විශේෂාංග

සුමන්තිරන් ඉල්ලන ආපසු ගන්න බැරි එක

ධර්‍මසිරි බණ්ඩාරනායක (පුරවැසි බලය) ලංකාව දැන් එක රටක් කියා සම්බන්ධන්ට විපක්‍ෂ නායකකම දිය යුතුයයි කෑගසද්දි, ඊට කලින් ටී එන් ඒ එකේ ඒබ්‍රහම් සුමන්තිරන් කෙඳිරිගෑවේ ඔවුන්ට ඕනෑ බලය පැවරීමක් මිස බලය බෙදීමක් නොවන බවය. ඔහුට අනුව බලය පැවරීමක් කියන්නේ එය දුන් පුද්ගලයාට ආපසු ගත නොහැකිවන ආකාරයේ ඩිවොලූෂන් වෙට්ටුවකටය. උදාහරණයක් වශයෙන් කියතොත් යම් තරුණියක් ඇගේ පෙම්වතාට ඇගේ කන්‍යා භාවය පවරා දුන්නොත් ඇයට එය කවදාවත්ම ආපසු ලබාගත නොහැකිය. මෙහිදී මට මතක් වන්නේ ඒ කාලයේ 1960 ගණන් වල ෆිලික්ස් ඩයස් ඇමතිතුමා කියා සිටි “ලිට්ල් බිට් ඔෆ් ඩික්ටේටර්ෂිප් (ෆ්ලර්ටින් විත් ඩික්ටේටර්ෂිප්) ඊස් ඕ කේ” යයි කියපු කතාවය.

මේ අන්ද‌මට දෙපක්‍ෂයක්, ජෝඩුවක්, ෆ්ල්‍ර්ට් කරනවිට ඇතිවන අවදානම නම් යම් විධියකින් එක් අයෙක් පොයින්ට් ඔෆ් නෝ රිටර්න් එකට ලංවුනොත් වෙන්නේ කුමක්ද යන්නය. උදාහරණයක් වශයෙන් ඒ කාලයේ යම් ගුවන් යානයක් අත්ලාන්තික් සාගරය හරහා යනවිට එහි ඇති ඉන්‌ධන ප්‍රමාණය සෑහුණේ ලන්ඩන් සිට නිව් යෝර්ක් වලට යාමට පමණය. එය සාගරයේ එක්තරා දුරකට ගිය පසු ආපසු හැරී ඒමට තරම් ඉන්‌ධන ඉතිරි නොවේ. ඒ නිසා ගිය ගමන දිගටම යෑම හැර, නැත්නම් මරණය හැර, වෙන විකල්පයක් නැත. ඒ ස්ථානයට කිව්වේ පොයින්ට් ඔෆ් නෝ රිටර්න් කියාය.

2002 දී රනිල් හා ප්‍රභාකරන් ගැසුවේද පොයින්ට් ඔෆ් නෝ රිටර්න් සාම ගිවිසුමක් වුවද ප්‍රභාකරන්ගේ මෝඩ කෑදර තදියම නිසා වෙලාව එනතුරු ෆලර්ට් කර කර ඉන්නට තරම් ප්‍රභාකරන්ට ඉවසීමක් නොවූයේය. මැරිලින් මොන්‍රෝ වරක් කියූ අන්දමට ජෝන් එෆ් කෙනඩිටද ඇය සමග ෆලර්ට් කර කර ඉන්න වේලාවක් නොතිබුණි. අන්තිමේදී ඇය සියදිවි නසාගත්තේය. මේ වගේම ප්‍රභාකරන්ටද හෙමින් හෙමින් යනවා වෙනුවට පුදන කොටම කාමි යකාවීමේ, නමෝ නමෝ තන්තායි රේප් කිරීමේ, කලබලයක් තිබුණි. එසේ නොවන්නට අද ටැමිල් නාඩ් ඇතුළු ලංකාවේ උතුරු නැගෙනහිර හා කඳුකරයේ කොටසක රජා ප්‍රභාකරන් ය. ත්‍රිකුණාමළය ඇමෙරිකන් නාවික කඳවුරකි. සිංහල කෑල්ල දකුණු ආසියාවේ පලස්තීනය වී අනුරාධපුරයේත්, පොළොන්නරුවේත්, නුවර එළියේත්, මහියංගනයේත් මායිම් සටන් (බෝඩර් ඇටෑක්ස්) වලට හිරවීය.

සුමන්තිරන්ගේ මේ කතාව අගමැති වීමේදී රනිල් මහතා විසින් ප්‍රසිද්ධියේ කියවූ 7 වන ෂෙඩූල් දිවුරුම් පෙත්සමේ ඇස්බැන්ඳුම් ස්වභාවය මොනවට එලිකරයි. ලංකාව බලාගන්නා සතරවරම් දෙවිවරු ඉන්නවා කියන්නේ මේ නිසා නොවේද? අපි ඒකීය රාජ්‍යයකට… අපි ඒකීය රාජ්‍යයකට… කිය කියා මහජනයාගේ (සිංහල බෞද්ධයාගේ හා දුප්පත් කතෝලිකයාගේ) ඇස්වලට වැලි ගසන්නට පුළුවන. 13 සංශොධනයට එහා යන්නේ නැතැයි කියන්නටද පුළුවන. මේවා කියන්නට දක්‍ෂයා, යුද්ධ කරන ශාස්ත්‍රයද හොඳින් දන්නා ලක්‍ෂ්මන් කිරිැල්ලේය. නමුත් 13 සංශොධනය යටතේම සුමන්තිරන් ඉල්ලන අර ආපසු ගන්නට බැරි දේ දෙන්නට පුළුවන් බව මෛත්‍රීපාල ජනාධිපතිතුමාට පෙන්වා දීමට අඩු තරමින් චම්පික රණවකවත් සමත් වේවිද? රතන හාමුදුරුවන්ටත් මාදුළුවාවේ හාමුදුරුවන්ටත් දැන්වත් මෙය පෙනීයාවිද?

මහින්ද රාජපක්‍ෂ මහතා දැන්නම් (චන්ද දෙකකට පසුව) පාඩමක් ඉගෙන ගෙන ඇති බව පෙනේ. නීතිය යටතේ, 13 යටතේ, චන්දයක් දිය යුතුය කියා වාසුදේවගේ හෝ නාමල් රාජපක්‍ෂ නම් නීතිඥයාගේ හෝ ලණුවක් කා ඔහු විග්නේශ්වරන්ට උතුර භාර කලේය. මෙය 2002 රනිල් කල භාරදීමට වඩා භයානක විය. විග්නේශ්වරන් දිනූ දා සිටම කියන්නේ ජේ ආර්ගේ ව්‍යවස්ථාව ඔවුන් පිළි නොගන්නා බවය. මේ අනුව මහින්ද නීතියක් ගැනත්, විග්නේශ්වරන් අවනීතියක් ගැනත් කතා කලේය. බොටම් ලයින් එක නම් වෙස්සන්තර කෙනෙක් වෙන්නට ගොස් සිරි සංඝබෝ කෙනෙක් බවට රටේ ජනාධිපති වැටුන බවය. ආර් ප්‍රේමදාස් හා මිසිස් චන්ද්‍රිකාද මෙසේම මීට කලින් සිරි සංඝබෝ වූ අය නොවේද? මොවුන් රට කෑවේය.

වෛරී දේශපාලනය වෙනුවට සම්මුතිවාදී දේශපාලනයක් ගැන මෛත්‍රීපාල ජනාධිපතිතුමා දේශනා කළත්, අළුත් පාර්ලිමේන්තුවේ අගමැති රනිල් හැසිරෙන්නේ මෙදා සැරේ දෙනව බැටේ (හොඳ හොඳ නැටුම් එළිවෙන් ජාමෙට) යන ජානයෙන් උඩ පනිමින් බව පෙනේ. වාසුදේව පෙඩරල් මහතා කලින් කිවු වචනය වෙනුවට දැන් කියන්නේ රනිල් වලංකඩේ ගොනෙක්වගේ කියාය. හොරුන්ගෙන් පිරී පාර්ලිමේන්තුව රනිල් සිතන්නේ දැන් වඳුරන්ගෙන් පිරී ඇතිය කියාය. මා නම් සිතන්නේ 1948 න් පසුව ලංකාව පාලනය කර ඇත්තේ සිංහල වඳුරන් ය කියාය. බොහෝ විට එළිපිටිනුත්, නිතරම රහසිගතවත්, 1921 පොන්නම්බලම් අරුණාචලම් ආරම්භකල ලංකාව දෙකට කැඩීමේ ව්‍යාපාරය අද බෝම්බයෙන් නොව පෑනෙන් කරගැනීමට ඉඩ සැලසී ඇත.

සිංහල නායකයින් නමැති නිල්, කොළ හා රතු කොළඹ වඳුරන් (කළු සුද්දන්) (1948 න් පසු ආපු අගමැති, ජනාධිපතිවරු) පුද්ගලික වාසිය සඳහා රට පාවා දෙද්දී 1921, 1935, 1949, 1976 යන මයිල් පෝස්ට් ඇතිව දෙමළ ජාතිවාදී පක්‍ෂ එක හෝ දෙක රේල් පාර උඩ සෙමින් ඇදෙන කෝච්චියක් සේ සිය ඉලක්කය කරා ලඟා වෙමින් සිටී. බෝම්බ මගින් එය ගන්නට චෙල්වනායගම් අනුමතකලේ ත්‍රස්තවාදියෙකුගේ පිලිමයකට මල්මාලාවක් දමාය. ඉන් පසු අමිර්තලිංගම්ලා, කුමාර් පොන්නම්බලම්ලා හා නීලන් තිරුචෙල්වම්ලා මරණ තෙක්ම ඔවුන්ට මේ බෝම්බ කාරයින් හිත උඩින් හෝ හිත යටින් අවර් බෝයිස්ලා විය. අවුරුදු 33 කට පසු එය කෙළවරවිය. දැන් 2009 මැයි 27 ජිනීවා කොමිසමට 13 ඒ ක්‍රියාවට නැගීමට පොරොන්දුවීමත් සමඟ හා 13 ඒ අනුව විග්නේශ්වරන්ට බලය පවරාදීමත් සමග කෝච්චිය පල්ලමක බ්‍රේක් ගසමින් යයි. අර ආපසු ගන්න බැරිදේ (මස් රාත්තලම) ඉල්ලන්නේ ඒ නිසාය. අමිර්තලින්ගම් එලිපිට සටන් කලත් සම්බන්ධන් ශුක්‍ෂම එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් බව පෙනේ. රටේ ජනාධිපති, රටේ අගමැති ඔහුට සුක්කානමක් දී ඇත.

විරුද්ධ පක්‍ෂයේ නායකකමට පත්කර තිබෙන පක්‍ෂයේ චන්ද ප්‍රකාශනයේ තියෙන කරුණු 4 කුමක්ද? (1) දෙමළ ජනතාවට ස්වයංපාලන අයිතිය ඇත (2) උතුරු නැඟෙනහිර පලාත් දෙක එක් කල යුතුය (3) ඒකීය වෙනුවට පෙඩරල් ක්‍රමයක් ඇතිකල යුතුය (4) යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්‍ශනයක් කල යුතුය. කලින් අවර් බෝයිස්ලා විශ්නේශ්වරන්ට අනුව දෙමළ කැප්පෙට්ටිපොලලාය. ටී එන් ඒ ඉහත චන්ද ප්‍රකාශනය නිකුත්කල රැස්වීමේදී ප්‍රභාකරන්ගේ නම කියවුන හැම විටම විසිල් හා අත්පොලොසන් නාදය. ප්‍රභාකරන්ගේ නම නැවත නැවත කීම හැම කතාකාරයාගේම අරමුණ විය. ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ එසේය.

වෙල්ගම නමැති පුද්ගලයා විපක්‍ෂ නායක කමට නුසුදුසු චරිතයක් ඇත්තෙකි. එහෙත් ඒ වෙනුවට ගෙනා සම්බන්ධන් මන්ත්‍රීන් 16 ක් සිටින පවතින ආණ්ඩුවටම සම්බන්‌ධ කෙනෙකි. දකුණේ යූ එන් පී එක දිණුවේ ඔවුන්ගේ දෙමළ චන්ද නිසාය. විපක්‍ෂය විය යුතු මහින්ද ප්ලස් හෝ මයිනස් ඉතිරි පරණ නිල් කට්ටියය.

රනිල් අගමැති ඇතුළු බොහෝ දෙනා බෝර්න් අගේන් පෙඩරල් කාරයින් ය. මේ ආණ්ඩුව මේ සැරේ නම් හොඳ බැටයක් දෙනු ඇත. අගමැති, කරු ජයසූරිය හා සම්බන්ධන් එය හොඳින් කළමනාකරණය කරන්නට යන බව පැහැදිලිය. පාර්ලිමේන්තුව ඇතුලේ හා ඉන් පිට සිංහල බෞද්ධ බලවේගයක් ගොඩ නොනැඟුනොත් අවුරුදු 5 ඉවරවී මීලඟට නිල් ආණ්ඩුවක් හදන බවට මෛත්‍රී හා මහින්ද 64 සංවත්සරයේදී කියන කතා 7 ෂෙඩූල් එක යටතේ රනිල් දුන් ඒකීය දිවුරුම් පෙත්සම වගේම ඇස් බැන්ඳුමක් පමණය. මොවුන් තුන් දෙනාගෙන්ම ගෙන් බේරීමට හැකිවන්නේ සිංහල බෞද්ධ බලවේගයක් මඟින් පමණය. බොදු ජන පෙරමුණ යළිත් අළු ගසා ඒවිද? නැවත සෝම හාමුදුරුනමක් ඒවිද?

වාර්ගික දෙමළ හෝ මුස්ලිම් ජනයාට කිසි හිරිහැරයක් නොකල යුතුය. එහෙත් මේ දිවයින සිංහල බෞද්ධ රට බවත් මෙම සිංහලේ ට 1815 දී අහිමිකලදේ 1948 දී හෝ ඉන්පසු ආපසු නැවත නොලැබුණ බවත් ඓතිහාසික සත්‍යයකි. නූතන අවශ්‍යතාවයන්ට අනුකූලව යම් යම් සංශොධන සහිතව සිංහල බෞද්ධයින්ගෙන් උඳුරාගත් අයිතිවාසිකම් ඔවුන්ට නැවත ලබාදීම , මේ රටේ සෙසු වාර්ගික ජන කොටස්වලට කරන හානියක්, වෙනස්කමක්, මානව අයිතිවාසිකම් කඩකිරීමක් නොවේ. 29 (2) වගන්තිය අනුව සර් අයිවෝර් ජෙනිංන්ස්ගේ කීමට ඩී එස් සේනානායකගෙන් ආරම්භවූ කොළඹ සිංහල ක්‍රිස්තියානි කළු සුදු යුරෝපයට ආවඩන පාලන-සමාජ ක්‍රමය වෙනුවට දැන් 2015 අගෝස්තු සිට සම්මුති දේශපාලනයක් මෛත්‍රී ජනාධිපතිට ආරම්භකල හැකිය. ඔහු මහින්ද දමනයක් කර අවසානය. ඔහුට ඉක්මණින්ම හෝ ප්‍රමාදව, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රනිල් දමනයක්ද කිරීමට සිදුවන බව නිසැකය.

දිවයිනේ වාර්ගික ප්‍රශ්නයට විසඳුම සම්මුතිවාදී දේශපාලනයය. ලිච්චවි මාවතය. සාකච්චාවය. මිනිසුන් කුඩා පරිමාණ ඒකක වශයෙන් (ගම්, පංචයාත්, ජන සභා) සාකච්චාකර එකඟතාවයකට ඒමය. පක්‍ෂ දේශපාලනය හෝ උසාවි වල දැන් නඩු විසඳන ක්‍රමය හෝ නොව, සාම මණ්ඩල ක්‍රමයය. මෙය රීසනබල්නස් හෙවත් බුද්ධාගමේ මධ්‍යම ප්‍රතිපදාවය. ජනාධිපතිතුමා කියන වෛරී දේශපාලනය අත්‌හැරියයුතු පක්‍ෂ දේශපාලනයෙන් පමණක් නොව සිංහල-දෙමළ-මුස්ලිම් කාණ්ඩ විසිනුත් ය. මෙයට බාධා වන්නේ වෙනම දෙමළ රටක් සඳහා වන ටැමිල් නාඩ් හා ගෝලීය දෙමළ සටනට ලංකාව පටලවා තිබීමය. අනිත් කරුණ ඉස්ලාම් ශාරියා වහාබි ව්‍යාප්තවාදයය. අයුතු ක්‍රිස්තියානිකරණයද මීට වක්‍රව සම්බන්ධය.

ස්වයංපාලනයක් ඉල්ලන අය, ඉන්දියාවටත් වෙනස් ආකාරයේ පෙඩරල් ඉල්ලන අය, ආපසු ගන්නට බැරි බලතල තමන්ට පවරන ලෙස ඉල්ලනවිට ඒ සඳහා රනිල්-මංගල-රාජිත-ඩිලාන් ප්‍රමුඛ පිරිසක් ක්‍රියාකරනවානම් එය රටේ බෙල්ල කැපීමකි. මොවුන් රට කැඩූ පසු මොවුන්ගේ බෙල්ල කපා වැඩක් නැත. ඒ නිසා එය බෞද්ධ නාගරාජයාගේ ක්‍රමයට වළක්වා දසරාජ ධර්‍මයට අනුව විසඳුමක් සැපයිය යුතුය. මෙවැනි විසඳුම් ක්‍රමයක් හිටපු ජනාධිපතිට ඉදිරිපත්කලත්, උගත් පාඩම් හා සංහිඳියා කොමිසමට පෙන්වා දුන්නත් බැසිල් රාජපක්‍ෂ හා ලලිත් වීරතුංග යන දෙන්නා එය කඩා කප්පල් කලේය. මෙම අළුත් විසඳුම් ක්‍රමය අනුව දිවයිනේ ග්‍රාම සේවක වසම් 14,000 (ප්‍රේමදාස් ජනාධිපති එය 4,000 සිට 14,000 දක්වා වැඩි කලේය, ලෝකයේ කොහේවත් මෙවැනි වැඩිකිරීමක් සිදුව නැත) ස්වාභාවික මායිම් (ජලය ආශ්‍රිතව) (ඉකොලොජිකල් බවුන්ඩරීස්) අනුව නැවත බෙදා අළුතින් බිහිවන ඒකක සංඛ්‍යාව ජන සභා වශයෙන් හඳුනාගෙන ඒවාට මිනිසුන්ගේ එදිනෙදා ජීවන කටයුතුවලට අදාල තීරණ ගැනීමේ බලය පවරණු ලැබේ. ජන සභාවක් පක්‍ෂ දේශපාලනයෙන් තොරව තෝරාගත් දස දෙනෙකුගේ කොමිටියක් මඟින් හසුරවනු ලබයි.

මෙම ජන සභා එකතුවකින් මැතිවරණ බල ප්‍රදේශයක් සැදේ. අනිත් අතට මේ ජන සභා වල එකතුවකින් දැන් තිබෙන ආකාරයේ පාලන දිස්ත්‍රික් හා පලාත් සදාගත හැකිය. රට දෙකට කැඩේය යන සිංහල මිනිසුන්ගේ සාධාරණ භීතිය නැති කිරීමටත්, දෙමළ පොදු අභිප්‍රායන් (අභිලාශ, ඇස්පිරේෂන්ස්) ඉටුකරගැනීමට යයි සමහර දෙමළ නායකයින් කරන උත්සාහයට අවහිර නොකිරීමටත් හැකිවන ලෙස මෙන්ම රටේ පරිසරයට හා භූගෝල විද්‍යාවට අනුකූල වන ආකාරයටත් 1832 දී යුද්ධොපායමය කෘතිම බෙදීමක් ලෙස පටන්ගත් පලාත් නමය වෙනුවට මෙම ජන සභාවල එකතුවකින් දිවයින ගංඟා ද්‍රෝණි හතකට බෙදිය හැකිය. මෙසේ එක් එක් ජන සභාවක මායිම තීරණය වන්නේ භාෂාව හෝ ආගම අනුව නොව ස්වභාවික නිර්‍ණායකයක් මතය. එසේ වුවත් එවැනි ජන සභාවක් තුල බිහිවන ජන වාර්ගික සංයුතිය විවිධාකාර විය හැකිය. සමහරක 90% ක්ම ද්‍රවිඩ හින්දු විය හැකිය. සමහරක 90% මුස්ලිම් විය හැකිය. තවත් සමහරක, කොළඹ නගරයේදී මෙන් 65% දෙමළ හා මුස්ලිම් විය හැකිය. වැදගත් කරුණ නම් ඒවා ජාතිය හෝ ආගම අනුව ඇති කල ඒකක නොවීමය.

සංහිඳියාව ඇති කිරීම සඳහා ගන්නා ක්‍රියා සද්භාවයෙන් ගැනීම පමණක් නොසෑහේ. ඒවා දෙපැත්තටම මිස එක පැත්තට යන තීරණ නොවිය යුතුය. සම්පූර් ඉඩම් ආපසු දීම, මුර පොලවල් ඉවත් කිරීම, යුද ජයග්‍රහණය නොසැමරීම යනාදී වතුර බින්දු වලින් සාම කළය පිරවීමට ඉඩ ඇත. එහෙත් හොර පෙම්වතෙක් ඉන්නා බිරිඳගේ හිත ගැනීමට ඇයට රත්තරන් මාල, කූරු, වළලු අරන් පුදනවා මෙන් රනිල්-මංගල-රාජිතලා නැතත් ජනාධිපතිවරයා, ආපසු ගන්නට බැරි පැවරීම් කිරීමට සිතීමට පෙර දැන් තිබෙන 13 ඒ සෙල්ලම යටතේ පොයින්ට් ඔෆ් නෝ රිටර්න් වලට යන්නට හොඳටම ඉඩ ඇතිබව තේරුම් ගත යුතුය. අනිත් කරුණ නම් සම්මුතිවාදී-ලිච්චවි කතා හා ක්‍රියාව අතර පෑස්සීමක් තිබිය යුතු වීමය. හවුල් ආණ්ඩුවකට ජාතික ආණ්ඩුවක් යයි නොකිය යුතුය. ඇමතිකම් පගා ලෙස නොදිය යුතුය. චතුරාර්‍ය්‍ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්‍ගය අනුව යා යුතුය. 1921, 1949, 1976 සිට යන කෝච්චිය නතර කරලා නැත. එය නතර කර රේල්පාරද ගලවා දැමිය යුතුය.

මෙහිදී අමතක නොකල යුතු තවත් කරුණක් නම් මන්ත්‍රීලා, ලැයිස්තු මන්ත්‍රීලා, වික්‍රමබාහුලා හැරෙන විට මිසිස් චන්ද්‍රිකාගේ සිට පරණ පෙඩරල්, මේ යුද්ධය නම් කවදාවත් දිනන්නට බෑ කියූ නිලධාරීන් බැටෑලියන් එකක්ම රාජ්‍යතන්ත්‍රයේ ඉතා වැදගත් හැම තැනකටම දමා තිබීමය. පාස්කරලින්ගම් පවා ආපසු පැමිණ ඇත. හසලක වීරයින් ජීවිතය දුන්නේ මේ ජාතික ආණ්ඩු කඩතුරාව හරහා මේ බැටෑලියන් එකට මෙදා සැරේ දෙනව බැටේ කියා කියන්නට නොවිය යුතුය.

චන්ද්‍රසිරි විජයවික්‍රම

Top