Featured

රනිල් එන්න තීරණාත්මක මොහොතේ සන්ධාන මල් වට්ටියට අතගහන්න….. කිරිඇල්ල රනිල්ගෙන් ඉල්ලයි… නව සන්ධානය එජාපයේම කොටසක්…. සන්ධානයට සහය දැක්වූවා කියා පක්ෂ සාමාජිකත්වය අහිමිවන්නේ නැහැ!

Published on: Mar 12, 2020-මේ තීරණාත්මක මොහොතේ සන්ධානය නමැති මල් වට්ටියට අතගසන්න කියා  රනිල් වික‍්‍රමසිංහ මහතාට තමන් ආයාචනය කරන බව  හිටපු අමාත්‍ය,එජාපයේ ජ්‍යෙෂ්ඨතමයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

අද මහනුවරදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව කියා සිටියා…

“මැතිවරණ නීතිය අනුව ලාංඡනය වෙනස් කිරිමේ කාලය අවසන්. සමගි ජන බලවේගයේ ලාංඡුනයත් අද පස්වරුවේ කොළඹදී එළිදක්වනවා. මීට පෙරත් මා ප‍්‍රකාශ කළා සමගි ජන බලවේගය අහම්බෙන් ආරම්භ වුණේ නැහැ. එය මාස තුනක සාකච්චා කාලයක් සාකච්චා කොට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව ආරම්භ වුණ සන්ධානයක්. සජිත් පේ‍්‍රමදාස මැතිතුමා සන්ධානයේ නායකයා කළෙත් අගමැති අපේක්ෂකයා කළෙත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන්. අපි සියඑ දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඉතින් මේ තීරණාත්මක මොහොතේ මා රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ආයාචනය කරනවා සන්ධානය නමැති මල් වට්ටියට අතගසන්න කියා.”

“අපේ ආගමේ නිතර මෙනෙහි කරන බණ පදයක් තිබෙනවා “උපන් දා සිට කළ පව් නැතිවෙයි වරක් වැන්දොත් කැළණියේ” කියලා. ඉතින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයත් පක්ෂයත් සමගි ජනබලවේගය නමැති මල් වට්ටියට අතගැසුවොත් පසුගිය කාලයේ සිදු වූ අමනාපකම් රටේ ජනතාවත් අමතක කරන බව පැහැදිලිව ප‍්‍රකාශ කරන්න පුඑවන්. ”

මෙහිදි මාධ්‍යවේදින් විසින් අකිල විරාජ් එ.ජා.ප. මහලේකම්තුමා අලියා ලකුණින් තරඟ කිරිම පිළිබදව විමසා සිටියා,

“පසුගිය කාලයේ අපි පළාත් පාලන මන්ති‍්‍රවරුන් සමග කථාකළා. අතිබහුතරයක්, සියයට අනූනමයක්ම ඉන්නේ සමගි ජන බලවේගය සමග. අපට සහයෝගය දෙන මන්ති‍්‍රවරුන්ට ලිපියක් යොමු කරලා තිබෙනවා ඒ අයව අධෛර්්‍යමත් කරන්න, බය කරන්න. නීතිඥවරයෙක් ලෙස මම ඒ අයට ප‍්‍රකාශ කරන්න කැමතියි සමගි ජන බලවේගයට සහය දුන්නා කියා ඒ අයගේ මන්ති‍්‍රධූර හෝ පක්ෂ සාමාජිකත්වය අහිමිවන්නේ නැහැ මොකද සන්ධානය හැදුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව. අකිල විරාජ් මහලේකම්තුමා අපිත් එක්ක මාස 03ක් තිස්සේ සාකච්චා කළේ සමගි ජනබලවේග සන්ධානය පිහිටුවන්නේ කොහොමද කියලා. එතුමා දැනගන්න ඕන සන්ධානය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොටසක්. මෙතන වඩා වැදගත් වන්නේ පක්ෂය නොවේ අපේ දේශපාලන අරමුණයි.”

“පසුගිය කාලයේ පොහොට්ටුව ආරම්භ වුණාම නොයෙක් කථා ඇතිවුණා නමුත් පොහොට්ටුව අනෙක් පක්ෂ සියල්ල අභිබවා ගියා. ඉතින් අපේ අරමුණයි මේ වෙලාවේ වැදගත්. සමගි ජනබලවේගයේ ආණ්ඩුව සමග ගණුදෙණු කරන කිසිවෙක් නැහැ. අපේ අත් පිරිසුදුයි. ඉතින් මෙවැනි පුහු තර්ක දාලා සමගිය කඩන්න හදන්නේ ඇයි ? ආණ්ඩුව සමග ගණුදෙණු කරන පිරිසක් තමයි අපේ සන්ධානයේ සමගිය කඩාකප්පල් කරන්න හදන්නේ. ”

පසුගිය මැතිවරණයේ ප‍්‍රධාන සටන් පාඨයක් වූ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වුවන්ට දඩුවම් ලබාදීම පිලිබදව ආණ්ඩුවේ අවධානය යොමුනොවීම පිලිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් විසින් කරුණු විමසා සිටියා.

“එළඹෙන අපේ‍්‍රල් මාසය වනවිට අවුරුද්දක් සම්පුර්ණ වෙනවා පාස්කු ප‍්‍රහාරයට. මෙයට පාර්ලිමේන්තු කමිටුවක් පත්කළා, දැන් ජනාධිපති කොමිසමක් පත්කරලා තිබෙනවා නමුත් කිසි කෙනෙක් අත්තඩංගුවට ගත්තේ නැහැ. මම කිහිපසැරයක් ප‍්‍රකාශ කළා මේ ආණ්ඩුව පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ කිසිකෙනෙක් අත්තඩංගුවට ගන්නේ නැහැ. මොකද මේ පාස්කු ප‍්‍රහාරය නිසා තමයි ආණ්ඩුව බලයට පත්වුණේ. දින 52 සිදුවීමෙන් පස්සේ අපේ ආණ්ඩුව අමාරුවේ දාන්න මානබලමින් හිටියේ. ඉතින් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ තොරතුරක් ආවා. අහක බලාගෙන රට ගියා. මොකද ප‍්‍රහාරයෙන් පසුව අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුව. ප‍්‍රහාරයෙන් පසුවත් පැය 48ක් යනකන් ලංකාවට ආවේ නැහැ. දැන් හොදටම පැහැදිලියි පාස්කු ප‍්‍රහාරයෙන් වාසි ලබාගෙන ගොඩ ගිය පොහොට්ටුවයි ප‍්‍රහාරය පිලිබද දැන දැන අහක බලාගෙන සිටි අයයි දැන් එකම පක්ෂයේ සන්ධානගතවෙලා. කාදිනල්තුමත් පසුගිය සතියේ පැහැදිලිව ප‍්‍රකාශ කළා රජය ගත් කි‍්‍රයාමාර්ග පිළිබදව ප‍්‍රකාශයක් කළයුතුයි කියා. එතුමාටත් දැන් පැහැදිලි මේ කුමන්ත‍්‍රණය පිළිබඳව.”

අනතුරුව මාධ්‍යවේදීන් විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් අධිකරණයේ පවතින නඩු ඉවත් කරගන්නා ලෙස දැනුම් දීම හා නීතිපතිවරයාගේ පිළිතුර සම්බන්ධව විමසා සිටිමේදි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලබාදුන් පිළිතුර.

“නීතිපතිවරයා සියයට සියයක් නිවැරදියි. අධිකරණයේ පවතින නඩුවක් නැවැත්විය හැක්කේ සාමාන්තර අධීකරණයකට හෝ ඉහළ අධිකරණයකට පමණයි. ඉතින් ජනාධිපති කොමිසමට බලයක් නැහැ අධීකරණයේ පවතින නඩු නවත්වන්න, කල්දමන්න හෝ ඒ සම්බන්ධව නියෝග දෙන්න. නීතිපතිවරයාගේ ලිපිය අනුව එතුමා නිවැරදි ප‍්‍රකාශයක් සිදුකරලා තිබෙනවා ජනාධිපති කොමිසමට එසේ කළ නොහැකි බවට. උදාහරණයක් ලෙස මේ වනවිට මුඑ ලෝකයම බලාසිටිනවා සිසුන් 11දෙනෙකු අතුරුදහන් වීමේ නඩු තීන්දුව පිළිබදව. ඒ නඩුව වහාම නවත්වන්න කියා ජනාධිපති කොමිෂම නියෝගයක් දුන්නා. ඉතින් නීතිපතිතුමා ප‍්‍රකාශ කළා එය කළ නොහැකි බවට. එතුමා නිවැරදියි.”

Top