විශේෂාංග

යුද අපරාධ චෝදනා : පටලැවීම සහ පටලවා ගැනීම

පිටු 280කින් සහ කොටස් දෙකකින් සමන්විත ශ‍්‍රී ලංකාවට අදාළ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ විමර්ශන වාර්තාව පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් පරස්පර මතවාද පළකොට ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සැනසුම් සුසුමක් හෙළන බව පෙන්වමින් කියා සිටින්නේ වාර්තාව තමන් බලාපොරොත්තු වූ තරම් බරපතළ නැති බවයි. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතට නිළ වශයෙන් වාර්තාව ලැබීමෙන් පසුව ක්‍ෂණිකව ඔහු කියා සිටින්නේ ද ඊට සමාන කථාවකි. චුදිතයන්ගේ නම් සඳහන් නොවීම යන කාරණය මුල්කරගෙන ඔවුන් දෙපළ එවැනි සරල ප‍්‍රකාශයක් කරමින් මහජනයා නොමග යැවීමට උත්සාහ කරන බව පැහැදිළි වන්නේ මහ කොමසාරිස් හුසේන් කුමරුගේ පුවත්පත් සාකච්ඡාව සහ අදාළ වාර්තාවේ බරපතළ කරුණු මහජනයාට විවෘත වුවාට පසුවය.

කෙසේ වෙතත් වාර්තාවේ දේශපාලන නායකයන්ගේ නම් සඳහන් නොවූවත් ඒ නම් මොනවාදැයි මංගල සමරවීර මහතා එළිදරව් කොට ඇත. ඔහු සඳහන් කරන්නේ යෝජිත ජාත්‍යන්තර දෙමුහුන් අධිකරණ ක‍්‍රියාවලිය මගින් හමුදාවට අණදුන් දේශපාලන සැකකරුවන්ට දඩුවම් කිරීමට බලාපොරොත්තු වන බවය. ඔහු ඒ මගින් වක‍්‍රව කියාසිටින්නේ හමුදා නිලධාරීන්ට දඩුවම් කිරීමේ අපේක්‍ෂාවක් තමා තුල නොමැති බවය. එහෙත් වාර්තාව තුල ඉහළ නිලධාරීන් 22කගේ නම් සදහන් වන බව පසුව හෙළිදරව් විය. ඊට අමාතරව මංගල සමරවීර කියා සිටින්නේ ප‍්‍රශ්නයට අදාළ සියළු පාර්ශ්ව වල මතවාද සහ අපේක්‍ෂාව සැළකිල්ලට ගනිමින් තමා වාර්තාවට අදාලව ප‍්‍රතිචාර දක්වන බවයි. ඒ සමගම ජනාධිපතිවරයා කියා සිටින්නේ වාර්තාව ගැන අසත්‍ය කථා කිරිමෙන් හිරගෙට යාමට සූදානම් වන ලෙසයි. ඒ අනුව පැහැදිළි වන්නේ පාර්ශ්ව කරුවන් ලෙස ඔවුන් අදහස් කරන්නේ ඩයස්පෝරාව සහ ටී.එන්.ඒ පක්‍ෂය වැනි පාර්ශ්ව පමණක් බවය. රටේ බහුතර ජනයාගේ මතය හෝ අපෙක්ෂාව ඔවුන්ට වැදගත් නැත. ඔවුන් තම මතය ප‍්‍රකාශ කිරීම හිරගෙට යන වරදක් වේ. එම ප‍්‍රකාශය මගින් ජනාධිපතිවරයා තමා ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඓතිහාසික මහා ජාතික පාවාදීමට විරුද්ධවන්නන් පිළිබඳව ඔහු අනුගමනය කිරීමට බලාපොරොත්තු වන මර්ධනකාරී පියවර එළිදරව්කොට ඇත. එසේම ඔහු අදහස් පළ කිරිමේ නිදහස පිළිබඳව තමා ජාත්‍යන්තර ප‍්‍රජාවට කරනු ලබන ප‍්‍රකාශ වලටද නව අරුතක් ඒ මගින් ලබාදී ඇත.

මානව හිමිකම් කොමසාරිස් වාර්තාවේ සදහන් ප‍්‍රධානතම කරුණ ජාත්‍යන්තර සහ දේශීය දෙමුහුන් අධිකරණ ක‍්‍රියාවලියක් පිහිටුවිය යුතු බවට සහ එය ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිඥයින්, අභිචෝදකයින් සහ විමර්ශකයින් ගෙන්ද සමන්විත විය යුතු බවට වන නිර්දේශයයි. එම අධිකරණයේ හැඩතල පිළිබඳව කිසිවෙකු විසින් බොරු කීමට අවශ්‍යවන්නේ නැත. ඒ නිසා හිරගෙට ගියත් කීමට සිදුවන්නේ මහකොමසාරිස්ගේ ක‍්‍රියාවලියේදී ඔහු විසින් සඳහන් කරන ලද දේවලය. මහකොමසාරිස්වරයා ඇමෙරිකානු යෝජනාව සභාවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඉතා පැහැදිලි දෙමුහුන් හෙවත් හයිබ‍්‍රිඩ් අධිකරණයක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි සවිස්තරව පැහැදිලි කළේය. එම නිර්දේශයට අදාල වචන වලින් පැහැදිළි වන්නේ එය ස්ථිරසාරව පැහැදිළිව ඉදිරිපත් කරන නිර්දේශයක් බවයි. ඒ නිසා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා කියන ආකාරයට ඔළුව කසා යටහත් පහත්ව සහනයක් ඉල්ලා සිටියද එවැන්නක් නොලැඹෙන බව එදා ඉතා පැහැදිළි විය.

වාර්තාව මගින් ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව එල්ලකොට ඇති අභූත සහ අසාධාරණ බරපතළ යුද අපරාධ චෝදනා දෙස බලන විටද මහ කොමසාරිස්වරයාගේ එම නිර්දේශයේ වෙනසක් නොවන බව පැහැදිළිය. එම චෝදනා ඉදිරිපත් කිරිමේදී ඔහු කොටි සංවිධානයට විරුද්ධව දියාරු ලෙස යම් සරල චෝදනා ප‍්‍රමාණයක් පමණක් එල්ල කරයි. ශ‍්‍රී මහ බෝධිය, දළදා මාළිගාව, අරන්තලාව හෝ කාන්තන්කුඩි පල්ලිය වැනි ඉතා සංවේදී ස්ථාන ආශ‍්‍රිතව ඔවුන් සිදුකළ මිලෙච්ඡ ඝාතන පිළිබඳව එම වාර්තාවේ සඳහන් නොවේ. මංගල සමරවීර මහතා කියන අන්දමේ නියෝග දීමේ වගකීම එදා ප‍්‍රභාකරන්ට උපදෙස් දෙමින් සහ ඔහුගේ උපදෙස් අනුව ක‍්‍රියාකළ ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටි හමුදාවේ අණදෙන නිලධාරීන් වන ආර් සම්බන්ධන් වැන්නවුන්ට අදාල නැත. ප‍්‍රභාකරන් දැන් ජීවතුන් අතර නැති තත්වයක් යටතේ මංගල සමරවීර මහතා කියන ආකාරයට කොටි සංවිධානයේ අණදීමේ වගකීම භාරගත යුත්තේ කවුරුන්ද යන්නද පිළිබඳව එම වාර්තාවේ කිසිදු සඳහනක් නැත. ඒ අනුව බරපතළ යුද අපරාධ වලට අණදීමේ වගකීම අදාළ වන්නේ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට පමණි. අඩුතරමින් මතුපිටින් පේන ආකාරයට හෝ සමබර බවක් එම වාර්තාව තුල හෝ ජනාධිපතිතුමාගේ සහ මංගල සමරවීර මහතාගේ ප‍්‍රකාශ තුල දක්නට නැත. ඒ සියලූ තත්වයන් යටතේ වාර්තාව පිළිබද අදහස් දැක්වීමට රජයට ලැබුනේ දින 5ක කාලයක් පමණි. ඉන් පසුව ඇමෙරිකානු යෝජනාව ඉදිරිපත් කෙරෙන 30වෙනිදා වන තෙක් රජය පැත්තෙන් ගන්නා ක‍්‍රියාමාර්ග පිලිබදව හෝ අනුගමනය කරන ස්ථාවරය පිළිබදව සත්‍ය කරුණු පදනම්ව මහජන සංවාදයක් ඇතිවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ සංවාද කරන්නන් සිරගෙට යවන බවට තර්ජනය කිරීම සහ අගමැතිතුමා පාර්ලිමේන්තුවට පවා බොරු පට්ටපල් බොරු කීම පමණි. එක්පැත්තකින් පාර්ශව කරුවන්ගේ මතය තමන්ට වැදගත්බව කියන අතරම එම මතය ඉදිරිපත් කිරීම වැළැක්විමට ක‍්‍රියා කිරීම තුලම රජයේ සථාවරය සහ අරමුණ පැහැදිළිවේ. ඊට අමතරව දඩුවම් කරන්නේ හමුදා සොල්දාදුවන්ට නොව අණ දීමට වගකිවයුතු පුද්ගලයන්ට බව ප‍්‍රකාශ කිරීමෙන්ද අරමුණ පිළිබද දැන් අදහසක් ලැබේ. දැන් ඇමෙරිකානු යෝජනාව ශ‍්‍රී ලංකා රජයේ කැමැත්තෙන් සහ රටවල් 25ක එකගතාවයෙන් ඡන්ද විමසීමෙන් තොරව සම්මත වී ඇත.

එහෙත් ජාතිකවාදී ප‍්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නීතීඥවරු පවා යෝජිත අධිකරණයේ ස්වභාවය සහ රජයේ මෙන්ම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ගේ අරමුණ තේරුම්ගෙන නැති තත්වයක් යටතේ පොදු මහජනයා ගැන කවර කතාද? මංගල සමරවීර ප‍්‍රමුඛ බටහිර න්‍යාපත‍්‍රය අනුව කිසිදු ඇ`දයක් නැතිව හිටගන්නා පිරිස් දේශීය යාන්ත‍්‍රණයක් ගැන කතා කිරීම සහ එවැනි විද්වතුන් එම කරුණම පිලිබදව දක්වන අදහස් අතර බරපතල වෙනසක් ඇත. එම විද්වතුන් කියා සිටින්නේ ශ‍්‍රී ලංකාවේ නීතිය අනුව ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියතුල ශ‍්‍රී ලාංකික විනිසුරු වරුන්, විමර්ශකයන්, නීතීඥයින් සහ අභිචෝදකයින් ගෙන් සමන්විත ක‍්‍රියාවලියක් පිලිබදවය. නමුත් එය සිහිනයකි. 30වැනිදා සම්මතවූ ඇමෙරිකානු යෝජනා අනුව ශ‍්‍රී ලංකාවට එසේ ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දීමේ අපේක්‍ෂාවක් ඔවුන් තුල නැති බව ඉතා පැහැදිලි විය. මෙම විද්වතුන්ට ඇමෙරිකානු යෝජනාවට අදාළ දේශපාලනය තේරුම් නොගැනීම කණගාටුදායක තත්වයකි.

මංගල සමරවීර වැන්නවුන් ව්‍යාජ දේශීය යාන්ත‍්‍රණයක් ගැන දිගින් දිගටම කියන්නේ විදේශීය යාන්ත‍්‍රණයකට දේශීය ලේබලයක් ඇලවීමට හෙවත් ඊනියා හයිබ‍්‍රීඞ් කරණයට දැනුවත්ව ඉඩ සැළසීම සදහාය.ඔවුන් දැනුවත්ව ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට හැසිරෙන බව ඔප්පු කිරීම සදහා ප‍්‍රධාන සාධකයක් ඇත. ඒ අතුරුදන් වූවන් පිලිබදව සොයා බැලීමට පත් කළ ‘‘ පරණගම කොමිෂන් වාර්තාව’’ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් නොකර සිටීමේ ගුප්ත ක‍්‍රියාවයි. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ඇතුළු බෙදුම්වාදී රාජ්‍ය නොවනසංවිධානවල ඉල්ලීමක් මුල්කරගෙන රජය විසින් එම වාර්තාව ඉදිරිපත් කිරීම අත්හිටුවා ඇත. එය බරපතල ලෙස රජය තම වගකීම පැහැර හැරීමකි. එසේ වුවත් ඔවුන් එසේ ක‍්‍රියා කරන්නේ මානව හිමිකම් වාර්තාවට සමගාමීව ඉදිරිපත් කරන ඇමෙරිකානු යෝජනාවට අගතිගාමී වන කිසිවක් නොකර සිටිය යුතුය යන ඔවුන්ගේ දැනුවත් ස්ථාවරය නිසාය. ඒ අනුව ඇමෙරිකාවට අවශ්‍ය ආකාරයට ජාත්‍යන්තරයට මැදිහත්විය හැකි සොයා බැලිය හැකි සහ මෙහෙයවිය හැකි යුද අපරාධ අධිකරණයක් පිහිටුවන බව ට දැන් කිසිදු සැකයක් නැත. එය සියරා ලියොන්, ඉරාකය- කාම්බෝජය වැනි රටවලට අදාළව පත් කළ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ වලට සමාන වන බවටද අදාළ වාර්තාව තුලින්ම පූර්ව නිගමන ඉදිරිපත්වී ඇත. දැන් ආණ්ඩුවේ කිසිදු ඉල්ලීමක් හෝ අවසරයක් නොමැතිව කාම්බෝජය ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ අභිචෝදකයෙකු ලෙස කටයුතු කළ ජපන් ජාතිකයෙකු ලංකාවට පැමිණේ.

ඊට අමතරව එම යුද අපරාධ ක‍්‍රියාවලියට සමගාමීව බෙදුම්වාදී න්‍යායපත‍්‍රයේ මූලික කොන්දේසි ප‍්‍රමාණයක් ඉටුකර ගැනීමේ ක‍්‍රියාවලියද දියත්වී ඇති බව අදාළ වාර්තාව තුලින්ම පැහැදිලිව පෙනේ. එක්පැත්තකින් උතුරේ හමුදාව ඉවත් කිරීම, ශ‍්‍රී ලංකාවේ හමුදා ඔත්තුසේවා ඇතුළු ප‍්‍රතිසංස්කරණය කිරීම සහ එහි ප‍්‍රමාණය අඩු කිරීම ආදී යෝජනා මගින් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බරපතල අභියෝගයක් එල්ලවී ඇත. එවැනි යෝජනා ඉදිරිපත් කිරීම සදහා මානව හිමිකම් කොමිසමට කිසිදු නීතිමය හෝ සදාචාර බලයක් නොමැත. අනෙක් පැත්තෙන් සත්‍ය සහ ප‍්‍රතිසංධානය නාමයෙන් දකුණු අප‍්‍රිකාණු මැදිහත්වීමකට පාර කපා ගැනීමේ උත්සාහයද එළිදැක්වී ඇත. එම යෝජනා ඉදිරිපත් කෙරෙන්නේ මංගල සමරවීර මහතාගේ ප‍්‍රකාශය මගිනි. මානව හිමිකම් සමුළුව කරන්නේ එය අනුමත කිරීම පමණි. ඊට අමතරව යුද අපරාධ වලට මුල්වූ සිදුවීම් නැවත සිදු වීම වැළැක්වීමේ නාමයෙන් දේශපාලන විසදුමක් යෝජනා කෙරේ. ඒ මගින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමට අමතරව ඊට එහා යන බලය සම්පූර්ණ බෙදීමක් ගැනද නිර්දේශ ඉදිරිපත්වී ඇත. එසේම අන්තර් කාලීන යුක්තිය ඉටු කිරීමේ නාමයෙන් වඩු ඇසීමට පෙර දෝදනාවට ලක්වූ හමුදා නිලධාරීන් සේවයෙන් පහ කළ යුතු බවද යෝජවාවී ඇත .

ඒ අනුව යුද අපරාධ විමර්ශන හෝ පරීක්‍ෂණ නාමයෙන් දැන් එන්නේ මොකාටදැයි පැහැදිලිවේ. දැන් පෙනෙන්නට තිබෙන ආකාරයට මහජන විරෝධය නොසළකා ඊනියා හයිබ‍්‍රිඞ් හෙවත් විදේශීය යුද අපරාධ අධිකරණයක් ශ‍්‍රී ලංකා භූමියේ පිහිටුවීමේ යෝජනාවට ශ‍්‍රී ලංකා රජය කැමැත්තෙන් එකග වන බව ඉතා පැහැදිලව පෙනේ. නමුත් ඊට අදාළ නීති සම්පාදනය කරන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට යම් කාලයක් ගත වනු ඇත. ජාත්‍යන්තරයට අවශ්‍ය වන්නේ ක‍්‍රියාවලිය ආරම්භකොට ශ‍්‍රී ලංකාවේ හිසට උඩින් කඩු තුඩ එල්ලා තැබීමටය. එම බිය වැද්දීමේ සහ අත කැරකවීමේ ක‍්‍රියාවලය තුල බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය ඉතා ඉක්මනින් ඉදිරියට ගමන් කරන බවට කිසිදු සැකයක් නැත. මහජනයාද යුදඅපරාධ අධිකරණයට සාප කරමින් සිටින අතරතුර ඔවුන්ගේ දෙපා අතරින් රිංගා 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම සිදුවනු ඇත.

ඒ අතර දකුණු අප‍්‍රිකානුවාද රට තුලට කැදවනු ඇත. ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය අනුව නීත්‍යානුකූලව ශ‍්‍රී ලංකා රජයේ එක`ගත්වය අනුව ඉටුකර ගත යුත්තේ ප‍්‍රධාන කරුණු 4කි. රට බෙදීමෙන් අවසන් වන සෙසු ක‍්‍රියාකාරකම් හෙවත් මාර්ග සිතියමේ ඉතිරි දුර ඉදිරියට යන්නේ බලහත්කාරයෙන් සහ නීතියට පිටිනි. ඒ සදහා ව්‍යවස්ථා සංශෝධය කිරීමද අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට අවශ්‍ය බව පවසමින් මහජන අවධානය දුර තියෙන අනතුරක් දෙස යොමු කර දෙපා අතරින් අනතුර රිංගවා යැවීමය. ඒ අනුව මහජන අවධානය සහ සැබෑ අනතුර තේරුම් ගැනීම සදහා ශ‍්‍රී ලංකා රජය හරහා නීත්‍යානුකූලව ඉටුකර ගැනීම කැස කවන ක‍්‍රියාකාරකම් නැවත සම්පින්ඩනය කොට දක්වමු.

01. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය පිහිටුවීම සහ ඒතුලින් ජාත්‍යන්තර සෘජු මැදිහත්වීමට පාර කැපීම සහ හමුදාව දුර්මුඛ කොට අකර්මණ්‍ය කිරීම.

02. එරික් සෝල්හයිම් පන්නයේ දකුණු අප‍්‍රිකානු මැදිහත්වීමකට පාර කැපීම.

03. එම මැදිහත්වීමේ අධීක්‍ෂණයට යටත්ව උතුරින් හමුදාව ඉවත්කිරීම නීත්‍යානුකූලව ආරම්භ කිරීම (අවසන් පියවර කීපය සිදුවනු ඇත්තේ බලහත්කාරයෙන් සහ ජාතයන්තර මැදිහත්වීමෙනි)

04. ජාත්‍යනතර මැදිහත්වීමේ අධීක්‍ෂණයට යටත්ව 13වැනි සාංශෝධනයේ අඩංගු ඉඩම්, පොලිස් සහ මහ අමති අරමුදල් බල තල උතුරට ලබාදීම .

05. ඊට ඇතුලත් තවත් එක් අතුරු කරුණක් හෙවත් පස්වැනි කරුණක්ද ඇත. ඒ නීත්‍යානුකූල මර්ධනකාරී පොලිස් ආණ්ඩුවක් නිර්මාණය කොට බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ හඩ යටපත් කිරීමය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර

Top