Political

ධම්මික, මජර දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියේ ම දිඟුවක්!

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කිරීම මෙම මජර දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියේ ම දිඟුවක් බව Black Cap Movement සංවිධානයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත පවසයි.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ “ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුළු මේ මජර රාජපක්ෂ දේශපාලන කාට්ටලය ආරක්ෂා කිරීමේ නවතම මුහුණ වෙලා තියෙන්නේ කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා බවයි.

ධම්මික පෙරේරා කියන්නේ පවතින මජර ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියේ ම දිගුවක්

“අපිට මතකයි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2015 පරාජයට පත් වෙන්න එක් හේතුවක් වුණු රතුපස්වල මිලේච්ඡ වෙඩි තැබීම. මේ වෙඩි තැබීමට හේතුවුණු රතුපස්වල ජලය විෂ කරපු කර්මාන්ත ශාලාවේ හිමිකරු ධම්මික පෙරේරාට අයත් සමාගමක්. අපි දැක්කා ඒ වෙලාවේ මේ පාලකයෝ හිටගත්තේ ජනතාව වෙනුවෙන් ද ධම්මිකලා වෙනුවෙන් ද කියලා.”

“එහි දිගුවක් ම තමයි මේ. දැන් ධම්මිකලා මේ රාජපක්ෂ දේශපාලනය ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියනවා.මේ දූෂිත වලල්ල එක පැත්තකින් මේ රාජපක්ෂ දේශපාලනය පෝෂණය කරනවා. අනිත් පැත්තෙන් මේ බදු වංචා වලට සම්බන්ධ රාජපක්ෂලාගේ කළු සල්ලි ආරක්ෂා කරන ව්‍යාපාරිකයෝ පෝෂණය කරනවා. මේකේ කූටප්‍රාප්තිය තමයි මේ ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු ආගමනය.”

“අපි කියන්න කැමතියි දියසේන කුමාරයා වගේ රනිල්ලා, ධම්මිකලා ඇවිත් මේ රටේ ජනතාව බේර ගන්නේ නෑ. මේක කරන්න පුළුවන් අපි අපිටමයි. මේ ජයග්‍රහණ ලබා දෙනකම් ගෝල්ෆේස් එක දිහා බලාගෙන ඉන්න එපා. ඔබේ ලඟම මංසන්ධියට එකතු වෙන්න. නැවතත් ජනතා බලය පෙන්වමු. අපේ සටන අපි ජය ගමු.”


Top