Featured

මේ ආරම්භය පමණි. අවසානය බෙහෙවින් ඛේදජනක විය හැකිය

ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 පෙබරවාරි 4 වැනිදා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් දින සිට 2015 ජනවාරි දක්වා ඔහුද ඇතුළුව ජනාධිපතිවරු පස් දෙනෙක් (ජනාධිපතිනියක්ද සමග)මෙරට පාලනය කළහ. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හය වැන්නායි.

කලින් සිටි ජනාධිපතිවරු පස් දෙනාම ජනාධිපති ධූරයේ වගකීම් හා බලතල පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව සමස්ත ආණ්ඩු යාන්ත‍්‍රණයම තම පාලනය යටතේ තබා ගත්හ. කවර හෝ අමාත්‍යාංශයකට ජනාධිපති නොමග යැවීමට, ඔහු (ඇය) නොසලකා ක‍්‍රියාකිරීමට හැකි වූයේ නැත. රටේ ඉහළම පාලකයා ලෙස ජනාතාව විසින් සලකනු ලැබූයේ ජනාධිපති පමණි. මුල් ජනාධිපතිවරුන් පස් දෙනා යටතේ අගමැති බොහෝ විට හුදු නාම මාත‍්‍ර තනතුරක් විය. වරක් අගමැතිව සිටි රණසිංහ පේ‍්‍රමදාස මහතා බොහෝ කරුණු සලකන විට තමාගේ වෙනම ආණ්ඩුවක් පවත්වා ගෙන ගියද ‘‘අගමැති ලෙස මට පියන් කෙනෙකුට වැඩි බලයක් නැතැයි’’ ප‍්‍රකාශ කළේය.

මුල් ජනාධිපතිවරු පස්දෙනා අතරින් ජනාධිපති ධුරයේ බලය අකර්මන්‍ය වී, ප‍්‍රභාව වියැකී ගොස්, හෑල්ලූවට පත්වූයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය පමණි. ඒ 2001 දෙසැම්බර් සිට 2004 අපේ‍්‍රල් දක්වා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පාලන සමය තුළය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වුවද රනිල් වික‍්‍රමසිංහ අගමැතිව සිටි එකල චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියට කැබිනට් රැස්වීම්වලදී මුහුණ පෑමට සිදු වූ ගැහැට හා අවමානය කොතෙක්ද යත් (ඇයට නම් ඒ කටුක අත්දැකීම දැන් අමතකවී ඇති බව පෙනේ) ඇය කැබිනට් රැස්වීම් මග හැර සිටියාය. එදා ඒ තත්වය ඇති වූයේ ජනාධිපතිනිය හා ආණ්ඩුව වෙනස් දේශපාලන පක්‍ෂ දෙකකට අයත් වූ බැවිනි.

අද ඊට හාත්පසින්ම වෙනස් සන්දර්භයක් තුළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය මුහුණදුන් අවමානයට හා හෑල්ලූවට පත්ව ඇති බව සාක්ෂි සහිතව දක්නට ලැබේ. විධායක ජනාධිපතිවරයා රටවටා සහ පිටරටවලට යමින් ඉතා අලංකාර සුන්දර කතා කියමින් සිටියද රටේ පාලනය ඔහුගෙන් ගිලිහී යමින් පවතී. සැබැවින්ම රට පාලනය කරනුයේ, රටේ අනාගතයට හා පැවැත්මට අදාළ ප‍්‍රතිපත්ති තීරණය කරනුයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එජාප ආණ්ඩුවේ ඉහළ ස්ථරය විසිනි. ජනාධිපතිට මේ තීරණ දැනගැනීමට ලැබෙන්නේ තීරණ ක‍්‍රියාත්මක කරන විටය. FCID නමින් ආයතනයක් පිහිටුවා ඇති බව ජනාධිපති දන්නේ එය වැඩ පටන්ගත් විටය. මෙරට පාර්ලිමේන්තුව විසින් ගත යුතු තීරණ, විදේශ ඇමති මංගල සමරවීර ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප‍්‍රකාශයට පත් කරයි. ජනාධිපතිවරයා ඒ ගැන නොදනී.

මානව හිමිකම් කවුන්සිලය පසුගිය ඔක්තෝබර් 1 දා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාව ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ලෙස රටේ පැවැත්ම බරපතල අභියෝගයකට ලක් කරයි. එවන් යෝජනාවකට සම අනුග‍්‍රාහකත්වය දැක්වීමට ශ‍්‍රී ලංකාව තීරණය කළේ ජනාධිපතිගේ අනුදැනුම ඇතිව බවට සාක්‍ෂි නැත. ජනාධිපති ඒ බව දැන සිටියේ නම් යහපාලනය ඇති කිරීමට පැමිණි ඔහු ජනතාවට එය දැනුම් දිය යුතුව තිබිණි. එවැන්නක් කිසි විටකත් සිදු නොවීය. රනිල් වික‍්‍රමසිංහ සමස්ත ජිනීවා ක‍්‍රියාදාමය ගැනම ජනාධිපති අඳුරේ තබා ඇති බව පෙනේ. එසේ නොවී නම් ජිනීවා යෝජනාවට පදනම් වු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ විමර්ශන වාර්තාවෙන් ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවන්ට ඉහළම ගණයේ යුද අපරාධ චෝදනා නගා තිබියදී ‘යහපාලන ආණ්ඩුව නිසා ජිනීවා යෝජනාවේ සැර බාල වුණා’ යනුවෙන් රනිල්-මංගල ජෝඩුව පතුරුවා ඇති ප‍්‍රලාපය ජනාධිපති පුනරුච්චාරණය කරන්නේ නැත.

ජනාධිපති සේනාධිනායකයා ද වන්නේය. එහෙත් හිටපු හමුදාපතිවරුන් FCID වෙත කැඳවනු ඔහු නොදනී. ‘‘මම දන්නේ නෑ’’ ඔහු පසුව කියයි. එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම් පැමිණ රටේ ආරක්‍ෂක හමුදා පරිශ‍්‍ර ඇතුලට ගොස් ඒවායේ ඉතාමත් රහසිගත පහසුකම් පරික්‍ෂා කරයි. සේනාධිනායකයා මේ බව දැන සිටියේද? අනුමත කළේද? ආත්ම ගෞරවයක් ඇති කිසිදු ස්වාධීන රටක් මෙවැන්නකට ඉඩ දෙන්නේ නැත. එය එසේ නොවේදැයි සිරිසේන මහතාට අගමැති නරේන්ද්‍ර මෝදිට දුරකතනයෙන් කතා කොට විමසීමට පිළිවන. ඉන්දියාව මෙවැනි පිරිස් හමුදා පරිශ‍්‍ර තුළට තබා රටටවත් වැද්දා ගන්නේ නැත.

ජනාධිපතිවරයා බාල්දු වී ඇති තරම පෙන්වන අලූත්ම නිදසුන නොවැම්බර් 20දා මුදල් ඇමති රවී කරුණානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය-වැය ලේඛනයයි. සිරිසේන මහතාට කලින් සිටි ජනාධිපතිවරුන්ගෙන් දෙදෙනෙක් – චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්‍ෂ මුදල් අමාත්‍ය ධුරය ඍජුවම තමන් අත තබා ගත්හ. සෙසු ජනාධිපතිවරු මුදල් අමාත්‍යාංශය සිය සමීප අධීක්‍ෂණය යටතේ තබා ගත්හ. වාර්ෂික අයවැය ලේඛනය සම්පාදනය වූයේ ඔවුන්ගේ අනුදැනුම ඇතිවය. එකල මුදල් ඇමතිවරයාට අයවැය අන්තර්ගතය ගැන ජනාධිපති අඳුරේ තැබීමට හැකි වූයේ නැත.

2016 අය වැය සම්පාදනයේදී මුදල් ඇමති සිය නිලධාරීන් සම`ග කළ සාකච්ඡුා පිළිබඳ වාර්තා, ඇමැතිවරයා අය වැය අවසන් ඔප දැමීම කරන අයුරු පෙන්වන පින්තූර මාධ්‍යයන්හි පල වූවද ජනාධිපති මුදල් ඇමති සම`ග හෝ මුදල් ඇමති ජනපති සමග හෝ අයවැය ගැන කළ සාකච්ඡුාවක් මාධ්‍ය වාර්තා කළේ නැත. අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නොවැම්බර් 20 දා උදේ ජනාධිපති අය වැය ගැන කතා කිරීමට අගමැති, මුදල් ඇමති ආදින්ගේ රැුස්වීමක් කැඳවීය. ඒ වනවිට අය වැය සකස් කොට අවසන්ව තිබූ බව රහසක් නොවේ. රැස්වීම දීර්ඝ වේලාවක් පැවති බව මාධ්‍ය වාර්තා කළද අය වැය අන්තර්ගතය කිසිදු සංශෝධනයක් කළ බවක් සඳහන් වූයේ නැත.

අය වැය සම්පාදනයේදී හෝ සකස් කොට අවසන් වූ පසුව හෝ අය වැය ලේඛනයේ කුමක් තිබෙන්නේදැයි ජනාධිපති දැනුවත්ව නොසිටි බවට සාක්‍ෂි තිබේ. ඔහු දැනුවත්ව සිටියේ නම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.41ක් අධ්‍යාපනය සඳහා වෙන් කළ බවට රවී කරුණානායක කළ ප‍්‍රකාශය සාවද්‍ය බව ඔහුට පෙනී යා යුතුව තිබිණි. මුදල් ඇමතිගේ බොරුව අවිචාරයෙන් පිළිගත් ජනාධිපති සිරිසේන‘මෙතෙක් කිසිදු රජයක් වෙන් නොකළ මුදලක් අපි අධ්‍යාපනයට වෙන් කළා’ යයි පාරම්බෑවේය. අධ්‍යාපනයට වෙන් කර ඇත්තේ සියයට 2.72ක් පමණකැයි යහපාලන බලකායේ ප‍්‍රමුඛයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මාධ්‍ය හමුවකදී පැවසීය.

අඩු සැර බියර් සඳහා බද්ද වැඩි කරන්නැයි අය වැය ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු ජනාධිපති මුදල් ඇමැතිට දුන් උපදේශය අයවැයේ තිබෙන්නේ මොනවාදැයි ඔහු නොදැන සිටි බවට තවත් ප‍්‍රබල සාක්‍ෂියකි. ජනාධිපතිධුරය අකර්මන්‍ය ආයතනයක් බවට කෙමෙන් පත් වෙමින් තිබීම සිරිසේන මහතාගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් පමණක් නම් ජනතාවට එතරම් ගැටළුවක් තිබිය නොහැකිය. සිරිසේන මහතා කෙරෙහි සහ ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කෙරෙහි විශ්වාසය තබා තමන් සතු පරමාධිපත්‍ය බලය ඔහුට පවරා දුන් ජනතාවට එය බලවත් ප‍්‍රශ්නයකි. මන්ද තමන් ජනාධිපති ධුරයට පත් කළ තැනැත්තා අසරණ හා අකර්මන්‍ය වන විට රටත් ජනතාවත් අසරණ හා අකර්මන්‍ය වන බැවිනි.

මේ ආරම්භය පමණි. අවසානය බෙහෙවින් ඛේදජනක විය හැකිය.

සංජීව ජයකොඩි

Top