒ පිළිබඳව මේ ලිපියෙන් අපි සාකච්ජා කරමු .

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදෙන ලෙස රටේ ප්‍රබල හඬක්‌ ගෙන ගිය අයුරු ද අපට මතකය. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්‌ද රජයට යෝජනා කළ ඔහු මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා තවත් පලදායී වැඩ කටයුතු රැසකටම අත ගසා තිබුණි. එසේම ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්‌සේද නිර්භීතව අදහස්‌ ඉදිරිපත් කරමින් සිටියේය. ඒ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සැබෑ ලෙසම කටයුතු කරන බොහෝ දෙනෙක්‌ගේ ප්‍රසාදයද පළ වී තිබුණි. මේ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක්‌ නොව එම ජාවාරම්කරුවන්ගේ මුදල්වලින්ම යෑපෙන මත්ද්‍රව්‍ය නිවාරණයේ යෙදෙන ඇතැම් ආයතන සහ පුද්ගලයන්ද බලවත් ලෙස නොසන්සුන් වී සිටි බවද රහසක්‌ නොවේ. ඒ නිසා කිසිදු වරදක්‌ නොමැතිව එසේම හොඳින් වැඩ කරමින් සිටියදී ඔහුව ඉවත් කිරීමට ගත් උත්සාහය සහ ඒ පිටුපස සිටින බලවේග තේරුම් ගැනීම ද එතරම් අපහසු නොවේ.

වෛද්‍ය නිලංග සභාපතිවරයාව සිටි මාස 10 ක පමණ කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූවන්ට නාම යෝජනා ලබා නොදෙන ලෙස පක්‌ෂ ලේකම්වරුන්ට ඉල්ලීම් කිරීමෙන් පසු ඔහුගේ නිවස අසල නාඳුනන යතුරුපැදිකරුවකු දින කීපයක්‌ රැඳී සිටි බවටද ඔහු පොලිසියට පැමිණිලි කර තිබුණි.ඔහුව ඉවත් කරමින් නව සභාපතිවරයකු පත් කිරීමේ ලිපිය සම්බන්ධයෙන් ඒ අවස්‌ථාවේ වෛද්‍ය සමරසිංහ මාධ්‍යයට පවසා සිටියේ මෙවැනි අදහසකි .

එනම් වෛද්‍ය නිලංග සමරසිංහ කියා සිටියේ තමා තනතුරෙන් ඉවත් කිරීමට දූෂණයක්‌, අක්‍රමිකතාවක්‌ හෝ වෙනත් චෝදනාවක්‌ එල්ල වී තිබුණේ නම් තමා ඉවත් කිරීම පිළිබඳව සිතා බැලිය හැකි බවත් එවැනි කිසිදු චෝදනාවක්‌ නොමැති තමා ඉවත් කිරීම සිතා ගැනීමට නොහැකි බවත්ය. එසේම නව සභාපතිවරයකු පත් කළ බවට යෑවූ ලිපියේ කිසියම් ව්‍යාජ බවක්‌ ද තිබිණි. එනම් එහි දාතම ලෙස සඳහන් වුයේ 2015.11.15 දිනයයි. එහෙත් එම දිනය ඒ වන විට උදා වී තිබුණේද නැත. දුම්වැටි කර්මාන්තය ලෝකයේ ප්‍රබලතම කර්මාන්තයකි. එසේම වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන්නේද ඉතා ධනවත් සහ බලවත් පුද්ගලයන්ය. ඔවුන්ගේ වැඩකටයුතුවලට වෛද්‍ය නිලංග විසින් දියත් කළ සහ ඉදිරියට දියත් කිරීමට සැලසුම් කළ වැඩසටහන් බාධාවක්‌ වෙමින් තිබුණු නිසා කෙසේ හෝ ඔහුව ඉවත් කිරීම ඇතැම් අයගේ අවශ්‍යතාව වී තිබෙන බව පෙනේ. මේ ජාවාරම් කරුවන්ට රජයේ ඉහළම දේශපාලන සම්බන්ධතා ද තිබේ. මේ පසුබිම තුළ ඔබව ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද යන ප්‍රශ්නය අපි වෛද්‍ය නිලංග සමරසිංහට කෙළින්ම ඉදිරිපත් කළෙමු. මේ ඊට ඔහු ලබා දුන් පිළිතුරයි.

“දකුණු ආසියාවේ රටවල් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස්‌ ජාවාරම, මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරීම, ජෛව ජාවාරම ඇතුළු කරුණු රැසක්‌ සම්බන්ධයෙන් දකුණු ආසියානු බුද්ධි තොරතුරු ඒකකය පිහිටුවීමට අප කටයුතු කරමින් සිටින නිසා එය වැළැක්‌වීමේ අරමුණින් මාව ඉවත් කිරීමට උත්සාහ කළේ ද යන සැකයත් තිබෙනවා. මෙම තොරතුරු ඒකකය 2016 මාර්තු 01 වැනිදා ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීමට ඒ වන විට එකඟතාව පළවී තිබුණා.”

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසින් තෝරාගත් පාසල් 30 ක පමණ සිසුන් සහභාගි කරවාගෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදුකරමින් ඒවා ඡායාරූපගත කර විදෙස්‌ රටවලට යවා මුදල් ලබා ගැනීම හැරෙන්නට වෙනත් කිසිදු නිවාරණයක්‌ සිදුකර නැහැ. මේ වන විට අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාව මගින් පාසල් 400 කට වැඩි ගණනක දරුවන් දැනුවත් කිරීමේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදුකර තිබෙනවා. ඒ නිසා ඇතැම් සංවිධාන මත්ද්‍රව්‍ය නිවාරණය මුවාවෙන් කරන බොරුව හෙළිදරව් වෙනවා. ඒ තුළින් ඇතැම් අයට ලැබෙන ඩොලර් අඩු වෙන්නත් ඇති. එසේම අපේ වැඩකටයුතු නිසා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, එතනෝල් ව්‍යාපාරිකයන්, අරක්‌කු නිෂ්පාදකයන් සහ දුම්කොළ කර්මාන්තයේ අය පසුගිය කාලයේ අපේ තරහකාරයෝ වෙලා. ඒ අයට මාව ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවක්‌ ඇති.”

පසුගිය නොවැම්බර් 11 වැනිදා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ‘දිවයින’ ට පවසා තිබුණේ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය එන්ජීඕ තිප්පළක්‌ බවට පත්ව ඇති බවය. මෙය ඉතා බරපතළ ප්‍රකාශයකි. එම පුවතේ මෙසේද සඳහන් විය. එනම් ‘ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පිහිටුවා රුපියල් ලක්‌ෂ තිහක්‌ පමණ වියදම් කර ගාල්ල සහ ජාඇල ප්‍රදේශවල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පවත්වනු ලැබූවත් ඉන් නිසි ප්‍රයෝජනයක්‌ අත්වූවාදැයි සොයා බැලීමට නිලධාරීන් කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කොපමණ උත්සාහ කළ ද මෙතෙක්‌ ඊට අවස්‌ථාව ලැබුණේ නෑ. මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්වූවා. දැන් මාස කිහිපයක්‌ ගත වුවත් මෙතෙක්‌ කිසිම සාකච්ඡාවක්‌ පැවැත්වූයේ නෑ’ යනුවෙනි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත දිවයිනට ලියු ලිපියකි

Top