විශේෂාංග

රටක් විකිණීමට ඇත-A Country for Sale

ඉතිහාසයේ දූෂිතම මැතිවරණයෙන් බලයට පැමිනි මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල් ආණ්ඩුව නිවට රජයක් වනු ඇත. එමෙන්ම එය ජනමතය නොඉවසන රජයක් වෙනු ඇත. ඊටත් වඩා එය අස්ථාවර රජයක් වනු ඇත. මේ සියලු කාරණා සැපිරුණු රජයක් 1948 න් පසු මෙරට පිහිටුවා නැත. මේ රජයට නියමිත කාර්යභාරය වනුයේ සිංහලුන්ගේ ස්වාධිපත්‍යය අහිමි කිරීමය.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී ගම්මන්පිල මහතා පෙන්වාදුන් පරිදි නිවටයින් සුළු පිරිසක් පාර්ලිමේන්තුව තුල කරන පාවාදීමට මැදිහත්වීමට මෙරට සාමාන්‍ය ජනතාවට දැන් ඉඩක් නැත. පැවති මැතිවරණය ජනතාවට ලැබුනු අවසාන අවස්ථාව විය. ගම්මන්පිල මහතාගේ ඒ ප්‍රකාශයට රනිල් වික්‍රමසිංහ මහතා විරෝධය පෑවේ එකල අන්කල් ටොම් නමින් හැඳින්වුනු ඇමෙරිකානු නිවෙස්-වහලුන් වත්තේ-වහලුන්ට සත්තම දැමූ ආකාරය සිහිගන්වමිනි. ගම්මන්පිලලාට කරන්නට ඇත්තේ දේශප්‍රේමී මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලෙස දැන්වත් පාර්ලිමේන්තුව තුල සංවිධානය වීමටය. සිංහලුන්ට කරුනු පැහැදිලි වෙන්නේ කල් ගතවීය. සිංහලුන්ගේ හතුරෝ ඔවුන්ට වඩා ඉක්මන්ය. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායකවරයා පත්කෙරීමට පළමුව දේශප්‍රේමීන් සංවිධානය වී සිටියේ නම් අඩුතරමින් ඔවුන්ට විපක්‍ෂ නායකධූරයට හිමිකම් කියන්නට තිබිනි. දැන් මැතිවරණ සමයේදී අනුර කුමාර මහතා ජනාධිපතිවරයාගේ සට කපටකම් ගැන උදම් ඇණුවාසේම යහපාලනවාදීන්ට උදම් ඇණිය හැකිය. කෙසේ වෙතත් සම්බන්ධන් මහතාට විපක්‍ෂ නායක ධූරය පිරිනැමීම මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුලේ යහපාලන ව්‍යාපෘතියට අනුකූලය. එක් අතකින් ඒ අරමුණු නොසඟවා ක්‍රියාත්මකවීම ගම්මන්පිලලාගේ ඉදිරි ගමනට පාර කැපීමකි.

අපේ රටට මිළක් නියමවූයේ මීට වසර දෙක තුනකට පෙරය ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පඩිවැඩි කිරීම සඳහා කෙරුනු උද්ඝෝශණයක් රෙජිම වෙනස් කරන ව්‍යාපෘතියක් බවට පෙරලා ගැනීමත් සමඟය. එතැන් සිට අද දක්වා දැන හෝ නොදැන හෝ තමන්ගේ පුද්ගලිකත්වය වෙනුවෙන් මෙරට විකුනන්නට කැමතිවූවන් එකට ගොනු කෙරිනි. මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල් ආණ්ඩුව එහි උච්චස්ථානයයි. ඒ අතරතුරේදී ජාතිකත්වයක් තිබි සිංහලුන්ගේ සිවිල් සහ රාජ්‍ය ආයතන මරා දැමින නැතිනම් අඩපන කෙරින.

ප්‍රබල රාජ්‍යයකට ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියාකරන ප්‍රබල රාජ්‍ය ආයතන තිබිය යුතුය. කොමිසන් සභා පිහිටුවීමේ ප්‍රතිපත්තිමය අරමුණ එයය. නමුත් ආයතන ශක්තිමත් කල හැක්කේ නීතිමය රාමු සැකසීමෙන් නොව දේශපාලනිකවය. ඉංග්‍රීසීන්ට යටත්වූ පසු සිංහලුන්ට ගොඩනැඟීමට හැකිවුනු එකම ප්‍රබල රාජ්‍ය ආයතනය ගොඩනැඟුනේ මහින්ද රාජපක්‍ෂ රජය යටතේය. ඒ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයය. මහින්ද රාජපක්‍ෂ රජය නිර්මාණය කල සන්නද්ධ හමුදාව, ඔත්තු සේවාව ඇතුළු රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ රාජ්‍ය ආයතන ව්‍යුහය ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියාකරන ශක්තිමත් එමෙන්ම ස්වාධීන ආයතනයක් විය. එසේ නොවිනිනම් සරත් පොන්සේකාට නිසි පරිදි යුධ හමුදාව මෙහෙයවීමට අවකාශයක් නොලැබෙනු ඇත. අද මේ ශක්තිමත් රාජ්‍ය ආයතනය අඩපන කෙරීමට මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල ක්‍රියාකරමින් සිටියි. එදා මිලෙනියම් සිටි පිහිටි දුර මෙහෙයුම් හමුදා ඛන්ඩය රනිල් වික්‍රමසිංහ විසින් පාවාදුන් ආකාරයටම අදද මේ රජය විසින් යුධ හමුදාවේ ඔත්තු සේවාව අනාවරණය කෙරෙයි. එහි අරමුණ සිංහල ජාතිකත්වයේ ආයතනයක් විනාශ කර දැමීමය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිංහල ජාතිකත්වය සතුවූ සිවිල් ආයතනය විය. එහි මළගම ඊයේ පොළොන්නරුවේ පැවතුනු අතර පාංශුකූලය දෙනු ලැබුවේ ආචාර්ය සරත් විජේසූරිය මහතා විසිනි. ශ්‍රීලනිප පාක්‍ෂිකයින්ගේ ජාතිකත්වය නැති කොට ඔවුන් “ශිෂ්ඨ” කල යුතුයැයි එහි නායකයින් සිතනවා විය හැකිය. සිංහලුන් සංස්කෘතියෙන් වෙනස් වන්නට අකමැත්තක් නැත නමුත් ඔවුන් සරත් විජේසූරියලාට අවශ්‍ය පරිදි වෙනස් වේ යැයි සිතිය නොහැකිය.

සතුරන් විසින් සිංහලුන් සතුවූ රාජ්‍ය සහ සිවිල් ආයතන අඩපන කර නැත්නම් විනාශ කර ඇත. දැන් මෙරට විකුණා දැමීමට නියමිතය. දේශප්‍රේමී සිංහලුන් ශ්‍රීලනිපයට විකල්පයක් ගොඩනඟා ගත යුතුය. එහිදී 1818දී මෙන් සමූහ ඝාතනයට ලක් නොවී තමන් ගලවා ගැනීමට පැමිණෙන ඊනියා ගැලවුම් කරුවන්ගෙන්ද ගැලවී සීරුවෙන් ඉදිරියට යාමට සිංහලුන් වග බලාගත යුතුය.

යුතුකම සංවාද කවය

Top