Published on: Oct 13, 2018- වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති පුජිත ජයසුන්දරට, FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරට සහ CID ප්‍රධානී ශානි අබේසේකරට සිය ධුරයන් වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති අතර ඒ සදහා වහාම කටයුතු කරන ලෙසට ව්‍යවස්ථා සභාවට දැනුම් දි තිබේන බව අප පසුගියදා අනාවරණය කල අතර ඉවත් කිරිමට පෙර පොලිස්පති පූජිත් ජයසුන්දර එම තනතුරෙන් ඉල්ලා අස්වීමට යන බව වාර්තා වෙයි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා සහ මහනුවර ත්‍රිත්ව විදුහලෙන් ඔහුගේ ගිණුමට මුදල් බැර කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ආයතන සංග්‍රහයට අනුව පරීක්ෂණයක් සිදුකිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම හේතුකොට ගෙන විවිධ මත සමාජගතවීම නිසා පෙලිස්පති තනතුරේ ගෞරවය රැකදීම සඳහා මෙසේ ඉල්ලා අස්වීමට යන බවට තොරතුරු වාර්තා වෙයි.

පොලිස්පතිවරයා මේ සතිය තුළ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි, විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

පොලිස්පති තනතුර පුරප්පාඩු වුවහොත් දැනට ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පාලන) සී.ඩී. වික්‍රමරත්න මහතා හෝ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතා පත්කෙරෙනු ඇත.

http://198.211.112.164/archives/19323

Published on: Oct 12, 2018 – රටතුල ඇතිව තිබේන දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර විශේෂ හමුවක් ලබන සතියේදි සිදුවිමට නියමිත බව ඉන්දිය රහස් ඔත්තු සේවා වාර්තා කරන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කලා.

නවදිල්ලි නුවරදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් හමුව සිදුවිමට නියමිත අතර ඊට ආසන්නතම හෙතුව වි ඇත්තේ ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේදීත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය 2020 දි පැවැත්විම නිසා බවද වාර්තා වේ.

ලංකාවේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දීය “රෝ” ඔත්තු සේවය ඉන්දිය රජයට වාර්තාකර ඇත්තේ රටෙ ජනතාවගේ ජනමතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් හොදින් පිළිබිඹු නොවන බවයි.ඔහුන් වෙනත් අපේක්ෂකයෙකු අපේක්ෂාවෙන් සිටින බවත් බොහෝවිට ඒ සදහා මෙතෙක් පාලන බලය හෙබවූ පක්ෂ සහ කණ්ඩායම් වලින් තොර කෙනෙකු සම්බන්ධයෙන් වැඩි බලාපොරොත්තු තබ ඇති බවද එම වාර්තා පෙන්වා දි තිබේ.

සජිත් ජනප්‍රිය උනත් දිනන්න බෑ 

කෙසේවෙතත් එජාපයේ ජනප්‍රියම නායකයා සහ ඒකාබද්ධයේ ජනප්‍රියම නායකයි ලෙස සජිත් සහ මහින්ද පත්ව ඇති නමුත් ඒ දෙදෙනාටම සියයට 40 සීමාව ඉක්මවා යැමට හැකියාවක් නොමැති බවද ඉන්දීය “රෝ” ඔත්තු සේවය රාජ්‍ය බුද්ධි අංශවල ද අනුදැනුම මත කළ විශේෂ සමීක්ෂණයකදී අනාවරණය කරගත් බවට ඉන්දීය මධ්‍යම රජයට වාර්තා සපයා තිබේ.

ජනාධිපතිවරයෙකු පත්කර ගැනිම සදහා නියත සාධක කිහිපයක් සම්බන්ධයෙන් එම් වාර්තාවේ සදහන් කර ඇති අතර ඒ අනුව සුළු ජන ඡන්ද දිනා ගැනිම සදහා දොස්තර රාජිත සේනාරත්න වැනි අයෙකු මෙන්ම සිංහල බෞද්ධ මතයට අනුව පාඨලී චම්පික රණවක වැනි අයෙකු ඊළඟ ජනාධිපති සටනේදි එකම් පිළක මෙන්ම ප්‍රධාන පෙළේ කාර්යභාරයක් ඉටුකලයුතු බවයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන උපක්‍රමය වී තිබෙන්නේ රටේ විශාල ආර්ථික සහ දේශපාලන අර්බුදයක් තිබෙන බවත් ඒ සියලු අර්බුද සඳහා විසඳුම් දිය හැකි සඛ්‍යතාවය හෙවත් හැකියාව තිබෙන්නේ තමාට පමණක් බවත් ජන මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා,ආණ්ඩුව සහ ජන සමාජය හමුවේ මවා පාමින් තමාට,වගේම සිය පවුලේ අයට සහ හිතෛෂීන්ට එල්ල වී තිබෙන නීතිමය චෝදනා සඳහා අනියම් බලපෑම් කරමින් එමගින් ගැළවීම බව රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කර සිටියා. ඒ අනුව තවදුරටත් දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් හැරෙන්නට එල්ලුම්ගහෙන් ගැලවිමට දුමින්දට අවස්ථාවක් නොලැබෙනු ඇත.

මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (11) පස්වරු 2.30ට ප‍්‍රකාශයට පත් කෙරිණි.අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ විත්තිකාර පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසුවය.

හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක ලෙස කටයුතු කරමින් සිටි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරුවන් වී මරණ දණ්ඩනය නියම වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල් , චමින්ද රවි ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවෝය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු ජනපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2011 ඔක්තෝබර 08 වැනි දා මුල්ලේරියාව ප්‍රදේශයේදීය. පළාත් පාලන මැතිවරණයක් පැවැති එදින සිදුවූ වෙඩි හුවමාරුවෙන් දුමින්ද සිල්වා මහතාටද වෙඩි වැදුණු බව කියැවිණි.

එම සිදුවීමෙන් පසු දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබා ගැනීමට 2011 නොවැම්බර් පළමු වැනි දා සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබූ අතර ඔහු ලංකාවට යළි පැමිණියේ 2013 මාර්තු 05 වැනි දා අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 349 දරණ ගුවන් යානයෙනි.

සිංගප්පූරුවේ සිට ලංකාවට රැගෙන ආ දුමින්ද සිල්වා මහතා ඉන් පසු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී. එදිනම එම පෞද්ගලික රෝහලට ගිය රහස් පොලිසිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2013 මාර්තු පස් වැනි දා පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ එවකට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතාට දන්වන ලදී. චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද සහකාර පොලිස් අධිකාරීවරයා උසාවියට සැළ කර සිටියේය.

ඔහුගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසීයැයි අබේසේකර මහතා උසාවිය හමුවේ කියා සිටියේය.

ඒ අනුව කොළඹ නවලෝක රෝහලට ගිය එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මාර්තු 14 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය.

දුමින්ද සිල්වා මහතාට ඇප ලැබීමෙන් පසු ඇප අත්සන් කළේ 2013 අප්‍රේල් මස 26 වැනි දාය. අප්‍රේල් 27 වැනි දා ඔහු නවලෝක රෝහලෙන් පිටව ගියේය.

අනතුරුව ඔහු ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවන් දෙදෙනකු 2016 සැප්තැම්බර් මාසයේ දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කළ අතර එක් විනිසුරුවරයකු සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.

ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු හතර දෙනකුට මරණ දඬුවම නියම විය.

Published on: Oct 11, 2018- ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති වෙත ඉදිරිපත් කරමින් මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු විශේෂ අවස්ථා අධ්‍යක්ෂවරයා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි විජයකලා මහේෂ්වරීගේ පෞද්ගලික උපදේශිකාව ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (10) නියෝග කර හිබේ.

දෙහිවල පදිංචි කැසල් ෂෙරීන් ඔස්මන් (පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරීගේ පෞද්ගලික උපදේශිකාව) සහ නුගේගොඩ මිරිහානේ පදිංචි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ රුවන් ධර්මප‍්‍රිය එදිරිසිංහ යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ වංචාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ බෑග් සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂාවක් සිදුකර අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ වංචා විමර්ශන ඒකකය වෙත නියෝග කරමින් සැකකරුවන් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත භාරයට පත් කර තිබේ.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පාසල් ළමයින් 3,000 ක් සඳහා පොත් බෑග් ලබාදීමට අනුග‍්‍රහය දක්වන ලෙස ඉල්ලා ව්‍යාජ ලෙස සකස් කරන ලද ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂ යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපතිට ලිපි දෙකක් යොමු කිරීමෙන් සැකකරුවන් රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වංචා කර ඇති බව කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබු අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති පෞද්ගලික ලේකම් එරික් ප‍්‍රශන්ත වීරවර්ධන විසිනි.

ජනාධිපති කාර්යාලයේ සේවය කළ රුවන් එදිරිසිංහ නමැති සැකකරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩලයේ අධයක්ෂවරයෙකු ලෙස සේවය කළ බවත් පසුව ඉකුත් අගෝස්තු මස 6 වැනිදා කාර්ය මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

මොහු අදාළ තනතුරේ සේවය කරන කාලය තුළ පොළොනන්රුව දිස්ත‍්‍රික්කයේ ළමුන් 3,000 ක් වෙනුවෙන් පාසල් උපකරණ සහිත පාසල් බෑග්, පොත් සහ ලිපිද්‍රව්‍ය ලබාදීම සඳහා දායකත්වය ඉලල්මින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා වෙත ඉකුත් ජුනි මස 1 වැනිදා සහ ජුනි මස 26 වැනිදා ලිපි දෙකක් යොමු කර ඇති බව ද පැමිණිල්ල සඳහන් කර ඇත.

එහෙත් ඉහත ආකාරයට ආධාර එකතු කිරීමක් ජනාධිපති කාර්යාලයෙන් සිදුකර නොමැති අතර මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙහි වංචාවක් සිදුවී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට බාර දුන් බව ද පැමිණිල්ල සඳහන් කර තිබිණි.

ඒ අනුව මෙම සිද්ධියේ සැකකාර රුවන් එදිරිසිංහ නමැත්තා ලෝක ළමා දිනය වෙනුවෙන් ළමයින්ට ප‍්‍රදානය කිරීම සඳහා පාසල් බෑග් 3,000 ලබාදෙන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශ‍්‍රී ලංකා තානාපතිගෙන් ඉල්ලීමක් කර ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති ශෙරින් ඔස්මාන් නමැත්තියකගේ නම ද සඳහන් කර ඇතැයි ද කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සිය බී වාර්තාවේ සඳහන් කර ඇත. එසේම, එම ලිපියෙන් ශෙරින් ඔස්මාන් නමැත්තිය ළමා කටයුතු සම්බන්ධයෙන් උපදේශිකාවක ලෙස සඳහන් කර ඇති නමුත්, එවැනි තනතුරක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති විමර්ශන අධ්‍යක්ෂ රූබන් වික‍්‍රමාරච්චි මහතා සඳහන් කර ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම ලිපිවලට අදාළව සැකකාරිය විසින් ඉකුත් 4 වැනිදා ජනාධිපති කාර්යාලයට පැමිණ ප‍්‍රකාශයක් ලබා දී ඇති බවත් එහිදී ඇය හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ පෞද්ගලික උපදේශිකාවක් වශයෙන් හඳුන්වාගෙන ඇති බවත් සඳහන් වෙයි. එමෙන් ම, මෙම සිද්ධියේ සැකකාර රුවන් එදිරිසිංහ නමැත්තා ජනාධිපතිවරයාට හඳුන්වා දුන්නේ තමා බවත්, ඔහු අදාළ ආධාර ලබා ගැනීම සඳහා එම සම්බන්ධතා සහාය ලබා ගත් බවත් ඇය සඳහන් කර තිබිණ. ඒ අනුව ආධාර වශයෙන් ලබා දුන් පාසල් උපකරණ ඇතුළු පොත් බෑග් 2,500 ක් ලබා දීමට එක`ග වූ බවත් ඒවා අවශ්‍යව තිබුණේ ජනාධිපතිතුමා සහ එතුමාගේ දියණිය අතින් පොළොන්නරුවේ පාසල් දරුවන්ට බෙදා දීමට බවත් ඇය සඳහන් කර ඇත. එම ආධාර සූදානම් කළ නමුත් අදාළ උත්සවය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් දැනුම්දීමක් නොකළ බැවින් ඒවා තානාපති කාර්යාලයේ ම තැබූ බවත් ඇය සඳහන් කර ඇතැයි අධිකරණයට බී වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර තිබිණ.

සැකකාර රුවන් එදිරිසිංහ නමැත්තා ද ඉකුත් 4 වැනිදා ප‍්‍රකාශයක් කරමින් විශේෂ අවස්ථා අධ්‍යක්ෂ ලෙස තමා විවිධ සමාජ සුභ සාධන සහ විශේෂයෙන් දුගී දරුවන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන් කිහිපයක් ඉකුත් වසර 3 ක පමණ කාලයේ සිට සංවිධානය කළ බව ද ජනාධිපතිතුමා දැනුම්වත් කිරීමක් හෝ එතුමාගේ අනුකූලතාවක් හෝ එකඟතාවක් හෝ ලබා නොගෙන ස්ව කැමැත්තෙන්ම ඒවා සිදුකළ බව ද ඔහු සඳහන් කර ඇතැයි බී වාර්තාවේ සඳහන් වෙයි.

ඉහත කාලය තුළ සංවිධානය කළ සියලූ වැඩසටහන් සිදුකරනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර මත බවත් විමර්ශනයට අදාළ වැඩසටහන නව තානාපතිවරයා යටතේ සිදුකළ අතර ඒ සඳහා ශෙරින් ඔස්මන් මහත්මියගේ සම්බන්ධීකරණ සහාය ලබා ගත් බවත් සැකකරු ප‍්‍රකාශ කර ඇතැයි ද බී වාර්තාවේ සඳහන් වේ.

මෙම වැඩසටහන ජනාධිපතිතුමාගේ සහ එම දියණියගේ සහභාගිත්වයෙන් 2018 ලෝක ළමා දිනය නිමිත්තෙන් පොළොනන්රුවේ දී පැවැත්වීමට සැලසුම් කළත් ජනාධිපතිවරයා ඒ වන විට විදේශගත වී සිටි බැවින් ඒ සඳහා නිශ්චිත දිනයක් වෙන් කර නොතිබූ බව ද ඔහු සඳහන් කර ඇත. මෙම වැඩසටහන සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුම්වත් වීමක් නොතිබූ අතර කලින් සිදුකළ වැඩසටහන් සඳහා ද ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ප‍්‍රධානත්වයෙන් එම වැඩසටහන් පැවැත් වූ බව ද ඔහු ප‍්‍රකාශ කර ඇතැයි බී වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව සැකකාර රුවන් එදිරිසිංහ විසින් ඉදිරිපත් කරන ලද ලිපි දෙක කොළඹ හිටපු නගරාධිපති අසාද් සාලි මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර, මෙම වරද ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 403, 454, 459 වගන්ති ප‍්‍රකාරව දඬුවම් ලබා දිය හැකි වරදක් බව ද කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දී තිබේ.

සැකකරුවන් විසින් පෞද්ගලික ආයතනයක් වෙත ඇනවුම් බාර දී පාසල් බෑග් 2,500 ක් සඳහා ඉන්වොයිස් ලබාගෙන ඇති අතර එක් බෑගයක වටිනාකම රුපියල් 580 ක් ලෙසින් බෑග් 2,300 ක් සඳහා රුපියල් 13,34,000/= කට මිල නියම කර ඇතැයි ද කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දී තිබේ.

මෙහිදී පළවන සැකකාරිය ඉහත ඉන්වොයිස්පත තවත් ආයතනයකට ව්‍යාජ ලෙස වෙනස් කරමින් එක් පාසල් බෑගයක් සහ පාසල් උපකරණ සහිතව රුපියල් 1,570 ක මිල කර බෑග් 2,500 ක් සඳහා වටිනාකම් රුපියල් 39,25,000/= කට වෙනස් කර තානාපති කාර්යාලයේ පෞද්ගලික ලේකම් ජෙනී ෂෙරින් රාජ් මහත්මිය වෙත ඉදිරිපත් කර ඇතැයි ද බී වාර්තාවේ සඳහන් වේ.

Published on: Oct 10, 2018 – ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි නැවත භාවිතා කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටින විට ඊට අදාළ පහසුකම් සැපයීමට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා දෙකක්ද කැබිනට් අනුමැතිය ලැබී තිබෙන පසුබිමක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කුමන්ත්‍රණකාරී ලෙස ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99ක්ම වසර 50 සිට 99 දක්වා කාලයක් සඳහා ඉන්දියාවට බදු දීමට කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

අර්ජුන රණතුංග අමාත්‍යවරයා විසින් 2018 වසරේ ජූලි මස ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්පූර්ණයෙන්ම රටේ ජාතික සම්පත් විකුණා දමමින් රට පාවාදෙන ක්‍රියාවක් බවත් ඒ මහතා සඳහන් කරයි.

මින් පෙර අවස්ථාවන්හිදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හමුවේ රජය එකඟ වූයේ තෙල් ටැංකි බදු දීමේ ක්‍රියාවලියකට හෝ යොමු කිරීමට පෙර ඛණිජ තෙල් වෘත්තීය සමිති වෙත ඒ බව දැනුම් දෙන බව වුවත් අගමැති රනිල් වික්‍රමසිංහ මෙසේ කුමන්ත්‍රණකාරී ලෙස වෘත්තීය සමිති සහ රටට කරුණු සඟවමින් රහසිගත ලෙස ඉන්දියාවට තෙල් ටැංකි බදු දීමට සූදානම් වන බවත් මෙම ජාතික සම්පත් කොල්ලයට එරෙහිව එළඹෙන ඔක්තෝබර් 23 දින ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව පෙළන ආණ්ඩුවට එරෙහිව පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරය හා එක්වන ලෙසත් බිමල් රත්නායක මහතා ජනතාවට ඇරයුම් කරයි.

යම් ලෙසකින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුව තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දුනහොත් එය 1987දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඉන්දියාව සමඟ අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ කරුණු සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමක් වන බවද ඒ මහතා තව දුරටත් පවසයි.

එතුමා මේ කරුණු අනාවරණය කරන ලද්දේ අද (10) දින පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. ඒ සඳහා ඛණිජ තෙල් සංස්ථාවේ පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල මහතාද සහභාගී විය.

එම මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ විස්තරය…

“මෛත්‍රී-රනිල් පාලනය විසින් අපේ රටේ ජාතික සම්පත් විකුණා දැමීමේ ප‍්‍රතිපත්තියක ඉන්නවා. ඒ අනුව යමින් ජාතියේ ධන නිධානයක් වූ ත්‍රීකුණාමලය තෙල් ටැංකි විකුණා දැමීමේ සැලසුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපේ රටේ ජනතාවත් ජාතික සම්පත් කියලා විශ්වාස කරන්නේ අතීතයේ හදපු වැව්, ගල් කණු වගේ දේවල් පමණයි. නමුත් ඊට පසු කාලීනව අපේ රටේ ගොඩනැගූ ජාතික උරුමයන් පිළිබඳව ජනතාව තුළ අවධානයක්, හැඟීමක් නැහැ. ත්‍රීකුණාමලයට යන ජනතාව සේරුවාවිල වඳිනවා. මුවෝ බලනවා, කෝනේෂ්වරම් යනවා, නමුත් ඊට මඳක් එහායින් තිබෙන දැවැන්ත සම්පතක් වුණු තෙල් ටැංකි දිහා බලන්නේ නැහැ. දරුවන්ට පෙන්වන්නේ නැහැ. ඒවා ජාතික සම්පත් ලෙස ඔවුන් හිතන්නේ නැහැ.

ත්‍රීකුණාමලය තෙල් ටැංකි එක්දාස් නමසිය විසි ගණන්වල බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකොට තිබෙනවා. ඒ මොහොතේ තෙල් ටැංකි 102ක් ඉදිකොට තිබෙන බව පැවසෙනවා. එම භූමි ප‍්‍රමාණය අක්කර 750ක් පමණ වෙනවා. එක් තෙල් ටැංකියක තෙල් ටොන් 10,000ක් ගබඩා කළ හැකියි. ඒ වගේම එම තෙල් ටැංකි අවුරුදු 100කට වඩා කල් පවතින ලෙස ලෝහවලින් තනා තිබෙනවා. එම තෙල් ටැංකි පද්ධතියේ තෙල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ 10ක් ගබඩා කළ හැකියි. තෙල් ටැංකිවලට අමතරව තෙල් බාන ජැටි, නළ මාර්ග සහිත පහසුකම් සහිත තෙල් ටැංකි පද්ධතියක්. ලංකාවට නිදහස ලැබීමෙන් පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව එම තෙල් ටැංකි පද්ධතිය ලංකාවට පවරා දුන්නේ නැහැ. එම තෙල් ටැංකි ලබාගැනීම වෙනුවෙන් තෙල් සංස්ථාව අරගලයක් කළා. පසුව බ්‍රිතාන්‍ය පවුම් දෙලක්‍ෂ පනස්දාහක් ගෙවීමේ පදනම යටතේ එම තෙල් ටැංකි ලංකාවට පවරා දීමට එකඟ වුණා. ඒ අනුව ආණ්ඩුව වෙනුවෙන් එම මුදල වාරික තුනක් යටතේ 1964 වනවිට ගෙවා දැමුවේ ඛනිජ තෙල් සංස්ථාවයි. පසුව එම ඉඩම තෙල් සංස්ථාවට පවරා ගන්නත් විශාල අරගලයක් දියත් වුණා.

මුල් කාලයේදී ත්‍රීකුණාමලය මධ්‍යස්ථානය කරගනිමින් පොළොන්නරුව, අනුරාධපුර ඇතුළු අවට ප‍්‍රදේශවලට දුම්රිය මගින් තෙල් බෙදාහැරීම් සිදුකළා. එමගින් විශාල ප‍්‍රවාහන වියදමක් අඩුකර ගැනීමට සංස්ථාවට හැකිවුණා. තෙල් ටැංකි 102ක් ලෙස නම් කොට තිබුණත් සියවැනි අංකයට අදාළ තෙල් ටැංකියක් තිබුණේ නැහැ. ඒ, බ්‍රිතාන්‍ය ජාතිකයින් 100 අසුභ ඉලක්කමක් ලෙස සැලකූ නිසයි. කෙසේ වෙතත් පැවති තෙල් ටැංකි 101න් ජපන් බෝම්බ නිසා එක් ටැංකියකුත් සිවිල් ගුවන් අනතුරකින් තවත් තෙල් ටැංකියකුත් විනාශ වීමෙන් පසුව ඉතිරි වූයේ තෙල් ටැංකි 99යි. ඉන්පසු 1987 පමණ ඇමරිකා එක්සත් ජනපදය එම තෙල් ටැංකි සංකීර්ණය ලබාගැනීමට උත්සාහ කළා. නමුත් ඉන්දියානු බලපෑම නිසා ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමේදී තෙල් ටැංකි සම්බන්ධයෙන්ද කොන්දේසි ඇතුළත් කොට තිබුණා. එදා ජේ.ආර්.ජයවර්ධන මහතා විධායක බලතල පාවිච්චි කරලා ලංකාවේ ඩොලර් උල්පතක් වුණු තෙල් ටැංකි ඉන්දියාවට පවරලා දුන්නා. කෙසේ වෙතත් ඉන්පසු යුද්ධය සමයේදී යුද හමුදාව විසින් මෙම තෙල් ටැංකි ආරක්‍ෂා කරගත්තා.

නව පරිච්ඡේදයට අනුව 2003 පෙබරවාරි මාසයේදී රනිල් වික‍්‍රමසිංහ එවකට ආණ්ඩුවේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ යටතේ එම තෙල් ටැංකි 99 ඉන්දියාවට පවරලා දුන්නා. නීති විරෝධී ගිවිසුමක් අත්සන් කරලා මේ මොහොතේ තෙල් ටැංකි 99 ඉන්දියාවට ලබා දුන්නේ අවුරුද්දක් සඳහා එක් ටැංකියකට ඩොලර් 1,000ක් අයකර ගැනීම යටතෙයි. ඊට අමතරව සේවා ගාස්තු ලෙස තවත් ඩොලර් 1,000ක් අයකර ගැනීමට නියමිතව තිබුණා. මේ සියලු පහසුකම් සහිත මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු එල්.අයි. ඕ.සී. සමාගමට විකුණා දැම්මා. මාස 06ක් ඇතුළත බදු ගිවිසුම අත්සන් කළ යුතුව තිබුණත් අද වනතුරු එම ගිවිසුම අත්සන් කොට නැහැ. මේ වනවිට එම තෙල් ටැංකි 99න් ඉන්දියාව භාවිත කරන්නේ තෙල් ටැංකි 14ක් පමණයි. කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් නැතිව ඔවුන් තෙල් ටැංකි පාවිච්චි කරනවා. එක් අවස්ථාවකදී ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් පිරිසක් මෙම තෙල් ටැංකි සංකීර්ණය නිරීක්‍ෂණයට ගිය මොහොතක ඉන්දියානු ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා. බදු ගිවිසුමක්වත් නැතිව ඉන්දියාව විශාල ආදායමක් මෙම තෙල් ටැංකිවලින් ගන්නවා. වසරකට මෙම තෙල් ටැංකියක් සඳහා ඩොලර් 1,000ක් අයකළත් එක් ටැංකියකින් ලබන ආදායම වරුවකට ඩොලර් 1,000කටත් වඩා වැඩියි. ඉන්දියානු සමාගම තෙල් ව්‍යාපාරය කරගෙන ගියේ තෙල් ටැංකි 14නුත් තෙල් ටැංකි 08ක් පාවිච්චි කරලයි. ඉන්දු-ලංකා ගිවිසුම අනුව ඉන්දියාවට තිබුණේ වාණිජ්‍ය අරමුණක් නොවෙයි. දේශපාලන අරමුණක්. මෙම තෙල් ටැංකි සංකීර්ණය කොටස් දෙකකින් සමන්විතයි. පහළ සංකීර්ණයේ තෙල් ටැංකි 14ක් සහ ඉහළ සංකීර්ණයේ තෙල් ටැංකි 85ක් තිබෙනවා. ඉන් ඉන්දියාව භාවිත කරන්නේ පහළ සංකීර්ණයේ තෙල් ටැංකි 14යි.

දැන් ඉතිරි තෙල් ටැංකි 85 ඉන්දියාවට ලබා දීමටයි ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. එය ඉන්දියාවේ ඉල්ලීමක් නොවෙයි. ඉන්දියාවට අවශ්‍ය වන්නේ එම තෙල් ටැංකි වෙනත් රටකට ලබා නොදෙනවා කියන තහවුරුවයි. නමුත් වර්තමාන ආණ්ඩුවේ විකිණීමේ ප‍්‍රතිපත්තිය මත මෙම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන්න යනවා.

ලංකාවට ආරක්‍ෂිත තෙල් තොග තබා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් අද තෙල් ගබඩා කරන මුතුරාජවෙල, කොලොන්නාව, සපුගස්කන්ද කියන ගබඩාවල තෙල් තොග තබාගත හැක්කේ සති දෙකකට පමණයි. අපිට තිබුණු හම්බන්තොට තෙල් ටැංකි මේ වනවිට චීනයට දීලා ඉවරයි. එම නිසා තෙල් හිඟයක් නිසා ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවිය හැකියි. අඩුම තරමේ මසකට හෝ තෙල් තොග තබා ගැනීමට ගබඩා අවශ්‍යයි. එවැනි ආරක්‍ෂිත තෙල් තොග තබාගැනීමට ඉතාම සුදුසු ත්‍රීකුණාමලය තෙල් ටැංකියි. රටට එවැනි ජාතික අවශ්‍යතාවයක් තිබියදී ආණ්ඩුව එම තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්නේ ඇයි? ආරක්‍ෂිත තෙල් තොග තබාගැනීම වෙනුවෙන් වෙනත් තෙල් ටැංකි පද්ධතියක් ඩොලර් මිලියන 150ක වියදමින් ඉදිකිරීමට යන බවට තොරතුරු ලැබී තිබෙනවා. එවැනි තත්වයක් තුළ තමයි ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය ඇතුළු ඛනිජ තෙල් වෘත්තීය සමිති ත්‍රීකුණාමලය තෙල් ටැංකි සහ හම්බන්තොට තෙල් ටැංකි ඛනිජ තෙල් සංස්ථාවට ලබාගන්න අරගලයක් ආරම්භ කළේ. එම තෙල් ටැංකි සංස්ථාවට ලැබෙනවා නම් තෙල් සංස්ථාවේ තිබෙන ණය අර්බුදයත් රටේ ණය අර්බුදයටත් ඩොලර් අර්බුදයටත් විසඳුමක් සොයාගත හැකියි. මොකද එම තෙල් ටැංකි ඩොලර් උපයන ධන නිධානයක් බවට පත්කර ගත හැකියි.

2016 කෝප් කමිටුවේදී නිර්දේශයක් ලබා දුන්නා, ත්‍රීකුණාමලය තෙල් ටැංකි පිළිබඳව පරීක්‍ෂණයක් කරන්න කියලා. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවේ ජාත්‍යන්තර පලපුරුද්ද සහිත ඉංජිනේරුවන් පිරිසක් සතියකට ආසන්න කාලයක් ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් කළා. ඉහළ පර්යන්තයේ ටැංකි 16ක් විශේෂ පරීක්‍ෂණයකින් හඳුනා ගත්තා. එමෙන්ම එම තෙල් ටැංකි 85 පද්ධතියක් ලෙස උපයෝගී කරගත හැකි බවට ඉංජිනේරු කණ්ඩායම හඳුනා ගත්තා. ඒ වගේම එහි නළ පද්ධතිය අලුත්වැඩියා කළ යුතු බවත් ඔවුන් හඳුනා ගත්තා. මෙම තෙල් ටැංකි 16 හඳුනා ගැනීමෙන් පසුව ඉන් තෙල් ටැංකි 03ක් ප‍්‍රීමා සමාමට වතුර ගබඩා කර ගැනීමටත් ගුවන් හමුදාවට වතුර ගබඩා කිරීමට එක් ටැංකියකුත් ලබාදී තිබෙනවා. ඉන් ඔප්පු වන කාරණය තමයි මෙම තෙල් ටැංකි ඉදිකොට වසර 75කට පමණ පසුත් ජලය ගබඩා කර ගැනීමට තරම් සුදුසු තත්වයේ තිබෙන බවයි. පසුව එම ඉංජිනේරු කණ්ඩායම ඩොලර් මිලියන 10ක වියදමකින් තෙල් ටැංකි 16ත් නළ පද්ධතියත් තෙල් බාන ජැටිත් ප‍්‍රතිසංස්කරණය කළ හැකි බවට වාර්තාවක් ලබා දුන්නා. එවකට වරාය හා ඛනිජ තෙල් ඇමතිවරයා චන්දිම වීරක්කොඩි 2016 අප්‍රේල් 28වැනිදා කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කොට තෙල් ටැංකි 16 සංස්ථාවට ලබා දෙන ලෙසත් එම වියදම සංස්ථාවෙන් දරන බවටත් යෝජනා කළා. උතුරු මැදට තෙල් බෙදා දීමේදී කොළඹ හරහා සිදුකරන තෙල් ප‍්‍රවාහනයේදී ප‍්‍රවාහන ගාස්තු ලෙස රුපියල් මිලියන 1500ක් වැයවන අතර එය තෙල් ටැංකි අලුත්වැඩියාවට යන වියදමට සමාන වියදමක්. ඒ අනුව කැබිනට් සංදේශය අනුමත වුණා. නමුත් රනිල් වික‍්‍රමසිංහ 2016 ජූනි 05වැනිදා නැවත කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරනවා, එම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට. ඒ විතරක් නෙවෙයි, ඉංජිනේරුවන් කණ්ඩායම රට වෙනුවෙන් හදපු වාර්තාවත් රනිල් වික‍්‍රමසිංහ ඉන්දීය අගමැතිවරයාට ලබා දෙනවා.

පසුව ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. තෙල් ටැංකි විකුණනවා නම් හෝ බදු දෙනවා නම් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ යුතු බවට එකඟතාවයකට ආවා. එවැනි තත්වයක් තිබියදී තමයි ආණ්ඩුව හම්බන්තොට ජැටි දෙක සහ තෙල් ටැංකි 11 චීනයට ලබා දෙන්නේ. හම්බන්තොට වරාය ඉදි කළේම නැව්වලට සේවා සැපයීම සඳහායි. ඒ වෙනුවෙන් තමයි තෙල් ටැංකි ඉදිකළේ. වරාය චීන සමාගමට විකුණන්න යන අවස්ථාවේදී තෙල් සංස්ථාවේ සේවකයෝ දින 03ක වැඩ වර්ජනයක් කළා. ඉන්ධන නැතිව මුළු රටම නතර වුණා. ආණ්ඩුව හදිසි නීතිය පනවලා තමයි වැඩ වර්ජනය මර්දනය කළේ. අගමැතිට කියන්න සිද්ධ වුණා, වරාය විකුණන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී තමයි අපේ වෘත්තීය සමිතියේ අශෝක රංවල සහෝදරයා අත්අඩංගුවට ගත්තේ. ජාතික සම්පත් ආරක්‍ෂා කරන්න ගිහිල්ලා පොලීසියේ අත්අඩංගුවට පවා පත්වෙන්න සිදුවුණා.

නමුත් අද වනවිට රට වෙනුවෙන් පෙනී ඉන්නවා කියන ජාතික ඇඳුම අඳින අර්ජුන රණතුංග ඇමතිවරයා රට පාවා දෙමින් තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට 2018 ජූලි මාසයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. එම යෝජනාව කැබිනට් එකෙන් අනුමත කර තිබෙනවා. අද ආණ්ඩුව සිදුකරමින් තිබෙන්නේ 1987 ඉංදු ලංකා ගිවිසුමේ පාවාදීමේ ක‍්‍රියාවලියම තමයි. ත්‍රීකුණාමලය තෙල් ටැංකි 99ම වසර 50 සිට 99 දක්වා බදු දෙන්න තීරණය කොට තිබෙනවා. බදු ගිවිසුමක් නැතිව තෙල් ටැංකි 14ක් පාවිච්චි කරන ඉන්දියානු අයි.ඕ.සී. සමාගම නැව්වලට පවා තෙල් අලෙවි කරනවා. එමගින් ඉන්දියානු සමාගම අතිවිශාල ලාභයක් ලබනවා. ඊට අමතරව මුහුදට තෙල් ප‍්‍රවාහනය කොට නැව්වලට තෙල් සපයනවා. එමගින් විශාල ඩොලර් ආදායමක් ලබනවා. ඛනිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ද තෙල් ගබඩාවෙන් අත්හදාබැලීමක් ලෙස තෙල් ටොන් 3,000ක් අලෙවි කරලා රුපියල් මිලියන 1,000කට වැඩි ආදායමක් ලබා තිබෙනවා. හම්බන්තොට තෙල් ටැංකිවලින් (චීනයට විකිණීමට පෙර) 2014 ජනවාරි සිට සැප්තැම්බර් මස 08වැනිදා දක්වා තෙල් ටොන් 69,000ක් අලෙවි කරලා රුපියල් බිලියන 04ක විදේශීය විනිමයක් ලබාගෙන තිබෙනවා. මේ ආකාරයට අතිවිශාල ඩොලර් ආදායමක් ලබාගන්න පුළුවන් ඩොලර් උල්පතක් විකුණා දැමීමටයි ආණ්ඩුව මේ කටයුතු කරමින් සිටින්නේ. මේ ක්‍රියාවලිය නතර කළ යුතුව තිබෙනවා. 2016 අප්‍රේල් 28 කැබිනට් අනුමැතියට අනුව තෙල් ටැංකි තෙල් සංස්ථාවට ලබා දී තිබිය යුතුව තිබියදී රනිල්-මෛත්‍රී ආණ්ඩුව හම්බන්තොට තෙල් ටැංකි චීනෙට විකුණලා දානවා. මෛත්‍රීපාල ජනාධිපතිවරයාට කජු ප‍්‍රශ්නය විතරද පේන්නේ? අලි දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ ප‍්‍රශ්නය විතරද පේන්නේ? මෙවැනි වැදගත් දේවල් පේන්නේ නැද්ද? එම නිසා මෙම ආණ්ඩුවේ ජාතික සම්පත් මංකොල්ලයට එරෙහිව විනයගරුක සටන්කාමී දැවැන්ත ජනතා විරෝධයක් 23වැනිදා අපි කොළඹදී සංවිධානය කරනවා. එම ජනතා විරෝධයේ ප‍්‍රධාන සටන්පාඨයක් වන්නේ තෙල් ටැංකි ඇතුළු ජාතික සම්පත් විකිණීම නතර කරන ලෙසයි. ඊට අමතරව අපේ රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික මධ්‍යස්ථානයක් හදනවා.”

Published on: Oct 10, 2018- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යලිත් පොදු අපේක්ෂකත්වය යලිත් ලබ නොදිමට කටයුතු කල යුතු බවට වන යෝජනාවක් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහ නායකත්වයට යොමු කිරිමට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු සහ පසුපෙල මන්ත්‍රීවරුන් රැසක් කටයුතු කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

සභාග ආණ්ඩු සාදන මුවාවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනිම සදහා කටයුතු කරන ජනාධිපතිවරය ප්‍රමුඛ ශ්‍රිලනිප ඇතැම් මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය තුල ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරිමට කටයුතු කරමින් සිටින බවයි එජාප මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානතම චොදනාව වි ඇත්තේ.

පසුගිය මාසයක පමණ කාලය තුල මහින්දගේ කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකු මෙන්ම එජාපය සමග ඉතා සමීප දමිළ සහ මුස්ලිම් පක්ෂ කිහිපයක්ම ජාතික ආණ්ඩුවෙන් කුමන්ත්‍රණකාරී ලෙස ඉවත්කර පක්ෂය දෙකඩ කර එජාප නායකත්වය වෙනස් කිරිම සදහා ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම කුමන්ත්‍රණය කල බවයි එම මන්ත්‍රීවරුන් සදහන් කර ඇත්තේ.

ඒ අනුව පක්ෂය තුල සිටිමින් පක්ෂය දෙකඩ කිරිමට කටයුතු කල කුමන්ත්‍රණකාරී මන්ත්‍රීවරුන් මෙන්ම ඒ හරහා එජාප නායකත්වයෙන් රනිල් ඉවත් කිරිමට කටයුතු කල මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයන් මෙන්ම ඔහුන්ගේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙන්ම පක්ෂ නායකත්වය දැනුවත් කරන බවත් ඒ හරහා ඔහුන්ට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාවට අනුව විනය ක්‍රියාමාර්ග ගැනිමට බලකරන බවද එම මන්ත්‍රී කණ්ඩායම අනාවරණය කර තිබේ.

Published on: Oct 10, 2018 – එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සහෝදරයා වන අමිල කාරියවසම් අකිලගේ සම්බන්ධිකරණ ලේකම් ධුරයෙන් වහාම ඉවත් කිරිමට කටයුතු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ළමයින්ව පාසල් වලට ඇතුලත් කිරීම සඳහා විවිධ පුද්ගලයන්ගෙන් මිලියන 60 කට අධික මුදලක් ලබා ගැනීම පිළිබඳව ඔහුට එරෙහිව ඇති විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ වි ඇති අතර ඒ හේතුවෙන් සහෝදරයන් අතර විරසකයක් නිර්මාණය වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

මේ අතර ඉතා මෑතකදි අකිල කෝටි 12 දි කුරුණාගල ප්‍රදේශයෙන් පරණ වලව්වක් මිලට ගෙන ඇති අතර එයට මුදල් ලබා දුන්නේ තමයි බව අමිල දැන් දැන් තැන තැන කියමින් යන අතර ප්‍රදේශයේ දේශපාලකයන් කිහිප දෙනෙකු හමුවි ඇති අමිල සදහන් කර ඇත්තේ

“මම මේ සල්ලි අරගෙන නිකම් හිටියේ නෑ. අයියාට වලව්ව ගන්න මම සල්ලි දුන්නා.”

මේ අතර මහලේකම්වරයා මේ ලගදි පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා නව නිලධාරිවරයෙක් පත් කොට ඇති අතර එම ධූරය නම් කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ CEO හෙවත් ප්‍රධාන විධායක නිලධාරි යන නාමයෙනි. මෙම තනතුරට පත් වූ පුද්ගලයා 6 වතාවක් කුරුණෑගල ඡන්දය පරාජය වූ පුද්ගලයෙක්. මෙම පත් කිරීම හරහා බරපතළ අර්බුදයක් සිරිකොතේ නිර්මාණය වී ඇති බවත් නව ප්‍රතිසංවිධානයන් සඳහා මේ වන විට ජාතික සංවිධායක නවීන් දිසානායක මැදිහත් වී ඇති බවත් වාර්තා වේ.

නමුත් නව CEO නම් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පසෙකලා පක්ෂයේ පහළ තනතුරු වලට පත් වීමට නියමිත විවිධ ව්‍යාපාරිකයන් හා පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලා තිබේ.

අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පවතින ඉතා ප්‍රසිද්ධ චීන අවන්හලකදි එක්තරා ආසනයක සංවිධායක ධූරය බලාපොරොත්තු වන ව්‍යාපාරිකයෙකුගෙන් මොහු ලක්ෂ 20ක් ඉල්ලා ඇති බවට මෙ වනවිට තොරතුරු අනාවරණය වි ඇති බවයි. මේ වන විට ලක්ෂ 5 ක මුදලක් අතිකාරම් වශයෙන් එම ව්‍යාපාරිකයා විසින් මෙහුට ගෙවා ඇති බවද අනාවරණය වි තිබේ.

අකිල කෝටි 12 ක මුදලකට වලව් මිලයට ගනිද්දි, ඔහුගේ සහෝදරයා මිලියන 60 ක කප්පම් ඉල්ලද්දි අකිල විසින් පත් කරන නිලධාරින් මිනිසුන්ගෙන් ආසන සංවිධායක ධූර ලබා දීම සඳහා ලක්ෂ 20ක් ඉල්ලිම හරහා අද වන විට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය බරපතල ගැටුම්කාරි තත්ත්වයක් දක්වා ගමන් කර තිබේ.

Published on: Oct 9, 2018- 89-90 කාලයේ ඉන්දියාවේ පී.සිං.ගේ ආණ්ඩුව බහුතරය අහිමිව කඩා ගෙන වැටුණාම එවකට විපක්ෂ නායක වූ රජිව් ගාන්ධිට හැමෝම කීවේ ආණ්ඩුව ගන්න කියලාය. එත් රජිව් හිතුවේ අති විශාල ජන වරමකින් තමන් බලයට එනවා මිස කුණුවූ ආණ්ඩුවට කර ගහන්නේ නෑ කියාය. ඒ වෙනුවට රජිව් තමාට පාලනය කළ හැකි අගමැතිවරයෙක් පත් කොට තම මන්ත්‍රීවරුන්ගේ බහුතර බලයෙන් ඒ ආණ්ඩුව පවත්වා ගෙන යමින් තමන්ට අවශ්‍ය දේවල් අගමැති ලවා කරවා ගන්න කැමැත්තක් දැක්විය. එලෙස පත්වූ චන්ද්‍රසේකර්ගේ ආණ්ඩුව හැඳින්වුයේ රජීව් ගාන්ධිගේ රූකඩයක් ලෙසය. රජිව්ට ඕනෑ වේලාවේ ඒ රූකඩ ආණ්ඩුව වැටුණි. මහ මැතිවරණය කැඳවිය.මහා ජන බලයකින් යළි අගමැති වෙන්න හීන බැලූ රජිව්ට ඒ හීනය සැබෑ කර ගන්න බැරි විය. රජිව් ඒ මහා මැතිවරණයේදී ප්‍රභාකරන් අතින් ඝාතනය විය.

2004 මහ මැතිවරණය පරාජය වී විපක්ෂ නායක වූ රනිල්ද කොයි මොහොතේ හෝ චන්ද්‍රිකා ජවීපෙ සමග එක්ව හදපු ආණ්ඩුව වැටෙන බව දැන සිටියේය. රනිල් තම සමීපතමයන්ගෙන් ඇසුවේ ජවීපෙ. ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් මොකද කරන්නේ කියාය. ඔවුන් හැමෝම කිවේ අගමැති වී ආණ්ඩුව අතට ගෙන ජනාධිපතිවරණයට යමු කියාය. එත් රනිල් පෙරළා ඇහුවේ රජිව් ගාන්ධි රූකඩ ආණ්ඩුවක් හැදුවා වගේ ජනාධිපතිවරණයට යන තෙක් රූකඩ ආණ්ඩුවක් හැදුවොත් නරකද කියාය. රනිල්ගේ ඔලුවේ වැඩ කළේ රජිව්ගේ රූකඩ ආණ්ඩුවය.

රනිල් හිතුවා වගේම 2005 මැද ජවීපෙ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ඉවත් විය. ඒ, එල්ටීටීඊය සමග අත්සන් කරන්න ගිය සුනාමි සහන මණ්ඩලයට විරෝධය පළ කරමින්ය. ඒ වේලාවේ චන්ද්‍රිකා අසරණ විය. රනිල්ට පණිවුඩ එව්වාය. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනෙක් චන්ද්‍රිකාගේ ආරාධනය පිළි ගන්න යැයි රනිල්ට බල කළහ. එකල මෙරට සාම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ ඇමරිකාව, නොර්වේ,යුරෝපා සංගමයද රනිල්ට කීවේ ජාතික ආණ්ඩුවක් හදා සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න කියාය. එත් රනිල්ගේ ඔළුවේ වැඩ කළේ රජිව්ගේ ගේම් එකය. චන්ද්‍රිකාගේ කුණුවූ ආණ්ඩුවට මුක්කු ගහන්නේ නැතිව ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබා ආණ්ඩුවක් පිහිටු වන්න රනිල් හීන දැක්කේය.

ජාතික ආණ්ඩුවට යන්න යැයි ජාත්‍යන්තර ප්‍රජාව බල කළ විට රනිල් කිවේ තමන් ආණ්ඩුව වට්ටන්නේ නැහැ කියාය. රනිල් ඒ සහතිකය චන්ද්‍රිකාට දුන්නේය. 2005 ජනාධිපතිවරණය පැවැත්විය. රනිල්ගේ හීනය බොඳ විය. රනිල්ගේ පිහිටෙන් අගමැති ධූරය ආරක්ෂා කර ගත් මහින්ද ජනාධිපති විය.

මේ පරණ කතාන්තර මතක් වෙන්නේ මේ දවස්වල “ආණ්ඩුව ගම්දෝ..? නොගන්දෝ..? කියලා සිතුනි මට..” කියමින් නොනිදා රෑ පහන් කරන මහින්දව දකින කොටය. මෛත්‍රී එක්ක ඩීල් එකක් දමා ආණ්ඩුව ගන්න යැයි මහින්දට එන බලපෑම් එන්න එන්නම වැඩි වෙමින් තිබේ. ශක්‍ර දෙවියා පඬුපුල් ආසනය රත්වූ විට දුවන්නේ ප්‍රශ්නය සොයා ගෙනය. මහින්ද පඬුපුල් ආසනය රත් වේගෙන එන විට දුවන්නේ බැසිල් ගාවටය. හදිසියේම බැසිල් ලංකාවට දුවගෙන ආවේ මහින්ද ආණ්ඩුව ගන්නවා ද? නැද්ද? කියන ගැටය ලිහා ගන්න බැරිව දඟලද්දිය. මහින්දට ආණ්ඩුව ගන්න කියා බලපෑම් කරන ඒකාබද්ධ විපක්ෂයේ බොහොමයකට නඩු තිබේ. ඔවුන් බය නඩු අහල ඉවර වෙලා ඔවුන්ට හිරේ යන්න වේය කියාය. ඊට පෙර ආණ්ඩුව අරගෙන අපිව බේරා දෙන්න යැයි ඔවුන් මහින්දට බලපෑම් කරමින් සිටි. එත් බැසිල් කියන්නේ මෛත්‍රීව විශ්වාස කරන්න බෑ කියාය. මෛත්‍රී රනිල්ව ඉවත් කරන්න ඒකාබද්ධ විපක්ෂයේ සහය ගෙන අන්තිම මොහොතේ මහින්ද වෙනුවට වෙනත් අගමැතිවරයෙක් පත් කරයි කියා බැසිල්ට සැකයක් තිබේ. අනෙක මහින්දව අගමැති කොට මාස හයකට පසු මෛත්‍රී රනිල්ගේ ආණ්ඩුවට වගේ මහින්දගේ ආණ්ඩුවට ගහන්න ගනිද කියල බැසිල්ට සැකයක් තිබේ. බැසිල් කියන්නේ මහජන බලයකින් ජනාධිපතිවරණය ජය ගමු කියාය. නැතහොත් පළාත්සභා මැතිවරණය ගෙන ආණ්ඩුව අන්ත පරාජයට පත්කොට මහ මැතිවරණයකට තල්ලු කර ගමු කියාය. ඔහු කියන්නෙත් රජීව් සහ රනිල් එදා කී කතාවමය. කුණු වූ ආණ්ඩුවකට කර ගහල කුණුවෙන්න බැහැ කියන කතාවය.

“ රනිල්ට වගේ මහින්දටත් බස් එක මිස් වෙයිද..?”

ඒක කියන්න දන්නේ නැත. බැසිල්ගේ තියරියට අනුව වැටිලා තියන ආර්ථිකය ජනාධිපතිවරණය තෙක් ගොඩ යන්නේ නැත. දවසින් දවස ආර්ථිකය වැටෙයි. මෙහෙම ගියොත් ලබන වසර වන විට මිනිස්සු පාරට බහින තැනට ආර්ථිකය වැටෙයි. එවිට කුණුවූ අඹ ගෙඩියක් වැටෙන්නා සේ වැටෙන ආණ්ඩුව අතට ගමු කියා ඔහු හිතන බව පෙනෙන්න තිබේ.

“හැබැයි මෛත්‍රී විප්ලවීය වෙනසක් කොට ආර්ථිකයට ජනතාවාදී මානුෂිය මුහුණක් දුන්නොත්..”

“තෙල් මිල අඩු වුණොත් ..”

“කොහෙන් හරි ආණ්ඩුවට සල්ලි පිරෙන්න ගත්තොත් ..”

එහෙම වුණොත් මහින්දට සොරිම තමයි. ආණ්ඩුව ආණ්ඩුව විසින්ම අලුත් කරගෙන ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න තීරණය කළොත් මහින්දට වෙන්නේ මිස් වූ බස් එක ඈත දැක බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන හුල්ලන්නටය.

රජීව් රූකඩ ආණ්ඩු හදන්නේ නැතිව අගමැති වුවා නම් කවදාවත් ප්‍රභාකරන්ට රජිව්ව ඝාතනය කරන්න ලැබෙන්නේ නැත. හේතුව රජීව් යන්නේ අගමැති ලෙස පූර්ණ ආරක්ෂාව සහිතවය. එහෙම වුවා නම් ප්‍රභාකරන් ඒ ගැන හිතන්නේවත් නැත.

2005 මැද රනිල් අගමැති වුවා නම් මහින්දට විපක්ෂනායක ධුරයවත් චන්ද්‍රිකා දෙන්නේ නැත. එහෙම නම් මහින්ද ඇමතිවරයෙක් පමණි. අගමැති ධූරයේ සිට රනිල්ට ජනාධිපතිවරණය ජය ගැනීම මහ ලොකු කජ්ජක් නොවේ.

හැබැයි දේශපාලනය කියන්නේ මහා පුදුම දෙයකි. දේශපාලනය ගණන් හදන්න බැරි සාස්තරයකි. එහෙම වුණා නම් මෙහෙම වෙන්න තිබුණා කියලා දේශපාලන පණ්ඩිතයන්ට තර්ක කරන්න පුළුවන. හැබැයි අවසානයේ සියල්ල තීන්දු කරන්නේ දෛවයය.ජේ.ආර්ගේ වචනවලින් කිවහොත් වාසනා ගුණයය. ප්‍රශ්නය මහින්දට යළිත් රට කරන්න වාසනාව තියෙනවාද, නැද්ද කියන එක විතරය..!

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

Published on: Oct 7, 2018- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද(7) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි.

මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය කරන ජනපතිට හිතවත්ම මන්ත්‍රීවරයකු විසින් දුන් බොරු තොරතුරක් මත මේ පුවත ලියා ඇතැයි දැනට විදේශ ගතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් අප සමග සදහන් කලා.

සරත් ෆොන්සේකා මහතා ජනාධිපති වුවහොත් උතුරට ස්වයංපාලනයක් ලබාදෙන බවට ආර්.සම්බන්ධන් මහතා පැවසියයි 2010 වසරේ දී ද මේ මාධ්‍යවේදිනිය විසින්ම බොරු පුවතක් නිර්මාණය කරතිබු බවද එජාප ජෙෂ්ඨයා මෙහිදී සිහිපත්කර සිටියා.

Published on: Oct 6, 2018- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකමින් ඉවත් කර වෙනත් අයෙකු අගමැතිකර භාරකාර ටයිප් එකේ ආණඩුවක් සෑදිම සදහා ගෙන ගිය මෙහෙයුමට බාලගිරි දෝෂය සැදී ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අගමැතිවරයා ඉවත්කිරිම සදහා පැති කිහිපයකින් මේ වනවිට මෙහෙයුම් දියත් වෙමින් තිබේන අතර අප පසුගියදා අනාවරණය කල පරිදිම එජාපයේ කණ්ඩායමක් එකතු කර ගනිමින් කරූ වැනි අයෙකු අගමැතිකර ඒ හරහා පක්ෂයෙ නායකත්වය ඇල්ලිමට එජාපයට ඉඩ හැදිම වෙනුවෙන් ගෙනගිය මෙහෙයුම මේ වනවිට නතර වි ඇත්තේ සජිත් ප්‍රේමදාස ලග බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එජාපයේ 12 දෙනෙකු පමණ මේ වනවිට රනිල් එලවා එජාපයේ බලය අල්ල ගැනිම හරහ මෛත්‍රී ජනපති සමග ආණ්ඩුවක් හැදිමට කැමති කර ගැනිමට සමත් වුවද සජිත් මේ දක්වා පස්ස ගැසිම් නිසා එම මෙහෙයුම නතර වි ඇති බවයි. මේ වනවිට සජිත් දිනා ගැනිම සදහා මෙහෙයුම කිහිපයක්ම දියත් කර තිබේන අතර ඒ සදහා ඉන්දියාවේ මැදිහත් විමක්ද ඉල්ලා ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

රනිල්ට එරෙහිව ගේම්ක් ගැසිමට ගොස් වැඩේ කෙලවුනහොත් තමන් පක්ෂයේ නායකත්වයට කල අරගලය දියවි යන බවත් මේ ක්‍රියාත්මක වන්නෙ ඒ අකාරයෙ කුමන්ත්‍රණයක් විය හැකි බවයි සජිත් සිය සමිපතමයින් හමුවේ පවසා ඇත්තේ.අනිත් අතට කරු හෝ වෙනත් අයෙකු අගමැතිවිම හරහා පක්ෂයේ නායකත්වයට ඇති සටන් උග්‍ර වනබවත් පෙන්වා දි ඇති සජිත් ඊට වඩා ඉවසිමෙන් කාලය ගත කිරිම ශරීරයට ගුණ බවද පවසා තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර රහස් හමුවත් පසුගියදා හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නිවසේ සිදුව ඇති අතර එම සාකච්ජාවට බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වි තිබේ.

පසුගියදා අනාවරණය වූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට එල්ලවී ඇති අනතුර හා එහි තොරතුරු යට ගැසීමට ඇතැමුන් දරන උත්සාහයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ගෙන ඇති අතර පවතින ආර්ථික අර්බුද හමුවේ ජනාධිපතිවරයා දැඩි ලෙස අප්‍රසාදයට ලක්වන බවත් තත්ත්වය දිගටම පැවැතියහොත් යලිත් ජනාධිපති මැතිවරණයකට මුහුණ දිමට ලේසී නොවන බවද රාජපක්ෂවරු සිරිසේන ජනාධිපතිට පෙන්වා දි තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂය සමග භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබේන අතර ඒ අතරතුර හදිසියේම මහින්ද-මෛත්‍රී හමුව සම්බන්ධයෙන් කාගේත් අවධානයට ලක්ව තිබේ.

මේ අතර ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුද හමුවි සාකච්ඡාකර තිබේන අතර ඊළඟ පළාත් පාලන මැතිවරණය මෙන්ම ජනාධිපතිවරණයේදි යලිත් තමන්ට අපේක්ෂකත්වය හිමිවිම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡාකර තිබේන අතර “මහින්ද” සමග ආණ්ඩුවක් ආණ්ඩුවක් සැදිම සම්බන්ධයෙන් එහිදි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ජනපතිගෙන් කල විමසිමකදි ජනපති පවසා ඇත්තේ “මහින්ද අගමැති කලෝත් එයාට ජනපති වෙන්න උණ්ඩයක දුර විතරයි …” යනුවෙනි…

Published on: Oct 6, 2018- රට මේ මොහොතේ මුහුණදී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය හා කතෝලික ආගමික නායකයන් ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.මෙම යෝජනාව ලබන සතිය වන විට ඉදිරිපත් වනු ඇතැයි දැනගන්නට තිබේ.

මේ සඳහා සියලු දේශපාලන පක්ෂවල සහය ලබා ගනිමින් සර්ව පාක්ෂික සමුළුවක් පවත්වා රට වෙනුවෙන් කැපවීමක් කළ හැකි මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවනු ලබන භාරකාර ආණ්ඩුව යටතේ කඩිනමින් මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටද යෝජනා වී තිබේ.

මේ වන විට පවත්නා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බැවින් රටේ මහජනතාව බරපතළ පීඩනයකට පත්ව ඇති බැවින් භාරකාර ආණ්ඩුව පිළිබඳ යෝජනාව ආගමික නායකයන් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

Published on: Oct 6, 2018-  මහා බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කිව්ව රුපියල අවප්‍රමාණය වීම නිසා ආර්ථිකය කඩා වැටිලා නැහැ, ජීවන වියදම නම් ඉහළ යාවි කියලා. ඔහු කියන එකෙත් ඇත්තක් තියෙනවා. රුපියල මේ විධියට අවප්‍රමාණය වෙන්න කලින් ආර්ථිකය කඩා වැටිලා තිබුණෙ. බන්දුල ගුණවර්ධන අර ආර්ථික පර්යේෂණේ ද මොකක් ද එකේ ඉඳන් හැමදාම වගේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වනවා. ජනමාධ්‍යයත් ඒවට ප්‍රචාරය දෙනවා. ඔය සංඛ්‍යානය ගැන මට නම් ඒතරම් විශ්වාසයක් නැහැ. ඉංගිරිසි කියමනක් සිංහලට හැරෙව්ව ම කියවෙනවා බොරු, පට්ටපල් බොරු සහ සංඛ්‍යාන කියා.

සංඛ්‍යානත් එක එක ප්‍රවාද මත හිඳිමින් ගණනය කරන දේ. සංඛ්‍යා කිව්ව ම (සංඛ්‍යාන නො වේ) මිනිසුන්ගෙ හිතේ තියෙනවා ඒවා හරි කියල. 1+1 =2 නේ ද කියලා අහනවා. එය මිනිසුන්ගෙන් ස්වායත්ත (ස්වාධීන) නො වේ ද කියල අහනවා. නැහැ සංඛ්‍යාත් මිනිසුන්ගේ නිර්මාණ පමණයි. වැලි ගොඩක් වැලි ගොඩකට දැම්ම ම වැලි ගොඩවල් දෙකක් ලැබෙන්නෙ නැහැ. 1+1=2 වෙන්නෙ යම් යම් අවශ්‍යතා යටතේ. සංඛ්‍යා ගැනවත් සංඛ්‍යානය ගැනවත් මගේ ඊනියා වාස්තවික විශ්වාසයක් නැහැ. මේ හැම එකක් ම මිනිසුන්ගෙ නිර්මාණ. එකතු කරනවා කියන එකත් මිනිසුන්ගෙ නිර්මාණයක්. සමහර සංස්කෘතීන්වල එකතු කිරීම තියා තුනෙන් පසු සංඛ්‍යාත් නැහැ.

බන්දුල ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂෙ යම් පිරිසක් රුපියල 200 ගහන තුරු බලා ඉන්නවා. ඒ රනිල්, මංගල විවේචනය කරන්න. රුපියල 200 ගහන එක නතර කිරීම සඳහා බන්දුලලා රනිල් ඉවත් කරන්න කටයුතු කරන්නෙ නැත්තෙ ඇයි? මේ රට මෙවැනි ප්‍රපාතයකට වැටිච්ච කාලයක් මතක නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ සමහර අයගෙ මතයක් තියෙනවා 2020 වෙනකම් හිටියොත් ජනතාව අතර ආණ්ඩු (රනිල් හා මෛත්‍රිපාල) තව තවත් අප්‍රසාදයට පත්වෙලා තමන්ට ලෙහෙසියෙන් ම බලයට පත්විය හැකි ය කියා. මෙයට ඕන නම් අප්‍රසාද උපක්‍රමය කියල කියන්න පුළුවන්. පහුගිය පළාත් පාලන මැතිවරණයේදීත් තමන්ට බලය නොලැබෙනවා නම් හොඳ යැයි හිතූ පිරිසකුත් හිටියා. ඔවුන් හිතුවෙ එවිට ජනතා අප්‍රසාදය හේතුවෙන් තමන්ට 2020 දී පහසුවෙන් ම බලයට පත්විය හැකි ය කියා.

අද ආර්ථිකයෙ තරම ව්‍යාපාරිකයන් දන්නවා. පාරිභෝගිකයන් දන්නවා. සංඛ්‍යාන අවශ්‍ය නැහැ. ඊනියා ආර්ථික පර්යේෂණත් අවශ්‍ය නැහැ. කොහොමටත් මේ පර්යේෂණ කියන්නෙ බොහෝ විට දත්ත එකතු කිරීම්වලට. නව සංකල්ප, ප්‍රවාද නිර්මාණය කිරීමට නම් නො වෙයි. වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ පර්යේෂණ ගැන හොයලා බලන්න. ඒ කියන්නෙ ඊනියා පර්යේෂණයක් කරන්න. ආර්ථිකයෙ නිෂ්පාදන මොනවා ද? අපනයන මොනවා ද? ආනයන මොනවා ද? කොමිස් ලබා ගන්නෙ කවු ද කොහොම ද? දැන් පඬියකු කියාවි කොහොමත් කොමිස් ලැබෙනවා කියා. මා අහන්නෙ සාමාන්‍ය සම්මතයට එහා ගිහින් ලැබෙන කොමිස්.

ආර්ථිකය පැත්තකින් තියන්න. අද පාතාලය රජයනවා. පාතාලය හා දේශපාලනඥයන් අතර සම්බන්ධකම් තියෙන බව පැහැදිලියි. අද පාරෙ යන්න බැරි තත්වයක් උදා වෙලා. කොයි වෙලාවෙ වෙඩි උණ්ඩයක් ලැබෙයි ද කියන්න බැහැ. ගෙදරට ඇවිත් මිනිසුන් කපා කොටනවා. ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, වැඩි වෙලා කියන එක ඒ ගැන ලාවට කීමක් පමණයි. හොරකම, මංකොල්ලකෑම ගෙවල් කොල්ලකෑම, ආදී අපරාධ වේගයෙන් වැඩිවෙලා. ඒ අතර යාපනයේ දෙමළ ජාතිවාදය බලවත් වෙලා. උතුර සිංහලයන්ට අහිමි වෙන තත්වයකට පත් වෙලා. නැගෙනහිර මුස්ලිම් බලය වැඩි වෙලා. උතුරේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම යම යුද්ධයක් වෙලා. අද සිංහල බෞද්ධයනට සිංහල බෞද්ධ වීම නිසා ම පමණක් ප්‍රශ්න තියෙනවා. අර යාපන විශ්වවිද්‍යාලෙ සිංහල බෞද්ධ සිසුන්ගෙන් අහන්න.

මේ සියල්ල අතර එකාබද්ධ විපක්‍ෂෙ බොහෝ දෙනා බලා ඉන්නවා. ඒ අර අප්‍රසාද උපක්‍රමය අනුව. ඒකාබද්ධ විපක්‍ෂෙ ඇතැමුනට ඕන රට තව තවත් පහළට යවලා 2020 දී පහසුවෙන් බලයට පත් වෙන්න. බලයට පත් වෙන්න ඒ දවස් වෙන කොට රටක් තියේවි ද? රටක් තිබුණත් බලයට පත් වුණත් රට මේ අගාධයෙන් ගොඩ ගන්න පුළුවන් වේවි ද? ඒකාබද්ධ විපක්‍ෂෙ අය හිතනවා ඇති මොනව වුණත් ඔවුන්ට 2020 දි විසඳුම් තියෙනවා කියලා. එහෙම හිතන අයට නම් මේ ලිපියෙන් වැඩක් නැහැ. කොහොමටත් ඒකාබද්ධ විපක්‍ෂෙ බොහෝ අයට මගේ ලිපි වහ කදුරු වගේ.

මා කලක සිට කියන්නේ 2020 වන තුරු බලා නොසිට රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරලා මහින්ද අගමැති කරන්න කියා. දැන් නම් 2020 වන තුරු ඉන්න එක මහා භයානක වැඩක් වෙලා. 2019 ජනාධිපති අපේක්‍ෂකයා කවු ද කියන එකට වැඩිය අද ඇති ප්‍රශ්නය 2020 වන තුරු මේ විධියෙන්වත් රට පවත්වාගෙන යෑම. අගමැති වෙනස් කරන්න මැතිවරණයක් අවශ්‍ය නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ඒ බලය තියෙනවා. ව්‍යවස්ථාවේ අදාළ වගන්ති කලින් කියා ඇති. 2015 ජනවාරියෙ රනිල් අගමැති කෙරුවෙ මැතිවරණයකින් පස්සෙ නො වෙයි. ජනාධිපතිවරණයක් කියන්නෙ මැතිවරණයක් නො වෙයි.

මෛත්‍රිපාල ජනාධිපති ධුරයෙන් පහ කරලා ප්‍රශ්නය විසඳන්න බැහැ. එහෙම වුණොත් රනිල් පළමුව තාවකාලික ව ජනාධිපති වෙනවා. ඊට පස්සෙ පාර්ලිමේන්තුව ඔහු ජනාධිපති ලෙස පත් කර ගනීවි. එබැවින් එදත් අදත් 2020ට පෙර ඇති එකම විකල්පය රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද අගමැති කිරීමයි. මෙය මැතිවරණ, ජනාධිපතිවරණ සමග පටලවා ගන්න එපා.

ඒකාබද්ධ විපක්‍ෂෙ කිහිප දෙනකු මහින්ද අගමැති කරනවට විරුද්ධයි. ඔවුන් කියනවා මෛත්‍රිපාල එක්ක සංධාන හදන්න එපා කියලා. ඒ ඔවුන්ගෙ ඊළඟ මැතිවරණ බලාපොරොත්තු වෙනුවෙන්. ඔවුන් රටක් ගැන බලන්නෙ නැහැ. කොහොමටත් මෙතන සංධාන කතාවක් නැහැ. 2019 ජනාධිපතිවරණයක් හරි මැතිවරණයක් හරි ගැන නොවෙයි මේ කතා කරන්නෙ. රට නැති කරන්න කලින් රනිල් ඉවත් කරන්න.

මෙයට සිරිජාතිකවාදය බැරි නම් ඕනෑම එකක් කියන්න. ඒකට කමක් නැහැ. තවදුරටත් රටක් තියෙන්න නම් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. දැන් කුමන්ත්‍රණ කතාත් ඇහෙනවා. ඒ ඇත්ත නම් ඒ කාගෙ සැලැස්මක් වුණත් ඒකෙ වාසිය කාට ද? අද අපට මෛත්‍රිපාලටත් මහින්දටත් අණ දිය හැකි හාමුදුරුනමක් නැහැ. අර ට්රොවෝ ලිං කියල තියෙනවා ථෙරවාද රටවල රාජ්‍යය සංඝයා වහන්සේ රජු ජනතාව කියන ලිප් ගල් තුන මත තියෙන එකක් කියලා. මේ එකක්වත් දුර්වල වුණොත් රාජ්‍යය කඩා වැටෙනවා. පිරිවෙන් විශ්වවිද්‍යාල කිරීමෙන් පසු සංඝයා වහන්සේ දුර්වල වෙලා. එදා හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවො බණ්ඩාරණායක මැතිණියට අණ කළා දේශපාලනයට එන්න කියා.

දැන් මේ හදිසියේ භික්‍ෂූු අධ්‍යාපනය සකස් කරන්න බැහැ. අපට එක් භික්‍ෂුන් වහන්සේ නමක් නැත්නම් සංඝ සභා හැටියට රැස්වෙලා මහින්දට හා මෛත්‍රිපාලට රට රැකීමට එකතු වන්න සංඝාඥාවක් පැනවිය හැකි ද? වෛරයකින්/ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව වැඩ කිරීම පැත්තකට දැමිය යුතුයි. 2020න් පසු තම පෞද්ගලික න්‍යාය පත්‍ර මුදුන්පත් කර ගන්නේ කෙසේ ද යන්න අමතක කර රටේ න්‍යාය පත්‍රයක් වෙනුවෙන් වැඩ කළ යුතුයි. ජනාධිපති අපේක්‍ෂකයා කවුද යන්න වැදගත්. එහෙත් ජනාධිපතිවරණය වන තෙක් රට තව තවත් අගාධයට නොයවා පවත්වා ගැනීම එයට වඩා වැදගත්.

~~ කාළය~~

Top