Featured

පනත නැතිකරගෙන තනපට අතට ගත් සිරිසේන

සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී දැන් වසරකට වැඩිය. එම පක්ෂයෙන් එළියට බැස ප්‍රථමයෙන්ම ඔහු චන්ද්‍රිකා යටතේ සිටිමින් මෙන් ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඔහු එහිදී වැඩියෙන්ම පැවසූයේ තමාට ඖෂධ පනත සම්මත කරන්නට නොලැබුනු බවයි. මහින්ද විසින් එය හොරකම් කර ඇති බවයි. පනතක් හොරකම් කිරීම යනු විකාර කතාවක් යයි ලක් වැසියන්ට එදා තේරුනේ නැත. එය මහ ගොන් කතාවකි. පාසලේදී දෙන ගෙදර වැඩ කරගෙන යන්න බැරි වූ විට කුඩා කාලේ ගුරුවරුනට කියන එක බොරුවකි පොත නැති උනා යන්න. නුවණ මුහුකුරා ගිය ගුරුවරු ඒ බොළඳ බොරු වලට නොරැවටෙති. සිරිසේන පුංචි කාලයේ වුව රචනා පොත මහින්ද හොරකම් කළ නිසා රචනාව ලියන්න බැරි උනා කියා ඒ බව ගුරුවරයා විසින් පිළිගත්තද සමාව ලැබෙන්නේ එක් දිනකට පමණි. ඊළඟ දවසේ පොතක් නැතිනම් කොළයක හෝ රචනාව ලියාගෙන පැමිණිය හැකිය.

පනතක් නැතිවීම යනු පොඩි එකෙකුගේ රචනා පොත නැති වීම වැනි දෙයක් නොවේ. පනතක් කෙටුම්පත් කෙරෙන්නේ කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙනි. එහි පිටපත් අමාත්‍යංශ ලේකම් ඇතුළු එම කාර්යයට දායක වන කිහිපදෙනෙකු ළඟ තිබිය යුතුය. එසේම අද කාලයේ මේවා පරිගනක තුළද තිබිය යුතුය. ඔය කොහේවත්ම නැතත් ඒ පනතේ ප්‍රධාන කරුණු කාරණා විෂයභාර අමාත්‍යතුමාගේ සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඔළුවේ තිබිය යුතුය. ඒ සියල්ල එසේ තිබියදී “පනතක් හොරකම් කළා” යන්න කිසිදු ආකාරයකින් හිතේ මවා ගත නොහැකි අමුතු සංසිද්ධියකි. එහෙත් සිරිසේන දැඩි වෛරයෙන් කීවේ තමාගේ ඖෂධ පනත මහින්ද හොරකම් කළා කියාය. නමුත් මෙරට විශේෂයෙන්ම උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික ජනතාවට මේ වගේ ගොන් බොරු ප්‍රමාණවත් බවට නිවැරදි තක්සේරුවක් සිරිසේනට විය. මේ සියල්ල ප්‍රමාණවත් වූයේ සිරිසේන ගැන කිසිවක් ඒ වන විට මිනිසුන් නොදැන සිටි නිසා විය හැකිය.

මේ බොරුව කොතරම්ම ගොන්ද කියනවා නම් සිරිසේන නැති කරගත් ඖෂධ පනත නව සෞඛ්‍ය ඇමති රාජිත සම්මත කළේය. දැන් නැති වූ පනත සොයා ගත්තේ කවුද? අර පෙර බොරුවලට රැවටුන එකෙකුට සුළු හෝ තාර්කික බුද්ධියක් වේ නම්, සිරිසේනගේ නැති වූ පනත සොරකම් කර තබා ගෙන සිට ඇත්තේ රාජිත සේනාරත්න බව පෙනී යා යුතුය. නැතිනම් අර මනුස්සයා නැති උනා, සොරකම් කරලා කිය කියා වසර ගණනාවක් පුරා හඬ හඬ පැවසූ ඖෂධ පනත රාජිත දින කිහිපයක් ඇතුළත සම්මත කරන්නේ කෙසේද යන පැනය ඔවුන්ගේ ඔළුවට නොඑන්නේ ඇයිදැයි නොදනිමි. සිරිසේනගේ බොරු මේ තරම්ම නින්දිතය. නමුත් සරලය. ලක් ඉතිහාසයේම මෙවැනි බොරු කාරයෙක් මෙහි නායකයා වී නැත. ඔහු පැවසු “ඇමරිකාවේ බකිංහැම් මාළිඟයෙන්” ගෙනා රත්තරං අශ්වයන් ගැන මෙන්ම මහින්ද සිය උපන්දිනයට තෑගි වශයෙන් ළමයින්ට දුන් හෙලිකොප්ටර් ගැනද විශ්වාස කළ මෝඩ නමුත් උගත් බොහෝ පිරිසක් මෙහි විය. සිරිසේනට හැමදාම බොරු කිය කියා පාලනය ගෙන යන්නට ලැබෙන්නේ නැත. අර කලින් බොරු වලට රැවටුනු පුද්ගලයාද කල් යත්ම මේ සිරිසේන යනු අංක එකේ බොරු කාරයෙකු බව දැනගෙන අවසන්ය.

ඇවන්ට්ගාඩ් බොරුවෙන් නඩයම රෙදි ගලවා ගත්තේ අවසානයේ එය ඔවුන්ගේම අභ්‍යන්තර අර්බුදයක් දක්වා දුර දිග යාමෙනි. තාජුඩීන්ගේ මිනිය වැඩිම වුනොත් තව දෙවරක් පමණ ගොඩ ගෙන යළි වළලා දැමිය හැකිය. චූදිතයෙකු නැතිව, ඊට වඩා වාර ගණනක් ගොඩගන්නට යාමෙන් තාජුඩින්ගේ මිනියද මිනිස්සුන්ට එපා වනු ඇත. ඒ නිසා සිරිසේනට මේ දිනවල කරන්නට කියන්නට දෙයක් නැත. නැවත වරක් සෙරප්පු සාප්පුවකට ගොස් සෙරෙප්පු මිල දී ගෙන එය ප්‍රචාරය කළ නොහැකිය. එවිට සරල අයෙකුට කළින් ගත්තු කුට්ටම කැඩෙන්නට පෙර යළි අළුත් කුට්ටමක් කුමටද යන ප්‍රශ්නය මතුවේ.

තව නොබෝ දිනකින් තමා ජනපති වී වසරක් ගත වේ. කරපු දෙයක් කර ඇත්තේ කොටින්ටය. ඇප ලබා දුන්නේ උන්ටය. කොටි වෙනුවෙන් ඇප ලබා දීම දේශපාලකයින් විසින් තීරණය කරන අතරේම අධිකරණය ස්වාධීන යයි පැවසුවද අපේ රටේ සිටින උගත් ජනතාවට එහි පරස්පරයක් පෙනෙන්නේ නැත. ඉන්දියානු ඇමරිකානු සහ බටහිර වහලෙකු බවට පත්ව ඇති සිරිසේන රෙජීමය රණ විරුවන් විසින් යුධ අපරාධ කළ බව පිලිගෙන එය අනෙක් රටවලට යෝජනා කිරීමටද පසුගිය වසර තුළ සමත් විය. සුද්දන් ලව්වා ත්‍රිකුණාමලයේ නාවුක හමුදා කදවුර පරීක්ෂා කරවා එතනින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනිමටද මෙම වහල් රෙජීමය සමත් විය. සුද්දාට කෙරෙන වහල් කම අනුව යමින් සුද්දන්ගේ මුදලින් මෙරට තුළ නඩත්තු වන තීන්දුව දැන්ම දන්නා විශේෂ විදෙස් අධිකරණ පිහිටුවෙන්නේ ලබන වසර තුළය. මානව හිමිකම් කොමසාරිස්ගේ ක්ෂේත්‍ර කාර්යාලය මෙරටට එන්නේ ද ලබන වසරේය. මෙරට ඒකියභාවය නැති කරන, ඉඩම් පොලිස් බලතල සමඟින් 13න් එහාට යන බලයක් උතුරු නැගෙනහිරට ලැබෙන ඊළාම් ගමනට නව පණක් දෙන අළුත් ව්‍යවස්ථාවේ වැඩ පටන් ගන්නටත් තව සති දෙකක් පමණ ඇත. ජනවරමට එරෙහිව කෙරෙන ඒ ඇමරිකන් වහල්කම මෙරටට ඉතා තීරණාත්මක වනු ඇත.

රණ විරුවරුන් කිහිප දෙනෙකුම ත්‍රස්ත මර්දන පනත යටතේ අත් අඩංගුවට ගැනීම සහ ජිනීවාවලදී රටට තොණ්ඩුව දමා ඔබාමාට කඹයේ කෙළවර දී පැමිණීම හැරුණු විට මේ වසරටම සිය පාලනයෙන් කළ ඇඟට දැනෙන මංගල්‍යයක් නැත. චම්පික සමඟ එක් දිනක් ව්‍යායම පවත්වා එය මාධ්‍යයේ දමා ගැනීමද තවත් සාර්ථකව අවසන් කළ කර්තව්‍යයකි. පසු ගිය වසරේ සුවිශේෂම සිදු වීම වූයේ රැජින විසින් මේස් ගලවා සිරිසේනට අතට අත දීම බව නොකිවමනාය.

මේ අල්ලපනලේ කාන්තාවක් සිය තනපට ගලවා එන්රිකේ වෙතට විසි කළාය. එන්රිකේ විසින් පසෙකින් තැබු තනපට අපේ ජනපතිදු දෝතින්ම ගත්තේය. එන්රිකේට පමණක් නොව, එතුමාටද වේදිකාව මත භූමිකාවක් අවශ්‍යය වීම සාධාරණය. හැමදේම මං දැනන් හිටියේ නෑ හිටං කියා රටක් පාලනය කළ නොහැකිය. දැනට රණ විරුවන්ට තැලීමට සිරිසේනගේ අතට සුද්දන් විසින් ලබා දී තිබෙන මඩුවලිගය බොරුවට හෝ තමන් වෙතටද යොමු විය හැකි බව මේ තනපට ගලවා අහසට විසින කරන අලුත් පරපරේ තරුණියන් වටහා ගත යුතුය. සුද්දන්ගේ රටවල මාධ්‍ය තුළ සිරිසේනගේ තනපටේ ප්‍රකාශයට ඉඩක් ලැබෙන්නේ උන් රට බෙදන්න දුන් මඩුවලිගයෙන් මේකා අර කෙල්ලන්ටත් තලාවිද යන සැකයක් උන්ටත් ඇති වූ නිසා බව මේ කෙල්ලන් දත යුතුය. තනපට ගලවන උන්ට තැලීම මඟින් රණවිරුවන්ට තැලීම සඟවා තැබිය හැකි බව සිරිසේන දනී. පනතක් නැති උනා කියා රටක් රවටපු මිනිහෙකුට කවුරුන් හෝ විසින් ගලවා වෙනකෙකු වෙත විසිකරන බ්‍රෙෂියරයක් දෝතින් ගෙන යළිත් රටම ඇන්දවීම කජ්ජක් නොවේ. අනෙක එතුමා ෆේස්බුක් එකේ වෙන්නේ මොනවාදැයි හොදින් දනියි. එතුමා නිතරම ෆේස්බුක් ඉන්නා බවත් අර තනපට ගලවන තරුණියන් ප්‍රවේශමෙන් මතක තබා ගත යුතුය.

ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

Top