ලෝකයා

නලින්ද ජයතිස්සගේ ලිංගය අල්ලමුද…?

පහත සඳහන් අපගේ පෙරවදනින් පසු ඔබට කියවන්නට ලැබෙන්නේ නවීන සමාජවාදියෙකුගේ නිර්භය ප‍්‍රකාශයකි. එම ප‍්‍රකාශය අප උපුටා ගන්නේ 2015 දෙසැම්බර් 15 දින ඩේලි නිවුස් පුවත්පතේ පල වූ සම්මුඛ සාකච්ඡාවකිනි. අදාල ප‍්‍රකාශය සඳහා මුඛය විවර කල අප කතා නායකයා වන්නේ නලින්ද ජයතිස්ස නමැති ජ.වි.පෙ. වෛද්‍ය සහෝදරයා ය. පුංචි හෝ පෙරවදනක් නොමැතිව එම ප‍්‍රකාශය මෙහි පල කිරීමේ තේරුමක් නොමැත්තේ ඊනියා කලා-සංස්කෘතික ප‍්‍රගතිශීලීන් හා ඊනියා ලිබරල් සිවිල් සමාජ බුද්ධිමතුන් පිරිසක් (නලින්ද ජයතිස්සවත් පෙරටු කරගෙන) ජ.වි.පෙ. සමග මෑත කරමින් සිටින ගනුදෙනු හරහා නව ලිබරල් සිංහල-බෞද්ධ ජාතිකවාදී සංස්කෘතික දෘෂ්ටිවාදය ප‍්‍රතිනිෂ්පාදනය වීමත්, සංස්කෘතික දේශපාලනයේ විමුක්ති විභවතා මුලුමනින්ම රැඩිකල් හරණය හා නිර්දේශපාලනික කිරීමත් ඉතාම සූක්‍ෂමව සිදුවෙමින් ඇති හෙයිණි. අපට අනුව නලින්ද ජයතිස්සගේ යට කී ප‍්‍රකාශය හරියටම ගැට ගැසෙන්නේ ජ.වි.පෙ. සමග මෑත දීග කෑ පෙර කී ලිබරල් සිවිල් සමාජය හා නව ලිබරල් කලා සංස්කෘතික ඒජන්සියේ පෙකිණි වැලටය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු එළඹි අවධිය තුල ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ලිංගය ප්‍රාණවත් කිරීම සඳහා හදිසි පෝලිමක් පෙළ ගැසුණි. නිරීක්ෂණයන්ට අනුව එය වනාහි අවිචාර සමයක මතුවූ තවත් අවිචාර ප්‍රවණතාවයක ගොනුවීමකි. නිර්මාල් රන්ජිත් දේවසිරි, හරිනි අමරසුරිය, දිලීප විතාරණ ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ශක්තිමත් විපක්ෂයක් සැදීමේ බැනර් සියොළඟ දවටාගෙන ඊට දායක විය. කුඹුක් ගැටෙන් උපන් අලුත් පරපුරේ කුමර කුමරියන් කිහිප දෙනෙක් අලුත් විපක්ෂයක් සැදීමේ ශෝකාන්ත නාට්‍යය රඟ දක්වමින් ඊට සහාය විය. නව ලිබරල් ධනවාදය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට වුව ඉදිරිපත් වන මිල්ටන් ෆීඩ්මන් ගේ අලුත්ම ගෝලයා වන චින්තන ධර්මදාස මහතා (සිය cult බ්ලොග් අඩවිය තුල හේ මා උපුටමින් ප්‍රකාශ කරමින් සිටියේ ජ.වි.පෙ. තුළ මෑත ඇති වූ වෙනස් කම් ගැන විදර්ශන වැනි වම්මුන්ට අමතක වී ඇති බවයි) ඇතුළු ෆාස්ට් ෆුඩ් සිතන්නන් සමහරක් ද, ජවිපෙ හරහා ගම් පළාත් වල සංස්කෘතික විප්ලවයක් කල හැකි බවට සපථ කල ප්‍රියන්ත කළුආරච්චි මහතා වැනි තරුණ පරපුරේ සිනමා-කලා ශිල්පීන් පිරිසක් ද ඇතුළු අප මිතුරු සමාජ-සිවිල් ක්‍රියාකාරීන් හා කථිකාචාර්ය මහත්ම මහත්මීන් කණ්ඩායමක් ද තරගයට මෙන් ජ.වි.පෙ. වෙනුවෙන් පෙරමුණට පැමිණියහ. මේ මොහොත වන විටත් ඉන් බොහොමයක් දෙනා ජ.වි.පෙ. තරුණ හා ශිෂ්‍ය කණ්ඩායම් සමග එක්ව විවිධ සමාජ ක්‍රියාකාරකම් වල නිරතවෙමින් සිටිති. ඒ බොහෝ අයගේ තරුණ විප්ලවවාදී සටන්කරුවා වී ඇත්තේ නලින්ද ජයතිස්ස මහතාය. ඔහු සමග වැඩ-කිඩ සංවිධානය කිරීමට ලැබීම ගැන ආඩම්බර වන මිතුරන් ද තැන තැන අපට මුණ ගැසෙමින් තිබේ.

අපට අනුව ජයතිස්සගේ ප්‍රකාශය විසින් ගම්‍ය කෙරෙන්නේ ජ.වි.පෙ. සමාජ සංවිධානයේ මර්ධිත ප්‍රමෝද අක්ෂයයි. ජයතිස්සගේ පහත තිසීසය ජ.වි.පෙ. නිල මතය නොවන බව කීමට ඉදිරිපත් වන හිත හොඳ චන්ඩියෙක් ඉහත පිරිවර අතර ඉඳීද? නොඑසේනම් ජ.වි.පෙ.ම ඉදිරිපත් වී ඊට වෙනස් මතයක් සිය පක්ෂයට ඇත්දැයි කියනු ඇත්ද?

මෙන්න නලින්ද ජයතිස්සගේ ඒ උතුම් දේව වාක්‍යය.

‘‘මම මුළුමනින්ම ස්ත‍්‍රී-පුරුෂ සමලිංගික, දෙමුහුන් ලිංගික හා පාර ලිංගික (LGBT) අයිතීන්ට විරුද්ධයි. මෙය මනුෂ්‍ය පැවැත්මට අවශ්‍ය නැහැ. අපට අනාගත පරපුරක් අවශ්‍ය යි. විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව මෙවැනි හැඟීම් ඇති වන්නේ ආතතීන්ගේ ප‍්‍රතිඵලයක් ලෙයසි. මිනිසුන් ආතතිගත අවධීන් හෝ එවැනි පරිසරයක් තුළ කාලයක් ජීවත් වූ විට මෙවැනි අස්වාභාවික හැඟීම් ඇති වෙනවා. මෙවැනි චර්යාවන් අප වනාන්තර වල ජීවත් වූ අවධියේ දැක ගන්නට ලැබුනේ නැහැ. කෙසේ වුවත් ඔවුන්ව සිරගත කල විට මෙවැනි චර්යාවන් දක්නට ලැබෙනවා. මම විශ්වාස කරන්නේ පිරිමින් හා ගැහැණුන් අතර විවාහය පමණයි. සමලිංගික විවාහ අස්වාභාවිකයි. එය මානව වර්ගයාගේ පරිණාමයට විරුද්ධයි.” – නලින්ද ජයතිස්ස –

– විදර්ශන කන්නන්ගර –

Top