මහින්ද අද රටේ ජනප්‍රිය ම නායකයා බව දුමින්ද දිසානායකත් පිළිගන්නවා. දුමින්ද මහින්දට කැමති අයකු නොවෙයි. දේශපාලනඥයන් ලෙස මහින්ද හා දුමින්දගේ පියා බර්ටි ප්‍රේමලාල් අතර ප්‍රශ්න තිබුණා. මහින්ද හා එස් බී අතරත් මහින්ද හා මංගල අතරත් ප්‍රශ්න තිබුණා. මහින්ද හා මෛත්‍රිපාල අතර ප්‍රශ්න නොතිබුණා නො වෙයි. මේ ප්‍රශ්නවලට විවිධ හේතු තියෙන්න ඇති. සමහරවිට වෙනත් අය ඒ පිටුපස ඉන්නත් ඇති. දේශපාලනය කියන්නෙ කැපිලි කෙටිලි ඇති ඉහළ ම තැන. අනෙක් තැන්වලත් කැපිලි කෙටිලි තියෙනවා.

මහින්ද හා චන්ද්‍රිකා අතර තිබූ ප්‍රශ්න මේ භවයේ දී විසඳෙන ඒවා නො වෙයි. චන්ද්‍රිකා මහින්දට කීවේ රිපෝටර් කියලයි. දේශපාලනයේ දක්‍ෂයන් වන්නේ මේ කැපිලි කෙටිලි විඳ දරාගෙන ඉන්න පුළුවන් අයයි. එහෙම නැත්නම් නියම වෙලාවට පනින අයයි. මේ දවස්වල විවිධ අය මහින්ද සමග එකතු වීමට හදනවා. ඒ කියන්නෙ මහින්දගෙ පැත්තට පනින්න හදනවා. බොහෝ දෙනා කියන කතාවක් තමයි රතනං පණිතං යන්න. මෙය බුදුදහමට හොඳ නැහැ. ඒ වුණත් මිනිසුන් මෙවැනි කියුම් හදාගන්නේ බුදුදහමට අගෞරව කිරීමට නො වෙයි.

දැන් මහින්ද ජනප්‍රිය ම නායකයා වුණේ ඇයි? මහින්ද හොරා කියද්දීත් විකිණෙන්නෙ නැති නිව්යෝක් ටයිම්ස් පුවත්පත කතා කියද්දිත් මහින්දගෙ ජනප්‍රියත්වය නැති වෙන්නෙ නැත්තෙ ඇයි? කවුරු හරි අහන්න පුළුවන් මහින්ද ඔය තරම් ජනප්‍රිය නම් පැරදුණෙ මොකද කියලා. ඒක අර බටහිරයන් කියන්න වගේ හොඳ ප්‍රශ්නයක්. මහින්ද පැරදුණෙ නාගරික තරුණ සිංහල බෞද්ධයන් පිරිසක් පඬියන් වීම නිසා සහ ජාතිකත්ව ඡන්ද යම් ප්‍රමාණයක් මෛත්‍රිපාලට වැටුණ නිසා. පඬියන්ට මෙලෝ දෙයක් තේරුම් ගන්න බැහැ. ඒ පඬිත්වය අර තරුණ තරුණියන්ට ලැබුණෙ මුහුණු පොත මගින්. අද ඒ තරුණ තරුණියන් මුහුණු පොත මගින් ම තමන්ගෙ වරද වටහා ගෙන. එහෙත් මෛත්‍රිපාලගෙ ඡන්ද සෑහෙන ප්‍රමාණයක් තවමත් ඇත්තේ මෛත්‍රිපාලගෙ ශ්‍රී ල නි ප සමග. අර දහසය දෙනා ඒ ඡන්ද කොපමණ ප්‍රමාණයක් ආපසු ගෙනාව ද කියන එක ගැන හරි තක්සේරුවක් නැහැ.

2015 දි මහින්ද පැරදුණු විගස ඔහුට විරුද්ධ ව ඡන්දය දුන් යම් පිරිසකට තේරුණා තමන් කළ වරද. ඔහුට අඩුවෙලා තිබුණෙ ඡන්ද ලක්‍ෂ හතරක් පමණ. මහින්ද හැටියට ගත්තොත් ඔහු ජනාධිපතිවරණයෙ දි ලබාගත් ඡන්ද ප්‍රතිශතය තවමත් පොහොට්ටුවට ලැබී නැහැ. ඔය මොන තරම් කයිවාරු ගැහුවත් පහුගිය පෙබරවාරි ඡන්දෙදි පොහොට්ටුවට ලැබුණෙ 46%ක් පමණ. 2015 ජනාධිපතිවරණයෙදි මහින්දට ලැබුණ 48%ක් පමණ. මහින්දගෙ ප්‍රතිශතයවත් පොහොට්ටුව ගත්තෙ නැති බව අමතක නොකළ යුතුයි. මහින්දට දෙන ඡන්දවලින් යම් කොටසක් පොහොට්ටුවට ලැබිල නැහැ.

මීළඟ ජනාධිපතිවරණයක් තියෙයි ද නැද්ද කියන එක හරියට ම කියන්න බැහැ. තිබ්බත් මහින්දට තරග කරන්න බැහැ. මහින්ද වෙනුවෙන් එන අපේක්‍ෂකයාට මහින්දට ලැබෙන ඡන්ද සියල්ල ලැබෙයි කියලා කියන්න බැහැ. සමහරකු කියන්න බැරි නැහැ ඊට වැඩිය ලැබෙයි කියලා. මහින්දට නොදෙන සමහර ඡන්දත් මහින්ද වෙනුවෙන් තරග කරන අපේක්‍ෂකයාට ලැබුණත් අද තත්වය අනුව සමස්තයක් ලෙස ගතහොත් මහින්ද ලබාගත් ප්‍රතිශතය ඔහු වෙනුවෙන් පෙනී සිටින අපේක්‍ෂකයාට ලැබෙන එකක් නැහැ. මා මෙය කියන්නේ කිසිවකු අධෛර්යමත් කිරීමට නො වෙයි. අවශ්‍ය නම් මා මෛත්‍රිපාල වෙනුවෙන් කතා කරන සිරිජාතිකවාදියකු බව කියන්න.

මහින්දට ඡන්ද ලැබෙන්නෙ වෙන කවුරුන්වත් නිසා නොවෙයි මහින්ද නිසා. අප ඒ බව තේරුම් ගත යුතුයි. එක් පිරිසක් බැසිල්ගෙ සංවිධාන ශක්තිය ගැන කියද්දි තව පිරිසක් විමල් ගම්මන්පිළ දිනේෂ් වාසු සංවිධානය කළ නුගේගොඩ රැස්වීම ගැන කියනවා. මට නම් ඒ දෙක ම ආන්තිකයි. මහින්දට මිනිසුන් ඡන්දෙ දෙන්නෙ ඔහු මහින්ද නිසා. පසුගිය දා එක් හිමි නමක් දේශනා කර තිබුණ ගැමුණු රජුගෙන් පසු අපට සහනයක් ගෙන දුන්නෙ මහින්ද කියා. එයින් කියැවෙන්නෙ මහින්ද කර ඇති දේ ගැන රටේ විශාල පිරිසක් හිතන විධිය. මහින්ද කෙළෙ අධිවේගී මාර්ග තනපු එකවත් රට සංවර්ධනය කරපු එකවත් නොවෙයි ත්‍රස්තවාදය පරාජය කරපු එක. අධිවේගී මාර්ග නොහැදුවා නොවෙයි. රටේ යම් සංවර්ධනයක් නොවුණා නො වෙයි. එහෙත් මහින්ද ගැමුණු රජු හරි හයවැනි පරාක්‍රමබාහු රජු හරි සමග සංසන්දනය කෙරෙන්නෙ සිංහල බෞද්ධකම මත පිහිටලා. ප්‍රභාකරන් හා ඔහු පිටුපස සිටි බටහිරයන් ඇතුළු සිංහල බෞද්ධ විරෝධී බලවේග පරාජය කළ නිසා.

එහෙත් ඒ ජයග්‍රහණය තහවුරු කරගන්න ඔහු අසමත් වුණා. 2010 ජනාධිපතිවරණයෙ දි මහින්දට 58%ක පමණ ඡන්දයක් ලැබුණා. එහෙත් 2010න් පස්සෙ ඔහු ජාතිකත්ව දේශපාලනයෙන් යම් තරමින් බැහැර වුණා. 58%, 48%ටත් එය 46%ටත් දළ වශයෙන් අඩු වෙලා. 58%, 48%ට අඩු වූ කාලයේ යම් සංවර්ධනයක් වූ බව අමතක කරන්න බැහැ. එහෙත් ඒ කාලයේ දයාන් ජයතිලකලා ඩිලාන් පෙරේරාලා ජී එල්ලා ඔහු වටේ හිටියා. අපට ජෙනීවා ප්‍රශ්න ඇති වුණෙ ඉන්දියාවෙ අවශ්‍යතාවට ඊනියා 13+ කතා කරලා එය නුදුන් බැවින් ඉන්දියාව අපට විරුද්ධ වූ නිසා.

අද ඇතැමුන් නැවතත් මුස්ලිම් ඡන්ද දෙමළ ඡන්ද එකතු කර ගැනීමේ වෑයමක නිරත වනවා. එහෙත් මුස්ලිමුන් ඉතිහාසයේ හැමදාමත් කර ඇත්තේ ජයග්‍රාහී පැත්තට එකතු වීමේ දේශපාලනයක්. මෙරට ජාතිකත්ව ඡන්ද 55%කට වඩා තියෙනවා. අප පළමුව මේ ඡන්ද එකතු කර ගැනීමට උත්සාහ කළ යුතුයි. මෙරට ජාතිය ගොඩ නැගී ඇත්තේ මේ ඡන්දවලින් නියෝජනය වන චින්තනයක් මත. පක්‍ෂ දේශපාලනය නිසා ඒ ඡන්ද විවිධ තැන්වල. ඒ ඡන්ද පළමුව එකතු කර දෙවනුව ජයග්‍රහණයෙන් පසු (ජනාධිපතිවරණය ද මොකක් ද කියන එක හරියට කියන්න බැහැ. එයත් තීරණය වන්නේ මහින්දගෙන්.) මුස්ලිම් දෙමළ ඡන්ද එකතු කරමු. අප පළමුව මුස්ලිම් දෙමළ ඡන්ද එකතු කරන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ සිංහලයන්. ඩිලාන්ලා මහින්දට එකතු වෙන්න හදන්නෙ හොඳකට නො වෙයි. ඔවුන්ට ජනතාවගේ ඇති ඡන්දයක් නැහැ. එහෙත් පාර්ලිමේන්තුවේ ඔවුන්ට ඇති ඡන්ද රනිල් ඉවත් කිරීමට යොදා ගන්න පුළුවන්.

අද කළ යුත්තේ බටහිරයන් කියන ඊනියා ගමන් බලපත්‍ර (පාස්පෝට්) ජාතියක් ගොඩ නැගීම නොව තිබෙන සිංහල ජාතියට ජනවර්ග එකතු කරන ක්‍රමයක් සෙවීමයි. සිංහල නොවන ඡන්ද ගැන මුලින් බලන්නේ පාස්පෝට් ජාතියක් ගොඩ නැගීමට. පාස්පෝට් ජාතිවල ජාතිකත්වය ඇත්තේ ගමන් බලපත්‍රයේ රටවැසිබව සඳහන් කිරීමේ පමණයි. ඊනියා ජාතික රාජ්‍ය යනු පාස්පෝට් ජාතිකත්ව ඇති රටවල්.

Published on: Jul 31, 2018- ක‍්‍රිකට් මහ පුටුවේ බුකිකාරයෙක් බවත් ඔහුගේ ගෝලයෝ තරග පාවාදෙන්නෝ බවත් තිලංග සුමතිපාල යනු අපතයෙකු බවත් අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා තරග පාවදීම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා අද මාධ්‍ය හමුවක් කැදවමින් අපත බුකීකරුවෙකු වන තිලංග සුමතිපාලට පිළිතුරැ දුන්නා.

ක‍්‍රිකට් ගොඩ ගන්න අපි වින්ද දුක අනාථ අපතයෝ දන්නේ කොහොමද ? අහිංසක මිනිස්සුන්ගේ ලේ උරා බීලා අපි දරුවෝ හදලා නැහැ…ක‍්‍රීඩා ඇමැතිවරයෙක් හිටියට වැඩක් නැහැ – ඔහුගේ විෂය පථයේ ක‍්‍රිකට් විතරක් නැහැ…

ශ්‍රි ලංකන් ගුවන් සමාගමට අද (30) අලුතින් එක් කරන ලද ඒ 321 එයාර් බස් රථය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලැබි ඇති බව අන්තර් සේවක සංගමයේ සභාපති හා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාර සභිත වසන්ත සමරසිංහ මහතා පැවසිය.

වසන්ත සමරසිංහ මහතා ඒ බැව් කියා සිටියේ රට රකින,රට හදන ,ජනතාවාදි පාලනයක් යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මගින් රට පුරා පවත්වන ජන හමුවේ නුවරඑලිය දිස්ත්‍රික් පළමු රැස්විම අමතමිණි.

මෙම රැස්විම අද (30) පස්වරුවේ ගිනිගත්හේන සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත් විණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ ඉකුත් රජය සමයේ ගුවන් යනා නිෂ්පාදිත සමාගමකට ඇණවුම් කර තිබු ගුවන් යානයක ගිවිසුම වත්මන් රජය මගින් අවලංගු කල බවයි.

එම ගිවිසුම අවලංගු කිරිම සදහ ශ්‍රි ලංකන්  ගුවන් සමාගම විසින්  ජනතා මුදල් රුපියල් කොටි 175 ක පමණ මුදලක් එම සමාගමට ගෙවා ඇති බවයි.

ශ්‍රි ලංකන් ගුවන් සමාගමට අලුතින් ගුවන් යානයක් අවශ්‍ය නම් ඉකුත් රජය මගින් ඇණවුම් කල ගුවන් යානයක් මිල දි ගැනිමට හැකියාව තිබියදි , එය අවලංගු කර පැය තුනක් වැනි කෙටි කාලයක ගුවන් ගමන් සදහා ඒ 321 වර්ගයේ නව ගුවන් යානයක් මිල දි ගැනිම පිටුපස විශාල කොමිස් මුදලක් එම ගුවන් යානය මෙරටට ගෙන්විමට කටයතු කල අයට ලැබි ඇති බවයි.

Published on: Jul 29, 2018 – ධර්මයට අනුව කර්ම කරන්නෙක් හෝ විපාක වි‍ඳින්නෙක් නැත. කර්මය කරන කෙනෙකු නොමැති කල කර්මය පල දෙන්නේ කාටද? ගොනෙකු නොමැති නම් කරත්තය යන්නේ කවරෙකු පසුපසද? පුද්ගල ක්‍රියාකාරකම් සිදුවන්නේ සිතුවිලි අනුවය, සිතුවිලි අනුව ක්‍රියා සිදුවෙයි, ක්‍රියාවන් අනුව විඳීම සිදුවෙයි. කර්මයෝ විසින් විපාකයෝ ‍රැස් කරයි , විපාකයෝ විසින් කර්ම ගෙන එයි. බයිබලයේ එන අකීකරු පුත්‍රයාගේ කථාව අකාලික මාර්ගෝපදේශනයන්ය, වඩා වැදගත් වන්නේ රැළේ පිළිවෙලට යන බැටළු පැටවා ගැන සෙවීම නොව කණ්ඩායමෙන් පිට ගිය එකා ගැන සෙවීම ය.

බෞද්ධ දර්ශනය අනුව සන්සාරය යනු භවයෙන් භවයට ගමන් ගන්නා කාල යාත්‍රාවක් නොව එක් චිත්තක්ෂනයකි. සන්සාරය යනු මේ මොහොත ය. හිතක් නිරුද්ධ වී අලුත් සිතක් ඉපදෙන විට පූර්ව කිසිවෙකු එහි නැත. අවිද්‍යාවේ ගිලී සිටින සත්වයාගේ ස්වභාවය අල්ලා ගැනීමයි . කෙනෙකුගෙන් වරදක් සිදු වුව හොත් වාඩුව ගැනීමට සිත්හි තැන්පත් කර තබා ගනියි , අතීතයේ වර්තමානයේ අනාගතයේ ඔහු හා ගැටෙමින් සැරිසරයි. දිව පිනවන රසක් දැනුන හොත් එය සිතෙහි ගබඩා කර තබා ගනියි, රසය එසේ අල්ලා ගන්නේ ඉදිරියේදී තව තවත් රස විඳීමටය. ඇලීම ගැටීම නිසා කාලය ගොඩ නැගෙයි . ඇලීමට, ගැටීමට, රස විඳිමට කෙනෙකු ඇතැයි සිත් වෙයි. මම කියා පුද්ගලයෙකු ඇතැයි සිතෙයි. කාලය නැමති මායාවට මමත්වය එකතු කොට ජීවිතය ගොඩනගයි.

ගැටලුවට සම්භූත හේතු එලෙසම පවතිද්දී ඵලය සමග ගේම ඉල්ලීම නිරර්ථකය

සත්වයා තුල මම නොහොත් ආත්ම දෘෂ්ඨිය කිඳා බැස ඇත. මමත්වය යනු “මම” යන අදහස පමනක් නොවේ. මමත්වය යනු නැති ලෝක ස්වභාවයක් පවතින ලෙස දැකීමයි. ආත්ම දෘෂ්ඨියටත් අනාත්ම දෘෂ්ඨියටත් වෙනස් දෘෂ්ඨියක් පවතියි. හේතු ඵලවාදය යනු එයයි. හේතූන් ගැලපිලා බැඳුනු කල ඒ හා බැඳුනු උපතක් හට ගනියි, හේතූන් නොමැති වූ කල එය නැතුව යයි. එහෙයින් යම් දෙයක් ස්ථිරව පවතිනවා යයි කිව නොහැක , නොපවතිනවා යයිද කිව නොහැක. හේතුන් ගැලපිලා බැඳුනු කල යම් දෙයක් ඇතැයි දිස්වෙයි, වැටහෙයි, දැනෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායු යන ගති ලක්ෂණ ගැලපිලා බැඳුනු කල භෞතික රූපයක් හට ගනියි. අතීත කර්ම ඵල ගැලපී බැඳුනු කල කෙනෙකුගේ කර්මජ රූපය සැකසෙයි. විඳීම විඳවීම ඒතුලින් පැමිනෙයි .

කර්මය හේතුව වෙයි, විඳීම විඳවීම ඵලය වෙයි. හේතුව නැති කිරීමෙන් ඵලය නැතිවෙයි. ඒ තුල විඳින්නෙකු හෝ විඳවන්නෙකු නොමැත.

කරුනු එසේ වූ කල්හි බෞද්ධ ඉගැන්වීම අනුව අතීත වරදකට දඬුවම් පැමිනවීම අතාර්තික ක්‍රියාදාමයකි. සිදුවිය යුත්තේ ඵලය සමග ගැටීම නොව හේතුව සොයා ඊට පිලියම යෙදීමය.

වර්තමාන සමාජයේ පවුල් සංස්ථාව යනු අපරාධ උගන්වන පෙර පාසැලය. සමාජය අපරාධ උගන්වන පාසැලකි. එහි පශ්චාත් උපාධිය හැදෑරීමට බන්ධනාගාරය වෙත යා යුතුය. මෙවන් දාමක ක්‍රියාවලියක අවසානය ලෙස අපරාධකරුවෙකු බිහි වූ විට ප්‍රතිකර්ම කළ යුත්තේ ඵලය වෙත නොව හේතු මූලය වෙතය. අපරාධකරුවා එල්ලා මැරීමෙන් අත්වන යහපතක් නැත.

රජගෙදර වුවද පැල්පත වුවද උඩුයටිකුරු කළ හැකි දුරාචාරය

වර්ථමානයේ බන්ධානාගාරගතව සිටින පුද්ගලයන්ගෙන් 60% ක් පමන ප්‍රමාණයක් හෙරොයින් සහ ඒ ආශ්‍රිත මත්ද්‍රව්‍ය පිලිබඳව චෝදනා ලද වුන්ය . රජ ගෙදර වුවද පැලපතේ වුවද හෙරොයින් භාවිතා කරන සාමාජිකයෙකු සිටී නම් එහි බලපෑම සුලු ප‍ටු නොවේ. හෙරොයින් භාවිත කරන පුද්ගලයන් අහිංසක නැත. නමුත් අසරණ පුද්ගල කොට්ඨාශයකි. හෙරොයින් භාවිතයෙන් අත්මිදීමට ඔවුන්ට උදව් අවශ්‍යය. ක‍ටුනායක ගුවන්තො‍ටුපල හන්දියේ ඇති ක්‍රීඩාංගනය අපට මතක් කර සිටින්නේ හෙරොයින් පිලිබඳ සංවේදී කථා පුවතකි . එම ක්‍රීඩාංගනය ඉදිකර ඇත්තේ හෙරොයින් නිසා අකාලයේ මිලිනව ගිය දේශපාලන ප්‍රබලකුගේ පුත්‍රයෙකු සිහිවීම පිනිසය.

රොඩ්රිගු දුතර්තේ සහ සිරිසේන

සිරිසේන ජනපති මත් ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම පැමිනවීමට තීන්දු කළ විගස විශාල ප්‍රතිරෝධයක් ඔහු වෙත එල්ල වූයේය. එනමුත් නම ගිය ගහලයෙකු වන පිලිපීන ජනාධිපති රොඩ්රිගු දුතර්තේ, සිරිසේනගේ තීන්දුව අගය කළේය. දුතර්තේගේ මත් විරෝධී සටන ඔහු පිලිපීන ජනාධිපතිවරයා වීමෙන් පසු ඇරඹුණක් නොවේ. එහි අතීතය ඔහු 1998 පෙබරවාරි මින්දනාඕ දිවයිනේ දවාඕනම් නුවර පුරපති ලෙස දිව්රුම් දුන් දා දක්වා දිව යයි. එදා සිට අද දක්වා හෙරොයින් වලට ඇබ්බැහි වූවන් 5000 කට අධික ප්‍රමානයක් ඔහුගේ නියමයෙන් ඝාතනය කර ඇත. මෑතකදී රොයිටර්, නිව්යෝර්ක් ටයිම්ස් ඇතුලු පුවත් පත් ගණනාවක් වාර්තා කර තිබුනේ දුතර්තේගේ මත් විරෝධී සටන අසාර්ථක බවය. දුතර්තේගේ දැලට හසුව අසරනයන් 5000 ක් පමන ඝාතනය වූවද ‍තෝරුන් මෝරුන් වැනි ජාවාරම්කරුවන් යහමින් කල් ගෙවන්නේය. ගණන් ඉලක්කම් සමග බොරු කළ නොහැක. දුතර්තේ විසින් එදා වේල කුඩ්ඩන් 5000 ක් පමන ඝාතනය කර ඇති නමුදු මහා පරිමාන ජාවාරම් කරුවන් ඝාතනය කර ඇත්තේ දෙදෙනෙකු පමනි . එයද දේශපාලන ආරවුලක් නිසා සිදු වූවක් බව කියැවෙයි. හේතු එක ලෙස පවතිද්දී ඵලය සමග ගැටීම් ගඟට ඉනි කැපීමකි.

අයිතිකරුවන් නැති හෙරොයින්

ලංකාවේ කිලෝ ගණනින් හෙරොයින් අසුවූ සෑම විටකම එහි අයිති කරුවන් සොයා ගැනීමට පොලීසිය අසමත්ය. රාජපක්ෂ සමයේ එස්.ටී.එෆ් එකෙන් නිමල් ලංසාගේ නිවස වටලන විට ඔහුගේ ආරක්ෂාවට වහා දිව ගියේ මහින්ද ය. වෙලේ සුදා හිරේ ගියද ඔහුගේ ගෝඩ්ෆාදර් කුඩු දුමියාට ආරක්ෂක ආමාත්‍යංශයේ අධීක්ෂණ ඇමති ධූරයක් ලැබුනේය. එල්.ටී.ටී.ඊ පාලන කාලයේ බෙහෙතකට හෙරොයින් පොදක් නොවූ උතුරු නැගෙනහිර අද කුඩු වසංගතයකි. හෙරොයින් ආරක්ෂක අංශ සහ දේශපාලනය අතර ඇති අනොන්‍ය සබඳතාවය වටහා ගැනීමට මෙම පසුතලය ප්‍රමාණවත්ය. ලෝකයේ හෙරොයින් නිෂ්පාදනයෙන් 74 %කට දායක වන්නේ ඇෆ්ගනිස්ථානයයි. ලාඕසය , වියට්නාමය මියන්මාරය 15% ක් පමන දායකත්වයක් ලබා දෙන්නේය. අමෙරිකාව විසින් රටවල් ආක්‍රමනය කරන ආරක්ෂා කරන සමීකරණය මේ තුල දැක ගත හැක.

බන්ධනාගාර බුද්ධි අංශයේ වගකීම

1898 දී හෙරොයින් මුලින්ම නිෂ්පාදනය කළේ කුප්‍රකට රෝත්ස්චයිල්ඩ්ට අයත් වූ බේයර් සමාගම ය. රොත්ස්චයිල්ඩ්ගේ ඊනියා හරිත විප්ලවය මෙන්ම මෙයද මානව සංහතියට එරෙහිව දියත් වූ ව්‍යවසනයකි. නමුත් එය වෙනම ලිවිය යුතු මාතෘකාවකි . එදා පටන් රහස් ඔත්තුසේවා , ආරක්ෂක අංශ සහ දේශපාලනඥයන් යනු හෙරොයින් ජාලයේ ‍අසහාය රැකවලුන්ය. වැලිකඩ බන්ධනාගාරය යනු කුඩු බෙදා හරින ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බව විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨයෙකු පසුගියදා ප්‍රකාශ කළේය. සියල්ල මෙහෙයවනුයේ සෙලියුලර් දුරකථන මගින් බව කීවේය. බන්ධනාගාර නියාමකවරුන් මොවුන්ට අත්උදව් සපයන බවද කියා තිබුනි. මතට තිත තැබීමට කිසිවෙකුට අවැසි නම් මූලිකවම කළ යුත්තේ බන්ධනාගාර බුද්ධි අංශය ඉහල කාර්යක්ෂමතාවයකින් පවත්වාගෙන යාමය. ඕනෑම සෙලියුලර් දුරකථනයකට රහසේ සවන්දිය හැකි උපකරණ ඇ.ඩො 75000 සිට ඉහලට පහසුවෙන් මිලට ගත හැක. එමගින් හෙරොයින් ජාවාරමේ අල ගිය මුල ගිය සියලු තැන් හෙලිදරව් කරගැනීමට හැකිය.

එල්ලුම්ගස සේවය කරන්නේ කවුරුන්ටද?

බිම් මට්ටමේ හෙරොයින් ජාවාරම්කරුවන් එල්ලුම් ගස් යැවීම හරහා සිදුවන්නේ ගෝඩ්ෆාදර්ගේ ආරක්ෂාව සහතික වීම ය. එවන් ක්‍රියාදාමයක් හරහා මත් උවදුර මැඩලිය නොහැක. බිම් මට්ටමේ අපරාධකරුවන් ඝාතනය කිරීම හරහා සිදුවන්නේ මහ මොළ කරුවන් ආරක්ෂා වීම මිස අන් යමක් නොවේ. ඒ අනුව එල්ලුම් ගස නිරතුරුව සේවය කරනු ඇත්තේ ඉහල ස්ථරයේ වැජඹෙන ජාවාරම් කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. එදා වැලිකඩදී කඩු සොරකමේ ප‍්‍රධාන සැකකරු වූ හර්ෂ මංජු ශ‍්‍රී මනකීර්ති පෙරේරා වෙඩි තබා ඝාතනය කෙළේය. ඒ ක්‍රියාදාමයෙන් කඩු සොරකමේ මහ මොළ කරු වූ නාමල්ගේ ආරක්ෂාව තහවුරු විය. අපරාධ පි‍ටු දැකීමට අවැසි එකෙක් වෙත් නම් ඔහු කළ යුත්තේ වැරදි කරුවන් පුනරුත්ථාපනය කිරීමට පෙර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමය.

ගල් යුගයේ අපි

බන්ධනාගාර පනතේ දක්වා ඇති ආකාරයට එක් සිරකරුවෙකු සඳහා දිග 8.6 x පළල 5.6 x උස 10 ඉඩක් වෙන් කළ යුතුය. බන්ධනාගාර පනත ප්‍රකාරව කොළඹ රිමාන්ඩ් බන්ධානාගාරයේ ‍රැඳවිය හැක්කේ සිරකරුවන් 260 පමණි. නමුත් මෙහි සිරකරුවන් 1300 කට ආසන්න ප්‍රමාණයක් රඳවා සිටියි. ‍රැඳැවියන්ට රස පරීක්ෂක වාර්තාව එනතුරු අවුරුදු ගණන් බන්ධනාගාරයේ තැපීමට සිදුවන අවස්ථා එමටය. සිරකරුවන් ‍රැඳවීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් නැත. මංකොල්ලකරුවන්, මිනීමරුවන්, කුඩ්ඩන් ඇතුළු සියල්ලන් එකට පැකැට් කරයි. සුද්දන් විසින් බන්ධනාගාර පනත හඳුන්වා දුන්නේ 1844 වර්ශයේදී ය. එනම් අදින් වර්ෂ 174 කර පෙර ය. 1844දී නිර්මාණය කළ සිරකරුවන්ගේ ඇඳුමට පාදක වූයේ එකල ගැමියන් භාවිතා කළ ඇඳුම්වල හැඩතලය. ඒ අනුව සිරකරුවන්ගේ නිල ඇඳුම වූයේ කම්බා රෙද්දකින් මැසූ බැනියමක් සහ කොට කලිසමකි. මෙම හම්පඩ ඇඳුම කිසිදු යාවත්කාලීන වීමකින් තොරව අද ද භාවිත කරයි. සිරකරුවන්ගේ ඇඳුමේ සිට මනෝමූල පුනරුත්ථාපනය දක්වා අප තවම සිටින්නේ ගල් යුගයේ ය.

ලංකාවේ බන්ධානාගාරවල බුද්ධි අංශ යනු විහිලු සපයන ආයතනයන් ය. මහජන මුදල් කබාසිනියා කරන සුදු අලින් ය. බොහෝ බුද්ධි අංශ සාමාජිකයන් පෞද්ගලික වාසි තකා තමන් බුද්ධි අංශයේ යයි පෙනී සිටියි. බුද්ධි අංශයේ අහවල් සර්ට යයි කියමින් හිරගෙදර මෝරුන්ගෙන් ගාන කැපීම නිතර සිදුවෙයි. ලංකාවේ තත්වය එසේ වුවද ලෝකයේ දියුණු රටවල නවීන තාක්ෂනික උපකරන වලින් යුත් ශූක්ෂතම බුද්ධි අංශය ස්ථාපිත කරන්නේ බන්ධනාගාර ආශ්‍රිතව ය. මක්නිසාදයත් සියලුම ක්ෂේත්‍ර වල කෙළ පැමිණි ගේම් කාරයින් සිටින්නේ එහි නිසාය. හෙරොයින් පමනක් නොව ජාතික ආරක්ෂාව සමබන්ධ ගනුදෙනු පවා ඒ තුල සිදුවන්නේය. සාර්ථක බුද්ධි අංශයක් හේතුවෙන් සංවේදී බාහිර තොරතුරු හෙලිදරව් කර ගැනීම පමණක් නොව අභ්‍යන්තර විනය ද ආරක්ෂා වන්නේය. නීතියේ පාලනය ස්ථාපිත වන්නේය . පහත දැක්වෙන වාර්තාව මේ සමග අමුනන්නේ බුද්ධි අංශ යයි පිස්සු කෙලින ලංකාවේ ආයතනයන නිසි රාමුවක් තුලට ගෙන ඒමට මාර්ගෝපදේශනයක් ලෙසිනි

බන්ධනාගාර බුද්ධි අංශයේ කාර්ය භාරය – (එක්සත් ජාතීන්ගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ මාර්ගෝපදේශණයකි)

Dynamic Security and Prison Intelligence

කීර්ති රත්නායක විසිනි

Published on: Jul 28, 2018- සහකාර ‍පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්‍පොළ විසින් අතුරුගිරිය, මි‍ලේනියම් සිටි නිවාස සංකීර්ණයේ අංක 844 දරන නිවස 2002 ජනවාරි මස 02 වටලනු ලැබුවේ ජාතියේ මහා පාවාදීම සනිටුහන් කරමිනි.

එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා ප්‍රචාරක බස් රථයට පහරදීමට සැලසුම් කළ බව කියමින් මි‍ලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශයේ රහසිගත මෙහෙයුම් ඒකකය අත්අඩංගුවට ගන්නේ මාධ්‍ය සංදර්ශන පවත්වමිනි. මහනුවර ‍පොලිස් නිල සුනඛ අංශයේ සිටි සහකාර ‍පොලිස් අධිකාරිවරයකු විසින් දේශපාලන ලකුණු දමාගන්නට එදා කළ වැටලීමෙන් එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත්, යුද හමුදාපති ජෙනරාල් ලයනල් බලගල්ලත් ඇතුළුව නිලධාරින් අතලොස්සක් දැනගෙන සිටි රහස්‍ය බුද්ධි ඒකකය ගැන රටම දැනගත්තේය.

කොටි ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශ තුළටම රිංගා සිදුකරන ලද දිගුදුර මෙහෙයුම් ප්‍රහාර සඳහා කොටි ත්‍රස්තවාදීන්ගෙන්ම ගලවාගත් දෙමළ ජාතිකයන් යොදවා ඇරඹූ මෙම විශේෂ මෙහෙයුම් ඒකකය පවත්වාගෙන යනු ලැබුවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ කපිතාන් ෂාවුල් හමිඩ් නිලාම්ගේ නායකත්වයෙනි. කපිතාන් නිලාම් සෘජුවම අණ දුන්නේ එවකට බුද්ධි අධ්‍යක්ෂවරයා වූ බ්‍රිගේඩියර් කපිල හෙන්දාවිතාරනටය.

මි‍ලේනියම් සිටි මහා පාවාදීමට වැටලීම කළ ‍පොලිස් නිල සුනඛ අංශයේ කණ්ඩායම කපිතාන් නිලාම් සමග මෙම මෙහෙයුමට දායක වූ ආනන්ද උදලාගම, එච්.එම්. නිශ්ශංක හේරත්, එදිරිසිංහ ජයමාන්න, මොහමඩ් හිල්මි යන පස්දෙනා සමග යුද ටැංකි නාශක බෝම්බ, තර්මෝබැරික් විදින, තුවක්කු බිම්බෝම්බ ඇතුළු අවි ආයුධ, කොටි නිල ඇඳුම් හැටහයක්ද සමග අත්අඩංගුවට ගත්තේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන මෙම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර රට හමුවේ යුද හමුදාව සතු රහසිගත මෙහෙයුම් ඒකකය ගැන අනාවරණය කළේය.

දිගුදුර මෙහෙයුම්  මගින් නැගෙනහිර කොටි බළකොටුවල සිටින කොටි නායකයන් අබිරහස් ලෙස ඝාතනය කිරීමට කපිතාන් නිලාම් හෙවත් මයික් යටතේ මෙම අබිරහස් කණ්ඩායම ක්‍රියාත්මක වී තිබුණේය.

එවකට ‍පොලිස්පති ලකී කොඩිතුවක්කු මහතාගේ කාලයේදී සහකාර ‍පොලිස් අධිකාරිවරයකු විසින් රහසිගත බුද්ධි ඒකකයක් රටට අනාවරණය කරමින් කළ මහා පාවාදීම රටට දැනුණේ හමුදා බුද්ධි අංශයට බඳවාගෙන සිටි දෙමළ ජාතික බුද්ධි ක්‍රියාකාරීන් විසිපස්දෙනකු හා ඔවුන්ට සම්බන්ධ සිවිල් ඔත්තුකරුවන් ඇතුළුව අසූ දෙනකුට වඩා කොටි ත්‍රස්තවාදීන් විසින් පාවාදීමෙන් පසු ඝාතනය කිරීම නිසාය.

මහා පාවාදීමෙන් සති දෙකකට පසුව එනම් 2002 පෙබරවාරි 16දා පළමු බිල්ල ගන්නට ලාන්ස් කෝප්‍රල් වී. විජේරත්න කොටි ගරිල්ලන් පැහැර ගත්හ. දින හතරක් තිස්සේ දරුණු වධහිංසාවන්ට ලක්කර කපිතාන් නිලාම්ගේ රහස්‍ය කණ්ඩායමේ හෙළි නොවූ තොරතුරු දැන ගැනීමෙන් පසු ජනවාරි 20දා ඔහුව ඝාතනය කරන ලදී.

ලාන්ස් කෝප්‍රල් ක්ලැරි හෙවත් ගඩාෆි 2002 පෙබරවාරි 09දා මඩකලපුව, චෙන්කල්ලඩියේදී පැහැරගෙන ඝාතනය කළහ. ලාන්ස් කෝප්‍රල් සෞන්ද්‍රරාජා, ගනේෂ් මුර්ති (තිලකරත්න), පු‍ලේන්ද්‍ර රාසා (කැෂියර්), කදිරගාමපිල්‍ලේ රගුපති, සින්නතම්බි, දේවරාජා (අශෝක්), කණපතිපිල්‍ලේ දේවදාස්, සිදම්බරපිල්‍ලේ, අසීස්, සූරියන්, රිල්වාන්, විවේකනාදන්, සෞන්දනායගම් සබාරත්නම්, පු‍ලේන්ද්‍රරාජා, තංගරාජා, නාගකෝනේ අෂිෂ්, සුබ්‍රමනියම් ජයදේවන්, සබානායගම්, අබ්දුල් ෆවුසි, අරියනන්දන් හේමචන්ද්‍ර මෙසේ ඝාතනය වූවන් අතර වූහ. කොටි පිස්තෝල කල්ලි නැගෙනහිරෙන් පටන්ගත් ඝාතන සංග්‍රාමය කොළඹ, මාත‍ලේ ප්‍රදේශවලටද ව්‍යාප්ත විය.

මෙකී මි‍ලේනියම් සිටි ජාතියේ මහා පාවාදීම හමුදා බුද්ධි අංශයට එක්ව ක්‍රියා කළ හමුදාවෙන් වැටුප් ගත් දෙමළ ජාතිකයන් සංහාරයෙන් අවසන් විය. කොටි බුද්ධි අංශ නායක ශිවශංකර් ‍පොට්ටුඅම්මාන් දේශද්‍රෝහීන් අතුගා දැමීම යන තේමාව යටතේ මෙකී සංහාරය දියත් කර තිබිණි.

මෙකී සංහාරයට වගකිවයුතු සහකාර ‍පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්‍පොළ ඇතුළු ‍පොලිස් ලොක්කන් ජාතියේ මහා පාවාදීමට වගකිවයුතු බවට එවකට ජනාධිපතිනිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අභියාචනාධිකරණයේ හිටපු විශ්‍රාමලත් විනිසුරු ඩී. ජයවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත්කළ ජනාධිපති කොමිසම තීරණය කළේය. එම කොමිසමෙන් මෙම මහා පාවාදීමට සම්බන්ධව උදව් දුන් බව කියමින් යුද හමුදාවේ ජෙනරාල් අයිවන් දසනායක, කර්නල් දප දසනායක ඇතුළු කණ්ඩායමක් වරදකරුවන් කළ පසු හමුදාවෙන් නෙරපනු ලැබූහ.

වත්මන් යහපාලන රජය බලයට පත්වූ පසුව එම මහා පාවාදීමට චෝදනා ලද හමුදා නිලධාරීන්ට යළි විශ්‍රාම වැටුප් හා හිඟ වැටුප් ලබාදෙන්නේ දේශපාලන පළිගැනීම් ලැයිස්තුව යටතට දමාය. හිටපු ජනාධිපතිනිය පත්කළ කොමිසමක වරදකරුවන් වූ නිලධාරීන්ට ඇයත් නියෝජනය කරන යහපාලන රජය යටතේ යළි සමාව ලැබෙන්නේ ෙදෙවෝපගත ලෙසය.

ඉහත කී මහා පාවාදීමෙන් වසර දහසයකට පසුව වත්මන් යහපාලන රජය යටතේ යළිත් එවන් මහා පාවාදීමකට ශ්‍රී ලංකා ‍පොලිසිය පිඹුරුපත් සකසා අවසන්ය.

ඔඩ්ඩුසුඩාන් කැලෑවෙන් ඉකුත් ජුනි 22දා ක්‍ලේමෝ බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමග අල්ලාගත් කොටි ත්‍රස්තයන් සමග කරළියට ආ කොටි ත්‍රස්තයන්ගේ යළි නැගිටීම ගැන රටට හෙළි නොකර මෙම ත්‍රස්තයන් ගැන හෙළිකරගත් හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවන් පාවාදීම අලුත්ම වෑයම වී ඇත.

අලුත්ම බිල්ලකට කොටි යළි නැගිටී යන ශිර්ෂය යටතේ රිවිර ඉරිදා සංග්‍රහයෙන් ඉකුත් ජුනි 24දා මෙම ලියුම්කරු කළ අනාවරණය නිසා කොටින්ගේ හිස එසැවීම යහපාලනයේ නාමයෙන් යටපත් කරන්න පිඹුරුපත් සැකසූ ‍පොලිස් කණ්ඩායමේ වෑයම ව්‍යර්ථ වූ පසුව සිදුවූයේ ලියුම්කරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත සිකුරාදා (20) දිනයේ කැඳවා පැය 5ක් ප්‍රශ්න කිරීමය.

ඔඩ්ඩුසුඩාන්වලදී බෝම්බ හමු වූ කොටි ජාලය ගැන තොරතුරු යටපත් කර ඒ ගැන ඔත්තු සෙවූ හමුදා බුද්ධි අංශය මත වරද පටලවා තවත් පාවාදීමක් කරන්නට ශ්‍රී ලංකා ‍පොලිසිය ගත් වෑයම පස්සට දමන්නට රිවිර ඉරිදා සංග්‍රහය කළ හෙළිදරව්ව ද හේතු වූයේය.

මීට වසර දහසයකට පෙර ‍පොලිස් දෙපාර්තමේන්තුවට නිගාවක් දෙමින් මහා පාවාදීම කළේ මහනුවර නිල සුනඛ අංශයේ ‍පොලිස් නිලධාරීන්ය. නමුදු මෙවර එම පාපකර්මයට කර ගසන්නට සිදුවී ඇත්තේ රටේ ත්‍රස්තවාදය සම්බන්ධව සොයා බලන්නට ඇති ‍පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (ඊච්)ටය. ඉහළ නිලධාරීන් දේශපාලන ලකුණු දමාගන්නට රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්නට යන බව මෙහි ‍පොඩ්ඩන්ට තේරුණද ඔවුන්ටද කරන්නට දෙයක් නොමැති වී ඇත්තේය.

කෙසේ වුවත් පසුගිය අඟහරුවාදා (17) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, රාජ්‍ය ආරක්ෂක ‍ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් සමග ත්‍රිවිධ හමුදාපතිවරුන්, ‍පොලිස්පති හා බුද්ධි ප්‍රධානීන් පැවැත්වූ බුද්ධි සමාලෝචන රැස්වීමේදීත් මෙම පාවාදීම ගැන සාකච්ඡා කර තිබිණි.

ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත සන්නද්ධ බුද්ධි බළකාය දිගින් දිගටම එල්ටීටීඊය යළි ක්‍රියාත්මක වන ආකාරය හා එල්ටීටීඊ ක්‍රියාකාරකම් හමුදා බුද්ධි බළකාය නිරීක්ෂණය කරන ආකාරය තොරතුරු සහිතව වසරක් පමණ තිස්සේ ඉදිරිපත් කර තිබියදී හමුදා බුද්ධි අංශය මත ඔඩ්ඩුසුඩාන් සිද්ධිය පටවන්නට උත්සාහ නොකරන්නැයි ආරක්ෂක ‍ලේකම්වරයා මෙහිදී ‍පොලිස්පතිවරයාට හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට දැඩිව අවධාරණය කර තිබිණි.

මෙම සිද්ධිය ගැන කරන ‍පොලිස් විමර්ශන මගින් මි‍ලේනියම් සිටිවල කළ පාවාදීම වැනි තවත් මි‍ලේනියම් සිටියක් නොකරන්නැයි හමුදාපතිවරුන්ද ‍පොලිස් ප්‍රධානීන් වෙත මෙහිදී අවධාරණය කර තිබුණේය.

කෙසේ වුවද කොටි ත්‍රස්තයන් යළි නැගිටීමට වෙර දරද්දීම යුද හමුදා බුද්ධි අංශය මගින් එය අනාවරණය කරගන්නට එම කණ්ඩායම් තුළටම රිංගවා තිබූ කොටි සංවිධානයේ සිටියදී හමුදා ඔත්තුකරු ලෙස කටයුතු කළ පුද්ගලයාව යාපනයේ පළවන උදයන් පුවත්පත හරහා අනාවරණය කරවන්නේ මෙකී ‍පොලිස් පරීක්ෂණවලදීය.

ඔඩ්ඩුසුඩාන්වලදී ක්‍ලේමෝ බෝම්බ සමග කොටි ත්‍රස්තයන් අත්අඩංගුවට ගත් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට විමර්ශන භාරගත් අතර උදයන් පුවත්පත ජූනි 24 දා යුද හමුදා බුද්ධි අංශයෙන් මාසිකව පඩි ගත් පුද්ගලයකු සිටින බවට අනාවරණය කළේය.

2016 මාර්තු 29 වැනිදා යාපනය චාවකච්ච්ෙරියේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පැති බෝම්බ හතරක් යාපනය සමග කබ්රියල් එඩ්වඩ් ජුලියට් (33) නමැති ත්‍රස්තයකු, යාපනය කොට්ඨාස බුද්ධි ඒකකය අත්අඩංගුවට ගත් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන භාර කෙරුණේය. එහිදීත් ත්‍රස්තවාදය හිස ඔසවන බව හෙළි නොකරන්නට වුවමනා නිසා හමුදා බුද්ධි අංශයේ පිටින් එයත් යවන්නට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පිඹුරුපත් සැකසුවේය.

කොටි ත්‍රස්තයන් හිස ඔසවන්නට එන බවට හමුදා බුද්ධි අංශය දිගින් දිගටම ජාතික ආරක්ෂක කවුන්සලය වෙත වාර්තා කරමින් ආරක්ෂක මණ්ඩලය හමුවේ වසරක් පමණ තිස්සේ හමුදා බුද්ධි අංශය තොරතුරු වාර්තා කර තිබුණෙන් එක්වරම සිද්ධිය කනපිට හරවන්නට ‍පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නොහැකිවිය.

මෙම එල්.ටී.ටී.ඊ. ජාලයේ දිනේෂ්, කරන් ගුන්ඩන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදිත් හමුදා බුද්ධි අංශය සමග ඇති සබඳතා සොයන්නට ‍පොලිස් බලධාරීන් උත්සුක වී තිබුණේ යහපාලන ආණ්ඩුව අපහසුතාවට පත්කරන්නට හමුදා බුද්ධි අංශය කටයුතු කළ බව කියමින් කතාවක් ගොතන්නට විය හැකිය.

කෙසේ හෝ මෙම කොටි කණ්ඩායම මන්නාරම කේන්ද්‍රකරගෙන සි.ෂෝ පුපුරන ද්‍රව්‍ය කිලෝ හතළිහක් ඉන්දියාවෙන් ගෙනවිත් ඔඩ්ඩුසුඩාන් වෙත රැගෙනයන්නේත්, වන්නියේ සඟවා තැබූ නවීන අවි නැගෙනහිරට යවන්නේත් කොටි ඩයස්‍පෝරාව දුන් ඉලක්කයන් ගැනීමටය.

කරන්ගේ පුදුකුඩිඉරිප්පු ගරාජයේ යතුරුපැදි හා ත්‍රීවීල් සකස් කරන්නේත් ඉදිරි මෙහෙයුම් සඳහාය. ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන විනයාකම් නෝර්වේ සිට ක්‍රියාත්මකවන නෙදියවන් (පෙරිම්බනායගම් ශිවපාරන්) රටින් පිටත සිට ඊළාම් රාජ්‍යයක් සඳහා ඊළමක් බිහිකරන්නට දරන තැත සඳහා යොදා ගත් එක් පුරුකක් ලෙස මෙම කණ්ඩායමේ කොටු වූ දිනේෂ් හඳුනාගෙන ඇත.

මෙම කණ්ඩායම කරන බුද්ධි තොරතුරු රැස් කිරීම, තැන් තැන්වල සැඟවූ අවි ආයුධ අවශ්‍ය තැන්වල ස්ථානගත කිරීම හා නිද්‍රාශීලි කොටි යළි නැගිටවීම දෙමළ ඩයස්‍පෝරා නායකයන්ගේ ඉලක්කය වී තිබුණේය.

ඉන්පසු දකුණේ ප්‍රහාර හා ඉලක්ක සඳහා දෙමළ කණ්ඩායම්වලට වඩා දකුණේ පාතාල කණ්ඩායම් යොද ගැනීම මෙවර සැලසුම් බව බුද්ධි අංශ අනාවරණය කළේය.

ඉතිහාසයේ කිඹුලා ඇළ ගුණා තෙල් බාලා, මාකඳුරේ මධුෂ් යන පාතාල නායකයන්ගේ සහාය කොටි ත්‍රස්තයන් ඊලාම් යුද සමයේ ගත්තේ තම ප්‍රහාරකයන් හා ආයුද ප්‍රවාහනය හා ඉලක්ක වෙත රැගෙන යාමටය. මෙවර පාතාලයට මුදල්දී තමන්ට අවශ්‍ය ඉලක්ක ගැනීම යළි හිස ඔසවන කොටින්ගේ ඉලක්කය වී ඇති බව කියවෙන්නේය. මෑතකදී කොළඹ පාතාල ක්‍රියා හා දකුණේ පාතාල ක්‍රියාවලට සම්බන්ධ සැඟවුණු මිනීමරුවා වූ කෙනඩි එල්.ටී.ටී.ඊ. චාල්ස් ඇන්තනි බළකායේ සේවය කර බූස්සේ සිරගෙදරදි කොස්ගොඩ සුජි නමැති පාතාල නායකයා හඳුනාගෙන පාතාලයට ගොඩබැස්ස කොටියෙකි. මේ අයුරින් පාතාලය හා කොටි වෙඩික්කරුවන් යොදා ඉදිරියේදී තවත් ඉලක්ක කරා යෑමේ අවධානමක්ද ඇති බව බුද්ධි අංශ පෙන්වාදෙයි. සන්නද්ධ ලෙවල් එකේ බෝම්බ ගහන්නේ නැතිව සල්ලි විසිකරලා පාතාලෙන් වැඩ ගන්න එක මෙවර ප්‍රභූ ඉලක්ක සොයා යළි නැගිටින කොටි සංවිධානාත්මකව එන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම් පාතාලයද එකතු කරගෙනය. මේ නිසා පෙරටත් වඩා ප්‍රභූ ජීවිතවලටද බලපෑමක් එල්ල විය හැකිය.

මෙවර අලුත්ම කොටි නැගිටීම හරහා ඉලක්ක බවට පත්ව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ, දෙමළ ජාතියේ හතුරන් ලෙස කොටි ඩයස්‍පෝරාව නම් කර ඇති එම්. සුමන්තිරන්, කරුණාඅම්මාන්, කුමරන් පද්මනාදන් යන අය බව බුද්ධි අංශවලට තොරතුරු ලැබි ඇතත් එය එළිපිට කියන්නට කිසිවකුත් උත්සුක නොවන්නේ දේශපාලන අරමුණු හේතුවෙනි.

ඊළාම් යුද සමයේ සිංහල කොටින් ලෙස ආරක්ෂක අංශ හා ‍පොලිසිවල සාමාජිකයන් කොටින්ගේ වැටුප් ගෙවන්නට බඳවාගත් අයුරෙන් දැනටමත් කොටි ජාත්‍යන්තර ජාලය අත දිගහැර මුදල් වියදම් කරන බවද හෙළිවී ඇත.

මෙම කොටි ත්‍රස්ත ජාලය කොටු කරන්නට අනගි මෙහෙවරක් කළ හමුදා බුද්ධි අංශයේ කොටි ඔත්තුකරුවන් පාවාදීමට ‍පොලිස් ලොක්කන් වෙර දරන්නේත් ඩයස්‍පෝරාව අත දිගහැර මුදල් වියදම් කරන නිසා ද යන සැකය යම් දිනක රට හමුවේ පැනනැගිය හැකිය.

ඩයස්‍පෝරාවේ උවමනාව ඉටුකර දෙන්නට ශ්‍රී ලංකා ‍පොලිසිය යළිත් මහා පාවාදීමකට චෝදනා ලබන්නට තල්ලු කරන්නේ එවැනි බලවේග විය හැකිය.

කෙසේ හෝ මන්නාරමෙන් රැගෙන ආ අවිආයුධ එක්රැස් කර ප්‍රභූ ඝාතන ඇතුළු ඉලක්ක වෙත යාමට යළි නැගිටින කොටි කණ්ඩායම් දැරූ උත්සාහය ගැන සියලු බුද්ධි තොරතුරු තිබියදී මෙය වසා දමන්නට ඉඩ නොදී අක්මුල් සියල්ල සොය යෑමට රාජ්‍ය ඔත්තු සේවාව වැනි සේවාවකටවත් පැවරීම සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා වත් පියවර ගත යුතුය.

එසේ නොවුණහොත් තවත් වසර කිහිපයකින් හෝ කොටි ත්‍රස්තයන් හිස එසවීමක් සිදුවුවහොත් එහි වගකීම සේනාධිනායක වශයෙන් ජනාධිපතිවරයාටත් ඉතිහාසගත චෝදනාවක් පැවරෙන නිසාය.

යළි හිස ඔසවන්නට වෙර දැරූ කොටි ත්‍රස්තයන් දිනේෂ් නමැති ඔත්තු අංශ නායකයා යටතේ බෝම්බ විශේෂඥයන්, දුරස්ථ පාලක සැකසීමේ මහ මොළකරුවන් ඇතුළු අනාගතයට වැඩගත හැකි පුද්ගලයන් එක්රැස් කර ඇති වගද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබි තිබුණේය.

දිනේෂ්ට ඉහළින් දිනේෂ්ව මෙහෙයවු කණ්ඩායම් නැගෙනහිර හා කිලිනොච්චිවල සිට මෙහෙයවූ බවට තොරතුරු ලැබුවද ඔවුන් හඳුනා ගන්නට පෙර මෙකී පාවාදීම සිදුවිය.

දැනට ඇති තොරතුරු මත මුලතිව්, වව්නියාව නැගෙනහිර, කිලිනොච්චි ආශ්‍රිතව ප්‍රධාන කොටි ක්‍රියාකාරි කණ්ඩායම් හතරක්, පහක් ක්‍රියාත්මක වී ඇතත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ඇරඹීමත් සමග සියලු කණ්ඩායම් අතුරුදන් වී ඇති වගට සැක පහලවී ඇත.

රටේ ජාතික ආරක්ෂක කවුන්සලය පවා දැනුවත්ව සිදුකළ කොටි ක්‍රියාකාරින්ගේහිස එසවීම ගැන සොයන රහස්‍ය බුද්ධි මෙහෙයුම අතරේ අහම්බයෙන් මෙන් ඔඩ්ඩුසුඩාන්වලදී අසුවූ අවි ආයුද හා සැකකරුවන් ගැන මාධ්‍යයට එක්වරම හෙළි නොකර රහසිගත පරීක්ෂණයක් සිදු කළා නම් මීට වඩා සාර්ථකව සමස්ත ජාලයටම අයත් කොටි ත්‍රස්තයන් බහුතරයක් කොටුකර ගන්නට හැකියාව තිබුණි. ජාතික පුවත්පතක් ලෙස රිවිර ඉරිදා සංග්‍රහය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් වගකීමෙන් යුතුව මෙම සිද්ධිය මුල සිටම වාර්තා කළේ විමර්ශනවලට බාධාවක් නොවන ලෙසය.

වෘත්තිමය දක්ෂතාවකින් හෙබි කණ්ඩායමක් ලෙස හැසිරෙමින් දේශපාලන ලකුණු දමා ගන්නට උත්සාහ නොගෙන ජාතික ආරක්ෂාව ගැන සිතුවානම් යුද හමුදා බුද්ධි අංශය සමග එක් වී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට සාර්ථකම බුද්ධි මෙහෙයුමක් කරන්නට ඉඩ තිබුණේය.

අදටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන කරන්නේත් සන්නද්ධ බුද්ධි බලකාය ජාතික ආරක්ෂක කවුන්සලයේ උපදෙස් මත ඔවුන්ට ලබා දුන් බුද්ධි තොරතුරුත් වාර්තා පදනම් කරගෙන බැවින් ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් හෙට දිනයේ හෝ ආරම්භ කළා නම් රට හමුවේ ඇති අනාගත අභියෝග ජයගන්නටත් තිබුණි.

මීට පෙර 2014 අප්‍රේල් 10 වනදා ඔඩ්ඩුසුඩාන් කැලෑවේ දී හමුදා මෙහෙයුමකින් මරා දැමූ ගෝපි, තේවියන්, අප්පන් හට සැඟවීමට ඉඩ දුන්නේ චන්ද්‍රමෝහන් නමැති කොටි ක්‍රියාකරුගේ මව මලර්ගේ නමින් කූමාන්කුලම් හා ආසිකුලම්වල තිබූ ආරක්ෂිත නිවෙස්වලය. චන්ද්‍රමෝහන්ගේ මවට මෙම නිවෙස් ලබාදෙන්නේ කටාර් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන ඩයස්‍පෝරාවෙනි. චන්ද්‍ර මෝහන් ද මේවන විට හිරෙන් නිදහස් වී යළි කරළියට පැමිණ ඇත.

කෙසේ වුවද හමුදා බුද්ධි අංශය මෙම කොටි ජාලය තුළට රිංගවූ ඔත්තුකරුවන් ගැන පිටට හෙළි නොවන පරිදි සාර්ථක බුද්ධි ක්‍රියාන්විතයක් කළා නම් දෙස් විදෙස් කොටි ජාලයේ යළි නැගිටි කොටි ත්‍රස්තයන් රැසක් කොටු කර ගන්නට ද ඉඩ තිබුණි. මේවන විට බහුතරයක් පැනගොස් ඇත්තේ නිසි වේලාවට සාර්ථක මෙහෙයුමක් කරන්නට සැලසුමක් නොවුණ නිසාය. සමහරු දැනටමත් ඉන්දියාවට පැනගොසින්ය.

අත්අඩංගුවට ගත් සාමාජිකයන් බූස්ස වැනි බන්ධනාගාරයක රඳවා තබනු වෙනුවට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තැබිමෙන් දිනපතා ජාත්‍යන්තර කොටි ජාලය මොවුන් සමග තොරතුරු හුවමාරු කරගනිමින් සිටින වාතාවරණයක් ගැන ද අනාවරණය වී තිබුණි. මෙයද දැනට කෙරෙන බුද්ධි මෙහෙයුම්වලට අවාසිසහගත විය හැකිය.

සැබැවින්ම ජාතික ආරක්ෂාවට බලපාන මෙවැනි සංවේදී සිදුවීම්වලදී විදෙස් රටවල ඔත්තු සේවාවන් ක්‍රියාත්මක වන ආකාරයට දේශපාලන න්‍යායපත්‍ර අතහැර ‍පොලිසිය ස්වාධීනව කටයුතු කළා නම් රට හමුවේ ඇති ලොකු අභියෝගයක් රටක් වශයෙන් අපට ජයගන්නට තිබුණි. නමුදු තවමත් සිදුවන ක්‍රියාකාරකම්වලට අනුව රටේ වගකිව යුතු නායකයන්ට ද රට හමුවේ ඇති තර්ජනය නිසායාකාරව පෙන්වා දෙන්නට බුද්ධි නිලධාරීන් සමත්වී නැති බව දැනට සිදුවන කරුණු කාරණාවලදී පැහැදිලි වන්නේය.

රාජ්‍ය ඔත්තු සේවාව වැනි රටේ ජනාධිපතිට වගකියන බුද්ධි සේවාවක් යොදවා හෝ හමුදා බුද්ධි අංශය එළිකර දුන් කොටින්ගේ අලුත්ම ජාලය ගැන දීර්ඝ විමර්ශනයක් කර රටට ඇති තර්ජනය හඳුනා ගැනීම බලධාරීන්ගේ වගකීමය.

එමෙන්ම හමුදා බුද්ධි අංශයේ දක්ෂතාවයෙන් කොටි ජාලය තුළට ඔත්තුකරුවන් ලෙස රිංගවූ හමුදා ඔත්තුකරුවන් රැක නොගතහොත් ඔවුන් සමාජයට ආ විගස කොටි ජාත්‍යන්තර ජාලයේ හෝ කොටින්ට උදව් දෙන විදෙස් ඔත්තු සේවාවල ඉලක්කයක් වනු ඇති බව බුද්ධි අංශ පෙන්වා දෙති.

ජාතික ආරක්ෂාව තකා අප දන්නා තොරතුරු සියල්ල හෙළි නොකර සිටින්නේ ද සියලු දෙනාට ජීවත්වන්නට නිදහස් රටක් ඉතිරිව තිබිය යුතු නිසාය. එහෙත් මි‍ලේනියම් සිටි වැනි පාවාදීම් තවදුරටත් සිදුකර දේශපාලන න්‍යායපත්‍රවලට අනුව ක්‍රියාත්මක වන්නට ‍පොලිස් ලොක්කන් කටයුතු කරන්නේ නම් එය නොබියව ජාතික පුවත්පතක් ලෙස හෙළි කරන්නට රිවිර අප බැඳී සිටින්නෙමු.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Published on: Jul 28, 2018- පසුගිය මාස 16 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1087 ක (රුපියල් කෝටි දාහත් දහසක් පමණ) මුදලක් වැය කරමින් මෙරටට ආනයනය කළ රත්රන් තොග, හොර රහසේ ඉන්දියාවට පැටවූ මහා පරිමාණ ජාවාරම පිටුපස ආණ්ඩුවේ හිටපු ප‍්‍රබල අමාත්‍යවරයකුද සිටින බවට තොරතුරු හෙළිවෙමින් ඇත.

මේ සම්භන්ධයෙන් මෙරට රත්රන් ව්‍යාපාරයේ නිරත ව්‍යාපාරිකයින් හා දේශපාලනඥයින් පිරිසක් ජනාධිපතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරියේදී පැමිණිලි කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩුබායි හා සිගප්පූරු වෙළඳ පොළවල් හරහා මෙරටට ආනයනය කෙරෙන රත්රන් තොග විශාල ප‍්‍රමාණයක් මෙම ජාවාරම යටතේ හොර රහසේම ඉන්දියාවට යැවෙන බව මේ වන විට අනාවරණය වී ඇත. එසේ පිටමං කිරීමට ගිය රත්තරන් විශාල ප‍්‍රමාණයක් පසුගියදා නාවික හමුදාව හා රේගුව විසින් අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය මාස 16 කාලය තුළ පමණක් මෙරටට ඩොලර් බිලියනයකට අධික වටිනාකමකින් යුත් රත්රන් තොග ආනයනය කර තිබුණද, එම තොගවලින් බහුතරයක් මෙරට වෙළඳපොළට එක් නොවීම ඔස්සේ මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

2016 වසරේ අයවැය යෝජනා හරහා රත්රන් ආනයනය සඳහා පනවා තිබූ බද්ද ඉවත් කෙරිණි. ඉන් අනතුරුව 2017 වසරේ ඇමෙරිකානු ඩොලර් 650ක් වටිනා රත්රන් තොග මෙරටට ආනයනය කෙරුණු අතර එය ඊට පෙර වසරේ ආනයනයන්ට සාපේක්ෂව සියයට 73 ක වැඩිවීමකි.

එසේම මෙම වසරේ මුල් කාර්තුව තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලයන 437ක් වටිනා රත්රන් මෙරටට ආනයනය කර ඇති අතර එම ප‍්‍රමාණය ඊට පෙර වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව සියයට 126 ක වැඩිවීමකි.

මෙතරම් රත්තරන් තොගයක් ආනයනය කළද මෙරට වෙළඳපොළේ රත්රන් තොග ප‍්‍රමාණය ඊට සාපේක්ෂව ඉහළ ගොස් නැති බවද රන් ආනයනකරුවෝ පවසති.

පැතුම් වික‍්‍රමරත්න / ඉෂාර රත්නකාර- රිවිර

මෙය රිවිර පුවත් පතේ පලවු වාර්තාවක් වන අතර මේ සම්බන්ධයෙන් පුලුල් අනාවරණයක් බලාපොරොත්තු වන්න 

Published on: Jul 28, 2018- කොළඹ මහා නගර සභාවේ පොහොට්ටුවේ කල්ලිය එජාපයේ දුෂීතයන් සමග එක්ව කොළඹ නගර සභාවේ ජනතා මුදල් කොල්ල කෑමේ මෙහෙයුමක් දියත් කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

කොළඹ නගර සභාවේ බලය එජාපය උසුලන නමුත් ඒ සදහා ඔහුන්ට විපක්ෂයේ සහයද ලබා ගැනිමට සිදුව ඇත්තේ සභාව තුල ආණ්ඩුවට 60ක් සහ විපක්ෂයට 59ක් ලෙස බලය පැවැතිම නිසා වන අතර වත්මන් නගරාධිපතිනී රෝසී සේනානායක බලය පවත්වාගෙන යැම සදහා ජනතා මුදල් කබාසීනියා කරමින් විපක්ෂයට අල්ලස් දිම ආරම්භ කර ඇති අතර එය දඩමිමා කරගනිමින් තමන්ට අවනත පොහොට්ටු කාරයන් යොදවා ගනිමින් පසුගියද නගරස සභාව තුල මුල්‍ය වංචාවක් කිරිමට රෝසී සමත්ව තිබේ.

ලොව රටවල් 125ක ප්‍රබල දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් එක්වූ World Cities Summit 2018  සමුලුවේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස ආරාධනා ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග තවත් කිහිපදෙනකුට සහභාගී විමට ආරාධනා කර තිබු අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සැපයිමටද එම ආරාධිතයන් කටයුතු කර තිබේ.

නමුත් World Cities Summit 2018  සදහා සහභාගි වන රාජ්‍ය නායකයන්ට සහ නගරාධිපතිවරුන් සහ ඔහු සමග සහභාගි වන අයෙකු සදහා මුලික වශයෙන් සිංගප්පූරු ඩොලර් 2800 අවසරපතක් එක් අයෙකුට ලබාදෙන අතර Marina Bay Sand හොටලයේ නතර විම සදහා රාත්‍රී 4ක් සදහා නතරවිමේ පහසුකම්, සමුලුව ආරම්භ වන ජුලි 7 දා සිට 11 දක්වා වලංගු වන බවත්,ගුවන්තොටුපලෙ සිට යැමට සහ එමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙන්ම අනිකුත් අවශ්‍ය නිළ කටයුතු සදහා අවශ්‍ය පහසුකම් සපයන බවද එම ආරාධිතයන් තහවුරු කර තිබේ.

මිට අමතරව නගරාධිපතිවරුන් සමග තව අයෙකුට පැමිණිය හැකි බවත් ඔහුට හෝ ඇයටද එම වරප්‍රසාද වලින් සිංගප්පූරු ඩොලර් 2800 අවසරපතක් හිමිවන බවද World Cities Summit 2018 සංවිධායකින්යින් එවා තිබේන නිළ පත්‍රීකාවේ සදහන් කර තිබේ.

අදාළ  World Cities Summit 2018 සංවිධායකින්යින් එවු ලියවිල්ල පහත දැක්වේ….(සම්පුර්ණ ලිපිය පහත දැක්වේ.)

තත්ත්වය එසේ තිබියදි නගරාධිපතිනී රෝසී සේනානායක සහ ඇයගේ ඇම්බැටටයෙකු වන මන්ත්‍රී දුමින්ද ආටිගල අදාළ සමුලුවට සහභාගි විමට කටයුතු කර තිබේන අතර පසුව ඊට අදාළ වියදම් දක්වමින් කොළඹ නගර සභාවේ පුහුණු කිරිම් හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ  8/1/16/00/01/07 යන වැය ශිර්ෂය යටතේ පියවා ගැනිමට අවශ්‍ය අනුමැතිය සදහා සභාවට පසුගිය බ්‍රහස්පතින්දා ඉදිරිපත් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ පොහොට්ටුවේ එක් මන්ත්‍රීවරිය සහ මන්ත්‍රිවරයෙකු හැරෙන්නට අනෙකුත් කිසිවෙකුත් විරුද්ධත්වය පලකර නෑ.

ඒ අනුව ගුවන් ගමන්,හෝටල් වියදම් ….. ලබා ගැනිම සදහා වැය ශිර්ෂය යටතේ  නගරාධිපතිනිය විසින් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ  අනුව ගුවන් ගමන් සදහා මෙන්ම Marina Bay Sand හොටලයේ නතර විම සදහා වියදම් පෙන්වා ඇති අතර ඒ අනුව නගරාධිපතිනියද හෝටල් වියදම් ලෙස 320800ක් මුදලක් වංචනික ලෙස ලබා ගැනිමට කටයුතු කර තිබේ.

මේ වනවිට අනාවරණය වන තොරතුරු වලට අනුව අදාළ නිළ සංචාරය සදහා අවශ්‍ය ගුවන් ගමන් වියදම් අග්‍රාමාත්‍යවරයාගෙ කාර්යාලය හරහා දරා ඇත.ඒ අනුව රෝසී සිය ගුවම් ගමන් ටිකට් පත සදහා වන මුදලද වංචනීකව ලබා ගැනිමට කටයුතු කර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

කොළඹ නගරයේ ජනතාවගේ බදු මුදල් වංචනීක ආකාරයට ලබා ගැනිමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් සභාව තුල දැඩි විරෝධය පලකර ඇති අතර පොහොට්ටුවෙ මන්ත්‍රීවරියක සහ මන්ත්‍රීවරයෙකු පමණක් විරුද්ධත්වය පලකරද්දී අනිකුත් පොහොට්ටු කාරයන් සියලුම දෙනා එයට සහය පලකිරිම නගරසභාවේ දුෂණයට එරෙහි කණ්ඩායම් වල පවා දැඩි අප්‍රසාදය පලවි තිබේ.

මේ සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු කල සොයා බැලිමේදි අනාවරණය වි ඇත්තේ නගර සභාවේ මන්ත්‍රීවරුන් සදහා ලක්ෂ 20 බැගින් කඩිනම් පොලී රහිත ණය මුදලක් ලබා දිමට නගරාධිපතිනිය පොරොන්දු ලබාදි ඇති අතර ඒ සදහා නාගරික මන්ත්‍රීවරයෙකුගේ වැටුප ප්‍රමාණවත් නොවන නිසා එය තවත් රුපියල් විසිදාහකින් ඉහල දැමිමට තමන් කටයුතු කරන බවටද නගරාධිපතිනිය මන්ත්‍රීවරුන්ට පොරොන්දු දි තිබේ.

මේ වනවිට කොළඹ නගර සභාවෙ මන්ත්‍රීවරයෙකුගෙ මුලික වැටුප රුපියල් විසිදාහක් වන අතර දුරකතන දිමනාව රුපියල් හයදාහක් මෙන්ම පැමිණිමේ දිමනාව ලෙස තවත් රුපියල් අටදාහසක මුදලක්ද එකතුව ලෙස ලැබේ.

හිටපු විදේශ ඇමතිවරයාගේ සහ ඔහුගේ අගුටුමිටි ගෝලයාගේ උවමනාවට පත්කර ගත් ඉඩම් හොරෙකු වන කටාර් තානාපති ASP ලියනගේ අමනයා දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ගිණුමේ ඇති කටාර් රියාල් මිලියන 6 ක මුදලක් සොරකම් කිරිමේ මෙහෙයුමක් දියත් කර ඇති අතර ඊට එරෙහිව් වන පාර්ශ්වයන්ට තර්ජනය කරමින් සිටින බවද වාර්තා වේ.

රාජපක්ෂ යුගයේදී දක්නට ලැබුණු විචක්ෂණශීලිත්වයෙන් තොර බව නැවත නැවතත් ප‍්‍රදර්ශනය කරමින් යහපාලන රජයද ගත් ඇතැම් අමන තින්දු හේතුවෙන් මේ වනවිට අහිංසක ජනතාව පත්වන අවාසනාවන්ත තත්වය “කටාර් පාසැලේ අරමුදල බලෙන් ගන්න යන ASP ලියනගේ (සහ මෛත්‍රීට කේලමක් )” යනුවෙන් ලංකාවේ ප්‍රසිද්ධම දේශපාලන විචාරය වන SL VLOG හරහා අනාවරණය කර තිබේ.

 

මන්නාරමේ සිදුකරමින් සිටින කැනීම් කටයුතුවලදී හමු වෙන ඇට සැකිලි අවසන් යුද්ධයේදි පවුල් පිටින හමුදාවට භාර වුවන්ගේ බවට සැක මතු වි තිබේන බව පවසමින් කොටි හිතවාදි ඩයස්පොරා නායකයින් ජාත්‍යන්තර සංවිධාන වලට දැනුම් දි ඇති අතර වහාම විශේෂ කණ්ඩායමක් යොදවා එ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන ලෙසද ඔහුන් ඉල්ලා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

යුධ කාලයේදි හමුදා බුද්ධී අංශයේ සේවය කල ප්‍රධාන නිළධාරියෙකු ලබාදුන් තොරතුරුවලට අනුව අවසන් යුද්ධයේදි පවුල් පිටින් භාර වුවන් මුලතිව් හමුදා කදවුරේදී වෙන් කර ඔවුන් සේවය කල දිස්ත්‍රික් හමුදා කදවුරුවලට භාර දි ඇති බවත් පරික්ෂණවලින් පසුව බොහෝ දෙනෙකු ඔවුන් ඝාතනය කර හමුදා කදවුරු තුල වල දමා ඇති බව දැන ගැනීමට ඇති බවද කොටි හිතවාදි ඩයස්පොරාව අනාවරනය කර තිබේ.

දැනට හමු වි ඇති ඇට සැකිලි තුල කුඩා දරුවන්ගේ ඇට සැකිලිද තිබෙන බව අධිකරණ වෛද්‍ය ඩි. සමින්ද රාජපක්ෂ අනාවරණය කර ඇති අතර ඔහුන් ඝාතනයට ලක්වු අයුරු මේ දක්වා අනාවරණය කර නෑ.මෙහිදි මේ දක්වා ඇට සැකිලි 40ක් පමණ සොයාගෙන ඇත. මෙහි 50කට වැඩි අයගේ ඇට සැකිලි තිබිය හැකි බවට බලාපොරොත්තු වේ. මේ අතර හමු වී ඇති ඇට සැකිලි තුල කුඩා දරුවන්ගේ ඇට සැකිලිද තිබෙන බව අධිකරණ වෛද්‍යවරයා පවසා ඇත. ඒ අනුව මේවා අවසන් යුද්ධයේදි හමුදාවට භාර වු පවුල්වල සාමාජිකයින්ගේ විය හැකි බවට සැක මතු වි ඇත්තේ.

පසුගියදා මන්නාරමේ සිදුකරමින් සිටින කැනීම් නිරික්ෂණය කිරිමට ගිය සිංහලෙ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සහ  සිංහල සංගේදමේ නිර්මාතෘ එම සංචාරයෙන් පසුව කල අනාවරණය පහත දැක්වේ.

Published on: Jul 22, 2018- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේත්, එම නිලධාරීන්ගේ සහ මැති ඇමැතිවරුන්ගේත් ක්‍රියා කලාපයට එරෙහිව දැඩි පියවරක් ගැනීමට එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සුදානමින් සිටිති.ඊට හේතු වී තිබෙන්නේ බලයට පත් වුණාට පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් සහ බොහෝ මැති ඇමතිවරුන් එක්සත් ජාතික භික්ෂු පෙරමුණ සම්පූරණයෙන්ම නොසලකා හැර තිබීමය.

එක්සත් ජාතික භික්ෂූ පෙරමුණ කැඳවා,2015 ජනවාරි 08 ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලාට ස්තුති කර එම භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම්,ප්‍රශ්න සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බලන ලෙස එම පෙරමුණේ සභාපති සියම් ශ්‍යාමෝපාලික වංශික මහා නිකායේ මල් වතු පාර්ශ්වයේ රයිගම් සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියන් අවස්ථා ගණනාවකදීම කළ ඉල්ලීම් සියල්ල එක්සත් ජාතික පක්ෂ බලධාරීන් සම්පූර්ණයෙන්ම නොතකා හැර ඇතැයි එම පෙරමුණේ භික්ෂූන් වහන්සේලා පෙන්වා දෙති.

බෝපිටියේ ධම්මිස්සර නා හිමියන් මේ ඉල්ලීම් කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ බලධාරීන්ගෙනි.එක්සත් ජාතික භික්ෂූ පෙරමුණ අවසාන වතාවට රැස් කර තිබෙන්නේ 2015 සැප්තැම්බර් මාසයේදී වන අතර එදා සිට මේ දක්වාම එම පෙරමුණේ භික්ෂූන් වහන්සේලා කැඳවා එම භික්ෂූන් වහන්සේලාගේ සැප සනීප ගැනවත් විමසීමට එක්සත් ජතික පක්ෂයේ නායකයා ප්‍රධාන බලධාරීන් කාරුණික වී නොමැති බව එම භික්ෂූන් වහන්සේලා අවධාරණය කරති.

මේ තත්ත්වය හමුවේ එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ සභාපති සියම් ශ්‍යාමෝපාලික වංශික මහා නිකායේ මල් වතු පාර්ශ්වයේ රයිගම් සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියෝ දැඩි අපහසු තාවයකට සහ අතිශය කලකිරීමට පත්ව සිටිති.

ඒ අනුව 2015 ජනවාරි 8 ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලාට අත්ව තිබෙන ඉරණම,එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කලාපය සහ එම පක්ෂයේ නායකයින් මහ සංඝ රත්නය කෙරෙහි දක්වන අකෘතඥ භාවය පිළිබඳව රට ජනතාව හමුවේ කරුණු හෙළිදරව් කිරීමට බෝපිටියේ ධම්මිස්සර නා හිමි ප්‍රධාන භික්ෂූන් වහන්සේලා පිරිසක් සුදානමින් සිටිති.

(සුජිත් මංගල ද සිල්වා)

Published on: Jul 22, 2018 – හමුදාවෙන් පැන ඇවිත් නිවසේ සිටි සැමියා රාත්‍රියේ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් පැමිණ රැගෙන ගිය බවත් ඔහු යුධ හමුදාවට බාරදුන් බව පොලිසිය පැවසුවත් වසරකට වැඩි කාලයක් ඉක්ම ගියද තම සැමියා පිළීබදව හොඩුවාවක් වත් නැති බව ගිනිගත්හේන, කළවැල්දෙණිය, හෝමාගම, අරසලෙන ජනපදයේ පදිංචි තිදරු මවක් වන එච්.එම් චාමිනි කුමාරි පියසේන මහත්මිය චෝදනා කරන අතර ඔහු පිළිබදව තොරතුරක් දන්නා කෙනෙක් ඇත්නම් ගිනිගත්හේන පොලිසිය වෙත දන්වන ලෙස ඉල්ලා සිටින්නේ වගකිවයුතු කිසිම ආයතනයකින් තම සැමියා පිළිබදව වගකීමක් සහිත ප්‍රකාශයක් නොකරන නිසා බවට චෝදනා කරමින්ය.

ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වන චාමිනි කුමාරි මහත්මිය මෙසේ පවසයි.මගේ ස්වාමියා සෙබල අංක දරණ 11 ජී 02634 . L/G ගුණතිලක L R C ,11 වන බල ඇණිය ගජබා රෙජිමෙන්තුව,මුලස්ථාන කණ්ඩායම,යුධ හමුදා කදවුර,මුලංකා විල,නාච්චිකුඩා. ලිපිනයේ ඔහු සේවය කරමින් සිටිය අතර 2017.02.22 දින සිට හමුදාවෙන් ඉවත් නොවි නිවසට පැමිණ සිටියාය.නිවසේ සිටි ඔහු 2017.06.12 වන දින රාත්‍රි 11 ට පැමිණි ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් අත් අඩංගුවට ගනු ලැබුවා.2017.06.13 වන දින ඔහු පල්ලේකැලේ යුධ හමුදා කදවුරට බාර දුන් බව ගිනිගත්හේන පොලිසිය විසින් දැනුම් දුන්නත් එදා සිටතම සැමියාවන චමින්ද ගුණතිලක පිළිබදව කිසිම තොරතුරක් නොමැති බව පවසයි.

ඇය විසින් තම ස්වාමියා පිළිබද යුධ හමුදාවෙන් විමසිම් කලත් නිසි පිළිතුරක් නොමැති නිසා වෙනත් වගකිව යුතු බොහෝ දෙනෙක්ට ලියා දන්වමින් සොයා දෙන ලෙස ඉල්ලිම් කලත් කිසිදු තොරතුරක් නොලැබුන හෙයින් මානව හිමිකම් කොමිසන් සභාව වෙතද පැමිණිල්ලක් කර තිබේ.

වයස අවුරුදු 14 හා 4ක ගැහැණු දරුවන් දෙදෙනෙක් සහ අවුරුදු 7 ක පිරිමි දරුවෙක් සිටින බවත් කුලීවැඩ කරමින් ඔවුන් පෝෂණ කිරිමද ඉතා අසිරූවෙන් බව පවසන අතර සැමියා නොමැතිව සිය පවුලසෑම අතින්ම අසරණවී ජිවත් විමට ස්ථිර ආදායම් මාර්ගයක්ද නොමැතිව දරුවන් පාසල් යැවිමද කල නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් පවසන ඇය යුධ හමුදාවට බාර දුන් මොහොතේ සිට තොරතුරක් නැති සැමියා සොයාදෙන ලෙස අයැද සිටින්නේය.

ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

අසරණ වු හමුදා සෙබලාගේ දරු පවුල…

 

Published on: Jul 22, 2018 – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙහෙයුමක් දියත් වන බවත් ඊට් අදාළව සිදුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට හෙළිකරන ලෙස තමා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්ද පිළ සමග එකතු විමට ගොස් ශ්‍රිලනිප මහ ලේකම්කම වෙනුවෙන් යලිත් මෛත්‍රී ලගට ගො දැන් කූජිත වි සිටින දයාසිරි ජයසේකර පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම සඳහා විශේෂඥ කමිටුව විසින් සම්පාදනය කරන ලද දළ කෙටුම්පතට ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා ඡේදයක් ඇතුළත්ව තිබෙන බවත්, අග්‍රාමාත්‍යවරයාට, කථානායකවරයාට සහ විපක්‍ෂ නායකවරයාට එක්වී ජනාධිපතිවයා ඉවත් කිරීමට හැකි ක්‍රමවේදයක් එහි සඳහන් වී තිබෙන බවත් දයාසිරි ජයසේකර පවසා තිබේ.

රටේ පොදු මහජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයා එසේ ඉවත් කිරීමට සැලසුම් කිරීම කුමන්ත්‍රණයක් බවත්, මේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කවුරුන්ද කියා හෙළිදරව් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්, දයාසිරි ජයසේකර කියා සිටී.

අග්‍රාමාත්‍ය කාර්යාලට සම්බන්ධ පුද්ගලයකු මෙම විශේෂඥ කමිටුව නියෝජනය කරන බවත්, එම පුද්ගලයාගෙන් විවිධ බලපෑම් එල්ලවීම නිසා මෙම විශේෂඥ කමිටුවේ අර්බුදයක් හටගෙන තිබෙන බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා සඳහන් කරයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිතුමාගේ බලතල අඩුකර අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩිකර තිබෙන බවත්, අග්‍රාමාත්‍යවරයාට පිස්සු හැදුණත් තනතුරෙන් ඉවත් කිරීම සඳහා කිසිදු වගන්තියක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

මෙම කරුණු සැලකිල්ලට ගත්විට ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් මෙය ඉතා බරපතළ කාරණයක් බවද මන්ත්‍රීවරයාගේ අදහස වි තිබේ.

Top