Anonymous Reporter

රට ලේ විලක්‌වීමට පෙර ප්‍රභාකරන්ගේ ඉල්ලීම්වලට අවනත විය යුතුය -කොටියා ගොරවයි

බිහිසුණු අපරාධ සිදු කළ කොටි ත්‍රස්‌තවාදීන් සැමරීමට රජය ඉඩ දිය යුතු යෑයි ද්‍රවිඩ සංධානය ඉල්ලා ඇත. 2009 වනතෙක්‌ කොටි සංවිධානයේ රූකඩ ලෙස ක්‍රියා කළේ ද්‍රවිඩ සංධානයයි.

එහෙත් රුසියාවේ ජනාධිපති ව්ලැඩිමියර් පුටින් මියගිය චෙච්නියානු ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩ දී නැත. ඉන්දීය රජය මියගිය කාශ්මීර් ත්‍රස්‌තයන් ඇසෑම් ත්‍රස්‌තයන් සහ කාලිස්‌තාන් ත්‍රස්‌තයන් සැමරීමට කිසි දිනෙක අවසර දී නොමැත.

ඇමරිකාව ප්‍රංශය – ස්‌විට්‌සර්ලන්තය ජර්මනිය යන රටවල් මියගිය අල්කයිදා සහ ජිහාද් ත්‍රස්‌තයන් සැමරීමට ඉඩ දෙන්නේ නැත. එසේම පාකිස්‌තානයද තාලිබාන් ත්‍රස්‌තයන් සැමරීමට අවසර දී නැති විටෙක කොටි ඝාතකයන් සැමරීමට ඉඩදිය යුතුද?

කොටි සංවිධානය යනු ගම්මානවල ළදරුවන් බිහිසුණු ලෙස මරා දැමූ කෘර සංවිධානයකි. අත්අඩංගුවේ සිටි සිරකරුවන් පවා ඝාතනය කිරීමට කොටි ක්‍රියා කළ විට අපරාධකරුවන් සැමරීමට ඉඩදිය යුතුද යන බරපතළ ප්‍රශ්නය මෙරට ජනතාව හමුවේ පවතී.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් සෙල්වම් අඩෙයිකලනදන් හා එම්. සුමන්තිරන් යන දේශපාලකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්‌ කරමින් කොටි සැමරීමට ඉඩ දිය යුතු බව රජයට පවසා ඇත.

මේ සම්බනධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමට යමෙක්‌ කටයුතු කරන්නේ නම් නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ක්‍රමවේදය ආරම්භ කළේ කොටි සංවිධානයයි. එසේ නම් කළු කොටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ බෝම්බකාරියන් සැමරීමට ඉඩ දිය යුතුද?

මේ පසුබිම මැද යාපනයේ විශ්වවිද්‍යාල තුළ අපේ ඉලක්‌කය තමිල් ඊලමයි. අපේ විරුවන්ව සමරමු යෑයි සඳහන් වන පෝස්‌ටර් අලවා තිබේ. උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මෙරට දණ්‌ඩ නීති සංග්‍රහයටද අභියෝගයක්‌ කරමින් මියගිය කොටි සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇතැයි ප්‍රකාශ කර ඇත.

මියගිය කොටි සැමරීමට ඕනෑම අයකුට අයිතියක්‌ ඇතැයිද ඔහු තවදුරටත් පවසා තිබේ.

සිවාජිලිංගම් යනු ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතියෙකි. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් කොටි සංවිධානය තහනම් සංවිධානයක්‌ ලෙස පවතින අවස්‌ථාවේ එකී තහනම කඩ කිරීමට සිවාජිලිංගම් ක්‍රියා කිරීමයි.

මේ හැර යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා ගුරුවරුන්ගේ සංවිධානයද ප්‍රකාශයක්‌ කරමින් මියගිය සියලු දෙනා සැමරීමට කටයුතු කළ යුතු යෑයි පවසා ඇත.

මේ අතර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකල පාර්ලිමේන්තුවේදී මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ට ගෞරවය පුද කර ඇතැයි අනාවරණය විය.

කොටි සංවිධානයේ අතීතය අද බොහෝ පාර්ශ්වලට අමතක වී තිබේ. කොළඹට සැතපුම් 250 ක්‌ ඈත වන්නි කැලයේ බංකරයක සිටි ප්‍රභාකරන් මෙරට දේශපාලකයන් ජීවත් විය යුතුද? නැද්ද යෑයි තීරණය කළේය. රටේ ජාතිය ආරක්‍ෂාවට බරපතළ අභියෝග එල්ල කරමින් බස්‌ බෝම්බ පිපිරවීම හා වෙනත් අපරාධ සිදු කරද්දී අද නිදහසේ හඬ නගන දේශපාලකයන් වචනයක්‌වත් පැවසූවේ නැත.

ප්‍රභාකරන්ගේ උපදේශක වී. බාල කුමාරන් මෙලෙස පවසා තිබුණි.

“අපේ නායකයා බහුතරයට නිවැරුදිවීමට තවත් අවස්‌ථාවක්‌ දී ඇත. රට ලේ විලක්‌වීමට පෙර ඔහුගේ ඉල්ලීම්වලට අවනත විය යුතුය.”

මේ තත්ත්වය මත පාසල් සිසුන් සිසුවියන් රජයේ සේවක සේවිකාවන් උතුරු නැගෙනහිර ගම්වාසීන් ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන ක්‍රියාදාමයට ගොදුරු විය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඉරනම තීන්දු කරන්නේ මමයි. යෑයි ප්‍රභාකරන් වරක්‌ තමිල්නාඩු මාධ්‍ය අමතා පවසා තිබුණි.

මෙවන් පසුබිමක්‌ මැද මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් 137 ක්‌ මෙහෙය වීමට ඔහු ක්‍රියා කළේය. කොටුවේ මහ බැංකු බෝම්බය. මරදාන, වැලිවේරිය, නුගේගොඩ නෝලිමිට්‌, ගල්කිස්‌ස, පිළියන්දල හා කොටුවේ දුම්රිය ස්‌ථානයේ සිදුවූ බෝම්බ පිපිරීම් ප්‍රභාකරන්ගේ දරුණු අපරාධවලින් කීපයකි.

අද සැමරිය යුතු යෑයි ඉල්ලන්නේ මෙවන් මිලෙච්ඡ අපරාධ කළ ඝාතකයන්ද?

බ්‍රිතාන්‍ය රජය මවුන්බැටන් සාමිවරයා ඝාතනය කිරීමට ක්‍රියා කළ අයි. ආර්. ඒ. ත්‍රස්‌තයන් සැමරීමට ඉඩදී නැත පසුගියදා පැරිසියේ ත්‍රස්‌ත ප්‍රහාරයට මුල් වූ අයිසිස්‌ ත්‍රස්‌තයන් සැමරීමට ප්‍රංශ රජය ඉඩ දී තිබේද?

ත්‍රස්‌තවාදය ඉතා බිහිසුණු ලෙස මුළු ලොවටම තර්ජනයක්‌ වී තිබියදී ලොව අංක එකේ අපරාධකරුවන් වු කොටි සංවිධානයේ ත්‍රස්‌තයන් සැමරීම සඳහා කිසිසේත් ඉඩ නොදිය යුතුයි.

අපේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ ක්‍රමවේදය අල්කයිදා සංවිධානය ආදර්ශයට ගත්තා. බෝම්බ කබා බෝම්බ පටි නිර්මාණය කළේ අපි යෑයි මුහුදු කොටි නායක සුසෙයිද පවසා තිබුණි.

කොටින්ගේ බෝම්බ කබාය අයිසිස්‌ ත්‍රස්‌තයන් පැරිසියට ගෙන ගොස්‌ මහා විනාශයක්‌ කළේය.

එසේ නම් ත්‍රස්‌තවාදය ව්‍යාප්ත කිරීමට දායක වූ කොටි ඝාතකයන් සැමරීම සඳහා ද්‍රවිඩ සංවිධානයට ඉඩ දිය යුතුද?

ත්‍රස්‌ත තර්ජනය එල්ල වී ඇති බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ජර්මනිය සහ ස්‌විට්‌සර්ලන්තය හා කැනඩාව යන රටවල් කොටි සමරු උත්සවවලට අවසර දී ඇත.

එහෙත් දැන් ත්‍රස්‌තවාදයෙන් ඉල්ලන්කන්නේ එම රටවල්ය.
කීර්ති වර්ණකුලසූරිය

Top