Featured

හොරු රකින්න ආ කුමාර හොරෙකු ගැන හොර ආණ්ඩු හැදු උන්ටත් අවුලක්

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා

අධිපති,
ශ‍්‍රී ලංකා මහ බැංකුව,
අංක 30, ජනාධිපති මාවත,
කොළඹ 01.

අධිපතිතුමනි,

2016 සැප්තැම්බර් මස 5 වන දින ඔබ වෙත අප විසින් යොමු කරන ලද ලිපිය සහ එදිනම ඔබගේ පිළිතුරු ලිපිය හා බැඳේ

අප රටේ ආර්ථිකයට සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවට දැඩි ලෙස බලපාන කරුණු සහ ප‍්‍රශ්න රාශියක් අපගේ ලිපියෙන් ඉදිරිපත් කළ බව ඕනෑම කෙනෙකු අවිවාදයෙන් පිළිගන්නවා ඇත. එහෙයින්, එම කරුණු සහ ප‍්‍රශ්න පිළිබදව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වන ඔබගේ සෘජු මැදිහත්වීම සහ කටයුතු කිරීම අපේක්ෂා කිරීම සාධාරණ බවද ඕනෑම කෙනෙකු පිළිගන්නවා ඇත. එහෙත්, එම කරුණු සහ ප‍්‍රශ්න පිළිබදව කිසිදු සැලකිල්ලක් හෝ කැක්කුමක් නොදක්වමින්, ‘‘මා වෙත එවන ලද ලිපිය ලැබුණ බවත්, එහි දක්වා ඇති කරුණු පිළිබදව දැනටමත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව මගින් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත්, කාරුණිකව දන්වා සිටිමි’’ යයි අපගේ ලිපිය ලැබූ විගසම ඔබ පිළිතුරු දෙමින් අප ඔබ වෙත යොමු කළ දැවෙන කාරණා සහ ප‍්‍රශ්න වලින් ලිස්සා යාමට ඔබ තැත් කරන බව මේ වන විට පැහැදිළිය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය, පාලනය සහ වගකීම පවතින්නේ අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය මතය. එම කාර්යභාරය, පාලනය සහ වගකීම පැවරෙන්නේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව මත නොවේ. මහ බැංකුවේ යම් අකටයුතු හෝ දූෂිත ක‍්‍රියා දැනුවත්වම සහ දිගින් දිගටම සිදුවන්නේ නම්ද, ඒවා නැවැත්වීමට කිසිදු ක‍්‍රියා මාර්ගයක් නොගන්නේ නම්ද, ඒවා සිදු කිරීමට ඇති අවකාශය නොඅහුරන්නේ නම්ද, ඒවා සිදු කරන අයට විරුද්ධව කිසිදු ක‍්‍රියාවක් නොගන්නේ නම්ද, එම දූෂිත ක‍්‍රියා වලට සහ වංචා වලට වගකිව යුත්තේ අධිපතිවරයා සහ මුදල් මණ්ඩලයයි. එම නිසා, අක‍්‍රමිකතා සහ දූෂණය සිදුවීම් නැවැත්වීම සහ ඒවා පිළිබද ක‍්‍රියා කිරීම, පොදු ව්‍යාපාර කාරක සභාව ට මුවාවී, වගකීමෙන් බැහැර වන්නට ඔබට හෝ මුදල් මණ්ඩලයට නොහැක.

අපගේ ලිපිය ඔබවෙත යොමු කොට දැනට සති 6 ක පමණ කාළයක් ගෙවී ගොස් ඇත. එම කාලය තුළදී ඔබගෙන් අප බලාපොරොත්තු වූයේ අප විසින් පැහැදිළිවම පෙන්වන ලද කරුණු සහ ප‍්‍රශ්න වලට, ඔබගේ සෘජු මැදිහත්වීම හරහා විසදුම් ලබා දීමය, සිදුවෙමින් පවතින අති විශාල අකටයුතුකම් වහා නතර කිරීමය, පෙන්වා දී තිබූ දූෂිත ක‍්‍රියාවන් තව දුරටත් සිදුවන්නට ඉඩ නොතිබීමය. ඒවා සිදුවන්නට තුඩු දුන්, මහේන්ද්‍රන් අධිපතිවරයා සහ පී. සමරසිරි නියෝජ්‍ය අධිපතිවරයා දියත් කළ දූෂිත ක‍්‍රමවේදයන් වහා නැවැත්වීමය. අපගේ එම බලාපොරොත්තුව පිළිබද අපගේ ලිපියෙහි, අප ඔබට දැනුම් දුන්නේ මෙසේය, ‘‘ඊළග දින කීපය තුළ ඔබතුමා මෙම විෂය පිළිබදව කටයුතු කරන ආකාරය පිළිබදව අප ඉතා විමසිල්ලකින් සහ ඕනෑකමකින් බලා සිටිනු ඇත. අවශ්‍ය සුදුසු පියවර ගැනීම සදහා තව සති දෙකක කාලයක් පමණ සෑහේ යයි අප සිතමු. එම කාලය තුළදි, මෙම දැවෙන ප‍්‍රශ්නය පිළිබදව ඔබතුමාගේ ප‍්‍රතිචාරය අප රටට, ආර්ථිකයට සහ ශ‍්‍රී ලංකාවේ විශාලතම ටෙන්ඩර් පරිපාටියට යහපත් එකක් නොවන්නේ නම්, එම තත්ත්වය නිවරැදි කර ගැනීම සදහා, අප රට වෙනුවෙන්, අපට වෙනත් ක‍්‍රියාමාර්ග සළකා බැලීමට සිදු වන බවත්, ඉතා කරුණාවෙන් අවධාරණය කරන්නෙමු’’.

අපගේ ලිපියෙහි සදහන් අන්දමට එම බලාපොරොත්තු වූ කටයුතු කිරීමට ඔබට සති දෙකක කාලයක් ප‍්‍රමාණවත් වුවද, සති 6 ක කාලයක් ඉකුත් වීමෙන් පසුද, දැනට සිදුවෙන වංචා නැවැත්වීමට කිසිදු ක‍්‍රියා මාර්ගයක් දියත් කිරීමට හෝ දූෂිතයන් එම වගකීම් වලින් ඉවත් කරන්නට හෝ ඔබ ක‍්‍රියා කොට නැත. එසේ කරන්නට, ඔබට කිසිදු අවශ්‍යතාවයක්ද නොමැති බව අපට දැන් පැහැදිළිය. ඔබේ මෙම ක‍්‍රියා පටිපාටිය හේතුකොටගෙන, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ කාලයේදී සිදු කරන ලද සියලූම අකටයුතුද, ඒවා ක‍්‍රියාත්මක කළ සියලූම දූෂිත පුද්ගලයින්ද, තවමත් එම තනතුරු වල යෙදෙමින් ඒවා කෙසේ හෝ කරගෙන යාමට හෝ වසන් කිරීමට ගන්නා ප‍්‍රයත්න තවමත් සිදු වෙමින් පවතී. එම සිද්ධීන් හරහා අපට පැහැදිළිවන්නේ දැන් ඔබද එම දැවැන්ත දූෂණය වසන් කිරීමේ ප‍්‍රයත්නයට සෘජු ලෙස හවුල් බවය.

මෙම පසුබිම ඔස්සේ, අපට දැන් මතුවන සාධාරණ සැකයක් නම්, ඔබ ඇත්ත වශයෙන්ම දුපත් කරනු ලැබුවේ මෙම බැඳුම්කර වංචාව වසන් කිරීමටද යන්නය. අප එසේ සැක කරන්නට සාධක කීපයක්ම ඇත.

ශ‍්‍රී ලංකාවේ 14 වෙනි අධිපතිවරයා වශයෙන් පත් වන විට, ඔබ 67 වැනි වියේ පසුවීය. ඒ අනුව, ඔබ මුලූ ලෝකයේම වැඩිම වයසැති මහ බැංකු අධිපතිවරයා වීය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ සියලූම සේවකයන් සේවය කරන්නේ වයස අවුරුදු 60 ක උපරිමයකට යටත්වය. අග‍්‍ර විනිශ්චාකාරතුමා පවා වයස අවුරුදු 65 දී විශ‍්‍රාම යනු ඇත. එහෙත් ඔබ 67 වැනි වියේ පසු වෙද්දීත්, රජය විසින් මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත් කරනු ලැබුණි. තවද, ඔබ ලෝකයේ විශාලතම ‘‘අභ්‍යන්තර දැනුම හරහා ළබැදි ගණුදෙණු’’ (Insider Trading) කළ වංචනික පුද්ගලයෙකු වන රාජ් රාජරත්නම්ගේ ‘‘ගැලියන්’’ අරමුදලේ ඉහල නිලධාරියෙක් සහ උපදේශකවරයෙක්ද වීය. මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් වීමෙන් දින කීපයකට පසුව මාධ්‍ය සාකච්ඡුාවකදී, ඔබ පැවසුවේ ලොව ප‍්‍රකට ඇමරිකාවේ විශාලතම වාණිජ දූෂණයක (Commercial Fraud) වැරදිකරුවූ රාජ් රාජරත්නම් ඔබගේ සමීප මිතුරෙකුද, වැදගත් ව්‍යාපාරිකයෙකුද, ප‍්‍රවීන පරිත්‍යාගශීලී පුද්ගලයෙකුද බවය. (බලන්න https://www.youtube.com/watch?v=SagzdPrhyTa) එම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී එක වචනයකින්වත් රාජ් රාජරත්නම්ගේ පහත් සහ වංචනික ක‍්‍රියාවලිය ඔබ හෙලා නොදැක්කේය. දැනට සිරගතව සිටින රාජ් රාජරත්නම්ගේ කූට සහ වාංචනික ක‍්‍රියාවලිය හෙළා දකින්නටවත් ඔබට කිසිදු අවශ්‍යතාවයක් හෝ චේතනාවක් නොතිබූ බව එයින්ද පිළිබිඹු වුනි.

ඔබගේ හැසිරීම අනුව, රාජරත්නම්ගේ ක‍්‍රියාවලිය වසන් කිරීමට ඔබද යම් උත්සාහයක් ගන්නේ යයි මේ වන විට බොහෝ දෙනා තුළ විශාල සැකයක් මතුවී ඇත. ඒ ආකාරයටම, අර්ජුන මහේන්ද්‍රන්ගේ සහ අනිකුත් පාර්ශවයන්ගේ වංචනික ගනුදෙනුද වසන් කිරීමට ඔබ කටයුතු කරනු ඇතැයි යයි සැක කරන්නට සාධාරණ හේතූන් මතු වෙමින් පවතී.

එවැනි සැකයක් සාධාරණ සැකයක් බවට අද වන විට තවදුරටත් තහවුරු වන්නේ, පසුගිය මාස 3 ක ඔබගේ නිල කාලය තුළ හැසිරීම විශ්ලේෂණය කරන විටය. එසේ කරද්දී අපට පෙනී යන සාධක නම්,
(1) බැඳුම්කර වංචාව දියත් කරන්නටද එය කෙසේ හෝ වසන් කිරීමටද, මහ බැංකුව තුළ නායකත්වය දෙමින් පවතින පී. සමරසිරි මහතා තවමත් බැඳුම්කර නිකුත් කිරීමේ වගකීම් වලින් ඉවත් කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීම,

(2) පවතින තත්ත්වය ඔස්සේ, විගණකාධිපතිවරයාගේ සෘජු උපදෙස් පවා නොතකා, අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගමට සහ අනිකුත් සමාගම් වලට ඔබ නිල කාලය තුළදීත් අයුතු ආකාරයට ‘‘වෙළද පොළට පටහැනි’ (off market) පොලී අනුපාත වලට ලබා දී ඇති බැඳුම්කර ලංසු ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් භාර ගැනීම

(3) සේවක අර්ථසාධක අරමුදල සමග අයුතු ගණුදෙණු කරමින් අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගමට මුදල් උපයන්නට කිසිදු අවහිරයකින් තොරව අවකාශය සලසා දීම,

(4) කැබිනට් අනුමැතියක් නොමැති, මුදල් මණ්ඩලයේ ආවරණ අනුමැතිය පමණක් ඇති, කිසිදු අභ්‍යන්තර සාකච්ඡුාවකින් තීරණය නොවූ, ‘‘වෙන්දේසි පමණක්’’ යන බැඳුම්කර නිකුතු ක‍්‍රමවේදය පවත්වාගෙන යාම.

ඔබගේ ඉහත කී ක‍්‍රියාවලියන් සහ/හෝ උදාසීනත්වය හරහා මහජන මුදල්/සම්පත් හිතා මතා අන් අයට පැවරීමට දියත් කොට ඇති ක‍්‍රමවේදය තවදුරටත් කරගෙන යන බවද, ඒවාට ඔබගේ සහයෝගයද ලබාදෙන බව දැන් පැහැදිළිය. එසේ නම්, වර්තමානයේදී සිදුවන සියලූ පාඩු සහ වංචා වලට ඔබද සෘජුවම වගකිවයුතු බව අප මතක් කර දෙන්නට කැමතිය.

බැඳුම්කර නිකුතුව සඳහා මහේන්ද්‍රන් මහතා විසින් දියත් කරන ලද වංචනික ක‍්‍රමවේදය ඔස්සේ, ඔබගේ කෙටි නිල කාලය තුළදීත්, මහේන්ද්‍රන් මහතාගේ බෑනාගේ සමාගම, සේවක අර්ථසාධක මුදලට පාඩු කරමින් රුපියල් බිලියනයක පමණ ලාභයක් අයුතු ලෙස උපයාගෙන ඇති බවට කරුණු හෙලි වී ඇත. එම තොරතුරු සහ කරුණු අප සතුය. ඊට අමතරව, මහ බැංකුවේ අභ්‍යන්තර නිලධාරීන් මේ වන විටත් විස්තරාත්මක සහ වෘත්තීමය වාර්තාවන් දැනටමත් සකස්කර හමාරය. එම වාර්තාවද මහජනතාවට හෙලිවී ඇති බව ඔබ දන්නවා ඇත. එහෙත්, මුදල් මණ්ඩලයටවත් එම වාර්තා ලබා නොදෙමින්, එම තොරතුරු වසන් කිරීමට පී. සමරසිරි මහතා ගන්නා උත්සාහයට ඔබගේ නොමසුරු දායකත්වය ලැබෙන බව කරුණු හෙලිවෙමින් පවතී. සමහර අවංක මහ බැංකු සේවකයන් මෙම වාංචනික තත්ත්වය දෙස ඉතා කම්පාවෙන් බලා සිටින අතර, දැනටමත් එම කරුණු මහජනතාවට හෙළි කරමින්, මෙම දැවැන්ත වංචාව නැවැත්වීමට උත්සාහයක යෙදී ඇති බව පෙනේ. එහෙත්, ඔවුන්ගේ එම දේශපේ‍්‍රමී සහ අවංක උත්සාහයන් පවා පරාජය කිරීමට ඔබ සහ රජය දැනටමත් දැඩි පියවර ගන්නට යෙදී ඇති බවද පෙනේ.

බැදුම්කර වංචාවෙන් රුපියල් බිලියන 15 ක පමණ ඇස්තමේන්තු කොට ඇති සෘජු පාඩුවක් සහ වක‍්‍රාකාරව රුපියල් බිලියන සියය ඉක්මවන මුදලක් රජයට පාඩුවූ බව මේ වන විටත් ගණනය කොට ඇත. අප රටේ මුලූ ඉතිහාසයේම විශාලතම වංචාව වන මෙම වංචාවට අප රට භාජනය කළ දූෂිතයන් සොයා, ඔවුන්ට දඩුවම් කිරීමට කටයුතු කරනවා වෙනුවට, මෙම දූෂණ හෙළිකල මහ බැංකු සේවකයන් පසුපස හඹා යමින් ඔවුන්ට දඩුවම් කිරීම, ඔබගේ උත්සාහය වීම ඇත්තෙන්ම පිළිකුල් නගන ක‍්‍රියාවලියක් බවත්, අප ඔබට මතක්කොට දිය යුතුය.

ඉහත කී කරුණු වලින් පැහැදිළි වන්නේ මෙම දූෂිත බැදුම්කර ක‍්‍රියාවලියන්ට සහ ඒවා වසන් කිරීමේ උත්සාහයට ඔබද දැන් වැදගත් කොටස්කරුවෙකු වී ඇති බවය. තවද ඔබ වැනි වයස්ගත පුද්ගලයෙකු (අවු. 67) රජයේ බඳවා ගැනීමේ පටිපාටියට පටහැනිව හා පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ අනුමැතියකින් තොරව මහා බැංකු අධිපති ධූරයේ රාජකාරි කිරීම වංචා සහගතය. රටේ ඉතා වැදගත් තනතුරක් වන මහ බැංකු අධිපති තනතුර හෙබවීමට ඔබට සුදුසුකමක් නොමැති බව කණගාටුවෙන් හෝ තීරණය කිරීමට අපට සිදුවී ඇත. ඒ අනුව ඔබගේ වර්තමාන කි‍්‍රයාවලිය දූෂිත කි‍්‍රයාවක් බවට පත්වෙමින් ඇත. මහ බැංකු අධිපති ධූරයේ ගෞරවයත්, එහි ඇති වැදගත්කමත්, ආරක්ෂා කරමින් මෙම බැඳුම්කර වංචාවට අදාල පුද්ගලයින්ට වහාම දඬුවම් දීමට කටයුතු කරන ලෙසත්, අයථා ලෙස මහජන දේපල වංචා කිරීමට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනිමට කටයුතු කරන ලෙසත් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. තවද මෙම සියලූ කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ‘‘උසස් නිලතල පිළිබඳ කාරක සභාව’’ දැනුවත් කිරීමට ද කටයුතු කරන බව සඳහන් කරමි.

ස්තුතියි.
මෙයට විශ්වාසි වූ,
වසන්ත සමරසිංහ
කැඳවුම්කරු

http://www.lankanewsweb.today/archives/11706

http://www.lankanewsweb.today/archives/11726

Top