Anonymous Reporter

සිරිසේන විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නෑ

වත්මන් රජය විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත්, සුළු සංශෝධන කිහිපයක් පමණක් සිදු කරනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19 වැනිදා) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගත් අතර එම ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමන්ගේ සේවය තවදුරටත් අවශ්‍ය බව එක් පිරිසක් පවසන නමුත් තවත් පිරිසක් පක්ෂ දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින ලෙස ප්‍රකාශ කරන බැවින් මෙම ප්‍රකාශවලින් කුමන ප්‍රකාශය සත්‍යදැයි තෝරා බේරා ගැනීමට නොහැකිව තමන් උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වී සිටින බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පසුගිය රජය සමයේ රටේ බරපතළ ත්‍රස්ත ක්‍රියා කළ බවට චෝදනා ලැබූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ වත්මන් රජය බලයට පත් කිරීම සඳහා කටයුතු කළ පාර්ශ්වයන්ට දුන් ‍පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා මෙවැනි දේ කරන බවයි.

පුද්ගලයන් ඉලක්ක කරගෙන විවේචනය කිරීම අනුමත නොකරන නමුත් රජය විවේචනය කිරීමේ පූර්ණ අයිතිය ජනතාවට තිබෙන බවත් ජනතාව අද වනවිට විශාල පීඩනයකට පත්ව සිටින බැවින් ඒ පිළිබඳ හඬ නැගීම දේශපාලනඥයන්ගේ යුතුකම බවද රාජපක්ෂ මහතා පැවසීය. ජනතාවට සහන සැලසීමත් ජනතාව මත බරක් පැටවීමකින් තොරව රට සංවර්ධනය කිරීමත් රජය වගකීම බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“මගේ සහාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත යුතුයි කියලා පක්ෂයේ මහ‍ලේකම් කියනවා. නමුත් ඒත් එක්කම පක්ෂයේ භාණ්ඩාගාරික කියනවා නිහඬව පැත්තකට වෙලා ඉන්න කියලා. ඇවන්ගාඩ් ආයතනයෙන් රටට විශාල සේවයක් වුණා. යම් වරදක් වෙලා තියෙනවා නම් වසා දමන එක ‍නෙවෙයි කරන්න ඕනෑ. ඒ අඩුපාඩු නිවැරදි කර ඉදිරියට පවත්වාගෙන යාමයි කළ යුත්තේ. මේ විදියට රටේ ආයතන වහන්න කටයුතු කළොත් රටට මොකද වෙන්නේ?” යැයි රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම හා ඒ. එච්. එම්. අස්වර් යන මහත්වරුද එක්ව සිටි අතර මහින්ද රාජපක්ෂ මහතාට සුභ පැතීම සඳහා පැමිණි ජනතාවට හෙතෙම ස්තූතිය පුද කළ අතර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ අස්ගිරි මහා පිරිවෙනේ පරිවෙණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමියන්ද බැහැ දැක දීර්ඝ ලෙස පෞද්ගලික සාකච්ඡාවල නිරත විය.

MR_18 (9) MR_18 (8) MR_18 (7) MR_18 (6)

MR_18 (5) MR_18 (4) MR_18 (3) MR_18 (2) MR_18 (1)

 

 

 

 

 

Top