ලෝකයා

83 සෙකන්ඩ් ඉයර් චන්ඩියා පැට්රික්-විසි තිස් වතාවක් අසමත්වීමට අකමැති සිසුවෙකුගේ සටහන

නිර්මාල් රංජිත් යනු ප්රගතිශීලී ආචාර්යවරයෙකි. ලිබරල්වාදියෙකි. දේශපාලන ක්රියාකාරිකයකි. අපි ඔහුව හඳුනාගෙන ඇත්තේ අධීන අචාර්යවරයකු ලෙසිනි. ආසියාතික අගතීන්ගේ හෝ වෙළඳපොළ කුණුකන්දල්වලින් නොකිළිටි වුවකු ලෙසිනි. පටු ආත්මාර්ථකාමීත්වයෙක් අදුෂිත වුවකු ලෙසිනි. ඔහුට විවෘත මනසක් තිබේ. මනා දැනුමක් අවබෝධයක් මෙන්ම නිවරදි දෘෂ්ඨියක්ද තිබේ. ඔහු නිදහසට ගරුකරයි.ප්රජාතන්තන්ත්රවාදය අගයයි. සමානාත්මතාව…ඒ වෙනුවෙන් කොන්දේශි විරහිතව පෙනී සිටී. මනුෂ්සත්වයට නිගාදෙදෙන කිසිවක් වේනම් හේ නැගී සිටියි. බලහත්කාරය, ප්රචන්ඩත්වය, වහල්භාවය හෙලා දකියි. මේ අන්කිසිවක් නොවන අතර අප මෙන්ම මහුණු පොතේ සැරිසරන බොහෝදෙනා ද ඔහු පිළිබඳව සිතා සිටින ආකාරයයි.

ඒ නිසා ‘‘නවක වදයට එරෙහිව” ඔහු නැගී සිටීම අහම්බයක් නොවේ. පුදුමයට කරුණක් නොවේ. කැළණියේ ජේෂ්ඨ සිසුන් නවකයන් හට වද දී තිබෙන අතර ආචාර්යවරුන් පැමිණ නවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිට ඇත. එහි පුරෝගාමියා වී ඇත්තේ පැට්රික් රත්නායකය. ඔහු පැමිණ බොහොම කරුණාවෙන් සිසුන්ට කරුණු පැහැදිළි කර ඇතත් හිතුවක්කාර සිසුහු එය පිළිගෙන නැත. ඒ මදිවාට ඔවුන් අහිසංක පැට්රික් රත්නායකයන්ට පහරදීද තිබේ. එහි ප්රතිඵලය ආචාර්යවරු ඊට එරෙහිව වෘත්තීය ක්රියාමාර්ග ගැනීමයි. ආචාර්යවරයාගේ ගෞරවණීය මැදිහත්වීමද, සිසුන්ගේ ප්රරචන්ඩ හැසිරීමද වීඩියෝවෙහි දැක්වේ.

ඒ වීඩියෝවේ ඇති දෙය පමණි. කැමරා කාචයට පිටුපසින් තව බොහෝදේ සිදුවී ඇතත් ඒවා පටිගතවී නැත. මන්දයත් වීඩියෝකළ සිසුවාට පන බේරාගැනීමට දිවීමට සිදුවී ඇති බැවිනි. අප මේ අර අදින්නේ නවක වදය වෙනුවෙන් පෙනී සිටීමට යැයි කිසිවෙක් විස්සෝප වීමට බැරි නැත. එහෙත් අප පැහැදිළිව කිවයුතු කරුණ නම් අපිද නවක වදයට ඉදුරාම විරුද්ධ බවය. මන්දයත් එය විසින් ශිෂ්යාට කිසිවක්ම ඉතිරි නොකරන බැවිනි. ‘‘නවක වදය’’කොහෙත්ම ශික්ෂණ විද්යාත්මක ක්රමයක් වශයෙන් ගැලපෙන්නක් නොවන බව ලියුම්කරුගේ අදහසයි. ඒ නිසා අප ඊට එරෙහිවද කොන්දේශි විරහිතව විරුද්ධවී ඇත්තෙමු. අද කවුරුන් කෙසේ කීවද ඉතිහාසයේ එක් යුගලයක සරසවිය වසා පැවති නවක වදයේ බොහෝ ලක්ෂණ අද දක්නට නැත්තේ ඒ නිසාය. ඒ නිසා අපට අපගේ ස්ථාවරය පැහැදිළිව කිව හැකිය. අපි නවක වදයට විරුද්ධ වෙමු. වදදීම, බලහත්කාරය, ප්රචන්ඩත්වය හා සියලූ ආකාර අත්තනෝමතිකත්වයන් බැහැර කර සිටිමු.

එසේම නවකවද දඩමීමා කරගනිමින් හැමදාමත් කරනු ලබන ශිෂ්ය මර්දනයට හා ශිෂ්ය ව්යාපාරයට එරෙහි අවලාද නැගීම්වලටද අපට එකඟවිය නොහැකිය. මේ අතරම ආචාර්ය නිර්මාල්ගෙන් අපට ඇසීමට ප්රශ්නයක් තිබේ. ඒ ඔබ නවක වදයට විරුද්ධ ඇයි ද යන්නයි. ඒ එය සිසුන් අතින් සිදුවන වරදක් නිසාද නොඑසේනම් ඔබ ප්රචන්ඩත්වය හා හිංසනය අනුමත නොකරන නිසාද?

ප්රචන්ඩත්වය හා හිංසනය අනුමත නොකරන්නේ නම් ඉහත වීඩියෝව තුළ පැට්රික් රත්නායකගේ මැදිහත්වීම ඔබ අනුමත කරන්නේද? එය අපි පැහැදිළිව දැනගනු රිසිවෙමු. මම තමයි 83 2nd year බැජ් එකේ චන්ඩියා. කවුද යකෝ මේකේ මට වඩා ඉන්න චන්ඩියෝ..මේ ඔහු තෙල්බැම්මට පැමිණ රග දැක්වූ නාටකයයි.

තෝකවුද? ‘‘උඹද චන්ඩියා යකෝ” යි කියමින් සිසුන්ට පහරදීම ආචාර්යවරයකුට තරම් වටින්නේද? දෙවන වසර ශිෂ්යාවන් දෙදනකුට අමු තිත්ත කුණුහරුපෙන් බැන, හැදුනුම්පත නොදුන්නේ යැයි කියමින් ඔවුන්ගේ අසපසග අතපත ගෑම කොතරම් ආචාර සම්පන්නද? එපමණක් නොව ඔවුන්ගේ ඡයාරූප පවා ගෙන තර්ජනය කිරීම අනුමත කරන්නේ කෙබඳු තර්කනයකට යටත්වද ද?

ඔබ මේ වීඩියෝව හොඳින් නැරඹුයේ නම් ‘‘අපිට තොපි එක්ක ප්රශ්න තියෙනවා. තොපිට අපි එක්ක තියෙන ප්රශ්න මොනාද යකෝ’’ ඒ චින්තනය කුමක්ද? සිසුන්ට ආචාර්වරයා ප්රශ්න කළ නොහැකිය. ආචාර්යවරුන්ට සිසුන් ප්රශ්න කළ හැකිය. මේ ප්රකාශය තුළ ඇත්තේ එකී පසුගාමී වැඩවසම් චින්තනය නොවේද? ඔබ ආචාර්ය අරගල සමයේ ඉල්ලූ සරසවි ස්වාධීනත්වය මේකද?

ලිබරල් මහත්මා ගති ඇති ආචාර්ය තුමනි, සහෝදරය, එකම මග සටන් වැදි සටන් සගය. ඔබේ තර්කනයට අනුව සරසවිය යනු කුමක්ද? තවත් එක් වහල් කඳවුරක්ද? දෙපාර්තමේන්තු අහුමුලූ, විවේකාගාර, දේශනශාලා තුළ, උපාධිය අහිමිකිරීම නැමති මුඛවාඩම බැඳ ආචාර්ය වේශයෙන් පෙනී සිටින පරපීඩකයන් සිසු සිසුවියන්ගේ ජීවිත සමග කරන ක්රිඩා ඔබ නොදන්නේද? එය කැමැත්තෙන් සිදුවන්නේ නම් අපට කම් නැත. එහෙත් උපාධිය අහිමි කරාවි යැයි බියෙන් ඇදුරන් හා යහන්ගතවී විනාශවී යන සිසුවියන් පිළිබඳ ඔබට කම්පනයක් තිබේද?

විභාග යනු, එදා රෝමයේ වහලූන් බැඳ දැමූ යදම් බඳු වර්ථමානය තුළ සරසවි සිසුන් වහලූන් සේ බැද තබන ලද හුයයි. විභාග පිළිබඳව අචාර්යවරුන්ට ඇත්තේ අසීමිත බලයකි. සිසුවෙක් කොතරම් දක්ෂ වුවද, 100%ක් තමන් ලියනලද පිළිතුරු නිවරදි වුවද විභාග සමත් විය නොහැකිය. ආචාර්යවරුන් අභියස, සුවච නොවන විට, කීකරුව යහනට නොනගින විට ‘‘හොඳයි අපි බලාගනිමු” යැයි ඔවුහු තර්ජනය නොකරන්නේද? විභාගවලදී සිසුන්ට ලබාදෙන ලකුණු වෙනස් කිරීමේ හැකියාව අචාර්යවරුන්ට ඇත. සිසුන්ට සිය ලකුණු පිළිබඳ සැකයක් ඇත්නම් සිය උත්තර පත්තර බැලීමට ඉඩදී ඒ සැකය නිරවුල් කළ යුතුය.

වංචනික නොවේනම් උත්තර පත්ර සිසුන්ගෙන් සැගවිය යුතු නොවේ. එහෙත් බොහෝ ආචාර්යවරු සිය උත්තර පත්ර බැලීමට ඉඩදීමට විරුද්ධවෙති. මාරාන්තිකව ගැටෙති. ඒ ඇයි? මන්දයත් පූර්ණ විනිවිදභාවයක් ඇති කළ හොත් සිසුවියන් විභාග අසමත් කරන්නේ යැයි තර්ජනය හරහා ලිංගික බලහත්කාරයන්ට අවනත කරගත හැකි නොවේ. දෙපාර්තමේන්තුවලට සිය හෙන්චයියන් රිංගවා ගත හැකි නොවේ. මේවා පිළිබඳ නිර්මාල් කියනුයේ කුමක්ද?

දේශන 80%ක් අනිවාර්ය කිරීම ගැන ආචාර්ය නිර්මාල් කුමක් කියනු ඇත්ද? අපි එය නොදනිමු. සිසුන් දේශනවලට නොයන්නේ දේශන නීරස නිසා බව නොදන්නා නිර්මාල් පවා ඒ වෙනුවෙන් පෙනී සිටිනු ඇත. පෙරදින රාත්රියේ අන්තර්ජාලයෙන් බාගතකරගන්නා, ටියුටයකින් ගනුලබන තොරතුරු එහෙම්පිටින්ම ෂලයිඞ් ෂෝ එකකට ගෙන සිසුන්ට සටහන් කරගැනීමට දීම මිසක බොහෝ දේශනවල ගත යුත්තක් නැත. ඉතින් සිසුහු දේශනවලට එයිද? මේ බොහෝ අය සිසුන් ප්රශ්නකරනවාට කැමති නැත. එය සලකනුයේ අපහාසයක් ලෙසිනි. ප්රශ්න කරන්නාගේ ඉරණම විභාගය අසමත්වීම විය හැකිය. ඒ නිසා කිසිවෙක් ප්රශ්න කිරීමට නොපෙළබේ. මෙහි ප්රතිඵලය සරසවිය වල්වැදී ඇති අතර සිසුන් අරාජික වීමයි.

සරසවිය තුළ වන මේ ආධිපත්යයේ එක් ජීවමාන අත්දැකීමක් වන්නේ අවසන් වසර සිසුන්ගේ නිබන්ධනයි. සිසුන්ට තමන් කැමති මාතෘකාවක් තුළ නිබන්දන කිරීමට ඉඩදෙන හා දිරිගන්වන ආචාර්යවරුන් කී දෙනෙක් සිටිත්ද? සිදුවනුයේ සිසුවා කැමති හා අශාකරන මාතෘකාවක් වෙනුවට ආචාර්යවරයා දෙනු ලබන මාතෘකාවකට අනුව නිබන්දය කිරීමට සිදුවීමයි. ඒ වෙන කිසිවත් නිසා නොවේ. සිසුන් කැමති මාතෘකාව වෙනුවට ආචාර්යවරු දෙනු ලබන මාතෘකාව යනු ඔහු පශ්චාත් උපාධි සඳහා හෝ වෙනත් කුමන හෝ අවශ්යතාවයක් වෙනුවෙන් කරනු ලබන නිබන්දනයකට තොරතුරු සපයා ගැනීමට හැකි මාතෘකාවකි. මෙවැනි වූ සිදුවීම් කොතරම් නරුම වුවද නිර්මාල්ගේ ලිබරල් තර්කනයට මේවා හසුනොවේ. අපි අහන්නේ ඔහු මේවාට කතා නොකරන්නේ ඇයි?

ඒ ඔහු ඒවාට පක්ෂ නිසාද? පැටි්රක් රත්නායකලාගේ සිට ඔය බොහෝ චන්ඞීන්ගේ තරම සිසුන් ඉතාමත් මැනවින් අදුනති. ඉදිරියේදී අපි තවතවත් මේ කරුණු හෙළිදරව් කරන්නෙමු.
මේ තුළින් අවංකව කැපවෙන හා මනුෂ්සත්වයෙන් පිරිපුන් ආචාර්යවරුන් නැතැයි යන්න මින් අදහස් නොවේ. අපි ඔවුන්ට අපගේ ප්රනාමය පුද කර සිටිමු.

මේ සියල්ලම කීමට සිදුවූයේ ඇයි? නවක වදය අනුමත කිරීම සඳහා යැයි නිර්මාල් තර්ක කරනු ඇත. නැත. අප නවක වදය දැඩි සේ හෙළා දකිමු. දැනටද පවතින නෂ්ඨාවශේෂද තුරන්විය යුතුව ඇති අතර සාමූහිකත්වයෙන් හා සහෝදරත්වයෙන් පිරිපුන් සරසවියක් සඳහා ප්රචන්ඩත්වයෙන්ද, බලහත්කාරයෙන්ද තොර නව ශික්ෂණ විද්යා ආකෘති බිහිකළ යුතුය.
එහෙත් එය අහසින් ප්රාදුර්භුත වන්නේ නැත. ඒ සඳහා දැනට පවත්නා සරසවි සංස්කෘතියේ පරිවර්ථනයක් අවශ්යය. දේශනවලට, නෝට් මිටි කටපාඩම් කිරීමට හා විභාගවලට පොරබදන සිසුන් වෙනුවට දියුණු අධ්යයන පර්යේෂණ සංස්කෘතියක් සරසවිය තුළ ඇති කළ යුතුය.

ආචාර්යවරුන් නැමති වහල්හිමියන් හා සිසුන් නැමති වහලූන්ද, ජේෂ්ඨයන් නැමති පීඩකයන් හා කනිෂ්ඨයන් නැමති පීඩිතයන්ද සිටින සරසවියක එවැන්නක් දැකිය හැකි නොවේ. ඒ වෙනුවට ආචාර්යවරුන්ද, සිසුන්ද උස්මිටි බේදවලින් තොරව එකට අධ්යයන පර්යේෂණවල නියැළෙන වාද විවාද කරන වටපිටාවක් සරසවිය තුළ ඇති විය යුතුය. එසේ නොමැතිව සිසුන් හා ආචාර්යවරුන් සතුරන් ලෙස කටයුතු කරන කල්හි කිසිදු ජයග්රහණයක් නොමැත. එහි වාසිය අධ්යාපන අයිතිය මෙන්ම සියලූ ජනතා අයිතීන් කොල්ල කන පාලකයින්ටය. මොන අඩුපාඩුකම් තිබුණේ වුවද සිසුන් මීට වඩා දියුණු ලෙස කටයුතු කර ඇත. ආචාර්යවරයා සටන් කරන විට ශිෂ්යයෝ විවේචනාත්මකව වුුවද ඊට සහය දුන්හ. සතුරාට අධාර නොකළහ. එහෙත් ආචාර්යවරයා සිසුන් සටන් කරන විට ඊට එරෙහිවන්නටත්, පාලකයින්ට සහය දෙන්නටත් කටයුතු කරයි. පැට්රික් වැනි UNP ගැත්තන් අද ඉටුකරනුයේ ඒ අවශ්යතාවය මිස ඉන් කුමක්ද?

සිසුන් හා ආචාර්යවරුන් එක්ව කටයුතු කළ යුතුය. එහිදී සිසුන් වශයෙන් අප තුළ වන අඩුපාඩු නිවරදි කරගැනීමට අප නිහතමානීව සූදානම්ව සිටිමු. හැබැයි ඒ සංවාදයෙන් මිස චන්ඩිකම්වලට බයේ නොවේ. ප්රශ්නය පැට්රික් වැන්නන්ට එවැනි සංස්කෘතියක් ගැලපේද යන්නයි.

ඉහත වීඩියෝවේදී, සිසුන් කෙසේනම් හැසිරී ඇත්ද? ආචාර්යවරයාගේ හැසිරීම කෙබඳුද? ඔබ ඔබේ දෑසින්ම නිරීක්ෂණය කරන්නට ඇත. සිසුන්ට අවැසි වුයේ ආචාරයවරුන්ට පහරදීමට නම් ඒ සඳහා ඔවුන්ට ඕනෑතරම් ඉඩ තිබී ඇති බව පෙනේ. එහෙත් සිසුහු එසේ නොකළහ. පැට්රික් සිසුවෙක්ට බැන වදිද්දී ඔහු නැගී ටිට ඉවසා සිටියා මිස පහරදීමට නොගියේය. කොළරයෙන් අදිද්දීත් නිහඩව සිටියේය. මේ ශිෂ්යා නිවටයකු නිසා නොව අචාර්යවරයකුට පහරදීමට තරම් ඔහු පහත් නොවුන නිසාය. එහෙත් මේ ඉවසීම කොතරම් තිබෙනු ඇත්ද? නිර්මාල් සිතනුයේ සිසුන් ආචාර්යවරුන්ගේ වහලූන් කියාද?

ආචාර්යවරුන් හා සිසුන් අතරෙහි මහා පරතරයක් ඇතැයි යන්න අපි විශ්වාස නොකරමු. දැනුමේ හා අත්දැකීම්වලද, හැසිරීම්වලින්ද මිස එය උපාධිය ගෙන ගතව ඇති කාලය අනුව තීරණය නොවේ. සමහරු සිතනුයේ උපාධිය ගෙන ගතවන සෑම වසරකටම සැරයක් ඔහු දේවත්වයට යන්නේ යැයි කියාවන්නට ඇත. ඒ නිසා සිසුන් ඔවුන් ළග දන ගැසීමද, වහල්කම් කිරීමද බලාපොරොත්තු වේ. නමුත් අපි නම් සිතනුයේ ගෞරවය යන්න උපාධියට හා ආචාර්ය තනතුරුට ලැබෙන බොනස් එකක් නොව එය දුක් මහන්සියෙන් උපයාගත යුත්තක් බවයි. එය දැනුම, අත්දැකීම් මෙන්ම ආදර්ශමත් හා මැදිහත්වීම් තුළ ඇති පරිනත කමතුළින්ද උපදින්නකි. මොහු හැසිරී ඇත්තේ එසේ ගරුකළ හැකි ලෙසින්ද? ආචාර්ය නිර්මාල් පිළිගනු ඇතැයි සිතිය නොහැකි නමුත් එය පාර්ෂවීය නොවන ඕනෑම කෙනෙකු පිළිගනු ඇත.

නිර්මාල් මේ කිසිවක්ම නොපිළිගනු ඇත. මන්ද යත් ඔහු තුළද පැටි්රක් නෙකෙක් සිටිය හැකි බැවිනි. එය එසේද නැද්ද යන්න ඔහු මීට දක්වන ප්රතිචාරය ඔස්සේ ප්රදර්ශනය කරනු ඇත.මෙය කිසිදු අන්යතාවයක් නොමැති ගිණුමකින් කීයනුයේ ඇයි දැයි කෙනෙකුට අවැසිනම් ප්රශ්න කළ හැකිය. නමුත් මා තවමත් සරසවි සිසුවකු වන බැවින්ද, අම්මා මා උපාධිධාරියකු වී එනතුරු බලා සිටින බැවින්ද එසේම එකම විභාගය විසි තිස් වතාවක් අසමත්වීමට ඇති නොකැමැත්ත නිසාද මට මගේ අන්යයතාවය හෙළි කළ නොහැකිය.

Top