Published on: Dec 19, 2017 – හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, දුමින්ද දිසානායක මෛත්‍රී විරෝධී ස්ථාවරයක කඳවුරු බඳිමින් සිටින බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

ජනාධිපතිවරයාගේ පිල මහින්ද සමඟ එකතු වීම සම්බන්ධයෙන් මේ දෙදෙනා දැඩි විරෝධයක් දැක්විම මෙම කදවුර බිහිවිමට ආසන්නතම හේතුව වි අ ඇති අතර පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට මෛත්‍රී ශ්‍රීලනිපයෙන් ඉවත් වූ අවස්ථාවේ ඔහු සමඟ පැමිණි කීප දෙනා අතර, දුමින්ද දිසානායක ද පෙරමුණේ සිටි අයෙකි.

ජනාධිපතිවරණයෙන් ජය ගත් පසු පක්ෂයේ සභාපති ධුරයට පත් මෛත්‍රී විසින් එහි ලේකම් වශයෙන් දුමින්ද දිසානායක පත් කරනු ලබුනු අතර ඉන් පසු අවස්ථා ගණනාවක දී චන්ද්‍රිකා සහ මෛත්‍රී අතර විවිධ ගැටීම් ඇති වුවද, පොදුවේ මේ දක්වා පක්ෂය තුළ කටයුතු කරනු ලැබීය.

එහෙත්, මෛත්‍රී මහින්ද පිල එකතු වුවහොත්, ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට චන්ද්‍රිකා ඉදිරිපත් වී සිටින බවත්, මෛත්‍රී ජනාධිපති කර වූ සේ ම ඉවත් කිරීමේ දේශපාලන හැකියාව ද තමන්ට තිබෙන බවත් ප්‍රකාශ කරමින්, මෛත්‍රී විරෝධයකට මුලපුරා ඇතැයි අනාවරණය වේ.

Published on: Dec 18, 2017 – ඉඩෝරයක් නිමවී, ලඟ එන වැසි සමය ගැන අපේ වැඩිහිටියන් අනාවැකි කියනුයේ සවස් යාමයට දෙසවන් පුරවන ගෙම්බන්ගේ හඬ අනුවය. මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ඉඩෝරයට හසුව තිබූ මැතිවරණ භූමියට ඇදහැලෙන්නට නියමිතව ඇති පලාත් පාලන වර්ෂාවට පෙර, දැන් දැන් අපේ හෙවත් හුදී ජනතාවගේ දෙසවන්, දේශපාලක ගෙම්බන්ගේ බක බකයෙන් පිරෙමින් පවතී. නමුත් මේ දෙපා මණ්ඩුකයන්ගේ කටහඬට පෙර මහජන අවධානයට යොමු වූයේ ඔවුන්ගේ පිමිය. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලඟට පැන්න සහ පනින්නට තීරණය කල උදවිය මේ අතරින් කැපී පෙනේ. අනිත් අය දැන් පනීවි, දැන් පනීවි කියා කිව්වත් මොවුන් උපායශීලීය. ඔවුන් වහින වැස්සේ පාට, ප්‍රමානය ආදිය ගැන සෙවිල්ලෙන් සිටින සෙයකි. ‘පනින්ට පෙර සිතා බලනු’ කියා පැරණි කියමනක් ඇති නිසා ඊට දොසක් කියන්නටද නොහැකිය. තමා වෙත පනින දේශපාලන ගෙම්බන් අල්ලා ගැන්මට ජනාධිපතිවරයා විසින් මානාගෙන සිටින්නේ ඇමතිකම නමැති කූඩයයි. එවන් කූඩයක් තුල ඇති ආකර්ශණීය දේ ගැන නොකිවමනාය. 2015 න් පසු රටේ සැබෑ වෙනසක් වූ බව කීවත් එය එසේ නොවූ බවට ඇති හොඳම උදාහරණය මෙයයි

මෙතෙක් කල් මොවුන් මේ සම්පත් දෙස බලමින්, ඒකාබද්ධයට වී සිතෙන් දැවි දැවී උන්නා නේදැ’යි දකිනවිට නිතැතින්ම පහල වනුයේ අනුකම්පාවකි. ඇයි ඒ? මහින්ද රාජපක්ෂ මොවුන්ට පනින්නට නොදී සිර කරගෙන උන්නාද? සමහරවිට මේ උදවිය ආණ්ඩුවේ පැවැත්ම ගැන යම් තක්සේරුවක් කරන්නට ඇත. මෙයට මාස කිහිපයකට පෙරද රජය පාර්ශ්වයෙන් ඒකාබද්ධය දෙසට පනින්නට අරඅඳින පිරිසක් ගැන පවසමින් තමන් දින කිහිපයක් ඇතුලත රජය පෙරලන බවට ඩලස් අලහප්පෙරුම ඇතුලු පිරිසක් පැවසුවද එවැන්නක් සිදුවුනේ නැත. එක අතකට එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම රජයෙන් ඉවත් වන්නේ නම් තමන් ද්‍රවිඪ එක්සත් විමුක්ති පෙරමුණ සමග සන්ධානගතව රජයක් පිහිටුවන බවට අග්‍රාමාත්‍යවරයා පැහැදිලිව කියා සිටියේය. දැනටමත් ද්‍රඑවිපෙ යනු නිළ විපක්ෂය වුවත් ඔවුන් හැසිරෙනුයේ රජයේම කොටසක් මෙනි. මීට අනිකුත් සුලු ජාතික කණ්ඩායම්ද එකතුවනු නියතය. රජයේ වගකිවයුතු අය බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකා භූමියේ අනාගතය ගැන සිතා වදවීමට දෙයක් නැත්තේ ඉන් සෑහෙන පිරිසකට තමන්ගෙන් පසු ඔටුණු පලඳවන්නට (ඉහගෙන කෑමේ අභිප්‍රායෙන් හෝ) නිළ උරුමක්කරුවන් නොමැති බැවිනි. අනිත් අයටද තමන්ට හැකි පමන හරි හම්බ කරගත් පසු තම දරුවන් පිටරටකට පටවා හෝ ඇස් පියා ගත හැක. ඒ, මේ කිසිවකුත් මිලියන 20.8 ක් වන පොදු ජනතාව ගැන නොසිතන බැවිනි. එබැවින් තමන්ගෙන් පසු මේ රට තුල ඕනෑම එකෙකු බඩ පිනුම් ගැසුවත්, රට කෑලිවලට කඩාගෙන අනුභව කලත් මොවුන්ට එය කාරණාවක් නොවනු ඇත. විශේෂයෙන් 80 දශකයේ අග භාගයේදී, ශ්‍රී ලාංකික අනාගත පරම්පරාවේ කොඳු නාරටිය බඳු, යම් දේශපාලන දැක්මක් ඇතිව සිටි තරුණ පරම්පරාවේ 60,000 ක ට වැඩි ජීවිත සංඛ්‍යාවක් වැනසූ එජාපයේද, ශ්‍රී ලාංකික දේශපාලන ලොවේ වැජඹුනු, උගත් සහ බුද්ධිමත් දේශපාලකයන් විනාශකර දැමූ ත්‍රස්තවාදීන්ට සුදු හුණු පිරියම් කරන උතුරේ දේශපාලකයන්ගේද එකමුතුවකට ශ්‍රී ලංකාවේ අනාගතය භාරදීම ඉතාම භයානකය. එබැවින් රජය පෙරලීමේ වෑයම ගැන නම් මඳක් සිතා බැලීම වටී. අනිත් අතට දිනෙන් දින රට කැබලි කරමින් නොරටුනට විකුණා දමන ප්‍රතිපත්තිය ගැනද ජනතාව සිතා බැලීම අවශ්‍ය වේ. ඇත්තෙන්ම මේ ගැන සිතා බැලිය යුත්තේ ජනතාවම පමනක් වන්නේ දේශපාලකයන්ගේත්, අපේ ජාත්‍යන්තර ‘මිතුරන්ගේත්’ බහුතරයකට ශ්‍රී ලංකාවේ අනාගතයෙන් ඇති පලක් නොවන බැවිනි. වත්මන් ශ්‍රී ලංකාව ‘ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී’ ජනරජයකැ’යි කීවද මෙතැන ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ සමාජවාදයක් නැත. අද ජනතාව ගැන සිතනවාය කියමින් පිමි පනින්නන්ගේද, ඔවුන් වෙත ඇමති පට්ටම් හද හදා බෙදාදෙන රජයේ ඇත්තන්ගේද අරමුණ තම පැවැත්මම මිස වෙනත් යමක් නොවන බව, පක්ෂ වර්ණාන්ධතාවෙන් නොපෙලෙන දෙමව්පියන් සිටින කුඩා ළමයෙකුගෙන් ඇසුවත් කියනු ඇති.එබැවින් රජය යන මාවතේ වැටෙන මේ සන්ධිස්ථානයේදී, මෙම අත්තනෝමතික ධාවනය අඩාල කිරීමට කහ එලිය දැල්වීමේ වගකීම ඇත්තේ ජනතාව වෙතමය.

මේ සියලු කරුණු එකිනෙකට ගලපාගත් කල විවිධ වර්ගයේ පිමි සිහියට නැගෙනු වැලැක්විය නොහැකිය. වත්මන් පාර්ලිමේන්තුවේ එවන් පිමි නොපැන්න අයෙකු වේ නම් එය ඉතාම දුර්ලභය. එවන් පිමි පැනිලි සිදුවූයේ අද ඊයෙක සිට නොවන අතර සමහරවිට ඊට පැහැදිලි හේතු දක්නට ලැබුනේත් නැත. ගාල්ලේ විජයානන්ද දහනායක, මාතර රොනී ද මැල් එවැන්නන්ය. අප පාසල් යන කාලයේදී රොනී ද මැල්ව, පනීද පිල් ලෙස නම්කලේ මේ දේශපාලන කරණම් ගැන දිගක් පලලක් නොදැනය.

වත්මන් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරද, ඔහුගේ පියා වූ මහානාම සමරවීරද එවන් අයයි. අද රාජපක්ෂවරුන්, මංගල නම් නයාට අඳුකොල මෙනි. පසුගිය නොවැම්බර් 25 දා මාතරදී මංගල සමරවීර, ගාමිණී වියන්ගොඩ ඇතුලු පිරිසක් උද්ඝෝෂණය කලේ ලක්ෂ 62 ජනවරම රැකගන්නැයි පවසමින්ය. කාටද කියන්නේ, ඇයි මෙහෙම බෝඩ් ලෑලි අල්ලාගෙන මාතර බෝධිය ඉදිරිපිට ඉන්නට වුනේ යන්න මංගල තමාගෙන්ම විමසා සිටිය යුතු කරුණකි. අනිත් අතට එයද නොවැම්බර් 27 දා ප්‍රකාශයට පත් කරන්නට යෙදුනු පලාත්පාලන මැතිවරණය නම් වර්ෂාව ගැන පණිවුඩ කියන තවත් එක බක බකයක් වැනි වූ බව පෙනුනේ නොබෝ දිනකින් පනින පිමි දුටු කල්හිය. ජනවරම යනු අතින් ඇද උදුරාගත හැකි හෝ ඉබි යතුරු දමා රැකගත හැකි යමක් නොවේ. ඒ ලක්ෂ 62 දිනා ගනිද්දී ‘තමන් ජනතාවට දුන් පොරොන්දු එපරිද්දෙන්ම ඉටුවී තිබේය’ යන්න තම හදවතට එකඟව කියන්නට හැකි වුනා නම් මෙසේ අව් කාෂ්ටකේ දැවෙමින් පාරවල් වල ලගින්නට, රාජ්‍ය බලය අතැ’ති උදවියටම සිදු නොවනු ඇත. එසේ නැතිව කරන මෙවන් විරෝධතා තුල රැඳී ඇත්තේ චන්දදායකයන් යනු හැමෝටම අවශ්‍යවන පරිදි දක්කන්නටම සැදුනු ගොන් රැලක් ලෙස දැකීමද කියාත් සිතේ. නමුත් කෙවිට අත ඇති තම ස්වාමියා දක්කන අතටම යන කොටසක්ද නොසිටිනවා නොවේ. ඊට හොඳම උදාහරණය මට මතක ඇති කාලයේ පතුලේ තැම්පත් වන්නේද මංගල සමරවීර ප්‍රධාන කරගෙනය.

1987 දී ලන්ඩනයේ සිටි තරුණ මංගල සමරවීර පෙරලා ලංකාවට සැපත්ව පදිංචියට පැමිනියේ මාතර නගරයේ වල්පොල අප පදිංචිව සිටි නිවස ඉදිරිපිට වූ නිවසටයි. ඊට පෙර එම නිවස 1977 කාලයේ සිට එක්සත් ජාතික පක්ෂ කාර්යාලය වී තිබී, පසුව වසා දමා තිබිනි.එවකට මාතර ආසනයේ එජාප මන්ත්‍රීවරයා වූයේ මංගලගේ බාප්පා (පුංචි අම්මාගේ සැමියා) වන එස්. කේ. පියදාසයි. ඊටත් පෙර එය මහානාම සමරවීරගේ කාර්යාලය බව අසා තිබුනත් එය මගේ මතකයේ නැත. 77 චන්ද කාලයේ මම පාසැල් දැරියක් වීමි. ඒත් මේ පක්ෂ කාර්යාලය ගැන කුතුහලය අප සැමගේම සිතේ තිබිනි. අපේ ගෙදර පිටුපස ගෙදර සිටි ගර්ලි අක්කා තදබල යූඇන්පී කාරියක් වූවාය. දවසක් සවස් යාමයේ එජාප කාර්යාලයේ පැවති රැස්වීමක් අතරතුර මහත් ගාලගෝට්ටියකි. ඒ දිස්ත්‍රික් පක්ෂ බලමණ්ඩලයේ නිළතල බෙදාගැනීමක් අරභයාය. එතැන කරන කතා අපට පැහැදිලිව ඇසේ. නිළතලයක් නොලැබ තදින්ම කෝපයට පත් ගර්ලි අක්කාගේ කටහඬ එදා සීණුවක් මෙන් ඇසිනි. ”මතකද මිස්ට පියදාස, මතකද? ඔයාල කොමියුනිස්ට් කාලෙත් අපි යූඇන්පී” මේ කතා කලේ මංගලගේ පියා කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනයේ යෙදුන සමය ගැන බව පැහැදිලිය. මේ ආරවුලට මැදිවුන දෙපාර්ශ්වයෙන් එක පාර්ශ්වයක් ‘කැපුවත් කොල’ වන අතර අනිත් පාර්ශ්වය ‘කෙවිට ගත් ස්වාමියා යන අතට යන හරක් රැල’ බඳුවූ බව මට වැටහුනේ වැඩුන පසුය. එදා නොවැම්බර් 25 දා මාතර බෝධිය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුන පිරිසට මේ දෙවර්ගයෙන් පිට ජනතාවක් පිලිබඳ අවශ්‍යතාවයක් නොමැත. මේ අප රටේ දේශපාලන ඛේදවාචකයයි. මේ දෙවර්ගයේම ජනතාව සිටිනතුරු අප රටට ධනාත්මක දේශපාලන අනාගතයක් පිලිබඳ අපේක්ෂාවක්වත් තබාගත නොහැකිය.

පසුව 1987 දී මංගල ශ්‍රී ලංකාවට පැමින, ශ්‍රීලනිප මාතර ආසනයේ සභාපතිවරයා බවට පත්වූ කල්හි එම නිවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය බවට හැරුන විට, මිනිස්සුන්ගේ දේශපාලනයට අනුරූපව ගෙදර හඳුන්වන නමද වෙනස් වන බව පවසමින් අපේ අම්මා සිනාසුන හැටි මට තවමත් මතකය.

එදා ඔහු පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාර දෙනවිට දකුණේ මතුවූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තරුණ නැගිටීම තුල රටම ගිනි ජාලාවක්ව තිබිනි. එය හරියට උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර තේරවිල්ල වැනිවිය. එජාප රජයේ දැඩි ඒකාධිපතිවාදී ක්‍රියාකලාපයට විකල්පයක් ලෙස නැගී ආ තරුණ නැගිටීම මර්ධනය සඳහා රජය අමානුෂික අයුරින් ක්‍රියාත්මක වූ ඒ යුගයේ, ජනතා සිත්තුල යතාර්ථය පිලිබඳ හැඟීම් ඉස්මතු කරමින් නිර්මාණයකල නන්දා මාලිනියගේ ‘පවන’ ප්‍රසංගය විශ්ව විද්‍යාල පුරා මහත් ආකර්ශනයක් ඇතිකලේය. ඊට සමගාමීව පවන කැසට් පට යුගලයක්ද නිකුත් වූ අතර ඒවා මිලට ගැනීමට බොහෝ දෙනා පෙලඹුනි. මංගල ද පවන කැසට් පට මිලට ගෙන තිබුනේය. එකල මංගල තම ප්‍රචාරක රැස්වීම් සඳහා භාවිතාකලේද පවන කැසට්පටයි. වරක් මාතර උයන්වත්තේ පැවති එවන් රැස්වීමකට තමන් යාමට පෙර ඊට ලක ලැහැස්ති වීම සඳහා පිටත්ව යන තමන්ගේ අන්තේවාසිකයාට මංගල මහ හඬින් කෑ ගසනු මට තවම මතකය. ”කලු මහත්තයා, පවන විතරයි හරිද? පවන විතරයි” පසුව එජාපයට මහා පිම්මක් පැන්න ඔහු එදා ජනතාවගේ හැඟුම්වලට ආමන්ත්‍රණය කලේ එසේය. අද බලන විට මේවා තුලද තිබී ඇත්තේ බොරුවම මිස වෙනත් යමක් නොවේ. 1990 දී අතුරුදන් වූවන්ගේ මව් පෙරමුණ පිහිටුවීම, 1994 දී සමූහ මිනී වලවල් හෑරීමට මූලික වීම මේ බොරුවේ ඉදිරි පියවරයන්ය.

මේ කාට එරෙහිවද? එදා ශ්‍රීලනිප මාතර කාර්යාලයේ ආලින්දයේ පුටුවල හිඳ මංගල සමග කතාවට වැටී සිටින මහින්ද රාජපක්ෂ එම නිවසට අමුත්තෙකු නොවීය. එකල මහින්ද, රජයේ මර්ධන හස්තය යට පොඩිපට්ටම් කල තරුණ පිරිස්වල මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නිසා, මංගල විසින් මේ හා සමාන අදහස් ඔහු වෙතින් උකහා ගත්තාද විය හැකිය. නමුත් අද වනවිට මංගලගේ පරම හතුරා මහින්දයි.

එ් කාලයේ දවසක මැදියම් රැයේ මංගලගේ පක්ෂ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්ද එල්ල විය. මේ ආරංචිය නිසා පසුදින තම සැපදුක බැලීමට වැල නොකැඩී පැමිනි පිරිස අතර සිටි ඔහුගේ ඥාතියෙකුට මංගල ඇඟට කඩා පැන්නේ ”දයානන්දල එක්ක එකතුවෙලා මට බෝම්බ ගහල, දැන් බොරුවට මූණ පෙන්නන්න එනවද?” කියා අසමිනි. එවකට අකුරැස්ස ආසනයේ මන්ත්‍රීවරයා වූ දයානන්ද වික්‍රමසිංහගේ නිවෙස පිහිටා තිබුනේද මංගලගේ නිවසට නොදුරිනි. මංගල එය පුද්ගලිකව ගත්තාට ඔහුගේ එම ඥාතියා තද එක්සත් ජාතික පාක්ෂිකයෙකු මිස ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනෙකු නොවේ. එකල ඔහු වෙත තිබූ එවන් නොමේරූ ස්වභාවය තවමත් එලෙසම බව නොවැම්බර් 25 දා පැවති විරෝධයෙන්ද පෙනුනි. එදා දයානන්දට එරෙහිව කල ඒ බෝම්බ ගැසීම පිලිබඳ චෝදනාව, සත්‍යයක් විය හැකි වුවද, එය එසේ යයි ඔප්පු කරන්නට ඔහු, එවන් අවලාද කීම හැර වෙනත් යමක් නොකලේය. එවර මැතිවරණයේදී, ජවිපෙ විසින් ‘චන්දය පාවිච්චි කරන්නන්ට මරණය’ යන නීතිය පනවා තිබූ නිසා බහුතර ජනතාවක් තම චන්දය පාවිච්චි නොකල අතර, තුවක්කු අතින් ගත් ආරක්ෂකයන් සහිතව සිටි රජයේ මෙන්ම විපක්ෂයේද අපේක්ෂකයන් තම සිතු මනාපයේ හොර චන්ද දැමීම සිදුකර ගත්හ. එය මංගල සම්බන්ධයෙන්ද සත්‍යයකි. එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හමුවේ අවිනිශ්චිතව තිබූ සමාජය තුල බලයේ සිටි දෙපිරිස අතර, දේශපාලනිකව බෙදුනු සාමාන්‍ය ජනතාව අතර තිබෙන තරම් මතවාදී වෙනසක් තිබුනේ නැති නිසා මංගලලාගේ පිමි ගැන කියන්නට තරම් විශේෂයක්ද නැත.

පිමි ගැන කරන්නට ගිය කතාව මංගල දෙසට හැරුනේ ඔහුද පරම්පරාවෙන්ම පිමි පැනීමේ කුසලතාවක් රැගෙන විත් ඇති බැවිනි. වරද ඔහුගේ පිමිවලට පොදු ජනතාවගේ හැඟීම් යොදා ගන්නා එකය. ඔහු තාජුඩීන්ගේ මරණය දින ශිරන්ති රාජපක්ෂට ලැබුන දුරකථන ඇමතුම් ගණන ගැන පවසන්නේද යම් වෘත්තිමය ස්වභාවයකින් නොව නිකම් කටට ආවාට වගේය. ඒ තුල රවි කරුණානායකට අර්ජුන ඇලෝෂියස්ගෙන් ලැබුන දුරකථන ඇමතුම් ගැන සාධාරණීකරනය කිරීමේ උත්සාහයක් පවතී. ‘ඒකට මේක’ කියා සමතුලිත කරන්නට හැකි නම් ලක්ෂ 62 ක ජනවරමේ අර්ථය කුමක්ද?

එසේ සමතුලිත කරන්නට අවශ්‍ය නම් තවත් දේ තිබේ. ඔහුගේ පියාද මාතර නිල්වලා ගඟ හරහා ඉදිවුන පාලම මහානාම පාලම යනුවෙන් නම් කරගත් අතර මංගල මේ පාලම නවීකරණය කර එහි තිබූ පැරණි බෝඩ් ලෑල්ල වෙනුවට තම පියාගේ නම සඳහන් ඉතා වටිනා පුවරුවක් සවිකර උත්සවශ්‍රීයෙන් විවෘතකර එය තම පාරම්පරික පාලම බවට බෞතීස්ම කලේය. ඔහු චන්ද්‍රිකා කුමාරතුංග රජයේ, නිවාස ඉදිකිරීම් සහ මහජන උපයෝගීතා අමාත්‍යවරයාව සිටි අවධියේ ඔහුගේ මව වන ඛේමා සමරවීර හදිසි ඇදවැටීමක් නිසා උකුල් ඇටය පුපුරා, ඔත්පල වූවාය. තම මවට උඩුමහලට නගිනු, බසිනු පිනිස තම නිළ නිවසට විදුලි සෝපානයක් සවිකලේ රුපියල් කෝටි දෙක හමාරක් පමන වූ මහජන මුදලිනි. මේ ගැන විමසූ මාධ්‍යවලට ඔහු පවසනුයේ මේ විදුලි සෝපානය ඕන කෙනෙකුට ප්‍රයෝජනවත් වන බවය. ඔහු මාතෘ වන්දනය සිදුකලේ එලෙසිනි. ඒ හැර ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් ගණුදෙනු ගැන කතාද ජනතාවට අමතක විය නොහැක. ඩී. ඒ. රාජපක්ෂ පදනම ගැන කියද්දී ජනතාව මතක තබාගත යුත්තේ කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තිබෙන බවයි. ඒ අනුව ඔය පිමි මොන පැත්තට පැන්නත් වෙනස් නොවේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අවධියේ අරලියගහ මන්දිරය හැඳින්වුනේ ‘පින්නවල’ නම් අන්වර්ථ නාමයෙනි. එකල දිගින් දිගටම පරාජයේ අමිහිර අත්විඳිමින් සිටි එජාපයේ බොහෝ පිරිස් තම ඇමති සිහින පිලිබඳ අපේක්ෂාවන් ඉටුකර ගැනීමේ අන් මගක් නොදුටුවෝ, අරලියගහ මන්දිරයේ පිලට ගොඩවූ අතර තවත් පිරිසක් නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව පක්ෂය තුලම කැරැල්ලක් ඇරඹූහ. 2010 දී ශ්‍රීලනිප (මහජන පෙරමුණ) නමින් නව පක්ෂයක් පිහිටුවා ගෙන සිටි මංගල එජාපය සමග එක්ව, වරක් තමන් විසින්ම ගැලවීමේ හමුදාවට සුදුසු බව කියමින් පහත හෙලූ සරත් ෆොන්සේකා යුද වීරයෙකු ලෙස නම් කරමින් ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ අතර ටික දිනකින් තිරසාර ලෙසම එජාපයට එක්විය. 2013 දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව පැවැත්වුන විරෝධතා පාගමනට කුරුඳු පොලු ප්‍රහාරය එල්ල කරමින් එය ව්‍යර්ථ කලේද මංගලගේ මූලිකත්වයෙනි. අද කියන විදියට ඔවුන්ට සන්ධාන කණ්ඩායම රජයෙන් ඉවත්ව ගියහොත් තමන්ට සුලු ජාතික පක්ෂ සමග එකතු වී රජයක් පිහිටුවන්නට හැකියාව ඇතැයි කියනවා නම් 2015 දී මෛත්‍රීපාල සිරිසේන වෙනුවට රනිල් වික්‍රමසිංහම ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනේ ඇයි? එදා පාර්ලිමේන්තුව තුල තමන්ට හිමිව තිබූ ආසන සංඛ්‍යාව මත ඔවුන්ගේ අරමුණ වූයේ ශ්‍රීලනිපය දුර්වල කිරීම මිස අන් යමක් නොවේ. ඒ අනුව අගෝස්තු මැතිවරණය වනවිට අර ජෝන් අමරතුංග එලිපිටම කීවාක් මෙන් ‘රජයත් අපේ පොලිසියත් අපේ’ න්‍යායද රහසින් ක්‍රියාත්මක වන්නට ඇත. ඊට ලොකුම උදව්ව වූයේ 2015 ජනවාරි 8 දා තෙක් මහින්ද සමග සිට 10 වන දා වනවිට මෛත්‍රී දෙසට පිමි පැන්න පිරිසය. හොඳම විහිලුව නම් ජනාධිපතිවරණයට පෙර බද්දෙගම මෛත්‍රීගේ වේදිකාවක් විනාසකර පොලිසියටද බලය පෙන්වා නඩු පටලවාගත් නිශාන්ත මුතුහෙට්ටිගම අද එම නඩුවට යන්නේ මෛත්‍රී රජයේ නියෝජ්‍ය ඇමති කෙනෙක් ලෙස සිටිමිනි.

එබැවින් මේ පිමි ගැනත්, පිමි පනිනවුන් ගැනත් ජනතාව කලබල විය යුතු නැත. දේශපාලකයන්ට නම් මේ ගැන බියක් දැනීම සාධාරණ වනුයේ ඉන් දෙදරා යන්නේ ඔවුන්ගේ පදනම බැවිනි. මැතිවරණයක් ලඟ එන මේ වෙලාවේ කලයුතු හොඳම දේ වන්නේ මේ පිමි ගැන සිතමින් අනුන් රැකදීමට වදවෙනවා වෙනුවට තමන්ගේ රැකවරණය ගැන ස්වාධීනව සිතාබැලීමය.

~~තේජා ගොඩකන්දෙආරච්චි~~

පසුගියදා හදිසියේම අමාත්‍යංශ ලේකම්වරුන් මාරුකිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත ගත් හදිසී තින්දුව සම්බන්ධයෙන් එජාප අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඇමතිවරුන්ගෙ උපදේශකත්වයෙන් තොරව ජනාධිපතිවරයා ලේකම්වරුන් ඉවත්කිරිමට කටයුතු කිරිම මෙම එජාපයේ අදාළ ඇමතිවරුන්ට මෙන්ම එජාප ජ්‍යෙෂ්ඨයන්ට බරපතල ප්‍රශ්ණයක්ව ඇති අතර එම හදිසි ඉවත් කිරිම සම්බන්ධයෙන් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදි එජාප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ මේ අකාරයට හිතුමතේ ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන් ඉවත් කිරිමට කටයුතු කලහොත් අනෙකුත් අමාත්‍යංශ ලේකම්වරුන්ටද එම අනතුරට මුහුණ දිමට සිදුවන් ඇතැම් විට එය ලේකම්වරුන්ගෙන් නොනැවති අමාත්‍යධුරය පවා හදිසියේ පවරා ගැනිමට හැකියාව ඇති බවයි.

එජාපයේ රනිල් පිළේ ප්‍රබල තරුණ අමාත්‍යවරයෙකු මෙම සාකච්ඡා වලදි සදහන් කර ඇත්තේ “මෙහෙම ගියොත් එලිවෙනකොට ඇමතිකමටත් කෙලවලා තියෙයි….” යනුවෙනි. ජනාධිපතිවරයා ගන්නා ඇතැම් තින්දු පසුපස එජාපයේ රනිල් විරෝධින් සිටින බව ඔහු පෙන්වා දි තිබේ.

අධිකරණ අමාත්‍යාංශය, නාගරික සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය, නීතිය සහ සාමයඅමාත්‍යාංශය, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සහ විශේෂ පැවරුම් අමාත්‍යාංශයේ ලේකම්වරු හදිසියේම ඉවත් කෙරෙනු අතර අදාළ වෙනස් කිරිමට හේතු ජනාධිපතිවරයා විසින් නේ දක්වා ප්‍රකාශ කර නෑ.

සාගල වෙනුවෙන් ලේකම් බිල්ලට …..

කෙසේවෙතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු අප දේශපාලන වාර්තාකරු සමග පවසා ඇත්තේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය ජනාධිපතිවරය පවරා ගැනිමට සුදානමින් සිටිය බවත් ඊට ආසන්නතම හේතුව වුයේ ඇතැම් පාර්ශ්වයන් සමග  සාගල ඇමතිවරයා සමීප සබඳතා දැක්විම බවයි.

කෙසේවෙතත් මැතිවරණයක් පෙනි පෙනී එජාපයේ ප්‍රබල අමාත්‍යධුරයක් වෙනස් කිරිම සදාචාර සම්පන්න නොවන බැවින් ඒ වෙනුවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඉවත් කර නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතාත් පත්කල බවයි.

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නගරාධිපති ධුරය සම්බන්ධයෙන් පැනනැගි තිබේන අර්බුදය විසදාඅ ගැනිම සදහා රහසේම මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණයි කලා.

එම අර්බුදයට ප්‍රධාන හේතුව වි ඇත්තේ අවසන් මොහොත දක්වා කොළඹ මහ නගර සභාව සදහා නගරාධිපති අපේක්ෂකයෙකු නම් නොකර සිටිමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටියද සජිත් පිළේ ප්‍රබලයෙකු මෙන්ම පසුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ කාර්‍යාලයේ විශේෂ තනතුරක් සදහා පැනගත් රෝසි සේනානායක මහත්මිය නගරාධිපති තනතුර සදහා බලාපොරොත්තු තබාගෙන සිටිමයි.

එක්සත් ජාතික පක්ෂයෙන් රෝසි සේනානායක ඉදිරිපත් කලයුතු බවට සජිත් කණ්ඩායමේ සිටි ඇතැම් පාර්ශව වල ඉල්ලිම වි තිබුනද එජාප ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇත්තේ ඇයට සිංහල ඡන්ද හෝ ආකර්ශනය කරගැනීමේ හැකියාවක් නොපවතින බවයි. එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඇය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්වූ බැවින් මැතිවරණය ඉදිරිපත් වන්නේ පරාජිත අපේක්ෂකයෙකු ලෙසින් බවයි. එමෙන්ම ඇයගේ ආගමික මතවාද එජාපයට අවාසියක් වියහැකි වන අතර බෞද්ධ ඡන්ද පදනම දෙදරා යාමට එය හේතුවක් වන බවයි.

සියල්ලටම වඩා කොළඹ මහ නගර සභාවේ බලය දිනා ගැනිම සදහා අතීශයෙන්ම වැදගත් සාධකය වනුයේ මුස්ලිම් සහ අනෙකුත් සුළු ඡන්ද වන අතර එයට හොදම උදාහරණය ලෙස රාජපක්ෂ රේජිමයේ බල ආධිපත්‍ය පතුරුව තිබියදි ඒ.ජේ.එම්. මුසම්මිල් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙසට පත් විම් පෙන්වා දි ඇති එජාප ජ්‍යෙෂ්ඨයන් රෝසි වැනි තැනැත්තියක් හරහා මැතිවරණ ජය ලැබිම් සිහිනයක් බවද පෙන්වා දි තිබේ.

මේ වනවිට මැලේසියානු තානාපති ධූරයක් දරන ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඉදිරිපත් කිරිමට එජාප ජ්‍යෙෂ්ඨ යන් කැමත්ත පලකර තිබුනද ඔහු ඒ සඳහා කැමැත්ත පළකර නොමැති අතර බලය ලබ ගැනිමෙන් පසුව මුසම්මිල් කැසිනෝ ගැසිමේ සිය ව්‍යාපාර වෙගවත් කිරිම සහ රාජපක්ෂලා සමග ඩිල් දැමිම හැරුණුවිට කොළඹ මහ නගර සභාව තුලින් බල ප්‍රදේශයට යමක් කිරිමට සමත් වු අයෙකුද නොවේ.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවය (ඒකාබද්ධ) හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම නාගරික කොමසාරිස්වරයෙකු ද වන ඔමාර් කාමිල් මහතා අපේක්ෂකයෙකු කලයුතු බවට යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ හරහා එජාපයේ මෙන්ම මෛත්‍රී පිළේ බලයටද පහර දිය හැකි බවයි ඔහුන්ගේ අදහස් වි ඇත්තේ.කෙසේ වෙතත් ඔමාර් කාමිල් මහතාගේ සමීපතම ආරංචි මාර්ග පවසන්නේ ඔහු තවමත් නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා කැමැත්ත පළකර නොමැති බවයි.

මෛත්‍රී ජනාධිපතිගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිපය ෆේරියල් අෂ්රොෆ් මහත්මිය හෝ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා ඉදිරිපත් කිරිමට කටයුතු සුදානම් කරමින් සිටින අතර යම් හෙයකින් එජාපය රෝසි හෝ කාමිල් වෙනුවට වෙනත් සිංහල බෞද්ධ අයෙකු ඉදිරිපත් කලහොත් පසුගියදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරය ලැබූ ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා, අභාවප්‍රාප්ත සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය දීපා එදිරිසිංහ මහත්මිය ඉදිරිපත් කලයුතු බවට යෝජනා එල්ල වි ඇති අතර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා ඇය නගරාධිපති අපේක්ෂිකාව කිරිම සදහා දැඩි උත්සහයක් ගනිමින් සිටින බවද වාර්තා වේ.

පළාත් පාලන ආයතනවලට කොට්‌ඨාස නියෝජනය සහිත නව මැතිවරණ ක්‍රමයක්‌ සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා ඇත්තේ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත මගිනි. එහෙත් එහිදී ඒ ඒ පළාත් පාලන ආයතන වෙනුවෙන් කොතරම් සභික සංඛ්‍යාවක්‌ සිටිය යුතුද? සභික කොට්‌ඨාස කීයකින් සමන්විත යුතුද? යන කරුණු නිගමනය කර නැත. පළාත් පාලන වර්ෂය භාර අමාත්‍යවරයා විසින් මේ පනතේ විධිවිධාන අනුව ජාතික සීමා නිර්නය කමිටුවක්‌ පත් කරන ලද අතර කොට්‌ඨාස සංඛ්‍යාව හා ඒ අනුව පත් කළ යුතු සභික සංඛ්‍යාව නිශ්චය කිරීමේ වගකීම ජාතික සීමා නිර්ණය කමිටුවටම පැවරුනි.

නව මැතිවරණ ක්‍රමයක්‌ සඳහා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුව විසින් 2003.08.22 වැනි දින විශේෂ කාරක සභාවක්‌ පත් කරනු ලැබ ඇත. දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 19 දෙනකුගෙන් සමන්විත වූ එම කමිටුව රැස්‌වීම් වාර 27 ක්‌ පවත්වා 2014.01.23 වැනි දින සිය නිර්දේශ වාර්තාව සභාගත කර ඇතත් ඒ ගැන විශේෂ ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත.

අනතුරුව මහින්ද රාජපක්‌ෂ මහතා ජනාධිපති වීමෙන් පසු 2006 අප්‍රේල් 07 දින නැවත දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්ම මන්ත්‍රීවරුන් 30 දෙනකු සමන්විත වූ විශේෂ කාරක සභාවක්‌ පත්කොට එම කරුණු සම්බන්ධව වැඩි දුර පරීක්‌ෂා කර ගතයුතු නීතිමය සංශෝධන ද සලකා බලා යෝජනා ඉදිරිපත් කිරීම් සඳහා වූ කාර්යභාරය පවරා ඇත. 2004 ඉදිරිපත් කළ වාර්තාව මූලික පදනම ලෙස සලකමින් සභා වාර 39 ක්‌ පවත්වා 2007.06.05 වන දින ඉදිරිපත් කළ නිර්දේශ වාර්තාව අනුව ඡන්ද විමසීම් සඳහා කොට්‌ඨාස ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවටත් අමතරව සුළු ජන කොටස්‌වල හා සුළු ජන පක්‌ෂවල නියෝජනයද තහවුරු වන පරිදි සමානුපාතික ක්‍රමය මත 30% වූ සභික සංඛ්‍යාවක්‌ පත් කළ යුතු බවටත් නිර්දේශ කර ඇත. මෙම වාර්තාව පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව පිළිගන්නා ලද අතර 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත එහි ප්‍රතිඵලයකි. එය ගැසට්‌ මගින් ප්‍රකාශ කර ඇත්තේ 2012 නොවැම්බර් මස 16 දින දීය. ඊට අනුකූලව පළාත් පාලන ආයතන කොට්‌ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව අමාත්‍යවරයා විසින් 2012.12.07 වැනි දින පත් කරන ලද අතර සීමා නිර්ණය කාර්යභාරය, කඩිනම් වැඩපිළිවෙළක්‌ සේ සලකා ක්‍රියා කිරීමට නියම විය. ඒ සඳහා මූලික වශයෙන් ලබාදුන් කාලය මාස 06 කි.

කොට්‌ඨාස සීමා නිර්ණයේදී සලකා බැලිය යුතු කරුණු පනත මගින් ප්‍රකාශයට පත් වුවද ඒ ඒ පළාත් පාලන ආයතන වල කොට්‌ඨාස සංඛ්‍යාව හෝ සභික සංඛ්‍යාව නිශ්චය කර නොතිබුණු හෙයින් එය නිගමනය කිරීමේ වගකීම ජාතික කමිටුවේ කාර්යභාරයක්‌ විය. ඒ අනුව ජාතික කමිටුවේ මූලික වැඩ සැලැස්‌ම සැකසුනු අතර, 2012.12.24 සිට 2012.12.14 දක්‌වා මාස 02 ක කාලයක්‌ මහජන නියෝජිතයන්, දේශපාලනය පක්‌ෂ, සිවිල් සංවිධාන හා විද්වතුන් ආදී විවිධ පිරිස්‌වලට නියෝජනයන් ඉදිරිපත් කිරීම සඳහා අවස්‌ථාව සලසා දෙනු ලැබිණ. ලිත නියෝජනයන්ට අමතරව වාචික නියෝජනයන්ද ඉදිරිපත් කිරීමට අවකාශ ඉල්ලු සියලු දෙනාට ඒ සඳහා ද අවස්‌ථාව සලසා ඇත. පක්‌ෂ විපක්‌ෂ සියලුම සභා නියෝජිතයන්ට ද තම යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ කාලය වෙන් කරදී තිබුණි. මේ සම්බන්ධව උනන්දුවක්‌ දැක්‌වූ කවුරුන් හෝ මඟහැරුනේ නම් එය සන්නිවේදනයේ අඩුවක්‌ මිස කමිටුවේ වරදක්‌ නොවේ. දේශපාලන පක්‌ෂ 09 ක නියෝජිතයන් වාචිකව කරුණු දක්‌වා ඇති අතර මේ සම්බන්ධව පත් කර තිබූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ප්‍රධානියා වූ දිනේෂ් ගුණවර්ධන මහතාද පෞද්ගලිකවම සහභාගි වී කරුණු දක්‌වා ඇත.

ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගැනීමෙන් පසු කොට්‌ඨාස සංඛ්‍යාව නිර්ණය කිරීම සඳහා වූ යෝජනා 05 ක්‌ විමර්ශනයට ලක්‌ කර ඇත.

(1) වත්මන් සභික සංඛාවට සමාන සභික සංඛ්‍යාවක්‌ (30% සමානුපාතික නියෝජනය සමග) (4486)

(2) වත්මන් සභික සංඛාව මෙන් දෙගුණයක සංඛ්‍යාවක්‌ (8972)

(3) වත්මන් සභික සංඛ්‍යාවට හා සමාන කොට්‌ඨාස සභික සංඛ්‍යාවක්‌ සහ 30% සමානුපාතික නියෝජනය (5832)

(4) 1981 අහෝසි කළ ගම් සභා ප්‍රමුඛ පළාත් පාලන ආයතනවල සිටි සංඛ්‍යාවට සමාන සභික සංඛ්‍යාවක්‌ (8800)

(5) කොට්‌ඨාස සභික සංඛ්‍යාව දශක 03 ක පමණ ජනගහන වර්ධනයද සලකා බලා අතරමැදි ප්‍රමාණයකට එනම් 4486 ක ප්‍රමාණය 5000 ක ආසන්න අගයකට ගෙන ඒම සහ 30% සමානුපාතික නියෝජනය (6500)

ඉහත යෝජනා එකිනෙක ගෙන විග්‍රහ කිරීමේදී ඉදිරිපත් වූ දත්ත තොරතුරු හා සක්‍යතා වාර්තා පදනම් කරගෙන 03 වැනි හා 05 වැනි යෝජනා විශේෂයෙන් සලකා බැලීමට කමිටුව තීරණය කරන ලදී.

පළමු යෝජනාව මූල්‍යම අතින් යෝග්‍ය වුවද ක්‍රියාත්මක කිරීමේදී උග්‍ර දේශපාලන අර්බුදයක්‌ පැනනගිනු ඇත. එනම් එවකට සක්‍රියව සිටි සභික සංඛ්‍යාවටවත් සරිලන කොට්‌ඨාස ප්‍රමාණයක්‌ නිර්මාණය නොවුණහොත් එම නියෝජිතයන්ගේ දැඩි විරෝධතාවකට එය හේතුවනු ඇත. සභා විසුරුවා හැර තිබෙන අවස්‌ථාවකදී මිස මෙබඳු යෝජනාවක්‌ ක්‍රියාත්මක කිරීම අර්බුධකාරී තත්ත්වයකට තුඩුදේ. එමෙන්ම දශක 03 කට පෙර ඇති කළ සභික සංඛ්‍යාව වර්තමාන අවශ්‍යතා හා සංවර්ධන ක්‍රියාවලින් සමඟ ගැලපීමේදී ප්‍රමාණවත් නොවන බව නිරීක්‌ෂණය වේ.

දෙවැනි යෝජනාව කිසිසේත් ඵලදායී නොවේ. හතරවැනි යෝජනාවද එබඳුම තත්ත්වයක්‌ දරයි. සභා රැස්‌වීම් පැවැත්වීම කාර්යාල පහසුකම් ආදී අවශ්‍යතාවන් සපුරාලීමේදී අධික වැය බරක්‌ දැරීමටත් විවිධ පරිපාලනමය දුෂ්කරතාවයන්ට මුහුණ දීමටත් සිදුවනු ඇත. එමෙන්ම මෙම යෝජනා දෙක අනුව සභික සංඛ්‍යාව අටදහස ඉක්‌මවා යයි.

අනතුරුව තුන්වැනි හා පස්‌වැනි යෝජනා ගැන දැඩි ලෙස අවධානය යොමුකරමින් තුලනාත්මකව බලා පස්‌වැනි යෝජනාව අනුව සභික සංඛ්‍යාව නිශ්චය කරනු ලැබිණ. තුන්වැනි යෝජනාව අනුව සභික සංඛ්‍යාව කොට්‌ඨාස 4486 ක්‌ හා 30% සමානුපාතික නියෝජනය සමඟ ගත්විට 5832 වේ. ප්‍රමාණාත්මකව එය සතුටුදායක සංඛ්‍යාවකි. එහෙත් පස්‌වැනි යෝජනාව පරිදි පවත්නා සභික සංඛ්‍යාව වසර 30 කට පමණ නිගමන කර තිබූ සංඛ්‍යාවක්‌ බැවින්ද පසුකාලීන ජන ගහන වර්ධනයද ප්‍රාදේශීය සංවර්ධනය හා සංවර්ධන ඒකකයක්‌ ලෙස කොට්‌ඨාසය ඵලදායී ලෙස වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවද සැලකිල්ලට ගනිමින් කොට්‌ඨාස සභික සංඛ්‍යාව 5000 වූ ආසන්න අගයකට ගැනීමට තීරණය කරන ලදී. මෙය අනිකුත් සියලු යෝජනා අතර වූ අතරමැදි තත්ත්වයකි. මේ සම්බන්ධයෙන් දිස්‌ත්‍රික්‌ කමිටුවලද අවධානය යොමු කරනු ලැබූ අතර යම් දිස්‌ත්‍රික්‌ක වල ජනගහන වර්ධනයේ ප්‍රතිශතයට අනුව කොට්‌ඨාස කිහිපයක්‌ වැඩි කිරීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා සමස්‌ත කොට්‌ඨාස සභික සංඛ්‍යාව 5140 දක්‌වා වූ උපරිමයකට යටත්ව ක්‍රියා කිරීමට අවකාශ සලසන ලදී. මෙම තීරණය ගන්නා ලද්දේ මහජන නියෝජිතයන්ගේ හා දිස්‌ත්‍රික්‌ කමිටුවල අදහස්‌ සැලකිල්ලට ගනිමිනි. එසේ නොමැතිව අනවබෝධයකින් හෝ කරුණු විමර්ශනයකට ලක්‌කිරීමකින් තොරව හෝ නොවේ.

මෙම නිර්දේශ පූර්ව රජයේ අමාත්‍යවරයා විසින් පමණක්‌ නොව 2015 බලයට පත්වූ අතරමැදි ආණ්‌ඩුවේ පළාත් පාලන විෂය භාර අමත්‍යවරයා විසින්ද සමාලෝචනය කිරීමෙන් අනතුරුවද අවසන් වාර්තාව වශයෙන් පිළිගෙන 2015 අගෝස්‌තු 21 වැනි දින ජනාධිපතිවරයා විසින් ගැසට්‌ මගින් ප්‍රකාශයට පත්කරනු ලැබිණ. එසේ වුවද වර්තමාන සභාග රජය බලයට පත්වීමෙන් පසුව එහි දෝෂ දකිමින් නැවත සමාලෝචන කමිටුවක්‌ පත්කිරීම තේරුම් ගත නොහැකි අපභ්‍රංශයක්‌ සේ පෙනේ. සියලු අවුල් පැන නැඟුණේ එම ක්‍රියාමාර්ගය හේතුවෙනි. අවසන් වශයෙන් කාන්තා නියෝජනයක්‌ පෙරට ගෙන නැවත ඡන්ද විමසීම් පනතට ගෙනා සංශෝධනයන් මගින් සිදුවී ඇත්තේ පසුගියදා දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට එක්‌වූ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් පෙන්වා දී ඇති පරිදි සියලු සභාවල පාලන අධිකාරිය අවිනිශ්චිත තත්ත්වයකට පත්වීමකි. අනාගතයේදී පළාත් පාලන අමාත්‍යවරයාට හා රජයට සිදුවනු ඇත්තේ පාළාත් පාලන ආයතනවල පාලන අධිකාරිය පවත්වාගෙන යැමේදී ඇතිවන අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීමටය. බහුතර බලය අවිනිශ්චිතව සභාවේ තත්ත්වය අවුල වන විට කොට්‌ඨාසවල සංවර්ධන කටයුතු හා මහජන අපේක්‌ෂාවන්ද බිඳ වැටේ. කොට්‌ඨාස නියෝජනය හා කාන්තා නියෝජනය නොව මොනයම් ආකාරයක නියෝජනයක්‌ තිබුණත් ජනතාවට ඉන් වැඩක්‌ නොවේනම් එම ආයතනයෙන් ඵලක්‌ නොවේ.

වර්තමාන සභාග රජය ඇතැම්විට අපේකෂා කරන්නට ඇත්තේ මධ්‍ය ආණුඩවේ මෙන් පළාත් පාලන හා පළාත් සභාවලද හවුල් ආණ්‌ඩු සංකල්පය මත ඉදිරියට ක්‍රියාකිරීම විය හැකිය. එහෙත් දැනට පෙනී යන පරිදි එය අවුල් සංකල්පයක්‌ වී ඇත. සභිකයන්ගේ ලන්සුව වැඩිවීම ඔවුන්ට වාසිදායක වුවත් ජනතාවට ලැබෙන්නේ පසුතැවීම පමණි. මේ තත්ත්වයන් යටතේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක අභිභවා තුන්වැනි බලවේගයක්‌ ඉස්‌මතු විය හැකි යෑයි. මෙම ක්‍රමයට උපදෙස්‌ සැපයූ වන්දිභට්‌ටයන් කිසිවිටෙකත් නොසිතුවා විය හැකිය. එසේ නොමැතිවී බලය පක්‌ෂ තුන හතරකට බෙදී ගියහොත් සිදුවන්නේ සභාව පවත්වාගෙන යාමට නොහැකි වීමය. සභිකයන් කෙසේ හෝ වරදාන වරප්‍රසාද ලබාදී බිලිබා ගැනීම සිදුවන්නේ එවිටය. එසේ හෙයින් පක්‌ෂ මාරු වැලැක්‌වා ගැනිම සඳහා ද කිසියම් දැඩි ක්‍රමවේදයක්‌ නිර්මාණය කර ගැනීමට පක්‌ෂ විසින් හෝ යම් උපක්‍රමයක්‌ යොදා ගැනීමට අවධානය යොමු කළ යුතුව ඇත.

ජයලත් දිසානායක
පළාත් පාලන ආයතන සීමා නිර්ණ
ජාතික කමිටුවේ හිටපු සභාපති

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්තියකට අනුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට තීරණයක් ගෙන ඇත.

ඒ අනුව 2020 වසර වන විට ඇස්බැස්ටෝස් සෙවිලු තහඩු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම රජයෙ දැක්මයි. ඒ සදහා රජය හා ජනපති ගොඩ නගා ඇති තර්කය ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ස්වසන පිළිකා කාරකයකි යන්න වේ.

2020 ශ්‍රී ලංකා රජයේ දැක්මට රුසියානු පිළිතුරු 2017 අවසාන වීමටත් පෙර ලබා ගැනීමට හැකිවීම යහපාලනයේ තවත් ජයග්‍රහණයකි.ඇස්බැස්ටෝස් ප්‍රධාණ වශයෙන්ම ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ රුසියාවෙනි. කිසිසේත්ම පිළිගත නොහැකි හේතුවක් මත ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම ගැන ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවෝ විසින් ශ්‍රී ලංකා රජයට කොළඹදී සිය අප්‍රසාදය පල කොට තිබුණි.

ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට ප්‍රධාන වශයෙන්ම සහය ලබා දෙන්නෙ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු වැඩිපුරම පරිහරණය කරන ඇමෙරිකාවයි.ජීනීවා මානව හිමිකම් හා යුධ අපරාද චෝදනා ශ්‍රී ලංකාවට එල්ල කල ඇමෙරිකා එක්සත් ජනපදයේ උවමනාවට, රුසියාවෙන් ආනයනය කරන ඇස්බැස්ටෝස් තහනම් කර, එම චෝදනා වලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කල රුසියානු මිතුරා සමග හොද හිත පලුදු කර ගැනීම කොතරම් අඥාණ ක්‍රීයාවක්දැයි වටහා ගැනීමට තනාපති සේවයේ අත්දැකීම් අවශ්‍ය නැත.

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ මුදුන් මුල වන ලාංකික තේ අපනයනයෙන් 25% වැඩි ප්‍රමාණයක් පසුගිය වසර 10-15ක කාලයක් තුල නොකඩවා මිළදි ගන්නාරුසියානු සමුහාණ්ඩුවේන් ඇස්බැස්ටෝස් සෙවිලි ආනයන ප්‍රතික්ෂේප කිරීම අපගේ ආර්ථිකයට මරු පහරක් වන බව රහසක් විය නොහැක. රුසියාවද එකට එක කිරීමකට සුදානම් නොවුනත් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන රුසියාව ප්‍රතික්ෂේප කිරීම සිදුවියහැකි බවට ඉගියක් අපට මුල් වරට ලබා දුන්නේ 2017 ජූලි මාසයේදීය. සිංහල භාෂාව හොදින් කතා කරන, ලංකාව තම දෙවැනි නිජබිම සේ සලකන රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයකු සිටින අවස්ථාවක අපේගැටළු ගොඩින් බේරාගැනීම පිළිබඳමනා පළපුරුද්දක්අපතානාපති කාර්යාලයට තිබෙන බව විශ්වාස කල යුතුය.එසේවුවදගැටළු පිළිබඳ අප රජයකිසිදු පියවරක් නොගැනීම හේතුවෙන්රුසියානු රජයේරේගු ස්ථාන හතරකම කෘෂි නිෂ්පාදන ආනයනය කිරීමේදී ඉදිරිපත් කල යුතු රුසියානු නිරෝධායන සහතිකය ලබා ගැනීමට අවශ්‍ය පරීක්ෂණාගාරා 4ක් ද පසුගියනොවැම්බර් මාසයේදී වැඩ අවසන් කරන ලදී.

2012 පසුව ශ්‍රී ලංකාවේ තේ රුසියාවටආනයනය කිරීමේදීරුසියානු නිරෝධායන සහතිකය අවශ්‍යනොවී තිබිය දී මෙම පරීක්ෂණාගාරා කුමටද යන්න අපේ නිලධාරීන්ටසිතීමට අවශ්‍ය නොවීය. රුසියානුවන් මේ සියලු දේ සුදානම් කර අපගේ තේ වැඩියෙන්ම විකිනීම සිදූවන කාලයේදී, එනම් දෙසැම්බර් 18 දාසිට මෙම තහංචි ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. මේ සියලුම දේ සිදූවන තෙක් අප තානාපති කාර්යාලය මෙන්ම මාසිකව ලක්ෂ 15 -20 වියදම් කරමින් නඩත්තු කරන මොස්කව් ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවා කිසිවක් නොසළකා හැරී සිම අප කාගේත් වරදකි.රුසියානු රජය එය හදිස්සියේ සිදුකල දෙයක් නොවන බවත්, එයින් ශ්‍රී ලංකාවෙ තේ නිෂ්පාදන මිළට ගැනීමෙන් බිද වැටීමෙන් අපට සිදූවන ආර්ථිකය හානියට පිළිතුරු සෙවීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් නොවෙන බවත් ඊට වගකිවයුතු තානාපති අභ්‍යන්තය දැනගෙන සිටීමද පුදුමයට කරුණක් නොවෙයි. ඒ පිළිබඳ රටේ නායකත්වය දැණුවත් කිරීම හෝ නොකිරීම එම දේශපාලකයින්ගේ හැසිරීම මත නිලධාරීන් තීරණය ගන්නා බවද අද අප හොදින් දන්නා කරුණකි.

2015 වර්ෂයේ යහපාලන රජය බලයට පත් වූ විගසම සමරවීර විදේශ අමාත්‍ය විසින් රුසියානු රජය යුක්රේනියානු කැරලිකරුවන් සඳහා ශ්‍රී ලංකා තානාපති හරහා ආයුධ ලබා දී ඇති බවට චෝදනා කරමින් ජාත්‍යන්තරය වශයෙන් රුසියාවට සිදුකල කෙනෙහිලිකම් වලට එදා රුසියාව පිළිතුරු නොදීමට හේතුව අවශ්‍යපසුබිම සකස් කිරීමයි.එදා ජේ ආර් ජයවර්ධන රජයේ1977 සමච්චලයට නිසි කල පිළිතුරු ලැබූ අයුරින් යහපාලනයට පිළිතුරු ලැබෙන  කාලය දැන්උදාවී ඇත. මෙහිදී නිලධාරීන්ගේ තර්කයන් අධ්‍යනය කිරීමේදී ජීපාර්ඩ් යුද්ධ නෞකාව සදහා රුසියානු රොස්අ බෝරෝන් ආයතනයට දැනටමත් ගෙවිය යුතු 10% අත්තිකාරම් මුදල් වසර අවසානයේ දී පවා නොගෙවීම මෙන්ම රුසියානු දුරස්ථව රහස් ඔත්තු නිලධාරීන් ඇමරිකාවට හොර රහසේම භාරදීමට ලංකා රජය සුදානම් කිරීමවැනි ගැටළුද දෙරටේ මිත්‍රත්වය සුළු වශයෙන් හෝ පලුදුකර ඇත. තවදුරටත් ඒ පිළිබඳ රුසියානු විරෝධී බටහිර උපදෙස් වලටමුල්තැන දීමේන්ද අප සිදුකරන්නේද රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන්හි කැළැල්ඇති කරමින්රුසියානු රජය අවතක්සේරු කිරීමකි. එය පුටින් මතධාරී රුසියානුවන්ට අප සිදුකරන ලොකුම නිගරුවකි.

රුසියානු රේගුවේ පළමු බිල්ල ලෙස තුර්කි රජයේ ලියාපදිංචි තේ ආයතනයට ලංකාවේ සිට ලැබුණුතේ කන්ටේනරයක් තෝරාගැනීම පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. එහිදී අපට සිදුවන ලොකුම අසාධාරණයනම් මෙම කුරුමිණියන් සොයාගෙන ඇත්තේ ලාංකික තේවල නොව එම කන්ටේනරය තුල තේ වලට අමතරව රැගෙන යමින් තිබුණු තේ ඇසුරුම් කිරීමට අවශ්‍ය ලිඛිත සහතික නොමැති කාඩ්බෝඩ් අමුද්‍රව්‍ය තුල වීමයි. මේවා මෙසේ සිදුවීමට තවත්‍ පුංචි පුංචි හේතු තියෙනවා. මොකද,එදා තුර්කිය රජය සිරියානු දේශසීමා වලදී රුසියානු ප්‍රහාරක් ගුවන් යානාවට පහරදීමෙන් පසු රුසියාව තුර්කියට නොයෙක් තහංචි දමන ලදී. පසුව තුර්කි ජනාධිපති රුසියාවට පැමිණ පුටින් ජනාධිපති හමුවිය ගැටළුනිරාකරණය කර ගත්තේය. නමුත්‍ එම කාලයේදීම අප යුක්රේනියාවේ තානාපති ක්‍රියාකාරීත්වය රුසියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයෙන් ඉවත්කර තුර්කි රාජ්‍යයේ අප තානාපති කාර්යාලයට භාරදීමත් අපි දැණුවත්ව මෑත කාලයේදී රුසියාවට සිදුකල තවත් පුංචි සමච්චලයකි. ඒ කෙසේ වෙතත් දැනටමත් රුසියාවේ සාන්තපීතර නගරයේ රුසියානු රේගුව භාරයේ අඩි 40යේ තේ කන්ටේනර් 83 තිබෙන අතර ඒවා රේගුව විසින් ලබන සතියේදී නිදහස් කිරීමට පරීක්ෂණ ගාස්තුවට පමණක් එක් කන්ටේනරයකින් රුපියල් ලක්ෂ 5ක් පමණ පාඩුවක් සිදුවන්නේය. නමුත් මෙතෙක් ඒවා නිදහස් කිරීමට කිසිදු අවසරයක්ලබා දී නොමැති අතර අප තානාපති කාර්යාලය විසින් ඒවා නිදහස් කිරීමට කිසිදු ඉල්ලීමක් හෝ අධාල රේගුව වෙත සිදුකර නොමැත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තේ වල කුරුමිණියන් පණුවන් සිටින බවට රුසියානු මාධ්‍ය අංශ වලින් සිදුකරන පුවත්පත් හා රුපවාහිනී ප්‍රචාරය කටයුතු නිසා තේ පානය කරන රුසියානුවන් අතර ලාංකික තේ අප්‍රසන්න වීමේදී අපට සිදූවන දීර්ඝකාලීන වාණිජමය පාඩුව තක්සේරැ කල නොහැකිය. එවැනිඅවස්ථාවකවාණිජමය වශයෙන් සිදූවන අපකීර්තියට තුඩුදෙන ප්‍රචාරයන් නැවැත්වීමට වහාම කටයුතු කිරීම හෝ ඒවා තමන්ට අදාළ නොවන බව පවසමින් මගහැර සිටීම තානාපති නිලධාරීන්ගේ දක්ෂ හෝඅදක්ෂතාවයි. දැනට වසර 3කට කලින් ලාංකික තේ සදහා රුසියානු තේ වෙළදපොලෙන් 33% වැඩි කොටසක් හිමි වූ නමුත් දැනටමත් එය  23% දක්වා පහත වැටී ඇති නමුත් සමස්ථ වශයෙන්ම රුසියාවට තේ අපනයන කිරීමේන් වාර්ෂිකව අපට ලැබෙන ඩොලර් මිලියන 500 කට වැඩි ආදායම අපට සුළුපටු නොවෙයි. මෙහිදී අප රජයට පෙන්වා දිය යුත්තේ 2013 වර්ෂයේ දී රුසියාව ඉන්දියාව සමග ඇති වූ දේශපාලන මත ගැටීමක ප්‍රතිපලයක් ලෙස ඉන්දියානු සහල් අපනයනය සඳහා පැනවූ තහනම ඉවත් කිරීමට ඉන්දියානුවන්ට මාස 6කට වැඩි කාලයක් ගත වු බවයි.

එපමණක් නොව යම් ලෙසින් ප්‍රමිතීයෙන් බාල සහල් රුසියාවට අපනයන කිරීමේදී සිදුවිය හැකි හැකි පාඩුව ඉන්දිය රජය දරන බවට වගකීම් සහතිකයක් ලෙස ඩොලර් මිලියන 50ක වටිනාකම ඇතිද්විපාර්ශ්වික ගිවිසුමකට පවා අත්සන් කිරීමට දසිදුවීමය.

රුසියාවේ ලාංකිකතේ ආනයනයට පනවා ඇති තහනම ඉක්මනින් විසදීම යෝග්‍ය බව අපට වැටහෙන්නේ රුසියානු-සිරියානු මිත්‍රත්වයේ ප්‍රතිපත්තියක් ලෙස,සිරියාව ද මෙම තීරණය අනුගමනය කිරීමටඇති අවධානය අධ්‍යනයකල යුතුය.අපගේ තේ අපනයනයෙන් 10% වැඩිප්‍රමාණයක් මිලදීගන්නේ සිරියාව බව එදාට අධාල බලධාරීන් හට මතක්කර දීමටත් සිදුවෙනවා ඇත.

රුසියාවේ සිටින අපට මෛත්‍රීපාලගේ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු තහනම අද එක් ගැටළුවකි. එහි එක් අතුරු ඵලයක් වූයේ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද තේ ඇතුළු සියලුම කෘෂි නිෂ්පාදන ආනයනය දෙසැම්බර් 18දා සිට තාවකාලිකව සීමා කිරීමට රුසියානු රේගුව විසින්පියවර ගෙන ඇති බව නිවේදනය කිරීමයි.

රුසියානු සමුහාණ්ඩුවට ඇතුළුව කසාක්ස්තානය, බෙලොරුසියාව,කිර්ගිස්තානය, ටජිකිස්තානය යන රටවල් හතරේම තේ ආනයනය නතර කිරීමේ තීරණය ක්‍රියාත්මක වීම අනිවාර්යයි.එයට පිළිතුරු සෙවීමට නම් පළමුව යහපාලන රජයරුසියානු මිතුරාට සිදුකල අසාධාරණයන් නිවැරදි කල යුතුය.අදත්  එසේ නොකර සුපුරුදු පරිදි මාධ්‍ය නිවේදන නිකුත් කරමින් යහපාලන වැවිලි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරුන් ඇතුළු පිරිස,ටෙකේව් ඇලෙක්සැන්ඩර් නිකොලයිවිච් රුසියානු කෘෂිකර්මාන්ත අමාත්‍යවරයාගේ ආරාධනාවක් හෝ නොමැතිව ඔහු සමග සාකච්ඡා කිරීමට සදහා මොස්කව් නගරයට සංචාරය කිරීමට නියමිතව ඇත්තේ රුසියානු නත්තල් හා නව අවුරුදු නිවාඩු කාලයේදීය.

මෙම කාලයේදී මොස්කව් නගරයට පැමිණ ලාංකිකයන්ගේ තේ ගැටළු විසදීම කෙසේ වෙතත් රුසියානු වොට්කා වීදුරුවක් බීමටද රුසියානු ලලනාවන් දැක බලාගැනීමටද මහගු අවස්ථාවක් උදාවනු ඇත.ඊට අමතරව අපගේ තේ කර්මාන්තයට නව වසරේ නිකං ලැබෙන ඇස්බැස්ටෝස් “තේ”කුරුමිණියා ඉතිහාසගත තෑග්ගක් වනවා නොඅනුමානය.

උදයාංග වීරතුංග – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති

පින්තූර:රුසියානු කෘෂිකර්මාන්ත අමාත්‍ය හා එදා වැවිලි කර්මාන්ත අමාත්‍ය

හමුව – ඔක්තෝබර්2014

කොළඹ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ භාර දුන් නාම යෝජනා පත්‍ර හයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ගණනාවක් රජයේ සම කැබිනට් ප්‍රකෂකවරුන්ගෙන් ප්‍රශ්න කර සිටියා.

එම මාධ්‍ය හමුවෙන් පසුව සම කැබිනට් ප්‍රකාශකවරුන් වන දොස්තර රාජිත සේනාරත්න,ගයන්ත කරුණාතිලක සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් එම කාරණය සම්බන්ධයෙන් පෞද්ගලිකව සාකච්ඡා කළ අයුරු.දොස්තර රාජිත සේනාරත්න මේ විස්තර කරන්නේ ආණ්ඩුව පොහොට්ටුවට දුන්න වැඩක් ගැන ද ?

ලංකාවේ සිටින බහුතරයක් පල් මෝඩයන්ය. තමන්ගේ දරුවන්ට එදා වේල කන්න දී ගත නොහැකිව තැවෙමින් සිටින්නේ ඒ මෝඩ කම නිසාය. එසේත් නැතිනම් ලැඛෙන සොච්චම් පඩියට මුළු ජීවිතයම කඹුරන්නේ ඒ මෝඩකම නිසාය. රස්සා පෝලිම් වල සිටින්නේත්, රස්සා නැතිව උද්ඝෝෂණය කරන්නේත් තවත් එවැනිම මෝඩයන් පිරිසකි. දැන් ඒ මෝඩ වැඩ අත්හැරීමට කාලය පැමිණ තිබේ. රුපියල් දහසය දහස් අටසීයකින් ලෝකයේ සිටින ඉහළම කෝටිපතියන් අතරට යාමට දැන් ඕනෑම කෙනෙකුට අවස්ථාව හිමි වී තිබේ. ඒ සඳහා කළ යුත්තේ ඉතාම සුළු දෙයකි. සයිපොගෙට් ඊසි යනුවෙන් හැඳින්වෙන වෙබ් අඩවියේ හෝ එම නමින්ම ඇති ෆේස්බුක් පිටුවේ ඇති දුරකථන අංකයකට ඇමතුමක් දීමෙන් ඔබට මේ හා සම්බන්ධ විය හැකිය. එහි නියෝජිතයන් දිවයිනේ සෑම ප්‍රදේශයකම විසිරී සිටින බව එම අංක වලට ඇමතුම් ලබා දීමෙන් ඔබටම තේරුම් ගත හැකිය. එම ඇමතුම ලබා දීමෙන් පසු ජීවිතයේ කවදාවත් නොවූ පරිදි සිහින ලෝකයකට ඔවුන් ඔබව රැගෙන යනු ඇත.

ඕනෑම කෙනෙකු තම අනාගතය පිළිබඳ සිහින දැකීමේ වරදක් නැත. අප අපගේ අනාගතය යනුවෙන් සුබ සිහින දැකිය යුතු බවත්, ඒ සිහින සැබෑ කර ගැනීමට නම්, ඒවා බරපතළ ලෙස විශ්වාස කළ යුතු බවත්, ඒ වෙනුවෙන් කැප විය යුතු බවත් පිසාරේ වරෙක ලියා තිබිණි. ඔහු එසේ ලීවේ අනාගතය පිළිබඳව සුබවාදීව බැලීමෙන් සුබවාදී අනාගතය යථාර්ථයක් බවට පත් කර ගැනීමට දැඩි උත්සාහයක යෙදීම මගින් හැකි වන බව කීමටය. එහෙත් සිහින යථාර්ථයක් බවට පත් කර ගැනීමට නම්, අප දැකිය යුත්තේ සුබ සිහින විනා බොල් සිහින නොවේ.

හිසේ ගාන ‘ෂැම්පු’ පැකැට්ටුවේ පටන් දිනපතා දිනුම් අදින ලොතරැයි දක්වා සියල්ලකම වාසනාව සොයනවා ඇරෙන්නට අන් කිසිදු බලාපොරොත්තුවක් ඉතිරි කර නොමැති සමාජ යථාර්ථයක් තුළ මෙරට ජනතාවට සිදු වී ඇත්තේ, කිසිදා යථාර්ථයක් කර ගත නොහැකි ජීවිතයක් පිළිබඳ සිහින දකින්නට පමණි. එවන් සමාජයක් තුළ ජනතාවට බොල් සිහින පෙන්වමින්, කනකර ද උකස් කර එම බොල් සිහින වෙනුවෙන් අතේ ඇති පිච්චිය දක්වා වියදම් කරන්නට ජනතාව පොළඹවන ජාවාරමක් නැවතත් සමාජගත වෙමින් පවතින්නේ සයිපොගෙට් ඊසි යන නමිනි.

හෝටල් පැකේජ විකුණන බව කියමින්, ඔවුන් මේ වන විට සිදු කරමින් සිටින්නේ කුමක්ද? ඔවුන් පවසන්නේ ඔවුන් විසින් ජාලගත අලෙවිකරණ ක්‍රියාවලියක යෙදෙන බවයි. මේ අනුව මෙම ආයතනයට සාමාජිකයන් බඳවා ගනු ලැබේ. ඒ සඳහා පළමුවෙන්ම රුපියල් දහසය දහස් පන්සීයක් ගෙවා සහතිකපතක් මිල දී ගත යුතු වේ. තවත් එවැන්නන් දහ හතර දෙනෙකු වෙත එවැනි හෝටල් පැකේජ අලෙවි කළ විට පහළොස් වෙනියාට අදාළ හෝටල් පැකේජය ලබා ගත හැකි වේ. එසේ ලබා ගන්නා පුද්ගලයාට සහතිකයේ සඳහන් හෝටල් පැකේජය සහ රුපියල් තිස් පන් දහසක මුදලක් හිමි වේ. එහෙත් ජාවාරම මෙහෙයවන්නන්ට පහළොස් දෙනෙකුගෙන් සමන්විත එක් පිරමිඩයක් සම්පූර්ණ වූ විට ලැඛෙන රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලකින් ආපසු ලබා දෙන්නේ රුපියල් පනස් දහසක් පමණ බව ජාවාරමේ ඉත්තන් බවට පත් වූ කිසිවෙකුට පෙනෙන්නේ නැත.

ඒ නිසා තමාගෙන් වැය වූ මුදල උපයා ගැනීම සඳහා බොරු සුරංගනා ලෝක මවා පාමින්, තමන්ගේ හොඳම යහළුවා පමණක් නොව තමන්ගේ නෑදෑයන්, දෙමව්පියන් පවා මෙම පිරමිඩයේ පුරුක් බවට පත් කරවීමට එය මිල දී ගත් තැනැත්තා උත්සුක වෙයි.

මෙම ආයතනය විසින් මුලින්ම සිදු කරනු ලබන්නේ ඉහත කී අයුරින් සිහින ලෝකයක් මවා පාමින්, තමන්ගේ උගුලට හසු කර ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු කර වැඩමුළු හා දේශන පැවැත්වීමයි. මොවුන්ගේ මූලිකම වෙළෙඳ උපක්‍රමය වී ඇත්තේ මොළ සේදීම හෙවත් බ්රේන් වොෂ් කිරීමයි. මේ සඳහා විවිධ ආකාරයේ වැඩමුළු පවත්වනු ලබන අතර, ඒ සඳහා විශාල මුදලක්ද වැය කරනු ලැබේ. එක් දින වැඩමුළු මෙන්ම දින කිහිපයක වැඩමුළු ද ඊට ඇතුළත් වන අතර, එයින් එළියට එනු ලබන්නේ මුදල් ඉපයීම වෙනුවෙන් එනම්, පිරමිඩයේ නව පුරුක් සම්පූර්ණ කිරීම සඳහා ඕනෑම පහත් ක්‍රියාවක් කිරීමට පෙළඹෙන පුද්ගලයෙකි.

බොරු කීම සහ සුරංගනා ලෝක මවා පෙන්වීම සයිපොගෙට් ඊසි වැඩමුළුවලට සහභාගී වූ අයගේ ප්‍රධානම ලක්ෂණයක් වන අතර, ළඟම හිතවතුන්ට මෙන්ම නෑදෑයන්ට ද විවිධ බොරු කතා කියමින්, සුරංගනා ලෝකවල අතරමං කරන්නේ මුදල් ඉපයිය හැකි හොඳම සහ පහසුම ක්‍රමය මෙය බව කියමිනි.

මොවුන් විසින් මේ සුරංගනා ලෝක මැවීම සඳහා වැඩමුළු තුළ දී යොදා ගනු ලබන තවත් උපක්‍රමයක් වන්නේ මීට පෙර ආයතනය හා සම්බන්ධ වූ අනුගාමිකයන් කිහිප දෙනෙකු ලවා අදහස් ප්‍රකාශ කරවීමයි. තමන් මෙම ආයතනය හා සම්බන්ධ වන විට පා පැදියක්වත් නොතිබුණු බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක දී තමන් ෆෙරාරි මෝටර් රථයක් මිල දී ගත් බවත් එක් අයෙකු පවසයි. මීට පෙර ටකරං සෙවිලි කළ නිවසක ජීවත් වූ තමන් දැන් ජීවත් වන්නේ ලක්ෂ 180ක නිවෙසක බවත්, දැන් තමන්ගේ ආදායම මසකට රුපියල් ලක්ෂ දහයක් බවත් කියන තවත් අයෙකු තම බිරිඳට දරුවා ලැබීමට නවලෝක රෝහලට ඇතුළත් කළ බවත්, ඒ සඳහා වියදම් වූ ලක්ෂ හතරක මුදල තමාට දැනුණේවත් නැති බවත් කියමින් පුරසාරම් දොඩවයි.
රට පුරා මෙම ජාවාරම ගෙන යන්නන් අතර පෙරමුණේ සිටින්නන් ලෙස පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විට අනාවරණය වී තිබේ. ඉන් එක් අයෙකු වන්නේ අනිල් බණ්ඩාරය. ඔහු මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙවැන්නා සුදේශ් ඩිල්ෂාන්ය. මොහු උපන්ගෙයිම පිරමිඩ්කාරයෙකි. පදිංචිය කුරුණෑගල යන්තම්පලාවයි. සයිපොගෙට් ඊසි නමින් වෙබ් අඩවිය පවත්වාගෙන යන්නන් අතරින් මූලිකයන් මොවුන්ය. එම වෙබ් අඩවිය සඳහා යොදාගෙන ඇති සමාගම් වල නිල ලාංඡන ව්‍යාජ ඒවාය. ඒ අතරන් ගෙට් ඊසි නම් සමාගමේ නිල ලාංඡනය ද වෙයි. යොදාගෙන ඇති ලිපිනයන් ද ව්‍යාජ ලිපිනයන් වන අතර විදේශීය නියෝජිතයන් ලෙස කුලියට ගත් විදේශිකයන් ඉදිරිපත් කරන බවටද මේ වන විට තොරතුරු හෙළි වී තිබේ.

කෙසේ වුවද මොවුන් පවසන ආකාරය අදාළ හෝටල් පැකේජය ලබා ගැනීමටනම් පිරමීඩයේ හතර වන මට්ටම දක්වා යා යුතු වේ. ඒ අනුව පිරමිඩයේ 10 වන මට්ටමට ළඟා වීමට නම් තමන්ට යටින් පිරමිඩයේ සාමාජිකයන් 1032ක් අවශ්‍ය වන අතර, 20 වැනි අදියර වන විට එය 1048576ක් වෙයි. 25 වැනි අදියරේ දී 3,35,54,432 ක් සාමාජිකයන් අවශ්‍ය වන අතර, එය ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය ද ඉක්ම වූ අගයකි. ඒ අනුව සියල්ල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුවද පිරමිඩයේ 24 වැනි අදියරේ සිටින සාමාජිකයන් 1,67,77.216කට තමන් වියදම් කළ රුපියල් 16,500.00ක මුදල හෝ සොයා ගැනීමට නොහැකි වන අතර, පිරමීඩය ද එතනින් නතර වේ. එසේම මෙහි 30 වැනි අදියර සඳහා සාමාජිකයන් බිලියන 5.36ක් අවශ්‍ය වන අතර, 31 වැනි අදියර සඳහා එය බිලියන 10.72කි. ලෝක ජනගහනය ද ආසන්න වශයෙන් බිලියන 10.4කි. ඒ අනුව පිරමිඩයේ 31 වැනි පියවරේ දී එය ලෝක ජනගහනය ද ඉක්මවා යයි.

සයිපොගෙට් ඊසි ජාවාරම ආරම්භ කර මේ වන විට වසර කිහිපයක් ගත වී ඇතැයි කියනු ලැබේ. ඔවුන් හා සම්බන්ධ වන සෑම නව සාමාජිකයකුම මාසයකට අලෙවිකරණයන් දෙකක් අවම වශයෙන් සිදු කළේ නම්, මාස 24ක් ඇතුළත එනම්, වසර දෙකක් ඇතුළත ලංකාවේ සමස්ත ජනගහනයටම ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර අවසන් වේ. එහෙත්, එය එසේ සිදු වී නොමැත. ඒ අනුව ඔවුන් පවසන සිහිනවල පරිද්දෙන් නව සාමාජිකයන් එක් වීමද සිදු නොවේ.

කෙසේ වුවද, මොවුන්ගේ මේ සිහින ලෝකයන් බැලීමේ උගුලට හසු වූවන්ද ඇති තරම් සොයා ගත හැකිය. ඔවුන් විසින් ජනතාව ගොනාට අන්දවා ලබා ගත් මුදල්වලින් යම් යම් සමාජ සත්කාර වැඩසටහන් සංවිධානය කරනු ලබන්නේ කප්රුක් පූජාවන් වැනි ආගමික වැඩසටහන් වලට මුවා වෙමිනි.
සමාගම් මැඳුරේ පීවී 121128 අංකය යටතේ මෙම ආයතනය ලියාපදිංචි කර ඇති අතර, මොවුන් නීතියෙන් රිංගා යාමට එම ලියාපදිංචිය උපයෝගී කර ගනී. එම ලියාපදිංචිය ලබා දී ඇත්තේ, ව්‍යාපාර කිරීමට මිස පිරමිිඩ ආකාර මුදල් ජාවාරම් කිරීමට නොවේ. සාමාජිකත්වය ගැනීම සඳහා මුදල් අය කිරීම් පමණක් සිදු කිරීම පිරමීඩ ජාවාරම බවට හඳුන්වන නිසා සුළු වටිනාකමක් ඇති භාණ්ඩයක් නාමමාත්‍රිකව ලබා දී එය අභ්‍යන්තරයේ පිරමීඩය ක්‍රියාත්මක වන නිසා කිිසිවෙකුටත් මෙය බැලු බැල්මට එවැන්නක් බව පෙනෙන්නේ නැත.

මුදල් යනු වර්තමාන ලෝකයේ වැදගත්ම සාධකයකි. සියල්ලටම මිලක් නියම වී ඇත. එහෙත්, අද රටේ සිටින්නේ ඉතා අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගැනීමට උත්සාහ දරන බහුතරයකි. ඔවුන් සියල්ලන්ටම ජීවිතයේ අහිංසක සිහින

රැසක් ඇත. එහෙත්, ඒවා සිිහින බවට පමණක්ම පත්ව තිබෙන්නේ පවතින සමාජ ආර්ථීක යථාර්ථය නිසාය. ඉතිහාසයේ දඩුවම් මුදලාලිලා ඇතුළු දහසකුත් එකක් ජාවාරම්කරුවන්ගේ උගුල්වලට හසු වූයේ ඒ අහිංසක ජනතාවගේ අහිංසක සිහිනයන්ය.

වර්තමානය වන විට ලංකාව තුළ පිරමීඩාකාර මුදල් ජාවාරම් නතර කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කර ඇත. 1988 අංක 30 දරන බැංකු පනත තුළ මේ සඳහා විධිවිධාන ඇතත්, මහ බැංකුව විසින් පිරමීඩාකාර ජාවාරම්වලට සම්බන්ධ නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් කරමින්, දැන්වීම් පළ කිරීමෙන් ඔබ්බට ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු කරනු මේ වන තෙක් දක්නට නොලැබේ. මෙය අතිශය ඛේදජනක තත්ත්වයකි. මෙම තත්ත්වය හමුවේ මෙවැනි ජාවාරම්කරුවන් බඩපිනුම් ගසමින්, ජනතාව තව තවත් ගොනාට ඇන්දවීමට උත්සුක වෙති. තමන් බලයට පත්ව ජනතාවගේ සිහින බොල් සිහින බවට පත් කරන මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නැගීම යහපාලනය ස්ථාපිත කර නීතියේ ආධිපත්‍යය පිහිටුවන්නට ආ වර්තමාන යහපාලන ආණ්ඩුවේ වගකීමක් නොවේද?

චතුර දිසානායක

ස්ථානය වවුනියාවේ යුද හමුදා 1 වැනි සන්නද්ධ බුද්ධි බළකා මූලස්ථානයේ ප්‍රධාන ‍ෙදාරටුවය. දිනය පසුගිය බ්‍රහස්පතින්දා (7) ය. පෙරවරුව ගෙවෙමින්ය. ‍ෙදාරටුව අසල නතර කළ රථයක සිටිනා විදේශිකයන් ඇතුළු පිරිසක් කඳවුර තුළට ඇතුළුවීමේ නොඉවසිල්ලෙනි. වඩාත්ම නොසන්සුන්ව සිටින්නී ශ්‍රී ලාංකික නීතිඥවරියකි. පිරිස පැමිණ ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයක් සහිතවය.

මේ සිවිල් කණ්ඩායම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේ නියෝජිත කණ්ඩායමක් බව කියැවිණි. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ අප බලාපොරොත්තු නොවන ආකාරයක ප්‍රවේශයකි. ඔවුන්ගේ ඉලක්කය රටේ ආරක්ෂක මර්මස්ථානයක් ලෙස රක්ෂා කළ යුතු සන්නද්ධ බුද්ධි බළකා කඳවුර පරීක්ෂාවට ලක් කිරීමය. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව එක්වර කඩාපාත් වූ මේ විදේශිකයන් සහිත කණ්ඩායම කඳවුර තුළට ඇතුළු කරගන්නට කඳවුර භාර නිලධාරීන්ට සිදුවන්නේය. සන්නද්ධ බුද්ධි බළකා කඳවුර වෙත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කණ්ඩායමක් මේ ආකාරයෙන් කඩා වැදුණු දෙවන අවස්ථාව මෙයය. මීට වසරකට පමණ එපිටදීත් මෙම මානව හිමිකම් කණ්ඩායමට මේ කඳවුර මේ ආකාරයෙන්ම පරීක්ෂණයට ලක්කිරීමට ඉඩ දෙන්නට ආණ්ඩුව කටයුතු කළේය.

කඳවුරට පිවිසි ඔවුහු කඳවුරේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළහ. මේ පරීක්ෂාවේ අපේක්ෂාව අතුරුදන් වී ඇතැයි කියන පුද්ගලයන් පිරිසක් පිළිබඳ යුද අපරාධයක් යටතට ගැනෙනා තොරතුරු සෙවීමය. මුළු කඳවුරේම සෙබළ මුළු බලා සිටිද්දී කඳවුරේ සිවු කොන පරීක්ෂාවට ලක් කෙරිණි. පරීක්ෂා කළ යුතු යැයි කියනු ලබන කඳවුරේ සෑම රහස්‍ය ස්ථානයක් වෙතම පිවිසීමට මේ කණ්ඩායමට ඉඩ ලබා දෙන්නට කඳවුර භාර නිලධාරීන්ට සිදුවිය. සිදුවූයේ ක්ෂුද්‍ර ගවේෂණයකි. එහෙත් ඉලක්ක කරගෙන පැමිණි කල්පිතයන් තහවුරු කරගැනීම සඳහා වූ එකම සාක්ෂියක්වත් නොතිබිණි. සිවිල් පරිපාලනය ඇත්තේ හමුදාව යටතේ නොවන බවත්, අත්අඩංගුවට ගැනීම් වැනි තොරතුරු අවශ්‍යනම් යා යුත්තේ වවුනියාව පොලිසියට බවත් මේ කණ්ඩායමට වටහා දෙන්නට සන්නද්ධ බුද්ධි නිලධාරීන්ට සිදුවිය.

1 වැනි සන්නද්ධ බුද්ධි බළකාය පිහිටි කඳවුරු පරිශ්‍රයට යාබදව විශේෂ කාර්ය බළකා ක½දවුරත්, යුද හමුදා විශේෂ බළකායේ කඳවුරත් පිහිටා තිබෙන්නේය. අනතුරුව මෙම කණ්ඩායම පිටත්ව ගියේ එම කඳවුරු වෙතය. විශේෂ කාර්ය බළකා කඳවුරත්, යුද හමුදා විශේෂ බළකා කඳවුරත් මේ කණ්ඩායම වෙනුවෙන් විවර කරන්නට යළිත් වරක් හමුදා ප්‍රධානීන්ට සිදුවිය. අතුරුදන් වූ පුද්ගලයන් ගැන විමසමින්, ඔවුන් රඳවා සිටි සිරකුටි පිළිබඳ විමසමින්, තොරතුරු එක්රැස් කිරීමේ ස්ථාන, මතු නොව අවි ආයුධ ගබඩාත් පිරික්සමින් මේ කණ්ඩායම කළ තොවිලය රට සම්බන්ධව යළිත් සිතා බලන්නට අපට බලකරමින් සිටියේය.

ලෝකයේ කිසිම රටක් යුද අපරාධ හෝ වෙනත් ඕනෑම චෝදනාවක් වෙනුවෙන් ආරක්ෂක මර්මස්ථාන බඳු හමුදා ඒකකයන්හි රහස්‍ය ස්ථාන පිටස්තර සංවිධානයක් වෙත විවර කරන්නේ නැත. මේ ආකාරයෙන්ම මේ සංවිධානයේ නියෝජිත පිරිස් අවස්ථා දෙකකදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර පරීක්ෂාවට ලක් කළේය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් සපයා දුන්නේය.

විනිවිදභාවය පිළිබඳව විශ්වසනීයත්වය ආරක්ෂා කෙරෙන්නේ සිය නිරුවත ඉස්තෝප්පුවේ සිට අසල්වැසියන්ට ප්‍රදර්ශනය කිරීමෙන් නොවේ. රටක් ලෝකයට විවෘත විය යුත්තේ ඒ රටේ පෞරුෂ සීමාව ඉක්මවා නොයන ආකාරයටය. අපට සමස්තය පිළිබඳ ගැටලුව උපදින්නේ මේ පසුබිමේදීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අයි.ආර්.සී. සංවිධානයක් නොවේ. එවැනි සංවිධානයක් මොනම ආකාරයක හෝ අත්්තනෝමතිකකමක් ප්‍රකට කරමින් මේ කඳවුරුවලට වදින්නේ නැත. ඔවුන් කරන උපරිමය මෙවැනි ප්‍රවේශයක් වෙනුවෙන් රජයකින් අවසර ඉල්ලීමය. එවැනි අවසරයක් ලබා දිය යුත්තේ කුමන සීමාවක සිටද යන තීන්දුව ප්‍රකාශ වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මතය.

2015 වසරේ පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජනාවලියේ (30/1 _ 2015) සම අනුග්‍රාහකයෙක් ලෙස ලංකාව අස්සන් තබනු ලැබුවේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, සංක්‍රාන්ති යුක්තික ඉටු කිරීම, අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, සත්‍ය විමර්ශන කොමිසමක් පිහිටුවීම, යුද අපරාධකරුවන්ට දඬුවම් කිරීම, වින්දිතයන්ට වන්දි ගෙවීම, ඇතුළු කාරණා ගණනාවකට කොන්දේසි රහිතව ආණ්ඩුව එකඟ වී තිබුණේය. මෙම ගිවිසුමේ ආනුෂාංගික කරුණු සහිතව නව සංශෝධන එක්කරමින් ඊට පූර්ණව බලාත්මක කරන ගිවිසුම අස්සන් කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මස 14 වැනිදාය. එම ගිවිසුම ලංකාව විසින් එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කරනු ලැබුවේ 2017.12.05 දිනය. එහෙත් එය රටට බලාත්මක වන්නට නියමිතව තිබුණේ 2018.01.04 දාය.

රජය පසුගිය 05 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය හරහා රටේ ත්‍රිවිධ හමුදාව වෙත පණිවුඩයක් නිකුත් කර තිබුණේය. එම පණිවුඩයේ සඳහන් වූයේ ඕනෑම අවස්ථාවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ සිය අනන්‍යතාව තහවුරු කරන්නේ නම් ඔවුන්ට කඳවුරු පරීක්ෂාවකට ඉඩ සැලසිය යුතු බවය. පසුගිය බ්‍රහස්පතින්දා (07දා) එක්සත් ජාතීන්ගේ කොමිසමේ නිලධාරීන් හමුදා කඳවුරු පරීක්ෂාවට යන්නේ එසේ ලද ලයිසන් පිටය. එහෙත් එම ඇතුළුවීම් හා පරීක්ෂා කිරීම් රටේ නෛතික පදනම උල්ලංඝනය කරන අත්තනෝමතික බලහත්කාරකමක් බව තේරුම් ගැනීම පමණක් දැනට ප්‍රමාණවත්ය. මේ ආරම්භයක් පමණක් බැවිනි.

මේ රට අතිශය දුර්භාග්‍යමත් වකවානුවක් පසුකර පැමිණි රටකි. අපේ රටේ පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ මෑත ඉතිහාසය අවුරුදු හතළිහකටත් වඩා පැරණිය. 71 කැරැල්ල, 81 කළු ජූලිය, 88-89 දකුණේ භීෂණ කාල පරිච්ඡේදය, හා තිස් වසරක යුද්ධය පැවති කාල පරිච්ඡේදය තුළ වාර්ගික භේදයකින් තොරව අතුරුදන් වූ සිවිල් පුරවැසියන් සංඛ්‍යාව ගණනය කර නැත. මහින්ද රාජපක්ෂ ජිනීවා නුවරට ගොස් එක්සත් ජාතීන්ගේ සංගමය අබියස කතා කරන ප්‍රස්තුතය වන 88-89 භීෂණයේදී අතුරුදන් වූ දකුණේ තරුණයන්ගේ ප්‍රමාණය හැට දහස ඉක්මවා යන බව කියැවුණේය. ලෝකයේ සිදුවිය හැකි අතිශය ම්ලේච්ඡම අමානුෂිකත්වය වන බලහත්කාරයෙන් සිදුවන පුද්ගල අතුරුදන්වීම් වළක්වා ගැනීම සඳහා වූ සමාජ කථිකාව මුලින්ම ඇතිවූයේ මේ සමාජය තුළය.

මේ අතර රට බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අස්සන් කළේය. පසුගිය 2016 මැයි මස 03 දා මෙම ගිවිසුමට අස්සන් තැබිණි. ඒ අනුව 2016 ජුනි මස 24 දා පටන් එම සම්මුතිය ඊට සම්මුතිගත වූ වෙනත් රාජ්‍යයන්ට මෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහිද බලපැවැත්වූයේය.
මේ ජාත්‍යන්තර සම්මුතියේ එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා රට තුළ නෛතික විධිවිධාන පනවා ගැනීම අනිවාර්ය සාධකයක් විය. එම අවශ්‍යතාවම මත පදනම්ව “බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය” නමැති නව පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය 2017 පෙබරවාරි 09 වැනිදා පළ විය. අනතුරුව මාර්තු 07 දා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

“බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම ස¼දහාද; බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට භාජන වූ වින්දිතයන්ට යුක්තිය පසිඳලීමේ සහ වන්දි ලබා ගැනීමේ අයිතිවාසිකම සහතික කිරීම සඳහාද; ඊට සම්බන්ධ හෝ අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්පතකි” ලෙස එම කෙටුම්පතේ දක්වා තිබුණේය. පනත විවාදයට නියමිතව පවතින අතරවාරයේ පාර්ලිමේන්තුව තුළ බරපතළ විරෝධතාවක් පැන නැඟිණි. අනතුරුව ජනාධිපතිවරයා මැදිහත්ව පනත සම්මත කරගැනීමේ ක්‍රියාවලිය නැවැත්වූයේය.

මෙම පනත් කෙටුම්පතේ පළමු වගන්තියට අනුව පනත බලාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි වගන්තිය ප්‍රකාරව එය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් දිනයේ සිටය. ඒ අනුව මේ මොහොත වනතුරුත් රට තුළ එහි නෛතික වලංගුභාවයක් නැත. නමුත් දැන් රට එම ජාත්‍යන්තර සම්මුතියට බැඳී අවසානය.

මේ ගිවිසුමට රටේ සේනාධි නායකයා වූ ජනාධිපතිවරයාගේ එකඟත්වයක් නැති බව රටට පෙන්වමින් තිබේ. ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් වූ මහින්ද සමරසිංහ කීවේ මේ ගිවිසුම අස්සන් කළ යුතුව තිබුණේ රටේ පාර්ලිමේන්තුව දැනුවත් කර ලබා ගන්නා එකඟතාවකින් අනතුරුව බවය. ලංකාව ඉන්දියාව හා මාලදිවයින යන රටවලට මෙම සම්මුතිය ඉදිරිපත් කර තිබුණත් අනෙක් රටවල් දෙක අවසන් නිගමනයකට කැමැත්ත පළ කර නැති බවය. සාමාන්‍ය තත්ත්වය යටතේ සිදුවීම් කළමනාකරණය කිරීමට නොහැකිව බිඳවැටුණු සිවිල් සමාජයක් සහිත තිස් අවුරුදු යුද්ධයක් පැවති රටක සිදුවීම් අර්ථකථනය විය හැකි බිහිසුණු බව පිළිබඳ තක්සේරුවකින් තොරව මෙම ගිවිසුම අස්සන් කළ ආකාරය පිළිබඳ රටේ ජනාධිපතිවරයාත් යම් වික්ෂිප්තභාවයකට පත්ව සිටි බවට වන ඉඟි මහින්ද සමරසිංහගේ ප්‍රකාශය තුළ ගැබ් වුණේය. අඩුම තරමේ මේ පළාත් පාලන මැතිවරණය ඉවර වන තුරුවත් මේ වික්ෂිප්ත බව ජනාධිපතිවරයා වෙතින් පහව නොයනු ඇති බවට විශ්වාසය.

මේ මොහොත වනවිටත් “බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය” පාර්ලිමේන්තුව තුළ විවාදයටවත් ගෙන නැත. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය,වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජනාවලිය (30/1-2015) කැබිනට් අනුමැතිය සහිතව එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කර ඇතත් එය බලාත්මක වන්නේ 2018-01-04දා සිටය. අතීතයට බලපැවැත්වෙන්නේ නැති බව කියන, අනාගතයට පමණක් වලංගු වන බව කියන, තවමත් නෛතිකව වලංගු නොවූ සම්මුතියක් සහිතව සිටින මොහොතක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් රාජ්‍ය අවසරය සහිතව රටේ සන්නද්ධ බුද්ධි බළකාය, විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකාය ස්ථාපිත කඳවුරුවලට වැදී අවි ගබඩාත් පරීක්ෂා කරන්නේය. ත්‍රිකුණාමලය මුළු නාවික හමුදා කඳවුරු පරිශ්‍රයම විමර්ශන භූමියක් කරන්නේය. රටේ ආරක්ෂක හමුදා විනිශ්චයට ලක් කරන්නේය. මේ කණ්ඩායම රට තුළ සිටින අවස්ථාවේදී අතුරුදන් කිරීමේ සිදුවීමකට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින, නිශ්චිත අපරාධ චෝදනාවකට ලක් නොවන බව අධිකරණයට ගොනුකළ නෛතික වාර්තාවලින් තහවුරු කරන කොමදෝරු ඩී.කේ.පී. දසනායක හා කපිතාන් සුමිත් රණසිංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන්ගේ ඇප අයැදුම්පත් විමර්ශනය සඳහා ඇති අවස්ථාව පවා අහේතුකව මඟහරිමින් සිටින්නේය. මේ මානව හිමිකම් නිලධාරීන් රටින් පිටවනතුරු ඩී.කේ.පී. ලා ගේ ඇප අයැදුම්පත් විමර්ශනය සඳහාවත් සලකා නොබලන බව පැහැදිලි වෙමින් තිබෙන්නේය.

අප ප්‍රශ්න කරන්නේ එක්සත් ජාතීන් හා බැඳුණු මෙම මානව හිමිකම් ප්‍රඥප්තිය සම්බන්ධව නොව, රටේ පොදු නීතියටත් වලංගු නැතිව ලෝකය අබියස රටක් ලෙස අප ප්‍රකට කරමින් සිටිනා බෙලහීන ස්වරූපය ගැනය. බිය උපදින්නේ එම ප්‍රඥප්තියේ වගන්ති ගැන නොව, රට පිළිබඳ තීරණාත්මක මොහොතකදී පාලකයන් ප්‍රකට කරන පෞරුෂ රහිත හැසිරීම ගැනය. වේදනාව අප අප ගැන සහතිකයක් නැති අනාරක්ෂිත මිනිසුන් බව ලෝකය ඉදිරියේ පෙන්වමින් සිටීමය.

රුචිර ජයදේව

විජේවීරගෙන් හා ප්‍රභාකරන්ගෙන් පසුව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වෙලා. එක අතකින් ගත් විට ප්‍රභාකරන් ලංකාවට ම පහරක් එල්ල කළා. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදයවත් මාක්ස්වාදයවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔහුගේ වාදය ත්‍රස්තවාදය. විජේවීරගෙත් වාදය ත්‍රස්තවාදය. පෙරටුගාමින් එහෙම නො වෙයි. ඔවුන් විප්ලවවාදීන්. ලෙනින්, ස්ටැලින්, මාඕ, කස්ත්‍රෝ, චේ ගෙවාරා, විජේවීර ආදීන් ගිය පාරේ හා වැඩියෙන් හයිලෙවල් පාරේ ගිය අය. ගාලු පාරෙත් නුවර පාරෙත් යන්න ඇති.

පෙරටුගාමීන් මෙවර පළාත් පාලන ආයතන මැතිවරණවල දී තරග කරන්නෙ නැති බවට තීරණයක් අරගෙන. පෙරටුගාමින් නැති කම විශාල පාඩුවක්. ප්‍රජාතන්ත්‍රවාදයට හුස්ම ගන්නත් අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඒත් රනිල් වික්‍රමසිංහ හා අනුර දිසානායක ඉන්නකන් බයවෙන්න දෙයක් නැහැ. ඔවුන් කොහොම හරි ප්‍රජාතන්ත්‍රවාදයට හුස්ම ටිකක් එංගලන්තෙන් හරි ඉන්දියාවෙන් හරි ගෙනල්ල දේවි.

කාලෝ ෆොන්සේකාට අනුවත් ක්වොන්ටම් භෞතිකයේ විශාරද විද්වතකු වන පුබුදු ජාගොඩ තමයි පෙරටුගාමීන් මේ මැතිවරණයට ඉදිරිපත් නොවන කතාව කියන්නෙ. අර කුමාර් ගුණරත්නම් මොනව කියනව ද දන්නෙ නැහැ. ඔහු ගැන වැඩි ආරංචියක් නැහැ. ඔහු පක්‍ෂය ගොඩ නගනවා වෙන්න ඇති. ඒක තව ආත්ම ගණනාවක් කරන්න තියෙන වැඩක්. අප ඔහුට කරදර කරන එක හරි නැහැ. පෙරටුගාමිනුත් එක කාලෙක ජ වි පෙරමුණේ හිටිය අය. ඔවුනුත් මැතිවරණවල ඡන්දය දීමට ඉදිරිපත් වුණු අය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඝාතනය කළ අය. විමල්ලා, අනුරලා, ගුණරත්නම්ලා, පුබුදුලා, වසන්ත බණ්ඩාරලා එලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ අය. මට තව ටිකෙන් ගුණදාස අමරසේකරලා කියාත් කියවෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන කරුණු දෙකයි තියෙන්නෙ. එකක් පෙරටුගාමීන් ඉදිරිපත් නොවීම, අනෙක අනුර දිසානායක තම විප්ලවවාදය හෙළිදරවු කර ගැනීම. විමල් – මෛත්‍රිපාල එක්ක එකතු වුණත් නැතත් මට වැඩක් නැහැ. ඔහුගෙ පක්‍ෂයට වැඩකුත් නැහැ. වීර කුමාරට ඇමති පදවියක්, රාජ්‍ය හරි කමක් නැහැ, හම්බ වෙන්න මෙච්චර කල් යන්නෙ මොකද කියන එක නම් දැවෙන ප්‍රශ්නයක්. ඒත් ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම දැවෙන දැවිල්ලට ඒක මොකක් ද කියලා හිතෙනවා. කෝලිගෙ විවාහය ගැන අපේ ක්‍රීඩකයන් මොනවා කියනවා ද කියලා දැනගන්න කැමතියි. කෝලි ඉතා චාමෙට විවාහ වෙලා කියලා ජමාධ්‍යවේදීන් කියනවා. ඒත් ඉතාලියෙ තියෙන ලෝකෙම දෙවැනියට අය කරන බොහෝම චාම් හෝටලේක. පස්සෙ ඉන්දියාවෙ දී චාම් නැති උත්සවයක් ගනීවි. ඒකට දයාසිරිට හරි තිලංගට හරි දෙන්නට ම හරි ආරාධනා කරාවි ද? ඒත් ඒක මැතිවරණෙට අදාළ නැහැ. තව හොඳ විවාහයක් එන්න තියෙනවා. ඒ හැරී ගෙ. හැරී කිව්වෙ එලිසබෙත්ගෙ මුණුබුරා. චාල්ස්ගෙ පුතා. ප්‍රේමදාස අගමැති කාලෙ චාල්ස්ගෙ මගුලට බලෙන් ආරාධනා කරව ගත්ත. ඒකෙදි අතට අත දුන්නෙ අත්වැසුම් එක්ක ද නැතිව ද කියලා අහන්න කෙනෙක් නැහැ. ජේ ආර් ප්‍රේමදාස දෙන්න ම මැරිලා.

සීමා නීර්ණය හැම තිස්සෙම සිංහලයන්ට අවාසියි. අඹගමුව ගැන නඩුවක් තියෙනවා. නඩුව ඉවර වෙන්න ඉස්සෙල්ල මැතිවරණය ඉවර වේවි. අඹගමුවෙ ප්‍රශ්නය ගැන වැඩිය කතා කරන්න බැහැ. නඩුව නිසා. ඒත් සෝල්බරි කොමිසමේ ඉඳලා සීමා නීර්ණය වෙලා තියෙන්නෙ සිංහලයන්ගෙ අවාසියට, දෙමළ මුස්ලිම් ජනයාගෙ වාසියට. ඊටත් බොහොම අතීතයෙ සිංහලයන් වෙනුවෙනුත් දෙමළ කතා කරන ජනයා වෙනුවෙනුත් ව්‍යවස්ථාදායක සභාවෙ හිටියෙ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට එක්කෙනා බැගින්. පළාත් පාලන මැතිවරණෙන් පස්සෙ නිවාඩු තියෙනව නම් පත්වෙන මන්ත්‍රිල ජාතිය ජනවර්ගය ආගම අනුව වර්ග කරන්න. වර්ග කරලා බලන්න සිංහලයන්ගෙ සිංහල බෞද්ධයන්ගෙ ප්‍රතිශතය කීය ද කියලා. මා දන්නෙ නැහැ මා ජාතිවාදී ප්‍රකාශයක් කරලා සංහිඳියාවට බරක් වුණා ද කියලා. එහෙම වුණත් ඒක රනිල්ගෙ ණය බරට වැඩියෙ බරක් වෙන්න බැහැ.

සීමා නීර්ණ කමිටුව ලොකු වරදක් කරලා. ඇතැම් ජනවාර්ගික පක්‍ෂවලට වාසි වෙන විධියට සීමා නීර්ණය කෙරෙන අතරෙ පෙරටුගාමීන්ට වාසි වෙන විධියට සීමා නිර්ණය කළෙ නැත්තෙ මොක ද? සීමා නීර්ණය කරන්න තිබුණෙ ඒ ඒ විශ්වවිද්‍යාලවලට ආසන හිමි වෙන විධියට. ඒ වගේම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ආසනවල ම ලියා පදිංචි වීමට අවස්ථාව සලසන්න තිබුණා. එහෙම කළා නම් පෙරටුගාමින්ට විශ්වවිද්‍යාල ආසනවලට ඉදිරිපත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න තිබුණා. අර අන්තරේ කිහිප දෙනකුට මන්ත්‍රීලා වෙන්නත් තිබුණා. දැන් පෙරටුගාමින් කියාවි ඔවැනි පසුගාමී කතා කියන්න එපා කියා. තමන් දේශපාලනය කරන්නෙ මන්ත්‍රීලා වෙන්න නෙවෙයි කියාවි. ඒක නම් ඇත්ත. ජ වි පෙ හා ඔවුන්ගෙන් කැඩුණු අනෙක් බොහෝ අය, චම්පකලා ද විමල්ලා ද ඇතුළුව, මන්ත්‍රීලා වුණාට පෙරටුගාමින්ට නම් ඒක අමාරු වේවි.

මේ ගොල්ලන්ගෙ මව් පක්‍ෂය ජ වි පෙ දැන් ගජරාමෙට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වැඩ. ඔවුන් උමා ඔය පිහිටෙන් බණ්ඩාරවෙල දී ස්වාධීනව පළාත් පාලන ආයතනයට යන්න හදනවා. අනෙක් තැන්වල නම් අනිවා පරදිනවා කියලා මගේ මුහුණු පොත් මිතුරකු කියන්න ඉඩ තියෙනවා. ඒත් අනුර ළඟදි කියලා තිබුණා ඒ ගොල්ලො බලයට පත් වුණාම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් සපිරි ආර්ථිකයක් ගොඩ නගනවා කියලා. දැන් මේ අය කියන්නෙ පෞද්ගලික ආයතනත් මනා සැලැස්මක් යටතේ පාලනය කරනවා කියලයි. දැන් මේ පෞද්ගලික ආයතනවල ධනපතියන් ඉන්නවා ද? ප්‍රාග්ධනය තියෙනවා ද? ආයෝජනය කරන්නෙ බිට්කොයින්වලින් ද? අනුර සහෝදරයා බිට්කොයින් මිල දී ගන්නවා ද? අච්චු ගහනවා ද? ගුරුත්වාකර්ෂණ පට්ටපල් බොරුව ගෙතූ නිව්ටන් ලොක්කත් කාලෙකට ඉහත ලංඩනයේ සල්ල අච්චු ගැහුවා. බිට්කොයින් අච්චු ගහන්න ක්වොන්ටම් පරිගණක දවසක යොදා ගන්න පුළුවන් වේවි. අනුර සහෝදරයාට තරහ මරහ අත්හැරලා ක්වොන්ටම් ප්‍රාමාණික උගතා පුබුදු ජාගොඩ වැඩේට හවුල් කරගන්න පුළුවන්. එතෙක් අනුරට කරන්න තියෙන්නෙ එ ජා පක්‍ෂයෙන් සල්ලි ටිකක් ඉල්ලගන්න එක. විජේදාස රාජපක්‍ෂ එ ජා පක්‍ෂෙ නැහැ කියලා අනුර සහෝදරයා හිත නරක් කරගන්න ඕන නැහැ. ඔය විසිපන් ලක්‍ෂයක් වගේ පොඩි ගණනක් දෙන්න පුළුවන් අය ධනපති පක්‍ෂවල ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නෙ තියෙන්නෙ මාක්ස් මොනව කියලා තිබුණත් ධනපති පක්‍ෂ, ප්‍රාග්ධනය, ඓතිහාසික භෞතිකවාදය, අපෝහකය (දයලෙක්තිකය), වටිනාකම පිළිබඳ මාක්ස්ගෙ ශ්‍රම ප්‍රවාදය, ලෙනින්ගෙ පංති විඥානය ආදීය අනුරගෙ ලෝකෙ තියෙනවා ද කියන එක. ඔහු කතා කරන්නෙ පෞද්ගලික අංශයත් මනා සැලැස්මකට අනුව පාලනය කරන්න. ධනපති පංතියට මාක්ස්ගෙ ම පිහිටයි. එතකොට කම්කරු පංතිය. ඒකට විජේවීරගෙ පිහිටයි. ඒත් ඔහු කම්කරු පංතියට කිව්වෙ නිර්ධන පංතිය කියලා. ඔය උච්චාරණ ගැන වැඩිය හොයන්න හොඳ නැහැ. චුට්ටෙ මල්ලි තරහ වේවි.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-16

ඒකාබද්ධ විපක්‍ෂය සමග සන්ධානගත වී පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් වන්නට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කළ උත්සාහය මේ වන විට අසාර්ථක වී තිබෙන නමුත්, ශ‍්‍රීලනිපය පැත්තෙන් ඒ උත්සාහය සම්පූර්ණයෙන්ම අතහැර දමා නැති බව පෙනෙයි.ශ‍්‍රීලනිපය පැත්තෙන් හිතන්නේ මේ සන්ධානය ඇතිකරගන්නට බාධාව වී තිබෙන්නේ බැසිල් රාජපක්‍ෂ බවයි.

ඇත්ත වශයෙන්මද මේ මොහොතේ ඒකාබද්ධ විපක්‍ෂයේ දැතිරෝදය වී තිබෙන්නේ බැසිල් රාජපක්‍ෂය. පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්‍ෂයේ සියලූම තීන්දු තීරණ ගැනෙන්නේ බැසිල් රාජපක්‍ෂ මූලිකත්වයේ තබාගනිමිනි. ඒ තීන්දු තිරණ ඔහුගේ වුවමනා එපාකම් අනුව ගන්නා බවට ඒකාබද්ධය තුළ සිටින ශ‍්‍රීලනිප සමහර මන්ත‍්‍රීවරුන් මෙන්ම, ඊට එකතුවී සිටින කුඩා දේශපාලන පක්‍ෂවල නායකකාරකාදීන්ගේද අදහසයි. එහෙත් කළ හැක්කක් නොමැත. බැසිල්ට විරුද්ධවන්නන්ට වුණත් තනියෙන් කළ හැකි දෙයක් නැත. කළ හැකි එකම දෙය වන්නේ බැසිල් ඇතුළු රාජපක්‍ෂවරුන් යටතේ වැඩකොට, ඔවුන් කන දේවල්වලින් අතේ ඇඟිලිකරු අස්සෙන් බේරී එන දෙයක් තමන්ගේ මල්ලට හලා ගැනීම පමණකි.

ඊට හොඳම උදාහරණය විමල් වීරවංශ මහතාය. දැන් ඔහුගේ පක්‍ෂයේ පොතු පමණක් නොව අරටුවේ කෑලි ද ගැලවී යමින් තිබේ. එසේ ගැලවී යන්නන්ගේ මූලික චෝදනාවක් වන්නේ, ජාතික නිදහස් පෙරමුණ ශ‍්‍රීලනිපය සමග පොදු පෙරමුණකට එක්වී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව පලවා හරිනවා වෙනුවට, ඒකාබද්ධ විපක්‍ෂය සමග එකතුවීමෙන් පරමාණුකරණය වී ශක්තිය දුර්වල කරගෙන විනාශ වන බවයි. තමන්ගේ පක්‍ෂය මේ විනාශයට ඇදදැමීමේ වගකීම විමල් වීරවංශ මහතා භාරගත යුතු බව ඔවුන්ගේ මතයයි. විමල් වීරවංශට ඒ වගකීම පැවරෙන්නේ ඔහු බැසිල් රාජපක්‍ෂ සමග එකතු වී කිසිම කේවෙල් කිරීමක් නැතිව, බැසිල් කියන හැම දෙයක්ම බාරගන්නවාය කියන පදනම උඩය.

පසුගියදා ධුරයෙන් අස්වුණු ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, මුලින් කීවේ පෞද්ගලික හේතුවක් නිසා ඉල්ලා අස්වන බවයි. එහෙත් දැන් ඔහු සිය ෆේස්බුක් පිටුවේ තමාගේ ඉල්ලා අස්වීම ගැන පැහැදිලි කිරීමක් කර තිබේ. එයින් උපුටා ගත් වාක්‍ය කිහිපයක් මෙසේය.

‘.. පොදුජන පෙරමුණ සමග අප මැතිවරණවලට ඉදිරිපත් වන්නේ නම් එය මැතිවරණ කොමිසම යටතේ පිළිගත් සන්ධානයක් විය යුතු බවත් ඊට නව නිලධාරි මණ්ඩලයක්, විධායක සභාවක් සහ සියලූ දෙනාට පිළිගත හැකි මහලේකම්වරයෙකු පත්විය යුතු බවත් මගේ අදහස විය. ඊට දේශපාලන මණ්ඩල අනුමැතිය ලැබුණු අතර එයට පොහොට්ටුවේ නායකයන් එකඟ වූ බවද පක්ෂ නායකත්වය විසින් දන්වන ලදි. නමුත් අද වනවිටත් එසේ සන්ධානයක් බවට පත්වීමේ සේයාවක් වත් නොපෙනේ. මැතිවරණය සදහා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කිරීම අරඹා ඇත. තරග කරනු ලබන අපේක්ෂකයන් නාමයෝජනා අත්සන් කිරීමට සූදානම්ව ඇත. මෙය පක්ෂය හා පක්ෂ සමාජිකයා පවාදුන් නිවට ක‍්‍රියාවකි. ජානිපෙ නම් පක්ෂය මල්ලක දමා ගැටගසා බැසිල් රාජපක්ෂ මහතා පාමුල තබා ඇත. මා ඊට දැඩි සේ විරුද්ධ විය…

වමේ බලවේග බෙදී පැවතීම සතුරා ලද සුවිශේෂ ජයග‍්‍රහණයක් බවත් මීළඟ 2020 ජනපතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ජයග‍්‍රහණය කිරීමේ මාවත ඒ හරහා සැකසෙන බවත් මාගේ අදහස විය. එම ජයග‍්‍රහණය තුළින් සකලවිධ පරගැති බලවේග මවුබිම බිලිගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුකර එජාපය පැරදවීමේ සටනට අවතීර්ණ විය යුතු බවත් මාගේ ස්ථාවරය විය… මෙවන් අවස්ථාවකදී ජාතියට මග පෙන්විය යුතු අප පක්ෂය අවස්ථාවාදීන්ගේ උවමනාවට යටවීමේ බරපතළ දේශපාලන වරද සිදුකොට ඇත..

ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා ජනපතිගේ සහාය ලබාගත හැකි විභවයක් නිර්මාණය වී තිබුණි. අපගේ උපාය මාර්ගික ප‍්‍රවේශය විය යුත්තේ ජනාධිපතිවරයාගේ ස්ථාවරයන් පාවිච්චි කරගනිමින් ජාතියේ අභිලාෂයන්ද ඊට එකතුකර ව්‍යවස්ථාව විසිකර දැමීමට අවශ්‍ය පදනම ගොඩනැගීමයි, නැතහොත් අවම වශයෙන් ව්‍යවස්ථාව ගෙන ඒම තව දුරටත් කල් දමා ගැනීමයි. ජාතික බලවේග සමග එක්ව එම සටන අපි ප‍්‍රමාණවත්ව ඉටු නොකළෙමු…

BRගේ (මෙය පුද්ගලයකුට යෙදෙන මාගේ දේශපාලන නාමයයි. BR(BREAKING RELATIONSHIPS) නියෝජිතයන්ගේ යටත්වැසියන් බවට පක්ෂයේ සමහරුන් පත්ව ඇත…’ (උපුටාගැනීම, ප‍්‍රියන්ජිත් විතාරණගේ ෆේස්බුක් පිටුව)

හිටපු ලේකම්වරයා මේ කියන්නේ ජාතික නිදහස් පෙරමුණට අදාළ කාරණා වුණත්, ඒ හරහා මේ මොහොතේ රටේ දේශපාලන චිත‍්‍රයේද හැටිසොබාව නිතැතින් එළිදරව් වෙයි.

‘බොහෝ දෙනාගේ වුවමනාව වී තිබෙන්නේ ශ‍්‍රීලනිපයත්, ඒකාබද්ධ විපක්‍ෂයත් අතර සන්ධානය තවදුරටත් ගොඩනැගීමයි. ඒ හරහා ජනාධිපතිවරයාගේද උදව්වෙන් ව්‍යවස්ථාව ගෙනඒම පරාජය කළ හැකි අතර, 2020දී රනිල් වික‍්‍රමසිංහ ඉදිරියට ඒමද වලක්වා ගත හැකි වනවා ඇත. ඊට එරෙහිව සිටින්නේ බැසිල් රාජපක්‍ෂය. විමල් වීරවංශ වැනි කුඩා පක්‍ෂවල නායකයන් බැසිල් රාජපක්‍ෂගේ පාමුල සිය පක්‍ෂ තැබීමෙන් එසේ එකතුවීමේ අවස්ථාව පාවාදී ඇත.’ මේ ඔවුන්ගේ ස්ථාවරයයි. මේ දවස්වල ජාතික නිදහස් පෙරමුණේ නායකයා දැඩි ලෙස විවේචනය කරමින් සිටින එහි නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායකද දරන්නේ ඉහත කී ස්ථාවරයමය. සමහර විට ඔහුද නවතිනු ඇත්තේ ත‍්‍රිකුණාමලයේ ජයන්ත විජේසේකර මෙන් ශ‍්‍රීලනිපය තුරුලේය. එවැන්නක් සිදුවුණොත් නි්යෝජ්‍ය ඇමතිකමකින් ඔහු පිළිගන්නට ශ‍්‍රීලනිපය සුදානම්ව සිටින බවද දැනගන්නට තිබේ.

කොහොම වුණත්, ශ‍්‍රීලනිප-ඒකබද්ධ එකතුවීමට මේ මොහොතේ දුෂ්ටයා වී සිටින්නේ බැසිල් රාජපක්‍ෂ බව ශ‍්‍රීලනිපයේ පිළිගැනීමයි. ඒ නිසා ඔහුට දෑත බදා පහරදීම දැන් ඇරඹී ඇත. ශ‍්‍රීලනිප ලේකම්වරයාගේ මූල්‍ය දායකත්වයෙන් පවත්වාගෙන යන ‘සත්හඬ’ පුවත්පත, එනයින්ම සිය ප‍්‍රවෘත්ති හරහා ඉදිරිපත් කරන්නේ ශ‍්‍රීලනිපයේ නිල මතය හැටියට සැලකිය හැකිය. එහි පසුගිය සතියේ ප‍්‍රධාන සිරස්තලය වුණේ, ‘බැසිල්ගේ කල්ලිය ශ‍්‍රීලනිපයට ද්‍රෝහී වෙයි’ යන්නය. ‘ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්‍ෂය අතර පවත්වන ලද සාකච්ඡුා බිඳවැටීමට හේතුව බැසිල් රාජපක්‍ෂ කල්ලියේ දීර්ඝකාලීන සැලසුමක් බවට තොරතුරු වාර්තා වී තිබේ.’ යන්න තවදුරටත් එහි සඳහන්වී තිබුණි. මේ හරහා සමාජගත කිරීමට ශ‍්‍රීලනිපය උත්සාහ දරන්නේ, බැසිල් රාජපක්‍ෂ යනු ශ‍්‍රීලනිපය පාවාදුන් ද්‍රෝහියකු බවයි.

මේ ආකාරයට මතුපිටින් බැසිල් රාජපක්‍ෂට පහර දීමේ ස්වභාවයක් පෙන්නුම් කළත්, ඇත්ත වශයෙන්ම යටින් තවමත් ශ‍්‍රීලනිපය ඉන්නේ ඒකාබද්ධය හා එකතුවීමේ වුවමනාවෙනි. ඒ කාරණය පැහැදිලි කරමින්, පසුගිය සතියේ ආණ්ඩුවේ ඉහළ නායකයකු දුරකතනය හරහා බැසිල් රාජපක්‍ෂ සමග සාමීචියකට පොටක් පාදාගන්නට හැදු බවද දැනගන්නට තිබේ. ඒ සම්බන්ධය හැදුවේ, රාජපක්‍ෂ පිළේ අන්තේවාසිකයකු හැටියට කටයුතු කරන පැපිලියාන පැත්තේ පන්සලක ප‍්‍රකට හිමිනමක විසින් බවද දැනගන්නට තිබේ. එහෙත් වාර්තා වන අන්දමට බැසිල් රාජපක්‍ෂ විසින් ආණ්ඩුවේ ප‍්‍රබලයා නොසලකා හැරීමෙන් කතාව ලත් තැනම ලොප්වී තිබේ.

ශ‍්‍රීලනිපය ඒකාබද්ධය සමග එකතුවන්නට කොයිතරම් උත්සාහ ගත්තද, ඒකාබද්ධ විපක්‍ෂය හෙවත් පොහොට්ටුව පක්‍ෂය තිබෙන්නේද ශක්තිමත් තැනක නොවේ. පසුගිය කාලය පුරාම විවිධ ආකාරයෙන් ඔසොවා තබන්නට උත්සාහ කළත්, ඒකාබද්ධය එකම තැන කැරකෙන ස්වභාවයක් පෙනේයැයි දේශපාලන නිරීක්‍ෂකයෝ කියති. පොහොය දෙකක් ඇතුළත මේ ආණ්ඩුව වට්ටවන බවට වහසිබස් දෙඩූ ඒකාබද්්ධ විපක්‍ෂයට තවමත් ආණ්ඩුවේ පොත්තක් ගලවාගන්නටවත් හැකිවී නැත. ආණ්ඩුවෙන් ඉවත්වී ඒකාබද්ධයට එකතුවුණු එක්කෙනා දෙන්නාද එහෙම එකතු වුණේ, ආණ්ඩුවේ ඇමතිධුරවලින් ඔවුන් නෙරපා හැරි නිසා යන්නට තැනක් නැතිවය. ඒ අතර, ඒකාබද්ධ විපක්‍ෂය පැත්තේ සිටිය යුතු එක්කෙනා දෙන්නා ශ‍්‍රීලනිපය පැත්තට ඇදෙමින් සිටිති. ජානිපෙ නියෝජ්‍ය නායකයා එවැනි එක් පුද්ගලයෙකි. ඒකාබද්ධය සමග දේශපාලන අනාගතයක් තිබේ නම්, මෙවැනි නායක මට්ටමේ පුද්ගලයන් එය අතහැර වෙන අතක් බලාගන්නට හේතුවක් නැත. ජනතාව අතර වේගයෙන් අප‍්‍රියත්වයට පත්වෙමින් සිටින ආණ්ඩුවකින් පුද්ගලයන් ගැලවී යෑම තේරුම් ගත හැක්කකි. එහෙත්, ඊළඟට බලය අල්ලන්ට සූදානම් වෙමින් සිටින පීපිගෙන එන පොහොට්ටුවක් වැනි පක්‍ෂයකින් එකා දෙන්නා පැනයෑම විසින් පෙන්නුම් කරන්නේ යාත‍්‍රාකිරීම කෙසේ වෙතත් ගිලෙන නැවක ස්වභාවය නම්, ඒ දේශපාලන බලවේගය සමග අනාගත සිහින දකින්නන් දෙපාරක්ම කල්පනා කළ යුතු නොවේද?

අනෙක් අතට ඒකාබද්ධ විපක්‍ෂය පරණ රාජපක්‍ෂ ආණ්ඩුවේ වැරදි ගෙඩිපිටින් එහෙමම යළිත් කරමින් සිටියි. එයින් පළමුවැන්න, බැසිල් රාජපක්‍ෂ මහතාට ඒකාබද්ධ විපක්‍ෂයේ හෙවත් පොදුජන පෙරමුණේ නොනිල නායකත්වය හා මෙහෙයවීමේ වගකීම පැවරීමය. 2015 ජනවාරි මහින්ද රාජපක්‍ෂ පාලනය පරාජය වීමට මූලික හේතුවක් ලෙස විමල් වීරංවශ වැන්නන් පවා දුටු බැසිල් රාජපක්‍ෂ මහතාට පක්‍ෂයේ සම්පූර්ණ පාලනය බාරදීමෙන් මේ පිරිස චින්තනමය වශයෙන් එකම තැනක හිරවී සිටින බව තවදුරටත් පැහැදිලිවෙයි. බැසිල් රාජපක්‍ෂ මහතාට පක්‍ෂයක් යනු බිස්නස් එකක් බව පසුගියදා එක් දේශපාලන නිරීක්‍ෂකයෙක් කීවේය. බැසිල්ට රට ගොඩනැගීමේ දේශපාලනයක් නැත. ඇත්තේ පෞද්ගලික සමාගමක ප‍්‍රදාන විධායක නිලධාරියා හැටියට කටයුතු කරමින් විශාල මුදල ක් අතපත ගාමින් තමන්ටත්, අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනෙක් අයටත් පරම්පරා ගණනක් ජීවත්වීමට අවශ්‍ය වන මුදල් බෙදාගැනීමේ ව්‍යාපාරික වුවමනාවක් පමණකි.

කරුණු කොහොම වුණත්, ඒකාබද්ධය හා ශ‍්‍රීලනිපය අතර සන්ධානයක් ගොඩනැගීමේ සියලූ අවස්ථා ගිලිහී ගොස් නැති බව වටහා ගත යුතුය. විශේෂයෙන් පළාත් පාලන ඡුන්ද විමසීමෙන් පසුව, ඒ ඒ අයතනවල බලය පිහිටුවීමේදී මේ සන්ධාන කතාව ආයෙත් ඉස්මත්තට එනවා නියතය. ඡුන්දයට පෙර සන්ධාන කතා, නාමයෝජනා දීමෙන් පසු තීරණාත්මකව අවසන් වුණත්, ඡුන්දයෙන් පත්වීමෙන් පසු ඒකාබද්ධ වීමේ කතාව එලෙස අවසන් වන දිනයක් නැත.

කොහොමටත් බෙලහීනවී සිටින සියලූම පක්‍ෂවලට තිබෙන අභියෝගය තනිවම ආයතන දිනාගැනීමය. පවතින තත්ත්වය යටතේ එක් පක්‍ෂයකට තනි බලයක් පිහිටුවන්නට තිබෙන හැකියාව ඉතා අඩු බව කියැවෙයි. එවැනි අවස්ථාවක නැවතත් සන්ධාන දේශපාලනය එළියට එනු ඇත. ශ‍්‍රීලනිපය එකතුවන්නේ එජාපය සමග නම්, එක්තරා විදියකට සම්මුති ආණ්ඩුවේ පොදු සම්මුතිය යළිත් වටයකින් ශක්තිමත් කිරීමක් එයින් සිදුවනු ඇත. එහෙත්, එකතුව සිදුවන්නේ ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධය අතර නම්, එය අලූත් දේශපාලන අභියෝගයන්ට මාර්ගය විවෘත කිරීමකි.

මනුවර්ණගේ සතිය

Published on: Dec 16, 2017 –නීතිය නමන්නට ගොස් රාජ්‍ය උදහසට ලක්ව පසුව නීතිය සහ සාමය පිළිබඳව අමාත්‍යවරයා ඉවත් කිරිම සදහා කුමන්ත්‍රණය කරමින් සිටින වත්මන් පොලිස්පති පුජිත් ජයසුන්දරගේ කූජිත වැඩක් අතේ මාට්ටු වි තිබේ.

එනම් ඉහල පෙළේ පොලිස් නිළධාරින්ගේ නම් ලැයිස්තුවක් සකස් කර ඔහුන්ගේ ජංගම දුරකතන වලට සවන් දිම සදහා විශේෂ එකකයක් ස්ථාපනය කර රහසේම පවත්වාගෙන් යැමයි.

කූජිත විසින් මේ ආකාරයට නිලධාරින්ගේ දුරකතන වලට සවන් දි පසුව ඒ හරහ සිදුවන සාකච්ඡා අල්ලාගෙන විවිධ පාර්ශ්වයන්ට කේළාම් කිමටත් ඇතැමුන් බය කිරිමටත් කටයුතු කර තිබේන අතර කුජිතගේ මෙම ටැප් කිරිමේ කුමන්ත්‍රණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සේනවිරත්න විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ වනවිටත් කූජිතගේ මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක් කර තිබේන අතර අදාළ පැමිණිල්ලට අනුව ව්‍යවස්ථාදායක සභාවට දැමුන් දිමෙන් පසුව ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරිමට කොමිසම සුදානමින් සිටි.

කූජිතගේ අදාළ කුමන්ත්‍රණකාරී මෙහෙයුම හරහා දුරකථනයට සවන්දිමට අමතරව අදාළ දුරකතන වලට ලැබෙන SMS,E-mail, සහ ස්ථානයන් පෙන්විම Location, පවා ලබාගෙන තිබේන අතර ඇතැම් නිළධාරින්ගේ මකා දමා ඇති දත්ත පවා ලබා ගැනිමට කටයුතු කර තිබේ.

පසුගිය රාජපක්ෂ රජය සමයේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන්වන ලද අදාල උපකරණ විශේෂ එකකයක් ලෙස වෙනම රහසේම ස්ථාපනය කර ඒ හරහා රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව පෙන්වමින් පොලිස්පතිවරයා මෙම කුමන්ත්‍රණකාරී මෙහෙයුම දියත් කර තිබේ.

Top