Anonymous Reporter

හුජ්ජ ගලට ගිය අපි සහ ලංකාවේ ශ්‍රී ලංකාවේ පාසල්වල වැසිකිළි, කැසිකිළි පද්ධතිය

ශ්‍රී ලංකාවේ පාසල්වල වැසිකිළි, කැසිකිළි පහසුකම් ගැන රජයේ අවධානය යොමු වී තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ 2013 වසරේ සංඛ්‍යාලේඛන අනුව, 9905ක් පාසල් අතරින් 24%ක ම වැසිකිළි, කැසිකිළි පහසුකම් නැති බව වාර්තා වේ.පාසල් අතරින් 16%කට ජල පහසුකම් නැත. 15%කට විදුලි බලය නැත.

මා කුඩා කාලයේදී මගේ පාසලට ඉතා විශාල විවෘත කැසිකිළියක් තිබිණි. පාසලේ කෙළවරක වන රොදක් අද්දර තිබූ එය හැඳින්වුණේ හුජ්ජ ගල ලෙසයි. පාසලේ කැසිකිළි පහසුකම් අවම වූ එසමයේ ලොකු කුඩා කවුරුත් මේ ගල් පොත්තට ගිය හ. ඉඳහිට එහි ඇතැමෙක් මළ පහ කර ද තිබිණි. හුජ්ජ ගල අවට දං කැළෑවක් ද, කොහොල්ලෑ ලාවලු ගසක් ද තිබිණි.

දැන් ද ඇතැම් පාසල්වල තත්වය මෙයයි. ලංකාවේ පාසල් අතරින් 99%ක ම තිබෙන්නේ ඉතා අපිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත නො වන වැසිකිළි, කැසිකිළි ය. හේතුව ඒවායේ පහසුකම් අවම වීම, විධිමත් පිරිසිදු කිරීමේ ක්‍රමයක් නො තිබීම, වැරදි භාවිතයන් හා ආකල්ප ගැටලු ය.

පාසල් අතරින් 99%ක ම සනීපාරක්ෂක කම්කරුවන් නැති බව අපේ නිරීක්ෂණයයි. බොහෝ පාසල්වල වැසිකිළි පිරිසිදු කිරීම කරන්නේ පාසල් දරුවෝ ය. නැතිනම් මව්පියෝ ය. පවිත්‍රතා කටයුතු වෙනුවෙන් සේවයේ යොදවන අය වෙනුවෙන් මුදල් ගෙවීම මව්පියන්ට පැවරීම ඉතා සුලබ තත්වයකි. ඉතා අඩු වැටුපට සේවයේ යොදවනු ලබන කම්කරුවන් විශාල පිරිසක් පාසල්වල සිටිති. මේ අය අතරින් බහුතරය කාන්තාවෝ ය.

ළඟම පාසල හොඳම පාසල යන නව අධ්‍යාපන ඇමතිතුමාගේ සංකල්පය අනුව පාසල් 1200ක වැසිකිළි, කැසිකිළි පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි දැනට අවධානය යොමු වී තිබේ. පාසලකට ලක්ෂ 20 බැගින් මුදල් වෙන් කිරීමේදී වැසිකිළි පහසුකම් නැති පාසල්වලට ප්‍රමුඛ අවධානය යොමු විය යුතු ය.

වැසිකිළි, කැසිකිළි ප්‍රශ්නයේ තවත් ගැඹුරු පැතිකඩක් වන්නේ පාසල්වල තිබෙන පහසුකම් ප්‍රමාණවත් නො වීමයි. විවේක කාලයේදී වැසිකිළි, කැසිකිළි අසල පෝලිම් දක්නට ලැබීම පාසල්වල සුලබ තත්වයකි. අධික ලෙස භාවිතා කිරීම හේතුවෙන් මෙම ස්ථාන ඉක්මණින් අපිරිසිදු වේ. පිරිසිදු කිරීම සඳහා විධිමත් ක්‍රම නොමැති වීම හේතුවෙන් බොහෝ පාසල්වල වැසිකිළි ස්ථාවරව ම අන්ත අපිරිසිදු තත්වයක පවතී.

වැසිකිළි, කැසිකිළි හැදීමෙන් පමණක් පාසල්වල සනීපාරක්ෂාව පිළිබඳ ගැටලුව විසඳෙන්නේ නැත. පාසල්වලට සනීපාරක්ෂක කම්කරුවන් පත් කළ යුතු ය. වැසිකිළි, කැසිකිළි පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද පාසල්වලට ලබා දිය යුතු ය. බොහෝ පාසල්වල මුස්නක් ගන්නට, සබන් දියර ටිකක් ගන්නට ප්‍රතිපාදන නැත. විෂබීජ නාශක යෙදීමක් නම් සිදු වන්නේ නැති ම තරම් ය.

වැසිකිළිය නිවැරදි ලෙස භාවිතා කිරීම පිළිබඳ පාඩම් ප්‍රාථමික පංතිවල විෂයමාලාවලට ද ඇතුළත් කළ යුතු ය. ලංකාවේ බහුතරයක් ජනයා තවමත් සිතන්නේ වැසිකිළිය අපිරිසිදු තැනක් ලෙස පවත්වාගෙන ගියාට කමක් නැත කියා යයි මට සිතේ.

Aroo

Top