විශේෂාංග

“2002” ආණ්ඩුව කරපු රනිල් අද කෝ…”

Published on: Oct 1, 2018 – මේ යූ.අන්.පී. ප්‍රබලයෙක් රනිල්ගේ සමීපතමයෙකුගෙන් අහපු ප්‍රශ්නයකි. 2002 ආණ්ඩුවේ මේ යූ.අන්.පී. ප්‍රබලයා නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස රනිල් ආණ්ඩුව කරන හැටි දැක්කේය.

ඇත්තටම 2001 දී රනිල්ට හිමි වුයේ 2015ටත් වඩා හුස්ම යන්න ඔන්න මෙන්න පණ අදින රටකි. මහින්ද 2015 රට භාර දෙන විට ණය කන්දක් එක්ක දුන්නත් රටේ ආර්ථික වර්ධනයක් තිබිණි. 2001 දී එසේ නොවේ. චන්ද්‍රිකා 2001 දී රනිල්ට දුන්නේ ඍණ අගයක් ගත් ආර්ථිකයකි. ඒ කියන්නේ ආර්ථික වර්ධනය බින්දුවටත් පහළට වැටි තිබිණි. කටුනායක ගුවන් තොටුපලට බෝම්බ ගැසීම නිසා ජාත්‍යන්තර ගුවන් සේවා ලංකාවට ගුවන් ගමන් නතර කොට තිබුණි.

වරායට බෝම්බ ගැසීම නිසා මෙරට වරාය ජාත්‍යන්තර රක්ෂණ සමාගම් අනාරක්ෂිත වාරයක් ලෙස නම් කොට තිබිණි. රක්ෂණ ගාස්තු වැඩි නිසා ජාත්‍යන්තර නැවු ලංකා වරායට පැමිණියේ නැත. ඇමරිකාව ,බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් පමණක් නොව ඉන්දියාව ද ලංකාවට ආයුධ විකිණීම තහනම් කොට තිබිණි. චීනය, පකිස්ථානය වැනි රටවල් වැඩි මිලට ආයුධ ගන්න විදේශ වාණිජ බැංකු වලින් ණය ගෙන මහ ණය කන්දක් ගොඩ ගැසී තිබිණි.

බෝම්බ තර්ජන නිසා විදේශ ආයෝජකයෙකු බෙහෙතකටවත් සොයා ගත් නොහැකි විය. ඩොලර් අහස උසට නැග තිබිණි. විදුලි අර්බුධය නිසා මුළු රටම සිටියේ කරුවලේය. විදුලිය නැති නිසා නිෂ්පාදක අඩාළ වී ව්‍යාපාරික ආයතන වසා තිබිණි.

2001 රනිල් භාර ගත්තේ මෙවැනි රටකි. බලයට ආ විගස රනිල් දුන්න පොරොන්දුව රටටම විදුලිය දෙනවා කියාය. එවකට විදුලි බල ඇමති කරු ජයසූරිය ඒ සඳහා දිනක් නියම කොට අදාළ දිනට ලයිට් කපන එක නතර කරන බව කිවේය. මේ නිසා විපක්ෂයේ සිටි ශ්‍රීලනිප ය සහ ජවිපෙ කරුට කරුවල කරු කියා සමච්චල් කළේය. එදින විදුලිය දීම හීනයක් යැයි සිතාගෙනය. එකි දිනට හරියටම විදුලිය කැපීම නතර විය.

පණ අදින ඍණ අගයක් ගත් ආර්ථිකය භාර ගත් රනිල් පළමුව කළේ රුපියල අව ප්‍රමාණ වීම නතර කිරීමය. රුපියල අව ප්‍රමාණය වීමෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව විදේශ වාණිජ බැංකුවලින් වැඩි පොලියට ගත් ණය පියවද්දී පොලිය සිය දහස් ගණනකින් වැඩි වෙනවා කියා රුපියල රැක ගන්න දන්න සෙල්ලම් ඔක්කොම දමා ගත්තේය. රට භාර ගන්න විට රුපියල අවප්‍රමාණ වීමේ වේගය 13.58% කි. රනිල් එය 2003 දී 1.68% ට බැස්සුවේය.

ඒ සමගම ඔහු එල්.ටී. ටී. ඊ. සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් ගසා බෝම්බ තර්ජනය නතර කර මෙරට ගුවන් ටෝටුපොලට, වරායට පනවා තිබූ ජාත්‍යන්තර තහංචි ඉවත් කර ගත්තේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලයේ කටුනායකට ඒම නතර කළ ගුවන් යානා යළි එන්න පටන් ගත්තේය.වරායේ රක්ෂණ ගාස්තු අඩු වී නැව් එන්න පටන් ගත්තේය. වරායට අලවා තිබූ අනාරක්ෂිත ලේබලය ඉවත් විය.

ඉන් පසු රනිල් චන්ද්‍රිකාගේ ආරාධනයෙන් මෙරටට ආ නොර්වේ සාම මැදිහත්කරුවන්ට කතා කොට දැන් ලංකාව සංවර්ධනය කරන්න ආධාර අවශ්‍ය යැයි කිවේය. ලංකාවට ආධාර දෙන්න නොර්වේහි ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන්න නොර්වේ එකග විය. ඇමරිකාව ඇතුළු ලෝකයේම බලවත්වූ ඒ ආධාර සමුළුවට පැමිණ තමන් මෙපමණ ආධාර දෙන්න සුදානම් යැයි ගණන් හිලව් ඉදිරිපත් කළේය. එම සමුළුවෙන් ආධාර පොදියක් ලැබිණි.

නොර්වේ ආධාර සමුළුවේ සාර්ථකත්වය දැක ඇමරිකාව ද ලංකාවට ආධාර දෙන සමුළුවක් පවත්වන්න එකග විය. එම ආධාර සමුළුවට ද ලොව ප්‍රකට ව්‍යාපාරිකයන් සහභාගී විය. එම සමුළුවේදීද විශාල ආධාර මුදලක් දෙන්න පොරොන්දු විය. ඒ සමාගමෙන් ලංකාවට නොමිලේ ඇමරිකානු යුධ නැවක් ලැබිණි.

පසු කාලයක මහින්දගේ ආණ්ඩුව යුද්ධ කරද්දී නාවික හමුදාව කොටි මුහුදු බලකාය විනාශ කළේ ඒ නැව නිසා යැයි ගෝඨාභයම ප්‍රකාශ කළේය. නොර්වේ සහ ඇඅමරිකා ආධාර සමුළුව දැක කවදත් ලංකාවට වැඩියෙන්ම ආධාර කරන ජපානය ආධාර සමුළුවක් කැඳවන්න තීරණය කළේය. ආධාර ලබා ගැනීම සඳහා ලංකාවට අවශ්‍යම ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙස ජපානය රනිල්ට කිවේය. මුළු ලංකාවේම පාරවල් හදන නගර අලුතෙන්ම හදන “යළි පුබුදමු ශ්‍රී ලංකා” දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමය රනිල් සකස් කළේ ඒ අනුවය. ටෝකියෝ ආධාර සමුළුවෙන් ලංකාවට ඩොලර් බිලියන 4.5ක් දෙන්න පුරෝන්දු විය.

මෙම ආධාර සමුළුවෙන් ආධාරවලට අමතරව විදේශ ආයෝජකයෝ ලංකාවේ ආයෝජන පටන් ගන්න යෝජනා ඉදිරිපත් කළහ. රනිල් ලංකාවට, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය , ඉන්දියාව පනවා තිබූ අවි තහනමද ඉවත් කර ගත්තේය.

මේ සියල්ල මැද රනිල් ආණ්ඩුවේ හයිය පෙන්වන්න කොළඹට අති දැවැන්ත සෙනගක් ගෙන ආවේය. එය මහ ජනබල මෙහෙයුමක් විය. එපමණක් නොව රනිල්ගේ ආණ්ඩුව 2002 පළාත් පාලන ඡන්දයේදී 60% කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ගෙන චන්ද්‍රිකාගේ අත්තනගල්ල බල කොටුවත් ,මහින්දගේ තංගල්ල බල කොටුවත් අන්ත පරාජයකට ලක් කළේය. ලංකා ඉතිහාසයේ 1982 ජනමත විචාරණය හැරුණු විට යූ.න්.පි.ය තංගල්ල දින්න පළමු අවස්ථාව එය විය. ඒ ඡන්දයේදී රනිල් බැස්සේ නැත. බැස්සුවේ පක්‍ෂයයි. ඒ ඡන්දයෙන් ශ්‍රීලනිප බල කොටු සුන්නද්දුලි විය. එකල මාධ්‍ය පෙනී සිටියේ රනිල්ගේ ආරක්ෂකයන් ලෙසය.

එකල මෙය ඉවසා ගත නොහැකිව ශ්‍රී ල නි ප යේ මාධ්‍ය මෙහයවපු මංගල රට පුරා පෝස්ටරයක් ගැසිය.එම පෝස්ටරයේ සඳහන් වුයේ, රනිල් ලංකාවේම මාධ්‍ය ආවරණයවන පරිදි හදපු මාධ්‍ය ඒකකයේ මාධ්‍යවේදීන් බල්ලන් මෙන් කටු කන ඡායාරූපයකි. මංගලලා ඒ මාධ්‍ය ඒකකය හැඳින් වුයේ බල්ලන්ට ගිය මාධ්‍ය නොහොත් රනිල්ගේ මාධ්‍ය මාෆියාව කියාය. ඒ කාලයේ රනිල් අරලිය ගහ මන්දිරයේ වැඩ පටන් ගත්තේ මාධ්‍ය රැස් වීමෙනි.

“ඒ රනිල් අද කෝ … ?”

වරද තියෙන්නේ රන්ල්ගේ ද රනිල් වටා අද ඉන්නා අයගේද කියා රනිල්ම විමසා බැලිය යුතුය. ඇත්ත කතාවනම් එදා රනිල් වටේ සිටි මහ පොලවේ පය ගහල ඉන්න කුස්සියේ බත ඉදෙන සුවඳ දන්නා දේශපලන යෝධ හස්තිරාජයන් අද රනිල් වටේ නැත. අද රනිල්ව වට කරගෙන ඉන්නේ මනෝලෝකවල පියාඹන සුළං කුරුල්ලන්ය .

~උපුල් ජෝෂප් ප්‍රනාන්දු~

Top