Featured

හමුදාව පාවාදුන් සිරිසේනට විමල්ගෙන් හොද පාඩමක්

“සියලූ වාර්තාවලට සහ චෝදනාවලට මූලය වූ දරුස්මාන් වාර්තාව නිෂේධනය වන අප සතු සියලූ සාක්‍ෂි සහ ඒවා ගොනු කොට ඇති සියලූ විශේෂඥ වාර්තා ලෝකයට ඉදිරිපත් කිරීම ඔබතුමාගේ පරම වගකීමක් වන බවට කිසිදු සැකයක් නැත. එම නිසා ජාතික නිදහස් පෙරමුණ ලෙස අප ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අප රටේ ආරක්‍ෂක හමුදාවේ කීර්තිය, ගෞරවය, ආරක්‍ෂාව සහ අනාගත පැවැත්ම මුල්කරගෙන, පරණගම කොමිසමට අදාළ දෙවන බල අධිකාරිය විසින් කැඳවන ලද විශේෂඥ වාර්තා 06 මගින් ඉදිරිපත් කරන සාක්‍ෂි, තර්ක, නිරීක්‍ෂණ හා නිගමන විධිමත්ව සහ තර්කානුකූලව පෙළගස්වා ලෝකයට ඉදිරිපත් කරන ලෙසය“.

සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01
අතිගරු ජනාධිපතිතුමනි,

ආරක්ෂක හමුදාවලට එල්ල කරන බරපතළ චෝදනාවලට රජය විසින් නිසි ප‍්‍රතිචාර නොදැක්වීම

(ශ‍්‍රී ලංකාවට එරෙහි විමර්ශන වාර්තාව සහිත මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව මගින් සහ ඊට පෙර දරුස්මාන් වාර්තාව මත පදනම්ව මානව හිමිකම් කොමසාරිස් විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තා ත‍්‍රිත්වය(03) මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවලට එල්ල කරන බරපතළ, අභූත හා අසාධාරණ චෝදනාවලට රජය විසින් සාධාරණ ප‍්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳවය.)

ඉහත වාර්තා මගින් වගවීමේ නාමයෙන් ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවන්ට එල්ලකරන චෝදනා මත පදනම්ව ඇමෙරිකාව විසින් මානව හිමිකම් කවුන්සිලයට සැප්තැම්බර් 29 දින ඉදිරිපත් කළ යෝජනාවට ශ‍්‍රී ලංකාව කැමැත්තෙන්ම අනුග‍්‍රහය දැක්වීමට එකග වී ඇත. ඊට පෙර සැප්තැම්බර් 16 දින මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව ඉදිරිපත් වූ පසුව විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාව විසින් ගෙන ඒමට නියමිතව තිබූ එම යෝජනාවලියේ අඩංගු යම් කරුණුවලට පූර්ව එකගතාවයක් පළ කළා පමණක් නොව අදාළ යෝජනා ශ‍්‍රී ලංකාව විසින්ම යෝජනා කරන බවද පෙන්වීය.

ඊට අමතරව ඇමෙරිකානු යෝජනාවලියේ පළමු ක‍්‍රියාකාරී වගන්තිය අනුව එම යෝජනාවලියේ අඩංගු යෝජනා 20ට අමතරව මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ අඩංගු නිර්දේශ 33ක් ක‍්‍රියාත්මක කිරීමටද ශ‍්‍රී ලංකා රජය එකග වී ඇත. ඒ මගින් ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ බරපතළ වෙනස්කම් කිරීමට එකග වීම රටේ ස්වාධිපත්‍යයට බරපතළ අභියෝග කිරීමක් ලෙස සැලකිය හැක. එම ක‍්‍රියාවලිය මගින් අතීතයට බලපාන ලෙස ජාත්‍යන්තර නීතියේ ප‍්‍රතිපාදන(යුද අපරාධවලට අදාළව) ශ‍්‍රී ලංකාවේ නීතියට ඇතුළු කොට විශේෂ නීති පැනවීමක් සිදුවේ. එසේම ඒ මගින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හරහා ත‍්‍රස්තවාදී සැකකරුවන්ට සහ සිරකරුවන්ට අයුතු සමාවක් ලබාදීමද සිදුවේ. ඊට අමතරව මහජන ආරක්‍ෂක පනත සංශෝධනය කිරීම මගින් බෙදුම්වාදයට එරෙහිව ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ 154 වගන්තිය මගින් පනවා ඇති ප‍්‍රතිපාදන ක‍්‍රියාත්මක කිරීම වැළැක්විය හැක.

එම නව නීති මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවලට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට අදාළව විදේශීය විනිසුරන් සහිත විනිසුරු මඩුල්ලකින් නඩු අසා දඩුවම් කිරිමට ඉඩ ලැබේ. බොහෝ විට එම නව නීතිය මගින් ලබාදෙන දඩුවම්වලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමටද ඉඩ නොලැබෙනු ඇත. රජය එසේ නොවන බවට කුමක් පැවසුවත් ඇමෙරිකානු යෝජනාවලියේ 6 වැනි වගන්තිය මගින් මෙම තත්ත්වය ඉතා පැහැදිලිව විස්තර වේ. ඒ සියල්ලටම වඩා 8 වැනි වගන්තිය මගින් යෝජනා කරන ආකාරයට චෝදනාවලට ලක්වන හමුදා නිලධාරීන්ට නඩු ඇසීමකින් තොරව පරිපාලන වශයෙන් දඩුවම් කිරීම තුළින් හමුදාව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය සහ දුර්මුඛ වන තත්ත්වයක් ඇතිවිය හැක. උතුරින් හමුදාව ඉවත් කිරීම, ඔත්තු සේවා ඇතුළු හමුදා අංශ ප‍්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම වෙනත් යෝජිත ක‍්‍රියාමාර්ග සමග එම තත්ත්වය තවත් උග‍්‍ර විය හැක. එම ක‍්‍රියාවලිය තුළ සත්‍ය සෙවීමේ කොමිසම සහ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය යනු හමුදාවට විරුද්ධව චෝදනා උත්පාදනය කරන ‘චෝදනා කර්මාන්තශාලා’ බවට පත්වනු ඇත.
ඊට අමතරව ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව සත්‍ය සෙවීමේ කොමිසම ක‍්‍රියාත්මක කිරීම හරහා එදා සෝල්හයිම් විසින් සිදු කළ ආකාරයේ විදේශීය මැදිහත්වීමක අනතුරක්ද මතුවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයක් පිහිටුවීම සඳහා ලබාදී ඇති නිර්දේශය මගින් සහ අංක 4 යෝජනාව මගින් එම කාර්යාලය ඇතුළු සමස්ත විදේශීය මැදිහත්වීමට අදාළ ක‍්‍රියාකාරකම් සඳහා නිදහසේ විදේශ අරමුදල් යෙදවීමට එකගවීම නිසා මුදල් උපාංගයක් ලෙස යොදාගනිමින් සිදු කරන මැදිහත්වීම් ඉතා බරපතළ වනු ඇත.

ඒ සමස්ත ක‍්‍රියාවලිය තුළ ආරක්‍ෂක හමුදාවලට දඩුවම් කිරීමට අමතරව ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර පාලනයට මැදිහත්වීම සඳහා ඇමෙරිකාව ප‍්‍රමුඛ ජාත්‍යන්තර සංවිධානවලට ඉඩ ලැබේ. එහිදී උතුරු සහ නැගෙනහිර පළාත් විශේෂ කොට ඉඩම්, පොලිස් හා මූල්‍ය බලය ලබා දීම සහ උතුරු – නැගෙනහිර යළි ඒකාබද්ධ කිරීම ආදී රටේ අභ්‍යන්තර දේශපාලන තීන්දුවලට මැදිහත්වීමේ ඉඩකඩද 16 වැනි වගන්තිය මගින් බටහිර පාර්ශ්වවලට ලබා දී ඇත. ඒ සියලූ එකගතාවන් මගින් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ස්වාධීනත්වයට සහ භෞමික අඛණ්ඩතාවට බරපතළ අභියෝගයක් එල්ලවන බව ඔබතුමාටද තේරුම් ගැනීම අපහසු නැත. ඒ නිසාම අපි දේශපාලන පක්‍ෂයක් ලෙස එම එකගතාවයන්ට එකග නොවන අතර ඊට අපගේ විරෝධයද සටහන් කිරීමට කැමැත්තෙමු.

එම කරුණු පිළිබඳව රටේ ජනාධිපතිවරයා ලෙස ඔබතුමාට සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා ප‍්‍රමුඛ ආණ්ඩුවට වෙනස් දේශපාලන මතවාද තිබෙන බව අපි පිළිගනිමු. ඒ නිසා එම දේශපාලන තීන්දු අප අතර විවාදයට ලක්කළ හැක. කෙසේවෙතත් ඒවායේ ප‍්‍රතිඵල මහජනයා අත්විඳීමට පටන් ගන්නා විට ඔවුන් ඒවා ඉතා හොඳින් තේරුම් ගන්නා බවට අපට සැකයක් නැත. එසේ වුවත්, අප දරන දේශපාලන මතවාද කුමක් වුවත්, පක්‍ෂ, විපක්‍ෂ සියලූ දේශපාලන පක්‍ෂ සහ රජය විසින් ඉටු කළ යුතු අවම යුතුකමක් සහ වගකීමක් පැහැර හැරීම පිළිබඳව මහජනයා සමාව දෙනු ඇතැයි සිතිය නොහැක.

අතිගරු ජනාධිපතිතුමනි,

ඒ අවම වගකීම සහ යුතුකම වන්නේ අන්කිසිවක් නොව ඉහත සඳහන් කළ වාර්තා මගින් අප රටේ ආරක්‍ෂක හමුදාවට එල්ල කරන අභූත සහ අසාධාරණ චෝදනා සත්‍ය නොවන බවට තර්කානුකූල සහ සත්‍ය කරුණු ලොවට ඉදිරිපත් කිරීමය. පසුගිය රජය විසින් පත්කරන ලද ‘පැහැරගැනීම් සහ අතුරුදහන් වීම් පිළිබඳ පැමිණිලි විභාග කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ(පරණගම කොමිසමේ) දෙවන බලඅධිකාරිය විසින් කැඳවන ලද විශේෂඥ වාර්තා 06ක් මගින් එම වගකීම ඉටු කිරීම සඳහා අතිවිශාල සාක්‍ෂි ප‍්‍රමාණයක්, නිරීක්‍ෂණ සහ නිගමන ඉදිරිපත් කොට තිබිණි. එහෙත් එම වාර්තා වෙන් වෙන් වශයෙන් හෝ විධිමත්ව ගොනුකොට මානව හිමිකම් කවුන්සිලයට සහ පොදුවේ ලෝක ප‍්‍රජාවට ඉදිරිපත් කෙරුණේ නැත. ඊට අදාළව මානව හිමිකම් කවුන්සිලයේදී රජය පැත්තෙන් වාචිකව හෝ හීන්කෙඳිරියක්වත් නැගුනේ නැති බව කනගාටුවෙන් සඳහන් කරමු. එම තත්ත්වය වගකීමක් සහ යුතුකමක් පැහැර හැරීමක් පමණක් නොව 30 වසරක යුද සාපයෙන් රට ගලවාගත් රණවිරුවන්ට කරන ලද අවමානයක් ලෙසද අර්ථ දැක්විය හැක. ඊට අමතරව එය ව්‍යවස්ථාව මගින්ද ඔබතුමාට පැවරී ඇති රාජකාරියක් පැහැර හැරීමක් ලෙසත් අර්ථ ගැන්විය හැක.
ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවලට එරෙහිව උක්ත වාර්තා මගින් එල්ලකරන චෝදනා ලැයිස්තුව ඉතා බරපතළ වනවා පමණක් නොව මිහිපිට – ඉරහඳ යට සිදු කෙරෙන ඕනෑම යුද්ධයකදී ආරක්‍ෂක හමුදාවකට එරෙහිව සංකල්පීය වශයෙන් එල්ලකළ හැකි සියලූ චෝදනා ඊට ඇතුළත් වේ. උදාහරණයක් ලෙස මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ 571 වැනි ‍ ඡේදයෙන් කියැවෙන්නේ ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා ඉතා අමානුෂික ලෙස යුද අවියක් ලෙස ලිංගික ප‍්‍රචණ්ඩත්වය යොදාගත් බවය. එහිදී කොටි සංවිධානයට එවැනි චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු තොරතුරක් නැති බවද කියැවේ. එසේම 600 වැනි ඡේදයෙන් කියැවෙන්නේ සැකකාරියන් අත්අඩංගුවේ පසුවෙද්දී දූෂණය කිරීම ඉතා බහුලව සිදුවූ බවය. ඊට අමතරව 981, 982, 983 ඡේදවලින් කියැවෙන්නේ ශ‍්‍රී ලංකා හමුදාව සිවිල් ජනතාවට ආහාර, ජලය, සනීපාරක්‍ෂක පහසුකම් ලබා නොදී ඔවුන් නිරාහාරව අන්ත දුක්ඛිත තත්ත්ව යටතේ මැරෙන්නට ඉඩ සැලසූ බවය. යුදපිටියේ පැවති ප‍්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට නොගෙන 1001 වැනි ඡේදයෙන් චෝදනා එල්ල කරන්නේ හමුදාව විසින් සිවිල් ජනතාවට හදසි වෛද්‍ය ප‍්‍රතිකාර පවා අහිමි කළ බවය.

මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් එසේ අසාධාරණ චෝදනා එල්ල කරන්නේ කොටි සංවිධානයේ ප‍්‍රාණ ඇපකරුවන් වූ 290,000ක් මුදාගැනීම සඳහා තම ජීවිත සහ අතපය දන් දුන් හමුදාවකටය. කුඩා දරුවන් සහ වයසක මව්වරුන්, පියවරුන් දෑතින් ඔසවාගෙන මුහුදු කලපුව තරණය කරන සොල්දාදුවන්ගේ වෙහෙසකර මුහුණු සහ ඔවුන් තම ආහාර වේල ඒ ජනතාවට පරිත්‍යාග කරන අයුරු එදා රූපවාහිනී තිරයෙන් දුටු බහුතර සිංහල ජනතාව කඳුළු සැලූහ. අද අප රටේ සිංහල බෞද්ධයන් මෙවැනි අසාධාරණ චෝදනා එල්ල කරනවුන්ට ‘හෙන හතක්’ වදින බව කියන්නේ ඒ මානුෂික හදවතින්මය.

මෙම වාර්තා මගින් ඉවක් බවක් නැතිව සිවිල් ජනතාවට ෂෙල්වෙඩි ප‍්‍රහාර එල්ල කළ බවට, රෝහල් ඇතුළු මහජනයා ගැවසෙන ස්ථානවලට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කළ බවට, සිවිල් ජනතාවගේ ආහාර සැපයුම කපාහළ බවට බරපතළ චෝදනා හමුදාවට එල්ල කරන්නේ, නම්-ගම් සඳහන් නොවන සැගවුණු සාක්‍ෂි මත පදනම්වය. සියලූ වාර්තාවලට පදනම වූ දරුස්මාන් වාර්තාව ඒ ආකාරයට පදනම් විරහිතව සහ තාක්‍ෂණිකව ඉතා දුප්පත් ආකාරයට ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවලට චෝදනා එල්ලකොට ඇති බව ඉහත සඳහන් කළ පරණගම කොමිසම විසින් කැදවූ විශේෂඥ වාර්තා මගින් ඉතා පැහැදිලිව ඔප්පු කොට ඇත. ඒ මගින් දරුස්මාන් වාර්තාව සකස්කළවුන් ජාත්‍යන්තරව බරපතළ ලෙස ලැජ්ජාවට සහ අභියෝගයට ලක් කොට ඇත. එය අප රටේ ආරක්‍ෂක හමුදාවේ කීර්තිය රැකගැනීමට හේතුවන බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.

එසේ වුවත් දරුස්මාන් වාර්තාව ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ක‍්‍රියාකළ කූඨ ආකාරය සහ එහි අඩංගු වූ සාක්‍ෂි නොමැති නිගමන කිසිවක් මෙතෙක් තර්කානුකූලව අභියෝගයට ලක් වූයේ නැත. ඇත්ත වශයෙන්ම ඒ සඳහා මානව හිමිකම් සමුළුව තුළ නිල අවකාශය ලැබුණේ පසුගිය සැප්තැම්බර් සමුළු වාරයේදීය. ඊට හේතුව ශ‍්‍රී ලංකාවට එරෙහිව නිල වශයෙන් චෝදනා එල්ල වන්නේ එහිදී වීමය. ඔබතුමාද ඇතුළුව රජය විසින් ගොඩනගන තර්කවලට අනුව දරුස්මාන් වාර්තාව කැඳවන්නේ 2009 මැයි 23දා එකග වූ ‘මහින්ද රාජපක්‍ෂ – බන්කි මූන් ඒකාබද්ධ ප‍්‍රකාශය’ නිසාය.
නමුත් එම ප‍්‍රකාශයට අනුව අදාළ ‘දුක් ගැනවිලි’ ගැන සොයා බැලීමට මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උගත් පාඩම් කොමිසම පත්කොට(2010 මැයි 15 දා) යන්තම් මාසයක් ඉක්ම ගිය සැනින් බන්කි මූන් මහතා(2010 ජූනි 22 දා) විසින් දරුස්මාන් වාර්තාව කැඳවීය. එම ඒකාබද්ධ ප‍්‍රකාශයෙන් ප‍්‍රකාශ කළ පරිදි ක‍්‍රියාමාර්ග ගෙන ප‍්‍රතිඵලයක් ලබාගන්නා තෙක් ඉවසීමක් බන්කි මූන් මහතා පෙන්වූයේ නැත. ඒ අනුව ඔවුන්ගේ යටි අරමුණ පැහැදිලි වේ. ඊට අමතරව බන්කි මූන් මහතා තමාගේ පුද්ගලික දැනුවත්වීම සඳහා ලබාගත් බවට සහතික කළ දරුස්මාන් වාර්තාව 2011 මාර්තු 31 දින මහජනතාවට නිදහස් කළේය. එපමණක් නොව හාස්‍යයට කරුණ වන්නේ එම වාර්තාව තුළ 2011 නොවැම්බර් 15 දින නිකුත් වූ උගත් පාඩම් කොමිෂන් සභා වාර්තාවෙහි අඩංගු කරුණු විවේචනය කොට තිබීමය.(එහි විධායක සාරාංශය)

ඒ අනුව ඒ ආකාරයට සියලූ වාර්තාවලට සහ චෝදනාවලට මූලය වූ දරුස්මාන් වාර්තාව නිෂේධනය වන අප සතු සියලූ සාක්‍ෂි සහ ඒවා ගොනු කොට ඇති සියලූ විශේෂඥ වාර්තා ලෝකයට ඉදිරිපත් කිරීම ඔබතුමාගේ පරම වගකීමක් වන බවට කිසිදු සැකයක් නැත. එම නිසා ජාතික නිදහස් පෙරමුණ ලෙස අප ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අප රටේ ආරක්‍ෂක හමුදාවේ කීර්තිය, ගෞරවය, ආරක්‍ෂාව සහ අනාගත පැවැත්ම මුල්කරගෙන, පරණගම කොමිසමට අදාළ දෙවන බල අධිකාරිය විසින් කැඳවන ලද විශේෂඥ වාර්තා 06 මගින් ඉදිරිපත් කරන සාක්‍ෂි, තර්ක, නිරීක්‍ෂණ හා නිගමන විධිමත්ව සහ තර්කානුකූලව පෙළගස්වා ලෝකයට ඉදිරිපත් කරන ලෙසය.

ඒ පිළිබඳව වන රජයේ වගකීම ඔබතුමා විසින්ම සර්වපාක්‍ෂික සමුළුවේදී යම් ආකාරයකට පිළිගත් බව ඔබතුමාට මතක ඇත. එම නිසා සර්වපාක්‍ෂික සමුළුවේ අවම සහ මූලික වගකීමක් ලෙස සලකා එම කර්තව්‍යය ඉටු කිරීමට නොපමාව ක‍්‍රියාකරන ලෙස අපි ඔබතුමාගෙන් නැවත වතාවක් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. අපි සද්භාවයෙන් සර්වපාක්‍ෂික සමුළුවට සහභාගී වූයේද ඒ මගින් රට වෙනුවෙන් කළ හැකි අවම(සහ සමහරවිට අවසාන) යුතුකම ඉටු කිරීමේ බලවත් උවමනාවෙන් බව ද ඔබතුමාට මතක් කිරීමට කැමැත්තෙමු.

ස්තූතියි,
මෙයට,
විශ්වාසී,
විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2015.11.03
පිටපත්-සියලූ ජනමාධ්‍ය

පසුවදන

ඉහත ලිපිය තුළ සදහන් කළ ආකාරයට පැහැරගෙන යාම් සහ අතුරුදහන්වූවන් පිළිබද පැමිණිලි සොයා බැලීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිසමට අදාළ දෙවන බල අධිකාරිය අනුව පත් කරන ලද නීති උපදේශක සභාවේ සාමාජිකයන් වන ශ‍්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ශ‍්‍රීමත් ජෙෆ්රි නයිස් හා මහාචාර්ය ඬේවිඞ් කේ‍්‍රන් යන මහත්වරුන් සහ ඔවුන් විසින් නිල වශයෙන් විශේෂඥ උපදෙස් ලබාගත් විශේෂඥයින් වන නීතිඥ රොඞ්නි ඩික්සන්, මහාචාර්ය මයිකල් නිව්ටන්, අණ දෙන නිලධාරී විලියම් ෆෙඞ්රික් , මහාචාර්ය නීනා ජෝර්ජෙන්සෙන් හා මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස් යන මහත්වරුන් විසින් නිකුත් කළ පහත සදහන් විශේෂඥ වාර්තා 06ක් මේ සමග ඔබතුමා වෙත ඉදිරිපත් කරමි.

01. Military Expert Opinion By Major General Jhon Holmes – DSO OBE MC
02. A Legal opinion for the Commission Inquiring into Disappearances
Prof. Michael Newton, Professor of the Practice of Law, Vanderbilt University School of Law (September 28, 2014)
03. Review of “Report of the Secretary-General’s Panel of Experts on Accountability in Sri Lanka”
By Sir Geoffrey Nice QC & Rodney Dixon QC(24 July 2014)
04. Legal Opinion of Sir Desmond De Silva QC
05. Opinion to the Commission from Professor DM Crane and
Sir Desmond de Silva,QC
Legal Issues pertaining to the use of Human Shields and Hostage Taking by the Liberation Tigers of Tamil Eelam (LTTE) by Professor David M Crane, Sir Desmond de Silva, QC and Advisory Council of Experts
06. Legal Opinion concerning the Law Applicable to Military Operations in the Final Stages of the Armed Conflict between the Government of Sri Lanka and the LTTE that ended on 19 May 2009 following intense combat in the Vanni Area of Northern Sri Lanka by Sir Geoffrey Nice, QC and Rodney Dixon, QC(22 August 2014)

මෙම නිල විශේෂඥ වාර්තා 06 අතුරින් ජෝන් හෝම්ස් මහතාගේ වාර්තාව සහ ඊට අදාළ උප ලේඛන පමණක් 2015 අගෝස්තු මස නිකුත් කළ අතුරුදහන්වූවන් පිළිබද පැමිණිලි විභාග කිරීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවට ඇතුළත් කොට අැත. සෙසු විශේෂඥ වාර්තා 05 නිල වශයෙන් ලබාගත් ඒවා වුවත් එම වාර්තා අදාළ විද්වතුන් විසින් හෝ ජනාධිපති කොමිසම විසින් ප‍්‍රකාශයට පත්කොට නැත. ඒවා සමාජයට එළිදක්වා ඇත්තේ තුන්වන පාර්ශ්වයක් වන ‘‘ දි අයිලන්ඞ් ’’ වෙබ් අඩවිය මගිනි. එසේ එම වෙබ් අඩවියේ පළ වූ වාර්තා කොමිසම විසින් හෝ අදාළ විද්වතුන් විසින් අභියෝගයට ලක් කොට නැත. එම නිසා ඒවා සත්‍ය වාර්තා ලෙස සැලකිය හැක. පසුව එම වාර්තා වෙනස් කිරීමේ ඉඩකඩ පවතින බැවින් ‘‘ දි අයිලන්ඞ්’’ වෙබ් අඩවියේ පවතින එම වාර්තාවල පිටපත් සර්වපාක්ෂික සමුළුවේ සභාගත කිරීම සදහා මෙසේ ඔබතුමා වෙත ඉදිරිපත් කරමු.

Top