විශේෂාංග

නරියන්ට කුකුළන් බාරදීම

මෙතෙක් අප රටේ‍ බිහිවූ බිහිසුණුම පාලනය වත්මන් රඡය බව මානව හිමිකම් ක්‍රියාකාරී හා නීතීඥ වරයෙකු වන කල්ය්‍යානන්ද තිරාණගම මහතා ‘බිල්ලෝ ඇවිත්’සoවාදයේදී පවසා තිබිණ.

මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් දා සිටම රටේ ආණ්ඞුක්‍රම ව්‍යවස්ථාව දිගින් දිගටම බරපතල ලෙස උල්ලoඝනය කිරීම, පාර්ලිමේන්තු බලය උදුරා ගනිමින් මහජන නියෝජනය නිහඬ කිරීම සහ විරුද්ධවාදීන්  නිහඬකිරීමේ අරමුණෙන් නීතිය දේශපාලන පලිගැනීම් සඳහා යොදවා ගැනීම උදාහරණ වසයෙන් පෙන්වා දෙමින් තිරාණගම මහතා පෙන්වා සිටියේ මේ රජය 2020 තෙක් පැවතුන හොත් රට මුලුමනින්ම විජාතිකරණය වී කැබලිවලට බෙදීගොස් අනන්‍යතාවයද නැතිකරමින් ඉන්දියාවේ ඊලඟ ප්‍රාන්තය වනු නියත බවය.

ආණ්ඞුක්‍රම ව්‍යවස්ථාව උල්ලoඝනය කිරීම, පාර්ලිමේන්තු බලය උදුරා ගැනීම, මහජන නියෝජනය නිහඬ කිරීම,  දේශපාලන පලිගැනීම්, විජාතිකරණය,  අධිරාඡ්‍ය ගැතිවීම එක්සත් ජාතික පක්ෂය  (එ.ජා.ප) පාලනයන් යටතේ අලුත් දෙයක් නොවේ.

1948 -1956 කාලය තුල රට පාලනය කල එ.ජා.පය සුද්දන් අනුගමනය කරමින් පූර්ණ බටහිර ගැති පාලනයක් ගෙන ගියේය.  එකදහස් නවසිය හතලිස් අටේ අප සීමිත නිදහසක් බ්‍රිතාන්‍යයෙන් ලැබුවද, පනස්හය තෙක් රට පාලනයකළ එ.ජා.ප ය  රටතුල දේශපාලන, ආර්ථික හෝ සමාජමය   සැලකියයුතු වෙනසක් කිරීමට අපොහොසත් විය. රජයේ භෂාව ඉංග්‍රීසි විය. ඉංග්‍රීසි උගතාට,  කලිසමට, ඉංග්‍රීසි ඉගැන්වෙන කතෝලික- ක්‍රිස්තියානි පාසැල්වලට තිබූ තැන  එදා  සිංහල උගතාට, සිංහල ගුරුවරයාට, සිංහල වෙද මහතාට, බොදු දහම සහ සිංහල බස ඉගැන්වෙන මූලික ස්ථානයක් වූ  පිරිවෙණට, ගමේ ගොඩේ සිංහල බෞද්ධ  පාසැලට, ජාතික ඇඳුමට (රෙද්දට-බැනියමට)  තිබුණේ නැත. ඔවුනට ලැබුනේ කුඩම්මාගේ සැලකිලිය. නිදහස ලැබුවද ත්‍රිකුණාමල නාවික සහ කටුනායක ගුවන් තොටුපොළවල්  බ්‍රිතාන්‍ය හමුදාව සතුවිය. අධිරාඡ්‍යවාදීන් සතුටු කිරීම සඳහා  සෝවියට් රුසියාව  චීනය සමග තානාපති සබඳතාවයන්  පැවැත්වුයේ නැත. එකදහස් නවසිය පනස් දශකයේ මුල්භාගයේ ශ්‍රී ලංකාවට පමණක් දැකගතහකිවූ පුර්ණ  සූර්ය්‍යග්‍රහණය  නිරීක්ෂණය කිරීමටවත් රුසියානුවන්ට පැමිණීමට ඉඩනොදෙන ලදී.  එවකට  වෙළඳ ඇමති ආර්. ජි . සේනානායක මහතා චීනයට ගොස් සහල් ලබාගැනීම සඳහා ගිවිසුමක් අත්සන්කලද ඊට එහා සබඳතා පැවැත්වීමට  එජාප රජය මැළිවිය. එතරමටම පාලකයින්  අධිරාඡ්‍ය ගැත්තෝවුහ. එජාප යේ ජේ. ආර්. ජයවර්දන (ජේ. ආර්) හදුන්වනු ලැබූයේ ‘යැoකි ඩිකී’ නම්වූ විරුදා වලියකිනි.

සහල් සේරුව දිගටම සත විසිපහට දෙන බවට මැතිවරණයේදී පොරුන්දු වී  1952 දී බලයට පත්වූ විගස එජාප රජය සහල් මිල තෙගුණයකින්  ඉහල දැමීමට එරෙහිව පාරට බැසි ජනතාවට වෙඩිතබා ඝාතනය කල සැටිත්, 1965 දී පෙඩරල් පක්ෂය සමග හොර ගිවිසුම් ගසා බලයට පත්වූ විගස එම ගිවුසුම් අනුව කටයුතු කිරීමට යෑමේදී ඊට විරෝදය පෑ පිරිසටද වෙඩිතබා දඹරාවේ රත්නසිරි හිමි ඝාතනය කල සැටිත් අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.

1977 දී ධාර්මිෂ්ට සමාජයක් පොරොන්දුවී බලයට පත්වූ දිනයට පසුදා සිටම  මැතවරණ ප්‍රචණ්ඩත්වයෙන් සිදුකල ජීවිත හා දේපල හානිය, එජාපයේම ඇතැම් නායකයින්ගේ අනුදැනුම මත සිදුකල සුප්‍රකට’1983 කළු ජූලිය’ මගින් වූ ජීවිත හා දේපල හානිය, ඊට පසු බෙදුම් වාදීන් ඇරඹි ත්‍රස්තවාදයෙන් සිදුවූ දස දහස් ගණන් ජීවිත හා දේපල හානිය අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.

එජාපයේම වැරදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් බිහිවූ රජීව්-ජේ.ආර් ගිවුසුම හා එයට විරුද්දවූවන් මර්ධනය කිරීමෙන් ඇරඹි භීෂනය හා එයින් සිදුවූ දස දහස් ගනන් ජීවිත හා දේපල හානිය අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.

1977  දී ජේ.ආර් රජය පිහිටූ විගසම තම පාක්ෂික මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත, එහෙත් අත්සන සහිත, ලිපි ලබාගෙන පාර්ලිමේන්තු බලය උදුරා ගනිමින් මහජන නියෝජනය නිහඬ කල ආකාරයත්, එමගන් තමනට රිසි පරිදි ආණ්ඞුක්‍රම ව්‍යවස්ථාව, එහි සංශෝධන (13 ඇතුලුව) හා අණපනත් සම්මතකරගත් ආකාරයත් අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.

1978 ආණ්ඞුක්‍රම ව්‍යවස්ථාව සහ ඒ සමගම ඇතිකල මනාප මැතිවරණ ක්‍රියාවලියේ එක් අරමුණක් වූයේ එමගින්, ආසන මට්ටමින් නොවූවද,  තනි පක්ෂයක්  ලෙස එතෙක් මැතිවරණ වලදී ඉදිරියෙන් සිට ඇති එ.ජා.පය සදාකල් බලයට ගෙන ආ හැකිය යන්නය.  එහෙත් ඒ මැතිවරණ සිතිම තාවකාලිකව පසෙකලා 1982 දී ඊනියා ජනමත විචාරණයක් මගින් 1977 ආසන මට්ටමින් ලැබූ 4/5 පාර්ලිමේන්තු බලය තම පාලන කාලය තුල තබා ගනිමින් බලය අත්තනෝමතික ලෙස පාවිච්චිකල අයුරු අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.

1977-1993  කාලයතුල මේරටේ විරුද්ධ අදහස් ප්‍රකාශ කරන්නන්ට ‘බයිසිකල් චේන්’ වලින් පහර දුන්සැටිත්, මහාචාර්ය්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි අයට පවා කාණු වල දමා පහරදුන් සැටිත්, අධිකරණ තීන්දු ස්වාධීනවූ විටෙක ශ්‍රේෂ්ඨාධිකරණයේ  විනුසුරුවන්ට, රාජ්‍ය අනුග්‍රහය යටතේ, අවමන් කල අයුරුත් අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.

1815 දී සුද්දන්ගේ බසට රැවටී තාන්න මාන්න බලාපොරොත්තුවෙන් රට ජාතිය හා ආගම ගිවිසුමකින් විදේශිකයිනට පවරාදුන් එදා සිoහලේ පාලකයින් සිදුකළ මහාපාවාදීම සිහි කරමින් ඉන් වසර දෙසීයකට පසු අද ද තාන්න මාන්න, සැප සම්පත් හා  සුඛ විහරණ වලට දේශපාලකයින් ඇතුලු විවිද වග කියයුතු නායක කාරකාදීන් ජනමතය පාගා දමද්දී රට තුල   දියත් වන්නේ විදේශීය බලවතුන්ගේ  න්‍යාය  පත්‍රයයි. අද අපේ පාලකයෝ එම න්‍යාය පත්‍රයට සියලු පහසු කම් සැළසීමේ දේශීය භූමිකාවට පන දෙති.

ජිනීවාහීදී අපට එරෙහිව ගෙන ආ යෝජනාවන්ට අප රජයම පාර්ශව කරුවෙකු වීමට තරම් නිවට දීන තත්වයකට රට දැන් පත්කර අවසන්ය. අපේ පාලකයින්ම අපේ රට සිoහල බෞද්ධ නොවන බවත්, සිoහල බෞද්ධ ආධිපත්‍යය නැතිකරන බවත් පුන  පුනා පවසති.

ජිනීවා යෝජනාවල නිර්දේශ පිළිගැනීම මගින් ජාත්‍යන්තරයේ මැදිහත්වීමට, ඊනියා සිවිල් සමාජය හ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් කිරීමට, ජාත්‍යන්තර විනිශ්චයකරුවන් නීතිඥයන් හා වෙනත් අය සහභාගි වන අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවීමට, රණවිරුවන් නීති විරෝධී අධිකරණයට ගෙන ගොස් වරදකරුවන්ට දඬුවම් දීමට, සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීම මගින් ඕනෑම අයකුට බොරු සාක්‍ෂි දීමට, හමුදා කඳවුරු වසා ඉඩම් ආපසු ලබා දීමට, මහජන ආරක්‍ෂක පණත සංශෝධනය කිරීමට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත මුළුමනින් ම ඉවත්කිරීමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට, පළාත්සභා සියළු බලතල සහිතව ක්‍රියාත්මක කිරීමෙන් ඉඩම් හා පොලිස් බලතල පළාත්සභා වලට පැවරීමට හා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම දිගින් දිගට ම ලංකාව සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවට වත්මන්  පාලනය එකඟ වෙයි.

එදා අනගාරික ධර්මපාල තුමා පැවසූ පරිදිම අදත් සිoහලයා පක්ෂ පාට වලට, කුල මල වලට, උඩ රට, පහත රට වශයෙන් බෙදීයද්දී බෙදුම්වාදී මතයෙන් පෝෂණය වූවෝ එකට  එක්ව ත්‍රස්තචාදීන් පිලිගැනීමටත්  මෙලේච්ඡ එල්.ටී.ටී. මිනිස්  ඝාතකයන් ගෙන් රට මුදවා ගෙන රටට සාමය උදාකල රණ විරුවන් හා සේනාධිපතීන් ගෙන් පලිගැනීමටත් අප රට බෙදා වෙන් කිරීමටත් පිඹුරුපත් සකසමින් සිටී.

ඉහත සඳහන් ජිනීවා යෝජනාවන්ට එකඟ වීමෙන් ඉතා පැහැදිලිව අප රටේ ස්වෛරීභාවය නැතිකර ඇත. අපේ බොහෝ දෙනෙකු, ඈත ඉතිහාසය පමණක් නොව, ඉතා මෑත ඉතිහාසය පවා නොදැනීමත්, දැන සිටියත් ඉතා කෙටි කලක් තුලදී අවසනාවන්ත ලෙස අමතක කිරීමත් නිසා අද අපේ රටත් ජාතියත් නරියන්ට බාරදුන් කුකුළන්ට වූ ඉරණමට මුහුණපා සිටිමු.

එබැවින් එම යෝජනා පරාජය නොකල හොත් මේ ගෙවෙන්නේ අභිමානවත් රටේත්, ජාතියේත් හෙල බෞද්ධ උරුමයේ අවසන් හෝරාව බැව් අමුතුවෙන් කිවයුතු නොවේ.

එස්. අකුරුගොඩ

 

Top