අප කවුරුත් දන්නා හඳුනන නීතීඥ සුදර්ශන ගුණවර්ධන සමඟ (ජවිපෙ දබර සැම සමඟ ඔහුත් දබර) දඹර අමිල හිමි ඇතුළු කණ්ඩායමක් 2016 පෙබරවාරි 09 වන දින “දෙරණ – වාද පිටිය” සංවාදයේ සිටිනු දක්නා ලදී. අනෙකුත් අවශේෂයන් වූයේ ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු සහ රජීව් විජේසිංහ වියතාණෝය. මාතෘකාව සැකෙවින් ගතහොත් “කුමාරයාගේ සම්ප්‍රාප්තිය“ යි. මෙම සංවාදයේ දී දබර අමිල හිමියන් “එසේ මෙසේ කෙනෙකු නොවන“ බවත් වැටහුණි. එනම් ඇමති මණ්ඩලය පත් කිරීමේ ප්රවීණාචාර්යය උපදේශකයෙක් ලෙස උන් වහන්සේ සිටිනවා වැනි හැඟීමක් ද ගම්‍ය වන තරමට එහිමියන් ගේ වාග් ප්‍රහාරය දැඩිවීය. පස්සා දොරින් පාර්ලිමේන්තුවට වැද්දාගත් හිටපු හමුදාපතිවරයා නීතිය හා සාමය ඇමති ධූරයේ පිහිටුවා රට බැබළ වූ මනස්කාන්ත දර්ශන උන්වහන්සේගේ කතාව තුළ වීය.
ඇමතිධූර නිර්දේශ කිරීම දක්වා කාර්යය පටිපාටිය හිරිකිතය. සම්ප්‍රදායට පටහැනිය. සැබැවින්ම ව්‍යවස්ථාවට පවා උසුළු විසුළු කිරීමකි. එනම්, ව්‍යවස්ථාවේ කවුළුවලින් රිංගා යාමකි. මේ පිළිබඳවවත් අඩුම තමින් මේ උන්නාන්සේ ඇතුළු අපේ හිතමිත්‍රාදීන් කිසිවෙකුත් අබැටකුදු කතා නොකරන්නට පරිස්සම් වීය. නමුත් සුපුරුදු පරිදි දබර අමිල පාළු ගෙට වැදුණු පිං ගොනෙකු සේ ඇති පදම් වළං බින්ද සේක. එය කෙසේ වෙතත්, මා පැහැදිලි කර ගැනීමට මේ අවස්ථාවේ උත්සාහ කරනුයේ වෙනත් මානයකි.
1980 දශකයේ උත්සන්න වූ රටට හඳුන්වා දුන් මැර සහ පාදඩ දේශපාලන සංස්කෘතියේ පියවරු නිසිව විග්රහ කරනවා වෙනුවට සුදර්ශන ගුණවර්ධන මගේ මිත්‍රයා එය මතුපිටින් අතගා ඊට වෙනත් අරුතක් එක් කිරීම කනගාටුදායකය. විටෙක සුදර්ශන පවසනුයේ, 1980 දශකයේ අගභාගයේ අතුරුදන් වූවන්ගේ දෙමවුපියන් බොරුකරයින්ගේ ගොඩට දාන්නට ද හැකියාවක් ඇති බවය. එය උතුරට ද සාපේක්ෂව බව ඔහු කියතත්, 1980 දශකයේ හා 1990 දශකයේ මුල් භාගය දක්වා රටම අමු සොහොනක් බවට පත් කළ කුලී හේවායින් සිටි බව හිතා මතාම අමතක කරයි. මෙම කුලී හේවායින් මෙහෙය වූ, දේශපාලකයින් අමතක කරයි. නිල නොලත් හමුදා පවත්වාගෙන ගිය සහ වධ කදවුරු පවත්වාගෙන ගිය දේශපාලක මැරයින් අමතක කරයි.
ඇත්තටම 1977 සිට ඇරඹී, තවමත් අඩු වැඩි වශයෙන් පවත්වාගෙන යන පාදඩ දේශපාලන සංස්කෘතියේ ගෝඩ් ෆාදර්ලා සුදර්ශන සූරීහු ඇත්තටම දැක හෝ හැඳින නැතිවා වත්ද ? කලවාන හා මුල්කිරිගල අතුරු මැතිවරණ නාටක ව්‍යවස්ථානුකූල කිරීමට ගත් පාදඩ උත්සාහයන්ට ලිඛිත සාක්ෂි ඇති පසුබිමක ලක්ෂ ගණනක් වධයට ලක් කරමින් හැට දහසක් හෝ තිස් දහසක් හෝ මරා දැමීමට අණ දුන්නෝ නොපෙනීම සුදර්ශන නීතීඥතුමා පෙළන වර්ණ අන්ධතාවයක් දැයි සිතීමට සිදුවෙයි.
අඩුම තරමින් 1983 සිටවත් මෙම අඳුරු යුගයට සාක්ෂි ඉදිරිපත් කළ යුතු බව කීමටවත් මේ වියතුන්ට නොහැක්කේ මන්ද ? සුදර්ශන ගුණවර්ධන කෙසේ වෙතත් අමිල දබරයෝ මේ වගක් නෑසූ කන් සිටීම “රතු අලි පැටවුන්ගේ කතාව“ට ඌණ පූර්ණ සැපයූයේය.
බටලන්ද කොමිසමේ වාර්තාවෙන් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කළ නිර්දේශවත් මේ වියතුන්ට අමතක හැටි…?
අදට එපමණකි.
– ජනිත් විපුලගුණ –
2016 පෙබරවාරි11 වන දින
මාතරදී ය.