Featured

හිටංගේ හුටං දිස්ත්‍රික්කය -වැඩිම ළමා අපයෝජන සිදුවන්නේත් පොළොන්නරුවෙයි

ලංකාවේ වැඩිම ළමා අපයෝජන සිදුවන්නේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ බවත් මේ සම්බන්ධයෙන් අප තවදුරටත් කතා කරමින් සිටීම හෝ ළමා සංවර්ධන කමිටු පිහිටුවීම පමණක්‌ ප්‍රමාණවත් නොවන හෙයින් මෙම කමිටු සක්‍රීය කළ යුතු යෑයි පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පී. සෙනෙවිරත්න මහතා පසුගියදා පෙරවරුවේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්‌ත්‍රික්‌ ළමා සංවර්ධන කමිටු රැස්‌වීමේදී ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ (2015) පමණක්‌ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ළමා අපයෝජන 220 ක්‌ තමන්ට වාර්තා වූ බවද පැවසූ ඒ මහතා මෙය ඉතාමත් බරපතළ තත්ත්වයක්‌ බවද කීය.

පොළොන්නරුව සහකාර දිස්‌ත්‍රික්‌ ලේකම් ගංගානි නිරෝෂණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්‌වීමේදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සෙනෙවිරත්න මහතා මෙසේද කීය.

දිස්‌ත්‍රික්‌ ළමා සංවර්ධන කමිටු පිහිටුවීමෙන් පමණක්‌ වැඩක්‌ නෑ. එය සක්‍රීය මට්‌ටමකට ගෙන ආ යුතුයි. 2015 වසරේදී පමණක්‌ ළමා අපයෝජන සිද්ධීන් 220 ක්‌ සිදුවී තිබෙනවා. මේක කතා කර කර ඉන්න පුළුවන් තත්ත්වයක්‌ නොවෙයි. ලංකාවේ වැඩියෙන්ම ළමා අපයෝජන සිද්ධ වෙන්නේ පොළොන්නරුවේ. දෙවැනි තැන අනුරාධපුර, ඊළඟට රත්නපුර, මම ලංකාවේ දිස්‌ත්‍රික්‌ක කිහිපයක මේ වන විට වැඩ කර තිබෙනවා. පොළොන්නරුවේ ළමා සුබසාධනය සඳහා කිසිවක්‌ කෙරෙන බවක්‌ හෝ කරන බවක්‌ පෙනෙන්නට නෑ. අනෙක්‌ තැන්වල මේවා වළක්‌වා ගැනීමේ වැඩපිළිවෙළවල් ගොඩක්‌ සිද්ධ වෙනවා.

නමුත් අපට දුකයි පොළොන්නරුවේ තත්ත්වය. අපි මෙතැනට ඇවිල්ලා තේ එකක්‌ බීලා ගියාට වැඩක්‌ නෑ. අපි මේ කමිටුවල සම්බන්ධීකාරකවරුන් හැටියට පත් කර ගන්නේ නැතිව පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කිරීමට යොදා ගන්න. ඊළඟට ළමා නිවාසවල තත්ත්වය ඉතාම නරකයි. ළමා නිවාසවල රඳවාගෙන සිටින ළමයින් ඒවායින් පැනලා ගිහින් දූෂණයට ලක්‌වෙලා තිබෙනවා.

පොළොන්නරුව මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කේ. පී. සී. පුෂ්පකුමාර, ළමාරක්‍ෂක අධිකාරියේ මනෝ සමාජයීය උපදේශක ප්‍රදීප් කොස්‌වත්ත, නීති ආධාර කොමිසමේ නීතිඥ ගලප්පත්ති යන මහත්වරුන්ද මෙහිදී කතා කළහ.

පොළොන්නරුව – කරුණාරත්න ගමගේ

Top