Published on: Mar 21, 2019- ත්‍රිවිධ හමුදාව සඳහා ගුවන් යානා හෝ නැව් මිලදී ගැනීමේ කිසිදු සංශෝධනයක් පසුගිය අවුරුදු 4 තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූවේ නැතැයි ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නාවුක හමුදාව සඳහා චිනය විසින් සියළු අංගෝපාංග සහිත නැවක් (ෆිගෙට්) නොමිලේ දීමට ඉදිරිපත්ව ඇතැයි ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් නොමිලේ ශ්‍රී ලංකාවට දුන් නැව මේ වන විට හවායි හි නාවුක මධ්‍යස්ථානය වෙත ලගාවී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා ඉන්දියාවෙන් ඇණවුම් කළ නැව් දෙකද ගෝවේ හි අවසන් සැකසුම් කටයුතුවල පවතිතැයි ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට නොමිලේම නැව් පරිත්‍යාග කිරිමට රටවල් කිහිපයක් ඉදිරිපත්ව සිටීම හේතුවෙන් අලූතින් නැව් මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බව පසුගිය වසර 4 මුළුල්ලේම කැබිනට් මණ්ඩලයේ අවධානයක් යොමු නොවුනැයි ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

අවසන් අමාත්‍ය මණ්ඩල රැස්වීමට රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානා මිලදී ගැනීමේ සංදේශයක් ඉදිරිපත් වුවද ඊට වඩා අඩු මිල ගණන්වලට ස්විඩනයෙන් ගුවන් යානා මිලදී ගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

Published on: Mar 20, 2019 – නාගානන්ද සහෝදර නීතිඥවරයාට අභියාචනාධිකරණ හිටපු සභාපති විනිසුරු මලල්ගොඩ මහතා විසින් එල්ල කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු ලබා දී ඇති දඩුවම මේ වන විට මාධ්‍යයේ පළවී ඇත. ලංකාදීප එසැණ පුවත් යටතේ එකී පුවත පළ වී තිබුණේ මෙසේ ය.

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 3කට අත්හිටුවයි
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

සිවිල් සමාජ කියාකාරියෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 18) තීන්දු කළේය.

2015 වසරේ එවකට අභියාචනාධිකරණය සභාපතිව සිටි විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගයක් අවසන් කිරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි .

අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දුන්හ.

උපුටා ගැනීම…..
http://www.lankadeepa.lk/latest_news/නාගානන්ද-කොඩිතුවක්කුගේ-නීතීඥභාවය-වසර-3කට-අත්හිටුවයි/1-547433

එම පුවත http://www.lankatruth.com/si/නාගානන්දගේ-නීතීඥභාවය-වසර/ වෙබ් ලිපයේ මෙසේ දැක්විය.

වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 2015 වසරේ 23දා රේගු නඩුවකදී විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් වැරදි කරු වූ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 18) තීන්දු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නාගනන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගය අවසන් කිරමින් අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දී ඇත.

අවධියේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව කර ලද පැමිණිල්ලකට අනුව පැවති විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව අද ප්‍රකාශයට පත්කර තිබේ.

එම රේගු නඩුවේදී විජිත් මළල්ගොඩ මහතා අපහසුවට පත්වන අයුරින් නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සිදුකල මෙම ප්‍රකාශය ඉතා බරපතළ එකක් බවත් ඒ තුළින් අධිකරණ ක්‍රමය කෙරෙහි පවතින විශ්වාසය පලුදු වීමට හේතුවන බවත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

නීතිඥ කොඩිතුවක්කු විසින් විනිසුරු විජිත් මලල්ගොඩ මහතා වෙත එල්ල කළ චෝදනාව පදනම් විරහිත අසත්‍ය චෝදනාවක් බව පෙන්වාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ඒ තුළින් ඔහු නීතිඥවරුන්ගේ ආචාරධර්ම සංග්‍රහයේ 60 සහ 61 වන වගන්ති උල්ලංඝනය කර ඇති බව ද කියා තිබේ.

ඒ අනුව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණ සංවිධාන පනතේ 42(2) වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව අදාළ චෝදනාවට ඔහු වරදකරු කර ඔහුගේ නීතිඥ භාවය වසර තුනකට තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන බවත් ප්‍රසන්න ජයවර්ධන මහතා සිය නඩු තීන්දුවෙන් කියා ඇත. (පුවත අවසන්)

අධිකරණය තුළදී තමන් හා භාෂණයේ සහ විවාදයේ යෙදෙන නීතිඥවරයන් හෝ පාර්ශවයක් සම්බන්ධව විනිසුරුවරයා සිය අභිමතය සහ බලය භාවිතා කිරීමේදී පාර්ශවයන් අතර සම්බන්ධතා ගැටීම අවම කරමින් සාධාරණ ලෙසත්, දෙපාර්ශවයටම යුක්තිය ඉටු කරන ආකාරයටත් ඒ ගැටුම නිරාකරණය කළ යුතු ආකාරය සම්බන්ධ විද්වත් කතිකාවක් ඇති කිරීම සහ විනිසුරුවරයෙක් විසින් නීතිඥවරයෙකුට එරෙහිව සිදුකරන පැමිණිල්ලකදී අධිකරණයේ සවාධීනත්වයට ඉන් සිදු කරන බලපෑම සහ ස්වාධීන නීතිඥ වෘත්තියක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ කඩිනම් අවශ්‍යතාවය පිළිබද කරන විග්‍රහයකට මේ ලිපිය විෂය වේ.

ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද ? මැයෙන් වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද ලිපියක් පහත වෙබ් ලිපිනයෙන් කියවිය හැකිය. එයද දොස්තරලාට අමතර තව බොහෝ වෘත්තීන්වල නියැලෙන ඇත්තන්ද සක්විති රජවරුන් ලෙස විරාජව සිය ධූරවල රාජකාරිය කරවන හෙයින් එම ලිපියද කියවන ලෙස ඉල්ලමි.

http://www.lankaweb.com/news/items/2019/03/16/ලංකාවේ-දොස්තරකම-සක්විති/

ආරම්භය

තමාගේ නඩුව තමා නොඇසිය යුතුවා / Nemo judex in causa sua මෙන්ම තම සගයාගේ හෝ තම මිතුරාගේ හෝ තම සාමාජිකයාගේ නඩුවද තමා නොඇසීම අධිකරණයේ ස්වාධීනත්වයට අවශ්‍යයම වේතම මිතුරාගේ හෝ තම සාමාජිකයාගේ නඩුව තමා විසින් නොඇසිය යුතුබවට අපරදිග නීතියේ දක්වා නොතිබෙනවා විය හැකිය. නමුත් තමන් හා සම්බන්ධතාවයක් පවතින විටක අපක්ෂපාතී තැනැත්තෝ එකී විභාගවලින් බොහෝ විට ඉවත් වෙති. ස්වභාවික යුක්ති මූලධර්මයනට අනුව කටයුතු කිරීමේදී එසේ සිදු වේ. පවතින නීතිය සහ ස්වභාවික යුක්ති මූලධර්ම අතර ගැටීම් ඇති අවස්ථාවක නීතියට මුල් තැන දීමට සිදු වේ.

නීතිය යනු එක් තැන නතර වී කල් ගෙවන මෙවෙලමක් නොවේ. එය ස්ක්‍රීය සමාජ අවයවයකි. නීතිය සමාජ අවශ්‍යතා අනුව නිරතුරු අලුත් වේ.වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 අවස්ථාවක් සංශෝධනය වූයේ ඒ අනුවය.

“නීතියට පහසුවෙන් ප්‍රවේශ විය හැකි විය යුතුය. නීතිය බොහෝදුරට පහසුවෙන් අවබෝධ කර ගත හැකි විය යුතුය. නීතිය පැහැදිලි විය යුතුය. නීතිය කලින් කිව හැකි විය යුතුය. යන්න නීතියේ වැදගත් සිද්ධාන්තයකි. ඒ අනුව සමාජයේ සෑම තරාතිරමක තැනැත්තෙක් වෙතම නීතියේ පාලනය සාධාරණව ව්‍යාප්ත වීම අපේක්ෂා කරයි. ප්‍රජාවේ බහුතරයක් ආරක්ෂා වන්නේ එසේ සිදු විමෙනි. එය සඵල කරගැනිම සමාජ අපේක්ෂාවයි. ඉන් බාහිරව සමාජය දියුණු නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද නැතහොත් පාර්ලිමේන්තුව විසින් නියම කොට පිහිටුවන ලද සෑම අධිකරණයක, සෑම විනිශ්චය අධිකාරයක ම හෝ වෙනත් සෑම ආයතනයක ම නඩු විභාග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බවත්, සියලූ තැනැත්තන්ට, ඒ නඩු විභාගවලට නිදහසේ පැමිණ සිටීමට හිමිකම් ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාවේ පැහැදිලි විධානයි.

ජනාධිපතිවරයා ගේ 2018.11.09 දිනැති අංක 2096 / 70 දරන පාර්ලිමේන්තුව විසුරුවාලීම කරන ලද ගැසට් පත්‍රයේ ප්‍රකාශය සහ 2019 ජනවාරි 05 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණ හත් පුද්ගල විනිශ්චය පීඨයක් ලබා දුන් තීරණය මේ දක්වා රාජ්‍ය භාෂාවෙන් ලබා දීමට විධායකය හෝ ව්‍යවස්ථාදායකය ක්‍රියා නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමක් වන අතර තොරතුරු දැන ගැනීමේ අයිතිය, භාෂාව මත වෙනස්කමකට ලක් නොවී සිටීමේ අයිතිය, සිතීමේ නිදහස, අදහස් පළකිරීමේ අයිතිය ඇතුලු මූලික අයිතිවාසිකම්වලට මෙමගින් බලවත් අනතුරු ඇති කරන බවත් ජනාධිපතිවරයා විසින් 2019 ජනවාරි මස 05වන දින කැදවා තිබූ පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වන ලද්දේ කවර නීතිමය හේතුමතද යන්න අවබෝධයෙන් තොර බවත් ජනතාච අතර සාකච්ඡා වෙමින් පවතී. රාජ්‍ය භාෂාවට විධායකය – අධිකරණය සහ ව්‍යවස්දායකය දක්වන අවම සැලකිල්ල මෙයට හේතුවයි.

රාජ්‍ය භාෂාවට විධායකය – අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අවම සැලකිල්ලක් දක්වමින් තිබෙන අවස්ථාවකදී පොදු ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීම භාෂාව මත වාරණය වී ඇති අවස්ථාවක මේ පිළිබද සාකච්ඡා කිරීමට සිදු වී ඇත.

ජනාධිපතිවරයා සිය ධූරයේ කටයුතු කරද්දී දෝෂාභියෝගයට සහ නඩු පැවරීමට යටත් කළද උපරිමාධිකරණ විනිසුරුවරුන් දෝෂාභියෝගයට පමණක් යටත් කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව ජනාධිපතිවරයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධ විධිවිධාන දැක්වෙන අතර 38.2 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට අදාල දෝෂාභියෝග පියවර දැක්වේ.

35 ව්‍යවස්ථාව මෙසේ ය.

35. (1) යම් තැනැත්තකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවක දී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේ ය :

එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරsන ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනු ව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගත යුත්තේ ය:

එසේම තවදුරටත්, ජනාධිපතිවරයා විසින් 33(2ඔඋ) ව්‍යවස්ථාව යටතේ බලතල ක්‍රියාත්මක කිරීම මත ප්‍රඥාපනය කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නොතිබිය යුත්තේ ය.

(2) කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව, කවර හෝ විස්තරයක නඩුවක් පැවරිය හැකි කාලය සීමාකරමින් නීතියෙන් විධිවිධාන සකසා ඇති විට, ඒ තැනැත්තා යම් කිසි කාලයක් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධූරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාල සීමාව ලෙස නීතියෙන් නියමව ඇති කාලය නිශ්චය කිරීමදී ඒ තැනැත්තා ජනාධිපති ධූරය දැරූ කාලය නොගැනිය යුත්තේ ය.

(3) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ විධිවිධානවලින් පැවරී ඇති මුක්තිය, 129 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව යටතේ හෝ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හා සම්බන්ධව හෝ ජනමත විචාරණයක වලංගු භාවය හා සම්බන්ධව 130 වන ව්‍යවස්ථාවේ (අ) ඡේදය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතුවලට හෝ අදාළ නොවන්නේ ය.

38.2 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට අදාල දෝෂාභියෝග පියවර දැක්වේ.

උපරිමාධිකරණ විනිසුරුවරුන් සිය ධූරයේ කටයුතු කරද්දී දෝෂාභියෝගයට පමණක් යටත් කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාවේ මේ සම්බන්ධව විධිවිධාන දැක්වේ.

107. (1) අග්‍රවිනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ද ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් පත්කරනු ලබන්නා හ.

(2) ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක් ම යථා පැවැත්මෙන් සිටින තාක් ධුරය දරන්නේ ය. ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාව හෝ පදනම් කොටගෙන (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශ්චයකාරවරයකු ඉවත් කළ නොහැක්කේ ය:

එසේ වුව ද, එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් තුනෙන් එකක් විසින් අත්සන් තබා ඇත්නම් හා චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව පිළිබඳ සම්පූර්ණ විස්තර එහි දක්වා ඇත්නම් මිස කථානායකවරයා විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිම යෝජනා සම්මතයක් භාර ගැනීම හෝ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේ ය.

(3) ඒ යෝජනා සම්මතය සම්මත කිරීමේ කාර්ය පටිපාටිය ද ඇතුළුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූ ද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව වූ ද විනිශ්චයකාරවරයාට පෞද්ගලිකව ම හෝ නියෝජිතයකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධ වූ ද සියලූ කාරණා සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්විය යුත්තේ ය.

ඒ අනුව අග්‍රවිනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ද අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔවුන්ගේ චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් ස්ථාවර නියෝග 84 වගන්තිය මගින් විධිවිධාන සලසා ඇත. ඒ මෙසේ ය.

84. (1) වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන්ව තිබුණ ද, විෂම පැවැත්ම හෝ අබලතාව යන හේතු මත අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු, අභියාචනාධිකරණයේ සභාපතිවරයා,සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකු එම ධුරයෙන් ඉවත් කරනු ලැබීම සඳහා ජනාධිපතිවරයා අමතා යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීම සඳහා දැනුම් දිමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි ව්යෙඅවස්ථාව ප්‍රකාරව, කථානායකවරයාට භාර දි ඇති අවස්ථාවක දී, කථානායකවරයා විසින් එම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙහි ඇතුළත් කරනු ලැබිය යුත්තේ ය.

(2) (අ) ඉහත (1) වැනි ඡේදයේ දක්වා ඇති යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙහි ඇතුළත් කරනු ලැබ තිබෙන අවස්ථාවක දී, කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා විමසා, එම යෝජනා සම්මතයේ දක්වා ඇති විනිශ්චයකාරවරයාගේ විෂම පැවැත්ම හෝ අබලතාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් තිදෙනෙකුගෙන් සමන්විත විමර්ශන මණ්ඩලයක් පත් කරනු ලැබිය යුත්තේ ය.

(ආ) කථානායකවරයා විසින්, එම විමර්ශන මණ්ඩලයේ එක් සාමාජිකයකු එහි සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබිය යුත්තේ ය.

(3) එසේ පත් කරන ලද විමර්ශන මණ්ඩලය විසින් මාස දෙකක කාල සීමාවක් ඇතුළත දී, විමර්ශනය අවසන් කරනු ලැබිය යුතු අතර, ඒ සඳහා අදාළ කාර්ය පටිපාටිය නීති ප්‍රතිපාදනවල සඳහන් වනු ඇත. කෙසේ වුවද, කථානායකවරයා විසින් විමර්ශන මණ්ඩලයේ ඉල්ලීම මත, එම කාල සීමාව, එක වරකට මාසයක් නොඉක්මවන්නා වූ වැඩිදුර කාල සීමාවකට දීර්ඝ කරනු ලැබිය හැකි ය.

(4) විමර්ශනයේ වැඩකටයුතු අවසන් කරනු ලැබීමෙන් අනතුරුව, එසේ පත් කරන ලද විමර්ශන මණ්ඩලය විසින්, එකී මණ්ඩලය ඉදිරියේ සටහන් කර ගන්නා ලද සාක්ෂි සම්බන්ධ කාර්යසටහන් ද සමඟ එහි තීරණය කථානායකවරයාට වාර්තා කරනු ලැබිය යුතු අතර, එම විමර්ශන මණ්ඩලය විසින්, අදාළ චෝදනා ලත් විනිශ්චයකාරවරයා විෂම පැවැත්මට හෝ අබලතාවට වරදකරු බව තීරණය කරනු ලැබ තිබේ නම් පමණක් කථානායකවරයා විසින් විමර්ශන මණ්ඩලය විසින් වාර්තා කරන ලද කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය. අදාළ විනිශ්චයකාරවරයා වරදකරු නොවන බව විමර්ශන මණ්ඩලය විසින් සොයා ගනු ලැබ ඇත්නම්, කථානායකවරයා විසින් ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිය යුතු අතර, එම යෝජනා සම්මතය සම්බන්ධ සියලු වැඩකටයුතු අවසන් කරනු ලැබිය යුත්තේ ය.

(5) විමර්ශන මණ්ඩලය විසින් අදාළ විනිශ්චයකාරවරයාට එරෙහිව ඇති විෂම පැවැත්මට හෝ අබලතාවට වරදකරු බවට තීරණය කරනු ලැබ තිබේ නම්, කථානායකවරයා විසින් එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය. එම යෝජනාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන්ගේ බහුතරයකින් සම්මත වුවහොත්, කථානායකවරයා විසින්, එසේ ඔප්පු කරන ලද විෂම පැවැත්ම හෝ අබලතාව මත අදාළ විනිශ්චයකාරවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබීම සඳහා එය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය.

(6) පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හෝ විසුරුවා හැරීම නොසලකා විමර්ශන මණ්ඩලය විසින් සිය වැඩකටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබිය හැකි ය.

අග්‍රවිනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ද අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පුළුල් ලෙස ආරක්ෂාකර ඇති අතර එය නීතියේ පාලනය පවතින රටකට අවශ්‍යම වේ.

නීතිඥවරයන්ගේ ස්වාධීනත්වයද අධිකරණයේ ස්වාධීනත්වයේ කොටසකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ , අධිකරණ සංවිධාන පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු විධාන සංග්‍රහය ඇතුළු නීති මගින් නීතිඥවරයන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට පුළුල් ලෙස අවස්ථාව සළසා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15.3 ව්‍යවස්ථාව මෙසේ ය.

15(3) වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේ ද, ඒ තැනැත්තාට, නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයක දී පෞද්ගලිකව ම හෝ නීතිඥවරයකු මගින් හෝ කරුණු ක්‍රියා සිටීමට හිමිකම් ඇත්තේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126.2 ව්‍යවස්ථාව මෙසේ ය.

126(2) තමාට සම්බන්ධ එවැනි යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කොට ඇති බවට හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින් ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකුගේ මාර්ගයෙන්, එතැන් පටන් මාසයක් ඇතුළත, එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටින ඉල්ලීමක්, තත්කාලයේ බලපවත්නා අධිකරණ රීතිවලට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය අමතා ඉදිරිපත් කරන ලිඛිත පෙත්සමක් මගින් කළ හැක්කේ ය. එවැනි ඉල්ලීමක් පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පූර්ව අවසරයක් ලබා ගැනීමෙන් පසුව පමණක් එවැනි ඉල්ලීමක් පිළිබඳව ක්‍රියා කරගෙන යා හැක්කේ ය. එසේ අවසරය ඉල්ලා සිටි විට අවස්ථාවෝචිත පරිදි ඒ අවසරය ප්‍රදානය කිරීම හෝ අවසරය දීම ප්‍රතික්ෂේප කිරීම හෝ විනිශ්චයකාරවරයන් දෙදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් කළ හැක්කේ ය.

අධිකරණ සංවිධාන පනතේ 41 වන වගන්තිය මෙසේ ය.

සේවා දායකයන්ට සහාය වීමේ හා උපදෙස් දීමේ දී යුක්තිය පසිඳලීම සඳහා නීතියෙන් පිහිටවනු ලැබූ සෑම අධිකරණයක ම හෝ වෙනත් ආයතනයක ම පෙනී සිටීමේ උත්තරවාද ඉදිරිපත් කිරීමෙන් හෝ ක්‍රියා කිරීමෙන් හෝ ක්‍රියා කිරීමෙන් හිමිකම සෑම නීතිඥවරයකුට ම තිබිය යුතු අතර එකී යම් අධිකරණයක හෝ එකී වෙනත් ආයතනයක හෝ නඩු කටයුත්තක පාර්ශවකරුවකු වන්නා වූ හෝ ඒ නඩු වූ හෝ ඒ නඩු කටයුත්තක දී කරුණු ඉදිරිපත් කිරීමට අයිතිවාසිකමක් ඇති හෝ ඇතැයි හිමිකම් පාන්නාවූ හෝ සෑම තැනැත්තෙකුටම නීතීඥවරයෙකු විසින් තමා නියෝජනය කරනු ලැබීමට හිමිකම තිබිය යුතුය.

අපරාධ නඩු විධාන සංග්‍රහය 260 වගන්තිය මෙසේ ය.

යම් අපරාධ අධිකරණයක් ඉදිරියෙහි චෝදනා ලැබ සිටින සෑම තැනැත්තකුම විසින් අයිතිවාසිකමක් වශයෙන් මේ සංග්‍රහයෙහි සහ යම් ලිඛිත නීතිය විධිවිධාන වලට යටත් නීතිඥවරයකු මාර්ගයෙන් විත්තිවාචක ඉදිරිපත් කරනු ලැබිය හැකි විය යුතු අතර අතෘප්තියට පත් සෑම පාර්ශවකරුවෙකුටම නීතිඥවරයකු මගින් අධිකරණයේ දී තමා නියෝජනය කරන ලැබීමේ අයිතිවාසිකම් තිබිය යුතුය.

සිවිල් නඩු විධාන සංග්‍රහය 24 වගන්තිය මෙසේ ය

යම් අධිකරණයට පෙනී සිටීමට, යම් අධිකරණයක් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හෝ යම් අධිකරණයක දී යම් ක්‍රියාවක් කිරීමට තත්කාලයෙහි යම් නීතියකින් අධිනීතීඥවරයන්ට හෝ නීතිඥයන්ට පමණක් බලය දෙනු ලැබ ඇති අවස්ථාවක හා එවැනි යම් නීතියකින් ප්‍රකාශිතවම අන්‍යාකාර විධිවිධාන සලස්වා ඇති අවස්ථාවක හැර, යම් අධිකරණයක නඩුවක් හෝ අභියාචනයක පාර්ශවකරුවකු විසින් කිරීමට මේ පනතින් නියම කර ඇති හෝ බලය ලබාදෙනු ලැබ ඇති යම් පෙනී සිටීමක්, ඉල්ලීමක් ඉදිරිපත් කිරීමක් හෝ ක්‍රියාවක් ඒ පාර්ශවකරු විසින් පෞද්ගලිකවම හෝ ඔහුගේ පිළිගත් අනුනියෝජිතයා මගින් හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා එකී පාර්ශවකරු විසින් නැතහොත් ඔහුගේ ඒ අනු නියෝජිතයා මගින් යථා පරිදි පත්කරන ලද නීතිඥයෙකු මඟින් හෝ කළ හැකිය.

එසේ වුවද, ඒ පාර්ශවකරු පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටිය යුතුයැයි අධිකරණය විසින් විධාන කරනු ලැබුවහොත් ඔහු විසින් එසේ කළ යුතුය. මේ කාර්යය සඳහා නීතිඥයෙකුගේ උපදෙස් පිට පෙනී සිටින අධිනීතිඥවරයකු අධිකරණයේදී නීතිඥයා නියෝජනය කරන්නේ ය.

මේ ආකාරයට ලංකාවේ සම්මත වෙනත් බොහෝ නීති මගින් සේවාදායකයන් වෙනුවෙන් නීතිඥවරයන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ අයිතිවාසිකම ලබා දී ඇත.

නීතීඥවරයන්ගේ විනය සහ වෘත්තීය කටයුතු පාලනය කිරීම‍

වෙනත් වෘත්තීන් මෙන් නීතිඥවරයන්ගේ ද විනය සහ වෘත්තීය කටයුතු පාලනය කිරීම සමාජ අවශ්‍යතාවයක් වේ. ඒ සදහා නීති පනවා ඇත. ප්‍රධාන කොටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාවේ ඒ සදහා විධිවිධාන සළස්වා ඇත.

136. (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ යම් නීතියක විධිවිධානවලට යටත්ව, අග්‍ර විනිශ්චයකාරවරයා සහ ඔහු විසින් නම් කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් විනිශ්චයකාරවරයන් තිදෙනකු විසින් –

(උ) නීතිඥවරයන් පිළිගැනීම, බඳවා ගැනීම, වෘත්තියෙහි යෙදී සිටීම, අත්හිටුවීම හා ඉවත් කිරීම හා ඒ නීතිඥවරයන් සඳහා විනය රීති හා ආචාර රීති
ඇතුළු අධිකරණයේ පරිචය සහ කාර්ය පටිපාටිය විධිමත් කිරීම සඳහා කලින් කල රීති සෑදිය හැක්කේ ය.

ඒ අනුව නීතිඥවරයන් පාලනය සදහා 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති යනුවෙන් රීති මාලාවක් පවතින අතර එම රීති නීතිඥවරයන් සදහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද රීති යනුවෙන්ද හදුන්වනු ලැබේ. ඒවා 1988.12.07වන දින අංක 535/7 දරන අති විෂේශ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර ඇත.

එහි 60 සහ 61 රීති මෙසේ ය.

60. වැදගත් සහ ප්‍රවීණ නීතිඥවරයකු සම්බන්ධයෙන් වූ විට වෘත්තීයේ ඔහුගේ සම වෘත්තිකයන් විසින් අවමානය සලකනු ලැබිය හැකි අපකීර්තිමත් හෝ අගරු හෝ ලෙස සාධාරණව සැලකිය හැකි වන්නා වූ හෝ ඔහු නීතිඥවරයකු ලෙස සිටීමට නුසුදුසු කරන්නා වූ හෝ සමාවක් දිය නොහැකි වන්නා වූ හෝ කිසියම් ආකාරයකට හැසිරීම නීතිඥ විසින් කරනු නොලැබිය යුතුය.

61.නීතිඥවරයකුට නුසුදුසු ආකාරයකට හැසිරීම නීතිඥවරයකු විසින් කරනු නොලැබිය යුතු ය.

අධිකරණ සංවිධාන පනතේ 42.2 වගන්තිය මෙසේ ය.

නීතිඥවර වශයෙන් පිළිගනු ලැබූ සහ බඳවා ගනු ලැබූ සහ යම් වංචාවක් අයථා ක්‍රියාවක් අපරාධයක් හෝ වරදක් සම්බන්ධව වරදකරු වන්නා වූ වන්නාවූ වූ සෑම තැනැත්තකුම නීතිඥ වෘත්තිය යෙදීම අත්හිටුවීම හෝ ඔහු ධූරයෙන් ඉවත් කිරීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ එකට රැස්වන යම් විනිශ්චකාරවරයන් තිදෙනෙකු විසින් කළ හැකිය.
වෙනත් වෘත්තීන්ට වඩා නීතිඥ වෘත්තියේ ඇති විනිවිද භාවය සහ වගකිවයුතු බව

නීතිඥ වෘත්තියට අමතරව වෙනත් බොහෝ වෘත්තීන් තිබේ. ඒ වෘත්තීන් සහ නීතීඥ වෘත්තිය අතර ඇති කැපී පෙනෙන වැදගත් වෙනස වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම නිතීඥ වෘත්තිය බැදීම් සහ යුතුකම් සහ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද සීමා නියම කර රීති වශයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළකරමින් ජනතාවට සන්නිවේදනය කර තිබීමයි. එමගින් නීතිඥ වෘත්තිය අනෙක් සියලු වෘත්තීන්ට වඩා සුවිශේෂී පිළිගැනීමක් ලබා ගෙන ඇත. වෙනත් වෘත්තීන්වල නියලෙන වෘත්තිකයන්ගේ මෙවැනි විනිවිද භාවයක් තිබෙන්නේද? යන්න මැදිහත්ව විමසිය යුතු අතර එකී රීතිවලට පටහැනිව කටයුතු කරන නීතිඥවරයන් සම්බන්ධව විවෘතව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කරන අතර වෙනත් වෘත්තීන්වල එවැනි විවෘත භාවයක් දක්නට නැත.

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් ඇති කරන විදේශීය නඩු විභාග කරන යාන්ත්‍රණ සහ විදේශීය විනිසුරුවරුන් ගෙන ඒම සදහා වන බලපෑම

වර්තමානයේ ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන නොවන බවත් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය යන පාලන ආයතන දූෂණය වී ඇති බවට මැසිවිලි ඉදිරිපත් කරන තැනැත්තන් ඒ වෙනුවට විදේශීය නඩු විසදන යාන්ත්‍රණ, විදේශීය ලංකාවේ කටයුතු වලට හදුන්වා දීමට අවශ්‍ය බවට කරුණු ඉදිරිපත් කරයි. 2019 මැයි මාසයේ අවසන් වූ උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම් යුධ අපරාධ ලෙස අර්ථ දක්වමින් වසර ගණනාවක් ජිනීවා මානව හිමිකම් කොමිසමේ පක්ෂ විපක්ෂ කරුණු ඉදිරිපත් වන්නේ දේශීය නීතියේ සහ ස්වාධීන අධිකරණයක් ලංකාවේ නැති බවටද කරැණු ඉදිරිපත් කරමින් ය. එවන් තත්ත්වයක් හමුවේ දේශීයව සහ විදේශීකව ඉල්ලීම් මත ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවට ආගමනයට පෙරමග බලා සිටිති. මෙරට සිටින විවිධ පිරිස් ඒ සදහා ඔවුන්ට ආරාධනා කරති.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමනගේම සාමාජික විනිසුරුවරයෙක් අභියාචනාධිකරණයේ සිටියදී කරන ලද පැමිණිල්ලක් සම්බන්ධව නීතිඥවරයෙකුට ලබා දී ඇති දඩුවම දෙස බැලිය යුත්තේ යුක්තිය පසිදලන දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කරන දෘෂ්ටියෙන් මිස තව තවත් දේශීය අධිකරණ යාන්ත්‍රණය හෑල්ලු කරන ආකාරයට නොවේ. නීතිඥ නාගානන්දගේ දඩුවම දෙස බැලිය යුත්තේ ජීනිවා කෝණයෙන් නොව දේශීය කෝණයෙනි.

නීතිඥවරයෙකුට එරෙහිව විනිසුරුවරයෙක් කරන පැමිණිල්ල සුවිශේෂී තත්ත්වයේ ලා සැළකිය යුතු බව සහ එම පැමිණිලි විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කළ යුතු බව

යම් පුරවැසියෙකුට එරෙහිව නීතිඥවරයෙකු යම් අපරාධයක් හෝ සිවිල් වරදක් සිදු කළ විට අධිකරණය විසින් එකී නීතිඥවරයා සම්බන්ධව නඩු විභාග කිරීම සහ යම් අධිකරණයක විනිසුරුවරයෙක් නඩුවක් අතරතුර යම් නීතිඥවරයකුට එරෙහිව පැමිණිල්ලක් කිරීම සමාන තත්ත්වයක් නො වේ. නඩුව විසදන විනිසුරුවරයාටද පෞද්ගලිකත්වයක් තිබේ. එමෙන්ම නීතිඥවරයාටද පෞද්ගලිකත්වයක් තිබේ. මේ සියලු දෙනා මිනිසුන් ය. එහිදී විනිශ්චයාසන ගත වීමෙන් ලබන වාසිය තමන් ඉදිරියේ කරුණු ඉදිරිපත් කරන නීතිඥවරයා තලා, පෙලා, මිරිකා දැමීමට විනිසුරුවරයා ප්‍රයත්න දරන අවස්ථාක දී නීතීඥවරයාට ගත හැකි සහන සීමා සහිතය. මෙය සිදු කරන්නේ උපරිමාධිකරණ විනිසුරුවරයෙක් නම් එයට ගොදුරුවන නීතිඥවරයා අන්ත අසරණභාවයට පත් වේ. එම තත්ත්වයට පත්වන නීතීඥවරයාට ඇත්තේ එකම පිළිසරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ පිහිට පැතීම පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව උපරිමාධිකරණ විනිසුරුවරුන්ට ඉහළම ආරක්ෂාවක් ලබා දී ඇත. මෙය වැරදියැයි මා කිසි විට කියන්නේ නැත. මන්ද උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් එසේ පැවතිය යුතුය.

මෙහි ඇති ගැටළුව ඇති වන්නේ උපරිමාධිකරණ විනිසුරුවරුන් විනිශ්චයාසනයේ සිටිමින් තමන් හමුවේ කරුණු ඉදිරිපත් කරන නීතිඥවරයන්ට එරෙහිව ක්‍රියා කිරීම ආරම්භ කරමින් තමන්ගේ සහෝදර විනිසුරුවරුන් මගින් නඩු විභාග කරවා ගන්නා විටය. එවිට “ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට” යන්න සිහියට නැගේ. තම සහෝදර විනිසුරුවරයෙක් විසින් කර ඇති පැමිණිල්ලක් අපක්ෂපාතීව විභාග කිරීමට එකී විනිසුරුවරයා සමග දීර්ඝ කාළයක් එකට ඇසුරු කළ, එකට විනිශ්චයාසන ගතවන අනෙක් සහෝදර විනිසුරුවරයන්ට හැකිද? යන්න ජනතාව බුද්ධියෙන් විමසිය යුතුය. එකට සිට නඩු තීන්දු ලියන, එකට සිට උත්සවවලට සහභාගීවන උපරිමාධිකරණ විනිසුරුවරුන් ඔවුන්ම චෝදනා නගන නීතීඥවරයාට එරෙහිව නඩු විභාග කරමින් යම් නීතිඥවරයෙක්ට එරෙහිව දඩුවම් ලබා දෙන්නේ නම් වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව යන්න සනාථ වේ.

විධායක ඒකාධිපතිවාදයත්, ව්‍යවස්ථා ඒකාධිපතිවායත් බැහැර කරන ජනතාව අධිකරණ ඒකාධිපතිපතිවාදය ගැන කථා නොකරන්නේ ඇයිද? යන්න ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටළුවකි. 1505 සිටම යටත් විජිත කරණයට හසු වී සිටින ස්වදේශීය ජනතාව නිදහස පිළිබද විධිමත් අධ්‍යයනයක් මේ දක්වා සිදු කර තිබේද? විදේශයන්ට ගැතිවී දේශීය නිෂ්පාදන පසෙකලන බහුතරයක් වෙසෙන ලංකාවේ බලය අත දරන අය සිත්සේ සිය බලතල බුක්ති විදිති.

විසදුම සහ සමාප්තිය

දෙවන ලෝක යුද්ධය සමයේ ජර්මනියේ පාර්ලිමේන්තුව සම්මත කරන ලද නීතිවලින් පුද්ගලයෝ අනන්ත දුක් වින්දහ. පාර්ලිමේන්තුව පැනවී පමණින්නම, ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ පමණින්නම ඇතැම් නීති හෝ රීති සාධාරණ නොවේ. යුක්ති සහගත නොවේ. සාධාරණ නඩු විභාගයකට පදනම නොවේ.

නීතිය යනු දිනෙන් දින අවශ්‍ය වෙනස් කම් සිදුකරමින් ඉදිරියට යන සමාජ යාන්ත්‍රණයකි. සමාජයේ පුරුෂාර්ථ නීතියෙන් විවරණය කරයි. ඒ අනුව විනිසුරුවරුන් සහ නීතිඥවරුන් අතර ඇතිවන ආරවුල් හෝ ගැටුම් නිරාකරණය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136.1.උ ව්‍යවස්ථාව වහා සංශෝධනයට ලක් කළ යුතු බව මාගේ අදහසයි. එනම් වෙනත් අයෙක් නීතිඥවරයෙක් සම්බන්ධව පැමිණිලි කිරීමක් මෙන් නොව විනිසුරුවරයෙක් නීතිඥවරයෙක් සම්බන්ධව යම් පැමිණිල්ලක් කළ විට එය විභාග කිරීමට අධිකරණයට වග නොකියන ස්වාධීන විනිශ්චය අධිකාරයක් පැවතිය යුතුය. එයට සාමාජිකයන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් කළ හැකිය. එහි සාමාජිකයන්ගේ සුදුසුකම් කවරක් විය යුතුද? යන්න පාර්ලිමේන්තුව තීරණය කළ යුතුය.

නාගානන්ද සහෝදර නීතිඥවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇත්තේ පවතින නීතිය තුළ ලබා දිය හැකි දඩුවමකි. වෙනස් කළ යුත්තේ ඒ දඩුවම නොව එවැනි පැමිණිලි විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති අධිකරණ බලයයි. නොඑසේ නම් ස්වාධීන නීතිඥ ප්‍රජාවක් නොව විනිසුරු වන්දනාවේ යන නීතිඥ ප්‍රජාවක් පමණක් ලංකාවේ ඉතිරි වේ. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කරන ලද්දේ ජනාධිපතිවරයා සතු බලය භාවිතා කිරීමෙනි. එහිදී ජනාධිපතිවරයාට කිසිම නීතිමය කෝණයක් හෝ සදාචාරමය කෝණයක් නො තිබුණි. තමන්ට අවශ්‍ය පැත්තේ නොසිටින්නා දඩයම් කිරීමට සමත් නීති යාන්ත්‍රණයක් ලංකාවේ තිබේ. නිවැරදි කළ යුත්තේ එයයි. නොඑසේ නම් විදේශීය විනිසුරුවරයන්ගේ ආගමනයට අත වැනීමක් අප විසින්ම කර ගනී.

මෙම ගැටළුවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිසිවක් කරණු ඇතැයි සිතිය නොහැකිය. නීතීඥවරයන්ගේ ස්වාධීනත්වය තබා ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීමට ඔවුන්ට සඵල ක්‍රියාමාර්ග නැත. සුපිරි ප්‍රේක්ෂකාගාරවල නීති වැඩමුළු පැවැත්වීමෙන් හෝ නීතිය ඉංග්‍රීසියෙන් ඉගැන්වීමෙන් පමණක් ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කළ නොහැකි බව ඔවුන්ට වැටහීමක් නැත.

රටේ අනන්‍යතාවය, ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමේදී පාලකයන්ට සහ පාලන ආයතන ප්‍රධානීන් වන්දනාවේ යන නීතිඥ ප්‍රජාවක් ජනතාවට බලවත් අනතුරකි.

අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) නීතිඥ
2019.03.19

Published on: Mar 16, 2019- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂය අතර යළි සමීප සම්බන්ධතාවය ඇති කර ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග මේ වන විට අතිශය සාර්ථක වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතිව රජයේ ජ්‍යෙෂ්ඨයන්, ව්‍යාපාරිකයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු, රජය හා ජනාධිපතිවරයා අතර යළි සමීප සබඳතාවය ඇති කර ගැනීම සඳහා පසුගිය දින කිහිපයේදි සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබූහ.

එහි අවසන් සාකච්ඡා වටය ජනාධිපතිවරයා කෙන්යා සංචාරයට පැය කිහිපයකට පෙර පැවැත්වී ඇත. අවසන් සාකච්ඡාවේදී ජනාධිපති වැය ශිර්ෂය හා අය වැය සම්බන්ධයෙන් ශ්‍රීලනිප තීරණය ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය නියෝජිත පිරිසට දැනුම් දුන් අතර ඊට අග්‍රමාත්‍යවරයාගේ පියවර පාර්ලිමේන්තුවේදි ගනු ලැබීය.

පාර්ලිමේන්තු වැය ශිර්ෂය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අනුගමනය කළ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපතිවරයා විසින් කෙන්යාවේ නයිරෝබි නුවර සිට අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිත පිරිසට ස්තුතිය පළ කර තිබේ.

ඊට අමතරව ජිනිවා මානව හිමිකම් සැසිය සඳහා යවන නියෝජිත කණ්ඩායම රජයට අවශ්‍ය ආකාරයට නම් කිරිමට ද ඉහත සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාගේ පූර්ණ අනුමැතියට පළ වී ඇත. මේ තත්ත්වය යටතේ ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සතියේදි සමීප සබඳතා යළි ගොඩ නැගෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග තහවුරු කළේය.

Published on: Mar 16, 201- නාවල විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශය සඳහා 2018 වසර වෙනුවෙන් සිසුන් බඳවා ගැනීමට පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදි අක්‍රමිකතාවයක් සිදුවි ඇති බව එම විභාගය සඳහා පෙනි සිටි සිසුන් පිරිසක් අද (15) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හමුවේ ප්‍රකාශ කළා.

මෙම තරග විභාගය පැවැත්වූයේ 2018. 05. 20. වෙනි දින බවත් එම විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 6කට වැඩි කාලයක් ගත වූ බවත් එම සිසුන් විපක්ෂනායකවරයාට පෙන්වා දුන්නා.

එසේ තිබියදීත් ප්‍රතිඵල සටහන නිකුත්වී සති 2ක් පමණ ගතවූ පසු නැවත ප්‍රතිඵල සටහනක් විවෘත විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ පළවූ බවත් මුල් ප්‍රතිඵල ලේඛනය අනුව අසමත් වූ සිසුන් දෙදෙනකු ඉතා ඉහළ ලකුණු ප්‍රතිශත සහිතව දෙවන ප්‍රතිඵල ලේඛනය අනුව සමත්ව ඇති බවත් එම සිසුන් පෙන්වා දුන්නා.

කරුණු කෙරෙහි අවධානය යොමු කළ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා තමා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවත් අදාළ කරුණු පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවත් සඳහන් කර සිටියා.

Published on: Mar 5, 2019- තනි ඡන්ද පදනමක් නොමැති විමල් වැනි අයෙකු කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් කලබල නොවන ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඒකාබද්ධයේ ප්‍රබලයන් පිරිසක් සමග සිය නිවසේ කල සාකච්ඡාවකදි කියා තිබේ.

තවදුරටත් ජනාධිපතිවරයෙකු ලෙස පත්විම සිහිනයක් පමණක් බවත් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ක්‍රමයක් හරහා විධායක බලතල අයෙකු අගමැති ලෙස පත්කර ගැනිම නුවනට හුරු බවයි මහින්ද එහිදි පෙන්වා දි ඇත්තේ.

විධායක ජනාධිපති ධුරය සංශෝධනය කිරීම සම්බන්ධව ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීම ස්ථිර බවයි මහින්ද රාජපක්ෂ අවධාරණය ඇත්තේ.

විපක්‍ෂ නායක ලෙස විපක්‍ෂයේ පක්‍ෂ සමගින් සාකච්ඡා කිරීම තම යුතුකමක් බවත් ඒ අනුව මෙම සතියේදී පැවැත්වෙන සාකච්ඡා වලදී 20 වන සංශෝධනය හා විධායකය අහෝසි කිරීම ආදී කාරණා ගැන සාකච්ඡා කිරීමට සුදානම් ව සිටි.

කෙසේ වුවත් මෙම සාකච්ඡා පැවැත්වීම සම්බන්ධව විමල් වීරවංශ මන්ත්‍රීවරයා දැඩි විරෝධයක පසුවන අතර ඒ බව ඔහු අවස්ථා ගණනක ප්‍රකාශ කර ඇති අතර සාකච්ඡා කලහොත් මහින්ද අතහැර යන බවටද අනතුරු අගවා තිබේ.

Published on: Mar 5, 2019- මෙගා වොට් සියයක හදිසි විදුලිය මිල දී ගැනීමේ ටෙන්ඩරයට හිමිකම් කී චීන සමාගමට ටෙන්ඩරය පිරිනැමීම විදුලි බල අමාත්‍යාංශය විසින් තවදුරටත් කල්දමමින් සිටීම සම්බන්ධයෙන් ආයෝජකයන් විමතියට සහ කලකිරීමට පත් ව තිබේ.

හදිසි මිල දී ගැනීමක් වශයෙන් සඳහන් කර තවත් කාලය ගතවන්නට හැර හදිසියේ දැනුම් දීමක දී ඉදිරිපත් විය හැක්කේ දැනට ඩීසල් ජෙනරේටර් සතුAggreko සමාගමට පමණක් වන අතර බලධාරීන්ගේ අරමුණ වී ඇත්තේ ජලවිදුලි බලාගාර ආහ්‍රිත ප්‍රදේශවලට වර්ෂාපතනය තවදුරටත් අඩු වන තෙක් සිට හදිසි කැඳවීමකින් විදුලිය මිල දී ගැනීමයි.

එවිට දිවයින තුළ දැනට ජෙනරේටර් සහිත එකම සමාගම Aggreko වන නිසා අඩුම මිල ගණන් ඉදිරිපත් කළ සමාගම් මඟහැර Aggreko ටෙන්ඩරය ලබාදීම බලධාරීන්ගේ අරමුණ වී ඇති අතර මේ නිසා දැනට දිවයින තුළ ජෙනරේටර් නොමැති ඩුබායි සහ චීන සමාගම්වලට මෙයින් සිදුවන අසාධාරණය බලධාරීන්ට නොපෙනීම පුදුමයට කරුණකි.

මෙම ටෙන්ඩරය සඳහා එංගලන්ත, ඩුබායි සහ චීන යන රටවල් නියෝජනය කරමින් සමාගම් 3ක් ඉදිරිපත් වී ඇත. ඉදිරිපත් වූ සමාගම් 3ක ස්ථාන 6ක් සඳහා මෙසේ ඉදිරිපත් වී ඇත.මෙතෙක් මෙම ක්ෂේත්‍රයේ ආධිපත්‍ය වසර 17ක් පවත්වාගෙන ආ එංගලන්ත සමාගමක් වූ Aggreko සමාගම හා ඩ ඩුබායි සමාගම් පරදව අඩුම මිලක් ඉදිරිපත් කළ චීන සමාගම ඉදිරියෙන් සිටියි. සියයට සියයක් විනිවිදභාවයෙන් යුක්තව ටෙන්ඩර් පටිපාටිය හරහා කරන ලද මෙම ටෙන්ඩර් ක්‍රියාවලියට දැනට දින 20ක් ගෙවී ඇත.

ජාත්‍යන්තරව කැඳවන ලද තරගකාරී ටෙන්ඩරයක් වන මේ සඳහා ඉදිරිපත් වූ විදේශීය සමාගම් දැඩි අපහසුතාවට පත්ව සිටින්නේ ටෙන්ඩර් තැන්පතු සඳහා අතිවිශාල මුදලක් තැන්පත් කර ඇති බැවින් හා ටෙන්ඩරය ලබාදීමෙන් පසු ද ලංකා විදුලි බල මණ්ඩලය වෙත විශාල තැන්පතුවක් තැබීමට සිදුව ඇති නිසාය.

නිසි ටෙන්ඩර් පටිපාටියට අනුව සිදු වූ මෙම මිල දී ගැනීම් නතර කර ඇත්තේ තමන් අතින් සිදු වූ විශාල කලු පැල්ලම් ඉවත් කර තමන් ඉතා පිරිසිදු දේශපාලනයක නිරත වන්නකු බව පෙන්වීමේ උත්සාහයක නිරත වන දේශපාලනඥයකු බව රහසක් නොවේ.

මේ පිළිබඳ ජනාධිපති සහ අගමැතිතුමන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර ඉදිරි දිනවල දී මෙම අමාත්‍යාංශය අදාළ ඇමැතිවරයාගෙන් ඉවත් කිරීමේ සූදානමක් ද පවතී.

Published on: Feb 24, 2019 – දැනට ජනපති සමඟ සිටින ශ්‍රිලංනීප ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ගැනීමට යන තීරණ කිහිපයක් නිසා එලැබෙන මාර්තු මාසයේදි දේශපාලන පෙරලියක් සිදුවනු ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ.

අදාළ මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ පොදුජන පෙරමුණු මන්ත්‍රි කණ්ඩායමෙන් වෙන්ව ස්වාධීනව තීරණ ගැනීමට සැළසුම් කර ඇති බව මෙ වනවිට අනාවරණය වි ඇති අතර ඒකාබද්ධය සහ මෛත්‍රී ජනපති අතර “ජනපති අපේක්ෂකයා” සම්බන්ධයෙන් පැන නැගි ඇති අර්බුදය මෙන්ම ජාතික ආණ්ඩුව බිඳවැටිම් මෙම දෙකඩ විමට ආසන්නම හේතුව වි තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුම්න්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මේ පිරිස ඒකාබද්ධ විපක්ෂයේ පොදුජන පෙරමුණු මන්ත්‍රි කණ්ඩායමෙන් වෙන්ව ස්වාධීනව තීරණ ගැනීමට මේ වනවිට සැළසුම් කර ඇති අතර මාර්තු 12 වෙනිදා පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදි මෙම පිරිස අය වැයට පක්ෂව ඡන්දය ලබා දිමටද මේ වනවිට සිදුකල සාකච්ඡා වලදි එකඟතාව පලකර තිබේ.

එජාපය හා ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීම සඳහා සaජුවම ආණ්ඩුවට එක් නොවි විපක්ෂයේ සිටිමින් ශ්‍රිලනීප අන්‍යනතාව ආරක්ෂා කරගෙන ආණ්ඩුවේ යහපත් කාර්යයන් සඳහා සහයදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙම කණ්ඩායමේ ස්ථාවරය වී තිබේ.

ඒ අනුව අයවැය ට එරෙහිවීමේ ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරයට මෙම දෙකඩ විම දැඩි බලපෑම් එල්ල කරන අතරම එය ඉදිරි මැතිවරණ වලටද දැඩි ලෙස බලපෑම් එල්ල කරන බවට මහින්ද- මෛත්‍රී අතර සාකච්ඡාවලදිද අවධානය යොමුවි තිබේ.

පෙරේදා මහින්ද – මෛත්‍රී හමුවෙදී පළාත් පාලන මැතිවරණය පවත්වා වහාම එජාප ආණ්ඩුවට බලය පෙන්විය යුතු බවට මෛත්‍රී මහින්දට යොජනා කර තිබුනද ආණ්ඩු බලයක් නොමැතිව ජාතික තලයේ මැතිවරණයක යැම මහින්ද තරයේම ප්‍රතිකේෂ්ප කර තිබේ.

Published on: Feb 23, 2019- නිසිලෙස ආයෝජන කළමනාකරණය නොකිරීම මූල්‍ය වංචා සිදු කිරීම හා අල්ලස් ගැනීම හේතුවෙන් මහපොළ භාරකාර අරමුදලට රු 4,451,645,530ක පාඩුවක් සිදුවී ඇති බව අදාළ අරමුදලේ ආයෝජන කළමනාකරණය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව සඳහන් කරනවා.

අරමුදලේ භාරකරුවන් ලෙස කටයුතු කළ ආචාර්ය වික්‍රම වීරසූරිය හා නීතිඥ අනිල් රාජකරුණා විසින් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලට අයත් හිමිකම් හා වත්කම් බැහැර කිරීම පිණිස ගිවිසුමකට ඇතුළත්ව ඇති බවත් ඒ මගින් 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ පනත උල්ලංඝනය කර ඇති බවත් චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට 2018 ඔක්තෝබර් 18 දා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් පැමිණිල්ලක් යොමුකර ඇතත් මේ වනතුරුත් ඒ සඳහා ද නිසි පියවර ගෙන නැතැයි වාර්තා වේ.

විශේෂ විගණන වාර්තාව අනුව අරමුදලට සිදුවු අලාභය පහත පරිදි දක්වා ඇත. මහපොළ භාර අරමුදලට ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ( SLITT) සම්බන්ධයෙන් තිබු අධිකාරිත්වය හා රු 1,645,494,236 ක ප්‍රතිලාභ අහිමි වීම, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික ලාභයෙන් භාර අරමුදලට ලැබිය යුතු 50% ක ලාභ කොටස වන රු. 456,005,645ක් අඩුවෙන් ලබාදීම, භාර අරමුදල යටතේ නැෂනල් වෙල්ත් කෝපරේෂන් සහ එහි පරිපාලිත සමාගමක් වන නැට්වෙල්ස් සිකියුරිටිස් සමාගම්වල සුරැකුම්පත් ගණුදෙණු තුළින් 2011, 2015, 2016,2017 යන වර්ෂවල රු 1,206,225,700 අලාභයක් වාර්තා කිරීම, මංගත ලොතරැයිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ලොතරැයිකරුවෙකු තෝරා ගැනීම නිසා අරමුදලට රු. 688,477,043 ක පාඩුවක් සිදුවීම සහ මහපොළ භාර අරමුදලට සතු ස්ථාවර තැන්පතු හා භාණ්ඩාගාර සුරැකුම්පත්වල ආයෝජිත මුදල නැවත ආයෝජනය නොකිරීම නිසා අරමුදල සතු ආයෝජන රු 455,442,906 කින් අඩුවීම ආදිය ඒ අතර වේ.

දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත.

Published on: Feb 22, 2019- රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ ක‍්‍රියාවලියේ ප‍්‍රථම පියවර වන්නේ, පසක් කර ගත හැකිව ඇති යථාර්ථයට එරෙහිව විවෘත විරෝධතාවක් නිර්මාණය කර ගැනීමයි. ‘ව්‍යවස්ථා සභාව’ ඉතා ප‍්‍රකෝපකාරී අන්දමින් හෙළාදකින විජයදාස රාජපක්ෂ අනුගමනය කරන්නේ ඒ ෆැසිස්ට්වාදී තර්කණයයි. එක් සුවිශේෂී මතයක එල්බ ගැනීම, සකල නීතිරීති විනාශ කිරීමේ හෝ යටපත් කිරීමේ නොවරදින මාර්ගය බව ෂ්මිට් පෙන්වා දුන්නේය. එය මොන තරම් නොහොබිනා මතයක් වුව ද කම් නැත. ළඟ එන මහා විනාශයක හෝ නස්පැත්තියක භීතියෙන් මඩනා ලද පුරවැසියා එවිට තමාගේ සැබෑ නිදහස, අර කියන ඊනියා ගැලවුම්කාරයාගේ ව්‍යාජ සහ වංචාකාරී ආරක්ෂාව පිළිබඳ දෙන්නම් කාසි වෙනුවෙන් හුවමාරු කර ගන්නේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ස්වාධීන අධිකරණයක් අවශ්‍ය කෙරේ. සංවාද සහ විසංවාද අස්සේ නීතියේ ආධිපත්‍යය සහතික කරලනු වස් එය අවශ්‍ය කෙරේ. මේ මුග්ධ දේශයේ ජනාධිපති වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේන පත්කර ගැනීම සඳහා ඡුන්දය පාවිච්චි කළ හැටලක්ෂ ගණනක් වන ජනතාවගෙන් මේ ලියුම්කරුද එක් කෙනෙකි. ‘මිනිස් බන්ධනය’ නැමැති සිය නවකතාවේදී සමර්සෙට් මෝම් කියන්නා සේ, ඉහිරුණු කිරට හඬා වැටීමේ තේරුමක් නැත. මන්ද යත්, සක්වල සකල බලවේග කටයුතු කරන්නේම කිරි ඉහිරවීමට වන බැවිනි.

අප 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පනවා ගත්තේ මන්ද යන්න මෑතකාලීන සිදුවීම් අපට පැහැදිළි කොට දී තිබේ. ව්‍යවස්ථාවේ අවසාන ආරක්ෂකයා වන්නේ ස්වාධීන අධිකරණයයි. ජනතාවගේ මූලික අයිතීන් ආරක්ෂා කර දෙන අවසාන බේරුම්කරුවා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

අප මහින්ද රාජපක්ෂට දොස් කිව යුතු නැත. මෛත‍්‍රීපාල සිරිසේන යටතේ අගමැති ධුරය භාර ගැනීමට තමන් එකඟ වුණේ මන්දැයි, මෑතකදී ඉන්දියානු සංචාරයකට සහභාගී වෙමින් ඔහු පැහැදිළි කෙළේය. ඒ මගින් පාලක සභාගය බිඳ දැමුණු අතර, තුනෙන් දෙකක බලයක් අභ්‍යාස කිරීමට තිබුණු තත්වයක් වළක්වා ගැනුණි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කෙළේ නැත. එසේ කෙළේ වෙනත් කෙනෙකි. මහින්ද රාජපක්ෂ කෙරෙහි රනිල්ගේ කෝන්තරයක් නැත්තේ එබැවිනි. 41 වැනි අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ 42 වැනි අගවිනිසුරු අශෝක ද සිල්වා සමග මැදමුලන නින්දගම් වලව්වේ පැවති සුරංගනා මංගල්‍යෝත්සවයේ රනිල් වික‍්‍රමසිංහත් සිටියේ එබැවිනි.

මහින්ද රාජපක්ෂ තමන්ගේ නීතිඥයන් ගැන දන්නා නීතිඥයෙකි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබුණු ස්වාධීන කොමිෂන් සභා, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ හදා ගත්, තමන්ගේම මිනිසුන්ගෙන් සමන්විත සභා විශේෂයක් බවට ඔහු පත්කර ගත්තේය. වර්තමාන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබෙන ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ සහසුද්ද සංකල්පය තමාට නොදිරවන බව ඔහු වසංගන්නේ නැත.

දැන් අපරූපී බළලෙකු හෙමින් සීරුවේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ මල්ලෙන් එළියට පනිමින් සිටින සැටියක් පෙනේ. රටේ තිබෙන වඩාත් දුෂිත ආයතනවලින් එකක් වන්නේ ‘ව්‍යවස්ථා සභාව’ බවට ඔහු නිගමනය කොට ඇත. එය අහෝසි කළ යුතුව තිබේ. නිවැරදි, අපක්ෂපාතී සහ සාධාරණ තීන්දු ගැනීමේ හැකියාවක් ඊට නැත. හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් නීතිපති තනතුරට පත්කිරීම මේ ‘ව්‍යවස්ථා සභාව’ මගින් ප‍්‍රතික්ෂේප කොට තිබීම, ඔහුගේ ඇවිස්සීමට විශේෂ හේතුකාරකයක් වී තිබේ. ඒ පත්කිරීම ප‍්‍රතික්ෂේප කෙරෙන කාලයේ තමන් ද එහි සාමාජිකයෙකුව සිටි බව ඔහු නොකියයි. එසේම, එහි සාමාජිකයෙකුව සිටි තවත් සිවිල් සමාජ නියෝජිතයෙකු සුහද ගම්ලත් වෙනුවෙන් ඒ අවස්ථාවේ පෙනී සිටි බවත් ඔහු නොකියයි. මේ තේරීම පිළිබඳ ප‍්‍රශ්නයක් පැනනැගුණු අවස්ථාවේ ජනාධිපතිවරයාගේ කැමැත්තේ අනුපිළිවෙල දක්වා එවන ලෙස ‘ව්‍යවස්ථා සභාව’ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එවිට ජනාධිපතිවරයා කෙළේ, වර්තමාන නීතිපතිවරයාගේ නම පමණක් නිර්දේශ කොට යැවීමයි. මේ ආකාරයෙන් විජයදාස රාජපක්ෂ අපට කොකා පෙන්වීමට බැලීම නොමනා ය.

ඔහුට ස්වාධීන අධිකරණයක් අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය කරන්නේ කීකරු අධිකරණයකි. නිශ්ශංක සේනාධිපති සහ ‘ඇවන්ගාඞ්’ හුටපටයටත් ඔහු සම්බන්ධ බව කියැවේ. ඒ සිද්ධියත් නොබෝ දිනකින් අධිකරණය ඉදිරියේ දිග හැරීමට නියමිතයි. සැබෑ කතාව දිග හැරෙනු ඇත්තේ එහිදී ය.

තමන්ගේම අවකල් ක‍්‍රියා ගොහොරුව අස්සේ බඩගාන රනිල් වික‍්‍රමසිංහගේ මේ ඔතෑනි ආණ්ඩුව ඉදිරියේ ‘ඇවන්ගාඞ්’ ජාවාරම්කාරයන්ට අවශ්‍ය කරන්නේ, ඊළඟ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය දක්වා, ප‍්‍රතිප‍්‍රහාරාත්මක ශබ්ද පූජාවක් පවත්වාගෙන යාම පමණි.

‘ව්‍යවස්ථා සභාවට’ එරෙහි ප‍්‍රථම සද්දය දැම්මේ ජනාධිපතිවරයා ය. ‘ව්‍යවස්ථා සභාවේ’ සභාපති කතානායක කරූ ජයසූරිය ඊට ප‍්‍රතිඋත්තර බැන්දේය. දැන් විජයදාස රාජපක්ෂට මේ සම්බන්ධයෙන් රූපවාහිනී විවාදයක් අවශ්‍ය කොට තිබේ. ‘ව්‍යවස්ථා සභාවේ’ හිටපු සාමාජිකයෙකු වශයෙන් ඉතා පහසුවෙන් ඒ සඳහා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටිය හැකිව තිබියදී රූපවාහිනී සංවාදයක් ඉල්ලා සිටීම අපූරු ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක නීතියේ ආධිපත්‍යය සඳහා පුරවැසියන්ගේ විශ්වාසය දිනා ගත් පරිමිත විනිසුරුවරුන් සිටීම අත්‍යාවශ්‍යයි. ආණ්ඩුවෙන් ස්වාධීන සහ පරිවෘත්ත අධිකරණයක් අප ඉල්ලා සිටින්නේ අපෙන් බොහෝ විට මගහැරී ගොස් ඇති එකී අවශ්‍යතා සාධනය පිණිස ය. රටක අධිකරණයක් භුක්ති විඳින සහ අභ්‍යාස කරන ස්වාධීනත්වයේ තරම විසින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයක සහ අධිකාරීවාදී ආණ්ඩුකරණයක වෙනස තීරණය කෙරේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයක අසමත් භාවය, අධිකාරීවාදී පාලනයකට අත වැනීමකි. ඒ අසමත් භාවයේ ප‍්‍රතිවිපාකයක් වශයෙන් ගොඩනැගෙන මහජන කෝපය බොහෝ විට තුඩුදෙන්නේ ජනපි‍්‍රය ප‍්‍රජාපීඩකයන් බලයට පත්කර ගැනීමටයි. ඉතිහාසය පුරාම, ෆැසිස්ට්වාදීන් සහ නව-ෆැසිස්ට්වාදීන් ඡුන්දවලින් ජයග‍්‍රහණය කොට ඇත්තේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය නැට්ටටම කුණු වී ඇතැයි යන බෙරේ ගසමිනි.

ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් තම පවුලේ කෙනෙකු පත්කර ගැනීමේ අභිලාෂය නොසඟවන, ජනකාන්ත හයිකාර මහින්ද රාජපක්ෂ ගැන ටිකක් සිතා බලන්න. ජයග‍්‍රාහකයන් සහ පරාජිතයන් මිස හරි වැරැුද්ද කියා දෙයක් නැති බව, ‘කුහකත්වයේ වෙස්මුහුණු ගලවා’ බලා ගන්නා ලෙස ෆැසිස්ට්වාදීන් ජනතාවගෙන් ඉල්ලා සිටින අපූරුව, ‘‘සර්වාධිකාරීවාදයේ මූලයන්’’ නැමැති සිය කෘතියෙන් හැනා ආරෙන්ඞ් පෙන්වා දෙයි.

මහින්දගේ කුහකත්වය අභිලාෂකාමී ය. ඔහුට සිය පවුල් ආධිපත්‍යය යළි පිහිටුවා ගැනීමට අවශ්‍ය ය. දේශපාලඥයන් පේ‍්‍රරණය වන්නේ, බලයේ මාත්සර්යයෙන් මිස පරමාදර්ශවලින් නොවේ. එබැවින්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට අප අපොහොසත්ව තිබේ. තිරසාර ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ඇති කර ගැනීමට අප අපොහොසත්ව තිබේ.

2019 දී අප ඉදිරියේ ඇත්තේ එක ප‍්‍රහේලිකාවක් පමණි. එනම්, ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් අප තෝරා ගත යුත්තේ කොයි කුහකයා ද යන්නයි. මෙය, හුදෙක් කුඩුකේඩු කතාවක්ම නොවේ. විජයදාස රාජපක්ෂ අපූරුවට පෙන්වා ඇති පරිදි, දේශපාලනික කුහකත්වය අලාභදායී කර්මාන්තයක්ම නොවේ. අවංකත්වය දේශපාලනය තුළ ලාභදායී යැයි සිතීම නම් ඊට වඩා නරුම කල්පනාවකි.

‘ව්‍යවස්ථා සභාව’ ගැන තමා තුළ ඇති අප‍්‍රසාදය පාර්ලිමේන්තුවේදී සාකච්ඡුාවට ගන්නවා වෙනුවට විජයදාස රාජපක්ෂ මේ විවේචනය කරන්නේ, බොහෝ කොට රාජපක්ෂ දශකයේදී පැටව් ගැසූ මාධ්‍ය මුදලාලිලාගේ විද්‍යුත් අවකාශයේ ය. ජනතාව නොමග යැවීමට රූපවාහිනි අවකාශය කියාපු ස්ථානයකි. එතැන ‘පට පට’ ගා දේවල් සිද්ධ වෙයි. ඒ අවකාශය මුද්‍රිත මාධ්‍යයට නැත. එබැවින් මුද්‍රිත මාධ්‍යයේදී අත්‍යාවශ්‍යම දෙයට පමණක් සීමා වීමට කෙනෙකුට සිදු වෙයි. උදේට ඒ පත්තර කියවන මුවාවෙන් තවත් වැඩ සටහන් රූපවාහිනියේ දිග හැරෙයි. ඉහත කී සංවාදයේ කොටස් ද උපුටා දක්වමින්, තවත් අයගේ අදහස් උදහස් ද සමග ඒ ප‍්‍රවෘත්තිය නැවතත් මේ කියන පුවත්පත් කියවීමේ දී ප‍්‍රචාරණය කෙරේ.

යහපාලනයේ එකම සාර්ථකත්වය වන ‘ව්‍යවස්ථා සභාව’ අහෝසි කරන්නැයි විජයදාස රාජපක්ෂ ඉල්ලා සිටීම ජාතික මට්ටමේ ආන්දෝලනය දනවන්නකි. නඩු තීන්දුවක් දුන් පමණින් විනිසුරුවරුන්ගෙන් පලිගැනීම මොන තරම් අසාධාරණදැ යි එක් රූපවාහිනී ප‍්‍රකාශකයෙකු ප‍්‍රශ්න කර සිටියේය. යම් සිද්ධියක ඇති වැදගත්කම, ලූනුදෙහි එක් කොට ඕනෑම පැත්තකට හැඩගැස්වීමට මේ රූපවාහිනී ප‍්‍රකාශයකයන්ට අවස්ථාව ලැබී තිබේ. එය මාධ්‍ය මුදලාලිලා කිහිප දෙනෙකුගේ ඒකාධිකාරයක් බවට අද පත්ව තිබීම අපේම අබග්ගයකි.

එක්සත් ජාතික පක්ෂය විජයදාස රාජපක්ෂ අස් කළ යුතුව තිබේ. ඒ සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහට උපදෙස් අවශ්‍ය නම් ගෝඨාභය රාජපක්ෂගෙන් ලබා ගත හැකිය. සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරුණේ ඔහු වැරදිකරු කොට දෙන ලද අධිකරණ තීන්දුවක් මත පදනම්ව ය. ආණ්ඩු කිරීමේදී මහින්ද රාජපක්ෂ ඒ මේ අත වැනුණේ නැත. සිය විරුද්ධවාදීන්ට නඩු දැමූ ඔහු ඔවුන් වැරදිකරුවන් කෙළේය. ඊළඟට උත්සවශ‍්‍රීයෙන් ඔවුන්ට සමාව දුන්නේය. ඒ, සැබෑ බෞද්ධ ආචාර ධර්මවලට අනුකූලව ය.

2009 අගෝස්තු 31 වැනි දා කොළඹ මහාධිකරණය මාධ්‍යවේදී තිස්සනායගම්ව 20 අවුරුද්දකට බරපතල වැඩ ඇතිව හිරේට නියම කෙළේය. එය මාධ්‍යවේදීන්ට ‘හිරිහැර කිරීමේ’ ප‍්‍රශ්නාර්ථකාරී නිදර්ශනයක් බව කියමින් බරක් ඔබාමා එදා අපේ අභ්‍යන්තර කටයුතුවලටත් හොට දැම්මේය. ඔබාමාගේ උපදේශය අපේ නායකයා සතේකට ගණන් ගත්තේ නැත. එහෙත්, ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ සමරමින් තිස්සනායගම්ට ඒ ජනකාන්ත නායක මහින්ද රාජපක්ෂ 2010 මාර්තු 3 වැනි දා සමාව දුන්නේය.

නාහෙට නාහන මාධ්‍යවේදියෙකුට විසි අවුරුදු බරපතල වැඩ සහිත හිර දඬුවමක් වැඩි නැතැයි විජයදාස රාජපක්ෂ සිතිය හැකිය. මාකඳුරේ මධූෂ්, කරුණාකර වලස්මුල්ලේ විජයදාසට තැන දී වේදිකාවෙන් බැස යන්න.

සරත් ද අල්විස්

2019 පෙබරවාරි 17 වැනි දා ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ
Perfidious Politics of Wijayadasa Rajapakshe PC
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Published on: Feb 19, 2019 – පසුගිය දිනෙක අඟුරුවාතොට පොලිස් වසමේ රෙමුණ අඹගහලන්ද පාරේ නිවසක තනා තිබුණු අනාරක්ෂිත තාප්පයක් අසල්වැසි නිවැසියෙකු මත කඩා වැටීමෙන් එම පුද්ගලයාගේ දෙකකුල උකුල් ප්‍රදේශය බරපතළ ලෙස හානියට පත් විය.

අදාල ස්ථානීය පරීක්ෂණය සිදු කළ අඟුරුවාතොට පොලිසිය මෙම සිදුවීම අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පැවති තත්ත්වය පිළිබඳ පිළිබඳව විමසීමක් කොට  තාප්පය අයත් නිවසේ හිමිකරු දින 7 ක කාලයක් සඳහා බන්ධනාගාර ගත කරන ලදී.

මෙම සිදු වීම සමඟ කෝපයට පත් පානදුර ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරියකු අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා කැඳවා ඉතා පහත් ලෙස බැණ වැදී ,වහා ම මෝසමක් ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයා මුදවා ගන්නා ලෙස උපදෙස් දී ඇත. පොලිස් පැමිණිල්ලකට බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයා යළිත් එම පොලිසිය විසින් ම මෝසමක් ඉදිරිපත් කොට ඊයේ දිනයේදි ඇප ලබා ගත් ආකාරය අධිකරණයේ රැස්ව සිටි පිරිසට දැක ගත හැකි විය.

අනාරක්ෂිත තාප්පය කඩා වැටීමෙන් අගතියට පත් පුද්ගලයා දින දහ හතරක් පුරාවට රෝහල් ගතව සිට ශල්‍ය කර්ම වලට භාජනය වීමෙන් අනතුරුව මේ වන විටත් තමාගේ රැකියාව පවා සිදුකර ගැනීමට නොහැකිව ඔත්පල ව සිටින අතර අනාරක්ෂිත තාප්පය පවත්වාගෙන ගිය පුද්ගලයා කෙරෙහි පානදුර ඉහළ  පොලිස් නිලධාරියා දැක්වූ කරුණාව අගතියට පත් පාර්ශවය කෙරෙහි නොදැක්වීම බරපතල ගැටලුවකි.

කෙසේ වුව ද , නිසි ලෙස නීති මාර්ගයෙන් කටයුතු කරන නිලධාරීන් අධෛර්යයට පත් කරන මෙවැනි ඉහළ පොලිස් නිලධාරීන් සමස්ත පොලිස් සේවයට ම සිදුකරනුයේ බලවත් නිගාවකි. නිලධාරීන්ට නින්දා සහගත ලෙස බැණ වැදීමත්, නීති කටයුතු ආපස්සට හැරවීමත් ඉහල පොලිස් නිලධාරින් සතු වගකීමක් ද ?

නීතීඟඳ නුවන් මිරිහාන මහතා විසින් අදාල සිදුවීම ඇසින් දැකීමෙන් පසුව සිය ෆේස්බුක් ගිණුමෙ හි තැබූ සටහන…
https://www.facebook.com/nuwan.mirihana/posts/1365645256910648

Annex 04: කඩා වැටුණු අනාරක්ෂිත තාප්පයේ ඡායාරූපය

අනතුරට පත් වූ පුද්ගලයාගේ X කිරණ පිටපත්

මාකදුරේ මදූෂ් ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත් වීමත් සමඟ දේශපාලනඥයින් හා පාතාල සාමාජිකයින් කුඩු ව්‍යාපාරකයින් අතර ඇති සබඳතා ගැන මේ වන විට සමාජ ජාලාවල දැඩි කතාබවක් ඇතිව තිබේ.

එහි ආසන්නතම සාකච්ඡාව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ ක්ලබ් වසන්න නැමැත්තකු ඇතුළත් ඡායාරූපයකි. එය සමාජ ජාලාවල හුවමාරු වන්නේ බුකී ව්‍යාපාරය, පාතාලය, මත්ද්‍රව්‍ය අතර සබදතාවක් ඇති බවට ඉඟිවත් ලබා දෙමිනි. ආන්දෝලනයට පත් එම ඡායාරූපය පහත දැක්වේ.

 

http://198.211.112.164/archives/10603

Published on: Feb 9, 2019- 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තු විසුරුවීමට අදාල ජනාධිපති විසින් නිකුත් කළ ගැසට් නිවේදනය 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු ලබා දී ඇති අතර එකී ගැසට් නිවේදනය නීතියට පටහැනි බව දක්වමින් සහන අයද නීතිඥ ලක්සිරි උණවටුන විසින් දපෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සමට සමගාමීව තවත් පෙත්සම් කිහිපයක්ද ගොනු කර තිබූ අතර ඒ සියලු පෙත්සම් විනිසුරුවරු 07 දෙනෙකුගේ විනිශ්චය පීඨයක් ඉදිරියේ කැදවා තිබූ අතර එම පෙත්සම්වල තීරණය දීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය බිදවැටෙන ආකාරයට කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ඇති බවටද පෙත්සම්කරු විසින් පෙත්සමක් ගොනු කර තිබුණි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බවට 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබා දී ඇති අතර එකී තීන්දු සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට පෙත්සම්කරු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වා ඇත.

එකී නඩුවේ සියලු කාර්ය සටහන්වල සත්‍ය සහතික පිටපත් පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් ලබා ගෙන ඇති අතර එකී ලේඛන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති හෙයින් පෙත්සම්කරු නිලලත් භාෂා පරිවර්තකයෙකු ‍මගින් සිංහල භාෂාවෙන් පරිවර්තනය කර ගැනීමට උත්සාහ දරා ඇත.

ඉංග්‍රීසි භාෂා පාඨවල අන්තර්ගතයේ පවතින ඉංග්‍රීසි භාෂාදෝෂ හේතුවෙන් එම ලේඛන සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට නොහැකි බව භාෂා පරිවර්තක විසින් පෙත්සම්කාර නීතිඥවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

එම නීතිඥවරයා එකී ලිපිය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට හැකි ආකාරයට නිවැරදි ඉංග්‍රීසි භාෂාවෙන් එකී නියෝග ලබා ගැනීමට මෝසමක් ගොනු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති සහතික පිටපත්වල ඉංග්‍රීසි භාෂාදෝෂ හේතුවෙන් එය සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට නොහැකි බවට භාෂා පරිවර්තක විසින් දැනුම් දී ඇති ලිපිය පහත දැක්වේ.

 

 

Top