විශේෂාංග

මේ අවසන් වූයේ ඉතිහාසය ද? ප්‍රජාතන්ත්‍රවාදය ද?

සෝවියට් රුසියාව කඩා වැටීමෙන් පසු නව ලිබරල්වාදයේ ලෝක ව්‍යාප්තියට තවදුරටත් කිසිදු දෘෂ්ටිවාදී සතුරෙකු ලොව නොපැවතුණ හෙයින් 1992 දී ප්‍රැන්සිස් ෆුකුයාමා නම් ඇමරිකානු විචාරකයා සිය End of History and The Last Man ‍නම් කෘතිය තුළින් පවසා සිටියේ ඉතිහාසය අවසන් බව ය. එහි අර්ථය වූයේ මින් පසු ඇරඹෙන ඉතිහාසය තුළ මුළු ලෝකය ම නවලිබරල්වාදය පිළිබඳ ඉතිහාසයක් හෙයින් එය අනාගතයේ කොතෙක් දුරට ගොස් බැලුවද එය නවලිබරල් ඉතිහාසයක් ම වන නිසා ය. ‍ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්‍ෂ දෙක දැන් එකතු වී තිබේ. ඒ අනුව, ෆුකුයාමා ඉතිහාසය අවසන් බව ප්‍රකාශ කළ අර්ථයෙන් ම අපට වර්තමාන ලංකාව තේරුම් ගත හැකි ද?

මෙරට ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වීම හරහා වත්මනෙහි සිදු වෙමින් තිබෙන්නේ දෘෂ්ටිවාද එක්වීමක් නම්, එනම් ශ්‍රිලනිපයේ වාමාංශික සමාජවාදී ප්‍රතිපත්තිය මුළුමනින් ම පරදා එජාපයේ දක්‍ෂිණාංශික වෙළඳපොල ක්‍රමය ‍‍ජයග්‍රහණය කොට තිබේනම්, එම අර්ථයෙන් ලංකාවේ ද ඉතිහාසය අවසන් බව කිව හැකි ය. එහි දී එක් පක්‍ෂයක/කණ්ඩායමක දෘෂ්ටිවාදයක් වැදගැම්මකට නැති එකක් ලෙස ප්‍රතික්‍ෂේප වී ඉතිහාසයේ කුණු කූඩයට යන තත්වයකි. ජයග්‍රාහි මතය ඉදිරියට යා යුතු ය. එහෙත් ලංකාවේ වත්මන් තත්වය එසේ අර්ථ දැක්විය හැකි ද? උදාහරණයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා බලයට පත් වූ ජනපතිවරණයේ දී ඔහු පෙනී සිටියේ එජාපයේ සුපුරුදු දක්‍ෂිනාංශික ප්‍රතිපත්ති මත නොවේ. ඔහු කිසි විටෙක විවෘත ව ඒවාට අනුගත බවක් නොපෙන් වූ අතර නිරන්තර ව ඔහු ද ඔහු සමග වේදිකාවට ගොඩ වූ හෙළ උරුම ආදි පක්‍ෂ නායකයන් ද එජාප ප්‍රතිපත්තිය පිළිගත් බවක් පෙන්වා සිටියේ නැත. මේ අතර, ශ්‍රිලනිපය පසුගිය ජනපතිවරණයේ දී ද මහමැතිවරණයේ දී ද තරඟ කළේ සිය වාමාංශික උරුමය මත සිට ය. අනෙක නම් මහමැතිවරණයේ දී ශ්‍රිලනිප නායකයා වූයේ ද සිරිසේන ජනපති වූ අතර එයින් ද පෙනී යන්නේ ජනපතිවරණයේ දී ඔහු පෙනී සිටි ශ්‍රිලනිප ප්‍රතිපත්තිවලට ම මහමැතිවරණයේ දී වඩාත් තීව්‍ර ලෙස අනුගත වූ බවයි. මේ අතර, එජාපය පසුගිය මහමැතිවරණයේ දී වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ අතර ඊට වෙන ම ජනවරමක් ද ලැබුණේ ය. ඒ අනුව, පක්‍ෂ දෙක තම ආසන ලබා ගත්තේ වෙන වෙන ම ප්‍රතිපත්ති මත තරඟ කරමිනි.

මැතිවරණයේ දී ඉහත පක්‍ෂ දෙකට ම තනි ව ආණ්ඩුවක් සැදිය හැකි තරමේ බලයක් ජනතාව විසින් ලබා දුන්නේ නැත. ඒ කෙසේ වෙතත්, වෙනස් වෙනස් ප්‍රතිපත්ති දැරූ දේශපාලන පක්‍ෂ දෙක කෙරෙහි ම විස්වාසය තබන පිරිසක් මෙරට සිටින බව ප්‍රතිපලයෙන් පැහැදිළි විය. එනම් එකක් අනෙක පරයා නොයන තත්වයකි. එහි අර්ථය වන්නේ මේ පක්‍ෂ දෙකට අනන්‍ය වූ ප්‍රතිපත්ති තිබෙන බවත් ඒවා ඡන්දය දීමේ දී පුරවැසියාට වැදගත් වූ බවත් ය.

මේ අතර, අනෙත් පක්‍ෂය සමග සහසම්බන්ධයක් සාදාගෙන යා හැකි ගමනක් පිළිබඳ ජනතාව විස්වාස කළේ ද නැත. විශේෂයෙන් ම ශ්‍රිලනිප ඡන්ද සටන පුරා ජාතික ආණ්ඩු සංකල්පය ප්‍රතික්‍ෂෙප කළා මිස එය ප්‍රවර්ධනය කළේ නැත. එසේ නම් ශ්‍රිලනිපය ආසන 95ක් ලබා ගත්තේ තමන් වෙන ම ආණ්ඩුවක් පිහිටුවන බවට ජනතාව සමග වූ එකඟතාවට අනුව ය.

තත්වය එසේ වුවත්, දැන් සිදුව ඇත්තේ අනෙකකි. එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය උපරි ව්‍යුහයේ එකතු වී ඇත. එම එකතුව ඔවුන් විසින් ම ජාතික ආණ්ඩුවක් ලෙස ද නම් කොට තිබේ. එහෙත් පෙර කිවූ ලෙස මෙවන් හවුලකට ශ්‍රිලනිපයෙන් ජනවරමක් ලැබුණේ නැත. එපමණක් නොවේ, අවම වශයෙන් සන්ධානයෙන් තේරී පත් වූ මන්ත්‍රී අතිබහුතරයකින් ද වරමක් ලැබුණේ නැත. කිසිදු අවස්ථාවක මන්ත්‍රී කණ්ඩායම කැඳවා කැමැත්ත අකමැත්ත විමසා සිටියේ ද නැත. මීට කැමැත්ත ලබාගත් එක ම ව්‍යුහය නම් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවයි. සන්ධානයක් ලෙස තරඟ කොට එහි ඡන්ද ලබා එම සන්ධානයේ එක් පක්‍ෂයක මධ්‍යම කාරක සභාවෙන් පමණක් විමසා සියල්ලට බලපාන තරමේ තීරණ ගැනීම කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද? කෙතරම් සුජාත ද? නීතිය තුළ තිබෙන ප්‍රධාන මූල ධර්මයක් නම් යුක්තිය ඉ‍ටු කිරීම පමණක් ප්‍රමාණවත් නො‍වේ. එය ඉටු කරන බවට පෙනී යා ද යුතු ය. එහෙත් ඉහත සියල්ල තුළ ඒ දෙක ම නැත.
ඉහත වන් තත්වයක් තිබෙද්දී දැන් ඇත්ත වශයෙන් ම පක්‍ෂ නායක මට්ටමින් සිදුවන්නේ කුමක් ද? ප්‍රධාන පක්‍ෂ දෙක විසින් තමාට රිසි පරිදි ඇමතිධුර හා වරප්‍රසාද ද වෙනත් තනතුරු ආදිය ද බෙදා හදා ගෙන තිබේ. මීට අකමැති සන්ධානයේ බහුතර මන්ත්‍රීවරුන් කරකියා ගත නොහැකි තත්වයට පත්ව තිබේ. විටෙක විනය පරීක්‍ෂණ කෝටුව පෙන්වා බිය වද්දමින් ද තිබේ. ඉතා බරපතල ම කරුණ නම් විපක්‍ෂයක් ලෙස තමාට ක්‍රියා කිරීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීම් පවා ගර්හිත ලෙස ඉවතලීමයි. ඉන් නොනැවතී පසුගිය දා ඔවුන් විසින් ම සැලසුම් සහගත ලෙස පාර්ලීමේන්තුවේ විපක්‍ෂ නායක ධුරයට ද විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ද පුද්ගලයින් පත්කොට තිබේ.

මේ සියළු දෙයින් පෙනී යන්නේ ශ්‍රිලනිපයට ඡන්දය ලබාදුන් ලක්‍ෂ 47කට පමණ ආණ්ඩු පක්‍ෂයේ වරප්‍රසාදය ද විපක්‍ෂයේ වරප්‍රසාදය ද යන දෙක ම අහිමි කොට තිබීම ය. ඔවුන්ට තමා සිටින්නේ කොතනැද, නියෝජනය කරන්නේ කුමන දේද යන දේ ගැන පවා ව්‍යාකූලතාවක් ඇති කොට තිබේ. තම දේශපාලන නියෝජිතයින් හරහා තම ගැටළු පාර්ලීමේන්තුවේ දී කීමට ඇති ජනතා අයිතිය මර්දනය කොට තිබේ. මෙය බරපතල තත්වයකි. මූලික මිනිස් අයිතිවාසිම් පමණක් ‍නොව, මානව නිදහස ද දැඩි ව තලා පෙළ දමනසුළු තත්වයකි. බෝතලයකට දමා එහි මුඩිය වසා තබන තරමේ පීඩාකාරී තත්වයකි. එම පීඩනය වැඩි කල් නොගොස් ම පුපුරා යාමේ පැහැදිළි අනතුරක් ද තිබෙන අතර එම පිපිරීමේ හැඩය පිළිබඳ දැන්ම කිව නොහැකි ය.

අපට දැන් අප මේ ලිපිය ආරම්භ කරන විට රැගෙන ආ ෆුකුයාමාගේ ඉතිහාසය අවසන් වීම පිළිබඳ කාරණයට නැවත යා හැකි ය. මේ ද ඉතිහාසය අවසන් වීම පිළිබඳ තත්වයක් ද? කිසි සේත්ම නැත. තාමත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව නියෝජනය වන ප්‍රධාන දේශපාලන දෘෂ්ටිවාද දෙකක් තිබේ. එම දෘෂ්ටිවාද දෙක ෆුකුයාමාගේ අර්ථයෙන් එකක් අනෙකට යට වී අවසන් වී නැත. එසේ නම් මේ මොහොත කියවා ගත හැක්කේ කෙසේ ද? ඒ අන් කිසිවක් ලෙස නොව ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය ලෙසයි. එය ලංකාවට අලුත් අභියෝගයක් මෙන් ම අලුත් බලාපොරොත්තුවක් ද වේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය

Top