Anonymous Reporter

සිරාගේ ජාත්‍යන්තර කටයුතු ලොක්කා මිලියන 300ක පොල්ලක් තියලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක මෙන්ම හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සභාපතිත්වය දරන සමාගමක් විසින් මිලියන 300ක පමණ පොල්ලක් තැබීම හේතුවෙන් ‍අගලවත්ත වතු සමාගමේ සේවක/සේවිකාවන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.

අගලවත්ත වතු සමාගමේ නිලධාරීන්ගේ සිට සුළු සේවකයින් දක්වා සියලුම කාර්ය මණ්ඩලය වන 3000 ක පමණ පිරිසක් අද (5) පෙ.ව 10.30 ට බොරැල්ල, ඥානාර්ථ ප්‍රදීප මාවතේ මැක්වුඩ්ස් ගොඩනැඟිල්ල ඉදිරිපිටට එක්වීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

වසර 3ක් තිස්සේ මෙම සමාගමේ සේවකයින් වෙනුවෙන් ඊ.පී.එෆ් හා ඊ.ටී.එෆ් අරමුදලට මුදල් බැරකිරීමට සමාගමේ සභාපති වන ක්‍රිස් නෝනිස් විසින් කටයුතු කර නැති බවට සේවකයෝ චෝදනා කරති.

එම මුදල මේවන විට මිලියන 300 ඉක්මවා ඇති බවත්,මේවන විට සේවකයින්ගේ වැටුප් පවා නියමිත වේලාවට නොගෙවන හා අතිකාල දීමනා නොගෙවන තත්ත්වයක් උදාවී ඇතැයි වතුසමාගමේ වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් වැඩබිමට කියා සිටියේය.

මේ හේතුවෙන් හෙට දිනයේ මැක්වුඩ්ස් ගොනැඟිල්ලේ පිහිටි වතුසමාගමේ ප්‍රධාන කාර්යාලය සේවකයින් විසින් වටලනු ඇති බවත්, තම ශ්‍රමයට ගෙවිය යුතු නියමිත අරමුදල් ගෙවන තුරු සටන අත්නොහරින බවත් සේවකයින් සඳහන් කරයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළකරනු වස් දිවයින පුරා වතු සේවක/සේවිකාවන් අද දිනයේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බවද වතු සේවක ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබිම

මේ වනවිටත් අගලවත්ත වැවිලි කර්මාන්තායතනයේ සේවක පිරිසක් ඉල්ලීම් 11 ක් මුල්කරගනිමින් අද පෙරවරුවේ කොළඹ 8 බොරැල්ල පිහිටි එහි කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති අතර 1000කට ආසන්න පිරිසක් එහි රැස්ව සිටින බව අප කොළඹ වාර්තාකරු සදහන් කළා.

Top