විශේෂාංග

සිනා සිනා (ඇමරිකන් සිනා)

මහින්ද රාජපක්‍ෂත් පැරදී ඔහුගේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් පරාජයට පත්වූ වහාම ඇමරිකාව අප වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගැනීම තුළින් පෙනී යන්නේ ඇමරිකාවට මහින්ද පෙන්නන්නට බැරිව සිටි බවය. ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රාහකයන් සියලු දෙනා ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යනු පිණිස පිටරටවල් පෝලිම් ගැසුණු අවස්‌ථාවේදී ඒ පෝලිමේ ඉස්‌සරහින්ම හිටියේ ඇමරිකාවය. ඊළඟට එංගලන්තය ය. ඉන්දියාව මේ පෝලිමට එනවාද නැද්ද යන්න කල්පනා කරමින් කල් මරමින් සිට අන්තිමේදී එයට සෙට්‌ විය. එංගලන්තය මේ පෝලිමේ හිටගත්තේ ලෝක මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට හෝ ජාත්‍යන්තර යුද නීතිය සුරක්‍ෂිත කිරීමට හෝ ලංකාවේ දෙමළ මනුස්‌සයාට සිදුවූ කිසියම් අසාධාරණයක්‌ වෙනුවෙන් සටන් කිරීමට හෝ නොව ඇමරිකාවට සපෝට්‌ කරනු පිණිසම බව මෙහිලා සඳහන් කරමු. ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැත. (ඇමරිකාවත් එයට අත්සන් කර නැත.) ඒ නිසා නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි යුද්ධාධිකරණයට අපේ මිනිසුන් භාරදීමේ අවශ්‍යතාවක්‌ ලංකා ආණ්‌ඩුවට මතු වන්නේද නැත. එහෙත් යුද අපරාධකරුවන් ලෙස සැක කෙරෙන අය අල්ලාගෙන ඔවුන් හිර ගෙවල්වල ගාල් කිරීමේ වෙනත් ක්‍රමවේද ලෝකයේ තිබේ.

Mangala_dogමේ නිසා ඇමරිකාව දැනට අප වෙනුවෙන් පෙනී සිටීම තුළ ඇත්තේ තාවකාලික විමුක්‌තියක්‌ පමණි. එහෙත් මෙතෙක්‌ තිබුණ ප්‍රශ්නවල හැටියට තාවකාලික විමුක්‌තිය වුව මදැයි· කෙසේ වුවද අවසන් යුද්ධයේදී ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ නොව දේශීය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකාව විසින් ගනු ලැබ ඇති තීරණයට උදව් කිරීමට ඇමරිකාව සතුටුය. එහෙත් මිත්‍රවරුනි, යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණයක්‌ කාන්තාවක්‌ ඇඳුම් මාරු කරනවාක්‌ මෙන් රහසිගතව වසන් වී බාත්රූම්වලට වැද හෝ අල්මාරි පිටිපස්‌සේ සැඟවී කළ නොහැක. අනෙක එවැනි පරීක්‍ෂණයක්‌ කොතරම් රහසේ සිදු කලද ජාත්‍යන්තරය විසින් එහි වාර්තාව ඉල්ලන ලද කළ දෙන්නට සිදු වේ. එවිට රෝම සම්මුතිය දෙස බලන්නේ වත් නැතිව අදාළ පුද්ගලයා ජාත්‍යන්තරයට භාර දෙන්නට සිදු වේ.

රාජපක්‌ෂ ආණ්‌ඩුව තිබෙන තාක්‌කල් ඇමරිකාව අපට හරහට හිටියේය. එයට ප්‍රධාන හේතුව විය හැක්‌කේ මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිතුමා විසින් බටහිර ලෝකය සම්බන්ධයෙන් දරන ලද එදිරිවාදී චින්තනය ය. බටහිර ලෝකය විසින් මහින්ද රාජපක්‍ෂ හඳුනා ගන්නා ලද්දේ ආසියාවේ කස්ත්‍රෝ ලෙසිනි. (කියුබානු නායකයාව සිටි සමයේ දී ෆිදෙල් කස්ත්‍රෝ විසින් ඇමරිකාවට විරුද්ධව විශාල ව්‍යාපාරයක්‌ ගෙන යන ලද අතර ඔහු මැඬපැවැත්වීමට ඇමරිකාවේ කිසිදු ජනාධිපතිවරයකුට හැකි වූයේ නැත.) එහෙමත් නැත්නම් ආසියාවේ හියුගෝ චාවේස්‌ ලෙසිනි. (වැනිසියුලාවේ නායකයාව සිටි චාවේස්‌ මෙයට කලකට පෙර පිළිකාවක්‌ වැළඳී මියගිය අතර ජීවතුන් අතර සිටි කාලයේදී ඇමරිකාවේ පරම හතුරෙක්‌ විය.) බටහිරට එරෙහි මතවාදයන් අනුගමනය කළා මදිවාට මහින්ද රාජපක්‌ෂ චීනයට හිතවත් ප්‍රතිපත්තියක්‌ද අනුගමනය කරමින් ඉන්දියාවට රිදවීය. ඒ කටයුත්ත සඳහා දිරිදෙනු පිණිස සැදී පැහැදුණු දේශපාලනඥයන් රැසක්‌ ද ඔහු සමඟ සිටියහ. අද ඒ කට්‌ටියම බලයේ නැත. ඒ නිසා ලංකාව සමග ගනුදෙනු කිරීමටත් මෙහි තිබෙන දේශපාලනයට රිසි සේ ඇඟිලි ගැසීමටත් හැකි බව ඇමරිකාව කල්පනා කරනවා විය යුතුය. එරට සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්‌වාල් නමැති තරුණ නෝනා මහත්මිය මෙහි පැමිණ හැසිරෙන ලිහිල් ලීලාවෙන්ම පෙනී යන්නේ ඇමරිකාව තුළ ලංකාව සම්බන්ධයෙන් පහළ වී තිබෙන “නිදහස්‌” සිතුවිල්ලයි. රාජපක්‌ෂ යුගයේ දී මෙවැනි ඇමරිකන් සිනා අපට දැක ගන්නට ලැබුණේම නැත.

කෙසේ වුවත් අපේ රටට හොඳක්‌ වෙනවා නම් ඇමරිකාව හිනා වීමෙන් නොනැවතී මෙහි පැමිණ විකට නාට්‍ය පෙන්වූවත් වරදක්‌ නැත. එහෙත් අප සමඟ හිනා වෙන්නට මිස අපට හිනා වෙන්නට අවස්‌ථාවක්‌ ඔවුන්ට නොදිය යුතුය.

දිවයින
2015-08-29

Top