Published on: Dec 23, 2019- යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යාමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ගේ බලපෑම් මත එම ස්ථානයෙන් ඉවත් කළ බව යාපනය පොලිසිය සදහන් කරනවා.(ඡායාරූප සියල්ලම පහතින් බලන්න )

පෙරේදා (21) මෙම සිද්ධිය සිදුවී ඇති අතර තාප්පයේ ඇඳ තිබූ චිත්‍රයට අදාළව සංඝමිත්තා තෙරණිය, මිහිඳු හිමියන් හා කාවන්තිස්ස රජුගේ ප්‍රතිමා තුනක් මෙහි නිර්මාණය කර තිබිණි.

සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා උතුරට අවශ්‍ය නොවන බවත්, වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසද කියමින් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාර නිලධාරීන් එම ප්‍රතිමා ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම පිළිමය අඩි 5 ක උසකින් යුත් සිරකරුවෙකු විසින් ඉදිකරන ලද්දක් වන අතර ඊයේ බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන ලද පිළිමය අද බන්ධනාගාර ගොවිපලේ තැන්පත් කිරිමට කටයුතු කලද එල්ල වු විරෝධතා හමුවේ එය එතැනින්ද ඉවත්කර බන්ධනාගාරයේ පසුපස දෙබොක්කාවකට විසීකර තිබේ.

උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කළේ සිවාජිලිංගම්ගේ තර්ජන හමුවේ පොලිසිය සහ හමුදාව අසරණ වි බලා සිටි බවත් එම සිදුවිම සම්බන්ධයෙන් උතුරේ හමුදා ප්‍රධානින් සහ පොලිස් ප්‍රධානින් දැනුවත් කලද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් එයට දක්වා නොමැති බවයි.

මේ අතර බන්ධනාගාරයෙන් පිටත වීදියේ බෞද්ධ සංකේත ඉදිකිරීමට දැඩි විරෝධයක් එල්ල විය. යාපනයේ මහ නගර සභාවේ සාමාජිකයින් සහ සාමාන්‍ය ජනතාව අද පෙරවරුවේ රැස්ව සිටියහ.

කෙසේවෙතත් සිවාජිලිංගම් දමිල මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ තමා කිසි විටෙකත් බුද්ධාගමට හා තමා දේශනා කළ පූජනීය බුද්ධාගමට විරුද්ධ නොවන නමුත් දෙමළ ප්‍රදේශවල අනවශ්‍ය ලෙස සිදුකරන සිංහල බෞද්ධ ප්‍රචාරයන් දැඩි ලෙස හෙළා දකින බවත්, ඊට විරුද්ධ බවත් ය.

පසුගිය නොවැම්බර් 26 වන දින දෙමළ ඊලම් ජාතික නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ 65 වන උපන්දිනය සැමරීමට මහාවිරු (Tamil Eelam Heroes Day)වැඩසටහන් 91ක් එම්.කේ. සිවාජිලිංගම් විසින් උතුරේ සංවිධානය කර තිබු අතර එය ඉතිහාසයේ පැවැත්වු වැඩිම මහවිරු වැඩසටහන් ගණනද වේ.නමුත් ඒ කිසිවක් පාලනය කිරිමට ගෝඨාභයගේ ආරක්ෂක වැඩපිළිවෙළට හැකියාව ලැබුනේ නෑ.

දෙමළ මාධ්‍ය අදාළ සිද්ධිය වාර්තාකර තිබු අයුරු…

http://lankanewsnetwork.org/archives/21722

Published on: Dec 23, 2019 – කළු දශකයේ සුදුවෑන් සම්බන්ධයෙන් සිදුකල අනාවරණයන් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්නගේ මාධ්‍ය ලේකම්වරයෙකු කටයුතු කල සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු රටින් පැන ගොස් ඇති බව වාර්තා වේ.

හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න විසින් සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාලව තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස අපේක්ෂිත ඇප අයදුම්පතක් අගෝස්තු 19 වනදින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලා සිටි අතර එයඅගෝස්තු 20 වනදින කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් යළි සලකා බලා ප්‍රතික්ෂේප කල අතර හිටපු ඇමති රාජිත නැවත යළිත් එදින ඇප අයදුම්පතක් ඉදිරිපත් කරද්දී ඔහුගේ මාධ්‍ය ලේකම් රටින් පලාගොස් ඇති බව මේ වන විට රහස් පොලිසිය මගින් අනාවරණය කර තිබේ.

සුදුවෑන් රියදුරන් රහස් පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ව වේශනිරූපනය කිරීමේ සිට ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීම දක්වා සියලු කටයුතු කරන ලද්දේ මාධ්‍ය ලේකම් එම්.අයි.ජේ. විජේනායක නොහොත් මලිත් නැමත්තා විසිනි.

ඒ අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වද්දී හෙළිව ඇත්තේ ඔහු මේ වනවිට රටින් පලාගොස් ඇතිබවයි.ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකි බව රහස් පොලීසිය සදහන් කරයි. එම නිසා ඔහු මේ වන විටපළාගොස් ඇති රට පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කරයි.

ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් විසින් මලිත් විජේනායකගේ නිවස කිහිපවිටක් පරික්ෂා කොට ඇති අතර විජේනායකගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කර තිබේ.මොහු රාජිත සේනාරත්නට එරෙහි ප්‍රබල සාක්ෂි කරුවෙකු බැවින් ඔහුව කෙසේ හෝ අත්අඩංගුවට ගතයුතු බවට ඉහලින් උපදෙස් ලැබී තිබේ.

මීට පෙරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් UN General Assembly සදහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට යන අතරතුර කටාර් ගුවන් තොටුපලේදී තම පවුලේ ඥාතින් ඇතුළු හිත මිතුරන් රැගෙන යන ඡායාරූප මාධ්‍යයට නිකුත් කල චෝදනා ඇතුළු මාධ්‍ය හරහා විවිධ දේශපාලඥයන් පිළිබද හෙළිදරව් කල නිසා ඔහුට විවිධ චෝදනා එල්ල වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වේ.

රාජපක්ෂ රජයට විරුද්ධ වන පුද්ගලයන් මෙන්ම මාධ්‍යවේදීන් මර්ධනයකිරීමේ කටයුතු රහස් පොලිසියට හා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පවරා තිබේ.

Published on: Dec 23, 2019 – සජිත් ප්‍රේමදාස එජාප නායකත්වයට පත් කිරීම වැළැක්වීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ,කථානායක කරු ජයසූරිය එක්ව අලුත් කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

එජාපයේ අර්බුදයක් ඇතිව තිබෙන බව සඳහන් කරමින් ඉදිරි මහ මැතිවරණ සටන මෙහෙයවීම සඳහා මේ වනවිට ඇතිව තිබෙන බෙදීම වළක්වා පක්ෂය ජයග්‍රහණය කරවීම උදෙසා කටයුතු කළ හැකි නායකයා ලෙස කරු ජයසූරිය ඉස්මතු කිරීමට රනිල් දරන උපායශීලී වෑයමට ද හරහා එම කුමන්ත්‍රණය දියත් කරමින් සිටි.

සජිත්ට විපක්ෂ නායකත්වය ලබාදීමට කැමැත්ත පළ කර ඒ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ලිඛිතව කථානායක කරු ජයසූරිය වෙත දන්වා යැවුවද ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වනතුරු සජිත්ට විපක්ෂ නායකයා ලෙස පිළිගැනීමට බලා සිටිය යුතු බවට කථානායකවරයා නිකුත් කළ නිවේදනයත් දෙසැම්බර් 12 වැනිදා රැස් වූ ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායකයා ලෙස සහභාගිවීමේ අවස්ථාව සජිත්ට ඇහිරී යැමත් හරහා කරූද රනිල්ගේ කුමන්ත්‍රණයේ කොටසක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී එජාපයේ අගමැති අපේක්ෂකයා වීමට නම් විපක්ෂ නායකත්වය පමණක් නොව එජාප නායකත්වයද අවශ්‍ය බව සජිත් පැහැදිලිවම ප්‍රකාශ කර තිබියදී ඒ සඳහා ඇති මඟ අහුරමින් රනිල් වික්‍රමසිංහ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සජිත්වාදින් සුද්ධ කිරිම සදහා මෙහෙයුමක් දියත් කර ඇති අතර් දෙසැම්බර්31 වැනිදායින් පසු එම අවස්ථාව රනිල්ට හිමිවිමට නියමිතයි.

ඒ අනුව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රනිල් වික්‍රමසිංහට පක්ෂ නායකයා ලෙස පැවරී ඇති බලතල අනුව පත් කළ සජිත්ට පක්ෂපාතීව කටයුතු කරන සභිකයන් 20 දෙනාගෙන් අතිබහුතරයක් ඉවත් කිරිමට කටයුතු සුදානම් කර තිබේ.

දෙසැම්බර් 31 වැනිදා වනවිට එජාප කෘත්‍යාධිකාරියේ නිල කාලය අවසන් වන් අතර වික්‍රමසිංහට යළිත් තමන්ට අවනත 20 දෙනකු ඊට පත් කර සජිත්ට එරෙහිව කටයුතු කිරීම අඛණ්ඩව සිදු කිරීමේ මඟ සකසමින් සිටින බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.ඒ අනුව පාර්ලිමේන්තුවේ කල්දැමිම සදහා ගෝඨාභය,මහින්ද එක්ව දියත් කල කුමන්ත්‍රණය සදහා රනිල්ගේ දායකත්වය ලැබිමට මෙයද ප්‍රධානතම හේතුවක් වි තිබේ.

අහිමිවන විපක්ෂ නායකත්වය!

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකමතික අනුමැතියකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ කිසිදු වගකීමක් භාරගැනීමට තමන් කිසිවිටෙක සූදානම් නොමැති බව කථානායක කරු ජයසූරිය එජාප නායකයාට දන්වා තිබේන බවට පලවන වාර්තාද මෙම කුමන්ත්‍රණයේම කොටසකි.

විපක්ෂ නායකකම නමට දුන්න රනිල්ගේ ගැට මෙන්න … පාර්ලිමේන්තුව 3 වෙනිදාටත් ඇරියා වැහුවා… මහින්ද-ගෝඨා-රනිල්-සාගල කුමන්ත්‍රණ වලින් එජාපයට කුමක් වේද? යනුවෙන්( Published on: Dec 9, 2019) අප කල අනාවරණය මේ වනවිට තවදුරටත් තහවුරු වි තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය 2020 ජනවාරි මස 03 වැනිදා පෙ.ව. 10.00ට ආරම්භ කිරීමට නියමිත අතර

එදින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් රාජාසන කතාව සිදුකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි කල් දැමීමට ක්‍රියා කරනු ලබන අතර එදිනට සජිත්ගේ නම විපක්‍ෂ නායක ලෙස නිවේදනය කිරීමට ඇති අවස්ථාව කථානායකවරයාට අහිමි වි යනු ඇත.

http://lankanewsnetwork.org/archives/21910

Published on: Dec 22, 2019 – ඒ ගමන විද්වතුන් කියන කොටසකුත් කියල වාසනාවන්ත පොහොට්ටුව ලකුණෙන් ම මහා මැතිවරණය තරග කරන්න ඕනෙ කියලා. විද්වතුන් වාසනාව ගැන විශ්වාස කරනව කියල මා දැන හිටියෙ නැහැ. මා නම් විද්වතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මට තියෙන ලොකුම ශක්තිය එයයි. මා තර්කය ගැනවත් විශ්වාස කරන්නෙ නැහැ. මා තර්ක කරන බව ඇත්ත. ඒත් ඇත්ත කියල දෙයක් නැහැ. මා බෞද්ධයෙක්. බුදුහාමුදුරුවො කාළාම සූත්‍රයෙහි දේශනා කළේ යමක් තාර්කික වූ නිසාවත් පිළිගන්න එපා කියල. අද ඉන්න බුද්ධිමතුන් උගතුන් කියන අය යමක් තර්කානුකූල නම් පිළිගන්නවා.

ඒත් එතැනදි කරුණු දෙකක් බලපානවා. එකක් ඔය විද්වතුන් කියන්නෙ ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වූ තර්කය වීම. එය නිවැරදිය කියල දන්නෙ කොහොම ද? ලෝකයේ තවත් න්‍යාය තියෙනවා. ඒ න්‍යාය සියල්ල ම, ඇරිස්ටෝටලීය න්‍යාය ද ඇතුළුව කිරල බලන්නෙ කොහොම ද? අපි ඇරිස්ටෝටලීය න්‍යාය තෝරා ගන්නෙ කිනම් න්‍යායක් මත ඉඳලා තර්ක කරලා ද? එ න්‍යාය ඇරිස්ටෝටලීය න්‍යාය ද? එහෙම නම් ඒක විද්වතුන් නොවන ගැමියන්ගෙ බසින් නම් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වැඩක් වෙනවා. විද්වතුන් නොවන සියල්ලන් ම ගැමියන් වන්නෙවත් ගැමියන් නොවන සියල්ලන් ම විද්වතුන් වන්නෙවත් නැහැ. ඕන ම නම් ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වෙලා අර වෙන් රූප සටහනක් ඇඳල බලන්න. මා එහෙම කියන්නෙ කුලකවාදය පිළිගන්න නිසා නො වෙයි. පඬියන්ට වැඩක් දීම සඳහා.

තර්කය ගැන තවත් කතාවක් කියන්න තියෙනවා. ඕනෑම තර්කයක් පටන් ගන්න වෙන්නෙ යම් උපකල්පනයක් මත පදනම් වෙලා. ඒ උපකල්පනය මත පදනම් වෙලා ඇරිස්ටෝටල් යොදා ගෙන නිගමනවලට ඒම තමයි කෙරෙන්න. ඇරිස්ටෝටල්ගෙ න්‍යාය හරි කියල හිතමු. එතකොට අර මුල් උපකල්පනය ගැන මොකක් ද කියන්නෙ. ඒක නිවැරදිය කියල සහසුද්දෙන් ම දන්නව ද? ඒක දැන ගන්න සුද්දෙක්ගෙන් අහනවා ද?

අපට අද ඕන කරන්නෙ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ශක්තිමත් ආණ්ඩුවක් හදල දෙන්න. මා හිතන්නෙ ඔහුටත් ඒක ඕන කියලා. ඔහුට ඕන නැති වුනත් වැඩේ අල්ලල දාන්න මා කැමති නැහැ. ඒක මගේ කැමැත්ත. ඕන නම් හේතු දෙන්න පුළුවන්. ඒත් ඒ හේතුත් හේතු රහිත නැහැ. එහි කෙළවරක් නැහැ. යමකට කැමති නැහැ කියන්නෙත් කැමැත්තක් තමයි. අපි මේ ශක්තිමත් ආණ්ඩු කතාවෙන් පටන් ගනිමු.

ශක්තිමත් ආණ්ඩුවක් වෙන්න ඉස්සෙල්ල ම මන්ත්‍රීවරුන් 113 දෙනකුවත් ඉන්න ඕන. සුළුතර ආණ්ඩු හදන්නත් පුළුවන්. ඒත් ඒවා අස්ථිරයි. කතානායකත් විරුද්ධ පක්‍ෂෙන් පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ විපක්‍ෂය එ ජා ප නිසා. විපක්‍ෂය පොහොට්ටුව හරි ශ්‍රී ල නි ප හරි විපක්‍ෂය වුනොත් සුළුතර ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න පුළුවන්. එය තර්කයක් නො වෙයි. අත්දැකීමක්. මා අර නිරික්‍ෂණය වගේ වචන පාවිච්චි කරන්න කැමති නැහැ. ඒවා අර විද්‍යාත්මක ව හිතන පඬියන්ගෙ වචන. මට නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් පමණයි. 2015 ජනවාරියෙ රනිල් පිහිටෙව්වෙ සුළුතර ආණ්ඩුවක්. ඒත් ඊනියා ඒකාබද්ධ විපක්‍ෂෙ ඒ ආණ්ඩුව වට්ටන්න කිසි දෙයක් කෙළේ නැහැ. නිකමට විශ්වාසභංග යෝජනාවකවත් ගෙනාවෙ නැහැ.ජ වි පෙ ගෙනාවෙත් නැහැ.

ඔය පඬියන්ගෙ අවිශ්වාසයට බඳුන් වන මෛත්‍රිපාල 2018 ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති කෙරුව. ඒත් ඒ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් වුනා. ඒක බහුතර ආණ්ඩුවක් කරන්ම බැසිල් රාජපක්‍ෂ කටයුතු කෙළේ නැහැ. ඔහු රිෂාඩ් බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය දුර්වල කරන්න අකමැති වුන බවයි කියැවෙන්නෙ. කොහොම හරි ජ වි පෙ දුව ගෙන ගිහිල්ල විශ්වාසභංගයක් ගෙනාවා. කතානායක නියම ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස විශ්වාසභංගෙ පිළිගත්තා. ඒ දවස්වල ස්විට්සර්ලන්ත තානාපතිත් පාර්ලිමේන්තු ආව කියල මහින්ද කියා තිබුණා.

2020 මැතිවරණෙන් පස්සෙ පොහොට්ටුව ශ්‍රී ල නි ප නැතිව තරග කරලා සුළුතර ආණ්ඩුවක් හැදුවොත් ඒකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වළක්වන්න බැරි වේවි. ඒත් දැන් “තර්කයක්” ගෙනේවි ශ්‍රී ල නි පක්‍ෂය නැතිව තරග කළත් පොහොට්ටුවට 113ක් නොවෙයි 150ක්, ඒ කියන්නෙ තුනෙන් දෙකක් ගන්න පුළුවන් කියල. පොහොට්ටුවට පළාත් පාලන ආයතන මැතිවරණයෙදි ලැබුණෙ 40%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. එදා ලැබුණු ඡන්ද මත පදනම් වෙලා දිස්ත්‍රික් විසි දෙකෙ මැතිවරණ ප්‍රතිඵල ගණනය කරල මන්ත්‍රීවරුන් කී දෙනකු පොහොට්ටුවට ලැබේවි ද කියල බලන්න. ශ්‍රී ල නි පක්‍ෂයට හා එ ජ නි සංධානයට මන්ත්‍රීවරුන් කී දෙනකු ලැබේවි ද කියල ගණනය කරල බලන්න. ඒක තර්කයක් නොවෙයි. මා කියනවට ගණනය කරල බලන්න.

අනෙක් අතට ජනාධිපතිවරණයෙදි පොහොට්ටුවට ලැබුණු ඡන්ද මත පදනම් වෙලා මහා මැතිවරණයක දි ලැබෙන මන්ත්‍රි ධුර ගණනය කරල බලන්න. එය තුනෙන් දෙකට වැඩි වෙනවා ද? අඩු වෙනවා ද? ඒ කුමක් වුවත් පොහොට්ටුවෙ හා ශ්‍රී ල නි පක්‍ෂෙ සියල්ලන් ම එක ම වේදිකාවෙ දකින කොට ඒ ලැබෙන ඡන්ද ගණන අඩුවෙයි ද වැඩිවෙයි ද? ඒක තර්කයකින්වත් ගණනය කිරීමකින්වත් කියන්න පුළුවන් දෙයක් නො වෙයි. සම්භාවිතාවකට යටත් ව තමයි යමක් කියන්න පුළුවන්. .

දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. ශක්තිමත් ආණ්ඩුවක් කියන්නෙ අඩු තරමෙ 113කවත් ආණ්ඩුවක් නම්, වඩාත් ශක්තිමත් ආණ්ඩුවක් කියන්නෙ 150 ක ආණ්ඩුවක් නම්, ඒ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ ශ්‍රී ල නි ප හා සමහර විට අර ගිවිසුම් අත්සන් කරපු පක්‍ෂ හා සංවිධාන දහහතේ තවත් පක්‍ෂත් නැතිව පොහොට්ටුව තරග කළොත් ද නැත්නම් සියල්ල එකතු වෙලා පුටුවෙන් තරග කළොත් ද? ඒක කරල ම බලන්න ඕන කියල කවුරු හරි කියන්න පුළුවන්. කරල බලන්න ගිහින් 113ත් නැති වුණොත් මොන දෙයියන්ට කියන්න ද?

මට අරය විශ්වාස නැහැ මෙයා විශ්වාස නැහැ කිය කිය ඉඳලා හරියන්නෙ නැහැ. ඇතැම් ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන්ට තර්කත් බැහැ. ඇතැමුන් කියනව ජනාධිපතිවරණෙ දි 70%ක් ඡන්ද ලැබුණෙ නැත්තෙ ශ්‍රී ල නි ප පාවාදීම් නිසා කියල. ජනාධිපතිවරණයෙදි රටෙන් ම 70%ක් පොහොට්ටුවට ලෑබුණෙ නැත්තේ මුළු රටේ ම ඉන්නෙ සිංහලයන් පමණක් නොවන නිසා. මා කාලයට ලියූ ලිපිවල මේ සියල්ල කියලා ඇති. ජනාධිපතිවරණයෙ දි සිංහලයන්ගෙ ඡන්දවලින් නම් 70%ක් පමණ ලැබිල තියෙනවා. සිංහලයන්ගෙ ඡන්ද කියන්නෙ එකක් රටේ ම ඡන්ද කියන්නෙ තවත් එකක්. සිංහලයන්ගෙ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියපු අයට මා කියන කතා විශ්වාස නැහැ. මා කී කතාවකට අනුව කොහොම හරි මෛත්‍රිපාල විසින් මහින්ද අගමැති කෙරුණා. ඒ නිසා මෛත්‍රිපාල විශ්වාස කරන්න ඕන නැහැ. මට නම් දේශපාලනඥයන් කිසිවකු විශ්වාස කරන්න බැහැ. ඒ කියල මොනව කරන්න ද? සියමෙන් කා හරි ගේනවා ද? එහෙමත් නැත්නම් වංගයෙන් ගේනවා ද? ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලනඥයකු නොවේවා යනු මගේ පැතුමයි.

පොහොට්ටුවේ උද්ධච්ඡයන් ගෝඨාභය රාජපක්‍ෂ ද සාක්‍ෂියට ගෙන අත්සන් කළ ගිවිසුම් පිළිගන්න කැමති නැහැ. ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔවුන් කියන්නේ පක්‍ෂ නායකයන් සමග අත්සන් කළ ගිවිසුම් ගැන ඔවුන් වග නොකියන බවත් ඔවුන් සැලකිලිමත් වන්නේ ජනතාව සමග අත්සන් කළ ගිවිසුමක් ගැනත්. මොකක් ද මේ ජනතාව සමග අත්සන් කළ ගිවිසුම. මේවා කාව්‍යොක්ති පමණයි. පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව පොහොට්ටුවට දුන්නේ 40%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණු ඡන්ද සියල්ල පොහොට්ටුවට ලැබුණු ඡන්ද නොවන බව පමණක් පොහොට්ටු උද්ධච්ඡයන් දන්නවා නම් ඒකවත් රටට හොඳක් වේව්.

කාලෙකට පස්සෙ තුනෙන් දෙකේ බහුතරයක් ගැනීමේ අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මට පේන විධියට පොහොට්ටුවෙ උද්ධච්ඡයන් අරය ගැන මෙයා ගැන විශ්වාසයක් නැති බව කියමින් ගෝඨාභය රාජපක්‍ෂත් අත්සන් කළ ගිවිසුම් පැත්තකට දමමින් ඒ අවස්ථාව නැති කරන්න උත්සාහ කරනවා. ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවකට තුනෙන් දෙකේ බහුතරයක් අරන් දෙන්න කැමති නැති පාටයි. ඔවුන්ගෙන් ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂා කර ගන්න ඕන. ඔවුන්ට තියෙන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ පාවා දිල හරි තම අපේක්‍ෂකත්ව, මන්ත්‍රීකම් ආරක්‍ෂා කර ගැනීමේ වුවමනාව පමණයි.

මහාචාර්ය නලින්ද සිල්වා
-කාලය වෙබ් අධවිය-

Published on: Dec 21, 2019- දැඩි මතභේදයට තුඩුදී තිබෙන ‘මහබැංකු බැඳුම්කර සිද්ධියේ’ ප්‍රධාන සැකකරුවන් දෙදේනාගෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් විසින් පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් බිලියන් 1.5ක මුදලක් ලබාදිමට කටයුතු කර තිබේන බව මේ වනවිට අනාවරණය වි ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

අර්ජුන් ඇලෝසියස් යනු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අතර ඔහු සිංගප්පූරුවේ සිට මේ වනවිට යුරෝපා රටකට මාරුවි සිටි.පසුගිය ජනාධිපතිවරණයේදි කුප්‍රකට ව්‍යාපාරිකයන් රැසක් ගෝඨාභය වෙනුවෙන් මුදල් පොම්ප කල අතර ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති,දිලිත් ජයවීර,රේනෝ සිල්වා මෙන්ම අර්ජුන් ඇලෝසියස්ද එහි ඉදිරියෙන්ම සිටි අතර හිටපු ජනාධිපති සිරිසේන සමග ගණුදෙනු සදහා ඩඩ්ලි සිරිසේන මැදිහත්විම හරහාය.

එක් එක් පුද්ගලයා සල්ලි පොම්ප කර ඇත්තේ ඔවුනොවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කර බලයට පැමිණි වහා එම ප්‍රශ්න නිරාකරණය කර දෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂගෙන් ලබා ගත් පොරොන්දු මත වන අතර ඒ අනුව අර්ජුන් ඇලෝසියස් දුන් මුදලට අනුව ඔහුගේ ඉල්ලිම් ඉටුකිරිම සදහා පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබිම සිදුකිරිමට කටයුතු කල අතර ඒ හරහා සියල්ලටම වඩා COPE කමිටුව 2007සිට 2018 දක්වා කාලසිමාව තුල මහ බැංකු බැදුම්කර සම්බන්ධයෙන් විමර්ශන කිරිම සදහා තිබු අවස්ථාවද අහිමි වි ගිය අතර එම පරීක්ෂණ සිදුකල COPE කමිටුව පවා විසිරි ගියා.ඒ සදහා පක්ෂ නායකත්වය බේරා ගැනිමේ මෙහෙයුමක නිරතවි සිටින,අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කර මහා බැංකුවට සුද්දය දිමට උදවු කල රනිල් වික්‍රමසිංහද සිටි බව නොරහසකි.

මේ පිළිබඳව තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න …

මේ වනවිට නිශ්ශංක සේනාධිපතිගේ දොළදුක සංසිදවා ගැනීම පිණිස පාඨලි චම්පික අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සාමාන්‍ය නීති ක්‍රියා පටිපාටියට පිටින් බව පාඨලි චම්පික වෙනුවෙන් පෙනි සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මාධ්‍ය වෙත කරුණු දක්වා තිබේ.

Loading…




http://lankanewsnetwork.org/archives/21831

http://lankanewsnetwork.org/archives/18010

Published on: Dec 19, 2019- කොළඹ අපරාධ කොට්ඨාසය විසින් බලහත්කාරයෙන් ඊයේ (18) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා අද (19) නියෝග කළා.

ඒ අනුව නීතිය නවන නීතිපතිවරයාගේ සහ රටට නායකත්වයක් දිමට තරම් කොන්දක් පණ නැති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ඇතැමුන්ගෙ කුමන්ත්‍රණය මේ වනවිට දියත් ව ඇති අතර රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක කාලයක් සිරගත කර තැබිම ඔහුන්ගේ උපක්‍රමය වි තිබේ.

දැනටමත් නිගමනය කර ඇති නඩුව වෙනුවට දැන් ඔවුන් නව චෝදනා මාලාවක් ඉදිරිපත් කර තිබේන අතර  කලින් කළාක් මෙන් මෝටර් රථ ගමනාගමන පනත යටතේ ඔහුට චෝදනා කිරීම වෙනුවට දැන් පොලිසිය දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක කර තිබේ. වර්තමාන චෝදනා සනාථ වුවහොත්, එවැනි වැරදි සිදුකිරීමේ ද දඩුවම  (punishment)වශයෙන් වසරක සිට අවුරුදු හතක් දක්වා ක්‍රියාත්මක කල හැක.

එය සාර්ථක වුවහොත්, කුමන්ත්‍රණකරුවන්ට පහසුවෙන්ම රණවකට ඔහුගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කර දේශපාලනයෙන් සදහටම ඉවත් කළ හැකිය. ඔවුන් දැන් භාවිතා කරන දණ්ඩ නීති සංග්‍රහයේ

113A- කුමන්ත්‍රණය
329- බරපතල තුවාල කිරිම
400-වංචා කිරීම
190-බොරු සාක්ෂී ලබා දිම
198- සාක්ෂී අතුරුදහන් කිරිම
202-ව්‍යාජ අනන්‍යතාවක් ඉදිරිපත් කිරිම
102-අනුබල දිම

යන අසත්‍ය චොදනා යටතේ චොදනා ගොණුකර තිබේ.

2016 දී රාජගිරියේදි සිදුවු ඇත්ත 

2016 දී රාජගිරියේ සිදු විය. එවකට අමාත්‍යවරයාගේ අමාත්‍යංශයට අයත් වාහනයක් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් ගමන් කළ මෝටර් පාපැදිකරුවෙකු විසින් හැප්පුනු අතර මෙම අනතුරේදී අමාත්‍යාංශයේ වාහනයේ පසුපස පැත්තට හානි සිදුවිය.

මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආර්. පොදු මාර්ගවල ගමන් කිරීම නීති විරෝධී වූ සීසී 1000 යතුරුපැදිය පැදවූ තරුණයාට 1500 / – ක දඩයක් නියම කරන ලදී.

එසේ වුවද, නික්ම යන ඇතැම් උනන්දුවක් දක්වන අංශවල මහජන විරෝධයට ප්‍රතිචාර වශයෙන්.

ඇමතිවරයා විසින්ම වාහනය පැදවූ අතර, ඔහු තම අමාත්‍යංශ බලතල තම වගකීමෙන් පැහැර හැරීම සඳහා යොදා ගත් බවටත් එල්ල වු චොදනා හේතුවෙන් එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නේය. එවැනි නියෝගයක් හේතුවෙන් රජයේ විශ්ලේෂකයින්ගේ වාර්තා කැඳවනු ලැබූ අතර ඒ අවට ඇති CCTV වාර්තා පොලිසිය විසින් එකතු කර අනතුරට ලක්වූ රියදුරු හඳුනා ගැනීම සඳහා මොරටුවා විශ්ව විද්‍යාලයට ලබාදි තිබේ. පසුව රජයේ විශ්ලේෂක වාර්තාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ. අනතුර සිදුවන විට බයිසිකල් පැදවූ පුද්ගලයා කිලෝමීටර 70 ක වේගයෙන් ගමන් කළ බවත් වාහනය ගමන් කළේ කිලෝමීටර 17 ක වේගයෙන් බවත් වාර්තාවේ සඳහන් වේ.

මෝටර් රථ ගමනාගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෝටර් සයිකල් පැදවූ තැනැත්තා වැරදිකරු බව මහේස්ත්‍රාත්වරයා නිගමනය කල නමුත් හිටපු අමාත්‍යවරයාගේ රියැදුරාට දායකත්ව නොසැලකිලිමත්කමකින් තොරව ඔහු නිදහස් කළේය.

නමුත් දැන් පොලීසිය මහේස්ත්‍රාත්වරයාට දන්වා ඇත්තේ රු. 950,000 ක් අනතුරට ලක්වීම හේතුවෙන් රජයේ වාහනයට (පොදු දේපල) සිදුවී ඇති බවත්  එබැවින් ඔහුගේ අනන්‍යතාවය ව්‍යාජ ලෙස සකස් කළ හිටපු ඇමතිවරයාගෙන් පාඩුව අය කර ගත යුතු බවත් ය.

ආණ්ඩු වෙනස් වීමෙන් පසු, වර්තමාන රජය ඔවුන්ගේ බරපතල විරුද්ධවාදීන් ලෙස සලකන චම්පිකා රණවකට ගොදුරු වීමෙන් දේශපාලන වාසියක් අත්කර ගැනීම සඳහා අවසන් වරට උසාවි නඩුව උඩු යටිකුරු කර ඇති බව ඉතා පැහැදිලිය.

Published on: Dec 18, 2019- කොළඹ අපරාධ කොට්ඨාසය විසින් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා නියෝග කර සිටියා.

අද රාත්‍රී 10.30 ට පමණ මෙම නඩුව අධිකරණය හමුවේ කැඳනු ලැබු අතර එහිදි එම තින්දුව ලබාදි තිබේ.හෙට උදෑසන 9.30ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

පාඨලි චම්පක රණවක බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේ මහා සංඝරත්නය ද අධිකරණය ඉදිරියට වැඩම කර සිටි අතර උන්වහන්සේලා පිරිත් දේශනාකරමින් රක්ෂිත බන්ධනාගාරයට ගෙන යන හිටපු අමාත්‍යවරයාට සෙත් පතනු ලැබුවා.

මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ තත්ත්වය විමසිම සදහා සජිත් ප්‍රේමදාස මෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් පැමිණ සිටි බව කොළඹ අප විශේෂ වාර්තාකරු සදහන් කලා.

මිට අමතරව චම්පික රණවක අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන යාමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුවූ බත්තරමුල්ලේ පිහිටි නිවස වෙත හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණ කරුණු විමසා බැලිමට කටයුතු කර තිබේ.

Published on: Dec 18, 2019- බලහත්කාරයෙන් අත්තඩංගුවට ගත් ජාතික හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හිරකර ගැනිම සදහා බොරූ චොදනා රැසක් මේ වනවිට ගොනුකර තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කලා.ඒ අනුව

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට දණ්ඩ නිති සංග්‍රහයේ යටතේ පහත සඳහන් වැරදි ගොනු තිබේ.

113A- කුමන්ත්‍රණය
329- බරපතල තුවාල කිරිම
400-වංචා කිරීම
190-බොරු සාක්ෂී ලබා දිම
198- සාක්ෂී අතුරුදහන් කිරිම
202-ව්‍යාජ අනන්‍යතාවක් ඉදිරිපත් කිරිම
102-අනුබල දිම

යන අසත්‍ය චොදනා යටතේ චොදනා ගොණුකර කිරිමට මේ වනවිට කටයුතු කරමින් සිටි.මේ වනවිට හිටපු අමාත්‍යවරයාගෙන් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව කට උත්තරයක් ලබාගෙන තිබේන අතර  තවත් ස්වල්ප වෙළාවකින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Published on: Dec 18, 2019 – 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රී පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ දි හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක රථයේ මහමාර්ගයේ ධාවනයට තහනම් එන්ජින් ධාරිතාවයකින් යුතු මෝටර් බයිසිකලයක් ගැටීම හේතුවෙන් තුවාල ලැබු සන්දීප් නම් තරුණයාගේ සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය චම්පික රණවක කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත් අඩංගුවට ගැනිම සදහා පිළිපැදිය යුතු අවම නීතිමය ක්‍රමවේදයන් පවා මේහිදි සැලකිල්ලට ගෙන තිබුනේ නෑ.

පසුගිය ජනාධිපතිවරන සමයේ චමිපික අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා බවට පොහොට්ටුවේ චම්පික විරෝධී හොරූන් විසින් කල අනාවරණයට අනුව මෙම අත් අඩංගුවට ගැනිම සිදුවඇති අතර ඒය පැහැදිලිව දේශපාලන පලීගැනිමකි.

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවත් නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා වන බවද වාර්තා වේ.

චම්පික රණවකගේ රියදුරු එම්. දිලුම් තුසිත කුමාර යන අයගේ බිරිඳ, වයස අවුරුදු එකහමාරක් වන කුඩා දියණිය හා දෙමාපියන් පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු කණ්ඩායමක් විසින් පසුගියදා නිවසට පැමිණ බලහත්කාරයෙන් අත්තඩංගුවට ගෙන රැගෙන ගිය අතර පසුව බත්තරමුල්ල ප්‍රදේශයේ රදවාගෙන සිටිය අතර ඒ සම්බන්ධයෙන් නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දැක්වු අතර අධිකරණ නියෝගයක් නොමැතිව අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද නමැති නිලධාරියෙකු ප්‍රමුඛ කණ්ඩායමට විනිසුරුවරයා විසින් අවවාදද කර සිටියා.

මේ අතර නීතිවිරෝධිව අත්තඩංගුවට ගෙන බලහත්කාරයෙන් පැය 12 කට අධික ප්‍රමාණයක් රඳවා ගැනීම ට එරෙහිව හිටපු අමාත්‍ය පාඨලි චම්පික ගේ රියැදුගේ පවුලේ ඥාතීන් විසින් මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරිමටද කටයුතු කර තිබේ.

දිගින් දිගටම අප අනාවරණය කල පරිදිම රනිල්ලා,මහින්දලා සහ ගෝඨාභයලාගෙ ඩීල් වලින් ලංකාවේ මහා හොරකම ලෙස සාක්ෂී ද තිබේන බැදුම්කර හොරුන් නිදැල්ලේ සිටියදි ඒ සදහා පාර්ලිමේන්තුව පවා කල්දමා තිබියදි ජාතික නායකත්වයට අනතුරක් ලෙස පෙනෙන චම්පිකව කොටු කර ගැනිමට පොරකන්නේ පැහැදිලි ලෙසම දේශපාලන පලිගැනිමකි.

දප්පුලගේ කුලප්පුව…..

දිගින් දිගටම ගෝඨාභය ඇතුලු රාජපක්ෂලා ආරක්ෂා කර ගැනිමට මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත කටයුතු කල නීතිපති ලීවේරා සිරිසේන ජනාධිපතිවරයාගේ සුවච කීකරු ගෝලයෙකු බව අවස්ථා ගණනාවකදි තහවුරු කල අයෙකුද වනවා. මේ වනවිට රාජපක්ෂලාගේ හොදහිත දිනා ගැනිමේ මෙහෙයුමක නිරත ලීවේරා මේ උත්සහ කරන්නේ ගෝඨාවද ගොනාට ඇන්දවිම සදහාය ඒ සදහා නීතිය අවනීතිය බවට පත්කිරිමේ මෙහෙයුමක නීතිපතිවරයා මේ වනවිට යේදි සිටි.

http://lankanewsnetwork.org/archives/22016

Published on: Dec 18, 2019- අද ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව දුර්වල කෙරෙන ක්‍රියාවක් පැතිර යනවා. මෙයට බැසිල් සම්බන්ධයි. එහෙත් ඔහු රටේ නැති බවයි ආරංචිය. මේ ක්‍රියාව අනෙකක් නොව මැතිවරණයේ දී පොහොට්ටුවෙන් තරග කිරීමට කෙරෙන ඉල්ලීමයි. මෙය භයානක වැඩක් බව බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඒ ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතා මත ප්‍රසිද්ධ වේදිකාවල පොහොට්ටුවෙන් තරග කළ යුතු බව කියැවෙනවා. මේ ගැන මහින්ද මොකද කියන්නෙ.

අද ජාතික ව්‍යාපාරයේ ඉන්න අනෙක් අයගේ මත ප්‍රකාශ කරන භවතකුට අනුව ශ්‍රී ල නි පක්‍ෂය ඉවර කරන්න ඕන. ඔහු එක් එක් දින එක් එක් මත ප්‍රකාශ කරනවා. ශ්‍රී ල නි පක්‍ෂයට හිසක් තිබුණා. එය කවන්ධයක් නො වෙයි. එය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය ලෙස 1952න් පසුව පෙළ ගැසුණා. ජාතිකත්වයක් ඇති පක්‍ෂයක් කවන්ධයක් නො වෙයි. ඊනියා ගැමි උගත් තරුණයන්ගෙන් ජාතිකත්වයක් බලාපොරොත්තු වූ අයකුට නම් හිසක් තිබේ ද කියා ප්‍රශ්න කරන්න පුළුවන්.

අද ලෝකයේ ජාතිකවාදී පක්‍ෂ ජයග්‍රහණය කරනවා. මා ඊයේත් පෙරේදාත් එංගලන්තය සම්බන්ධයෙන් ඒ බව ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බිරිතානි අගමැති ජොන්සන්ට සුබ පැතුම් පණිවුඩයක් යවමින් කියා ඇත්තේත් දේශීයත්වය මත පදනම් වූ පාලනයකට ඇති නැඹුරුතාව ගැනයි. අප ඒ සුබ පැතුම අගය කරන්න ඕන. එහෙත් එංගලන්තයේ ඊනියා ජාත්‍යන්තරවාදීන් ජොන්සන්ට විරුද්ධ ව පෙළපාලි ගිහින්. ඔවුන් ජොන්සන් අගමැති ලෙස පිළිගන්නෙ නැතිලු. ඒක ඔවුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න ඇති. නරක ද කෝබින්ට කිවුව නම් සුළුතර ආණ්ඩුවක් පිහිටුවන්න ඉදිරිපත් වෙන්න කියල.

මා ඊයේත් කිවුවෙ සාමාන්‍යයෙන් ජාතිකවාදය දක්‍ෂිණාංශික දේශපාලන පක්‍ෂ මගින් ඇති වන්නක් කියල. මා එහි දී කිව යුතුව තිබුණා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැණෙන රටවල කියලා. චීනය රුසියාව වැනි රටවල ජාතිකත්ව පක්‍ෂ වන්නේ දක්‍ෂිණාංශික පක්‍ෂ නො වෙයි. ශ්‍රී ල නි පක්‍ෂයත් දක්‍ෂිණාංශික පක්‍ෂයක් නො වෙයි. එය ජාතිකත්ව පක්‍ෂයක් වූයේ වමට බර ලිබරල් පක්‍ෂයක් ලෙස සිටිමිනුයි.

ශ්‍රී ල නි පක්‍ෂය 2015 බරපතළ වරදක් කළා. ඒ එහි ලේකම් එ ජා පක්‍ෂයට තල්ලු කිරීමෙන්. එසේ තල්ලු කිරීම පිළිබඳ ප්‍රධාන වශයෙන් ම බැසිල් වග කියන්න ඕන. මා ඒ බව කිහිප වතාවක් කියා ඇති. මෙරට ජනයා ප්‍රතිචාර දක්වන්නේ ක්‍රියාවට නොව ප්‍රතික්‍රියාවට. ක්‍රියාව මෛත්‍රිපාල යැවීමට කටයුතු කිරීම. ප්‍රතික්‍රියාව එසේ යෑම. ජනතාව බලන්නේ යෑම මිස යැමට සැලැස්සීම නො වෙයි.

මෛත්‍රිපාල එසේ ගොස් ජනාධිපති වීම තදබල වරදක්. ඔහු ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමට කටයුතු කළා. ශ්‍රී ල නි පක්‍ෂයට දක්‍ෂිණාංශික එ ජා ප සමග කිසිම සම්බන්ධයක් තිබිය යුතු නැහැ. එහෙත් එසේ මරා දැමුණු පක්‍ෂය යළි උපදවන්න පිරිසක් කටයුතු කළා. එසේ නොකර රනිල් ඉවත් කරන්න බැරි බව අප තේරුම් ගත්තා. 2015 නුගේගොඩ රැස්වීමටත් කලින් ජාතික බලය කියන සංවිධානය මහින්ද නැති රට යන තේමාවෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කළා.

රනිල් ඉවත් කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට අප මුහුණ දුන්නා. එය කළ හැකි ව තිබුණේ මෛත්‍රිපාලට පමණයි. ඒ සඳහා මහින්ද මෛත්‍රිපලට ශක්තිය ලබා දිය යුතු බව අප කියා සිටියා. අපහාස මැද ගෙන ගිය ඒ සටන කෙළවර වූයේ 2018 ඔක්තෝම්බර 26 මහින්ද අගමැති කිරීමෙන්. එයට බටහිර බලවේග විරුද්ධ වුණා. පාර්ලිමේන්තුවේ ගැලරියේ සිට බටහිර තානාපතිවරුන් නැටූ නාඩගම අප හොඳාකාරව දැක්කා. මහින්ද දැන් කියන විධියට ස්විට්සර්ලන්ත තානාපතිත් එදා මහින්ද අගමැති කිරීමට විරුද්ධ වූ අයෙක්. ඔවුන් ගෝඨාභය ජනාධිපති වීමට විරුද්ධ වීම පුදුමයක් නො වෙයි.

එදා ඔක්තෝම්බර් ආණ්ඩුව පවත්වා ගෙන යන්න බැසිල් උපකාර කෙළේ නැහැ. ඉන් පසු අප මතවාදයක් සකස් කෙළේ ශ්‍රී ල නි පක්‍ෂය හා පොහොට්ටුව හා අනෙක් පක්‍ෂ සමග සංධානයක් ඇති කරන්න. අපට ජනමාධ්‍ය සහායක් නැති නිසා ඒ උත්සාහය ජනතාවට නොපෙනෙන්න ඇති. එහෙත් අවසානයේ දී අපේ උත්සාහය ජයගත්තා. පසුගිය දා ශ්‍රී ල නි ප පොහොට්ටුව ඇතුළු පක්‍ෂ හා සංවිධාන දහතතක් ගෝඨාභය රාජපක්‍ෂගේ සභාපතිත්වයෙන් ගිවිසුමක් මගින් ශ්‍රි ලංකා නිදහස් පොදුජන සංධානය තනා ගත්තා. ඒ ගිවිසුමෙහි අනෙක් අංගය වූයේ ගෝඨාභය රාජපක්‍ෂ පොහොට්ටුවෙන් ජනාධිපති ධුරයට තරග කිරීමයි. ඒ ගිවිසුම් දෙකක් නොව එක ම ගිවිසුමක පැති කඩ දෙකක්. එකක් පිළිගෙන ඒ මත ක්‍රියාත්මක වී අනෙක ක්‍රියාත්මක නොකර ඉන්න බැහැ. අද ඇතැම් පොහොට්ටු අමෙතිවරු මන්ත්‍රීවරු කතා කරන්නේ සංධානයක් නැති විධියට.

ඔවුන් හිතා ගෙන ඉන්නවා නම් පොහොට්ටුවෙන් ඉල්ලා දිනිය හැකිය කියා ඒ “මිථ්‍යාවක්”. පළාත් පාලන මැතිවරණයේ දී ඔවුන්ට ලැබුණේ 40%ක ඡන්ද ප්‍රමාණයක්. මහා මැතිවරණය ජය ගැනීමට ඒ ප්‍රමාණවත් නැහැ. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂ හා එ ජ නි ස ඡන්දත් එකතු කළොත් එය 56%ක් පමණ වේවි. ඒ සමගිය මත උත්සාහ කළොත් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න පුළුවන් වේවි. එහෙත් ශ්‍රී ල නි ප නැතිව තරග කළහොත් 113 ගැනීමත් අසීරු කටයුත්තක්. එහෙම වුනොත් ආණ්ඩුවක් හදන්න ශ්‍රී ල නි ප සහාය ඉල්ලනවා ද? ඇතැම් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ශ්‍රී ල නි ප සහාය ලබා ගත්බව ඇතැම් පොහොට්ටු උද්ධච්ඡයනට අමතක වෙනවා.

ගෝඨාභයට සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් බව කියා ඒ පිළිබඳ උනන්දුවක් දැක්වීමට අප කටයුතු කළා. ඒ වෙනත් අය අසිංහල ඡන්ද ගැනීමට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරද්දී.

පොහොට්ටුව හා ශ්‍රී ල නි ප එකතු වීමෙන් 70%ක් රටෙන් ලබා ගන්න බැහැ. හැම ව්‍යාපාරිකයකුට ම අංක ගණිතය පුළුවන් කියා හිතන්න බැහැ. අප ජනාධිපතිවරණයෙන් පසු පෙන්නා දුනේනේ සිංහල ජනතාව 70%ක් පමණ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීමට ඡන්දය දී ඇති බවයි. රටෙන් ම ගත් විට එය 52.25%ක් වුනා. පෞද්ගලික කෝන්තර මත ජනාධිපතිවරණයේ් දී ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කියා වේදිකාවෙන් එළවා ඡන්ද අඩු කර ගත් ව්‍යාපාරිකයන්ට අප සවන් දිය යුතු නැහැ. එසේ නොවන්නට එය 56%ක් වීමට තිබුණා.

මේ අතර මට තවත් භයානක ආරංචියක් දැන ගැනීමට ලැබුණා. එක්තරා ප්‍රාදේශීය වාර්තාකරුවකු දේශපාලනඥයන් ළඟට ගොස් දැන් රැල්ල තියෙන්නේ පොහොට්ටවුට බව කියමින් තරග කළ යුත්තේ පොහොට්ටුවෙන් බවට ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කරනවා. මේ වාර්තාකරුවන්ට අවශ්‍ය තම ප්‍රවෘත්තිය පළ කර ගෙන කියක් හරි උපයා ගැනීම ද? නැත්නම් ගෝඨභය ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට ඉඩ නොතැබීම ද?

අද ගෝඨාභය රාජපක්‍ෂට සම්පුර්ණ සහාය දෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය මිස පොහොට්ටුව නොවෙයි. පොහොට්ටුවේ ඇතැමුන් ගෝඨාභය ආණ්ඩුව තුනෙන් දෙකක් ලබා ගැනීම වළක්වනවා. ශ්‍රී ල නි පක්‍ෂය නැවතත් තම ජාතිකත්ව භූමිකාව අරඹලා. පොහොට්ටුව තවමත් පක්‍ෂයක් ලෙස ජාතිකත්වයට පැමිණ නැහැ. මේ අවස්ථාවේ දී කළ යුත්තේ ශ්‍රී ල නි ප ඉවර කිරීම නොව ශක්තිමත් කිරීමයි.

උපුටා ගැන්ම -මහාචාර්ය නලින්ද සිල්වාගේ කාළය බ්ලොග් අඩවිය

Published on: Dec 18, 2019- රාජගිරිය නාවල පල්ලිය පාරේ පිහිටි සදහම් ආශ්‍රමයේ වැඩවසන ලවුඩ්ස්පීකර හාමුදුරුවෝ ලෙස ප්‍රසිද්ධ චන්ද්‍රාලෝක හිමියන් සමග හිටපු හමුදාපති දයා රත්නායක අතර බහින්බස් විමක් දුරදිග ගොස් ස්වාමින්වහන්සේ  හිටපු හමුදාපතිවරයාට බැණවැදි තිබේ.

දයා රත්නායක මෙන්ම හමුදා ප්‍රධානින් රැසක් සහ දේශපාලනඥයන් නිරන්තරයෙන් සදහම් ආශ්‍රමයට යන එන අතර චන්ද්‍රාලෝක හිමියන්ට ඇති අමුතුම බලය (දිෂ්ටිය/අරූඩවිම) හේතුවෙන් එම අවස්ථාවේ උන්වහන්සේ පවසන දේ කිරිගහට ඇන්නා සේ හරි යැම මෙම ප්‍රසිද්ධියට හේතුව වි තිබේ. නමුත් සාමාන්‍ය ජනතාවට මෙම ස්ථානයට පැමිණිමට අවස්ථාවක් නොමැති අතර ලංකාවේ ප්‍රබල ගණයේ ව්‍යාපාරිකයන් මෙන්ම ඉහල පාන්තික පිරිස් මෙම ස්ථානයට පැමිණෙන්නේ විවිධ ආශීර්වාද පුජාවන් පැවැත්විමටයි.

සර්වෝදය සභාපති වෛද්‍ය වින්යා ආරියරත්නගේ ජාතික ජනතා පක්ෂය යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට සුදානම් විම හේතුවෙන් ගෝඨාභයගේ හමුදා ලැයිස්තුවේන් කැපි පැත්තකට වැටි සිටි හිටපු හමුදාපති, ජනරාල් දයා රත්නායක ආපහු හිමිට ගෝඨාට ලංවිම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් පත්විමක් ලබා ගැනිමට සමත් වු අතර ඒ සදහා දින 7ක කාලයක් අලුයම විශේෂ පුජාවක් පැවැත්වු අතර වැඩේ හරියෑමේ ප්‍රීතිය නිමිත්තෙන් පෙරේදා අලුයම ආශිර්වාද පුජාව පවත්වා ඇති අතර ඒ අවස්ථාවට තවත් ප්‍රබල ව්‍යාපාරික පවුල් කිහිපයක සාමාජිකයන්ද එක්ව තිබේ.

පුජාව අතරතුර චන්ද්‍රාලෝක හිමියන් ආරූඪයට පත්ව ඇති අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පවතින් ආණ්ඩුව වැඩි දුරක් යන්නෙ නැති බවත් මේ ලැබෙන තනතුරු ඉතාම කෙටි කාලයකින් අවසන් වනු ඇති බව කියමින් දිගින් දිගටම ආරූඪයෙන් ආණ්ඩුවේ පැවැත්ම අස්ථිර බව පෙන්වා දි තිබේ.ජාත්‍යන්තරව ශ්‍රි ලංකා ආණ්ඩුව මෙන්ම රණවිරුවන් අපකීර්තියට පත්වන බවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ආයු කාලයද එතරම් දීර්ඝ නැති බවද පවසා තිබේ.

ඒ සමගම දැඩි ලෙස කොපයට පත්වු හිටපු හමුදාපතිවරයා පවුලේ සමාජිකයන් සමග එම ස්ථානයෙන් ඉවත්ව පැමිණ ඇති අතර පසුව දුරකථනයෙන් ස්වාමින්වහන්සේ අමතා බැණ වැදි ඇත්තේ “මොනවාද් හමුදුරුවනේ මෙ කියන කතා මගේ පටී රෝල් වුනා.. එතනට ආපු එවුන් ඔවා ගිහින් කියන්නේ මම කරපු දේවල් වගේ ” යනුවෙනි.ඒ සමගම ස්වාමින්වහන්සේද හිටපු හමුදාපතිවරයාට බැණ බැදි අතර “ඔයාගේ පටී රොල් උනාට මට කරන්න දෙයක් නෑ මහත්තයෝ … මම කියන්නේ ට පේන දේ ” යනුවෙන් පැවසු බවයි උන්වහන්සේගේ සමිපතම ගෝළ හිමියන් සදහන් කළේ.

ගෝඨාභය ජනාධිපති වන බව,සජිත්ට අපේක්ෂකත්වය ලැබෙන නමුත් පරදින බවත්,එජාප නායකත්වය කාට ලැබුනද එය කෙටි කාලයකින් අහිමි වන බව මෙන්ම 2015 ජනවාරි 10 වැනිදා ප්‍රසිද්ධියේ කී අනාවැකිය වුයේ රනිල් අගමැති ධුරයේ නිසි කාලය කිසිවිටෙකත් සම්පූර්ණ නොකරන බවද උන්වහන්සේ කී ප්‍රබල අනාවැකි වේ.

රාජපක්ෂලාගේ සුවච කීකරු අගවිනිසුරුවරයා ලෙස කටයුතු කල සරත් එන් සිල්වා සමග පන්සලේ ස්පීකර් ශබ්දය සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකර ගත් එම හිමියන් අධිකරණය හමුවේ නඩුවක් පවා ගෝනු කිරිමට කටයුතු කිරිම හෙතුවෙන් ලවුඩ්ස්පීකර හාමුදුරුවෝ යනුවෙන් උන්වහන්සේ ප්‍රසිද්ධිය පත්විය.

Published on: Dec 17, 2019

2019 ක් වූ දෙසැම්බර් මස 16 දින දී ය
ටී. එම්.බී. එම්. පී. තෙන්නකෝන්
අංක 322, ස්වර්ණමාලි,
වැල්ලෑව, පොල්ගහවෙල’
කොමසාරිස්තුමා,
මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.
කොමසාරිස්තුමනි,

දේශපාලන මතය මත වෙනස් කොට සැලකීම හා ජීවිතයට ඇති තර්ජනය පිළිබද සාධාරණයක් ඉල්ලා සිටීම,

1. අංක 322 ස්වර්ණමාලි වැල්ලෑව පොල්ගහවෙල ලිපිනයේ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ භාරත මාලින්ද ප්‍රභාෂණ තෙන්නකෝන් වන මා මාධ්‍ය වෘත්තිකයෙකු වන අතර නීතිවේදී උපාධිදාරියෙකි. එසේම දීර්ඝ කාලීන දේශපාලන ක්‍රියාදරයෙකි.

මේ වන විට මහජන බැංකුවේ මාධ්‍ය කළමණාකරු ලෙස ස්ථීර සේවයේ නියැලී සිටින මා ඉන් පූර්ණ කාලීනව නිදහස් වී 2018 මැයි මස 30 වැනිදා සිට 2019 නොවැම්බර් 22 වැනිදා දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්ය මණ්ඩලයේ ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළෙමි. ඊට පෙර මාධ්‍ය ආයතන හා වෙනත් ආයතන ගණනාවකම මාධ්‍ය සම්බන්ධ රැකියාවන්හි නියැලී සිටි මා, වසර දහ තුනක පමණ කාලයක් ලිපි රචකයකු, තීරු ලිපි රචකයකු, පූරකයෙකු හා වැඩසටහන් හා ප්‍රවෘත්ති නිෂ්පාදකයකු ලෙස අඛණ්ඩව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලමෙින් සිටිමි.

2. 2019 නොවැම්බර් 16 වැනිදා මෙරට පැවැත්වූ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාල ඡන්ද විමසීමේ මැතිවරණයේ දී, මෙරට පුරවැසියකු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් මා වෙත හිමි වී ඇති මූලික අයිතිවාසිකමක් වන කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතිය අනුව, නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ සහාය දැක්වීමි.

එහිදී මා ගරු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රචාරණ ව්‍යාපාරයට ඍජුව සම්බන්ධ වෙමින්, ඩිජිටල් මාධ්‍ය කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් ද තරුණ හා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්වල කතිකයකු ලෙස කටයුතු කරමින් ද සමාජ මාධ්‍ය සදහා ලිපි සකස් කරමින් ද මාධ්‍ය සාකච්ඡා සංවිධාන කරමින් ද රූපවාහිනී වැඩසටහන් පූරකයකු ලෙස කටයුතු කරමින් ද මත හා අදහස් නිර්පාකයකු ලෙස ද මාගේ දායකත්වය ලබා දුන්නෙමි.

මැතිවරණය අවසානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් ජනාධිපතිධුරයට පත් වීය.

3. ජනාධිපතිවරණය අවසන් වීමෙන් සති තුනකට පසු, එනම් 2019 දෙසැම්බර් මස 11 වැනිදා සිංහලේ නම් ස්වයං ප්‍රකාශිත ජාතික සංවිධානයක් විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් පුද්ගලිකව මාගේ ජීවිතයට, ජීවත් වීමේ අයිතියට, පුරවැසියකු ලෙස කැමති තැනක වාසය කිරීමේ අයිතියට, කැමති රැකියාවක් කිරීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට, සිතීමේ නිදහසට හා කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතියට දැඩි බලපෑමක් එල්ල කරමින් මා කෙරෙහි සමාජ වෛරය ඇති කිරීමේ, මා කෘෘර හා අවමන් සහගත සැලකීමකට පෙළඹවීමට සමත් හා මට විරුද්ධව අපරාධමය කටයුත්තක් සිදු කිරීමට යමෙක් පෙළඹවිය හැකි ආකාරයේ අදහස් දැක්වීමක් සිදු කරනු ලැබීය.
එකි අදහස් දැක්වීමට පදනම් වී තිබුණේ කිසිදු සත්‍යතාවක්, පදනමක් හෝ හරයාත්මක ගැලපීමක් නොමැති කරුණකි. ඔවුන්ගේ අදහස වූයේ ඔවුන් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් පසු එම කරුණු අනාවරණ කරගත් බවයි.

කෙසේ නමුත්, එවැනි සංවිධානයකට නීතිමය වටිනාකමක් ගෙන දෙන හෝ ප්‍රත්‍යක්ෂ සත්‍යයක් යැයි කියා සිටිය හැකි නිගමනයක් ඉදිරිපත් කළ හැකි මට්ටමේ පරීක්ෂණ සිදු කිරීමට ඇති නීතිමය හෝ අධිකාරීමය බලය කුමක්දැයි ප්‍රශ්න සහගතය. බැලූ බැල්මටම පෙනී යන්නේ එම ප්‍රකාශය කිසි පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිදු කරන්නක් නොව, හුදෙක්ම සිය දේශපාලන පසමිතුරකු වන්චනික ලෙස වරදක පටලා අත්තඩංගුවට පත් කර සිර කර පීඩනයට ලක් කිරීමේ කූඨ වුවමනාව මතම පමණක් සිදු කරන්නක් බවයි.

මාගේ ඒ විනිශ්චය තවදුරටත් සනාථ කරනුයේ, අදාල සංවිධානය එනම් සිංහලේ සංවිධානය වර්තමාන ජනාධිපතිවරයාට ඉතාම සමීපතාවක් දක්වන සංවිධානයක් වීම නිසාය.

4. එහිදී සිංහලේ නම් සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් භික්ෂුවක් වන මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි හා ප්‍රදීප් සංජීය නැමැත්තෙකු කියා සිටියේ, මා මෙරට සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් අදාල සිදු වීමට පෙර කරුණු දැන සිට ඇති බවයි. එසේම, ඊට අදාලව මා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බවත් කියා සිටියේය. තොරතුරු දැන අනාවරණ නොකිරීමේ චෝදනාව මත මා කෙරෙහි මිනිමැරීමේ චෝදනාව ආරෝපණය කළ යුතු බවද කියා සිටියි. මේ වන විටත් අත්අඩංගුවේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ද ආරෝපණය කර ඇත්තේ එකී වරදමය. මෙම කරුණුම පවසමින් වැඩ බලන පොලිස්පතිවරයා මගින් ත්‍රස්තවාදය විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
එකී මාධ්‍ය සාකච්ඡාව ආසියානු මාධ්‍ය ජාලයට අයත් හිරු ටීවී නාලිකාව 2019-12-11 දින පැය 1855 හා පැය 2155 යන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වලදී විකාශය කළේය. එම සත්‍ය නොවූ උපකල්පන මත පිහිටා කළ ප්‍රකාශය ප්‍රවෘත්තියක් ලෙස විකාශය වීමෙන් පසු එය පුද්ගලයින් තුළ මා කෙරෙහි කෝපයත් වෛරයත් ඇති කළ මගේ ජීවිතයට අවධානමක් ඇති කරන්නට තරම් ප්‍රබල විය.

5. එම අසත්‍ය හා පදනම් විරහිත චෝදනාවට පදනම් කරගෙන තිබුණේ 2019 අප්‍රේල් මාසයේ වෙනත් රටක සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් මා දැරූ පසු අදහසකි. එය නිරීක්ෂණික නිගමනයකි. සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලික නිගමනික මට්ටමේ අදහස් පලකිරීමේ මාධ්‍ය වෘත්තිකයින් විසින් නිරන්තරයෙන් සිදු කරන්නකි. එම සිදුවීමට අදාලව මා මෙන්ම ලෝකයේ බොහෝ මාධ්‍ය වෘත්තිකයින් ද ඒ සමාන අදහසක් දරා තිබිණි. ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් ඒ ඒ වෘත්තීන්වල නියැලෙන පුද්ගලයින්ගේ මත හා අදහස් ගෝලීයව ඉහළ අගයක් සහිතව පිළිගැනීමට ලක්වේ. ඒවා කිසි විටක අධිකරණ හමුවේ ප්‍රශ්නගත නොකරයි. නිදසුනක් ලෙස, නීතිවේදීන්ට නීතිය සම්බන්ධයෙන් ඇති ධනාත්මක විවේචන නීතිවේදීන්ගේ මත ලෙස සැලකෙනවා විනා අධිකරණයට අපහාස කිරීම මත කටයුතු නොකෙරේ. මාධ්‍යෙව්දීන්ද යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් දක්වන අදහස් සැලකෙනුයේ එලෙසමය.

කෙසේනමුත්, මාගේ අදාල විෂයගත ප්‍රකාශය (ෆේස්බුක් ස්ටේටස්) හා මෙරට සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හා සම්බන්ධයක් ඇති දැයි 2019 මැයි / ජූනි මාස වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා, එකී විෂයගත ප්‍රකාශය හා සිද්ධිය යනු දෙකක් මිස එකක් නොවන බව වටහා ගැනීමෙන් හා සොයා ගැනීමෙන් පසු අදාල ගොනුව අවසන් කර තිබේ. ඒ සදහා පැය පහක පමණ දීර්ඝ ප්‍රකාශයක් මා වෙතින් ලබා ගත් අතර මාගේ දුරකතන හා වෙනත් තාක්ෂණික උපකරණ සම්බන්ධයෙන් පූර්ණ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කරනු ලැබීය. මා කෙරෙහි කිසි සැකයක් හෝ ආරෝපණය නොකර ගොනුව අවසන් කරන්නේ ඉන් පසුවය.

6. සිංහලේ නම් සංවිධානය විසින් අවසන් කරනු ලැබූ කටයුත්තක් සම්බන්ධයෙන් ජනාධිපතිවරණය අවසන් වූ පසු හදිසියේම පදනම් විරහිත ලෙස චෝදනා එල්ල කරනුයේ එවැනි පසුබිමකය. අදාල සංවිධානය අවසන් වූ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ, දීර්ඝ කාලයක් තිස්සේ රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහාය හා ආශිර්වාදය මැද හැදී වැඩුණු සංවිධානයකි. ඉතිහාසය පුරාම රාජපක්ෂවරුන් ප්‍රශ්න කරන කණ්ඩායම් හෝ පුද්ගලයින් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ සංවිධානයකි.

තවද, වර්තමාන අමාත්‍යවරයකු වන විමල් වීරවංශ මහතාගේ සමීපතමයින් වන අදාල සංවිධාන සාමාජිකයින් සදහා විමල් වීරවංශ මහතා විසින් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනු දක්නට ලැබේ. සංශිප්තව කියන්නේ නම් සිංහලේ සංවිධානය යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට අනුබද්ධිත සංවිධානයකි.

7. මා ඉලක්ක කර මෙවැනි කුමන්ත්‍රණකාරී වැඩපිළිවලක් දියත් කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වූ පසුව ද ඔහුගේ ප්‍රතිපත්ති, වැඩපිළිවල හා ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපයන් පිළිබද විවේචන එල්ල කළ යුතු තැන්වලදී අඛණ්ඩව විවේචනය කරමින් සිටීම නිසා බැව් වැටහේ. මට පමණක් නොව, එලෙස අඛණ්ඩ විචාරයේ නියැලෙන සියලු දෙනා පාහේ විවිධ ස්වරූපයන්ගෙන් හීලෑ කිරීමට ඔවුහු කුමන්ත්‍රණය කරමින් සිටිති.

මෙම සංවිධානය මා ඉලක්ක කරමින් මෙලෙස අභූත චෝදනා නගමින් මා වෛරීසහගත ලෙස අත්තඩංගුවට ගෙන මා කෙරෙහි මිනී මැරීමේ වරද ආරෝපණය කළ යුතු යැයි පවසන්නේ දේශපාලන විරුද්ධවාදීන් බිය ගැන්වීමේ රාජපක්ෂවරුන්ගේ උවමනාව සාක්ෂාත් කිරීම පිණිස බව පෙණේ. එමගින්, වත්මන් ජනාධිපතිවරයා හා ආණ්ඩුව සම්බන්ධයෙන් මා හෝ වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත් කරන විරෝධය හෝ විවේචන සම්පූර්ණයෙන්ම පාහේ නවතා ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ සදහා සමාජයීය වශයෙන් බලපෑමක් කළ හැකි ශක්‍යතාවක් ඇති පුද්ගලයින් අසත්‍ය හා පදනම් විරහිත නඩුහබ වල හෝ වෙනත් අර්බුදවල පටලවා වෙහෙස ගැන්වීම වඩාත් සුදුසු බව ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.

8. එකී පුද්ගලයින්ගේ මෙකී තර්ජනාත්මක හැසිරීම හේතුවෙන් ගැබිණියක් වන මාගේ බිරිද මහත් කම්පාවට හා පීඩාවට පත්ව තිබේ. එසේම, ඇගේ ජීවිතයට ද නූපන් දරුවාගේ ජීවිතයට ද විශාල තර්ජනයක් එල්ල වී තිබේ. බිරිදට රැකියාව කිරීමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ. ඇය වෘත්තීමය සීමාව තුළින් පීඩාකාරීභාවයට ලක් කරමින් සිටියි. එම පීඩාව දරා ගැනීමට නොහැකි මගේ බිරිද මේ වන විට රැකියාවට යාමට ද නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ. මෙම භීතිය හා කම්පනික බව යළි යළිත් මාගේ නූපන් දරුවාගේ ජීවිතයට එල්ල කරන බලපෑම කොතෙක්දැයි මට කියා සිටිය නොහැක.

නිල ඇදුමෙන් සැරසී සිටින පොලීස් නිලධාරීන් හා පොලීසිය යැයි කියා ගන්නා පුද්ගලයින් වරින් වර මාගේ නිවසට ගොස් අප සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ. එමගින් මගේ දෙමව්පියන් හා පවුල්වල සාමාජිකයින් දැඩි භීතියට පත්ව සිටියි. වත්මන් ආණ්ඩුව තමන්ට හිතවත් සංවිධාන හා තමන්ට හිතවත් මාධ්‍ය භාවිත කරමින් පීඩාවට හා තර්ජනයට පත් කරමින් සිටින්නේ ස්වකීය ඍජු දේශපාලන එදිරිවාදීන් පමණක් නොව, ඔවුනොවුන්ගේ සියලු ඥාතී හිතමිත්‍රාදීන් ද ඔවුන්ගේ පළිගැනීමට ලක්වන බවට මෙය කදිම නිදසුනකි.

9. මහජනයා වෙත යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිෂන් සභාවක් වන මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මාගේ පූර්ණ විශ්වාසය තබමින් මම මාගේ දුක්ගැනවිල්ල, පැමිණිල්ලක් හා යුක්තිය පැතීමක් ලෙස මෙලෙස ඉදිරිපත් කරමි.

මෙතැනින් නොනැවතී තවදුරටත් මා කෙරෙහි මර්ධනය මුදා හැරීම සදහා විවිධ උපක්‍රම භාවිත කළ හැකි බවත් විශ්වසනීය ආරංචි අනුව මට හැගේ. එය මට මෙන්ම සියලු විවේචකයින්ට පොදු ඉරණමක් වීම වැලැක්විය හැක්කේ ඔබ කොමිෂන් සභාවට පමණක්ම බැව් විශ්වාසයයි

10. ඒ අනුව මාගේ මේ පැමිණිල්ල සලකා බලා විධිමත් පරීක්ෂණයක් පවත්වා,

අ. වර්තමාන පාලනයට ඉතා සමීප හා නිරන්තරයෙන් එම පාලකයින්ගේ ආශිර්වාදයට හා අනුග්‍රහායට පාත්‍රවන සංවිධානයක් වන සිංහලේ නම් සංවිධානයක් විසින් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ උවමනාව මත මා කෙරෙහි ජීවිත තර්ජනය ඇතුළු තවත් අගතිගාමී හානීන් ගණනාවක් ඇති කිරීමට සමත් ආණ්ඩුවේ මෙම හැසිරීම සම්බන්ධයෙන් වහාම මා කෙරෙහි සාධාරණයක් ඉටු කරන ලෙස ද

ආ. ආණ්ඩුවේ අනුග්‍රහාය ඇති සංවිධානාත්මක පිරිස් විසින් සිදු කරන මෙවැනි කූඨ කටයුතු හේතුවෙන් අගතියක් සිදු විය හැකි මා හා මගේ පවුලේ සාමාජිකයින් කෙරෙහි ආරක්ෂාව සලසන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ද

ඇ. අසත්‍ය තොරතුරු ලබා දෙමින් පුද්ගලයින් කෝපයටත් කලහයටත් යොමු කරන මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙස ඊට අදාල අධිකාරීන්ට නියෝග කර ලෙස ද

ඈ. මා ගරු කරන හෝ විශ්වාස කරන දේශාපලන මතයක් දැරීම හේතුවෙන් අසත්‍ය හා පදනම් විරහිත කරුණු මූලික කරගත් පොලිස් පැමිණිලි ඉදිරිපත් කර මා අයුක්තිසහගත ලෙස අත්අඩංගුවට ගෙන මා කෙරෙහි සාවද්‍ය ලෙස, මිනී මැරීම වැනි වරදක් ආරෝපණය කර මරණීය දණ්ඩනය හෝ ඒ හා සමාන වෙනත් යම් දඩුවමක් ලබා දෙමින් දේශපාලනිකව මා කෙරෙන් පළිගැනීමට දරණ ප්‍රයත්නය වහාම වලක්වාලන්නට අවශ්‍ය කටයුතු සලස්වන ලෙස ද

ඉ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ගොලීය සංවිධාන විසින් පිළිගෙන ඇති නමුත්, යට කී දුක්ගැනවිල්ල සලකා බැලීමේ දී මා කෙරෙන් අහිමි වී ඇතැයි හෝ එසේ වීමට ආසන්න වී ඇතැයි කොමිෂන් සභාව විසින් නිශ්චය කරන දේ සම්බන්ධයෙන් මා කෙරෙහි යුක්තිය ඉටු කරන ලෙස ද

ඊ. මට හා මගේ පවුලේ සාමාජිකයින්ට සිදු වූ මානසික කම්පනයන් සදහා සුදුසු වන්දියක් ගෙවන ලෙස නිසි ආයතනයන්ට නියෝග කරන ලෙස ද

උ. මෙකී තර්ජනය හේතුවෙන් මා හා මගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත සිදු වූ රැකියා අහිමි වීම ඇතුළු ආර්ථිකමය හා සමාජයීය හානි යළි පූර්ණය කරන ලෙස ඒ ඒ අධිකාරීන්ට විවෘත නියෝගයක් කරන ලෙස ද

මම, මෙම කොමිෂන් සභාවෙන් ගෞරව බහුමානයෙන් යුක්තව ඉල්ලා සිටිමි.මේ සම්බන්ධයෙන් ඔබෙන් ලැබෙන සහාය ඉතා අගය කොට සලකමි.

ස්තූතියි,

අත්සන් කළේ
ටී.එම්.බී.එම්.පී. තෙන්නකෝන්

පිටපත් –
1. පොලිස්පති – අවශ්‍ය කටයුතු සදහා
2. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම – දැ.ගැ.පි. (පරිවර්තනය)
3. සියලු තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් – දැ.ගැ.පි. (පරිවර්තනය)

Top