Featured

සිරිසේන… කෝ මේ සිරිසේන ..අන්න දුන්න එක නාමික එකක්ලු! සිරිසේනට දිට්ඨධම්ම වේදනීය කර්මය ඵලදුන්නා…. ශත පහකටවත් විශ්වාස නෑ! පොහොට්ටුවෙන් තරග කරන්න ඉඩ දෙන්න බෑ !

Published on: Feb 20, 2020- මහින්ද මහත්තයට විරුද්ධව ආප්ප කාලා පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේට නව සන්ධානයේ නාමික සභාපතිකම හෝ ලබාදිමට කටයුතු කිරිම ගැන තමන් මෙන්ම පොහොට්ටුවේ බහුතරයක් විරුද්ධ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව එම සන්ධානයේ නාමික තනතුරකට හෝ පත් කිරීම පිළිබද ව එකග විය නොහැකි බව ද රණතුංග මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ සභාපතිධූරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රණතුංග මහතා මේ බව සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර සන්ධානයක් බිහිවීම පිළිබද ව මම මුල ඉදලම කියපු දේ තමයි මොන සන්ධානය හැදුවත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් බව. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ සන්ධානයේ සම නායකයා බවට පත් කිරීමට මම විරුද්ධ බව කිව්වාග මම තවමත් කියන්නේ අපිට ශ්‍රිලනිපය සමග සන්ධාන අවශ්‍ය නෑ. අපිට තනිවම පොහොට්ටුවෙන් දිනන්න පුළුවන් කියලයි. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා එකතු කර ගන්නවාට මම ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් කැමති නැති බවත් මම කිව්වා. මම දරපු ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මම තවමත් කියන්නේ අපට තනිව ඉල්ලලා දිනන්න තිබුණා. ඒ වගේ ම මෛත්‍රී සම්බන්ධ කර නොගත යුතු ව තිබුණා.”

“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් අද මේ රට තිබෙන තත්ත්වයට වගකිව යුතුයි. එදා මහින්ද මහත්තයට විරුද්ධව ආප්ප කාලා පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙලා රටට කරපු විනාශයට කිසිසේත් සමාව දෙන්න පෞද්ගලිකවම මට බෑ. මේ සන්ධානයේ සභාපතිධූරය කිසිම බලයක් නැති නිකම්ම නිකම් තනතුරක් වුණත් ඒකට මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමාව පත් කළාට මා නම් විරුද්ධයි. මා විතරක් නෙමේ මේ රටට ආදරය කරන බහුතරයක් විරුද්ධයි. පහුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද මහත්තයා වෙනුවෙන් ඡන්දය දුන්න මිනිස්සු බහුතරය විරුද්ධයි.”

“මට වගේම රටේ බහුතරයකටත් මෙමත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තවමත් ශත පහකටවත් විශ්වාස නෑ.”

“මම මගේ විරෝධය මහින්ද මහත්තයටත්, බැසිල් මහත්තයටත් කිව්වා. මම කියන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පොහොට්ටුව ලකුණින් තරග කරන්න ඉඩ දිය යුතු නෑ. එහෙම එනවාට අපේ පාක්ෂිකයෝ කැමති නෑ. හැබැයි මම මේක දකින්නේ දිට්ඨධම්ම වේදනීය කර්මය ඵලදීමක් විදිහටයි. එදා පක්ෂයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කියපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අද ඒ පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටවපු සන්ධානයේ සභාපතිකම ගන්න වෙලා තියෙනවා. ඔහුට එහෙම වුණ එක ගැන මට තියෙන්නේ සතුටක්.නමුත් ඔහුව එකතු කරගෙන මැතිවරණයට යාම පිළිබද ව මම එදත්ල අදත්ල හෙටත් විරුද්ධයි.”

Top