Anonymous Reporter

රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලනයේ සැබෑ හැඩරුව

බොහෝ දේ සිදුවෙමින් පවතින්නේ නීතියට සදාචාරයට ගවු ගණනක්‌ එපිටින් වග දනිමු. මේ මජර දේශපාලන ක්‍රමය හමුවේ නීතිය වල්වදිනා වග පමණක්‌ නොව සදාචාරයට ඉඩක්‌ නොවන වගද දනිමු. මේ සටහන තැබෙන්නේ ඒ අවබෝධය ඇතිවය.

සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නොවූ එහෙත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළ පුටුවල හිරිකිතයකින් තොරව රැඳී සිටි නිලධාරීන් අධ්‍යාපනයේ තීන්දු තීරණ ගත් යුග පසුකර ඇත්තෙමු. දේශපාලන හෙන්චයියන් වූ ඔවුන් විශ්‍රාම ගියේද එම තනතුරුවල සිටිමින්ම ය. නියම සුදුස්‌සන් පසෙක දමා මේ දේශපාලන ගැත්තන්ට ඉහළ තනතුරු දීමේ අලඡ්ජි ක්‍රියාවලිය වරින් වර මතුව එන්නේය. 2002 වසරේදී කැබිනට්‌ මණ්‌ඩල තීරණයක්‌ ගැනුණේද දේශපාලන පළිගැනීම්වලට ලක්‌වූවන්ට අදාළ සේවාවන් හි තනතුරු දැරීමට නොහැකි බවට නමුත් එම කැබිනට්‌ තීරණය මායිම් නොකරමින් නුසුදුස්‌සන් තනතුරුවල හිඳවූ ඉතිහාසය අමතක කළ නොහැක. ඒ ඉතිහාසයේ ශේෂයන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස්‌ ද නැත. යළි යළිත් වරින් වර එවැනි නුසුදුස්‌සන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට රිංගවීම සඳහා දේශපාලන අධිකාරිය ගත් ක්‍රියාමාර්ග ආපස්‌සට හැරවීමට එකම පිළිසරණ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යැමය. ඒ එලෙස නුසුදුස්‌සන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අරක්‌ගැනීමෙන් පසු සිදුවිය හැකි ව්‍යසනය සුළුපටු නොවන වග ශ්‍රේෂ්ඨාධිකරණය අවබෝධ කරගෙන සිටි නිසා විය හැකිය. හිටපු අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාට ද දේශපාලන හිතවත්කම් මත අධ්‍යාපන පරිපාලන සේවයට නුසුදුස්‌සන් රිංගවීමේ උත්සාහයක්‌ තිබිණි. එම උත්සාහය වළක්‌වන ලද්දේ ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යැම නිසාය. අධ්‍යාපන පරිපාලන සේවා සංගම් පවා නිහඬව සිටියදී ලංකා ගුරු සංගමය ගත් ඒ ක්‍රියාමාර්ගය නොවන්නට 600 ක්‌ පමණ පිරිසක්‌ අදටත් අධ්‍යාපන පරිපාලන සේවයේ බඩ පිනුම් ගසන්නට ඉඩ තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිසා එම ලේඛනය පසෙක තැබූවද ඔවුන්ගේ උත්සාහය අත්හල බවක්‌ දක්‌නට නොලැබිණි.

letterකාලය ගෙවී ගියේය. යහපාලන ආණ්‌ඩුව බලයට පත් විණි. අධ්‍යාපන ඇමැති ධුරය අකිය විරාඡ් කාරියවසම් මහතා වැනි තරුණයකුට භාර කෙරුණේ තරුණ නායකයත්වයකින් අධ්‍යාපනය නව මාවතකට හැරවීම සඳහා විය යුතුය. ඔහු කෙරෙහි යම් විශ්වාසයක්‌ ද ගොඩනැගිණි. වැරැදි කරන විදුහල්පතිවරුන්ට තරාතිරම නොබලා කටයුතු කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ප්‍රසිද්ධියේය. වෘත්තීය සමිති සමඟද සුහදතාව වර්ධනය කරගන්නා සෙයක්‌ ද දක්‌නට ලැබිණි. වෙනස්‌ මත ඉවසන තත්ත්වයක්‌ ද පෙනෙන්නට තිබිණි. දේශපාලන හිතවත්කම් මත නුසුදුස්‌සන්ට අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඒමට ඉඩ නොතබන බවට බොටුව කඩාගෙන මොර දුන්නේය. රැස්‌වීමක්‌ රැස්‌වීමක්‌ පාසා සදාචාරයේ වචන කඩාහැළිණි. ක්‍ෂේත්‍රය පුරා පිබිදීමක්‌ කෙසේ වෙතත් යම් හැරවුම් ලක්ෂ්‍යයක පෙර නිමිති පහළ වන්නේය යන්න ඇතැම් අයගේ විශ්වාසය විය. විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නොවැම්බර් මාසයේදී විභාගයක්‌ පවත්වන ලදී. ප්‍රතිඵල නිකුත් කර සුදුසුකම් ලැබූ 4000 කට පමණ විදුහල්පති පත්වීම දීම සඳහා සම්මුඛ පරීක්‍ෂණ ද අවසන්ය. ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ද සම්මුඛ පරීක්‍ෂණ පවත්වා අවසන් කර තිබේ. අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින පුරප්පාඩු 800 කට අධික ප්‍රමාණයක්‌ පිරවීම සඳහා අමාත්‍යාංශය කඩිනම් පියවර ගනිමින් සිටී. ගුරු අධ්‍යාපනඥ සේවයේ පවතින පුරප්පාඩු සියල්ල පිරවීම සඳහා තරග විභාගයක්‌ පැවැත්වීමට ද අමාත්‍යාංශය සූදානම් ය.

සියල්ල ඒ අයුරින් සිදුවන වාතාවරණයක්‌ තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යqහය වෙනස්‌ කිරීමේ ක්‍රියාදාමයක්‌ ද ඉතාමත් රහසිතගත සිදුවෙමින් පවතී. අමාත්‍යාංශයේ බොහෝ නිලධාරීන් ඉන් ඉවත් කෙරෙණු ඇති බවට ද ඉඟි පළවෙමින් තිබේ. අගමැති කාර්යාලය හරහා සිදුවෙන ඒ ක්‍රියාදාමය සම්බන්ධයෙන් යම් හෝ අවබෝධයක්‌ ඇත්තේ නිලධාරීන් අතලොස්‌සකට පමණි. ව්‍යqහය වෙනස්‌ කිරීමේ ක්‍රියාවලිය එක්‌ අතකින් නිලධාරීන්ට මරු පහරක්‌ තත්ත්වයට පත්වන බවක්‌ ද පෙනෙන්නට තිබේ. මේ නිසා ඇතැම්හු තැති ගැන්මකින් පසුවෙති. එහෙත් අමාත්‍යාංශයේ දෛනික කටයුතු කෙරෙහි එම තත්ත්වය. බලනොපෑවේ ය.

එහෙත් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය හිටිවනම ගල්ගැසී ඇති සෙයකි. කටයුතු කිසිවක්‌ නොසිදු වන තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ. අමාත්‍යාංශයේ පමණක්‌ නොව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ම දැඩි කැළඹීමක්‌ හටගෙන ඇත.

හේතුව කුමක්‌ ද?

නුසුදුස්‌සන්ට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තනතුරු, උසස්‌වීම්, වරදාන වරප්‍රසාද ලබාදීමේ මුග්ධ ක්‍රියාවලියක්‌ ආරම්භ කර ඇති හෙයිනි ඒ.

දේශපාලනය පළිගැනීම්වලට ලක්‌වූවන් යෑයි කියමින් අධ්‍යාපන පරිපාලන සේවයට විදුහල්පති සේවයට ගුරු සේවයට සහ ගුරු අධ්‍යාපනඥ සේවයට මෙලෙස නුසුදුස්‌සන් පත්කිරීමේ මජර තත්ත්වයකට යහපාලන ආණ්‌ඩුව පත්වනු ඇතැයි කිසිවෙක්‌ නොසිතූහ. එහෙත් සැවොම කරඬුවක්‌ සේ හිස තබාගෙන යන දේශපාලනය විසින්ම සියල්ල සුණුq විසුණු කරමින් සිටී. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ඡේ. දඩල්ලගේ මහතා විසින් දේශපාලන පළිගැනීම්වලට ලක්‌වූවන්ගේ යෑයි කියන 4500 කට අධික පිරිසකගේ නාමලේඛනයක්‌ මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට එවනු ලැබ තිබේ. මේ මස අවසානයේදී එම පළිගැනීම්වලට ලක්‌වූ බව කියන නුසුදුස්‌සන්ට පත්වීම් දීම සඳහා සියල්ල සූදානම් වෙමින් පවතී. අධ්‍යාපන පරිපාලන සේවයට විධිමත්ව පත්වූ දැනට 3 වැනි ශ්‍රේණියේ සිටින නිලධාරීන් 50 කට වැඩි පිරිසක්‌ ද සහන නිර්දේශ යටතේ පළමු ශ්‍රේණියට උසස්‌වීම් ලබති. ඒ අතරින් ඇතැම්හු ඊටත් ඉහළ විශේෂ ශ්‍රේණියට ද පත්වීම් ලබති. මොවුන් අධ්‍යාපන පරිපාලන සේවයේ දේශපාලන කූඩැල්ලන් ලෙස ඉතිහාස ගතවනු ඇත. දේශපාලන බත්බැලයන් මෙලෙස අධ්‍යාපන ක්‍ෂේත්‍රයට රිංගවීමට එරෙහිව කලින් කටයුතු කළ අධ්‍යාපන පරිපාල සේවා වෘත්තීය සංගමයේ සභාපතිවරයාද මෙම නුසුදුස්‌සන්ගේ පත්වීම් සාධාරණීකරණය කරයි. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනුවෙන් මොර දෙමින් සුදුස්‌සන් සුදුසුතන්හි ඉඳුවිය යුතු යෑයි කියූ ඒ මහත්වරුන්ගේ සුජාතභාවය රෙද්ද පල්ලෙන් බේරෙන්නේ දැන්ය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පමණක්‌ නොව වෙනත් ක්‍ෂේත්‍රවලද දේශපාලන පළිගැනීම්වලට ලක්‌වූවන්ට සහන දීම සඳහා කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ප්‍රකාශ කරයි.

මෙම අසාධාරණ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ ලේකම්වරයාගේ අත්සනින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිපියක්‌ යවමින් ඉල්ලා ඇත්තේ අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්‌ථාවට පටහැනිව පත්වීම් ලබා නොදෙන ලෙසය. 1994 වර්ෂයේ සිට මේ දක්‌වා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා සේවා ව්‍යවස්‌ථාවට අනුව තරග විභාග පවත්වා විධිමත්ව නිලධාරීන් බඳවාගෙන ඇතැයි ද පවසන එම සංගමය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට එම සේවයට අදාළ විධිමත් සේවා ව්‍යවස්‌ථාවට පටහැනිව දේශපාලන හෝ වෙනත් හේතු මත බඳවා ගැනීම සඳහා ගන්නා උත්සාහයට බලවත් විරෝධය පළකරන බවත් එම ලිපියේ සඳහන් කර ඇත. තවද එම අවිධිමත් පත්වීම් ලබාදීම අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක බව හීන කිරීමට හේතුවන බැවින් එසේ අවිධිමත් පත්වීම් ලබා නොදෙන ලෙස ජාතියේ දූදරුවන් වෙනුවෙන් ඉල්ලා සිටින බව ද සංගමය සිය ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත.

අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක්‌ කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සති කිහිපයකට ඉහතදී ප්‍රකාශ කළේය. අධ්‍යාපනයට වෙනසක්‌ අවශ්‍ය වන්නේය. ඒ පිළිබඳව විවාදයක්‌ නැත. එහෙත් ඒ අධ්‍යාපන විප්ලවයට නුසුදුස්‌සන් පෙරටුකර ගනු ඇතැයි යන අංශුමාත්‍රයක හැඟීමක්‌ කිසිවකු තුළ නොවිණි. එහෙත් කලින් සඳහන් කළාක්‌ මෙන් නීතියට සදාචාරයට පයින් ගසමින් නුසුදුස්‌සන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට රිංගවීමේ තුච්ඡ ක්‍රියාවලිය විප්ලවීය වෙනසක්‌ යෑයි කීමෙන් ම යහපාලනයේ සැබෑ හැඩරුව පෙනෙන්නේ ය.

නිලන්ත මදුරාවල

Top