Published on: Feb 8, 2019- වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු රටට හෙළි නොකලොත් ජනතාව සමග පාරට බැසීමට සුදානම් බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) පවසනවා. ශ්‍රී ලංකා පුවත්පත ආයතනයේදී පැවති මාධ්‍ය සාකාච්චාවේදී එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ වකුගඩු ජාවාරම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ප්‍රධානියාට සහ විධායක කමිටුවේ නිලධාරීන් කිහිපදෙනකුටද චෝදනා එල්ල වී ඇති බවයි. ඉන්දියානු රජය විසින් සිදුකල දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකාවේද මෙම ජාවාරම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. කෙසේවෙතත් එම පරීක්ෂණය විදිමත්ව සිදු වු බවට ගැටළු පවතින බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අවධාරණය කළේ. එම පරීක්ෂණ කටයුතු සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා සහ විධායක කමිටුවේ නිළධාරින් අනිසි බලපෑම් සිදු කල බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) චෝදනා කරනවා.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව මෙතෙක් එළිදක්වා නොමැති බවත් ඩීල් නවත්වා එය වහාම රටේ ජනතාවට දැන ගැනීමට එලියට දමන ලෙසත් නැතහොත් සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව රටේ ජනතාව දැනුවත් කර පාරට බැස්සවීමට කටයුතු කරන බව පෙන්වාදුන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ඉහල පෙලේ කමිටු සමාජිකයන්ගේ බලපෑම් ඊට එල්ල වී ඇති බවයි.

නිත්‍යානුකුලව වකුගඩු බද්ධ කිරීම් මගින් රටට විශාල විදේශීය විනිමයක් ලැබුන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) සම්බන්ධ  වෛද්‍යවරු පිරිසක් විසින් එය ජාවාරමක් ලෙස පවත්වාගෙන ගොස් තිබුනා. ඒ අනුව විදේශිකයන් සදහා මෙරටදී වකුගඩු බද්ධ කිරීම තහනම් කිරිමට රජය පියවර ගැනීම තුලින්  නිත්‍යානුකුලව රටට ගල ඒමට තිබු විශාල විදේශීය විනිමයක් අහිමිව ඇති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වගකිවයුතු බලධාරීන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) බලපෑම් වලට යටත් නොවී මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) ඉල්ලීමක්ද සිදු කරනවා.

ඉදිරියේ සති කිහිපය ඇතුලත රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සභාපතිවරයා විදේශ අධ්‍යාපනයට ගොස් ජනතා මුදල් වංචා කිරීම සහ ඒ පිළිබද අල්ලස් හා දූෂණ වංචා කොමිශන් සභාව ඒ පිලිබඳ ලැබුණු පැමිණිල්ලට කුමක් සිදු වී ඇත්ද යන්න විශේෂ හෙළිදරව්වක්ද බලාපොරොත්තු වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් සදහන් කලේය.

Published on: Feb 1, 2019 – අසාර්ථක රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියක වන පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය කැබිනට් තීන්දුවකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරිමත් සමග රේගුව තුල නොසන්සුන්තාවයක් ඇතිකිරිම පසුපස ජනාධිපතිවරයා සිටින බවට මේ වනවිට තොරතුරු අනාවරණයි වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයේකු හරහා මේ වනවිට රේගු වෘත්තීය සමිති මෙහෙයවන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු පත්කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවට විරෝධය පළකරමින්, ශ්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති අරගලයට සහය දැක්වූ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය එම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත්විය.

ඒ, රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා ව වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා එකඟත්වය පලකිරිමට ප්‍රතිචාර දක්වමිනි.

ජනරාල්වරිය ඉවත්කලේ ඇයි ?

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් චාර්ල්ස් මහත්මිය එම තනතුරට පත් කොට තවමත් ගත වී ඇත්තේ අවුරුද්දයි මාස දෙකක් වැනි කෙටි කාලයක් වුවද ඇය යම් සැලසුමකින් යුතුව වැඩ කළ බවද ඉන් ඇතැම් පිරිස්වලට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වූ බවත් රේගු වෘත්තීය සමිති නිලධාරීන් ඊයේ මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවී පවසා ඇත.

එහිදී කරුණු දැක්වූ අමාත්‍යංශ ලේකම්වරයා, රේගු ආදායම පසුගිය මාස කිහිපයෙහි බරපතල ලෙස කඩාවැටීමත්, පසුගිය වසර කිහිපය තුල දී ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය ජාවාරමේ සිදුව ඇති බරපතල වර්ධනය කෙරෙහි ශ්‍රී ලංකා රේගුවේ නොසැලකිල්ල හා අකාර්යක්ෂමතාවය බලපෑ ඇතැයි එල්ලවී ඇති චෝදනාත් සැලකිල්ලට ගෙන රේගු අධ්‍යක්‍ෂ ජනරාල් චාර්ල්ස් මහත්මිය ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ප්‍රකාශ කර තිබේ.

කෙසේවුවද වෘත්තීය සමිති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස පත් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමටත්, රේගුවේ නව වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් ලෙස මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා ව වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා එකඟත්වය පළකර ඇතයි ලේකම්වරයා එහිදී ප්‍රකාශකර ඇත.

නව රේගු අධ්‍යක්ෂක පත් කළේ කැබිනට් තීන්දුවට අනුවයි’ – මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා

නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරිමට කටයුතු කළේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුව යැයිද ඊට එරෙහි වීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නැතැයි ද මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අද (1) රේගු වෘත්තීය සමිති නියෝජිතවරුන්ට ප්‍රකාශ කර තිබේ.

කොළඹ මුදල් අමාත්‍යංශයේ දී රේගු වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ අද (1) පැවති සාකච්ඡාවකදී මුදල් ඇමැතිවරයා ඒ බව ප්‍රකාශ කර ඇත.

රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි කාර්යක්ෂම නිලධාරීන් ප්‍රධානීන් ලෙස පත්කිරිමට කැබිනට් මණ්ඩලයට බලයක් තිබෙන බවද එහිදී ඇමැතිවරයා වෘත්තිය සමිති නියෝජිතයින්ට ප්‍රකාශ කර තිබේ.

මේ වන විට වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරයකු පත්කර ඇති හෙයින් ඔහුත් සමඟ කටයුතු කරගෙන යන්නැයි ද එම සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක ද කර තිබේ.

Published on: Jan 25, 2019- හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ  සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු දේශපාලනඥ්යන් අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි දේශපාලන වැඩ කටයුතු සම්බන්ධයෙන් පසුගිය 21 වැනිදා සාකච්ඡාවක් පැවැත්විම සම්බන්ධයෙන් අර්බුදයක් හටගෙන තිබේන බව වාර්තා වේ.

පිට කෝට්ටේ වියත් මග කාර්යාලයේදී මෙය පවත්වා ඇති අතර ඉදිරි දේශපාලන කටයුතු  පිළිබදව මෙම සකච්ඡාව පැවති අතර ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව හරහා සිදුවිය හැකි අනතුර පිළිබදව කතා කිරිම හරහා ජනතාව අතර ඉක්මනින්ම ප්‍රසිද්ධ විමට හැකි බවයි එම කණ්ඩායමක ගොඨාභය රාජපක්ෂට පෙන්වා දි ඇත්තේ.

ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග , නිමල් ලාන්සා, ඩුලිප් විජේසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා  නගර සභා සභාපතිවරුද මෙම අවස්ථාවට එක්ව සිට ඇති නමුත් ඔහුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ලෙස පක්ෂය දැනුවත් නොකර මේ ආකාරටේ සාකච්ඡාවක් කැදවිම පිළිබඳව ශ්‍රි.පො.පෙ ජ්‍යෙෂ්ඨයන් අදාළ මන්ත්‍රීවරුන්ට දොස්පවරා තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

තවත් දිස්ත්‍රික් කිහිපයක මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා මේ සතියේ පැවැත්විමට කටයුතු සුදානම් කර තිබුනද එම සාකච්ඡා හදිසියේම අහෝසි කර දමා තිබේ.

Published on: Jan 15, 2019-(මෙම ලිපිය 2019 ජනවාරි 15 දින පලකරන ලද්දකි.නමුත් එය තවමත් වලංගුය…)

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වේදැයි මම නොදනිමි. දැනට තිබෙන ජනසංයුතිකයන්ට අනුව ඔහුට ඉදිරිපත් වී එය ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇතිදැයි ද මම නොදනිමි. එහෙත් එක් දෙයක් මම දනිමි. එනම් ගෝඨාභය මහතා ව ප්‍රවර්ධනය කරන ජනතීරුව දෙස බලන විට ජනපතිවරණය ජයගත්ත ද එම ජයග්‍රහණය වැඩි කල් නඩත්තු කිරීමට නම් නොහැකි වනු ඇත. මන්ද අප⁣ රටට ඉදිරියේ දී අවශ්‍ය වන්නේ පාලකයෙකු නොව, ලංකාවේ සියළු ජන කොටස්, ආර්ථිකය, දේශපාලනය ආදි සකලවිධ අංග මනාව කළමනාකරණය කළ හැකි දක්ෂ කළමනාකරුවෙකු නිසා ය.

අර්බුදය ඔඩු දුවන්නේ ගෝඨාභය මහතාගේ ගැටළුවක් නිසා නොවන බව ද කියමි. එහෙත්, ඔහු ව ඉල්ලන පිරිසෙහි දේශපාලන හා වාර්ගික අභිලාෂයන් නිසා ය. අප සැම ඉතා හොඳින් දන්නා පරිදි ලෝක දේශපාලනය හා ඒ ඒ රටවල යහපැවැත්ම වත්මන වන විට එක් පද්ධතියයක් ලෙස ඉතා තදින් එකිනෙකට බැඳී ඇති දාමයකි. අප වන් කුඩා රටකට මතු නොව කනම් රටකට හෝ ඉන් පහසුවෙන් මිදිය නොහැකි ය. අප කැමති වුවද අකමැති වුව ද ලෝකය අප දෙසට දක්වන ප්‍රතිචාරය රඳා පවතින්නේ අප රටේ සියළු ජනකොටස් හා ඒ ආශ්‍රිත ප්‍රශ්න කිසිවෙකුට ගැටළුවක් නොවන ලෙස කළමනාකරණය කරන ආකාරය මතය. ගෝඨාභය මහතා වෙනුවෙන් පෙනී සිටින පිරිස මෙවැනි කළමනාකරණයකට කිසිදා යෑමට ඔහුට ඉඩ නොදෙනු ඇත.

ගැටළුව වන්නේ ගෝඨාභය මහතාට එක්කෝ තමා ගැන උද්වේගකර අපේක්ෂා සහිත නාගරික සිංහල බෞද්ධ තීරුවේ අන්තවාදි අභිලාෂ සංතර්පනය කිරීමට සිදුවීම ය. නැතිනම් එම අන්තවාදී කොටස් ඉච්ඡාභංගත්වයට පත් කරමින්, සියළු ජනකොටස් එකට සංතර්පනය වන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම ය. මුල් එළඹුමේ දී දෙවැන්න අසතුටු වනු ඇත. දෙවැන්නට ගියහොත් අංක එක අසතුටු වනු ඇත. ඉතිරි වන්නේ, මග හිටියොත් නසී, ගෙදර ගියොත් අඹු නසී තත්වයකි.

සුළු ජන කළමනාකරණය නොවුවහොත්, විශේෂයෙන් උතුරේ දෙමළ ජනයා වෙත තවදුරටත් පීඩනය එල්ල වන පසුබිමක, රටපුරා මුස්ලිම් ජනයා වෙත ද භීතිය පැතිරුණ හොත් එම සුළුජන වර්ග හා ආගමික කොටස් ඉතා ඉක්මනින් එම පාලනයෙන් කලකිරීමට පත්වීම අමුතුවෙන් කිවයුතු නොවන්නකි. එවිට ඇති වීමට නියමිත තත්වය 2014 අගභාගයේ සිදු වූවක් වැනි ය. එසේ වුවහොත්, ජාත්‍යන්තර අතපෙවීම් හා ආර්ථික සම්බාධක හමුවේ රට තවදුරටත් අර්බුදකාරි දිශාවකට ම ගමන් කරනු ඇත. එවන් තත්වයක අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ පොදුජන ආර්ථික අපහසුතා මැද ජාති, වර්ග හෝ කල්ලි භේදයකින් තොරව සියළු පුරවැසියා පාලනය කෙරෙහි කලකිරීම ය. එතුළ, ගෝඨාභය මහතා ජයග්‍රහණය කරවීම තුළින් සිංහල අන්තවාදී මැදපන්තිය ඉල්ලූ අභිලාෂ ද පොදුවේ රට ඉල්ලන අභිලාෂ ද අහිමි ව යනු ඇති අතර, රනිල් වැනි බටහිරට හා දෙමළ ජාතිවාදයට ගැති පුද්ගලයෙකුගේ පුනරාගමනය යළි පරජය කරනු නොහැකි ලෙස ඉස්මතු වනු ඇත.

විශේෂ ලියුම්කරු

නිදහස් පක්ෂයේ අභිනව මහ ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාව අද සින්ගක්කුලිය දේවාලය අසල පිළිගැනීමකට පිරිස සැරසී සිටියද ඒ පිරිස එහා මෙහා විසිරි ගොස් ඇති බව ආරංචි මාර්ග පවසනවා. හේතුව වන්නේ මධ්‍යලේකම්වරුන් දහයකට වඩා රාජකාරි කරන දයාසිරිගේ කාර්ය මණ්ඩලයේ නිල මාධ්‍යවේදියා හෙවත් හෙට්ටිපොල අසංක බාලසූරිය නිධානයක් හෑරීමට ගොස් පොලිසියට හසුවී බන්ධනාගාර ගත වීමයි

කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කටුපොත මාර්ගය කිට්ටුව නිකසලාරාමය පන්සල අසල නිධානයක් හාරමින් සිටියදී දයාසිරිගේ මාධ්‍ය ලේකම් හෙවත් හෙට්ටිපොල අසංක බාලසූරියව අත්අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇත.

අත් අඩංගුවට ගන්නා මොහොතේදී සිරස මාධ්‍ය ජාලයේ කමිසයක් ඇඳ සිටි අසංක බාලසූරිය හදිසියේම දයාසිරි ජයසේකරගේ පෞද්ගලික ලේකම් පාලිත පෙරේරා මහතාට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙම සිද්ධිය කියා ඇතැයි පොලිස් සාජන් වරයෙක් පවසා ඇත. එතැනදී පොලිසිය විමසා ඇත්තේ මේ සිද්දියට දයාසිරි මන්ත්‍රීතුමා සම්බන්ධ නම් එය පවසනු ලෙසටය. අසංක බාලසූරිය යනු දයාසිරිගේ ප්‍රවෘත්ති නිලධාරි ලහිරු සමරසිංහට තර්ජනය කරමින් හෙට්ටිපොළට ආවොත් කුඩුකරනවා යනුවෙන් තර්ජනය කල පුද්ගලයා බවද ඉහළින් දැනගන්නට ලැබී ඇත.

අද දිනයේ දයාසිරි ජයසේකර පිළිගන්න යන්නට සැරසුණු පිරිස අසංක බාලසූරිය බේරාගැනීමට පොලිසියට යන්නට සැරසෙන බව ආරංචි මාර්ග කියයි. කොහොම නමුත් අසංක බාලසූරිය දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ රැකියාවක්ද ලබාගනිමින් සේවයට වාර්තා නොකර වැටුප් ලබාගත් අයෙක් බවද කටුපොත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අප වෙත පැවසීය.

Published on: Jan 10, 2019- ලග්ගල නව නගරය විවෘත කිරිමේ උත්සවයට ජනාධිපතිවරයා හා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහභාගීවිම හා ඔවුන්ගේ හැසිරිමේ අමුත්තක් රූපවාහිනිය නරඹන සැමට දක්නට ලැබුනි.

සැමට දක්නට ලැබුණෙ සජිත් ප්‍රේමදාස හා ජනාධිපතිවරයා අමුතු දීගයකට එළැඹ ඇති සෙයකි. දින 52ක් පුරාවට ආනේක විද කම්කටොලු විදිමින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මන්ත්‍රීවරුනුත් පාක්ෂිකයනුත් දුක් විද ලබාගත් ජයග්‍රහණය කෙලෙසිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මේ වන විට සැක පහලවී තිබේ.

ලග්ගල උත්සවයට ජනාධිපතිවරයා හා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වෙන වෙනම පැමිණියද ඔවුන් දෙදෙනා එහි පැවැති අනෙකුත් සියලු විවෘත කිරිම් සදහා සහභාගී වූවේ එකටය. ගමන් කළේද එකම වාහනයේය.එහිදි ගැඹුරු දේශපාලන සාකච්ඡා පැවැති බවට වාර්තාවේ.

2020 ජනාධිපතිවරණය ඇතුළු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සම්බන්ධ‍යෙන්ද මෙහිදි සාකච්ඡා වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.

Published on: Jan 8, 2019 – චන්ද්‍රිකා බලයට පත්වූ පසු ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය පිලිබඳව පරීක්ෂා කිරීමට කොමිසමක් පත් කළේය. එහිදී අභූත ලෙස පහල වූ රෝහිනී හතුරුසිංහ නැමති කාන්තාවක් කොමිසම ඉදිරියේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් කළාය. රෝහිනීගේ බොරු සාක්ෂි වලින් කුපිත වූ ජනයා විජය විමලරත්න විරුවාගේ කිරිබත්ගොඩ ප්‍රතිමාවට පවා පහර දුන්හ . සත්‍ය හෙළිදරව්වන විට විනාශය සිදුවී හමාරය. කොමිසමේ කටයුතු අවුල් කිරීම සඳහා එම තැතැත්තිය සැලසුම් සහගතව යොදා ගත් කෙමනක් බව පසුව ඔප්පු විය.

පසු ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දූෂණ‍ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක යැයි කියා කියා ගත් නාමල් කුමාර නැමැත්තෙකු එකවරම පහළ වී මාධ්‍යයට ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් කළේය. බැලූ බැල්මට මොහුගේ වත්කම රුපියල් 1500 ක බැනර් කැබැල්ලකට ලඝු වී තිබුනද ඔහු නැටවූ බලවත් හස්තයක සෙවනැල්ල දිස්විය. හමුදාවෙන් දෙවරක් පලා ගිය නාමල් කුමාර මාධ්‍ය සංදර්ශන තියමින් රටේ අගමැතිවරයාට චෝදනා කළේය, හමුදාවේ ඉහලම ධූරන්ධරයා වූ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට චෝදනා කළේය.

කසිප්පු බැරලයෙන් ගොඩ ගිය නාමල්

නාමල් කුමාර අම්පාර මහඔය ප්‍රදේශයේ පුද්ගලයෙකි. හමුදාවෙන් පලා ගිය මොහු කොළඹ පැමිනියේ පෞද්ගලික ආරක්ෂක සේවාවක සිකියුරිටි ‍රැකියාවක් කිරීමටය. සිකියුරිටි ‍රැකියාව අතරතුර වරකාපොළ කරඳතුල්හිරිය ග්‍රාමයේ බාහිර උපාධි අපේක්ෂිත තරුණියක හා විවාහ වී එහි බින්න බැස්සේය. මහඔය ප්‍රදේශයේ විසූ නාමල් කුමාරගේ පවුලේ උදවිය වෘත්තියක් ලෙස කෙළේ කසිප්පු පෙරීමය. ඒ නිසා කසිප්පු ජාවාරම පිලිබඳව හොඳ ඉවක් නාමල්ට තිබුනේය . වරකාපොල බින්න බැසගත් නාමල් කුමාර දිගට හරහට ප්‍රදේශයේ කසිප්පු පිලිබඳව පොලීසියට ඔත්තු දුන්නේය. ඒ අතර තුර පොටක් පාදාගත් නාමල් කුමාර සිරිසේනගේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායට හේත්තු වූයේය.

පොලිස්පති ඇන්ද වූ ගජබින්නය

ඉන් නොනැවතුනු ඔහු ෆේස් බුක් හරහා ‘මහසෝන් බලකාය’ සහ ‘සිංහලේ’ වැනි සංවිධාන සමග සබඳතා ඇති කරගත්තේය. ප්‍රංශයේ වෙසෙන බවට සැක කෙරෙන ‘තුෂාරන්’ නමැත්තෙක් ඔහුට හමුවන්නේ ෆේස්බුක් හරහාය. නාමල්ගේ ගජබින්නයට අනුව මුස්ලිම් අන්තවාදයට එරෙහිව සිංහල මිනිසුන් සන්නද්ධ කරන ලෙස ‘තුෂාරන්’ ඉල්ලා ඇත. ඊට අවැසි අවි ආයුධ ඔහු විසින් මෙරට නැගෙනහිර මුහුදු වෙරළට බෝට්ටුවකින් එවිය හැකි බව කියා ඇත. එම මෙහෙයුමට නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වූ ‘පුෂ්පරාජ්’ නමැත්තා ද එක්කර ගන්නා ලෙස ඔහු පවසා ඇත. තුෂාරන්ගේ මෙම කථාව නාමල් කුමාර විසින් පටිගත කලේය

ඉන් අනතුරුව තුෂාරන්ගේ හඩපටය අතැතිව නාමල් කුමාර පොලිස්පතිවරයා හමු වීමට ගියේය. පොලිස්පතිවරයා නාමල් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නාලක ද සිල්වා වෙතට යොමු කර තිබිණි. නාමල් කුමාර හා නාලක සිල්වා අතර මිත්‍රත්වය ඇතිවන්නේ ඒ අනුවය. තුෂාරන් පිලිබදව පරීක්ෂා කළ පොලීසියට දැන ගත හැකිවූයේ නාමල් කුමාර ඇද බෑ තුෂාරන්-පුෂ්පරාජ් සහ අවි ආයුධ නාටකයක් පමනක් බවය. ඒ සමගම නාමල් කුමාර දෙකේ කොළයට වැ‍ටුනේය. නමුත් ඔහුගේ වාසනාවට හෝ අවාසනාවට පොලිස් ඔත්තුකරුවෙක් ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය.

නාමල් කුමාරගේ වැඩ කිඩ ලැයිස්තුව

රෝහින්ග්‍යා සරණාගතයන්ට තර්ජනය කළා යයි කියවුනු අරඹේපොල රතන සාර හිමියන්, සිංහලේ සංවිධානයේ ඩෑන් ප්‍රියසාද් වැනි කිහිප දෙනෙක් පොලිසියට පාවා දුන්නේ නාමල් කුමාරය. දිගන සිංහල -මුස්ලිම් ගිනිදැල් මතුවෙත්ම මහනුවර බලා යන නාමල් නවාතැන් ගන්නේ මහසොන් අමිත්ගේ නිවසේය. අමිත්ගේ බිරිඳ පිලියෙල කළ පිට්‍ටු අනුභවකොට එහි නිදාගත් නාමල් පැය කිහිපයකින් නාලක ද සිල්වාට ඔත්තුවක් දී ඔවුන් සියල්ල පොලීසියට කො‍ටු කළේය. මහසෝන් අමිත්ලා මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත වන අතර , එළියේ උන් නාමල් කුමාරලා අන්තර් ජාලය හරහා මැද පෙරදිගට සහ කොරියාවට අමිත්ලාගේ දුක විකුණා මුදල් ගැරුවෝය.

මරා-සිරා බඩගෝස්තර දේශපාලනයේ දඩයම් කුක්කා

එදා කොබ්බෑකඩුව කොමිසම හමුවේ රෝහිනි හතුරුසිංහ බඩගෝස්තර දේශපාලනයේ හොරනෑවක් වූයේ යම් සේද මෙදා නාමල් කුමාර මරා-සිරා බඩගෝස්තර දේශපාලනයේ දඩයම් කුක්කෙකු වූයේය. රනිල්ගේ ආන්ඩුව පෙරලීමට හේතුව ලෙස සිරිසේන කියා සිටියේ ඝාතන කුමන්ත්‍රණයකි. හැංහි හැංගි වෙස් බැඳපු උන්ගේ නියම ස්වරූපය දැන් හෙළි වී ඇත. නාමල් කුමාර යනු මරා-සිරා බල සන්නියේ නැට්‍ටුවෙක් බව අද මුලු රටටම හෙලි දරව් වී ඇත. ප්‍රභාකරන් මෙන් සැඟවී සිටි ඊනියා දූෂණ විරෝධී කෙමනේ ප්‍රධානියා වූ අසේල රාජපක්ෂගේ පැටිකිරියද දැන් හෙලිදරව් වී ඇත. ගෝටා හෝ සිරිසේන හෝ ඝාතන කුමන්ත්‍රනයක් පිලිබඳ කිසිම සාක්ෂියක් හොංකොං යැවූ නාමල් කුමාරගේ දුරකතනයේ තිබී නැත.

දින 52 මරා -සිරා හොර ආණ්ඩුව පැවති කාලයේදී නාමල් කුමාර හැසිරුනේ රටේ ආරක්ෂක ඇමතිවරයාටත් ඉහලිනි. ඔහු පොලීසියට උපදෙස් දුන්නේය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ මෙහෙය විය යුතු අයුරු ඉගැන්වීමට ගියේය . දිගාමඩුලු දිස්ත්‍රික්කයෙන් පොහොට්‍ටු ලකුණින් ඡන්දය ඉල්ලන බව කීවේය. රටේ සමාන්‍ය පුරවැසියෙකුට අස්ගිරි – මල්වතු නායක ස්වාමීන්ලා හමුවිය නොහැකි වුවද පලතුරු වට්ටියක් අරගෙන නාමල් කුමාර එහි ද ගියේය.

නාමල් කුමාරට එරෙහි චෝදනා

නාමල් කුමාර යුද හමුදාවට සහ ගුවන් හමුදාවට බැඳී ඉන් පළා කියන පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. යුද හමුදාවට සහ ගුවන් හමුදාවට බැඳෙද්දී ලබා දී ඇති සාමාන්‍ය පෙළ සහතිකයේ විභාගය සමත් බව සඳහන් වුවද ඔහුගේ නියම සහතික පිරික්සද්දි විෂයන් හතක් අසමත් වී විෂයන් තුනක් පමණක් සමත්වූවකු බව පෙනී ගිය බව ද රහස් පොලිසිය කරුණු වාර්තා කොට තිබේ.

බොරු සහතික ඉදිරි පත් කිරීම සහ සේවයෙන් පලා යාම යන චෝදනා වලට නාමල් කුමාර වරද කරුවෙකි. එනමුත් හමුදා නීතිය අනුව නාමල් කුමාරට පැනවිය හැකි උපරිම දන්ඩනය දින 90 සිර ද‍ඬුවමකි. තමා කළ වරදට එල්ලුම් ගස් වුවද යාමට සූදානම් යයි නාමල් කුමාර පාරම් බාන්නේ ඒනිසාය.

නමුත් නාමල් කුමාරට අච්චු කළ යුතු නියම චෝදනාව එය නොවේ. ඔහුට එරෙහිව රාජ්‍ය විරෝධී චෝදනා ගොනු කළ යුතුය. එම චෝදනාවට නාමල් කුමාර එල්ලුම් ගස් යැවිය හැකිය. නාමල් කුමාර සිරිසේන හමුවීමට වලි කන්නේ හොර සහතික චෝදනාවෙන් ගැලවීමට නොව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවෙන් බේරීම සඳහා ය.

හමුදාව, පොලීසිය සහ මිලිටරි පොලීසිය ලැජ්ජා විය යුතුය

නාමල් කුමාර යනු බත් පතේ පහරන්නෙකු බව යලි යලින් පසක් කළ අයෙකි. නාමල් කුමාර දැන් කියන්නේ මරා-සිරා ජුන්ටාව හා සම්බන්ධ හඬ පටයන්ද තමා සතු බවය. තමා අත් අඩංගුවට පත් වුවහොත් ඒවා මාධ්‍යයට නිකුත් කරන බවය. නාමල් කුමාර දිගාමඩුල්ලෙන් පාර්ලිමේන්තුවට ටිකට් එක ඉල්ලුවේද මෙම කථාව කියමිනි. නාමල් කුමාර ආරක්ෂා කරන්නේ ආරක්ෂක අමාත්‍යංශය සහ පොලීසිය බාරව සිටින එදා මෙදා තුර රටේ පහල වූ තිරිසන්ම පාලකයා වූ සිරිසේනය. පොලිසියේ ත්‍රස්ත විමර්ශනය‌ේ ප්‍රධානියා හිරේ දමා රටේ නීතියත් සමග සෙල්ලම් කරන එකම වරද කිහිපවරක් සිදු කළ නාමල් කුමාර වැනි පිළිල එළියේ සිටීම ගැන රටේ හමුදාව, පොලීසිය සහ මිලිටරි පොලීසිය ලැජ්ජා විය යුතුය. නාමල් කුමාර වහා අත් අඩංගුවට ගත යුතුය. නො එසේනම් එය තක්කඩින්ට ලයිසන් දීමක් වනු ඇත.

කීර්ති රත්නායක විසිනි
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

Published on: Jan 7, 2019- පසුගියදා කුරුණෑගල  දඹුලු පාරේ  සමූපකාර ගොඩනැගිල්ලේ  නිදහස් පක්ෂ සම්බන්ධීකාර වරුන්ගේ රැස්වීමක් නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. එහිදී රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් දයාසිරි ජයසේකර මහතාගෙන් අසා ඇත්තේ පක්ෂයේ ඉදිරි ගමන ගැනත් පොහොට්ටුවෙන් පැමිණෙන අභියෝග ගැනත්ය. මාධ්‍යවේදීන් අමතා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ  කොටන කුකුළට කොයි පොරපිටියත් එකයි මහින්ද මහත්තයා කුරුණෑගලින් ඉල්ලුවත් පොහොට්ටුවට බලය එන්නේ නෑ එයාලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුවේ, අනික අපි යක්කුන්ට බයනම් සොහොන්වල ගෙවල් හදාගන්නේ නෑ  යනුවෙන්ය.

එම අවස්ථාවෙන් පසු ජනවාරි 5 වන දින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කුරුණෑගල සංචාරයේ නිරතවෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නිවසේදී රැස්වීමකට සහභාගී වී ඇත. එහිදී දයාසිරි මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්ණ ඇසූ මාධ්‍යවේදීන් දයාසිරි ජයසේකර පැවසූ කාරණාව ගැන ඔබතුමා මොකද කියන්නේ යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා ඇත.  එහිදී කෝපාවිෂ්ඨ වූ මහින්ද රාජපක්ෂ මහතා ඔව් මන් දැක්කා දයාසිරි එහෙම කියලා තියනවා. යක්කුන්ට බයනම් සොහෙනේ ගෙවල් හදන්නේ නෑ කියලා කිව්වනේ එයා. එහෙනම් දිගටම සොහොනේ යක්කු එක්කම ඉන්න කියන්න. දයාසිරිටත්  පොඩ්ඩක් දාගන්න දුන්නාම චූන් වෙනවා. එයා කියන එව්වා දැන් මිනිස්සු ගණන් ගන්නේ නෑ යනුවෙන් පවසා ඇත. තවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දයාසිරිට කතාකොට හොඳටම දෙහි කපා ඇත.

එම සිද්ධියෙන් පසු  දයාසිරි වහාම ඉහත කි මාධ්‍යවේදීන්ට දුරකථන ඇමතුමක් ලබාගෙන පරුෂ වචනයෙන් බැන ඇත. ඒ මාධ්‍යවේදීන් පවසා ඇත්තේ ඔබතුමා කිව්වදේනේ ඉතින් අපි දැම්මේ යනුවෙනි. කෙසේ වෙතත් මෙයින් පෙනී යන්නේ වැඩ බලන මහ ලේකම් දයාසිරි ජයසේකරට ලේකම්කමත් නැතිවෙන ලකුණුය

Published on: Jan 7, 2019-2019 වසර දූෂණ වීරෝධී වසරක් බවට පත් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර දින 06ක් ගතවන තැන ජනාධිපතිවරයා විසින් තම පුද්ගලික ලේකම්වරයා ලෙස, තමන්විසින්ම පත් කළ කොමිසම විසින් වරදකරුවෙකු ලෙස නම් කර සිටින රණවක ආරච්චිගේ දොන් ජනක මහතාව පත් කරගෙන තිබේ.

ඒ ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ එරික් වීරවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහාය.

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් සමාගම අතර සිදුව ඇති නීතිවි රෝධී ගණුදෙනුවලට අදාලව බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් සිදු කළ විමර්ශනයේදී 13 දෙනෙකු චූදිතයන් කරමින් නිකුත් කර ඇති වාර්තාවේ 07ව චූදිතයා ලෙස නම් කර ඇති ජනක රනවක මහතාය.

ජනක රනවක යනු මහින්ද රාජපක්ෂ පාලන සමයේ කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපතිවරා ලෙස කටයුතු කළ තැනැත්තා වන අතර ඔහු ඇතුළු 13දෙනාට එරෙහිව අපරාධ නඩු පැවරි යුතු බවද බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

රක්නා ලංකා සේවකයන් පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම, රක්නා ලංකා ගිනිඅවි නීති විරෝධී ලෙස ඇවන්ට්ගාඩ් සමාගම වෙත පැවරීම සහ රක්නා ලංකා ආයතනයටත් නාවික හමුදාවටත් ලැබිය යුතු මුදල් නොගෙවීම, මුහුදු ආරක්ෂක සේවාවන් සැපයීමට අදාළ ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අනිසි වාසියක් සිදුවන ආකාරයට කටයුතු කිරීම, ඇවන්ට්ගාඩ් ආයතනය කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුර තුළ අවි පුහුණු කටයුතු සම්බන්ධ ව්‍යාපාර කටයුත්ත සිදුකිරීට සඳහා තුවක්කු 17ක්, නිසි ආකාරයට බදු ගෙවීමකින් සහ නිසි බලපත්‍ර ලබා ගැනීමකින් තොරව එකී පුහුණු කටයුතු සඳහා භාවිතා කිරීම සහ එසේ සිදුකිරීමට සහාය දීම යන ප්‍රධාන සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් වන චෝදනා, ජනාධිපති කොමිසම විසින් තහවුරු කර තිබේ.

මෙම වැරදි සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමති උපාලි කොඩිකාර, රක්නා ආරක්ෂක ලංකා සමාගමේ හිටපු සභාපති, මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති යන අය අපරාධමය වරදවල් සිදු කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු පැවරි යුතු බවද එම කොමිසම නිර්දේශ කර ඇත.

තමන් වංචාවට, දූෂණයට විරුද්ධ බවත් 2019 වසර දූෂණ විරෝධී වසරක් බවට පත් කරන බවටත් පුරසාරම් දෙඩූ ජනාධිපතිවරයා මෙලෙස තමු පුද්ගලික ලේකම් ලෙස මෙරට සිදුවූ විශාලතම වංචාව වන බැඳුම්කර වංචාව හා සමාන වංචාවක් වන ඇවන් ගාඩ් වංචාවේ චූදිතයෙකු පත් කර ගැනීම තමන් මෙම වසර ආරම්භයේදී සිදු කළ ප්‍රර්තනයට සපුරා පිටුපෑමකි.

එමෙන්ම ජනාධිපතිවරයා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් වරයා ලෙස පසුගියදා පත් කර ගත් දයාසිරි ජයසේකර මහතා, බැඳුමකර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා ගත්බවට අධිකරණයේදී හෙළිවූ අතර පසුව දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් තමන් එලෙස මුදලක් ලබාගත් බවද පිළිගත්තේය.

ජනාධිපතිවරයා තම මුවින් ප්‍රකාශ කරන කාරණාවට පටහැනිව හාත්පස වෙනත් දෙයක් සිදුකිරීම හේතුවෙන් මේ වනවිට ඔහු රට ඉදිරියේ විහිළුකාරයෙකුගේ තත්වයට ඇද වැටී තිබේ.

Published on: Jan 3, 2019- පොහොට්ටු පක්ෂයේ අවශ්‍යතාවක් ඉටු කරන්නට ගිය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංවිධානයේ සභාපති ඇතුළු පිරිසක් මාධ්‍යෙව්දින්ගෙ බැන තර්ජනය කොට මාධ්‍ය හමුව අතරමග නවතා පිටත්ව ගොස් තිබේ.

පිළිකා ඖෂධ ජාවාරමක් පවතින බවට හෙළි කරන්නට පැමිණි මේ පිරිස අවසානයේ මාධ්‍යෙව්දින්ගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වීම නිසා ඔවුන් මෙලස මාධ්‍යෙව්දින්ට බැන තර්ජනය කර ඇත.

බස්නාහිර පළාත් සෞන්ධර්ය නිකේතනයේ පැවැති මෙම මාධ්‍ය හමුව අද පෙරවරුවේ පැවැති අතර ඊට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංවිධානයේ සභාපති සංජය පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වි සිටියහ.

ඔවුන් මීට පෙර මාධ්‍ය හමුවක් කැදවා කළ කරුණු කීවා මිස වෙනත් කාරණා හෙළිදරව් නොකිරිම හේතුවෙන් මාධ්‍යෙව්දින් ප්‍රශ්න කරන්නට වූවේ මෙය සෞඛ්‍ය ඇමතිවරයා සමග පවතින පෞද්ගලික කොන්තරයක් මත කරනා මාධ්‍ය හමුවක්ද යන්නය.

එය එසේ නොවන බව ප්‍රකාශ කිරිමෙන් පසු මාධ්‍යෙව්දින් නැවත ප්‍රශ්න කරන්නට වූවේ මෙය පිළිකා රෝගින්ගේ දුක පලිහක් කර ගනිමින් පොදු ජන පක්ෂයේ දේශපාලන අරමුණු ඉටු කිරිමට ගන්නා උත්සාහයක් නොවේදැයි ප්‍රශ්න කළ මාධ්‍යෙව්දින් ඔවුන් මිට පෙර පොදු ජන පක්ෂය සමග ගණුදෙනු කළ ආකාරය ගැනද ප්‍රකාශ කිරිම හේතුවෙන් ඔවුන් මාධ්‍යෙව්දින්ගේ අනන්‍යතාවය විමසමින් මාධයවේදින්ට බැන තර්ජනය කරන්නට වූහ.

ඒත් සමග ඇතිවූ නොසන්සුන්තාවය මත පිරිස එම ස්ථානයෙන් පිටව ගියේ මාධ්‍යෙව්දින්ට බැන තර්ජනය කරමිනි. පොහොට්ටුවේ උවමනාවට හා ජනාධිපති සිරිසේනගේ උවමනාවට මෙය කරන බවට කළ ප්‍රශ්න කිරිම්වලට පිළිකා ජාවාරම හෙළි කිරිමට පැමිණි පිරිසට උත්තර නොමැතිවිම නිසා ඔවුන් මෙලෙස බැන තර්ජනය කරන්නට වූහ.

පසුව මාධ්‍යෙව්දින් ප්‍රකාශ කළේ සත්‍ය තොරතුරු හෙළි කරනවා විනා පෞද්ගලිකව මිනිසුන්ට මඩ ගැසිමට පවත්වන මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡා වර්ජනය කළ යුතු බවයි.

Published on: Jan 2, 2019- ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාවට සහ නාවික හමුදාවට බැඳී ඉන් පළා කියන පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා 2009 වසරේදී නාවික හමුදාවට බැඳී පුහුණුව ලැබූ අයෙකු බවත් එලෙස පුහුණුව ලබමින් සිටියදී මාස තුනකට පමණ පසුව සේවය අතහැර පලාගොස් ඇති ඔහු 2011 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී පුහුණුව ලබා සේවයෙන් පලාගොස් ඇති බවයි.

ඔහු නාවික සහ යුද හමුදා සේවයට එක් වීමේදී 2001 වසරේදී අධිසම්මාන දෙකක් හා සම්මාන තුනක් සහිතව සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 10 සමත් වූ බවට අධ්‍යාපන සහතික ඉදිරිපත් කර ඇති බව එහිදී පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු සමත් වී ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් තුනක් පමණක් බව පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වූ බව පෙන්වා දුන්නේ ය.

ව්‍යජ ලේඛන ඉදිරිපත් කර සේවයට බැඳීම සහ හමුදා සේවයෙන් පලායාම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශන සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියා සිටියේ ය.

නාමල් කුමාරගේ අතේ පැලවු බොරු ගැන අනාවරණය පහතින් කියවන්න …..

http://198.211.112.164/archives/19576

http://198.211.112.164/archives/19983

http://198.211.112.164/archives/19902

Published on: Dec 20, 2018- තමන්ට ෆොන්සේකාගේ නම ඇහෙන විටත් තමන් භීතීයට පත්වන බවත් ඒ හේතුවෙන් ෆොන්සේකාට කිසිඳු අමාත්‍යංශයක් ලබා නොදිමට හැකියාවක් තිබේ නම් එය අතිශය අවශ්‍යතාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.

එක්සත් ජාතික පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනකු හෙට උදේ 8.30 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දීමට නියමිත අතර ඇමැතිවරුන් ලෙස පත් කළ යුතු මන්ත්‍රීවරුන් 36කගේ ලැයිස්තුවක් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබ තිබුණු අතර ඉන් නම් කිහිපයක් ජනාධිපතිවරයා කපා දමා තිබේ.

ඒ අනුව ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ ලක්ෂ්මන් සෙනවිරත්න, විජිත් විජිතමුණි ද සොයිසා, පියසේන ගමගේ සහ එච් එම් ෆවුසි යන නම් ද, සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ නම් ද ඇමැති ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ(19) හදිසී හමුවක් ජනාධිපති සහ අගමැති අතර සිදුවු අතර සරත් ෆොන්සේකා, පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන් හතර දෙනකුට අමාත්‍ය ධුර ලබා නොදීමට විවිධ හේතු දක්වා තිබුනද එවා කිසිවක් කිසිදු තර්කයක් නොමැති පුස්-සුරි වර්ගයේ හේතු බවයි එම සාකච්ඡාවට එක්වු මන්ත්‍රීවරයෙකු සදහන් කළේ.

කෙසේවෙතත් ඊයේ (18) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා හමුවෙන් පසුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග මෛත්‍රී ෆොන්සේකා සම්බන්ධයෙන් අදහස් පලකර තිබේන අතර මෛත්‍රී එහිදි සදහන් කර ඇත්තේ ෆොන්සේකාගේ සම්බන්ධයෙන් තමන්ට දැඩි බයක් ඇති බවත් ෆොන්සේකාට බලය ලැබිම යනු තමන්ගේ ජිවිතය අනතුරට පත්වන බවයි.

Top