Anonymous Reporter

රාවයේ,අයිවන්ගේ උමතු විශ්වාසය, වැරැදුණු කුරුමාණම, පෙරලෙන ඉරණම සහ සැඟවුණු පිළිතුර – අයියෝ අයිවන් කෙස් පැහුණේ අකලටද?

මා දන්නා පරිදි  උමතු විශ්වාසය, වැරැදුණු කුරුමාණම, පෙරලෙන ඉරණම සහ සැඟවුණු පිළිතුර යනු 1948 – 1952 අතර කාලය තුළ තිරගත වූ අතිශයින් ජනප්‍රිය චිත්‍රපට කිහිපයකි. මේ ලිපියේ අදහස සිනමාව ගැන කථා කිරීම නොව මේ චිත්‍රපට නාම සියල්ලම යොදාගතහැකි  රාවය පුවත්පතේ සහ වික්ටර් අයිවන් මහතාගේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව විග්‍රහයක යෙදීමය.

පසුගිය ජුලි 19 වන දින රාවය “දැවැන්ත ජාතික වැදගත්කමක්” ඇති හෙඩිමක් යොදා තිබිණි. එහි “මහින්ද මට නාමයෝජනා දෙන්න කිව්වා. – දුමින්ද සිල්වා” යනුවෙන් සඳහන්ය. මේ පුවත පළවනුයේ නිකම්ම නොවේ. ලංකා නිව්ස් වෙබ් යනු මංගල සමරවීර මහතාගේ සමීපතයකුම වන රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා විසින් පවත්වාගෙන යනු ලබන අතිශයින් එජාප හිතැති වෙබ් අඩවියකි. රාවයේ සඳහන් මහින්ද රාජපක්ෂ මහතාගේ “ආවේගශීලී හැසිරීම” ගැන ටික දිනකට කලින් ඉහත වෙබ් අඩවියේ පළකර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා විසින් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට පහරදී එහි ප්‍රතිපලයක් ලෙස ඔහුට රෝහල් ගතවීමට සිදුවූ බවටය. මෙහි අසත්‍යභාවය ප්‍රේම්ජයන්ත මහතා විසින් සිදුකරණ ලද පැහැදිළි කිරීම මගින්ම සහ ප්‍රේම්ජයන්ත මහතාගේ වර්තමාන දේශපාලන කතා වලින්ම පැහැදිලිය.

ඉහත සඳහන් කළ අසත්‍ය වෙබ් පුවතින් පසු ධර්මසිරි බණ්ඩාරනායක මහතා..නුගේගොඩ දී යටිගිරියෙන් බෙරිහන් දුන්නේ අසභ්‍ය වචනයක්ද සමග ඔය අසත්‍ය පුවත සඳහන් කරමිනි. ඔහු පවසා සිටියේ ප්‍රේම්ජයන්ත මහතාගේ බිරිඳ සහ දරුවන්ද ඉදිරියට පැමිණ මේ බව ප්‍රකාශ කළයුතු බවයි. මේ විග්‍රහයට අදාල නැතත් ප්‍රේම්ජයන්ත මහතාට සාධාරණය පිණිස එක් කරුණක් අවධාරණය කළයුතුය. ඒ ප්‍රේම්ජයන්ත මහතාට නම් විවාහයෙන් පිට දරුවන් නොමැති බවයි.මේ කතාවත් බලන්න  (මෙහෙකාර දැරියගේ යෝනියට ටියුබ් ලයිට් ඇතුල්කල බණ්ඩාරනායකට කණට ගහලා මදි)

රාවය මුල් පුවතින් පාඨකයාට නොකියා කියනුයේ දැනට කිසිදු අධිකරණයක් ඉදිරියේ මත්ද්‍රව්‍ය චෝදනාවක් නැතත් දුමින්ද කුඩුකාරයකු බවත්, එවැන්නෙකුට නාමයෝජනා ලබාදීම වෙනුවෙන්  මහින්ද ප්‍රචණ්ඩ ආකාරයකින් කටයුතු කළ බවත්, දුමින්දට නාම  යෝජනා නොලැබීම නිසා ඔහුගේ ආධාරකරුවන් මෙවර එජනිස යට හෝ එජාපයට ඡන්දය නොදෙන බවත්, එය කොළඹ නගරය තුළ දුර්වල එජනිසයට මරුපහරක් බවත්, දුමින්දගේ සොහොයුරාගේ මාධ්‍ය ජාලය මෙවර එජනිස යට කිසිදු සහයක් ලබා නොදෙන බවත්ය.

මේ මුල් පුවතට පදනම්වූ සිද්ධිය පිළිබඳව සුසිල් ප්‍රේම්ජයන්ත  සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් තබා ෆීලික්ස් පෙරේරා මහතාගෙන් වත් විමසීමක් නොකර රාවය අපූරු වාර්තාකරණයක යෙදෙයි. මේ මධ්‍යස්ථ යැයි කියාගන්නා විකල්ප පුවත්පතක මාධ්‍ය සදාචාරයයි. මට පෙනෙන විදියටනම් වර්තමාන  රාවය යනු එජාප නිළ පුවත්පත්වූ සියරට ට විකල්පයයි.

උමතු විශ්වාසයක පිහිටා අයිවන් මහතා ජුලි 19 වන දින රාවයේ “මහින්දගේ දෙවැනි ආගමනය” යන ලිපිය මගින් මහින්දට ජයගත නොහැකිය යන මතය සමාජය තුළ ඇතිකිරීම සඳහා කුරුමාණම් අල්ලනුයේ පැහැදිලිවම එජාප ජයග්‍රහණය වෙනුවෙනි. නමුත් කුරුමාණම වැරදී ඇති බව පැහැදිලිය.  

මෙම ලිපියේ මුල් භාගයේ මහින්ද පිලිබඳ විවේචනයක් වෙයි. ඒ සඳහා පිළිතුරු සැපයීමට මා උත්සාහ නොකරනුයේ මාගේ අරමුණ මහින්දට සහ එජනිස යට ජයගත නොහැක යනුවෙන් සමාජගත කිරීමට හදන මිථ්‍යාවට එරෙහිවීම නිසාය.

අයිවන් මහතා තම ලිපියේ අපුරු සඳහනක් කරයි. ඒ “මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය හිමිකර ගත්තේ තමා විසින් හදාගත් අශ්වයකු පිට නැගී නොව මහජනයා විසින් හදා දුන් අශ්වයකු පිට නැගීය. අශ්වයා මෛත‍්‍රීගේ නොව මහජනයාගේය. එය ජනවාරියේ සිදුවූ විප්ලවයට ආවේණික අපූරු ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය.” යන්නයි. ජනවාරි වල සිදුවූ විප්ලවයක් නොමැත. සිදුවූයේ මහින්ද විරෝධී දේශපාලන පක්ෂ එකතුවක් සහ පුද්ගල කණ්ඩායම් කිහිපයක් මහින්ද පරාජය කිරීම පමණක් තම එකම අරමුණ කරගනිමින් එකට එක්වී මහින්ද පරාජය කිරීමය. එයට ඇමෙරිකානු, යුරෝපා සහ ඉන්දියානු පූර්ණ ආශීර්වාදය හිමිවිය. අශ්වයාගේ තරම හොඳින්ම දන්නේ ජොකියාය. ඔය කියන විප්ලවයෙන් සතියක් ගතවීමට ප්‍රථම ජොකියා නැග්ගේ ශ්‍රීලනිප – එජනිස අශ්වයා පිටටය. ඔය අශ්වයා පිටේ යාහැකි දුර මෛත‍්‍රීපාල වටහාගෙන තිබිණි. “මහජනයාගේ අශ්වයා” ඔය කියන තරම් අජානේය කුලයේ නම් මෛත‍්‍රීපාල උගේ පිටෙන් නොබැසිය යුතුව තිබිණි.

අයිවන් මහතා තවත් විග්‍රහයක නිරත වෙමින් මිථ්‍යාවන්  08 ක් ඉදිරිපත් කරමින් එජාපයේ පෙරලෙන ඉරණම වෙනස් කිරීමට ඉදිරිපත් වනුයේ සැබෑ පිළිතුරු සඟවමිනි.     

ඔහු මෙසේ සඳහන් කරයි. “මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහින්ද ප‍්‍රමුඛ ශ‍්‍රීලනිප ඇතුළු සන්ධානයට ජයගැනීමේ කවර හැකියාවක් වත් නැත. අඩුම වශයෙන් හොඳ තරගයක් දීමේ හැකියාවක් වත් නැත. ඒ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උදව් නොකරන නිසා නොව ඒ කෙරෙහි බලපාන වෙනත් හේතු ඇති නිසාය. ඒවා සැකෙවින් මෙසේය.” කෙසේ වුනත් අයිවන් මහතා එක් සත්‍යයක් වටහාගෙන ඇත.  ඒ ශ්‍රීලනිප සහ එජනිස තුළ මෛත‍්‍රීපාලට  ඇති සැබෑ ශක්තියයි. අයිවන් මහතා පවසනුයේ එජනිස ය පරාජය වනුයේ මෛත‍්‍රීපාල උදව් නොකරන නිසා නොව වෙනත් කරණා 08 ක් නිසා බවය. එයින් අයිවන් මහතාම පිළිගනුයේ මෛත‍්‍රීපාලගේ උදව්කිරීම හෝ නොකිරීම වැදගත් සාධකයක් නොවන බවයි.

දැන් අපි අයිවන් මහතාගේ එක් එක් මිථ්‍යාවන් විග්‍රහ කර බලමු.

01 වන මිථ්‍යාව සහ පැහැදිළි කිරීම

“මෙම පාලක කණ්ඩායම එක දිගට අවුරුදු 20ක් රට පාලනය කළේය. මෙම දීර්ඝ කාලය තුළ මහජනයාට තනතුරු දරන්නන් වශයෙන් දැක තිබෙන්නේ එකම පිරිසකගේ මුහුණුය. දැන් මහජනයාට ඔවුන් හැමදා දන්න කුකුළාගේ කරමලය බඳුය.”

හැමදාම දකින කුකුළාගේ කරමලය පෙනෙන්නේ සුදුපාටටය. දැන් අපි එජනිස සහ එජාප අපේක්ෂක ලැයිස්තු බලමු. අයිවන් මහතාට අනුව එජනිසය  තුළ සිටිනුයේ මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන   නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, කුමාර වෙල්ගම, අනුර යාපා වැනි කරමල සුදු කුකුළන්ය. එජාපය තුළ සිටිනුයේ  ජෝශප් මයිකල් පෙරේරා, රනිල් වික්‍රමසිංහ, ජෝන් අමරතුංග, ගාමිණී ජයවික්‍රම පෙරේරා, මංගල සමරවීර, කරූ ජයසූරිය, රවී  කරුණානායක  වැනි රතුම රතු කරමල් ඇති කුකුළන්ය. රුක්මන් සේනානායක සහ එස්.බී.නාවින්නද  දැන් ඡන්ද දායකයන්ට රතු කරමලක් සහිතව පෙනෙනු ඇත.

දැන් අපි ඉහත ලයිස්තුවේ කිහිප දෙනෙකු 2010 මහා මැතිවරණයේදී ලබාගත් මනාප ප්‍රමාණය සොයාබලමු. රනිල් වික්‍රමසිංහ මනාප 232,957 යි. කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවේ 01 වන ස්ථානය. රවී කරුණානායක මනාප 70,328 යි. කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවේ 02 වන ස්ථානය. ජෝන් අමරතුංග මනාප 52,331 යි.ගම්පහ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවේ 05 වන ස්ථානය. කරූ ජයසූරිය මනාප 60,310 යි. ගම්පහ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවේ 04 වන ස්ථානය. ගාමිණී ජයවික්‍රම පෙරේරා මනාප 44,131 යි. කුරුණෑගල  දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවේ 03 වන ස්ථානය. මංගල සමරවීර මනාප 59,836 යි. මාතර දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවේ 02  වන ස්ථානය. දිනේෂ් ගුණවර්ධන මනාප 116,860 යි. කොළඹ දිස්ත්‍රික්කයේ එජනිස  ලැයිස්තුවේ 04 වන ස්ථානය. නිමල් සිරිපාල ද සිල්වා මනාප 141,990 යි. බදුල්ල  දිස්ත්‍රික්කයේ එජනිස  ලැයිස්තුවේ 01 වන ස්ථානය.ජෝන් සෙනෙවිරත්න මනාප 125,816 යි.  රත්නපුර දිස්ත්‍රික්කයේ එජනිස  ලැයිස්තුවේ 01 වන ස්ථානය, කුමාර වෙල්ගම මනාප 124,766 යි. කළුතර දිස්ත්‍රික්කයේ එජනිස  ලැයිස්තුවේ 01 වන ස්ථානය වන ස්ථානය. අනුර යාපා  මනාප 98,880 යි. කුරුණෑගල  දිස්ත්‍රික්කයේ එජනිස  ලැයිස්තුවේ 03 වන ස්ථානය.

මෙයින් පැහැදිළි වනුයේ එකම මුහුණු හැමදාම දැකීම තුළින් නරකක් නොවන බවය. ඉහත නම් සඳහන් දේශපාලකයන්ගෙන් රවී සහ කරූ හැර සියලුදෙනාම මුල්වරට මහා මැතිවරණයකට ඉදිරිපත්ව ඇත්තේ 1994 ට  පෙරය. හැමදාම දැකීම ඇතැම්විට අවාසිදායක වී ඇත්තේ එජාපයටය.

02 වන මිථ්‍යාව සහ පැහැදිළි කිරීම

මේ කණ්ඩායම මහජනයාට පෙනෙන්නේ රටේ පොදු සම්පත් කොල්ල කෑ මංකොල්ල කණ්ඩායමක් ලෙසය. එජාප පාලන කාලයේදීද බරපතළ වැරදි සිදුවී ඇතත් ඒවා ජනතාවට දැන් මතක නැත.

රටේ පොදු සම්පත් කොල්ලකෑම පිලිබඳ බරපතළ චෝදනා ශ්‍රීලනිප යටද එජාපය ටද පොදුය. මගේ මතකයේ හැටියට “පොල් ඇමති ඉඩම් කොල්ලයක” යනුවෙන් ලිපියක් ලියූ අයිවන් මහතාට නඩුවක පැටලී උසාවි යාමටද සිදුවිය. ඒ ඉඩම් කොල්ලය පිළිබඳව සහ ඒ හා බැඳුණු සිද්ධීන් පිළිබඳව අයිවන් මහතා තම “පෑන අහිංසකද” යන කෘතියේ විස්තරාත්මකව සඳහන් කරයි. ඒ අනුව බැලූ බැල්මටම යම් ආකාරයක ඉඩම් කොල්ලයක් සිදුවූ බවට ප්‍රබල සාක්ෂි තිබුන නමුත් හිටපු පොල් සංවර්ධන ඇමති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අදත් හොරණ පොකුණුවිට නිවසේ විශ්‍රාම සුවයෙන් කල් ගතකරයි.

ගාමිණී දිසානායක මහතාට අයත් ඇපල් වතු ඔස්ට්‍රේලියාවේ තිබෙනවාය යනුවෙන් චෝදනාවක් විය. ඔහු පදිංචිව සිටි කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය අසළ ඇති නිවස කොත්මලේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව කළ ස්වීඩනයේ ස්කන්ස්කා සමාගමෙන් ලබා ගත්තාය යනුවෙන්ද චෝදනාවක් විය. ඔහු ආසියානු කෝටිපතියන් 10 දෙනා අතර සිටිනවාය යනුවෙන් ඒෂියා වීක් සඟරාවේ පලවී තිබීම නිසා එම සඟරාව රේගුව විසින් රඳවා ගත්තාය යනුවෙන් තවත් චෝදනාවක් විය. නමුත් ඇපල් වත්තක, ගෙයක තොරතුරු දන්නා අයෙකු තබා ඒෂියා වීක් සඟරාවේ තිබුනා යයි කියන පුවත පිටරටකදී හෝ කියවූ අයෙකු මේ දක්වා අනාවරණයවී නැත.

නැවක් ගිල්ලාය යන චෝදනාව තිබුණේ ලලිත් ඇතුලත්මුදලි මහතාටය. නමුත් ඒ පිළිබඳව බැලූ බැල්මට සත්‍ය යැයි පෙනෙන කිසිදු සාක්ෂියක් මා දන්නා පරිදි නම් නැත. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් සිදුකළා යැයි කියන දූෂණ ගණනාවක් ගැන කරුණු රැසක් ඇතුළත් “චොර රැජිණ” නමින් පොතක් (මා ඔහුගේ “චොර රාජ්‍යය” පොත කියවා නැත . මා කියවා ඇති ඔහුගේ පොත් අතරින් දුර්වලම පොත “චොර රැජිණ” යි.) අයිවන් මහතා පළ කළ නමුත් කෙරුණු පරීක්ෂණයක් නොමැත.

රාජපක්ෂ පාලනයට එරෙහිව දුෂණ චෝදනා තිබිණි. 2010 ජනාධිපතිවරණයට ආසන්නයේ අයිවන් මහතා “දූෂණ ඔප්පු කළ යුත්තේ කටකථා වලින් නොව සාක්ෂි මගිනි” යනුවෙන් ලිපියක් ලියා තිබිණි. එහි හරය  පරම සත්‍යයකි. වැඩිදුරටත් පැවසුවහොත් බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන සාක්ෂි මත පරීක්ෂණයන් ආරම්භවී සැකකරුවන් පිළිගත් අධිකරණයක් වෙත පමුණුවා සාධාරණ නඩු විභාගයකින් පසු පැමිණිල්ල වෙතින් ඉදිරිපත්වූ සාක්ෂි සාධාරණ සැකයේ සීමාවෙන් ඔබ්බට ඔප්පු වී ඇත්නම් විත්තිකරුවන්ට දඬුවම් කළ යුතුය.

නමුත් එජාපය, ජවිපෙ සහ හෙළ උරුමය කළේ පසුගිය ජනාධිපතිවරණදීද ඉන් පසුවද දූෂණ පිළිබඳව  මාධ්‍ය සංදර්ශණ පැවැත්වීමයි. අවම වශයෙන් ඔවුන් ගවේෂණාත්මක වාර්තාකරණය ගැන  අයිවන් මහතාගෙන්වත් යමක් ඉගෙනගත යුතුව තිබිණි. දූෂණ ගැන පරීක්ෂණ පැවැත්වීම කිසිසේත්ම නරක දෙයක් නොවේ. නමුත් එය යම් කාල සීමාවක් තුළ සිදුවූවාය කියන දූෂණ ගැන විමර්ෂණය කිරීමට පමණක් සීමාකිරීම දෙස මහජනතාව බලනුයේ යහපත් ලෙස නොවේ. නමුත් යහපාලන ආණ්ඩුව කටයුතු කළේ ශ්‍රී ලංකාවේ දූෂණ ඉතිහාසය 2005 සිට ආරම්භ වන්නක් ලෙස සලකමිනි. මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය අගමැතිවරයා ප්‍රමුඛ කමිටුකින් එවන පැමිණිලි විමර්ෂණය කිරීමට පමණක් සීමාවීම යහපාලනයක ලක්ෂණයක් වන්නේ කෙසේද? දේශපාලන පදනමකින් තිස්සට, බැසිල්ට, ජොන්ස්ටන්ට එල්ලකර ඇති චෝදනා අද පවතිනුයේ ඉතා දුර්වල තත්ත්වයකය.

“පෑන අහිංසකද”  යන තම කෘතියේදී ගවේෂණාත්මක වාර්තාකරණය යන තේමාව යටතේ එය විස්තර කරමින් ඔහු ශ්‍රී ලංකාවේ සිටි “අහිංසකම” ජනාධිපතිවරයා ලෙස හැඳින්වෙන විජේතුංග ගේද නම සඳහන් වන ප්‍රීමා සමාගම සම්බන්ධ දූෂණය, චොක්සිගේ නම සඳහන් වන හිල්ටන් හෝටල් දූෂණය ,1990 – 1991 අතර කාලයේදී  සිදුවූ දේශපාලන හිතවත්කම් ඇති ව්‍යාපාරිකයන් මහජන බැංකුවෙන් ගත් කෝටි ගණනක ණය කපාහැරීමේ දූෂණය පිළිබඳවද සඳහන් කරයි. නමුත් කිසිදු ආණ්ඩුවක් යටතේ ඉහත දූෂණයන්  හෝ රට තුළ ප්‍රසිද්ධ වූ අනෙකුත් දූෂණයන් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් කරනවා තබා  කිසිදු විධිමත් පරීක්ෂණයක්වත්  පැවැත් නොවුණා මෙන්ම දූෂණ අනාවරණය වූ කාලයේ එයට තිබූ අවධානය මහජනතාවට පමණක් නොව මාධ්‍යවලටද නොතිබුනේය.

දූෂණ සම්බන්ධයෙන් සමාජයේ වැඩි දෙනෙකු  තුළ ඇත්තේද ගැඹුරු විරෝධයක් නොවේ. වැඩි පිරිසකගේ අදහස වනුයේ වැඩක් කරලා 5% – 10% ගත්තට කමක් නෑ යන්නය. තවත් පිරිසක් තුළ ඇත්තේ උන් කනව අපිට නෑ යන ද්වේශයයි. මේ අප සමාජය තුළ ඇති අප බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ පිළිනොගන්නා පරම සත්‍යයක් වන ඉතා පසුගාමී තත්වයයි. දූෂිතයන් නොමැති දේශපාලන පක්ෂයක් යන යෙදුම බොහෝවිට හේතුවනුයේ  මහජන පිළිගැනීමට නොව හාස්‍යයටය.

වත්කම් බැරකම් ප්‍රකාශ නීතියේ බොහෝ දුර්වලතා තිබුනත් දූෂණයන් යම් ප්‍රමාණයකට හෝ පාලනයකිරීමේ හැකියාවක් එයට ඇත. සියලු අපේක්ෂකයන් මැතිවරණ කොමසාරිස්වරයාට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නමුත් ඒවා මහජනතාවට බැලීමේ හැකියාවක් නොමැත. නීතිමය අවශ්‍යතාවයක් නොතිබුනත් අද පවත්නා තොරතුරු තාක්ෂණික දියුණුව හරහා දේශපාලන පක්ෂ වලට තම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉතා පහසුවෙන් මහජනතාවට අනාවරණය කළ හැකි  නමුත්  කිසිදු දේශපාලන පක්ෂයක් එසේ කරන්නේ නැත.

ඉහත තත්වය තුළ එජනිසයද එජාපයද මහජනතාවට පෙනෙනුයේ කේතලයක් හා වළඳක් ලෙසය.

03 වන මිථ්‍යාව සහ පැහැදිළි කිරීම

 “ හැම තීරණාත්මක ජයග‍්‍රහණයකින් පසුව පරාජිතයා අතහැර ජයග‍්‍රාහකයාට එකතුවන සමාජ තීරුවක් සමාජයේ සිටී. ඒ තත්ත්වය ශ‍්‍රීලනිපයේ තත්ත්වය තව තව දුර්වල කිරීමටද එජාපයේ තත්ත්වය ශක්තිමත් කිරීමටද හේතුවේ.”

පසුගිය ජනාධිපතිවරණයේදී ආරම්භයේ සිටම මහින්ද සිටියේ වාසි සහගත තැනක නොවේ. එජාපය,ජවිපෙ,දෙමළ සන්ධානය, හෙළ උරුමයේ කොටසක්, මුස්ලිම් කොංග්‍රසය, සරත් ෆොන්සේකාගේ  පක්ෂය, දිගම්බරම් කණ්ඩායම, රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය මහින්දට එරෙහිව සන්ධාන ගතවූහ. රටම මැතිවරණ කොට්ඨාශයක් ලෙස සලකමින් පවත්වන ජනාධිපතිවරණයේදී මහින්ද මුල සිටම සිටියේ අවාසි තැනක බව කියන්නට  “ජයතිලක සූත්‍රය” අත්‍යවශය  වන්නේ නැත.

සාමාන්‍යයෙන් වැට උඩ  සිටින ඡන්දදායකයන් වැඩි පිරිසක් ඡන්දය දෙන්නේ දිනනවා  යැයි සිතන අපේක්ෂකයාටය. පසුගිය ජනාධිපතිවරණයේදී දිනනවා යැයි විශ්වාස කළ හැකි අපේක්ෂකයා වූයේ මෛත්‍රිපාලය. වැට උඩ සිටි පිරිසගේ ඡන්දය වැටුණේ  ඔහුටය. “ ජයග‍්‍රාහකයාට එකතුවන පිළිවෙතක්” අනුගමනය කළේ ඔවුන්ය.

මෛත්‍රිපාල ලද ජයග්‍රහණය තීරණාත්මක නොවීය. මහින්ද තමන් සම්ප්‍රදායිකව බලවත් දිස්ත්‍රික්ක වලින් පැරදුණේ පොළොන්නරුවෙන් සහ ගම්පහින් පමණි. තොන්ඩමන්ගේ හැර යම් ඡන්ද පදනමක් ඇති සියලු දේශපාලන පක්ෂ එකතුවකින් මහින්ද පරාජය කෙරුණේ ලොකු පරතරයකින් නොවේ.

මෙම මහා මැතිවරණයේදී ජවිපෙ, දෙමළ සන්ධානය සහ  සරත් ෆොන්සේකාගේ  පක්ෂය වෙන්ව තරඟ කරයි. එජාපය සමග  හෙළ උරුමයේ 2014 දී කැඩුණු කොටසිනුත් කොටසක්, මුස්ලිම් කොංග්‍රසය (තමන්ගේ සම්ප්‍රදායික බල ප්‍රදේශයේදී හැර) සහ  රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂයේ 2014 දී කැඩුණු කොටසිනුත් කොටසක් එක්ව තරඟ කරයි. මේ දේශපාලන වාතාවරණය තුළ  එදා රටටම ආදේශ කළ “ ජයතිලක සූත්‍රය” දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ආදේශ කළ විට ලැබෙන ප්‍රතිපලය පැහැදිලිය. පසුගිය ජනාධිපතිවරණයේදී එකට එකතුවූ මහින්ද විරෝධී ඡන්ද බෙදී ඇත. ජයග්‍රාහක තත්වයක ඉන්නේ මහින්දය. අප මිත්‍ර මලිත් ජයතිලකගෙන්ම “ ජයතිලක සූත්‍රයේ ” වර්තමාන භාවිතය පිළිබඳව දැනගන්නට ලැබෙනවානම් අගනේය.

මේ මැතිවරණයේදී  වැට උඩ  සිටින ඡන්දදායකයන් වැඩි පිරිසක් ඔට්ටු අල්ලන්නේ මහින්ද නම් දිනන අශ්වයාටය.

 04 වන මිථ්‍යාව සහ පැහැදිළි කිරීම

 “ ශ‍්‍රීලනිපයේ නායකයන් දන්නේ රාජ්‍ය බලය ඇතිව මැතිවරණ කරන්නට පමණය. රාජ්‍ය බලය නැතිව මැතිවරණ කරන්නට ඔවුන් දන්නේ නැත. ඒ තත්ත්වයද ශ‍්‍රීලනිපයට අවාසිසහගත සාධකයක් ලෙස ක‍්‍රියාකරනු නොවැළැක්විය හැකිය.”

මෙය පැහැදිලිවම පරම අසත්‍යයකි. 1994 දී චන්ද්‍රිකා ආණ්ඩුවක් ගෙනෙනුයේ රාජ්‍ය බලය රහිතව මෙහෙයවූ මැතිවරණ ව්‍යාපාරයකිනි. එම ක්‍රියාවලිය තුළ අයිවන් මහතාද අනුරුද්ධ රත්වත්ත, හේමසිරි ප්‍රනාන්දු, හැරී ගුණතිලක වැනි ක්‍රියාකාරිකයන් සමග ඉදිරියෙන්ම විය. එබැවින් රාජ්‍ය බලය නැතිව මහා මැතිවරණයක්  සාර්ථකව මෙහෙයවීම පිළිබඳව ඔහු හොඳින් දනී. 2005 දී මහින්ද ජනාධිපතිවරණ දිනන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් පමණක් නොව පක්ෂයේ ඉදිරි පෙළ බොහෝ නායකයන්ගේද ආධාරය නොමැතිවය. ඒ අවස්ථාවේ මහින්ද සමග හිටගත් ප්‍රධානතම නායකයන් වූයේ මෛත්‍රිපාල සහ ජෙයරාජ් ය. පසුව මෛත්‍රිපාල කිහිප වරක් ප්‍රසිද්ධියේ පවසා මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය  වෙනුවෙන් ශ්‍රීලනිපයෙන් ලියුම් කෑල්ලක් වත් නොලැබුණු බවයි.

තම “ පැන අහිංසකද” යන කෘතියේ අයිවන් මහතා මෙසේ සටහන් කරයි “ කවර සීමාසහිතකම් තිබුණද මෙම මෙහෙයුමේදී චන්ද්‍රිකා ක්‍රියා කළ ආකාරය විශිෂ්ට තත්වයක තිබුණුබව කිව යුතුය.” මේ කියනුයේ සූරිය කන්ද සමූහ මිනී වලවල් හැරීමේ ක්‍රියාවලියේදී එඩිතරව කටයුතු කරමින් ඇය ප්‍රතිරූපය වර්ධනය කරගත් ආකාරය ගැනය. සූරිය කන්ද සමූහ මිනී වලවල් පිළිබඳව මුල් තොරතුරු ලැබී තිබුණේ අයිවන් මහතාට වන අතර එය චන්ද්‍රිකා ට දැන්වීමෙන් පසු ඇය නායකත්වයේ ලක්ෂණ එකල විදහා දක්වමින් ජාතිකව ද ජාත්‍යන්තර වශයෙන්ද තම ප්‍රතිරූපය වර්ධනය කරගත් ආකාරය එම පොතේ දීර්ඝව විස්තර කෙරේ.

අයිවන් මහතා  රනිල් ගැන එහිම මෙසේ සඳහන් කරයි. “මා රනිල්  වික්‍රමසිංහ මහතා ද මේ හා සමාන පරීක්ෂණයට ලක් කිරීමට උත්සාහ කර ඇත්තෙමි.” මේ පරීක්ෂණය පදනම වැටෙනුයේ තම පක්ෂයට බලවත් ලෙස නැගී සිටීමට මාවතක් සකසා දෙන ලෙස අයිවන් මහතාගෙන් ගාමිණී අතුකෝරළ කළ ඉල්ලීමකට  අනුවය. අයිවන් මහතා යෝජනා කරනුයේ ඔහුට අනුව එවකට “චන්ද්‍රිකා ආණ්ඩුවේ ගණන් කාරයා” වූ එස්.බී. දිසානායකගේ බලප්‍රදේශය වන හඟුරන්කෙත නගරයට ගොස්  එජාප මන්ත්‍රීවරුන් ගේ සහ පාක්ෂිකයන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත එක්දින සත්‍යග්‍රහයක් කිරීමටය. මෙය පාක්ෂිකයන් දේශපාලන වශයෙන් ප්‍රබෝධමත් කරන දැවැන්ත දේශපාලන සංසිද්ධියක් වෙතයි රනිල්ට ඔහු පැවසූ විට ඇතිවූ තත්වය ඔහු මෙසේ විස්තර කරයි. “ඔහු මා කියන දේ අසා සිටියේ තුෂ්නිම්භූත වූ ආකාරයටය.එවැනි ක්‍රියාවකට සම්බන්ධ වන අය ගේ ජීවිතවලට වගකීමේ හැකියාවක් තමන්ට නැති බව ඔහු කියා සිටියේය. ඔහු දෙන ලද පිළිතුර එහි සිටි  ගාමිණී අතුකෝරලගේ සේ ම වි.ජ.මු. ලොකු බණ්ඩාර ගේ ද හාස්‍යට හේතු වූ බව පෙනෙන්නට තිබුණි. රනිල් එම ස්ථානයෙන් ඉවත්වී ගිය පසු “අපේ නායකයා දුෂ්කර තත්වයට පත් කරන්නට දුක නැද්දැ” යි වි.ජ.මු. ලොකු බණ්ඩාර මගෙන් ඇසීය.”

අයිවන් මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය  කරනුයේ නායකයකුගේ දේශපාලන ප්‍රතිරූපය තැනීම පුවත්පත් ලිපි හා දැන්වීම් වලින් පමණක් නොකළ හැකි බවත් සැබෑ ලෝකයේ දේශපාලන වැදගත්කමක් ඇති දුෂ්කර දේවල් වලට ද නිර්භීතව යොමුවෙමින් නායකයාද තම ප්‍රතිරූපය තනන ව්‍යාපාරයේ කොටස්කරුවකු විය යුතු බවයි.

ලංකා දේශපාලන ඉතිහාසයේ මේ පරීක්ෂණය ඉහලින්ම සමත් වනුයේ ජේ.ආර්., ප්‍රේමදාස සහ මහින්දය. මේ තිදෙනාම දේශපාලන වැදගත්කමක් ඇති දුෂ්කර දේවල් වලට නිර්භීතව යොමුවෙමින් තම දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කරගනිමින් තමන්ට නොලැබීමට තිබූ බොහෝ දේ  ලබාගත්හ. මහින්ද කලවාන සහ මුල්කිරිගල අතුරු මැතිවරණ වලදී අතිශයින් අවදානම් සහගත ක්‍රියාවන්හි නිරත වෙමින් “පක්ෂය වෙනුවෙන් මරාගෙන මැරෙන වර්ගයේ මිනිහෙක්”  ලෙසට පාක්ෂිකයන් අතර දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තේය. 87-90 භීෂණ යුගයේ දී නිර්භයව කටයුතු කරමින් ජාතිකව දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තේය. පාද යාත්‍රාව, රථ යාත්‍රාව සහ ජන ඝෝෂාව වැනි පාක්ෂිකයන්ගේ සහ ජනතාවගේ බිය නැතිකරන දැවැන්ත ව්‍යාපාරයන්ට නායකත්වය දුන්නේය. 1993 දී ගාලු කොටුවේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී පොළිස් අධිකාරිවරයාද, බැරියර්ද අල්ලා  වීසිකරමින් ආණ්ඩුකාර කාර්යාලයේ දොර කඩා සැඟවී බියෙන් ගැහෙමින් සිටි ආණ්ඩුකාර බාකීර් මාකර් ඉදිරියේ අමරසිරි දොඩන්ගොඩට දිව්රුම් දීමට සැලැස්වීය.

ඇමතිකම, විපක්ෂ නායකකම, අගමැතිකම, ජනාධිපති අපේක්ෂකකම සහ මෙවර මහා මැතිවරණ අපේක්ෂකකම මහින්ද ලබා ගත්තේ සාර්ථක අරගලයන් තුළිනි. මේ මහා මැතිවරණය මෙහෙයවන එජනිස මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ඔහුය. ඔහු මෙන්ම ඔහුගේ සගයන් වන  නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර යාපා, ජෝන් සෙනෙවිරත්න, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා යන බොහෝ දෙනා තම ප්‍රථම මැතිවරණ ව්‍යාපාරයන් මෙහෙයවා ඇත්තේ කිසිදු රාජ්‍ය බලයක් නොමැතිවය. එසේම රාජ්‍ය බලයක් නොමැතිව ඔවුන් සැලකිය යුතු මැතිවරණ ව්‍යාපාර රැසක් මෙහෙයවා ඇත. එජාප මැතිවරණ මෙහෙයුම් ප්‍රධානීන් බොහෝ දෙනෙක්ට එවන් අත්දැකීම් නොමැත.

1994 දී රාජ්‍ය බලය තිබුනත් එජාපය මැතිවරණය පරාජයවිය. රනිල්ට විපක්ෂ නායකත්වය අහිමි කරමින් ගාමිණී විපක්ෂ නායක විය. 2004 දී පැරදුනෙත් බලයේ සිටි එජාපයයි. වරක් චානුක වත්තේගම රනිල් ගැන අපූරු සඳහනක් කර තිබිණි. ඒ  කයිසාරුවත්තේ මුහන්දිරම්ට ගස් බඩගාන්නට නොහැකි නිසා වත්තේ පොල් ටික කඩා ගැනීමට ගැමියෙකු යොදාගැනීමට සමාන  රනිල්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙනි. රනිල් පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම කළේ ඔය ටිකය. දැන් 2005 සටන  පුනරුප්පත්තිය ලබමින් මහින්ද හා  රනිල් අතර  ඍජු සටනක් කරලියට පැමිණ ඇත.

මැතිවරණයක් මෙහෙයවීමේදී රාජ්‍ය බලය ඇතත් නැතත් මහින්ද ඉන්නේ රනිල්ට වඩා ගව් ගණනක් ඉදිරියෙනි.

05 වන මිථ්‍යාව සහ පැහැදිළි කිරීම

   “ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්දට ඡන්දය දුන් ඡන්දදායකයන්ගෙන් කිසියම් කොටසක් ඡන්දය දෙන ලද්දේ මහින්ද ජයගැනීම නොවැළැක්විය හැකිය කියන මතයේ සිටය. දැන් මහින්ද පරාජය කර අවසන්ය. ඒ තත්ත්වය තුළ මහින්දට ඡන්දය දුන් අයගෙන් කිසියම් කොටසක් ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇති අතර තවත් පිරිසක් ජයග‍්‍රාහකයාට එකතුවන පිළිවෙතක් අනුගමනය කරනු ඇත.”

මෙම  මිථ්‍යාවේ මුල් වැකිය අතිශයින් අතාර්කිකය. යම් අපේක්ෂකයකුගේ ජයග්‍රහණය නොවැළැක්විය හැකිය යන පදනමින් ඔහුටම ඡන්දය දෙන ඡන්දදායකයන් පිරිසක් සිටිය හැකිද?  යම් අපේක්ෂකයකුගේ ජයග්‍රහණය නොවැළැක්විය හැකි තත්වයක් තුළ එම අපේක්ෂකයාට විරුද්ධ පිරිස කරනුයේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයකුට ඡන්දය දෙමින් ජයග්‍රහණයේ පරතරය අඩුකිරීමටවත් උත්සාහ කිරීමය. මෙම  මිථ්‍යාවේ දෙවන වැකිය සමග කියවනවිට මුල් වැකියද තුන්වන වැකියේ මුල් කොටසද සම්පුර්ණයෙන්ම බුද්ධි ගෝචර නොවන බව පෙනීයයි. යම් අපේක්ෂකයකුගේ ජයග්‍රහණය නොවැළැක්විය හැකිය යන පදනමින් ඔහුටම ඡන්දය දී ඔහු පැරදීමෙන් පසුව ඡන්ද ප්‍රකාශකිරීම නොකරණ  මේ කියන ඡන්දදායකයන් නම් අපූරු සත්ව වර්ගයක් වියයුතුය. තුන්වන වැකියේ දෙවන කොටස 03 වන මිථ්‍යාව සහ පැහැදිළි කිරීම යටතේ විග්‍රහ කර ඇත.

06 වන මිථ්‍යාව සහ පැහැදිළි කිරීම

 “මෙම දේශපාලන ක‍්‍රමය තුළ හැමවිටම පරාජිත දේශපාලන බලවේගය තුළ අසමගිය රජ කරයි. ජයග‍්‍රාහී බලවේගය තුළ තිබෙන භේද තුනීවී සමගිය රජකරන තත්ත්වයක් ඇතිවේ. දැනටත් ශ‍්‍රීලනිප කැබලි වූ පක්ෂයක් බවට පත්වී හමාරය.”

1977 දී පරාජයට පත් ශ්‍රීලනිපය සම්බන්ධයෙන් මෙය සත්‍යයකි. 1988 දී සහ 1989 දී පරාජයවූ ශ්‍රීලනිපය සම්බන්ධයෙන් මෙය තරමක සත්‍යයකි. නමුත් 2001දී පරාජයවූ  ශ්‍රීලනිපය සම්බන්ධයෙන් මෙය පරම අසත්‍යයකි. 2001 – 2004 කාලය තුළ ශ්‍රීලනිපය තුළ කැරළි ඇතිවූයේ නැත.  නමුත් 1994 සිට එජාපය ලැබූ බොහෝ පරාජයන්ගෙන් පසු පක්ෂයේ කණ්ඩායම් රැසක් පක්ෂය හැර ගියෝය.

ශ‍්‍රීලනිප කැබලි වූ පක්ෂයක් බවට පත්වන්නේ මහින්දට මහා මැතිවරණයට නාම යෝජනා නො ලැබුනානම්ය. මහින්දට නාම යෝජනා ලැබෙනවාත් සමගම එජාප හිතවත් ඇතැම් වෙබ් අඩෙවි වලට එතෙක් සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක රැයින් “දූපත් – පති පල්ලෙවත්ත ගමරාල විය.” එජාපය මතුපිටින් “භේද තුනීවී සමගිය රජකරන තත්ත්වයක්” ඇතත් රනිල් සිටිනුයේ අනාගත පක්ෂ නායකත්වය පිළිබඳ බරපතල අවදානමකය.

අද සියලු ශ්‍රීලනිප අපේක්ෂකයන් එජනිස අපේක්ෂකයන් ලෙස තරඟ කරයි. පාර්ලිමේන්තුවට තේරී පත්වීමටනම් ප්‍රථමයෙන් ඔවුන් බුලත් කොළයට ඡන්ද එකතු කළ යුතුය. පසුගිය ජනාධිපතිවරණයේදී කර ඇර සිටි අයටද මෙවර දියවන්නාව තරණය කිරීමටනම් ඡන්දදායකයන් ලවා පළමුව බුලත් කොළයට කතිරය ගැස්සවිය යුතුය. තමන් කුමන පෞද්ගලික මතයක් දරුවත් ඒ යථාර්තයට මුහුණදීමට සෑම එජනිස අපේක්ෂකයකුටම සිදුවේ.

රනිල් ගේ බලාපොරොත්තුව සහ සැලැස්ම වූයේ දෙකඩ වූ ශ්‍රිලනිපයක් පාර්ශව දෙකකින් තරඟ කරවා පහසු ජයක් ලැබීමයි. නමුත් ඒ බලාපොරොත්තුව කඩවිය.

07 වන මිථ්‍යාව සහ පැහැදිළි කිරීම

 “ජනාධිපතිවරයා 14 වැනිදා ප‍්‍රකාශයට පත් කළ ස්ථාවරයද ශ‍්‍රීලනිපයට අවාසිදායකය. එය පක්ෂය තුළ තිබෙන අවුල් උග‍්‍ර කිරීමට හේතුවනු ඇත.”

ජනාධිපතිවරයා 14 වැනිදා ප‍්‍රකාශයට පත් කළේ  ස්ථාවරයක් නොව අස්ථාවරයකි. මෛත්‍රිපාල යනු මා දන්නා පරිදි සහ විශ්වාස කරන පරිදි පෞද්ගලික ජීවිතයේදී අයහපත් මිනිසකු නොවේ. ඔහු බලයට පත් කළ පක්ෂ එකතුව සමග වැඩි දුරක් යා නොහැකි බව ඔහු දැන සිටියේය. පක්ෂ ව්‍යවස්ථාවේ වගන්තියක් භාවිතා කරමින් ඔහු පළමුව පක්ෂ නායකත්වයටත් එමගින් දෙවනුව එජනිස නායකත්වයටත් පත්විය. මා විශ්වාස කරනා පරිදි  ඒ සඳහා බලපෑ කරුණු තුනක් විය. එකක් නම් ඔහු තුළ සිටි ශ්‍රීලංකාකාරයාය.දෙවැන්න  රනිල් පස්ස දොරෙන් ඇතුල්වී ජනාධිපති බලතල පික්පොකට් ගසා තමන් ගොපල්ලව කෙනෙකු කරණ සැලැස්ම ඔහුට වැටහීමය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන කෙටුම්පතින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කළ වගන්තීන් කියවා බලන විට එය රනිල්ගේ උපාය පැහැදිලිය. කයිසාරුවත්තේ මුහන්දිරම්ට ගස් බඩගාන්නට නොහැකි නිසා වත්තේ පොල් ටික කඩා ගැනීමට ගැමියෙකු යොදා ගෙන ඉන්පසු කුලියට බැල ගෙඩියක් දී පිටත් කිරීමේ න්‍යාය විධායක ජනාධිපතිවරයකු සම්බන්ධයෙන් යොදාගත නොහැකි බව රනිල්ට තේරුනේ නැත. තුන්වන කාරණය නම් ශ‍්‍රීලනිපය තුළ මෛත්‍රිපාල ශක්තිමත් කරවා ඔහු දෙවන වාරයක් තරඟ නොකරණ තත්වයක් තුළ ශ්‍රීලනිපය තුළට ඇතුල්වී එළඹෙන ජනාධිපතිවරණයේදී ජය ලැබීමට චම්පිකට තිබූ බලාපොරොත්තුවයි. ඒ තුළ ඔහු මෛත්‍රිපාලට පෙන්වා දුන්නේ පැරදුනු මහින්ද අත්හැර විධායක ජනාධිපති සහ  පක්ෂ නායක මෛත්‍රිපාල වටා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත්  පාක්ෂිකයනුත්  රොක්වේය කියාය. නමුත් චම්පිකත් මෛත්‍රිපාලත් යන දෙදෙනාම ශ්‍රී ලංකික දේශපාලනයේ මහින්ද සාධකය හරි හැටි විශ්ලේෂණය කරතිබුනේ නැත.පක්ෂය තුළ බලය තහවුරු කරගැනීමට මෛත්‍රිපාල අනුගමනය කළ කිසිදු උපායක් සාර්ථක වුනේ නැත.

ඇතැමෙකු විශ්වාස කරනුයේ ආරම්භයේ සිටම ඔහු නිර්පාක්ෂික විය යුතුව තිබුණාය කියාය. මගේ මතකයේ හැටියට  සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහු ජනාධිපති වූවානම් ඇතිවිය හැකිව තිබූ තත්වය අයිවන් මහතා විසින් ඒ ආසන්න දිනයක ලියූ ලිපියක විග්‍රහ කර තිබිණි. ඔහු පවසා තිබුණේ තමන්ගේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පක්ෂ ව්‍යුහගත කණ්ඩායමක පක්ෂපාතීත්වය නොතිබීම  නිසා අර්බූදයක් ඇතිවීමට ඉඩ තිබූ බවයි. මා විශ්වාස කරණුයේ මෛත්‍රිපාල මුහුණදුන්නේ සමාන අර්බූදයකටය.

පාක්ෂිකයා සිටියේ මහින්ද සමගය. පාක්ෂිකයන්ගේ දැඩි බලපෑම මත මෛත්‍රිපාල වෙතින් අමාත්‍ය පදවි ලද තිස්ස කරලියැද්ද, ඩිලාන් පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක වැනි චරිත වලට එම පදවි වලින් ඉවත්වීමට සිදුවිය. එසේම රනිල් කටයුතු කළේ මෛත්‍රිපාල තමන්ට ණයගැති වියයුතුය යන ආකල්පයේ සිටය. අඩුම ගන්නේ තමන්ගේ ලයින් එකේ ලියන පත්තරකාරයෙක්වත් ලේක් හවුසියට දමාගැනීමට බැරි තරමට මෛත්‍රිපාල අසරණවිය. රනිල් යනු කෙලෙහිගුණ දන්නා නායකයෙක් නොවේ. සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ  2015 ජනාධිපතිවරණයෙන් පසු තමන්, තනතුරු ලැබිය යුතු තම පාක්ෂිකයන් 40 ක ගේ ලයිස්තුවක් රනිල්ට ලබාදුන් නමුත් කිසි කෙනෙකුට පියන් කමක්වත් නොලැබුනු බවයි. රනිල්ගේ අත්තනෝමතික අධිපතිකම් ද ඒවා ඉදිරියේදී වැනෙන සුළු ප්‍රතිපත්තියක සිට කටයුතු කළ මෛත්‍රිපාලගේ පිළිවෙතද ඔහු සමග සිටි ශ්‍රීලනිප ඇමතිවරුන් කළකිරවීමට හේතුවිය.

මෛත්‍රිපාලගේ 14 වන දින ප්‍රකාශයට දින 10ක පමණ කාලය දැඩි දේශපාලන ආතතියක් තිබූ කාලයක් විය. මහින්දට නාම යෝජනා දෙනවාට චන්ද්‍රිකාගෙන් තරම් චම්පික – රතන හිමි කණ්ඩායමෙන් බරපතල විරෝධයක් නොවීය.හිටපු ජනාධිපතිතුමන්ගේ හැම වැඩක්ම නරක නැතයි ප්‍රසිද්ධියේ කියන තත්වයට චම්පික පත්විය. එජනිස යට ඡන්ද ආකර්ෂණයට මහින්දගේ අවශ්‍යතාවය චම්පික හොඳින් වටහාගත්තත්  මහින්ද සහ ඔහුගේ කණ්ඩායමට එජනිස නාමයෝජනා ලැබුණු පසු  එජනිස පාක්ෂිකයා චම්පික, රාජිත, එම්.කේ.ඩී.එස්. ඇතුලු සියලුදෙනා අතුගා දමන බව ඔහුට  පැහැදිලි විය. අවසානයේ  චම්පිකට, රාජිතට, එම්.කේ.ඩී.එස්.ට  සිදුවූයේ අලියා ලකුණ යටතේ ඡන්දය ඉල්ලීමටය.  එයින් මහින්දට දීර්ඝ කාලීන වාසියක් විය. සිංහල බෞද්ධ  ජාතිකත්වය මත පදනම් වෙමින් විකල්ප නායකයකු ලෙස මතුවෙමින් සිටි ඕනෑම දෙයක් සඳහා න්‍යායන් නිර්මාණය කළහැකි, ඒවා ජනතාව අතරට ගෙනයාහැකි හැඩ  රුවින් පමණක් රෝහණ විජේවීරගෙන් වෙනස්වන නායකයකු දේශපාලනිකව නන්නත්තාරවීම එම වාසියයි. එජාප යට බරපතල චෝදනා එල්ලකළ ඉතා මෑත අතීතයක් ඇති චම්පිකට, රාජිතට,  එජාප  ඡන්දයෙන් පත්වී ස්වාධීනව කටයුතු කරන්නට එජාප පාක්ෂිකයා ඡන්දය දෙන්නේ නැත.

මෛත්‍රිපාලගේ 14 වන දින ප්‍රකාශය සතර විධියකින් මහින්දට වාසිදායකය. සැබවින්ම ඔහු කථා නොකළ යුතුව තිබිණි. කථා කළයුතුවම  තිබුනා නම් ඔහු පැවසිය යුතුව තිබුණේ තමන් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස පක්ෂයේ බහුතර මතයට හිස නැමූ බවත් එජනිසයට සුභපතන බවත් තමන් බලයට පත් කළ පක්ෂ සහ පුද්ගල කණ්ඩායම් වලට එකතුවට ස්තුතිවන්ත වන බවත් පමණි.

අ.)    මෛත්‍රිපාල තමන් තීරණ ගැනීමේදී ද ගත් තීරණයන් හි පිහිටා ඍජුව ක්‍රියා කිරීමේදී ද  අසමත්  නායකයකු බවට  ඔප්පු කළේය. මහින්දට නාම යෝජනා නොදෙනවා යැයි සති කිහිපයකට පෙර පැවසූ මෛත්‍රිපාල 14 වනදා කියා සිටියේ මන්ත්‍රී කණ්ඩායමේ 99% ක ඉල්ලීම මත එය ලබාදුන් බවයි. එජනිස ය දිනුවත් ඔහු පවසන්නේ මහින්ද වෙනුවට අගමැතිකමට සුදුසු පක්ෂයේ  ජ්‍යෙෂ්ඨයන් සිටින බවයි. නමුත් එජනිස මංගල රැලියේ දී පක්ෂ  ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කළේ අනාගත අගමැති මහින්ද බවයි. එසේම මෛත්‍රිපාල ප්‍රකාශ කළේ මහින්ද පරදින බවයි. මහින්ද මහා මැතිවරණයෙන් අපේක්ෂකයකු ලෙස නොපරදින බව කුඩා දරුවකු වුවද දන්නා කාරණයකි. එසේනම් මෛත්‍රිපාල අදහස් කරණුයේ එජනිස යේ පරාජය වියයුතුය. එසේනම් ශ්‍රීලනිප සහ එජනිස නායකයා ලෙස තමන්ගේ අනුදැනුම ඇතිව පත් කෙරුණු නාම  යෝජනා මණ්ඩල වලින් තෝරාගත්  සහ තමන්ගේ  අනුමැතියට යටත්ව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තු ප්‍රබල නොවන සහ පරාජයවන සුළු ඒවා වීම සම්බන්ධයෙන්ද අවසානයේ වගකිව යුතු වනුයේ මෛත්‍රිපාල මය. එසේම පක්ෂ නායකයකු නම් තමන්ගේ පක්ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවීමට කැපවිය යුතුමය. දේශපාලන පක්ෂ නායකයකුට  මැතිවරණයකදී අනුගමනය කළ හැකි  “මැදිහත් පිලිවෙතක්” නැත. මෛත්‍රිපාලගේ ප්‍රකාශය තුළින් නායකයකතත්වයේ ගුණාංග ඔහු සතුව නොමැති බව පාක්ෂිකයන්ට  පමණක් නොව රටටම පෙන්වා දුන්නේය. දැන් මැදිහත් මිනිසුන් පවා මෛත්‍රිපාලගේ පෞරුෂය  මහින්ද සමග පමණක් නොව  සරත් ෆොන්සේකා සහ සෝමවංශ අමරසිංහ  වැනි චරිත සමගද සංසන්දනය කරයි. මේ සියල්ලේ වාසිය මහින්දටය.

ආ.)     මේ ප්‍රකාශයෙන් මහින්දට වූ තවත් වාසියක් නම්  නැවත ශ්‍රීලනිපයේ සහ  එජනිසයේ නිළ නොවන නායකත්වය හිමි වීමය. පෞරුෂයක් සහිත  නායකයකු ලෙස ක්‍රියා කිරීමට මෛත්‍රිපාල අපොහොසත් වීමද ජනවාරි පරාජයෙන් පසු පක්ෂය තුළ  මැදිහත් තැනක  සිටි නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත, ජෝන් සෙනෙවිරත්න, අනුර යාපා, ඩිලාන් පෙරේරා වැනි පක්ෂ  ජ්‍යෙෂ්ඨයන් මහින්ද වෙත නැඹුරුවීමට හේතුවක් විය. මේ ප්‍රකාශය සමග ජනක බණ්ඩාර තෙන්නකෝන් වැනි මෛත්‍රිපාල හිතවාදීන්ද එක රැයින්  මහින්ද වෙත නැඹුරුවිය. මහින්ද අමරවීර, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, එරික් වීරවර්ධන වැනි අපේක්ෂකයන්ට ඇමතිකම් හැරදා මෛත්‍රිපාලට විරෝධය දක්වමින් පක්ෂයේ බිම් මට්ටමේ යථාර්තයට මුහුණදීමට සිදුවිය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්.බී. දිසානායක සහ දුමින්ද දිසානායක පවා අද පැමිණෙමින් සිටින්නේ එතැනටය. අද එජනිසය තුළ මහින්දට විරුද්ධව වචනයක් කතා කළොත් යන්න වෙන්නේ දේශපාලන කනත්තටය.

ඇ.)     ඉතා බරපතල වංචාවක් සිදුවී ඇති බවට බැලූ බැල්මටම සාක්ෂි ඇති මහ බැංකු බැඳුම්කර නිකුතුව සහ ඒ සම්බන්ධයෙන් රනිල්ට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පිළිබඳවද මෛත්‍රිපාල  කථා කළේය. ඇත්තටම එය ඔහුගේ කථාවේ ප්‍රස්තූතයට අදාල නොවිය යුතුව තිබිණි. ඔහු කථා කළයුතුවම තිබුනානම්  පැහැදිලි කළ යුතුව තිබුණේ මහින්දට නාමයෝජනා ලබාදුන්නේ ඇයිද යන්න පමණි. මෙයින් පැහැදිළි වනුයේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව මෛත්‍රිපාල පවා පිළිගන්නා බවයි.මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වනලෙස පවසන ලෙස රනිල්ට පැවැසූ බව පවසන ඔහු  පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ විශ්වාසභංගයෙන් රනිල් ඉවත්කර දමා ජාතික ලැයිස්තුවෙන් මහින්ද පාර්ලිමේන්තුවට පත්කර ඔහු අගමැතිකර රජයක් පිහිටුවීමේ කුමන්ත්‍රණකාරී සැලැස්මක් නිසා බව පවසයි. නමුත් 2010 පාර්ලිමේන්තු මැතිවරණයට මහින්ද තරඟ නොකළ සහ ඔහුගේ නම ජාතික ලයිස්තුවේ ඇතුළත් නොවන තත්වයක් තුළ මෙවැනි පත් කිරීමක නීතිය ඉදිරියේ වලංගු භාවය පිලිබඳ ගැටලුව  සහ මෛත්‍රිපාල එජනිස සහ ශ්‍රීලනිප නායකයා වන තත්වයක් තුළ ඔහුට රහසින් මෙවැනි පත් කිරීමක් සිදුකළ හැකිද යන කරුණු නිසා මේ කුමන්ත්‍රණයත් පත්වනුයේ “ජනවාරි 9 පාන්දර” වර්ගයටය.

මෙම ප්‍රකාශය ඔහුටම පාරාවළල්ලක් වනුයේ පහත හේතුන් නිසාය. ඔහු චෝදනාවකට ලක්වූ රාජ්‍ය නිලධාරියකුවත් ඉවත් කර ගැනීමට නොහැකි දුර්වල ජනාධිපතිවරයෙක් ලෙසට මහජනයා අතර තම ප්‍රතිරූපය තවදුරටත් දුර්වල කරගනී.පාර්ලිමේන්තුව විසුරවා හැරියේ ඉදිරිපත් වීමට නියමිතව තිබූ බැඳුම්කර මගඩිය සම්බන්ධ කෝප් අනු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැලක්වීමට බව චම්පික ප්‍රසිද්ධියේ කියා සිටියේය. අනු කමිටු සභාපති ඩිව් ගුණසේකරද කියා සිටියේ තමන් විසින් එම කමිටු වාර්තාව මෛත්‍රිපාල වෙත යවා ඇති බවටත් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම් ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාලට බවත්ය. මේ සියල්ල එක්ව සළකා බැලූ කළ මෛත්‍රිපාල පත්වනුයේ  දූෂණයක් එළිදරව්වීම වැලක්වීමට රනිල් හා වංක සහයෝගයෙන් ක්‍රියාකළ ජනාධිපතිවරකුගේ තත්ත්වයටය. මෙ මගින් ඔහු තමන්ගේ ගෙල සිඳගන්නා අතර එම කඩු පහරින් රනිල්ගේ ගෙල ද සිඳ දමයි. යහපාලනයක් ගැන කථා කරණ එජාපයට මරු පහරක් එල්ල කිරීමට මහින්ද අතට වජ්‍රායුධයක් ලබාදෙයි. බැඳුම්කර මගඩිය සම්බන්ධ කෝප් අනු කමිටු වාර්තාව ප්‍රසිද්ධ කිරීමට එරෙහිව වරණ නියෝගයක් ලබා ගනිමින් සහ පසුව නඩුව ඉල්ලා අස්කරගනිමින් සුජීව සේනසිංහ ද මහින්ද වෙත කරනුයේ සුළුපටු සේවයක් නොවේ.

ඈ.)        ඕනෑම මැතිවරණ ව්‍යාපාරයකදී වැදගත්ම වනුයේ අවසන් සති දෙකය. මේ ප්‍රකාශය එතෙක් එජනිස මැතිවරණ ව්‍යාපාරයට සක්‍රිය දායකත්වයක් නොදක්වා නිහඬව සිට මෛත්‍රිපාල විසින් එම කාලය තුළදී සිදුකළා නම් එජනිස මහා මැතිවරණ ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුවීමට තිබිණි. මක්නිසාදයත් ඒ දක්වා ඔහු විසින් රැකි නිහඬතාවය එජනිස බහුතර මහින්ද අනුගාමිකයන් විසින් නිහඬ ආශීර්වාදයක් ලෙස සළකා ක්‍රියාකරමින් ප්‍රචාරක ඇතුලු සියලු මෙහෙයුම් කටයුතු ඒ මතද පදනම්ව සිදුකිරීම නිසාය.

දැන් ඔහු මහින්දට මාවත පිරිසිදු කර දී ඇතිවා පමණක් නොව අවශ්‍යනම් අපේක්ෂක ලයිස්තුවල සිටින මෛත්‍රිපාල හිතවාදීන්ට මනාප ලබා නොදීමේ තත්වයක් ඇතිකර එය සාධාරණීකරණය කිරීමේ ඉඩකඩක්ද ලබාදෙයි.

මෛත්‍රිපාල වෙත  එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වනු අපි මාධ්‍ය හරහා දුටුවෙමු. සාමාන්‍ය මහජනතාව එය දකිනුයේ එජනිසයට ඔහුගේ නිහඬ ආශීර්වාදය ලැබීමක් ලෙසය. කතුවරයකු විසින්  යම් ප්‍රසිද්ධ පුද්ගලයකු වෙත  පොතක මුල් පිටපත පිළිගන්වනු ලැබීම  තුළින් එහි අන්තර්ගතයට ප්‍රසිද්ධ පුද්ගලයා  මුළුමනින්ම  එකඟ යැයි අදහස් නොකෙරේ. නමුත්  පිළිගන්වනු ලබන පොතේ අන්තර්ගතය පිළිබඳව පිළිගැන්වීමට භාජනය වන ඕනෑම බුද්ධිමත් පුද්ගලයකු සැලකිලිමත්ය.තමන් දරණ මතයට වඩා හාත්පසින්ම වෙනස්  මතවාදයක් ඇතුළත් පොතක් ප්‍රසිද්ධ පුද්ගලයකු භාරගන්නේ නැත. උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් පුජ්‍ය පක්ෂයේ කෙනෙකු වෙත කාන්තා ඇඳුම් නිර්මාණය පිලිබඳ පොතක් පිලිගැන්වෙන්නේවත් පුජ්‍ය පක්ෂයේ අයෙකු විසින් එවැනි පොතක් භාර ගැනෙන්නේවත් නැත.

මෙහිදී සිදුව ඇත්තේ දේශපාලන පක්ෂ සන්ධාන නායකයකුට එම පක්ෂ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වනු ලැබීමයි. තම මතයට හාත්පසින්ම වෙනස්  මතවාදයක් ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සිහි  බුද්ධිය ඇති කිසිදු නායකයකු විසින් බාරගන්නන් වාලේ බාරගන්නේ නැත. එසේම ශ්‍රීලනිපය හැරගොස් එජාපය යටතේ තරඟ කරණ පිරිසගේ පක්ෂ සාමාජිකත්වය මෛත්‍රිපාල විසින් තහනම් කිරීමද සාමාන්‍ය මහජනතාව දකිනුයේ එජනිසයට ඔහුගේ නිහඬ ආශීර්වාදය ලැබීමක් ලෙසය. මේ තුළින් නැවත එජනිසයට වාසිසහගත තත්වයක් උද්ගතවී ඇත.

08 වන මිථ්‍යාව සහ පැහැදිළි කිරීම

 “ලංකා සමාජය එකතැන පල්වෙන සමාජයක් නොව හෙමින් හෙමින් හෝ ඉදිරියට යන සමාජයකි. වර්ගවාදයට හා ආගම්වාදයට තිබෙන පිළිගැනීම වේගයෙන් බිඳ වැටෙමින් පවතී. බාහිරෙන් එන බොරු තර්ජනයක් හෝ ප‍්‍රභාකරන්ගේ ඉතුරු බිතුරුවලින් එල්ලවිය හැකි තර්ජනයක් මවාපා දැන් මහජනයා මුලා කිරීම අමාරුය. ඒ නිසා ඒ ගැන කරන කතාවලින් මහින්දට හෝ ඔහුගේ සහචරයන්ට ශක්තියක් ලබාගැනීමට හැකිවන්නේ නැත.”

 අප බිය වියයුත්තේ උතුරෙන් බිහිවන නව ප්‍රභාකරන් කෙනෙකුට නොව “ස්වයංනිර්ණ අයිතිය” ඉල්ලාසිටින “ ගාන්ධි කෙනෙකුටය”. සැබෑ ස්වයංනිර්ණ අයිතිය අයහපත් දෙයක් නොවන නමුත් එය භාවිතා කළ යුත්තේ ඉතා දියුණු සමාජයක් තුළ පමණි. එය රටවල් කඩා වෙන්කිරීමේ මෙවලමක් නොවේ. යුධ ජයග්‍රහණයෙන් පසු   මහින්ද  විසින් හරවත්ව  උතුරු නැගෙනහිර සමග සිදුකළ යුතුව තිබුණු සංවාදය චම්පික ඇතුලු  මහින්දගේ  කේවට්ටයන් විසින් වලක්වනු ලැබිණි. මහින්දගේ පමණක් නොව රටේම වාසනාවට  එම නඩය දැන් ඔහු සමග නොමැත. දකුණ කෝප නොකරවමින් උතුරු නැගෙනහිර සතුටු කරවන විසඳුමක් ලබාදිය හැකි එකම නායකයා ඔහුය. මෙය උතුර ද නැගෙනහිර ද තේරුම් ගතයුතු බිම් මට්ටමේ යථාර්තයයි. දකුණ කෝප නොකරවමින් ඔහු උතුරු නැගෙනහිරට වෙනත් කිසිදු දකුණේ නායකයකු ලබා නොදුන් හෞතික දේ ලබා දුන්නේය. පරාජය නියත බව දනිමින්ම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීය. උතුරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීය. ඔහු විසින් පරාජය කරණ ලද්දේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමව්පියන්ගේ දරුවන්ගෙන් සැදුනු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් බවද රටම එකම  මැතිවරණ දිස්ත්‍රික්කයක් ලෙස පවත්වන ජනාධිපතිවරණයකදී ඔවුන්ගේ කෝපය තමන් වෙත පෞද්ගලිකවම එල්ලවන බවද දනිමින්ම ඔහු ජනාධිපතිවරණ 2010 දී සහ 2015 දී දෙකකට මුහුණ දුන්නේය. මුල්වර දකුණ ඔහුට සාධාරණය ඉටුකළ නමුත් දෙවනවර දකුණ ඔහුට පෙර ලෙසම සාධාරණය ඉටු නොකළේය. නමුත් දකුණු බහුතරය ඔහුව අදටත් දකිනුයේ රටේ ආරක්ෂකයා ලෙසය.

මාක්ස්වාදී ලෙනින් අවබෝධ කරගත් “මහා රුසියානු අභිමානයේ” හරය සහ  ඒ හා බැඳුණු ප්‍රයෝගික ක්‍රියාකාරීත්වය  ඊනියා නව ලිබරල්වාදී චන්ද්‍රිකා සහ රනිල් කවදාවත් තෙරුම්ගත්තේ නැත. පුනරීන්, ජයසිකුරු, අලිමංකඩ, කටුනායක වැනි මහා යුධ පරාජයන්  මැද “මහා සිංහල  අභිමානය” ඉරිතලා ගොස් තිබිණි. සරසාලේ සටන පරාජය වූවානම් හමුදාවන්ට සිදුවනුයේ ඒ වනවිටත් ජානක පෙරේරාගේ සහ සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් සැලසුම් කර තිබූ යාපන අර්ධද්වීපයේ මහා හමුදා ඉවත් කිරීම යටතේ පැමිණෙන ඉන්දියානු නැව් වලට නගින්නය.  රනිල්ගේ සටන් විරාම ගිවිසුම “මහා සිංහල  අභිමානයේ ” ඉරිතැලීම තවත් තීව්‍ර කළේය. “මහා සිංහල  අභිමානය” වීරයාගේ භූමිකාවට තෝරාගත්තේ මහින්දය. ඔහු නැතිවී තිබුණු “මහා සිංහල  අභිමානය” නැවත ගොඩනැගීය. පුටින්ට සමාන ප්‍රායෝගිකත්වයක් ඔහුට තිබූ නමුත් ලෙනින්ට සමාන න්‍යායික අවබෝධයක් ඔහුට නොවීය.

එදා ඔහුගේ ඇතුල් කවයේ නොසිටි දයාන්, ඩිව්, වාසු,ඩලස්, ඩිලාන් ඇතුලු බොහෝ බුද්ධිමත් පිරිස් අද ඇත. වර්ගවාදයක් හෝ ආගම්වාදයක් උත්කර්ෂයට නැගීමක් සඳහා කිසිම කණ්ඩායමකට මේ කණ්ඩායමෙන් මොනම ඉඩක්වත් ලැබෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා ඇමෙරිකානු, යුරෝපා, ඉන්දියානු සහ චීන බලපෑම බැහැර කළ නොහැකි සාධකයකි. විශේෂයෙන්ම වැදගත් වනුයේ ඉන්දියානු බලපෑමයි. වර්තමාන ඉන්දියානු කියවීමට අනුව රනිල්  යනු අනවශ්‍ය ලෙස බටහිරට ලැදි දකුණේ බලයක් නොමැති නායකයෙකි. මෛත්‍රිපාල යනු අතිශයින් අසාර්ථක අත්හදා බැලීමකි. සුළුතරයේ බහුතරයත් බහුතරයේ සුළුතරයත් මගින් බිහිකරන නායකයන් හෝ ආණ්ඩු සාර්ථකවන්නේ  නැත. මෙම අනතුර  රනිල් වික්‍රමසිංහගේ හෝ සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු ලියූ ලිපියක අයිවන් මහතා හොඳින් විග්‍රහ කර තිබිණි. ශ්‍රී ලාංකීය සමාජය මෙන්ම ඉන්දියාව මෙය වටහාගෙන ඇතිබව පෙනේ.

ඔවුන්ට අනුව  මහින්ද යනු චීනයට හිතවත් මුරණ්ඩු නායකයෙකි. නමුත් දකුණ කෝප නොකරවමින් උතුරු නැගෙනහිර සතුටු කරවන විසඳුමක් ලබාදිය හැකි එකම නායකයාද  ඔහු බව ඉන්දියානු කියවීමයි. එසේනම් ඉන්දියාවට කළහැකි හොඳම දෙය නම් චීනය සමග එකඟතාවයකට පැමිණ නැවත මහින්දට අවස්ථාවක් ලබා දීමය. ශ්‍රී ලංකාව තුළඅස්ථාවර උතුරු නැගෙනහිරකට සහ දකුණකට ඉන්දියාවට කිසිසේත් කැමතිවිය නොහැක. මක්නිසාද යත් නවදිල්ලියේ සිට තමිල්නාඩුවට ඇති දුරට වඩා පෝක් සමුද්‍ර සන්ධියේ දුර  බෙහෙවින් අඩු බැවිනි.

අසංක මොණරවිල 

Top