Featured

ලොව විශාලතම බොරුව “මුල්ලිවයික්‌කාල්”සිවිල් වැසියන් ලක්‍ෂ 3 ක්‌ මරා දැමුවා

කොටි ඝාතක සමාගම පරාජය වී පසුගිය මැයි 18 දාට වසර 7 ක්‌ සපිරුණි. එහෙත් මේ සත් වසර තුළ ලොව විශාලතම බොරුව ජාත්‍යන්තරය පුරා බරපතළ ලෙස ව්‍යාප්ත විය. ඒ කොටින්ට එරෙහිව දියත් වූ වන්නි මෙහෙයුම ජන සංහාරයක්‌ ලෙස හඳුන්වමින් එම ජන සංහාරයට ද්‍රවිඩයන් දසලක්‌ෂයක්‌ පමණ ඝාතනය වූ බව ප්‍රචාරය වීමයි. මේ සාවද්‍ය ජන සංහාර යෝජනාව ප්‍රචාරය වූ ආකාරයයි.

නෝර්වේ හිටපු අමාත්‍ය එරික්‌ සෝල්හයිම් – “ද්‍රවිඩයන් දස දහස්‌ ගණනක්‌ මරුමුවට පත්වුණා. මගේ මිත්‍රයන් වූ පුලිතේවන් හා නඩේසන්ද මැරුණා.”

ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඇලන් කීනන් – ද්‍රවිඩයන් 147000 ක්‌ මරුමුවට පත්වුණා.

එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජිකා යස්‌මින් සුකා – අපි සිතන හැටියට ද්‍රවිඩයන්

70,000 ක්‌ මියගියා.

චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ – ද්‍රවිඩයන් 75000 ත් 100000 ත් අතර සංඛ්‍යාවක්‌ මළා.

එක්‌සත් ජාතීන්ගේ හිටපු ප්‍රකාශක ගෝඩන් වෙයිස්‌ – වන්නි ද්‍රවිඩයන් 30000 ත් 40000 ත් අතර පිරිසක්‌ මියගියා.

ඇමරිකාවේ ඉන්ටර්සිටි නිව්ස්‌ ආයතනය මෙහෙයවන මාටින් රසල්ලි – ද්‍රවිඩයන් ලක්‍ෂයක්‌ මළා.

හිටපු බී.බී.සී. වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරිසන් – ද්‍රවිඩයන් 147000 ක්‌ අතුරුදන්.

කොටි නීති උපදේශක විශ්වනාදන් රුද්රකුමාරන් – ද්‍රවිඩයන් ලක්‌ෂ තුනක්‌ සමූල ඝාතනය වුණා.

කොටි ඩයස්‌පෝරාව – ද්‍රවිඩයන් ලක්‌ෂ 2 ත් 3 ත් අතර සංඛ්‍යාවක්‌ සංහාරය වුණා.

එහෙත් සංහාරය වූ බව කියන මෙම ද්‍රවිඩ සිවිල් වැසියන්ගේ ඥතීන් කවුද?

ඔවුන් වළ දමා ඇත්තේ කොහේද?

Channe4Lierl

මේ බරපතළ ප්‍රශ්නවලට මෙතෙක්‌ ප්‍රතිචාර ලැබී නැත. එහෙත් හිටපු එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක ගෝඩන් වෙයිස්‌ මෙහෙයවන රාජ්‍ය නොවන සංවිධානයක්‌ පසුගියදා පැවසුවේ ශ්‍රී ලංකා හමුදාව වන්නියේ මිනී වළවල් හාරා ඇටකටු විනාශ කළ බවයි.

එහෙත් 147000 කගේ මිනී වළවල් හාරා ඇටකටු විනාශ කිරීම පහසු කාර්යයක්‌ යෑයි කිව හැකිද?

එම සාවද්‍ය ප්‍රචාරය දියත් වීමට කලකට පෙර තවත් අතිශයෝක්‌තියෙන් යුත් පුවතක්‌ ප්‍රචාරය විය.

එම පුවතේ සඳහන් වූයේ ශ්‍රී ලංකා හමුදාව චීනයෙන් ගෑස්‌ කුටි කීපයක්‌ ගෙන්වා ද්‍රවිඩ සිවිල් වැසියන්ගේ මළසිරුරු පිළිස්‌සූ බවයි. ඉන් ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කිරීමට උත්සාහ කළේ ජර්මනියේ හිට්‌ලර් ගෑස්‌ කුටිවල දමා යුදෙව්වන් ලක්‌ෂ ගණන් ඝාතනය කළ ක්‍රමවේදයම ශ්‍රී ලංකා හමුදාවද අනුගමනය කළ බවයි.

එසේ වුවත් චීනයෙන් ගෙන්වූ බව කියන ගෑස්‌ කුටි අද වනතුරු වත්මන් රජයට හමුවූයේ නැත.

එහෙත් ද්‍රවිඩයන් අතිවිශාල සංඛ්‍යාවක්‌ සංහාරය වූ බවට දියත් වී ඇති සාවද්‍ය ප්‍රචාරය තවදුරටත් දියත් වී ඇත. එම බොරුව දියත් කිරීමේ මෙහෙයුමේ තවදුරටත් කටයුතු කරන්නේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම්ය.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සංහාරයට ලක්‌වූයේ නම් ශිවාජිලිංගම් දිවි ගලවාගත්තේ කෙසේද යන්නයි.

ශිවාජිලිංගම් මෙවරද මුල්ලිවයික්‌කාල්හිදී ජන සංහාරයක්‌ දියත් වූ බව දන්වා ඇත.

මුල්ලිවයික්‌කාල්හිදී විශාල ජන සමූහයක්‌ ඝාතනය වූ බවට ප්‍රචාරය වීමට පෙර 2009 දෙසැම්බර් 18 දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ විධි විධාන අංශයේ අධ්‍යක්‍ෂිකා ඡේන් කොනර් එවකට ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්‍ෂෙනුකා සෙනවිරත්න වෙත ලිපියක්‌ එවමින් කොටි පොලිස්‌පති බාලසිංහම් නඩේසන්, කොටි සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානී සිවරත්නම් පුලිතේවන්, නැගෙනහිර කොටි විශේෂ හමුදා නායක රමේශ් සහ ඔවුන්ගේ පවුල්වල අය මරුමුවට පත්වූයේ කෙසේද යන්න ගැන කරුණු දක්‌වන ලෙස ඉල්ලා තිබුණි.

එතෙක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අල්කයිදා නායක බින්ලාඩන් මියගිය අයුරු අනාවරණය කරන ලෙස ජිනීවාහි ඇමරිකානු තානාපතිගෙන් ඉල්ලීමක්‌ නොකෙරුණි.

මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වන්නි මෙහෙයුමේ 9 වැනි සැමරුමට පෙර මොනිකා පින්ටෝ සහ ජුවන් මෙන්ඩස්‌ නමැති විශේෂ නියෝජිතයන් දෙදෙනා ශ්‍රී ලංකාවට එවීමට ක්‍රියා කළේය. ජුවන් මෙන්ඩස්‌ කටයුතු කළේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පොලිස්‌ විමර්ශකයා ලෙසිනි.

මෙන්ඩස්‌ මෙරටට පැමිණියේ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මිත් සුකා මානව හිමිකම් කවුන්සිලයට කළ සාවද්‍ය පැමිණිල්ලක්‌ නිසා අතුරුදන් වූ බව කියන කොටි ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවේ පොලිස්‌ හා හමුදා කඳවුරුවල වධහිංසාවලට ලක්‌වන බව ඇය පැමිණිලි කර තිබුණි.

univer-sityජුවන් මෙන්ඩස්‌ගේ නියෝජිත කණ්‌ඩායමට වෝහාරික විශේෂඥයකුද අයත් විය. ඔහු ඇතුළු පිරිස බූස්‌ස සිරගෙය, බූස්‌ස ත්‍රස්‌ත රැඳවුම් කඳවුර, ගාල්ලේ හමුදා කඳවුර, කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලය, පානදුර, පුත්තලම හා කල්පිටිය පොලිස්‌ ස්‌ථාන, වන්නි හමුදා මූලස්‌ථානය හෙවත් ජෝශප් කඳවුර, වව්නියා රිමාන්ඩ් සිරගෙය, වව්නියා පොලිසිය, වව්නියා ත්‍රස්‌ත මර්දන කාර්යාලය, බොරැල්ල පොලිසිය සහ වැලිකඩ බන්ධනාගාරයද පරීක්‍ෂාවට ලක්‌ කරනු ලැබූහ.

මේ හැර රහස්‌ පොලිස්‌ මූලස්‌ථානය සහ ත්‍රස්‌ත මර්දන ඒකකයද ඔවුන්ගේ විමර්ශනයට ලක්‌විය. මෙම ස්‌ථානවල සිටි සැකකරුවන්ගෙන් කටඋත්තර ගැනීමටද ඔහු ක්‍රියා කළේය.

රෑඳවුම් භාරයේ සිටි කොටි සැකකරුවෝ මෙන්ඩස්‌ ඇතුළු පිරිසට අතිශයෝක්‌තියෙන් යුත් බොරු ප්‍රකාශ කර ඇත. එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායමට ප්‍රකාශයක්‌ කිරීමෙන් වළකින ලෙස සැකකරුවන්ට බලපෑම් එල්ලවී ඇති බව ජුවන් මෙන්ඩස්‌ පසුව පවසා තිබුණි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැන්නක්‌ සිදුවූයේ මුල්වuරටය. මෙයට පෙර කිසිදු විදේශීය විමර්ශකයකුට පොලිස්‌ ස්‌ථාන හා හමුදා කඳවුරු පරීක්‍ෂා කිරීමට කිසිදු ආණ්‌ඩුවක්‌ ඉඩදී නොතිබුණි.

තමන්ට සීමාවකින් තොරව කඳවුරු පරීක්‍ෂා කිරීමට ඉඩ ලැබුණු බව ජුවන් මෙන්ඩස්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තා කිරීමට ද ක්‍රියා කළේය.

ජිනීවාහිදී ප්‍රකාශයක්‌ තුළ ජුවන් මෙන්ඩස්‌ 2017 වසරේ මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට තමා ශ්‍රී ලංකාවේ වධහිංසා සිදුවීම ගැන විමර්ශන වාර්තාවක්‌ ඉදිරිපත් කරන බව කියා සිටියේය.

එහෙත් මේ විමර්ශන වාර්තාවට ඇතුළත් වන්නේ බිහිසුණු මිනිස්‌ ඝාතන ඇතුළු වෙනත් ත්‍රස්‌ත ක්‍රියා සිදු කළ කොටි ක්‍රියාකාරීන් ලබාදුන් කටඋත්තරයි. එහෙත් කොටි නිසා විපතට පත් වූ කිසිවකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් ප්‍රමුඛ පිරිස කටයුතු කර නැත. මේ අතර මුල්ලිවයික්‌කාල් බොරුව ලන්ඩන් හා ඩෙන්මාර්ක්‌ පාර්ලිමේන්තු දක්‌වා ව්‍යාප්ත විය. එහි ප්‍රතිඵලය වූයේ මුල්ලිවයික්‌කාල්හිදී දසදහස්‌ ගණනක්‌ ද්‍රවිඩයන්ට දිවි අහිමි වූ බව දක්‌වමින් බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂ නායක ජෙරම් කොර්බින් ලන්ඩන් පාර්ලිමේන්තුවේ පැවැති සමුළුවක්‌ අමතමින් ප්‍රකාශ කිරීමයි.

මේ ද්‍රවිඩ ජන සංහාරය නිසා ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලනය ලබාදීමේ යෝජනාවට මම පූර්ණ සහාය දක්‌වන්නෙමි යෑයි ජෙරම් කොර්බින් කියා සිටියේය.france-harrsion

බ්‍රිතාන්‍ය විරුද්ධ පක්‍ෂ නායකයා ලෙස කටයුතු කරන කොර්බින් බ්‍රිතාන්‍ය ඊළාම් ජාලයට සම්බන්ධ වූවෙකි. 2015 ජනවාරි මස ඔහු ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ දේශපාලන ඒකකය වෙත ලිපියක්‌ යවමින් තමාට 28 වැනි මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉඩ දෙන ලෙස ඉල්ලීමක්‌ කළේය. එම ලිපියේ සඳහන් වූයේ තමා ලිබරේෂන් නැමැති රාජ්‍ය නොවන සංවිධානය නියෝජනය කරන බවයි. එහෙත් එම ලිපියේ පිටපතක්‌ මානව හිමිකම් කවුන්සිලයට යමින් සිටි කොටි හිතවාදියකුගේ ගමන් බෑගයෙන් වැටී අප අතට පත් විය.

එම ලිපියෙන් සනාථ වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා කොටි ක්‍රියාකාරීන් ජෙරම් කොර්බින් යොදවා තිබූ අයුරුයි.

මෙම ලිබරේෂන් නැමැති රාජ්‍ය නොවන සංවිධානය මෙහෙයවන්නේ ජෙරම් කොර්බින් බවට දක්‌වා තිබුණත් එය කොටින්ට සම්බන්ධ සංවිධානයක්‌ බව අනාවරණය විය.

මේ අතර ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් පසුගිය 12 දා යාපනයේ චෙම්ටනි හින්දු කෝවිල අසල දී ජන සංහාර සතිය නමින් මියගිය පිරිස්‌ සැමරීමේ මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබීය. උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන්ට සම්බන්ධ ද්‍රවිඩ ජනතා සංසදයද මුල්ලිවයික්‌කාල් සමරුව උතුරු පළාත් සභාව විසින් මැයි 18 දා ඒකාබද්ධව පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත. එසේම මුල්ලිවයික්‌කාල්හිදී මියගිය සියලු දෙනා වෙනුවෙන් ස්‌මාරකයක්‌ ස්‌ථාපිත කළ යුතු බවද එකී සංසදය වැඩිදුරටත් යෝජනා කර තිබේ.

මේ පසුබිම මැද ද්‍රවිඩ සිවිල් වැසියන් විශාල වශයෙන් සංහාරය වූ බවට නැඟෙන අභූත චෝදනාව සනාථ කිරීමට එකී චෝදනාව නඟන ඊළාම් ඩයස්‌ පෝරාවට හැකි වී නැත.

මේ නිසා වන්නියේ මිනීවළවල් හෑරීමට එල්- සැල්වදෝරයේ සිට වෝහාරික විශේෂඥ කණ්‌ඩායමක්‌ මෙරටට ගෙන ඒම සඳහා කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක්‌ රජයට ඉදිරිපත් කළ යෝජනාවට මෙතෙක්‌ ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

මේ අතර මුල්ලිවයික්‌කාල් බොරුව මේ වසරේදී ප්‍රචාරය වන අවස්‌ථාවේ මුල්ලිවයික්‌කලේ සිද්ධිය සියෑසින් දුටු බව කියන පාර්ශ්ව ලන්ඩන් නුවරින් මතු වී ඇත. ඉන් එක්‌ අයෙක්‌ නම් කොටින්ට ප්‍රතිකාර කළ බව කියන නවරන්ජන් උසර්මි නැමැති වෛද්‍යවරයායි.

uk-mullivaikkal-tcc-1මෙවැන්නකු ගැන මුලතිව්හි රෝහලේ සේවය කළ වෛද්‍ය වර්ධරාජා පවා අනාවරණය කර නැත. ඉන් සනාථ වන්නේ වසර 7 කට පසු උසර්මි නැමැත්තකු එළියට පැමිණීමයි. මොහු ගැන චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ පවා දන්නේ නැත. මැක්‌රේ මේ උසර්මි නැමැති කොටි වෛද්‍යවරයා ගැන දන්නේ නම් අනිවාර්යයෙන්ම ඔහුගේ චිත්‍රපටවලට සම්බන්ධ කර ගනු නියතය.

මින් සනාථ වන්නේ විවිධ බොරුකාරයන් මුල්ලිවයික්‌කාල් පරාජය හමුවේ විටින් විට මතු වීමයි. ඇමරිකානු රජය මුල්ලිවයික්‌කාල් සටන පවතින සමයේ හමුදා චන්ද්‍රිකා තුනක්‌ ශ්‍රී ලංකා අහසේ ක්‍රියාත්මක වී තිබුණි.

මේ චන්ද්‍රිකාවලින් පවා මුල්ලිවයික්‌කාල්හි ජන සංහාරයක්‌ සිදු වූ බවට සනාථ වී නැත.

මෙලෙස ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තරය පුරා විශාල බොරුවක්‌ වූ මුල්ලිවයික්‌කාල්හිදී ජන සංහාරයක්‌ සිදු වූ බවට අතිශයෝක්‌තියෙන් යුතුව ප්‍රචාරය වෙද්දී පසුගිය රජය ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව නතර කර ගැනීම සඳහා ඇමරිකානු මහජන සබඳතා ආයතනවලට ඩොලර් මිලියන 42 ක්‌ ගෙවනු ලැබීය.

මුල්ලිවයික්‌කාල්හිදී ජන සංහාරයක්‌ සිදුවූ බවට දියත් වූ ප්‍රචාරයට අදාළව මන්නාරම රදගුරු රායප්පු ජෝශප් සහ හිටපු බී. බී. සී. වාර්තාකාරිනී ප්‍රාන්සස්‌ හැරිසන්ට පිළිතුරු දිය නොහැකි කරුණු දෙකක්‌ විය.

ඒ ජන සංහාරයට ගොදුරු වූවන්ගේ නම්ගම් හා ඔවුන්ගේ ඥාතීන් කවුද යන්න සහ පදිංචිව සිටියේ කුමන ස්‌ථානයකද යන්නයි.

මෙලෙස මුල්ලිවයික්‌කාල් බොරුව පැතිරෙද්දී ජන සංහාරයට ලක්‌ වූ බව කියන ද්‍රවිඩයන් විවිධ රටවලින් මතු වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Top