Anonymous Reporter

නීතිපතිවරයා පත්කරන්න ඇමති පොරයක්! මෙන්න යහපාලනය

මීළඟ නීතිපතිවරයා ලෙස තමන්ට හිතවත් පුද්ගලයකු පත්කර ගැනීම සඳහා ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරු තිදෙනකු සටනට බැස ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට වැඩබලන නීතිපති ධුරය හොබවන සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා නීතිපතිවරයා ලෙස පත්කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයෙක්‌ ඉදිරිපත්ව සිටී.

සුහද ගම්ලත් මහතාට වඩා කනිෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර ජනරාල්වරයකු නීතිපතිවරයා ලෙස පත්කිරීම සඳහා එජාපය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයකු සහ එජනිස නියෝජනය කරන තවත් ප්‍රබල ඇමැතිවරයකු විවිධ බලපෑම් කරමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නීතිපතිවරයා කිරීම සඳහා රාජ්‍ය ආයතනයක සභාපති ධුරය දරන ජනාධිපති නීතිඥවරයකුද ඉහත ඇමැතිවරුන් දෙදෙනා සමඟ එක්‌ව සිටින බවද අනාවරණය විය.

නීතිපති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ දැනට සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කරන සුහද ගම්ලත් මහතා බව නීති ක්‍ෂේත්‍රයේ මතය වී ඇති අතර ඔහු මේ වනවිට දෙවතාවක්‌ වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කර ඇතැයි ද එම ක්‍ෂේත්‍රයේ නීතිඥවරු පවසති.

කනිෂ්ඨ පුද්ගලයකු නීතිපති කිරීම සඳහා උත්සාහ කරන ඇමැතිවරුන් දෙදෙනාගෙන් එක්‌ ඇමැතිවරයකුට විරුද්ධව මීට පෙර අධිකරණයේ නඩුවක්‌ විභාග විය. එම නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා ඉහත ජනාධිපති නීතිඥවරයා සමඟ එක්‌ව එකී ඇමැතිවරයා එකල සුහද ගම්ලත් මහතාගේ සහය ඉල්ලා ඇති අතර ගම්ලත් මහතා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම ඇමැතිවරයා දැන් සුහද ගම්ලත් මහතාට එරෙහිව පෙනී සිටින්නේ එදා තම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ නිසා බවද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන්ගේ සංගමයද පසුගියදා රැස්‌වී තීරණය කර ඇත්තේ දැනට දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා නීතිපති ධුරයට පත්කළ යුතු බවය.

මේ පිළිබඳව සහ නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ මැති ඇමැතිවරුන් ඉදිරිපත් කරන චෝදනා පිළිබඳවද සාකච්ඡා කිරීමට එම සංගමය ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් දිනයක්‌ සහ වේලාවක්‌ද ඉල්ලා තිබේ.

අජිත් අලහකෝන්

Top