Featured

ජාතික ලැයිස්‌තු පිනා චාන්ස්‌ ලක්‌ෂ්මන් යාපාට සාක්ෂී සහිත අල්ලස්‌ චොදනාවක්

පසුගිය මහින්ද රාජපක්‌ෂ රජය සමයේ සිදු වූ වංචා, දූෂණ සහ හොරකම් සොයන්නට වත්මන් යහපාලන රජයට ලොකු උනන්දුවක්‌ තිබේ. ඇත්ත වශයෙන්ම වැරදි සිදුව ඇත්නම් කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක වීම ගැන කාටවත් ප්‍රශ්නයක්‌ නැත. එහෙත් මහින්ද රාජපක්‌ෂ රජය යටතේ සිදු වුවත්, මේ යහපාලන රජයට එක වී සිටින අය සහ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවන බවටත් යහපාලන රජයට විරුද්ධ අයට නීතිය අකුරට, ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක කරන බවටත් වත්මන් රජයට චෝදනාවක්‌ තිබේ. ඒ නිසා මේ රජයේ හොරු ඇල්ලීම තනිකර දේශපාලන ව්‍යාපෘතියක්‌ද යන ප්‍රශ්නය බොහෝ දෙනෙකුට මතුව තිබෙන්නකි. එහෙත් එය එසේ සිදු විය යුතු නැත.

අප මේ කියන්නට යන්නේ පසුගිය මහින්ද රාජපක්‌ෂ රජයේ ඇමැතිකම්, සියලු වරප්‍රසාද ලබා සිටි, දැන් යහපාලනයට එක්‌ වී සිටින ඇමැතිවරයෙක්‌ ගැනය. ජනතාව නම් මෙවර ඔහුව පාර්ලිමේන්තු එව්වේ නැත. ජාතික ලැයිස්‌තු පිනා චාන්ස්‌ එකෙන් පාර්ලිමේන්තුවට පැමිණ රාජ්‍ය ඇමැති වාසනාවක්‌ද උදා කරගෙන සිටින මේ ඇමැතිවරයාට මේ වන විට අල්ලස්‌ චෝදනාවක්‌ ඉදිරිපත්ව තිබේ. මේ රජයේ යහපාලන පිරුවටයට මුවා වී සිටින්නට මේ ඇමැතිවරයාට ඉඩ නොදී මේ චෝදනාව ගැන වහාම පරීක්‌ෂණයක්‌ කොට නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ. චෝදනා ඕනෑම කෙනෙකුට ඉදිරිපත් කළ හැකි බව ඇත්තය. එහෙත් මේ ගැන පරීක්‌ෂණයක්‌ කළ යුතුව තිබේ. එවිට එහි ඇත්ත නැත්ත හෙළි වන අතරම, චෝදනා බොරු නම්, එම චූදිතයාට තම නාමය පිරිසිදු කර ගැනීමටද හැකියාව ලැබේ. මේ කියන්නට යන්නේ පසුගිය රජය සමයේ ඇමැතිවරයෙක්‌ තමන්ගෙන් අල්ලස්‌ ගත් බවට එක්‌තරා සමාගමක අධ්‍යක්‌ෂකවරයෙකු කරන චෝදනාවක්‌ ගැනය. එය ලිතව රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකුට, එම ආයතනය භාර ඇමැතිවරයාට ද පිටපත් සහිතව යොමු කර ඇති නිසා මෙය සුළුවෙන් තකන්නටද පුළුවන්කමක්‌ නැත. යහපාලන රජයේ හොඳ නම මෙන්ම අදාළ ඇමැතිවරයාගේ නාමයටද මේ සිද්ධිය කැළලක්‌ විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් රජය පියවරක්‌ ගත යුතු බව අපේ හැඟීමය.

ස්‌ටර්ලින් ගෲප් ලංකා පුද්ගලික සමාගම නම් ආයෝජන මණ්‌ඩල සමාගමකට අදාළ ගෙවීමක්‌ ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයෙන් නිදහස්‌ කිරීම සදහා ආයෝජන මණ්‌ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල්වරයෙකු සහ ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා එවකට ආයෝජන විෂය භාර ඇමැතිවරයා ලෙස සිටියදී රු. මිලියනයක (රු. 1,000,000) අල්ලස්‌ මුදලක්‌ ඉල්ලා එය ලබා ගත් බවට චෝදනා කරමින් අදාළ සමාගමේ අධ්‍යක්‌ෂවරයෙක්‌ වන දිල්ෂාන් ප්‍රනාන්දු මේ වන විට ආයෝජන මණ්‌ඩලය වෙත ලිපියකින් දැනුම් දී ඇතැයි ආයෝජන මණ්‌ඩල ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. ඔහු ඒ බව දැනුම් දී ඇත්තේ වත්මන් ආයෝජන මණ්‌ඩල සභාපති උපුල් ජයසූරිය මහතාට ලිපියක්‌ යවමිණි.

එම ලිපියට අනුව එම සමාගම වසා දැමීමේදී එම සමාගමට ආයෝජන මණ්‌ඩලයෙන් අයවිය යුතු යයි කියන රු. මිලියන 23.07 ක මුදලක්‌ නිදහස්‌ කර දීම සඳහා ආයෝජන මණ්‌ඩලයෙන් කළ ඉල්ලීමකට අනුව ඔහුව අමාත්‍යවරයාගේ කාර්යාලයට කැඳ වූ අවස්‌ථාවේ (2013. නොවැම්බර් 27 දින) තම මුදල් නිදහස්‌ කර දීම සඳහා මෙම රු. මිලියනයක මුදල ඉල්ලා සිටි බවත්, ඒ අනුව ශල්‍යකර්මයක්‌ සදහා මුදල් අවශ්‍යව සිටි බැවින් වෙනත් විකල්පයක්‌ නොවූ නිසා එදිනම ස්‌ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ 009797 අංකය දරණ චෙක්‌පතින් එම මුදල ලබා දුන් බවත් එම ලිපියේ සඳහන්ය. එම රු. මිලියනයක මුදල ලබා දීමෙන් පසුවද එකඟ වූ පරිදි එම දිනයේ තමාට මුදල් ලබා නොදුන් බවත්, පසුව 2014.01.08 දින ආයෝජන මණ්‌ඩලය රු. 4,790,615.72 ක මුදලක්‌ ලබා දුන් බවත් දිල්ෂාන් ප්‍රනාන්දු මහතා තම ලිපියේ සඳහන් කර අත.

දිල්ෂාන් ප්‍රනාන්දු මහතා ලබා දුන්නේ යයි කියන රු. මිලියනයක මුදල් චෙක්‌පත නුගවෙල, ගල්ලංගෙවත්ත, රත්නතිලක නිවසේ පදිංචි අංක 741382687ඪ දරණ ජාතික හැඳුනුම්පත් අංකය හිමි පී. එම්. ෙ-. බී. රත්නායක නමැත්තෙකු විසින් එම ගිණුම පැවති රාජගිරියේ පිහිටි ස්‌ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකු ශාඛාවෙන් මුදල් ලබා ගෙන තිබෙන බව මේ වන විට ආයෝජන මණ්‌ඩලය විසින් තහවුරු කරගෙන තිබෙන බවත් පැවසේ. මේ පුද්ගලයා ආයෝජන මණ්‌ඩල සේවකයෙකු වන අතර එවකට ලක්‌ෂ්මන් යාපා ඇමැතිවරයා ළඟ සේවය කළ බවත් ආයෝජන මණ්‌ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. මේ සේවකයාගෙන් අදාළ චෙක්‌පත මාරු කිරීම ගැන ප්‍රශ්න කළ විට, තමා චෙක්‌පත් බොහෝ මාරු කර ඇති නිසා මේ චෙක්‌පත ගැන විශේෂයෙන් මතකයක්‌ නැති බව පවසා ඇතැයිද දැනගන්නට ඇත. මේ සිද්ධිය ගැන විමසූ විට පසුගිය සති අන්ත පුවත්පතකට ඇමැති ලක්‌ෂ්මන් යාපා පවසා තිබෙන්නේ තමා එවැනි චෙක්‌පතක්‌ කිසිවෙකුට නොදුන් බවත් රත්නායක නමැත්තෙකු නොහඳුනන බවත්ය. එහෙත් ආයෝජන මණ්‌ඩල ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ මේ රත්නායක නමැත්තා 2013 වසරේදී ආයෝජන මණ්‌ඩලයේ සිට ලක්‌ෂ්මන් යාපා අමාත්‍යවරයාගේ කාර්යාලයට අනුයුක්‌ත කර සිටි බවයි. කවරක්‌ නමුත් මෙහි ඇත්ත නැත්ත ඉදිරියේදී හෙළි වනු ඇත.

අදාළ සමාගමේ අධ්‍යක්‌ෂවරයා ආයෝජන මණ්‌ඩල සභාපතිවරයාට යවන ලද එම ලිපියේ තවත් අල්ලස්‌ ඉල්ලීමක්‌ ගැනද සඳහන්ව ඇත. එනම් රු. මිලියනයක මුදල ලබා දීමෙන් පසු 2014.01.08 දින රු. 4,790,615.72 ක මුදලක්‌ ගෙවීමෙන් පසු තවදුරටත් ඔහුට ලැබිය යුතු යයි කියන රු. 18,285,580 ක ඉතුරු මුදල ලබා දීම සදහා තවත් රු.මිලියන පහක (රු. 5,000,000) අල්ලසක්‌ද තමන්ගෙන් ඉල්ලා සිටි බවයි. එම අල්ලස ඉල්ලුවේ කවුදැයි එම ලිපියේ සඳහන්ව නැත. එහෙත් තමා එම අල්ලස්‌ මුදල ලබා දීම ප්‍රතික්‌ෂේප කළ බවත් ඒ අනුව ආයෝජන මණ්‌ඩලයේ රඳවා සිටින ඉතුරු රු. 18,285,580 ක මුදල තමා වෙත නිදහස්‌ කරන ලෙසත් ඔහු ඉල්ලීමක්‌ කර ඇත. දැන් මේ ඉල්ලීම සම්බන්ධයෙන් ආයෝජන මණ්‌ඩලය කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත. එහෙත් මෙහිදී කම්කරු කොමසාරිස්‌ ජනරාල්වරයා 2012 වසරේ ජුලි මාසයේදී ස්‌ටර්ලින් ගෲප් ලංකා පුද්ගලික සමාගමට එහි සේවකයන් 278 දෙනෙකු වෙනුවෙන් වන්දි වශයෙන් රු. 18,285,800 ක්‌ ගෙවන ලෙස කර ඇති නියෝගයක්‌ සහ ඒ සම්බන්ධයෙන් අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක්‌ද පවතින බව පෙනී ගොස්‌ ඇත. එසේම අදාළ රු. මිලියනයක අල්ලස්‌ මුදල ලබා දීමෙන් පසු ගෙවන ලද රු. 4,790,615.72 ක මුදල ගෙවා ඇත්තේ අදාළ සමාගමට නොව එම අධ්‍යක්‌ෂකවරයාට බවත් එය නිසි පරිදි සිදු කළ ගෙවීමක්‌ නොවන බවත් දැන් ආයෝජන මණ්‌ඩලයේ අවධානයට ලක්‌ව ඇත. කෙසේ වෙතත් දිල්ෂාන් ප්‍රනාන්දු මහතා සිය ලිපියේ සඳහන් කර ඇති පරිදි අල්ලස්‌ මුදලක්‌ ලබා දුන් නිසා, ආයෝජන මණ්‌ඩලයෙන් අදාළ මුදල සමාගමට නොමැතිව එම අධ්‍යක්‌ෂකවරයාටම ගෙවන්නට කටයුතු සම්පාදනය කර දී ඇති බවටද සැක පහළ වී ඇත.

මෙහිදී බරපතලම කාරණය වන්නේ අල්ලස්‌ චෝදනාවයි. මේ අල්ලස්‌ චෝදනාව ආයෝජන මණ්‌ඩල සභාපතිවරයාට යවන ලද ලිපියක ලිතව සඳහන් වේ. මේ කියන ලිපිය 2015. 04.23 දින ආයෝජන මණ්‌ඩල සභාපතිවරයාගේ කාර්යාලයට ලැබී තිබෙන බව එහි සඳහන් රබර් මුද්‍රවකින් තහවුරු වේ. එසේම මෙම ලිපිය යවා ඇත්තේ ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාටද පිටපත් සහිතවය. ආයෝජන මණ්‌ඩල සභාපති උපුල් ජයසූරිය මහතා නීතිඥයකුද වන බැවින් ඔහුට මේ චෝදනාව ගැන නීත්‍යනුකුලව කටයුතු කරනු ඇතැයි අපට සිතිය හැකිය. මේ රජය යටතේ නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක වන්නේ නම් අද ලක්‌ෂ්මන් යාපා ඇමැතිවරයා යහපාලන රජයේ මුදල් රාජ්‍ය ඇමැතිවරයා වුවත් මේ ගැන අනිවාර්යෙන්ම පරීක්‌ෂණයක්‌ සිදු කළ යුතු වේ. එනම් මේ ලිපිය අල්ලස්‌ කොමිසමට භාර දිය යුතු බවයි. ඒ අනුව අල්ලස්‌ කොමිසමටද දැන් මේ ගැන පරීක්‌ෂණයක්‌ කළ හැකිය. අනිත් අතට අදාළ අල්ලස්‌ මුදල ලබා දුන්නේ යයි කියන චෙක්‌පත මාරු කර ඇත්තේද ආයෝජන මණ්‌ඩල සේවකයෙකි. සිය අත්සන. ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය යොදා චෙක්‌පත මාරු කරගෙන ඇති බැවින් මේ ගැන ඔහුගෙන්ද විමසා ඇත්ත දැන ගත හැකිය. දැන් මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්‌ඩල සභාපතිවරයා, ඇමැති කබීර් හෂීම් මහතා සහ දැන මේ අල්ලස්‌ චෝදනාව මාධ්‍ය හරහාද ප්‍රසිද්ධියට පත්ව ඇති බැවින් අල්ලස්‌ කොමිසම කවරාකාරයෙන් ක්‍රියා කරන්නේ දැයි රටවැසියා සමග අපි බලා සිටිමු. මේ කාරණය සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් ඇතැයි වගකීමක්‌ ඇති අපි සිතමු. මේ අල්ලස්‌ චෝදනාව එල්ල වී ඇති ඇමැතිවරයා පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ අයෙකි. ඒ පරාජිතයා ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට පත් කොට ඇමැති ධුරයක්‌ දුන්නේ ජනාධිපතිවරයාය. එනිසා යහපාලන රජයේ ඇමැතිවරුන්ටත් අල්ලස්‌ චෝදනා එල්ල වන්නේ නම් එය ජනාධිපතිවරයාගේ මෙන්ම යහපාලන රජයේ හොඳ නමටද කැළලකි. ඒ නිසා යහපාලන රජයට එරෙහි අයට නීතිය අකුරට ක්‍රියාත්මක කරන ආකාරයටම මේ අල්ලස්‌ චෝදනාව ගැන පරීක්‌ෂණයක්‌ කොට නීතිය ක්‍රියාත්මක කළ යුතු වේ. එම චෝදනාව බොරුවක්‌ නම් තම නම පිරිසිදු කර ගැනීමට අදාළ ඇමැතිවරයාට හැකි වන අතරම, එය රජයේ යහපාලනයට ද හොඳය.

විශේෂ ලියුම්කරුවකු විසිනි

Top