රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කරලා. ඒක හොඳයි. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. මෙතෙක් ගෙනා විශ්වාසභංග යෝජනාවලට මොකක් ද වුණේ. සමහර ඒවා තවමත් න්‍යාය පුස්තකයේ පුස්කනවා. කතානායක වැඩ කරන්නේ රනිල්ට ඕන විධියට. රනිල්ගේ බලය බිඳින තෙක් කතානායක පමණක් නොව නීතිපති ද පොලිස්පති ද වැඩ කරන්නේ අගමැතිට ඕන විධියට. බැඳුම්කර කොමිසම අගමැති කියා රනිල්ට විශේෂ සැලකිල්ලක් දැක්වුවා. රනිල්ගෙන් ප්‍රශ්න කෙළේ නීතිපති! රනිල්ට පිළිතුරු දීමට කියා කලින් ප්‍රශ්න පත්‍රයකුත් යවා තිබුණා. ඒ එකක් වත් නීතියට පටහැණි නැහැ. එහෙත් ප්‍රශ්නයත් එයමයි. නීතියට පටහැණි නොවී මොන තරම් දේ කරන්න පුළුවන් ද?

රනිල් අගමැති කමෙන් ඉවත් කරන ලෙස අප ඉල්ලන්නේ ඔහු අගමැති වී මාස දෙක තුනකින්. එසේ ඉවත් කරන්න පුළුවන් එකම එක තැනැත්තා ජනාධිපතියි. ජනාධිපතිට නිකම් ම එය කරන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එසේ කළ හැකි වුවත් ඔහුට ඒ සඳහා ශක්තියක් නැහැ. එය කොන්ද පිලිබඳ ප්‍රශ්නයක් ම නො වෙයි. දේශපාලන ශක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. ඔහු බලයට පත් වූයේ එ ජා ප හා ඒ පක්‍ෂයට හිතවත් ඡන්දවලින්.

මෛත්‍රිපාල අගමැති ධුරයෙන් රනිල් ඉවත් කරන තුරු මා බලා සිටියේ නැහැ. එක් අයකු මට එසේ චෝදනා නගා තිබුණා. ඔහු හිතනවා ඇති මා දේශපාලන අඳ බාලයකු කියා. සයිටම් විරෝධීන්ට, මෛත්‍රිපාල විරෝධීන්ට හා මහින්දවාදීන්ට (සමහරු ඉන් දෙවර්ගයකටත් තවත් සමහරු තුන්වර්ගයටමත් අයත් වෙනවා) මා පෙනෙන්නේ ප්‍රතිගාමියකු අඳ බාලයකු ලෙස. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂය මරා දමා ද්‍රෝහියකු වූ බව ඇත්ත. නමුත් ඔහු රනිල් මෙන් බටහිර ගැති සිංහල බෞද්ධ විරෝධියකු නො වෙයි. එහෙත් එ ජා ප ඡන්දවලින් බලයට පැමිණි ඔහුට රනිල්ගෙන් මිදීමට දේශපාලන ශක්තිය ලබා දිය යුතුයි. ඒ ශක්තිය ලබා නොදී ඔහුට රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න බැහැ.

මෛත්‍රිපාල සිංහල බෞද්ධ විරෝධී නොවේ නම් ඔහු මහින්දට විරුද්ධ ව තරග කෙළේ ඇයි ද කියා කෙනකු අසන්න පුළුවන්. මෛත්‍රිපාල සිංහල බෞද්ධ විරෝධීන්ගේ ඉත්තකු වීම හා ඔහු සිංහල බෞද්ධ විරෝධී වීම යනු දෙකක් මිස එකක් නො වෙයි. මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා දුන්නේ නැහැ. අදත් එයට හරස් කපන අය ඉන්නවා. ඒ අය ඒකාබද්ධ විපක්‍ෂයේ මෙන් ම මෛත්‍රිපාල කණ්ඩායමේත් ඉන්නවා. ඔවුන්ගෙන් ඇතමකු වක්‍ර ව නමුත් රනිල් ආරක්‍ෂා කරනවා. ෆයිසර් මුස්තෆා ශ්‍රී ල නි ප ලේකම් දුමින්ද දිසානායක ජී එල් පීරිස් බැසිල් ආදීන් ඒ ගණයට අයත් වෙනවා. මේ අයගේ නම් සඳහන් නොකර සිටින්නට දැන් බැහැ. 1818 දී එක් නායකයකු (විල්බාවේ) වටා එකතු නොවීමේ වන්දිය අදත් අප ගෙවනවා. නූතන පිළිමතලාවේලා මඩුගල්ලේලා කවු ද? 1818 දී වැරදුණු දේ 2018 දීවත් නිවැරදි කර ගන්නේ නැද්ද?

ඹැඳුම්කර කොමිසම රනිල් නිදොස් කර නැහැ. ඔහු මහේන්ද්‍රන් ගැන තිබූ විශ්වාසය එහි දී ප්‍රශ්න කෙරෙනවා. අගමැති ධුරය දරන්නා රට වෙනුවෙන් තීරණ ගන්නා අයෙක්. ඒ තීරණ ගැනීමේ දී ඔහුගේ විනිශ්චය ඉතා වැදගත්. ඔහු අර්ජුන් මහේන්ද්‍රන් ගැන දැඩි පක්‍ෂපාත විනිශ්චයක් ඇති ව සිටි අයෙක්. ඔහු පාර්ලිමේන්තුවේදීත් අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂා කළා. සුජීව සේනානායක කෝප් කමිටුවට පත් කළා. ඒ අර්ජුන් ආරක්‍ෂා කිරීමට බව පැහැදිලියි. සුජීව අර්ජුන්ලාට දුරකතනයෙන් කතාකර ඔවුන් නිදොස් කර පොතකුත් ලියා පළ කළා. කොමිසමත් මේ දුරකතන පණිවුඩ ගැන නිහඬයි. කොමිසමට දුන් විධි නියෝගය (mandate) අසම්පූර්ණ බව මා ඊයේත් කියා සිටියා. ඒ වීධි නියෝගය සකස් කෙළේ කවු ද? නීතිපති දෙපාර්තමේන්තුව ද?

කොහොමටත් රනිල් බැඳුම්කර සිද්ධියේ දී අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමෙන් හා ආරක්‍ෂා කිරීමෙන් තදබල වරදක් කර තිබෙනවා. ඔහු වෙන කිසි වරදක් කර නැතැයි කවුරු හරි කිව්වත් ඒ වරද ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රමාණවත්. මැතිවරණ විසිපහක් පමණ පැරදීත් එ ජා ප නායකත්වයෙන් අස් නොවූ ඔහුට ඉල්ලා අස් නොවීම උපන් ගෙයි පුරුද්දක්. එබැවින් ඔහු අස් කළ යුතුයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය සියලු වාද භේද දමතක කර මෛත්‍රිපාලට සහාය දිය යුතුයි. මෙය ජී එල් කියන්නාක් මෙන් රෑ වැටුණු වළේ දවල් වැටීමක් නො වෙයි. රෑ වැටුණු වළේ ම වැළලී යෑමක්. ජී එල් රවටන්නේ කාව ද?

ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට විරුද්ධ ව විශ්වාස භංග යෝජනා ගෙන ඒම ප්‍රමාණවත් නැහැ. පළාත් පාලන මැතිවරණයට වඩා රනිල් ඉවත් කිරීම අද වැදගත්. අද බටහිරයන් සිවල් සාමාජිකයන් හා මෙකී නොකී අය එ ජා පක්‍ෂයට හා ජ වි පෙරමුණට ආධාර කරනවා. සත පහකට වැඩක් නැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු හා වරියන් පිරිසක් අද ජ වි පෙරමුණට වැඩ කරන්නේ සිංහල බෞද්ධ විරෝධී පුවත්පතක් සමග එකතු වී. මේ අය අර 6% වීරයන් අතර වූවා. ඔවුන් කියන කිසිවකට ජනතාව සවන් දෙන්නේ නැහැ. එහෙත් ඔවුන් කරන කියන දෙයින් ඔවුන්ට අවශ්‍ය ඒකාබද්ධ විපක්‍ෂය හා මෛත්‍රිපාල පැරදවීමත් එ ජා ප හා ජ වි පෙ දිනවීමත් බව පැහැදිලියි.

අද රනිල් ඉවත් කිරීම පළාත් පාලන මැතිවරණයටත් බලපානු ඇති. අද අවශ්‍ය රනිල් ඉවත් කිරීම සඳහා විශාල මහජන ව්‍යාපාරයක් ඇති කිරීම. ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරුන් මෛත්‍රිපාල කණ්ඩායමට ආණ්ඩුවෙන් ඉල්ලා අස්වනු යන සටන් පාඨයෙන් රනිල් අගමැති කමෙන් ඉවත් කර වෙනත් ආණ්ඩුවක් පිහිටුවනු යන සටන් පාඨයට මාරුවීම හොඳයි. එය තවත් සංශෝධනය වී වෙනත් ආණ්ඩුවක් පිහිටුවමු යන්නට ම මාරු වීය යුතුයි. අප එයට බාධා කරන සියල්ලන් හඳුනාගත යුතුයි. ඒ බාධා කරන්නන් අතර 2015 මැතිවරණයේ දී වෙන ම තරග නොකර දවල් වළේ වැටුණු අය ඉන්නවා. ඔවුන් හැමදාමත් වක්‍රව වැඩ කර තියෙන්නේ එ ජා ප වෙනුවෙන්.

ඔවුන් අද සිතන් ඉන්නේ 2020 දී හෝ 2025 දී හෝ ආණ්ඩුවක් පිහිටුවීමට. 2018 දී ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සපයා දී තිබිය දී 2020 හෝ 2025 හෝ වන තුරු බලා ඉඳීම කාගේ වුවමනාවට කෙරෙන්නක් ද?

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-06

මහ බැංකු බැදුම්කර මුල්‍ය වංචාව සම්බන්ධයෙන් චොදනා එල්ල වි සිටින ශ්‍රි ලංකා මහා බැංකුවේ එවකට හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් (Arjuna Mahendran) යලි කිසිදිනෙක ලංකාවට නොපැමිණේන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා එවා ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයාගේ සමීපතම හිතවතෙකු හා නිල උපදේශකයෙකු වු අර්ජුන් මහේන්ද්‍රන් පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කල විශේෂ කමිටුව විසින් වරදකරු කරමින් සිය වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නා.

මේ වනවිට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට ලබාදි ඇති උපදෙස් අනුව නීතිපතිවරයා විසින් වරදකරුවන් වූ අයට එරෙහිව විධිමත් ක්‍රියාමාර්ගයක් නීතිපතිවරයා විසින් නිර්දේශ කර ඇති අතර ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මෙන්ම ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් ටද දඩුවම් විදිමේ තත්ත්වයක් උදා වි ඇති බවයි වාර්තා වන්නේ.

http://198.211.112.164/archives/11303

http://198.211.112.164/archives/16492

http://198.211.112.164/archives/17040

http://198.211.112.164/archives/11269

නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතට ගැනිම සදහා සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

ජනපති බැඳුම්කර කොමිසමේ වාර්තාව නීතිපතිවරයාට යැවීමත් සමග මෙම තින්දුව ගැනිමට ජනපති සුදානම් වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමගද සාකච්ඡාවක ජනාධිපතිවරයා නිරත වි තිබේනවා.

මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව අගමැතිවරයා යටතේ පවතින අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීමට එය බාධාවක් වී ඇති බවත් මේ නිසා එය ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කර ගත යුතු බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ.

මිට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පත් කරගනිමින් බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර නීතිපති දෙපාර්තමේන්තුව හරහා ගන්නා ලෙස මේ වන විට නායක හිමිවරුන්ගෙන්, වෙනත් ආගමික නායකයින්ගෙන් හා සිවිල් සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

බැඳුම්කර කොමිසම මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නම් නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධිනව ක්‍රියාත්මක විය යුතු බවද අගමැතිවරයා යටතේ නීතිපති දෙපාර්තමේන්තුව තබා ගනිමින් කඩිනමින් අදාළ පියවර ගැනීමට නොහැකි බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කලබලයට පත්නොවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජ්‍යෙෂ්ඨ සමාජිකයන් හමුවි පවසා තිබේ. වාර්තාව හරහා රවී කරුණානායක එල්ලන්න සමහරුන්ට අවශ්‍ය වුණත් ඊට පසුබිමක් මේ හරහා නොලැබි ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (04) අගමැතිවරයා හමුවි බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරය දැක්වු අදහස් සම්බන්ධයෙන් කරුණු විමසා ඇති අතර එහිදි එම ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සිරස, ඇතුලු රනිල් විරෝධී වැරදි ආකාරයට අර්ථ් කතනය කරමින් එජාප පාක්ෂිකයන් කුලප්පු කරමින් සිටින බවයි.

“බැදුම්කර කොමිසමෙන් අන්තිමට සිදු වුණේ කන්දක් විලිලාලා මී පැටියෙක් වැදුවා වගේ වැඩක්…”බැඳුම්කර වාර්තාව දුර්වල බවත් බැඳුම්කර ගනුදෙනුවෙන් රටට පාඩුවක් සිදු වී තිබෙනවා නම් ඒ පාඩු වූ මුදල අය කර ගත යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී මේ වාර්තාව මෙසේ එළිදක්වා ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීම සහ එමගින් මැතිවරණයට එල්ල විය හැකි බලපෑම ගැන ද එහිදී ජ්‍යෙෂ්ඨයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඔඩොක්කුවටම වැටීමට බවද එම් ජ්‍යෙෂ්ඨයන් අගමැතිවරයාට පෙන්වා දි තිබේ.

ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ අන්තවාදීන්ගෙන් සහ අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවත් ඔහුගේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුණත් රටේ ජනාධිපතිවරයා ලෙස ඔහුට ඡන්ද පදනම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග බව ද එම කණ්ඩායම පෙන්වා දි තිබේ.

ජනාධිපතිවරයා එය තෙරුම් ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් ජනාධිපතිවරයාගේ සහයෝගයට සහ රැකවරණයටත් අවසානයේදී කිසිවකු නොසිටිනු ඇති බව එජාප ජ්‍යෙෂ්ඨයන් කල ප්‍රකාශය අගමැති රනිල් විසින්ද තහවුරු කර තිබේ.

“මම අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ධුරයට පත් කිරීම නීත්‍යාණුකූල බව ජනධිපති කොමිසම පිළිගෙන තිබෙනවා. ඒත් මම පාර්ලිමේන්තුවේදී අර්ජුන මහේන්ද්‍රන් සහ පී සමරසිරි යන මහත්වරුන් ගැන කතා කළා කියා ඒ වාර්තාවේ තිබිල තියනවා.මම පාර්ලිමේන්තුවේදී කියා සිටියේ වගකීමක් ඇතිව වැඩ කරන්න පත් කළ ඒ නිළධාරීන් මට ඉදිරිපත් කළ කරුණුයි.මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්… පී සමරසිරි නියෝජ්‍ය අධිපති සහ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා…ඒ අය අපව නොමග යැව්වද නැද්ද කියා මම අදටත් දන් නෑ”

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන පනත සහ අපරාධ නීතිය යටතේ නඩු දැමිය යුතු බවට කොමිසම් වාර්තාව කර ඇති නිර්දේශය ප්‍රශ්නයක් වී තිබෙන බවද එජාප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි තිබේන අතර ඔහුන් එහිදි පෙන්වා දි ඇත්තේ.

“අල්ලස් ගත්තා නම් ඒක මහා භාණ්ඩාගාර බැදුම්කර ගනු දෙනුවට සම්බන්ධ වෙන්නේ කෙසේද කියා අදාළ වාර්තාවේ සඳහන් විය යුතු වුණත් එවැනි තත්ත්වයක් නැහැ. එහෙම නම් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මේ චෝදනා විභාග කර ඔප්පු කළ යුතුයි.නීති විශාරදයින්ගේ මතය වී තිබෙන්නේ නීති පති දෙපාර්තමේන්තුව මේ කරණයේදී අනවශ්‍ය ප්‍රශ්නයක දැන හෝ නොදැන පැටලිලා කියලා.”

Published on: Jan 04, 2018 – “මනුෂ්‍ය ඝාතන කරපු අයව අල්ලලා උසාවියේ දඬුවම් දෙන්න පුළුවන්. මේ ආර්ථික ඝාතකයෝ සිය දහස්‌ ගණන් මිනිස්‌ ඝාතන සිදුකරලා, වැරදි ආර්ථික ක්‍රම රටවලට හඳුන්වලා දීලා එන්. ජී. ඕ. බත්බැලයෝ වෙලා එන්. ජී. ඕ. ඩොලර් අරගෙන බොහෝම සුව සේ තමන්ගේ ජීවිතය ගත කරනවා.”

තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවනාගාරයේදී ‘රට විකිණීමට එරෙහිව් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් එට්‌කා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයෝ යන තේමාව යටතේ පැවැත්වූ දේශනය:

එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහත්තයාට මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන්නේ පුදුම උනන්දුවක්‌. හැබැයි එතුමා අමාත්‍යාංශයක්‌ ගත්ත දවසෙ ඉඳලා මේ වෙනකල් එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියා කළත් එතුමා තවම අසමත් වෙලා තියෙනවා එට්‌කා ගිවිසුම සම්බධන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක්‌වත් කරන්න. ඒ නිසා අපි ශක්‍යතා අධ්‍යනයක්‌ කරලා ඒක පොතක්‌ විදියට ප්‍රකාශයට පත් කරලා කථානායකවරයාගේ අනුමැතිය අරගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා. කථානායකතුමාත් අපට ලිපියක්‌ යොමු කළා වගකිවයුත්තන්ගේ අවධානයට ලක්‌විය යුතු මෙවැනි කෘතියක්‌ රචනා කිරීම සමබන්ධයෙන් ස්‌තුතිය ප්‍රකාශ කරලා. ඉතින් මේකේ ප්‍රධානම වගකිවයුත්තෙක්‌ තමා මලික්‌ සමරවික්‍රම ඇමැතිතුමා. අපි හිතනවා එතුමා මේ පොත කියවයි කියලා. ඒ වගේම තමා එතුමාගේ රාජ්‍ය ඇමැතිතුමා, සුජීව සේනසිංහ. අපි කවුරුත් දන්නවා එතුමා පොත් ලියන කෙනෙක්‌. ළඟදී පොතක්‌ ලිව්වා බැඳුම්කර වංචාව ගැන. එනිසා එතුමා කොහොමත් මේ පොත බලන්න ඇති. මේ අවුරුද්දේ ඔක්‌තෝම්බර් මාසයේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ලංකා එට්‌කා කණ්‌ඩායමේ 12 දෙනා ඉන්දියාවේ එට්‌කා කණ්‌ඩායමත් එක්‌ක නවදිල්ලි නුවරදී 6 වැනි සාකච්ඡා වටය පැවැත්වූවා. එහිදී තීරණය වුණා 7 වැනි සාකච්ඡා වටය කොළඹදී දෙසැම්බර් මාසයෙදී පවත්වන්න. නමුත් මේවා කාටවත් දැනගන්න ලැබෙන්නේ නෑ. අපි මේ කතාකරන මොහොත වන විට ජාතියේ ගෙල සිරකරන මේ කුමන්ත්‍රණය ලංකා කණ්‌ඩායමේ 12 දෙනාත් ඉන්දියානු කණ්‌ඩායමේ කිහිප දෙනාත් අතර කොළඹ කොහේ හෝ තැනක සිදුවෙනවා වෙන්න පුළුවන්. එය බොහෝ විට මේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් සිදුවන අවසන් සාකච්ඡා වටය වෙන්න පුළුවන්. එසේ වුවහොත් 2018 වසරේ මුල් කාර්තුව තුළ එට්‌කා ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම්.

එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමේ ඉන්න නිලධාරීන් පිරිස මේ දේශෙද්‍රaහී කටයුත්ත ජනතාවට හොරෙන් කරගෙන යද්දී, තවත් පිරිසක්‌ ඉන්නවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන. ඒ තමයි මේ රටේ ඉන්න ආර්ථික ඝාතකයෝ. මේ ආර්ථික ඝාතකයෝ කියන පිරිස තමන්ව හඳුනාගන්නේ ‘ආර්ථික විශේෂඥයෝ’ කියලා. මොවුන් ඉංග්‍රීසි කතාකරන ටයි කෝට්‌ පළඳින ජාතියක්‌. හැංගිලා ඉන්න ඝාතකයෝ නෙමේ මේ අය. අපි මේ අයව රූපවාහිනියේ දකිනවා. පත්තරවල ඔවුන්ගේ ලිපි පළ වෙනවා. හැබැයි මේ පිරිස කරන්නේ මේ ජාතිය ඝාතනය කරන එක.

අපි එකක්‌ මතක තියාගත යුතුයි. අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක්‌ කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.

මේ ළඟදී, රසීන් සැලී කියන පුද්ගලයා, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා පවසනවා, වෙළෙඳ හිඟය කියන එක ප්‍රශ්නයක්‌ නෑ. ඒ ගැන කලබල වෙන්න ඕනැ නෑ කියලා. ඇයි මේ පුද්ගලයන්ට මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ?

මේක ඉතාම වැදගත් කාරණයක්‌. අපි මේක හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ ආර්ථික ඝාතකයන් කවුද කියලා හඳුනාගන්න. මේ ආර්ථික ඝාතකයන් මෙහෙම කියන්නේ සුවිශේෂී හේතුවක්‌ ඇතුව. ඇයි වෙළෙඳ හිඟය, එහෙමත් නැත්නම් ආනයන අපනයන් පරතරය වැඩිවීම ප්‍රශ්නයක්‌ නෙමෙයි කියලා මේ අයට කියන්න සිද්ධවෙලා තියෙන්නේ?

ලංකාවේ වාර්ෂික වෙළෙද හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක්‌. ඒ කියන්නේ එක අවුරුද්දකට හම්බන්තොට වරායවල් 9 ක්‌ වටින මුදලක්‌ අපේ රටින් පිටවෙනවා භාණ්‌ඩ වෙළෙමෙන්. ඔබට මතක ඇති අපේ අගමැතිතුමා අර චෙක්‌පතක්‌ උස්‌සන් හිටියා හරියට තරගයක ‘මෑන් ඔෆ් ද මෑච්’ හම්බෙලා වගේ. ඒකේ තිබ්බේ කීයක්‌ ද ඇමෙරිකානු ඩොලර් බිලියන බින්දුවයි දශම දෙකයි නවයයි (0.29). වාර්ෂික වෙළෙද හිඟය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 9 න් හතරක්‌ පමණ එන්නේ ඉන්දියාවත් එක්‌ක වෙළෙඳාමෙන්. ඒ හා සමාන වෙළෙඳ හිඟයක්‌ චීනයත් සමඟ තියෙන වෙළෙඳාමෙනුත් එනවා. ඒ කියන්න ඉන්දියාව සහ චීනය සමඟ එක වසරකට වෙළෙඳ හිඟය හම්බන්තොට වරායවල් 8 ක්‌.

මේක අපේ ආර්ථිකයේ තියෙන එක්‌තරා රෝගයක්‌. ඇයි මේක ප්‍රශ්නයක්‌ වෙන්නේ? අපට ඩොලර් අච්චු ගහන්න බෑ. අපි භාණ්‌ඩ වෙළෙඳාම් කරලා වැඩිපුර රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය කොහෙන් හරි හොයන්න ඕනා. කොහෙන්ද අපි ඒ වැඩිපුර පිටවන ඩොලර් ප්‍රමාණය හොයන්නේ? මේ ආර්ථික විශේෂඥයන්ට අපි අවධාරණය කරලා කියනවා, වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ ද නැද්ද කියන එක තේරුම්ගන්න වෙන්නේ ඒ වෙළෙඳ හිඟය කිසියම් රටක්‌ පියවන්නේ කෙසේද කියන කාරණය උඩ. ඇමෙරිකාව වගේ රටක්‌ වෙන රටවල ආයෝජනය කරලා ඉන් ලැබෙන ලාභාංශ වලින් ඒ වෙළෙඳ හිඟය පියවනකොට ඒක ලොකු ප්‍රශ්නයක්‌ නොවෙන්න පුළුවන්. හැබැයි අපි කොහොමද මේ වෙළෙඳ හිඟය පියවන්නේ? අපේ රටට එක අවුරුද්දකට ඇමෙරිකානු බිලියන හතක්‌ එවන්නේ විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ. ඒකෙන් හරි අඩක්‌ මේ රටට එවන්නේ මැදපෙරදිග වැඩකරන අම්මලා. වෙළෙඳාම් කරලා එළියට යන ඒ ඩොලර් ටික පියවන්නේ මේ අහිංසක මිනිස්‌සුන්ගේ සල්ලි. ඒ මිනිස්‌සුන්ගේ දහදිය සහ ඒ මිනුස්‌සුන්ගේ ජීවිත. මේ ආර්ථික ඝාතකයෝ අපිට කියනවා වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ නෑ කියලා. එතකොට ඇයි මේ අය මෙහෙම කියන්නේ කියලා පැහැදිලියි. එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියා එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියාවෙන් ගෙන්වන භාණ්‌ඩවලින් 90% කටම ආනයනික බද්ධ සම්පූරණයෙන්ම ඉවත් කරන්න. අපි දන්නවා ඉන්දියාවත් එක්‌ක කිසියම් ගිවිසුමකට එළැඹුනොත් අපිට චීනයත් එක්‌කත් එවැනිම ගිවිසුමකට එළැඹෙන්න සිද්ධ වෙනවා. චීනය එක්‌කත් සාකච්ඡා කරන් යනවා එවැනිම ගිවිසුමක්‌ සඳහා. චීනයෙන් ආනයනික භාණ්‌ඩවලින් 90% කුත් සම්පූර්ණ ආනයනික බද්දෙන් නිදහස්‌ කරන්න යනවා.

එතකොට ලංකාවට කෙරන ඉන්දියානු සහ චීන ආනයන ඉහළ යනවා. එතකොට ඔවුන් දන්නවා මේ වෙළෙඳ හිඟය ඉතා වේගයෙන් ඉහළ යන බව. රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය වැඩිවෙනවා. මේ පීඩනය දරාගන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා මේ රෝගයට මේක රෝගයක්‌ නෙමෙයි කියලා තමයි මේ ආර්ථික ඝාතකයෝ කියන්නේ. මොකද ඔවුන් යෝජනා කරන බෙහෙතෙන් මේ රෝගය ඔඩුදුවන බව ඔවුන් දන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට කියනවා මේකේ ප්‍රශ්නයක්‌ නෑ. මේකේ ලෙඩක්‌ නෑ කියලා. වෙළෙඳ හිඟය ගැටලුවක්‌ නෙමෙයි කියන බොරුව සමාජගත කරලා විතරයි මේ අයට එට්‌කා ගිවිසුම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.

මෙච්චර කල් මේ ලෙඩේට අපිට තිබුණ පිළියම තමයි අර මම කියපු විදේශ ශ්‍රමිකයෝ මෙහෙට එවන මුදල. දැන් මේ ගිවිසුමෙන් පස්‌සේ මොකද වෙන්නේ ඒ පිළියමට? ඒ පිළියමටත් විශාල තර්ජනයක්‌ ඇති වෙනවා.

එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා සෞඛ්‍ය, අධ්‍යාපනය, මහමාර්ග සහ ප්‍රවාහන සේවා, සංචාරක, තොරතුරු තාක්‌ෂණ, බලශක්‌තිය, බැංකු සහ මූල්‍ය සේවා, රක්‌ෂණ, විනෝදාශ්වාදය ආදී සෑම ක්‌ෂේත්‍රයක්‌ම ඉන්දියානුවන්ට විවර කරන්න. විනෝදාශ්වාදය කිව්වහම සියලු දේවල් අයත් වෙනවා සින්දු කියන එක, චිත්‍රපටි කරන එක විතරක්‌ නෙමේ මඟුල් ගෙවල්වල ඡායාරූප ගන්න එකත් ඒකට ඇතුළත් වෙනවා.

මේ සියල්ල සඳහා ඉන්දියානු කර්මාන්ත සහ ඉන්දියානු ශ්‍රමිකයන්ට මෙහෙට එන්න පුළුවන් වෙනවා. එතකොට අර මැදපෙරදිග රටවල ලාංකික මවුවරුන් දහදුක්‌ විඳලා මෙහෙට එවන මුදල්, ඉන්දියානු ශ්‍රමිකයෝ මෙහෙට ඇවිල්ලා රුපියල්වලින් පඩි අරගෙන ඩොලර්වලට මාරු කරලා ඉන්දියාවට පිටකරන කොට අර පිළියමත් දුර්වල වෙනවා මේ එට්‌කා ගිවිසුමෙන්. එතකොට එක පැත්තකින් වෙළෙඳ හිඟය වැඩිවෙන කොට ඒකට මෙච්චර කල් පිළියම විදියට තිබිච්ච විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගය අඩුවෙනවා. අපේ රටේ විදේශ සංචිත අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන ඩොලර් අඩු වෙනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. එතකොට අපිට විදේශීය ණය ලබාගන්න වෙනවා. අපිට තව තව තීව්‍ර ලෙස අපේ ජාතික සම්පත් විකුණන්න වෙයි. එහෙම විකුණගෙන විකුණගෙන ගියාට පස්‌සේ අපිට තැනක්‌ එනවා අපි ළඟ තියෙන ජාතික සම්පත් ඔක්‌කොම විකුණලා ඉවර වෙන. සීගිරිය විකුණයි. සිංහරාජය විකුණන්න වෙයි. ඊට පස්‌සේ අපි මොනවද විකුණන්නේ? අන්න එදාට එනවා ගෙවුම් තුලන අර්බුදය. එතකොට මේ ආර්ථික විශේෂඥයෝ කියන අය කිසි කෙනෙක්‌ මේකේ වගකීම ගන්නවද? නැහැ. ඒක තමයි මනුෂ්‍ය ඝාතකයන්ගේ සහ ආර්ථික ඝාතකයන්ගේ තියෙන වෙනස. මනුෂ්‍ය ඝාතන කරපු අයව අල්ලලා උසාවියේ දඬුවම් දෙන්න පුළුවන්. මේ ආර්ථික ඝාතකයෝ සිය දහස්‌ ගණන් මිනිස්‌ ඝාතන සිදුකරලා, වැරදි ආර්ථික ක්‍රම රටවලට හඳුන්වලා දීලා එන්. ජී. ඕ. බත්බැලයෝ වෙලා එන්. ජී. ඕ. ඩොලර් අරගෙන බොහෝම සුව සේ තමන්ගේ ජීවිතය ගත කරනවා.

මෙහෙම ආනයනික බදු අඩු කළහම රජයට ලැබෙන බදු ආදායමට මොකක්‌ද වෙන්නේ. රජය ඒ අහිමිවන බදු ආදායම වෙන කොහෙන් හෝ ලබාගත යුතුයි. කොහෙන්ද ගන්නේ? මේ රටේ දුප්පත් මිනිස්‌සුන්ගේ බොටුව මිරිකලා ඒ මිනිස්‌සුන්ගෙන් තමයි ගන්න වෙන්නේ. මේ රටේ ඉන්නවා නම් ආර්ථික විශේෂඥයෝ එට්‌කා හොඳයි කියන අපි ආරාධනා කරනවා විවාදයකට එන්න කියලා.

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙළෙඳ ගිවිසුම් මෙච්චර නරකද කියලා. තව රටවල් තියෙනෙවා වෙළෙඳ ගිවිසුම් ගහලා තියෙන. ඒක සාධාරණ පැනයක්‌. සමහර වෙළෙඳ ගිවිසුම් තියෙනවා ප්‍රවේශමෙන් අධ්‍යනය කරලා, ශක්‍යතා අධ්‍යනයක්‌ නිවැරදිව තේරුම් අරගෙන ගිවිසුම්ගත වෙලා යම්කිසි වාසීන් ලැබිය හැකියි. මම එක උදාහරණයක්‌ කියන්නම්. ඇමෙරිකාව සහ මෙක්‌සිකෝව අතර තියෙන වෙළෙඳ ගිවිසුමක්‌ සැලකුවොත් ඇමෙරිකාවට තියෙනවා අතිරික්‌ත ප්‍රාග්ධනය. මෙක්‌සිකෝවට තියෙනවා අඩු මිල ශ්‍රමය සහ අඩු නිෂ්පාදන පිරිවැය. එතකොට ඒ අඩු මිල ශ්‍රමය යොදා නිපදවන භාණ්‌ඩ ඇමෙරිකාවට අපනයනය කරලා වගේම මෙක්‌සිකානු වෘත්තිකයෝ ඇමෙරිකාව තුළ රැකියා කිරීම මඟිනුත් මෙක්‌සිකෝවට කිසියම් විදේශ විනිමය ප්‍රමාණයක්‌ ගෙන එනවා. ඒ වගේම මෙක්‌සිකෝව තුළ ඇමෙරිකාව සතු ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලාභාංශ විදියට ඇමෙරිකාවට මුදල් ගෙන එනවා. නමුත් මේ රටවල් දෙකටම මේ ගිවිසුමෙන් ගැටලු උදාවෙලා තියෙනවා. හැබැයි රටවල් දෙකකට කිසියම් හෝ වාසිත් තියෙනවා.

හැබැයි ලංකාවයි ඉන්දියාවයි සලකලා බැලුවහම තත්ත්වය කුමක්‌ද? කාටද වැඩිපුර ප්‍රාග්ධනය හිමිවීමේ වාසිය තිබෙන්නේ? ඉන්දියාවට. කාටද අඩු මිල ශ්‍රමය තියෙන්නේ? ඉන්දියාවට. අපිට ඉන්දියාවත් එක්‌ක ගිවිසුමක කිසිදු වාසියක්‌ නෑ.

දැන් මේ ගිවිසුම් ගහන්න කතා කරන අය අපට ඉන්දියාව තුළ තියෙන අවස්‌ථා ගැන කතා කරනවා අහලා තියෙනවා. එහෙම කතා කරන්නේ නෑ. ඒ අයත් කතා කරන්නේ අපි කොහොමද බේරෙන්නේ කියලා. මම කාට හරි ගහගන්න කතා කරලා මම කල්පනා කරනවා මම කොහොමද බේරෙන්නේ කියලා. මොකක්‌ද මේ, ධනවාදය ද මේක. නෑ මේක ධනවාදය නෙවෙයි. මේක බියගුළුකම. පාලකයන්ට කොන්ද පණ නැති කම. මේක ඉන්දියානු ආක්‍රමණිකයාට බයේ කරන කටයුත්තක්‌. මොළේ තියෙනවා කියලා ගෙනාවට අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා මේ පාලකයන්ට උකුණු හිසක තරම්වත් මොළයක්‌ නෑ කියලා. අපේ රණවිරුවෝ දස දහස්‌ ගණන් ජීවිත පූජා කරලා බේරගත්ත මවුබිම මේ වගේ පාලකයන්ට පාවාලා දෙන්න ඉඩදෙන්න බෑ. ඒ සඳහා අපි සියලු දෙනා රොද බැඳගත යුතු වෙනවා. මේ පණිවුඩය ගමින් ගම අරන් යන්න වෙනවා. පාළාත් පාලන මැතිවරණයේ ඡන්දය ඉල්ලන් කුමන පක්‌ෂයකින් ආවත් අපි හැමෝම අහමු මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ මතය කුමක්‌ද කියලා. මේ කාරණා ටික සභාව හමුවේ අවධාරණය කරමින් මම සමුගන්නවා. බොහෝම ස්‌තුතියි.

Published on: Jan 04, 2018 – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම සදහා මන්ත්‍රීවරුන් ගේ සහභාගි විම අවම මට්ටමක පැවැතිම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ මහ ලේකම් කබිර් හෂිම් මහතාට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

බැදුම්කර මුල්‍ය වංචාව සම්බන්ධයෙන් වු ජනාධිපති කොමිසම ක්‍රියාත්මකවන සමයේ අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සම්බන්ධතා පැවැත්විම පිළිබඳව අනාවරණය විමත් ඇතැම් මන්ත්‍රීවරුන් ඇලෝසියස් ලාගෙන් ලබගත් විවිධ් වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අතරතුර විවේචනයට ලක්විමත් සමග මන්ත්‍රීවරුන් රැස්වීම මගහැරිම ට පටන් ගෙන ඇති බවයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර ඇත්තේ.

කෙසේවෙතත් බැදුම්කර කොමිසමේ වාර්තාව හරහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වන චොදනා වර්ධනය කර ඒ හරහා රනිල් එජාප නායකත්වයෙන් ඉවත් කිරිමට රනිල් විරෝධී කල්ලිය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම මගහැර යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි ලෙස විනය ක්‍රියාමාර්ග ගත යුතු බව රනිල් පිළේ ප්‍රබලයන් පෙන්වා දි තිබේ.

Published on: Jan 04, 2018 – මෛත්‍රිපාල කඩුව වනලා. කවුරුන්වත් කැපිලා නැහැ. රනිල් හිනහවෙවී ඉන්නවා. අනුර කුමාර බලනවා ඇයි මහින්ද කැපිලා නැත්තෙ කියලා. මහින්ද අසරණ වෙලා ඒත් කැපිලා නැහැ. රවි කැපෙයි කියලා ටිකක් ඈතට වෙලා හිටිය කල් ඇතුව ම. රවි තාම දන්නෙ නැතිව ඇති ගේ හම්බ වුණෙ කොහොමද කියලා. රවිට තියෙන්නෙ බැසිල්ගෙන් අහන්න මගේ ම නොවන මගේ ගේක ඉන්නෙ කොහොමද කියලා. රවිගේ නෝනාට බැසිල්ගෙ නෝනාගෙන් අහන්න පුළුවන් අනුන්ගෙ ගෙවල්වල කිරි උතුරවන කොට වතුර වීදුරුව අරන් එන්නෙ කොහොමද කියලා.

අර්ජුන ඇලෝෂියස් කඩුවෙන් කැපිලා නැහැ. මොට්ට කඩුවකින් කැපෙන්නෙ කොහොම ද? ඇඟ ටිකක් තැලිලා ඒත් තෙල් ටිකක් ගෑවම ඒක හරියයි. අර ඉංගිරිසි කියමනක් තියෙනවා අල්ලෙ තෙල් ගානව කියලා. අර්ජුන් මහේන්ද්‍රන් මාමා කියලා දෙයි මොන තෙල් ද ගාන්නෙ කියලා. මහේන්ද්‍රන් කඩුව උඩින් පැනලා. හැත්තෑ වසරක හොඳම නාට්‍යය ඉවරයි. ගම්මන්පිළ ටිකක් බොරුවට කෑ ගහයි. ඩලසුත් විමලුත් එහෙමයි. ඔවුනුත් හොඳ නාට්‍යකරුවන් තමයි.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට වගේ ජනමාධ්‍යවලට නම් වාසියි. කොමිසම් වාර්තාව කියවන්නෙ නැතිව ඒකෙ තියෙන ඒවා කියන්න ඔවුන්ට පුළුවන්. මෙච්චර මුදලක් නැති වුණාය කියා හඳුන්නෙත්ති බෙරිහන් දෙන විට ජනමාධ්‍යවල ඒකට ප්‍රචාරය ලැබේවි. ඒත් කෝප් වාර්තාවෙනුත් රනිල් වරදකරුවකු වුණෙ නැහැ. රනිල් හැමදාමත් මිස්ටර් ක්ලීන්. ක්ලීනින් මිස්ටර්ලා ඉන්නෙ ජ වි පෙරමුණේ ද? අර තකහනියක් බරපතල වංචා දූෂණ කොමිසමේ වාර්තාවත් නිකුත් කරන්න කිව්වෙ මොක ද කියලා විජේවීරගෙන්වත් අහගන්න විධියක් නැහැ.

බැඳුම්කරයෙන් රුපියල් මිලියන එකොළෙස් දහසක් නැතිවෙලාලු. එයින් මිලියන අටදහසක් විතර මහජන මුදල් කියලා කියනවා. අඩු තරමෙන් ඒ මුදලවත් හම්බ වෙනවා නම් හොඳයි. ඒත් සාමාන්‍ය මිනිසුන්ට මේ මිලියන ගණන් ඇඟට තේරෙනවා ද? ඇඟට දැනෙනවා ද? මට නම් දැනෙන්නෙ නැහැ. මේ ලියන මොහොතෙ මට ගී මතකයෙන් අමිතා වැදිසිංහ ගයන බැද්ද පුරා ගීතය ඇසෙනවා. එය මගේ ඇඟට දැනෙනවා. මට පියසිරි විජේරත්න මතක් වෙනවා. සුනිල් ශාන්ත ලඝු අක්‍ෂර දිර්ඝ කරන්නෙ නැති බව අපට කියලා දුන්නෙ ඔහු. කොළඹ විශ්වවිද්‍යාලයෙ ගවේෂකයො පියසිරි විජේරත්නට උපහාර පිරිනැමුවා.

මිලියන කියන එක අපේ සංස්කෘතියෙ නැහැ. සිංහලයට මිලියන එකතු වෙලා වැඩි කලක් නැහැ. ඒ එකතු වුණු කාලෙ මිලියන තුනක් කියන එකට දස ලක්‍ෂ තුන කියලා කිව්වා. ඒක තුන් තිස් පැය වගේ කතාවක් නො වෙයි. එහෙම නම් තුන් දස ලක්‍ෂ කියන්න ඕන. එහෙම කියන්නත් බැහැ. ඒ නිසා දස ලක්‍ෂ ව්‍යවහාරය අයින් වෙලා මිලියන ම ව්‍යවහාර කරන්න පටන් ගත්තා. ඒත් ඒක ඇඟට දැනෙන්නෙ නැහැ. මිලියන එකොළොස් දහස ඉංගිරිසි සංස්කෘතියෙ දැනුනත් සිංහල සංස්කෘතියෙ දැනෙන්නෙ නැහැ. ඒක කෝටි එක්දහස් එක්සීයක් කිව්ව නම් තරමක්වත් තේරෙන්න තිබුණා.

බැඳුම්කරය කොහොමටත් සාමාන්‍ය මිනිසුන්ට දැනෙන්නෙ නැහැ. එය නගරාශිත මධ්‍යම පාංතික අයට නම් හොඳයි. මෛත්‍රිපාල කොමිසම පත් කිරීමෙන් හා රනිල් මිස්ට ක්ලීන් වීමෙන් නගරවල නම් ඔවුන් දෙදෙනාට ඡන්ද ටිකක් වැඩිවේවි. එහෙත් එහි බලපෑම සමස්තයක් ලෙස ගත්ත ම අල්පයි. අවසානයේ දී ඇලෝෂියස්ගෙන් මුදල් ආපහු ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් නීතියෙන් ඒක කරන්න කල් යනවා. පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා මුදල් අය කර ගනීවි කියලා හිතන්න බැහැ. රවිට ඇලෝෂියස් අල්ලස් දුන්න කියලා ඔප්පු කරන්න පුළුවන් ද? රවි අල්ලසක් අරන් කුමක් දෙන්න ද? ඔහු එකල මුදල් ඇමති නො වෙයි. නීතිය (බටහිර) බූූරුවෙක් කියලා කතාවක් තියෙනවා.

එකල මුදල් ඇමති රනිල්. රනිල් අර්ජුන් මහේන්ද්‍රන් ගැන විශ්වාසයක් තැබීම වරදක් ද? විශ්වාසය නෛතික ව වරදක් වන්නේ නැහැ. එහෙත් රනිල් මුල සිට ම ක්‍රියා කළ ආකාරය සැකයට තුඩු දෙනවා. ඔහු මහේන්ද්‍රන් පත් කළා පමණක් නොව බැඳුම්කර කතාව කරළියට ආවම ඒ ගැන හොයන්න කියලා නීතිඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරා. කමිටුවට අනුව වැරැද්දක් වෙලා නැහැ. මහේන්ද්‍රන් බැංකු තොරතුරු පිටට දීලත් නැහැ. කොමිසම නම් එහෙම කියනවා. ඊට පස්සෙ ඩිව් ගුණසේකර කෝප් කමිටු වාරතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔන්න මෙන්න තියෙද්දි මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. මෛත්‍රිපාල එදා බේරුවෙ කාව ද? ඔහු අද කරන්නෙ මොකක් ද? රනිල් පාර්ලිමේන්තුවෙ ප්‍රකාශ කරමින් අර්ජුන්ලා සුද්ද කළා.

නීතිපතිට වාර්තාව ගැන මුකුත් කරන්න බැහැ. මෙය ජනාධිපති කොමිසමක්. ජනාධිපති කළ යුත්තෙ කුමක් ද යන්න පිළිබඳ ව නීතිපතිට නිශ්චිත උපදෙස් දෙන්න ඕන. අවශ්‍ය උපදෙස් ලැබෙනකන් නීතිපති මුකුත් කරන එකක් නැහැ. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් අලුත් දෙයක් දැන ගන්න පුළුවන් වෙයි ද කියන එක ප්‍රශ්නයක්.

හඳුන්නෙත්තිගෙ වාර්තාවෙත් රනිල් වරදකරුවකු වෙලා තිබුණෙ නැහැ. ඒ කොහොම වුණත් මහජන මුදල් රුපියල් කෝටි අටසීයක් පමණ නැති වෙලා. ඒ සියල්ලට ම මුල අඩුම තරමෙන් රනිල්ගෙ වැරදි විනිශ්චය. වැරදි විනිශ්චයත් නීතියෙන් වරදක් නොවන්න පුළුවන්. එහෙත් අගමැති වරයකු ලෙස වැරදි විනිශ්චයක් කළ අයකු තව දුරටත් අගමැති පදවියේ කටයුතු කරන එක යහපත් ද? ඔහු ඉල්ලා අස්විය යුතු ද? ඉල්ලා අස්වන්නේ නැත්නම් ඉවත් කළ යුතු ද? ඒ කරන්නේ කවුද? ඒ සඳහා රාජපක්‍ෂලා මෛත්‍රිපාලට උදවු කරනවා ද? රනිල් අගමැති ලෙස පත් කිරීමෙන් හා ඩිව් ගුණසේකර වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මෛත්‍රිපාල වරදක් කර ඇත් ද? එය තීරණය කරන්නේ කවුද? ඒකාබද්ධ විපක්‍ෂය ජෙනීවා යයි ද? ඒ ගිහින් කඩුව මුවහත් කර ගන්න පුළුවන් ද? මේ මොට්ට කඩු නිපදවන්නේම ජෙනීවා ආදී බටහිර නගරවල ද?

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු2018-01-04

බැදුම්කර වාර්තාව හරහා ජනාධිපතිවරයා එළිපිටම එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙන්ම එජාපයේ ගජ මිතුරන් විවේචනය කරමින් ඊයේ පැවැත්වු මාධ්‍ය හමුවට සමගාමිවම ඉදිරි දින කිහිපය තුලදි පසුගිය රාජපක්ෂ රජය සමයේ අමාත්‍යධුර දරමින් මුල්‍ය වංචා රැසකට සම්බන්ධ වු පුද්ගලයන් කිහිප දෙනෙකුටම ඉතා ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කිරිමට සුදානමක් ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය ආයතන බො‍හොමයක සිදුවී තිබෙන මහාපරිමාණ මූල්‍ය අක්‍රමිකතා, රාජ්‍ය සම්පත් අවභාවිතය, නැවත ඇති නොවීමට අනුගමනය කළයුතු වැදගත් යෝජනා සහ නිර්දේශ රැසක් ඇතුළත් පිටු 1000ක පමණ විශේෂ අවසන් වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම බාරදි තිබේ.

කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත මෙම වාර්තාව බාරදී ඇති අතර එම වාර්තාව මගින් රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ආයතන 17ක සිදුවී තිබෙන මහා පරිමාණ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ සිදුකෙරුණු පරීක්ෂණවල ප්‍රතිඵල හා නිර්දේශ ඇතුළත් ව තිබේ.

කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහත්වරු සමඟ හිටපු විගණකාධිපති පී. පේමතිලක මහතා යන අය වේ.

එම වාර්තා 17ට අදාළ ආයතන 17 මෙසේය.

1. උතුරු මැද පළාතේ ජල පෙරන පිළිබඳ වාර්තාව.

2. අම්පාර නගර සභාවේ දැයට කිරුළ පිළිබඳ වාර්තාව.

3. වරාය අධිකාරියේ මහපොළ නැව පිළිබඳ වාර්තාව.

4. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අදාළ වාර්තාව.

5. රාජ්‍ය ඖෂධ සංස්ථාවට අදාළ වාර්තාව.

6. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වාර්තාව.

7. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවට අදාළ වාර්තාව.

8. වකුගඩු රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාව.

9. මහනුවර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයට අදාළ වාර්තාව.

10. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ වාර්තාව.

11. රූපවාහිනී සංස්ථාවට අදාළ වාර්තාව.

12. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ වාර්තාව.

13. ජාතික ගමනාගමන කොමිසන් සභාවට අදාළ වාර්තාව.

14. සතොසට අදාළ වාර්තාව.

15. තරුණ සේවා සභාවට අදාළ වාර්තාව.

16. සෞඛ්‍ය සේවා සැපයීම් අංශයට අදාළ වාර්තාව.

17. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ වාර්තාව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අත්සන් කළ ගිවිසුම දෙසැම්බර් 31දායින් අවසන් වීම නිසා වහා පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව කටයුතු කිරීමට පියවර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.

කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවකට සහභාගි වූ එහි නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව නීත්‍යනුකූල නොවන බවය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව රජය කටයුතු නොකළහොත් ඒකාබද්ධ විපක්ෂය දැඩි ක්‍රියාමාර්ග කීපයක් සඳහා යොමු වීමට අපේක්ෂාවෙන් සිටින බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී ගරු අග‍්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධ ජනාධිපති කොමිසම කියයි.අග‍්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවත් කොමිසන් වාර්තාව සඳහන් කරයි.

​මෙම කරුණු ජනාධිපතිවරයා විසින් හෙළි කළේය.ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මූලික කරගනිමින් මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව…

‘‘ලැබූ 2018 නව වසර සියලූදෙනාට සමෘද්ධිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ වැඩි අවධානයකට යොමූ වී, සාකච්ඡාවට ලක්වී තිබෙන, එමෙන්ම ඉතා ඕනෑකමින් බලා සිටින ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරිමේදී 2015 සහ 2016 කාලසීමාව තුළ අක‍්‍රමිකතා සහ දූෂණ සිදු වූ බවට ඇතිවූ චෝදනා, පැමිණිලි සහ ජනමතය සැලකිල්ලට ගෙන මා විසින් පත්කරනු ලැබූ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව සහ ඊට අදාළව ඉදිරියේ ක්‍රියාත්මක කළයුතු නිර්දේශ 2017-12-30 වන දින ඉහත කී කොමිසන් සභාව විසින් මා වෙත භාර දෙනු ලැබුවා.

​බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධව විමර්ශන හා පරීක්ෂණ කිරීමට එම කොමිසන් සභාවට බලය, වරය ලැබුණේ 2015 පෙබරවාරී 01 දා සිට 2016 මාර්තු 31 දක්වා කාලය පිළිබඳවයි. එකී කොමිසන් සභාවේ කාර්යය වූයේ අදාළ කරුණු සොයා ගැනීම, නිගමනයන්ට එළැබීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීමයි. කොමිසන් සභාවේ කොමසාරිස්වරු ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාලාටත්, කොමිසන් සභාවේ කොමසාරිසවරයෙක් ලෙස කටයුතු කළ රජයේ විගණන දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික විගණකාධිපතිතුමාටත්, ඒ වගේම කොමිසන් සභාවේ ලේකම් ඇතුළු සියලූ කාර්ය මණ්ඩලවලටත්, මෙම කොමිසන් සභාවට සහය දුන් පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ අනෙකුත් ආයතන සංවිධාන, පුද්ගලයින් ආදී සියලූදෙනාට මම මාගේ ස්තූතිය පුද කරනවා.

මෙම කොමිසන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වය 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිසන් සභාවේ අදහසයි. එම කටයුතු සොයා බැලීම සඳහා එනම් 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳව මුලින්ම කළ යුත්තේ වෝහාරික විගණනයක් බවත් එය ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කළ යුතු අතර, ඉන් පසු ලැබෙන තොරතුරු මත නීතිමය කි‍්‍රයාමාර්ගවලට යා යුතු බවත් කොමිසම දන්වා සිටිනවා.

වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව සඳහන් කරනවා. 2015-2016 කටයුතු සම්බන්ධව කොමිසම ඉදිරිපත් කර ඇත්තේ අතුරු වාර්තාවක් නොව පිටු 1257 කින් පමණ යුත් සම්පූර්ණ වාර්තාවක්. කොමිසමට මෙම කටයුතු සඳහා මාස දහයක කාලයක් කටයුතු කිරීමට සිදු වූ බව ඔබ දන්නවා.

මෙම වාර්තාව මේ වන විටත් නීතිපතිතුමා වෙත මා විසින් භාරදී ඇති අතර ඉදිරියේදී වාර්තාවේ නිර්දේශ මත අපරාධ සහ සිවිල් නඩු පැවරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දුෂණ විමර්ශණ කොමිසම හරහා සිදු විය යුතු බව කොමිසන් වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

මහ බැංකු ව්‍යුහය, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඝෘජු බැඳුම්කර නිකුතුවේ සහ බැඳම්කර වෙන්දේසියේ වාසි සහ අවාසි වාර්තාවේ පැහැදිළි කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ද, බැංකු නිලධාරින් සහ වෙනත් බාහිර පුද්ගලයින්ගේ ද සහභාගිත්වය හරහා පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව මෙහි සඳහන් වෙනවා.

2015 පෙබරවාරි මස 27 වන දින පැවත්වූ වෙන්දේසියෙන් පමණක් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688කට වැඩි ප‍්‍රමාණයක් බව සඳහන් වෙනවා. මෙම පරීක්ෂණ කාලසීමාව තුළ සොයාගත් තොරතුරු මත මීට වැඩිවීමක් ද සිදුවිය හැකි බව කොමිසන් සභා වාර්තාවේ සඳහන් වෙනවා.

පරීක්ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529 ක හෙවත් බිලියන් 8.5කට වඩා වැඩිවන බව වාර්තාවේ සඳහන් වෙනවා.

​මහ බැංකුවේ හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අකී‍්‍රයශීලි වී ඇති බවත් වාර්තාවේ සඳහන් වෙනවා. ඔවුන් කිසිම ප‍්‍රශ්න කිරීමකින් තොරව එසේ අකී‍්‍රයවීම නිසා සාවද්‍ය ස්ථාවරයන්ට එළැඹී ඇතැයි විශ්වාසය පළකළ හැකි බව කොමිසන් සභා වාර්තාවේ සඳහන්.

මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම කි‍්‍රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා.

​මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී ගරු අග‍්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග‍්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වී තිබෙනවා. මෙම කරුණු කෝප් කමිටුව ඉදිරියේද තිබූ හෙයින් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවට එතුමා පැහැදිලි කර තිබෙන බව කොමිසන් වාර්තාව සඳහන් කරනවා.

​ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගම විසින් ,පෙන්ට්හවුස්, තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සඳහන් වෙනවා.

​සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත්, නියම මුදල් ප‍්‍රමාණය සොයා ගැනීම සඳහා වෝහාරික විගණනයක් හා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සඳහන් වෙනවා.

​අදාළ පාර්ශ්වයන්ගේ කි‍්‍රයාමාර්ග හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයට මගපෑදි ඇති අතර, මීට අදාළ පුද්ගලයින් වාර්තාවේ හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව කි‍්‍රයාකළයුතු බව කොමිසන් වාර්තාව සඳහන් කරනවා. දඩුවම් ලබාදීම සඳහා පර්පචුවල් ටෙෂරිස් සමාගම අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිහේන යන මහත්වරුන් සහ වාර්තාවේ හඳුනාගෙන ඇති අන් වගකීම් දරන නිලධාරින්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘත්‍යයන්ට එළැඹීමට යෝජනා කරන අතරම රජයට වූ අලාභය අය කර ගැනීමට ද කි‍්‍රයාකළයුතු බව කොමිසන් සභාවේ සඳහන්. ඒ සඳහා නීතිමය ප‍්‍රතිශෝධන කිරීමත් සිදුවිය යුතුව තිබෙනවා.

​මෙහිදී විශේෂයෙන් සඳහන් කරනවා ශ‍්‍රී ලංකා මහ බැංකුව තුළ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සදහා කොමිසන් සභාවේ වර්තමාන නිර්දේශයන්ට බලපාන ආකාරයටත්, පැරණි පනත අහෝසිකර නව මුදල් නීතියක් සකස් කළයුතු බව සහ ලියාපදිංචි කොටස් සුරැුකුම්පත් ආඥා පනත නව නීතියක් මගින් වෙනස් කළයුතු බව. මුදල් මණ්ඩල සාමාජිකයන් සහ මහ බැංකු අධිපති පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එකඟතාවය මත කළයුතු බව ඒ සදහා අදාළ රෙගුලාසි වෙනස්කළ යුතු බවත් සදහන් වෙනවා.

​රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාකාරිත්ව දැඩි අධීක්ෂණයට ලක්කළ යුතු බව සදහන් වෙනවා. මහ බැංකුවේ විගණන කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවන හෙයින් විගණන අංශය සහමුලින්ම ප‍්‍රතිසංවිධානය කළයුතු බව නිර්දේශවල සදහන් වෙනවා. මහ බැංකුවේ නීති දෙපාර්තමේන්තුවක් පිහිටුවා එය වඩාත් කාර්යශූර බවට පත්කළයුතු බව ද වාර්තාවේ සදහන්.

​2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැදුම්කර පිළිබදව පරීක්ෂා කිරීමට මෙම කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු නොකළ ද, ඒ ගැන පරීක්ෂා කිරීම සුදුසු බවට කොමිසම නිර්දේශ කරනවා.

​පෑන් ඒෂියා බැංකුව සමග සිදුකර ඇති ගනුදෙනු සහ එහි කලින් සිටි සභාපතිවරයාගේ කි‍්‍රයාකලාපය ද පරීක්ෂාවට ලක්කළ යුතු බව කොමිසමේ නිර්දේශයයි. සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු විධිමත් පරීක්ෂණයකට ලක් කළයුතු අතර, එම දෙපාර්තමේන්තුවේ කාර්යයන් නිසි මගකට ගෙන ඒම සදහා ප‍්‍රතිශෝධනය කළයුතු බවද සදහන්. මහ බැංකු නිලධාරින්ට ආචාරධර්ම සංග‍්‍රහයක් හදුන්වාදීමත්, ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ ආචාරධර්ම සංග‍්‍රහය යථාපූර්ණ කිරීමත් සිදුකළයුතු බව කොමිසන් සභාවේ අදහසයි.

​නීතිපතිතුමා සහ අල්ලස් හා දූෂණ කොමිසන් සභාව මගින් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිදි කටයුතු කළයුතු බව මෙහිදී පැහැදිලි කරදී තිබෙනවා. සාමාන්‍යයෙන් අදාළ මුදල් අයකර ගැනීම් සිවිල් නීති කෘත්‍යයන් මගින් ඉටුකරගත හැකියි. එහෙත් එය කල්ගතවන කි‍්‍රයාමාර්ගයක්. විකල්පයක් ලෙස මෙම මුදල් අය කර ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු සම්මතයෙන් පසු වේගවත්ව අදාළ මුදල් අය කර ගැනීමේ හැකියාවක් ඇති බව කොමිසම යෝජනා කර තිබෙනවා. අප ඒ සදහා එකග වෙනවා.

​කොමිසම පවත්වාගැනීම සඳහා දරන ලද සියලූම පිරිවැය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් අයකරගත යුතු බව ද කොමිසමේ නිර්දේශයයි. මා විසින් දැනටමත් වාර්තාවේ පිටපතක් ගරු නීතිපතිතුමා වෙත භාරදී තිබෙනවා. එතුමා විසින් නීතිමය වශයෙන් කි‍්‍රයාකළ යුතු අයවළුන් හඳුනාගෙන නිසි කි‍්‍රයාමාර්ග අපරාධ හෝ සිවිල් කටයුතු සම්බන්ධයෙන් ගැනීමට කටයුතු කරනු ඇති.

කොමිසමේ නිර්දේශවලට අදාළ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ කළයුතු සුළු සංශෝධනයක් පැහැදිලි කළයුතුව තිබෙන බව දන්වා සිටිනවා. ඒ සම්න්ධයෙන් මේ වන විටත් කෙටුම්පත් සකසා නීති කෙටුම්පත් නිලධාරින් එම කටයුතු කඩිනම්න් සිදුකිරීම කි‍්‍රයාත්මක වන බව මා මෙහිදී සඳහන් කරනවා.

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව ශක්තිමත් කර එහි කටයුතු කඩිනමින් කාර්යක්ෂම කිරීම මේ සඳහා මීට බොහෝ කලකට පෙර කළයුතුව තිබූ දේ දැන් අප විසින් ආරම්භ කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ රහස්‍ය බව, විධිමත් බව විගණන කටයුතු පිළිබඳ තිබී ඇත්තේ ඉතා දුර්වල තත්ත්වයක්. ටෙලිෆෝන් රෙකෝඩින් හෝ නව සීසීටීවී කැමරා ක‍්‍රම කිසිවක් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ තිබී නැහැ. එම දුර්වලතා මහහැරීමට වර්තමාන අධිපතිවරයා මේ වන විටත් කටයුතු කර තිබෙනවා.

මෙම කොමිසන් සභාවේදී හෙළිවූ කරුණු මත මහ බැංකුවේ සේවකයින් කිහිපදෙනෙකුගේ ඉහත කාලය තුළ සේවය තහනම් කර විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහ බැංකු අධිපතිතුමා දන්වා තිබෙනවා.

කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉදිරි දිනවල මහබැංකු අධිපතිතුමා විසින් ප‍්‍රකාශයක් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

​මහ බැංකුවේ මෙවැනි දූෂණ, වංචා හා අක‍්‍රමිකතා ඉදිරියේදී සිදු නොවීමට කොමිසම විසින් නිර්දේශ කර ඇති නව පනත් 3ක් කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස නීතිපතිතුමා සහ අධිකරණ අමාත්‍යාංශයෙන් මම ඉල්ලා සිටිනවා.

අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම සහ කොමිසමේ සියලූ නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප‍්‍රමාදයකින් තොරව කි‍්‍රයාත්මකවීම පිළිබ`දව අදාළ අංශ ප‍්‍රධානින් සමග මසකට වරක් ප‍්‍රගති සමාලෝචනයක් කිරීමට මගේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව මෙහිදී මා වැඩිදුරටත් ස`දහන් කරනවා.

​සිදුවී ඇති අලාභය වන රුපියල් මිලියන 11,145 කට වැඩි මුදල් ප‍්‍රමාණය නැවත අය කර ගැනීමටත්, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමටත් කිසිසේත් මම පසුබට නොවන බව මෙහිදී විශේෂයෙන් ස`දහන් කළ යුතුයි.

​සේවක අර්ථසාධක අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අරමුදල, ශී‍්‍ර ලංකා රක්ෂණ සමාගම, රක්ෂණ සංස්ථාවේ අරමුදල් ඇතුළුව මෙම සිද්ධියෙන් රජයට අහිමිවී ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 8,529 ක් හෙවත් බිලියන 8.5ට වැඩිවෙනවා. සමාගම ලාභ ලෙස ඉපැයූ මිලියන 11,145න් ඉතිරි මුදල් පෞද්ගලික අංශයට අයත්.

​පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම මෙම අතිවිශාල මුදල හෙවත් ලබා ඇති මිලියන 11,145ක් වන ලාභය ලබා ඇත්තේ මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ බව ද සඳහන්.

අවසාන වශයෙන් විශේෂයෙන් කිවයුත්තේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව මහජනයාට විවෘත වාර්තාවක් බවට පත්කිරීමටත්, අදාළ කටයුතු විධිමත්ව හා නීත්‍යානුකූලව සිදුකිරීමටත් නීතිපතිතුමාගේ උපදෙස් අනුව ඉදිරියේදී කඩිනමින් ඒ අවශ්‍ය කටයුතු සිදුවන බව.

වග උත්තරකරුවන්ට නඩු පැවරීමේදී එම නඩුවලට අවාසි සහගත නොවන ලෙස මෙම කොමිසන් සභා වාර්තාවේ කරුණු විවෘතභාවය පිළිබඳව සැලකිලිමත්විය යුතු බවද කාරුණිකව මම මෙහිදී සඳහන් කරනවා.

​ඒ වගේම මෙම කොමිසන් සභාවට අදාළ නොවන විශේෂයෙන්ම භාරදෙන ලද, මීට පෙර මා විසින් පත්කරන ලද තවත් කොමිසන් සභාවක වාර්තා, කටයුතු අවසන් වී මා වෙත භාරදී තිබෙනවා. බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවයි

මෙම කොමිසන් සභාව වසර දෙක හමාරක කාලයක් කටයුතු කර තිබෙනවා. එම කොමිසමේ කටයුතු කළ සියලූ මහාධිකරණ විනිසුරුතුමන්ලා ඇතුළු ලේකම් සහ කාර්ය මණ්ඩලයටද ඒ ස`දහා සහය දුන් සියලූ ආයතනවලට මාගේ ස්තූතිය පිරිනමනවා.

මෙම කොමිසමේ වාර්තා 34ක් මේ වන විට මා වෙත භාරදී තිබෙන අතර පසුගිය මෑත දිනක වාර්තා 17 ක් භාරදී තිබෙනවා. ඊට පෙර 17ක් භාරදී තිබෙනවා. පෙර භාරදුන් 17ම මම නීතිපතිතුමාට භාරදී තිබෙනවා. අදාළ ආයතන විසින් කටයුතු කිරීමට. එම වාර්තා පිළිබඳ මේ වන විටත් අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාව සහ අනෙකුත් ආයතන, දෙපාර්තමේන්තු, පොලීසිය නඩු පැවරීම් මේ වන විටත් සිදුකර තිබෙන අතර, මීට දින දෙකකට පෙර භාරදුන් වාර්තාව අපි මේ සතියේම භාරදෙන බව නීතිපතිතුමාට මෙහිදී සඳහන් කරන්න ඕන. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කළයුතුයි.

​මේ බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද කොමිසම ප‍්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත්කර තිබෙනවා. එම කරුණු කි‍්‍රයාත්මක කිරීම රජයේ වගකීමක් වන අතර, ඔබට දැන ගැනීම සදහා මම පැහැදිළි කරනවා.

​දූෂණ, වංචා අක‍්‍රමිකතා පිළිබඳ විමර්ෂණ කටයුතුවලට සුදුසු පූර්ණ දැනුමක් හා පුහුණුවක් ඇති නිලධාරින්ගෙන් අපේ රටට විශාල හිඟයක් තිබෙන නිසා ඒ ස`දහා අවශ්‍ය පුහුණුව ලබා දී සුදුසු නිලධාරින් ඒ සඳහා පත්කළයුතු බව මෙහි පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු වශේෂ තනතුරුවලට පත්කිරීමේදී ඒ සඳහා නියමිත සුදුසුකම් නොමැති අය පත්කර ඇති බවත්, එබැවින් එම ආයතනවල ප‍්‍රධානීන්, සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ දී එම තනතුරට සුදුසු අය පමණක් පත්කළයුතු බව ද එම කොමිෂන් සභාව ඉතා තරයේ ප‍්‍රකාශ කර තිබෙනවා.

​එම කොමිසමට රජය වැය කළ මුදලට වැඩි මුදලක් එම කොමිසම විසින් මේ වන විට රජයට සොයා දී තිබෙන බව කොමිසම දන්වා තිබෙනවා. අල්ලස් නඩු පැවරීම කොළඹ මහාධිකරණය තුළ පමණක් සිදු කිරීම මගින් ලැබෙන ප‍්‍රතිඵල අඩු බවත්, එයින් විශේෂයෙන් සාක්ෂිකරුවන්ට වැනි අයට දිවයිනේ ඈත එපිට ප‍්‍රදේශවල සිට කොළඹට නිතර මෙම කටයුතු ස`දහා පැමිණිමට තිබෙන අපහසුතාව සැලකිල්ලට ගෙන අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව යටතේ නඩු දැනට කොළඹ පමණක් ඇසීම වෙනුවට අවම වශයෙන් පළාත්බද අධිකරණ කි‍්‍රයාවලියක් තුළ කි‍්‍රයාත්මක කළයුතු බව මෙම කොමිසම දන්වා තිබෙනවා.

​එමෙන්ම මෙම වාර්තා දෙකේම කරුණු අවසන් කිරීමට පෙර මා තවත් විශේෂ යමක් සඳහන් කළ යුතුයි. මෙම කොමිසන් සභා පත්කිරීම සම්බන්ධයෙන් සමාජය සහ පොදු මහජනතාව දැඩි උනන්දුවක් ඒ වගේම දැඩි ඕනෑකමක්, අවධානයක් යොමු කරන බව පෙන්නුම් කළා. මේ කොමිසන් සභාව පත්කිරීම විශේෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් එය පත්කරන අවස්ථාවේත් ඇතැම් අය කිව්වා මීට පෙර පත්කළ කොමිසම්වලට වූ දේ තමයි මෙයටත් සිදුවන්නේ කියා. කොමිසමක් පත් කරන්නේ ප‍්‍රශ්න යටගහන්න බව මාධ්‍ය තුළත් ඇතැම් අය පාර්ලිමේන්තුවේදීත් ස`දහන් කර තිබෙනවා.

නමුත් මේ කොමිසන්වල කටයුතු පිළිබඳව එහි කි‍්‍රයාකාරිත්ව පිළිබඳව අපි ඉතාමත් සතුටු විය යුතුයි වගේම විනිශ්චයකාරතුමන්ලා ඇතුළු ඒ සෑම කෙනෙකුටම නැවත නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මහජනයාගේ විශ්වාසය දිනාගනිමින් මෙම කොමිසන් සභාවලට කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්.

​තවත් යමක් මා අවසාන වශයෙන් කිවයුතුයි. මේ කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබඳවත්. කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිෂන් සභා මා විසින් පත් නොකළ අතර මම සඳහන් කළ කොමිසන් සභා දෙකේම පරීක්ෂණ කටයුතු , නිර්දේශ හා එම තොරතුරු මත ඉදිරියේදී කි‍්‍රයාකිරීමේදී නීතිමය කි‍්‍රයාමාර්ගවලදී හා නඩු පැවරීමේදී ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම පුද්ගලයින් වග උත්තරකරුවන් බවට පත්වී තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

​එම නිසා කිසියම් එක් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන කටයුතු නොකරනවා වගේම අධිකරණයේත් කොමිසන් සභාවල අපක්ෂපාතිත්වය සහ ස්වාධීනත්වය පිළිබඳ අප සතුටුවිය යුතු වෙනවා. මේ සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය මේ කටයුතු සඳහා ලබාදෙන බව ප‍්‍රකාශ කරන්න ඕන.

කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (2 දා) ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති සමාරම්භාභිෂේක උත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් පිළිගන්වනු ලැබු පක්‍ෂයේ මහජන සම්මුතිය

අද දින කොමදෝරු ඩීකේපී දසනායක ඇතුළු නාවික හමුදාවේ රණවිරුවන්ට එරෙහිව අබුත චෝදනා නගමින් ගොනු කල ඇති B වාර්තාව පිළිබඳ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැණුනා.

එතනදී අධිකරණය මිට කලින් ලබා දුන් අවසරයක් මත අද දින, මේ සැක කරුවන්ව රදවා තබා ගැනීමට පදනම් වුනු හිටපු කොටි ත්‍රස්තවාදීයාගේ ප්‍රකාශය අසත්‍යය බවත් බලපෑම් මත ඉදිරිපත් කල එකක් බවත් අධිකරණයට ඉදිරිපත්වු එම පුද්ගලයා විසින්ම  මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ  ස්වෙච්චාවෙන්  එතුමියගේ නිල මැදිරිය තුලදී  ප්‍රකාශ සිදු කරනු ලැබුවා. එය ඉදිරියේ දී නඩු වාර්තාවට එකතුවේවි. එය මේ නඩුවේ වැදගත් හැරවුම් ලක්ෂයක් වේවි කියලා අපි විශ්වාස කරනවා.

මේ රණවිරුවන්ට නිදහස දීමට කොටි ත්‍රස්ත්‍රවාදීන්ගේ හෘදසාක්ෂිය කතා කරද්දි මේ ආණ්ඩුවේ හෘදසාක්ෂිය තාම අවදිනොවීම පිළිබඳ අපිට ඇත්තේ බලවත් කණගාටුවක්. මේ රණවිරුවන්ට විරුද්ධව බොරු සාක්ෂි හැදුව නාවික හමුදාවේ නිළධාරියාට ඔහු සිදු කල වරදවල් වලට ජනාධිපති සමාව ලැබීම මත බොරු සාක්ෂි දීමට පෙළඹුණු බවට මේ වනවිට රටේ ලොකු කතාවක් තියෙනවා. ඒ වගේම සමාජ ජාලා වෙබ් අඩවි වල මේ කතාව සැරි සරනවා. මේ රණවිරුවන්ව සිර ගත කරන්න බොරු සාක්ෂි සැපයු නිලධාරියා අද ඔස්ට්‍රේලියාවේ සිටින්නේ ඔහුට ජනාධිපති සමාවක් ලැබිලද? ඔහුට එසේ නිදහස ලබා දුන්නේ ඔහු ලවා ප්‍රකාශයක් ලබා ගන්නද යන්න පිළිබදව නාවික හමුදාව රටට ඇත්ත පැවැසිය යුතුයි.

කොමදෝරු ඩීකේපී දසනායක මහතාගේ නඩු විභාගය අද දින (2018.01.02)  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයේ දී පැවැත්විණි. ඉන් අනතුරුව නීතිඥ උදය ගම්මන්නපිල මහතා මාධ්‍ය වෙත දැක්වු අදහස්.

Top