Published on: Apr 5, 2018 @ 11:14- වාස්තවික දේශපාලන තත්වයන් තක්සේරු නොකරමින් හුදු මනෝමූලික කාරණා මත දේශපාලනය කළ නොහැකි බව ඒකාබද්ධය දැන්වත් ඉගෙන ගනී ද? ඉලක්කයක් හා ඉලක්කය හඹා යන ප්‍රායෝගික හා විස්වසනීය වැඩ පිළිවෙළක් නැති බොළඳ ක්‍රියාමාර්ග අවසන් වන්නේ තමන්ට ද තමා නියෝජනය කරන කඳවුරට ද පරාජය අත්කර දීමෙන් බව දැන්වත් පසක් වෙයි ද? විස්වාසභංගය එජාපයට ජයක් නොවන බව අපි දනිමු. එහෙත් එය අපට ද ජයක් නොවේ. නොයෙක් දෙනා නොයෙක් සිත නිවන විගඩම් කතා කීව ද ඊයේ සිදුවීම ඉතිහාසයේ ලියවෙන්නේ පමණක් නොව, ගමේ රටේ පොදු ජනතාව අතර ප්‍රචලිත වන්නේ ද එජාපයේ හා ආණ්ඩුවේ ජයක් ලෙසයි, මහින්දගේ පරාජයක් ලෙසයි. තරඟයක් යනු තරඟයකි. ඒ දේශපාලනයේ ස්වභාවයයි. අප සිතන්නේ ජයග්‍රාහී මහින්ද කඳවුර එවැනි පරාජයන්ට හිමිකම් කිව යුතු නැති බවයි. එය දැනට ලංකාවේ ප්‍රබලතම දේශපාලන සංවිධානයයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මුළු ආණ්ඩුවම එක වල්ලකට දමා වෙන වෙනම පරාජය කිරීමට ඊට හැකියාව ලැබුණි. ආණ්ඩුව ඉන් ලැබූ කම්පනය සුළුපටු නොවේ.

කෙසේ වෙතත්, පෙබරවාරි 10 මැතිවරණයේ ජය වසං කිරීමට නොයෙක් ක්‍රියාමාර්ග ගැනුණි. එහි පළමුවැන්න නම් සිරිසේන විසින් ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහිටුවන බව කියමින් ඒකාබද්ධය වටේ ගෙන යෑමයි. එහි දී මැතිවරණයේ ජයග්‍රාහි මනස පවා පාක්‍ෂිකයා වෙතින් උදුරා ගැනුණි. කොටින් ම එහි අරමුණ ම එය විය. කෙසේ වෙතත්, නිෂ්පල අරමුණකට ෆයිල් කරතියන් ගිය ඒකාබද්ධ මන්ත්‍රීවරුන් දෙස අපි උපේක්‍ෂාවෙන් බලා සිටියෙමු. දෙවැනියට පටන් ගත්තේ විස්වාසභංග නාටකයයි. මෙම අදහස පළමුව ගෙනාවේ සිරිසේන-ගෝලයින් විසිනි. පසුව ඒ ගැන එජාප රංග බණ්ඩාර වැනි අය ද කතා කළහ. ඒකාබද්ධ ලඟ චූන් සමාගම කළේ මේ අහක යන තොප්පිය තම හිස මත දාගැනීමයි. එවැන්නක් කළ ද කම් නැත. එහෙත් ඊට සැලසුමක් අවශ්‍ය වේ. ඉලක්කයක් තිබිය යුතු වේ. ඉලක්කය ජයගන්නා මගක් තිබිය යුතු වේ. මේ එකක් වත් තිබුණේ නැත. විස්වාසභංගයක් යනු අතිශය තියුණු දේශපාලන මෙහෙයුමකි. ප්‍රතිවාදියා එය ගන්නේ ද එසේයි. එසේ නොමැතිව එහි එන කරුණු ඇත්ත ද නැත්ත ද වැනි විඥානවාදී ප්‍රවේශයකින් නොවේ. ‍කොටින් ම එහි එන අඩංගු කරුණු පරම සත්‍යක් වුව එහි ජයග්‍රහණය හෝ පරාජය රඳා පවතින සාධක තුනක් මතයි. අන්තර්ජාතික පීඩනය, දේශපාලන එකඟතා හා මුදල්. වත්මන් විස්වාසභංගයට මේ එකක්වත් නොතිබුණි. එය ඒකාබද්ධය පැත්තෙන් උපතින්ම පරාජය හිමිකරගත් එකකි.

එහෙත් සිරිසේනට එහි ඉලක්කයක් තිබුණි. එකක් බලය ගැනීමය. අනෙක තමන් හා ඒකාබද්ධය අතර තිබෙන වෙනස තවදුරටත් සමාජය තුළ තනුක කිරීමයි. මැතිවරණයට කලින් ද මෙය “එකතු වීමේ විගඩම” හරහා ක්‍රියාවට නැංවිණි. එය කිසියම් දුරකට සාර්ථක ද විය. සිරිසේනට ගමේ ඡන්ද ලබා ගැනීමට එය රුකුලක් විය. මේ කඳවුරු ඇඟට නොදැනීම දියකරන ක්‍රමයයි. ඒකාබද්ධය එහි දී ද පාවිච්චි විය. දැන් මෙහි දී ද පාවිච්චි විය. එහෙත් එහි ඇතැමෙක් මේ සැලසුම් නොදැන සිටියා නොවේ. විස්වාසභංගයේ දී අප බියට පත් කළේ ඒකාබද්ධයේ නියත පරාජය හා සිරිසේන කල්ලියේ ජයග්‍රහණය ඉදිරියේ දී කෙසේ කළමනාකරනය කරගත හැකි ද යන්නයි. මෙයින් ගියා ඇති ය. කණගාටුව නම් ෂැඩෝ කැබිනට් පත් කිරීමේ විහිළුවේ සිට මේ විස්වාසභංගය දක්වා අප තාමත් පාඩම් ඉගෙන ගෙන නැති වීමයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

මහින්ද පතිරණ

Published on: Apr 5, 2018 @ 10:58 – ජනවාරි 8 වැනිදා ජනවරම පාවාදිමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කල බවත්,අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධය ගෙන ආ විස්වාසභංග පසුපස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කුමන්ත්‍රණයක් දියත් කල ආකාරය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(04) පාර්ලිමේන්තුවේ අනාවරණය කළා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විස්වාස භංගයට සහය දුන් මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රිලනිප ඇම්බැට්ටයන් වහාම ආණ්ඩුවෙන් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා අගමැතිවරයාට එජාප මන්ත්‍රීවරුන් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

දයාසිරි ජයසේකර,ලක්ෂමන් යාප අබේවර්ධන,සුසිල් ප්‍රේමජයන්ත,චන්දිම වීරක්කොඩි,සුසන්ත පුංචි නිලමේ,එස්.බි දිසානායක,අනුර ප්‍රියදර්ශන යාපා, WDJ සේනවිරත්න, වහාම ඉවත් කිරිමට කටයුතු කල යුතු බව ඒ හරහා යෝජනා කර තිබේ.

පුංචි ඡන්දයේ මුල් වටයේ ප්‍රතිඵල නිකුත් වූයේ පෙබරවාරි 11 වැනිදාය. මැතිවරණ කොමිෂන් සභාවේ නිල ප්‍රතිඵල නිකුත්වීම තාක්ෂණික දෝෂ නිසා ප්‍රමාද වුවද, එයින් කියවුණේ මහජනයා තමන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරමින් ලබා දුන් ප්‍රතිඵල වූයේය. දැන් එහි දෙවැනි ප්‍රතිඵල නිකුත් කරමින් තිබේ. ඒ පුංචි ආණ්ඩු පිහිටුවීම නැතිනම්, ගමේ බලය පිහිටුවීමයි. මහජනයාගේ පරමාධිපත්‍ය බලය මෙහිදී පා දූවිල්ලක් තරම් වටින්නේ නැත. ඊට පයින් ගසා ඉතාම පිළිකුල්සහගත ලෙස ඩීල් රජ කරමින් තිබීම මේ දෙවැනි ප්‍රතිඵලවලින් කියවෙමින් තිබේ.

මේ ක්‍රියාවලිය ඇරඹී තිබ‍ෙන්නේ අගමැති රනිල්ට එරෙහිව විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට භාර දී එය විවාද කර ඡන්දය විමසීමට දින නියම කර තිබියදීය. මහින්දගේ අනාගතය ගැන කේන්දරය බැලීම සුමනදාසට භාර දී තිබුණත් (දැන් එය ගංගා මෑණියන්ටත්, ඉන්දියාවේ ශාස්තරකරුවන්ටත් භාර දී තිබුණත්), රනිල්ගේ කේන්දරය ගැන අනාවැකි කීමට මහින්දට හැකි වී තිබේ. මහින්ද සීමිත මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර තිබුණේ විශ්වාස භංග යෝජනාව විවාදයට පෙර රනිල් අගමැති ධුරයෙන් ඉවත් වනු ඇති බවයි. පුංචි ආණ්ඩු පිහිටු වීමේ ප්‍රථීඵල දැන් නිකුත් කරමින් තිඛෙන්නේ මෙවැනි පසුබිමකදීය.

පුංචි ආණ්ඩුවල බලය පිහිටුවන පිළිකුල් ආකාරය ඡන්දදායකයන්ට නම්, දරා ගැනීමට නොහැකි බව පැහැදිලි වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව නගර සභාවේ ඡන්දදායකයන්ගෙන් සියයට 40.34ක් වූ ඡන්දදායකයන් 32,045 දෙනෙක් තම මතය එක්සත් ජාතික පක්ෂයට ප්‍රකාශ කර සභික ධුර 19ක් ලබා දී තිබේ. නමුත්, එහි සභාපති ධුරයට පත් වූයේ ඡන්ද ප්‍රතිශතය සියයට 32.90ක් වූ ඡන්ද 26,129ක් ලබා සභික ධුර 16ක් හිමි කර ගන්නා ලද ජී. ඇල්. පීරිස්ගේ පක්ෂයේ දයාන් ලන්සාය. දයාන් ලන්සා යනු මහින්දගේ කුප්‍රකට ජාවාරම්කරුවකු වන නිමල් ලන්සාගේ සහෝදරයායි.

ගාල්ල මහා නගර සභාවේ ඡන්දදායකයන් සියයට 40.17ක් වූ ඡන්ද 22,270ක් ලබාගෙන සභික ධුර 14ක් ලබාදී තිබුණේ එක්සත් ජාතික පක්ෂයටයි. ජී. ඇල්. පීරිස්ගේ පක්ෂයට සියයට 36.25ක් වූ ඡන්ද 20,096ක් ලබා දී සභික ධුර 13ක් හිමි කර දී තිබිණ. නමුත්, නගරාධිපති ලෙස පත් කළේ ජී. ඇල්. පීරිස්ගේ පක්ෂයේ අයෙකි.

අනෙක් පැත්තෙන් මහින්දගේ බලකොටුවක් සේ සැලකෙන තංගල්ල නගර සභාවේ ඡන්ද 2,248ක් සහ සභික ධුර 07ක් ජී. ඇල්. පීරිස්ගේ පක්ෂයට ලබා දී, ඡන්ද 2,136ක් එජාපයට දී එයට ද සභික ධුර 07ක් ලබා දී තිබිණි. මෙහි සභාපති ලෙස තෝරාගෙන ඇත්තේ, එජාපයේ අයෙකි. මේ ආදී වශයෙන් රට පුරා තැනින් තැන ඩීල් දේශපාලනයේ ඡන්ද ප්‍රතිඵල වාර්තා වෙමින් පවතී. ඒ සියල්ල පිළිබඳව කතා කිරීමට අවශ්‍ය නොවේ. සිදු කෙරෙමින් තිබ‍ෙන්නේ කුමක් දැයි හඳුනා ගැනීමට නිදර්ශන කීපය ප්‍රමාණවත් වේ.

තවත් පැතිවලින් කියවෙන්නේ විශ්වාස භංගය සම්බන්ධ ගණන් බැලීම්ය. මහින්ද රාජපක්ෂ පෙර කී ලෙස අනාවැකි පළ කරන අතර, පාර්ලිමේන්තුවේ ධනපති පක්ෂ තුළ ඛෙදීම් සහ නව එකඟතා ගොඩනැගෙමින් තිබේ. විශ්වාස භංගයට ඇතුළත් කර තිබ‍ෙන කරුණු 14 පිළිබඳව බොහෝ දෙනෙකුට මේ සටහන ලියන මොහොත වන විටත් අවබෝධයක් තිබේ. එයින් 11ක් සෘජුවම බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙනි. අනෙක් තුන ඊට අදාළ වක්‍ර සම්බන්ධය පිළිබඳවයි. මේ සියල්ල තිබිය දී මහින්ද රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා සහ බැසිල් සිටින්නේ මීට විරුද්ධව එහෙත්, බහුතරය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ස්ථාවරයක වේ. විශ්වාස භංගයට අත්සන් තබා ඇත්තේද මන්ත්‍රීවරුන් 55ක් වන අතර, මහින්ද ඊට අත්සන් නොකිරීම විශේෂිතය. මහින්ද අත්සන් නොකිරීම නිසාම මෙය එන්නේ අසාධ්‍ය අංශභාග රෝගියකු ලෙසිනි. ඒ කෙසේ වෙතත්, ජවිපෙ කොන්දේසි විරහිතව ඊට සහයෝගය දෙන බව කල් වේලා ඇතිවම ප්‍රකාශ කර අවසන්ය.

මහින්ද පිලේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් හෙළි වන්නේ විශ්වාස භංගයට ප්‍රධාන වශයෙන්ම විරුද්ධ වී ඇත්තේ බැසිල් සහ මහින්ද බවයි. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ, මෙයින් රනිල් පරාජය වුවහොත්, එජාපයට අලූත් නායකයෙකු පත් වන බවට තිඛෙන තර්කය වේ. රනිල් ජය ගත හොත්, පළාත් පාලන ඡන්දයේදී ලැබුණු පරාජය මගහරවා ගත හැකි බවය. මේ දෙකෙන් කුමක් වුවද, එජාපය දිනන බවට රාජපක්ෂවරුන් විසින් තර්ක කර ඇත. මතුපිටින් බැලු විට එය සරල සත්‍යයකි. එහෙත්, ඇත්තටම එය එසේ නොවේ. මහින්දට ඇත්තවශයෙන්ම අවශ්‍ය වී ඇත්තේ, රනිල් අගමැති ධුරයේ තබා ගැනීමටය. රාජපක්ෂවරුන්ගේ් ඉර හඳ නුසුලන සියලු අපරාධ සඟවා ගත හැක්කේ එවිටය. අනෙක් පැත්තෙන් ඔවුන්ගේ බලය පිළිබඳ ප්‍රධාන ඉලක්කය වන ජනාධිපතිවරණයෙන් ‘මාපිලෙකුට’ වුවද රාජපක්ෂ කඳවුරෙන් ජය ගත හැක්කේ එවිටය.

මාපිලාගේ කතාව කියා ඇත්තේ, ගෝඨාය. 26 වැනි දින ඇවන්ට් ගාඩ් කොල්ලය පිළිබඳව තිබ‍ෙන අධිකරණ ක්‍රියාවලියට අතුරු තහනම් නියෝගය ගෙන එළියට එන විට ගෝඨාභය කියා තිබුණේ, මහරගම බයිසිකලයෙන් දිනුවා සේ, තවත් තැනක නාගයා ලකුණෙන් දිනුවා සේ රාජපක්ෂවරුන්ගේ ‘මාපිලෙකු’ හෝ දමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවයි. මෙයද මතකයේ තබාගෙන විශ්වාස භංගයේ ප්‍රතිවිපාක පිළිබඳව රාජපක්ෂවරුන්ගේ ගණන් බැලීම් කුමක් වුවද, කරන්නේ මහජනයාට කොකා පෙන්වීමයි. පුංචි ඡන්දය අවසන් වූ වහාම එජාපයේ පාලිත රංගේ බණ්ඩාර සෘජුවම ප්‍රකාශ කළේ රනිල්ට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බවයි. වසන්ත සේනානායක සඳහන් කළේ හොඳින් හෝ නරකින් රනිල්ව ඉවත් කරන බවයි. එවැනි වූ එජාපයේ රනිල් විරෝධය මහින්දගේ කණ්ඩායමට ගන්නට ඉඩහැරියේ ඇත්තවශයෙන්ම රනිල් විරෝධය වළක්වා ඔහුගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට නොවේද?

දැන් තත්ත්වය කුමක්ද? බුලත් කොළයේ මන්ත්‍රීවරුන් 94 දෙනාගෙන් විශ්වාස භංගයට අත්සන් කර ඇත්තේ, මන්ත්‍රීන් 55ක් පමණි. මහින්ද පිලේ 51ක් සහ මෛත්‍රී පිලේ සිව් දෙනෙක් ඊට අත්සන් කර ඇත. එයට පක්ෂව තව කී දෙනෙක් ඡන්දය දේ ද යන්න අවිනිශ්චිතය. මේ වන විට හෙළි වන තොරතුරු අනුව නම්, බුලත් කොළයෙන් තේරී පත් වී සිටින පිරිසක් මෙහිදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ. නමුත්, පාලිත රංගේ බණ්ඩාර සංඛ්‍යා සහිතව නිශ්චිතව ප්‍රකාශ කර සිටින්නේ එජාපයේ මන්ත්‍රීන් 27ක් යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බවයි. මේ සංඛ්‍යාලේඛන හරහා උත්සාහ කරන්නේ දේශපාලන සූදුවක් කිරීම මිස ඇත්තක් නම් නොවේ. ක්‍රිකට් තරගයක ලකුණු පුවරුව කියන්නා සේ උඩට ඉස්සීමෙන් මහජනතාවගේ ප්‍රශ්න වෙනතක හැරවීමයි.

නමුත්, මේ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් මහින්ද පිලේ ඇත්ත වුවමනාවක් තිබ‍ෙන පිරිසක් සිටිති. ඒ වෙන කවුරුවත් නොව මහින්දලාට ඉහළින් ඩීල් දමා ගැනීමට හැකියාවක් නැති රාජපක්ෂ සනුහරේම වැරදි තමන් පිටින් යාමට පාර කැපීමේ අනතුර එල්ල වී සිටින්නන් වේ. මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන ආදී පිරිසකි. කෙසේ වෙතත්, රංගේ බණ්ඩාර කියන විදියට එජාපයේ 27ක් යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නේ නම්, ඊට ගැලපෙන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් 16 දෙනාගේ සහයෝගය රනිල්ට පක්ෂව ලැඛෙන බව මෙම සටහන තබන මොහොත වන විට ප්‍රකාශ කර ඇත. මුස්ලිම් කොන්ග්‍රසයද යෝජනාවට විරුද්ධ බව කියවේ. මේ අතර වතුකරයේ ජනතාව වෙනුවෙන් මනෝ ගනේෂන්, පී. දිගම්බරන් සහ රාධා ක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් ඇතුළු මුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ සන්ධානයක් ‘ප්‍රගතිශීලී දෙමළ සන්ධානය’ යනුවෙන් එය නම් කර තිබේ. එය දෙකඩ වී මනෝ ගනේෂන් රනිල්ට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබ‍ෙන අතර. මන්ත්‍රීන් දෙදෙනෙක් එයට විරුද්ධ බව ප්‍රකාශ වී තිබේ.

මේ සියල්ල දැනට තිබ‍ෙන තත්ත්වයන් වේ. අවසන් මොහොතේ මේ ඡන්ද කොයි අතේ යාවි දැයි කිව නොහැකිය. සියල්ල අතර දෙමළ ජාතික සන්ධානය මේ වන විට ගෙන තිබ‍ෙන ස්ථාවරය දැඩිව ප්‍රශ්න කළ යුතුව තිබේ. විපක්ෂ නායකත්වය දරමින්, දූෂණ, චෝදනා එල්ල වී සිටින අගමැති රැකීම සම්බන්ධවයි. මෙයින් පැහැදිලි වන්නේ රටේ සුබසිද්ධියට වඩා උතුරේ දේශපාලන බලය ගැන පමණක් ඔවුන් කල්පනා කරන බවයි. ඕනෑම හොරෙක්, අපරාධකාරයෙක් ආරක‍ෂා කර හෝ තමන්ගේ බලය රැක ගැනීමට කල්පනා කරන බවයි. ගෝඨාගේ මාපිලා කතාව එළියට ඇදෙන්නේ මේ සුවිශේෂී පසුබිම තුළය. රනිල්ට ටී.එන්.ඒ. සහයෝගය දීම යනු රාජපක්ෂලාගේ මාපිලුන්ට රජ මඟුල් වීමකි. මේ කවුරුත් කල්පනා කරන්නේ රට හමුවේ බුර බුරා නැගෙමින් තිඛෙන මහා පිපිරීම තුළින් සිදු විය හැකි අනතුර අවම කර ගැනීම ගැන නොවේ. ඒවා නිදහසේ වැඩෙන්නට හැර ඊළඟ ජනාධිපතිවරණයට මාපිලුන් පවා ඉදිරිපත් කිරීම ගැනය. මේ නිසාම ජවිපෙ විධායක ජනාධිපති ධුරයට විරුද්ධ සටන් පාඨය යළි කරළියට ගෙන එන්නේ රනිල්, මෛත්‍රී, මහින්ද කාගේත් ඉලක්ක බරපතළ අවුලකට ලක් කරමිනි. ඇති වෙමින් තිබ‍ෙන බිහිසුණු තත්ත්වය පිළිබඳවද, ජාතිවාදයට එරෙහිවද ජනතාව දැනුම්වත් කරමිනි. විශ්වාස භංගයේදී ඩීල් රජ වීම තුළ ජනතාවට තිබ‍ෙන එකම සහන් එළිය මෙය වී තිබේ.

ඉදිරියේදි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබේ. එහිදී තව තවත් ඉහළට ඩීල් ක්‍රියාත්මක කරනු නො අනුමානය. දැනටම ප්‍රකාශ කෙරී ඇත්තේ, ඒ සඳහා මෛත්‍රී පිල සහ මහින්ද පිල එක්ව තරග කරන බවයි. එය එසේ නොවුවද, කිසිදු ප්‍රශ්නයක් නොවේ. මන්ද, අනෙක් පැත්තෙන් රනිල් – මහින්ද ඩීල් ක්‍රියාත්මක වන නිසාය. රනිල් – මහින්ද ඩීල් අද ඊයේ සිට නොව 2015 ජනවාරි 09 වැනිදායින් පසුව ඉතා හොඳින් ජනතාවට දැක ගත හැකි විය. නමුත්, ඔවුන් ඒ කෙරෙහි සංවේදී නොවීය. මෙය තහවුරු කෙරෙන්නේ 2014 ජනාධිපතිවරණය ප්‍රකාශ කරන විට මහින්දට මන්ත්‍රීවරුන් 162 දෙනෙක් සිටියහ. මෛත්‍රී ඇතුළු 20දෙනෙකු පමණක් අහිමි විය. තවත් 142 දෙනෙක් මහින්දට ඉතිරි වී සිටියහ. බැඳුම්කර මහා කොල්ලය සිදු කරන්නේ 2015 පෙබරවාරි 27 වැනිදා ය. ඇත්තටම රනිල්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනෙන්නේ නම්, එදා මන්ත්‍රීන් 113ක් වූ බහුතරයෙන් ඉතාම පහසුවෙන් සම්මත කර ගත හැකිව තිබිණි. එය නොකිරීමෙන් ඩීල්වල ප්‍රබලතාව කොතරම්ද යන්න හෙළි වේ.

ලංකා මාරසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් තව දුරටත් කරුණු සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) රාත්‍රියේ පැවති සාකච්ඡාව ද අවසන් තීන්දුවකින් තොරව අවසන් වු බව අප දේශපාලන වාර්තාකරු අනවරණය කළා.

විශ්වාස භංග යෝජනාවට ඡන්දය දිය යුත්තේ පක්ෂව ද විපක්ෂව ද යන්නසිදුකරන ලද සාකච්ඡා සහ කුමන්ත්‍රණ හේතුවෙන් මේ වනවිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය 2කර වී ඇති අතර ඊයේ සාකච්ඡාව සදහා ජනපති ආරාධනා කර තිබියදිත් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් 17 දෙනෙකු එම අවස්ථාවට සහභාගි වි නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ගණනාවක් එහිදී පෙන්වා දී ඇත්තේ දේශපාලන සදාචාරයට අනුවත්, ඇමතිවරුන් බැදී සිටින ව්‍යවස්ථානුකුල සම්ප්‍රදායන්,වගකීම සහ කැබිනට් සාමුහිකත්වය ඇතුළු බොහෝ කරණා ද විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන උපාය උපක්‍රම මත ද මේ විශ්වාස භංග යෝජනාවට කිසිසේත් ඡන්දය දිය නොහැකි බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් පහළොවක් පමණ මේ ස්ථාවරය දරද්දී තවත් තවත් පිරිසක් ඊට එරෙහිව ද වාද විවාද කිරීම හේතුවෙන් අවසන් තීන්දුක් ගැනීමකින් තොරව රැස්වීම අවසන් කිරීමට ජනාධිපතිවරයාට සිදු වී තිබේ.

විශ්වාස භංග යෝජනාවට විරුද්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ඊයෙ රාත්‍රීයේ තීරණය කර තිබේ.

කෙසේවෙතත් ශ්‍රිලනිපය මගහරිමින් සිටින මන්ත්‍රීවරුන්17 දෙනා සම්බන්ධයෙන් වහාම අද දිනය තුල සොයා බලා කරුණූ වාර්තා කරන ලෙසත් ඔහුන්ගේ සහය රනිල්ට එරෙහිව ලබා ගැනිම සදහා අවශ්‍ය මෙහෙයුම් දියත් කරන් ලෙසත් මෛත්‍රී ජනපති ශ්‍රිලනිප සිය සමිපයන්ට පවරා තිබේ.

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හවුල් ආණ්ඩුව මොනතරම් අසාර්ථක වූවාද කිවහොත් යහපාලනය යන වචනය පවා අද රටේ බොහෝ දෙනකුට වහ කදුරු වී ඇත. යහපාලන ආණ්ඩුව ලෙස ජනතාව විසින් වත්මන් ආණ්ඩුව හැඳින් වෙන්නේ කිසිසේත්ම එහි නියම අර්ථයෙන් නොව එහි විරුද්ධ අර්ථයෙන් යැයි කිවහොත් බොහෝ දෙනකු මා සමඟ එකඟ වනු ඇත. නමුත් සංකල්පයක් වශයෙන් ‘යහපාලනය’ හෙවත් ඉංග්‍රීසියෙන් කිවහොත් “Good governance” නරක දෙයක් නොවේ. නමුත් වරද නම් ලංකාවේ දේශපාලනයට මේ වචනය හඳුන්වා දුන් අය එය නිවැරැදිව විග්‍රහ නොකිරීමය. සාමාන්‍ය ඡන්දදායකයාට අනුව යහපාලනය යනු හොරු ඇල්ලීමය. ඔවුන්ට ඒ අදහස ඔළුවට දැම්මේ එකල විපක්ෂයයි. යහපාලනයට ඡන්දය දුන්නේ හොරු අල්ලන්නට බවත් තවම ඒ කාර්යය නිමා නැති බවත් හවුල් ආණ්ඩුවේ දේශපාලනඥයන් කියනු අපට තවමත් අසන්නට ලැබේ. මෙය සම්පූර්ණ වැරැදි විග්‍රහයකි.

2015 ජනාධිපතිවරණයේදී යපාලනයට ඡන්දය දුන් ජනතාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය. පළමු කොටස හුදෙක්ම තම දේශපාලන මතය පොදු ආපෙක්ෂකයා වටා රොක් වූ හංස සන්ධානයේ විවිධ පක්ෂවලට ඇති පක්ෂපාතීත්වයන් මත ඡන්දය දුන් අයයි. දෙවන කොටස හුදෙක්ම දේශපාලන වේදිකාවල, සමාජජාලාවල, පාරතොටේ සාකච්ඡා වූ ඕපදූප අනුව පසුගිය ආණ්ඩුව කෙරෙහි ඇතිකර ගත් වෛරයකින් හෝ අප්‍රසාදයකින් පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් අයයි.

යහපාලනය යනු හොරු ඇල්ලීමයයි සිතන්නේ බොහෝ දුරට මේ කණ්ඩායමයි. තුන්වැනි කොටස යහපාලනය යන සංකල්පය තරමක් දුරට හෝ නිවැරැදිව වටහාගෙන පවතින පාලන ක්‍රමයේ සැබෑ ධනාත්මක වෙනසක් බලාගෙන පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් අයයි. මේ කණ්ඩායමට බොහෝ දුරට අයත් වූයේ තමුන්ගේම කියා දේශපාලන මතයක් නැති, පාවෙන ඡන්ද ගොඩට අයිති වෙන, වෘත්තීයමය සුදුසුකමක්, ව්‍යාපාරික හැකියාවක්, උගත්කමක් ඇති පිරිසකි. ඔවුන්ගෙන් බහුතරය මධ්‍යම පාන්තිකයන් හා ඉහළ මධ්‍යම පාන්තිකයන් යැයි කිවහොත් නිවැරැදිය.

මේ කියන තුන්වැනි කොටස බලාපොරොත්තු වූයේ අද යුරෝපයේ බොහෝ රටවල දක්නට ලැබෙන ආකාරයේ දේශපාලනයකි. යහපාලනය යන්න තුළින් ඔවුන් මූලිකවම බලාපොරොත්තු වූ තේමාවන් කිහිපයක් අපට හඳුනාගත හැකිය.

පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය

නිසි ක්‍රමවේදයන්ට අනුව දිවෙන විධිමත් කාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයක්.

නීතිගරුක, විනය ගරුක, සදාචාරාත්මක සමාජයක්.

සැමට අවස්ථා සහ නිසි ගෞරවය හිමි වීම.

මානව සම්පත් හා ආර්ථික සංවර්ධනය.

පරිසර හිතකාමී බව.

නිදහස.

මේ කිසිදු අපේක්ෂාවක අපට වරදක් දැකිය හැකිද? නැත.

එසේ නම් වැරදුණේ කොතැනද?

වරද ඇත්තේ යහපාලනය යන සංකල්පයේ නොව යහපාලනය රටට ගෙන ඒමට තෝරාගත් කණ්ඩායමේය.

2015 ජනවාරි වෙනසත් සමඟ බලයට පැමිණි 2015 අගෝස්තු මැතිවරණයෙන් තවදුරටත් ස්ථාවර වූ රනිල් වික්‍රමසිංහ-මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවට ඉහත කී එක කරුණක් වත් වැදගත් වූ බවක් නොපෙනේ.

ඔවුන්ට අවශ්‍ය වූයේ කුමන උපක්‍රමයකින් හෝ බලය ලබාගැනීමත් ඉන්පසු කවර හෝ උපක්‍රමයකින් බලයේ රැඳී සිටීමත් පමණි. යහපාලනය යනු ඔවුන් මැතිවරණ සමයේ ජනතාවගේ ඇස් වැසීමට යොදාගත් කඩතුරාවක් පමණක් විය.

පසුගිය වසර 3 පුරා ජනතාව අත්විඳි පාලන ක්‍රමය ගොඩනැඟීමට දායක වූ ප්‍රධාන බලවේගය වූයේ අගමැතිවරයාය. ජනාධිපතිවරයා කළේ විටින් විට මාධ්‍ය හරහා වීරයාගේ චරිතය රඟපෑම පමණි. ජනාධිපතිවරයාගේ තීරණ ක්‍රියාත්මක නොකිරීම ප්‍රමාද කිරීම හරහා ආණ්ඩුව ජනාධිපතිවරයාට අපහාස කළ අවස්ථා කිහිපයක්ම ජනතාවට මතකය. ඒ අනුව මෑතක් වනතුරු අගමැතිවරයා ප්‍රමුඛ කල්ලියක් විසින් පියවරෙන් පියවර රටට කරමින් සිටි විනාශය නැවැත්වීමට ජනාධිපතිවරයාගෙන් වූ දායකත්වය වචනවලට සීමා වී තිබිණි. රජයේ නිසි බලධරයා අගමැතිම විය.

අද දුම්මල ගසා වත් අගමැතිවරයා එළවාගත නොහැකි තත්ත්වයක් රටට උදාවී ඇත්තේ ජනතාවගෙන් බහුතරය එදා දැන හෝ නොදැන ගත් ඒ වැරැදි තීන්දුව නිසාය.

වාසනාවකට මෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු තමන් විසින් දිගින් දිගටම අගමැතිවරයා ආරක්ෂා කිරීමේ අනර්ථකාරී ප්‍රතිඵල ජනාධිපතිවරයාට වැටහෙන්නට පටන්ගෙන ඇති බවක් පෙනී යයි. වත්මන් ආණ්ඩුව පවතින ආකාරයෙන්ම තව වසර දෙකක් පවත්වාගෙන ගියහොත් 2020 වන විට අනිවාර්යයෙන්ම ආණ්ඩු වෙනසක් ජනතාව විසින් සිදුකරන බව පළපුරුදු දේශපාලනඥයකු වන ජනාධිපති සිරිසේන මහතාට වැටහීම පුදුමයක් නොවේ. බලය සඳහා එකට සිටියත් හදවතින් දේශීයත්වය අගය කරන ජනාධිපතිවරයා අගමැතිවරයාගේ පරගැති මානසිකත්වයට අකැමැති බව නිසැකය. තමා තවදුරටත් අගමැතිවරයාට අවශ්‍ය ආකාරයට හැසිරීමට සූදානම් නැති බව අඟවන පණිවුඩ කිහිපයක්ම පසුගිය දිනවල ජනාධිපතිවරයා විසින් ගත් යම් තීරණවල ගැබ්ව තිබේ. අප්‍රේල් 4 වැනිදාට නියම වී ඇති අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී ජනාධිපතිවරයාගේ කණ්ඩායම හැසිරෙන ආකාරය අනුව විශ්වාසභංගයේ ප්‍රතිඵලය කුමක් වුවත් රට තුළ තමා සම්බන්ධව ගොඩනැඟෙමින් තිබූ අප්‍රසාදය තරමක් දුරට හෝ සමනය කර ගැනීමටත් ඒ අනුව ඉදිරියේ වෙනස් දේශපාලන ගමනකට අඩිතාලම දමා ගැනීමටත් ජනාධිපතිවරයාට මහඟු අවස්ථාවක් උදාවී ඇත.

2020 වසර මැද වනවිට මීළඟ ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් දෙකම අවසන් වී තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇත. 2019 වසරේ දෙසැම්බර් 9දාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුමය. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරන සාධක රැසක් ඇති අතර පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියෙන් වෙනසක් නොවුවහොත් ව්‍යවස්ථානුකූලව 2020 මාර්තු මසට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමක් බලාපොරොත්තු විය නොහැකිය.

දේශපාලන කරළියේ කුමක් වුවත් රට ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය කුමන ආකාරයක නායකත්වයක්ද, කුමන ආකාර පාලන තන්ත්‍රයක්ද යන්න පිළිබඳව බුද්ධිමත් සංවාදයක දැඩි අවශ්‍යතාවක් අදට පැන නැඟී ඇත. මහින්ද රාජපක්ෂ රෙජිමය ඉවත්කොට පත්කරගත් රනිල් වික්‍රමසිංහ කල්ලිය අසාර්ථක වූ පමණින් ජනතාව යළිත් 2014ට පෙර බලයේ සිටි කණ්ඩායම එම ආකාරයෙන්ම පිළිගැනීමට සූදානම්ද? එසේත් නැත්නම් රනිල්, මෛත්‍රි හවුල් ආණ්ඩුව විසින් පොරොන්දු වූ නමුත් ඉටු නොකළ යහපාලන රාජ්‍ය තන්ත්‍රය සැබැවින්ම රටට උදා කළ හැකි අලුත් නායකත්වයක් සොයාගන්නවාද යන ගැටලුව ඉදිරියේදී මතුවනු නොඅනුමානය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ 30 අවුරුදු යුද්ධයක් අවසන් කළ, ඇසට පෙනුණා පමණක් නොව සියලු සමාජ ආර්ථික දර්ශකවලින්ද තහවුරු වූ පැහැදිලි සංවර්ධනයක් මේ රටේ ඇති කළ බවට විවාදයක් නැත. එහෙත් මෙම ලිපියේ මුලින් සඳහන් කළ යහපාලන මූලධර්ම දෘෂ්ටි කෝණයෙන් බැලූ කල පසුගිය ආණ්ඩුවේ අඩුපාඩු තිබුණු බවද අප පිළිගත යුතුය. එසේ නොවන්නට ජනතාවගෙන් බහුතරයක් 2015දී පසුගිය පාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කරන්නට හේතුවක් නොතිබිණි. එසේ නම් රටට ඉදිරියේදී අවශ්‍ය වන්නේ මෙතෙක් පැවැති සෑම ආණ්ඩුවකම හොඳ නරක තර්කානුකූලව විමසා බලා රටට වඩාත් ගැළපෙන පාලන ක්‍රමයක් හඳුන්වාදිය හැකි නායකත්වයකි. ඒ නායකත්වය රටේ ප්‍රධාන පක්ෂ ඕනෑම එකක හෝ කිහිපයක සහායෙන් බිහිවීමේ අවස්ථාව ඇත.

නමුත් එය පවතින දේශපාලන පක්ෂ කෙතරම් දුරට ස්වයං විවේචනයට සූදානම්ද යන්න මත බෝහෝ දුරට ර¼දා පවතිනු ඇත. එසේ නොකර සැබෑ ධනාත්මක වෙනසක් මේ රටේ පාලන තන්ත්‍රය තුළ සිදු කිරීම අපහසුය. කවුරු බලයට ආවත් පමණ ඉක්මවා ගිය පවුල් පාලනය, දූෂණය, ඒකාධිපතිත්වය යනාදිය ජනතාව දීර්ඝ කාලීනව නොඉවසන බව පැහැදිලිය. සැබෑ යහපාලන මූලධර්මවලට ඇති කැමැත්ත සමාජය තුළ ඉදිරියටත් ඒ ලෙසින්ම පවතිනු ඇත්තේ ඒ නිසාය.

අනාගතයේ බිහිවන පාලන තන්ත්‍රයක් තුළ මුලින් කී යහපාලන මූලධර්මවලට අමතරව ජාතික අභිමානය, දේශීය සංස්කෘතීන්ට ගරු කිරීම, දේශීයත්වයට ප්‍රමුඛතාව වැනි ගුණාංගද සම්මිශ්‍රණය වූවා නම් එය රටට වඩාත් ගැළපෙනු ඇත.

ඉදිරියේදී එළැඹෙන මැතිවරණවලදී ද වෙනදා මෙන් තමුන් ඉදිරියේ ඇති අවස්ථාවලින් එකක් තෝරාගන්නට ජනතාවට සිදුවන නිසා කුමන හෝ ආණ්ඩුවක් බලයට පත්වනු ඇත. නමුත් මැතිවරණයක් එනතුරු බලා නොසිට රටට අවශ්‍ය කුමක්දැයි යන සංවාදය දැන් සිටම ආරම්භ විය යුතුය. ඒ සඳහා මේ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, සාහිත්‍යධරයන්, දේශපාලනඥයන් යන සියලු දෙනාටම වගකීමක් ඇත. ඇමෙරිකාවේ සුප්‍රකට ජනාධිපතිවරයකු වූ ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් මෙසේ කියා ඇත. “දේශපාලනයේ අහඹු සිදුවීම් නැත. සියල්ල සිදුවන්නේ කාගේ හෝ සැලසුමකට අනුවයි.”

ධනාත්මක වෙනසක් රටට අවශ්‍යයයි සිතන්නන් නිවෙසට වී ප්‍රවෘත්ති බැලීමෙන් රට වෙනස් නොවනු ඇත.

ආචාර්ය නාලක ගොඩහේවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු කොළඹ ජනාධිපති මන්දිරයේදී විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක නිරත වි ඇති අතර එහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවද, එම විශ්වාස භංගය පදනම් කර ගෙන රටේ දේශපාලන ක්ෂේත්‍රයේ උද්ගත වි ඇති තත්ත්වය සහ විරුද්ධවාදී දේශපාලන බලවේග පරාජයට පත් කරමින් මේ අවස්ථාවේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේන බව ජනාධිපති මන්දිරයේ විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව මේ වනවිට රනිල්ට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තමන්ට දැන් කිසිදු දෙයක් කරන්නට නොහැකි බවත් එම හේතුවෙන් හෙට දිනයට පෙර අගමැතිධුරයෙන් ඉවත් වන් ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දි ඇති බවයි ජනාධිපති මන්දිරයේ විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියේ.

මේ හමුවෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවීමට නියමිතව සිටින අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළබඳව එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

ජනපති ශක්තිමත් වැඩ පිළිවෙළක් ඉල්ලුවා -එජාප මන්ත්‍රී

යහ පාලන ජාතික ආණ්ඩුව 2020 දක්වා එකට එක්ව ඉදිරියටම ගෙන යා හැකි ශක්තිමත් වැඩ පිළිවෙළක් ඉක්මනින්ම ඉදිරිපත් කරන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට ඊයේ (02) රාත්‍රියේ දැනුම් දී තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සමග කොළඹ ජනාධිපති නිල නිවසේ දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී වන අතර මේ සියලු ප්‍රශ්නවලට හේතුව මහ බැංකු බැඳුම්කර සිද්ධිය බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී චෝදනා කර තිබේ.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා හමුවේ පෙන්වා දී තිබෙන්නේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමක් මගින් කරුණු විමර්ශනය කර ඊට අදාළව නීතිමය පියවර ගැනීම සඳහා ඒ ඒ ආයතනවලට වගකීම් පවරා ඇති බැවින් විශ්වාස භංග යෝජනාවත් සමග ඒ ක්‍රියාදාමය පටලවා නොගත යුතු බවය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම විනාශ කර දැමු රනිල්ගේ ගජමිතුරු කල්ලිය වෙනුවට නීලකාස හොරුන්ගෙන් යුත් තවත් රනිල්ගේ ගජමිතුරු කල්ලියක් අද ශ්‍රීලංකන් ගුවන් සමාගමට අධ්‍යක්ෂ මණ්ඩලයක් ලෙස පත්කිරිමට කටයුතු කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිරගේ උවමනාව මත මෙම නව් අධ්‍යක්ෂක මණ්ඩලය පත්කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ මග යන්න පන නැති එන්.ඩී.බී. බැංකුවේ හිටපු සභාපතිවරයකු වන රංජිත් ප්‍රනාන්දු වේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව්දෙනෙකු පත් කර තිබේන අතර   අප අවස්ථා ගණනවක අනාවරණය කල රටේ ජනතාවගේ මුදල් කාබසිනියා කල නීලකාස හොරුකු මෙන්ම LTTE සමිප හිතවාදියෙකු වන මනෝ තිත්තවැල්ලද එක්කර තිබේ.

හිටපු ජනපති චන්ද්‍රකා බණ්ඩාරණායක කුමාරතුංගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් ප්‍රසිද්ධ වොටර්ස් එජ් ගණුදෙනුවේ සහ චැනල් 9 සිදුවීමේ කුප්‍රකට වංචාකාරයෙකු වු මනෝ පසුව චන්ද්‍රිකා සමයේ සිටිම LTTE ය සමග සමීප සබඳතාවයන් පැවැත්වු අයෙකු වන අතර LTTE සංවිධානයට මුල්‍ය ආධාර සැපයිම් පසුපස සිටි අයෙකි.

මිට අමතරව චන්ද්‍රිකා සමයේ රාජ්‍ය ආයතන විකුණා දැමීමට ‘පර්ක්’ නැමති ආයතනය පිහිටුවිම පසුපස මනෝ තිත්තවැල්ල සිටි අතර ඒ හරහ විකුණා දැමු රාජ්‍ය ආයතන හරහා තමන්ගේ මල්ල පුරවා ගත් ආකාරය මේ රටේ ජනතාවට අමතක නැත.

මැතකදි ලංකාවේ අහිංසක ජනතාව විසින් අදාල ආයතනවල තැම්පත් කළ මුදල් එහි ප්‍රධානින් විසින් වෙනත් විදේශීය බැංකුවල තැම්පත් කිරීම හේතුවෙන් ETI ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුන අතර ඒ පසුපස රටේ අද ප්‍රශ්ණ වලින් බහුතරයකට මුලික හේතුවක් වු රටේ පවුකරයෙක් වන ඊ.ඒ.පි හෝල්ඩ්ංග්ස් සභාපති මනෝ තිත්තවැල්ල සිටින බව නොරහසකී.

මේ වනවිට EAP සමූහ ව්‍යාපාරය දැවැන්ත් බදු වංචාවක්ද සිදුකරමින් LTTE හිතවාදි බ්‍රිතාන්‍ය සමාගමක් වන ලයිකා මොබයිල්’ හිමිකරුට අමෙරිකානු ඩොලර් මිලියන 60 කට විකිණීමේ කුප්‍රකට වංචාව පසුපසද මනෝ තිත්තවැල්ල සිටින අතර යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාද ගොනාට අන්දවමින් මනෝ ඒ හරහා දැවැන්ත මුල්‍ය වංචාවක් කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

අලිරාජා සුබාස්කරන් මහතාගේ ලයිකා මොබයිල් සමාගම මේ වනවිට ප්‍රංශයේ මුදල් විශුද්ධිකරණයෙන් අපරාධ කිරීම යටතේ විමර්ශනයකට ලක් ව ඇති අතර බදු වංචා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ විමර්ශනයට ලක් ව තිබේ.

මේ අතර මංගලගේ සුරතලේකු වන සිල්ලර වෙළදාමේ යෙදෙන සුසන්ත කටුගම්පල නැමති අයෙකුද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් සම්පූර්ණ අනාවරණයක් බලාපොරොත්තු වන්න.

වජිර අබේවර්ධන විශ්වාසභංග යෝජනාව ගැන මොකක් ද කියන්න උත්සාහ කරනවා. විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට විරුද්ධව බව එහි එක් වාක්‍යයකින් කියැවෙනවා. ඒ වාක්‍යය නැතිව අගමැති අයින් කරන්න බැහැ. ඒ අතර ජනාධිපති අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා කියලත් වජිර අබේවර්ධන මතක් කරනවා. විශ්වාසභංගය දිනුවෙත් රට අරාජික වන බවක් පෙන්නුම් කරන්න ඔහු උත්සාහ කරනවත් ද? නැහැ එහෙම වෙන්නෙ නැහැ. ජනාධිපති අයින් වෙන්නෙ නැහැ. ඔහුට වෙනත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් දහනවවැනි ව්‍යවස්ථාවෙන් (48 (2)) කියැවෙන්නේ මෙයයි. මුහුණු පොතේ පඬියන්, ඊනියා ජනමාධ්‍යවේදීන් මේවා කියවන්නේ නැහැ. ඔවුන් තමන්ට හිතන හිතන දේ පමණක් කියවනවා. වජිර අබේවර්ධන 48(2) කියෙව්වා ද යන්නත් ප්‍රශ්නයක්.

“48(2) පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්‍ෂෙප කළහොත් එවිට ද ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිට ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය. එසේ වූ විට 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් මිස, ජනාධිපතිවරයා විසින් 42 වන, 43 වන, 44 වන සහ 45 වන ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයෙක් ද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් ද, නියෝජ්‍ය අමාත්‍යවරයන් ද පත් කළ යුත්තේ ය.”

විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් ඉතා පැහැදිලි ව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. වජිර අබේවර්ධන අපැහැදිලි ප්‍රකාශ නොකළ යුතුයි. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා.පත් කෙරෙන නව අගමැති කවුරුන් විය යුතු ද? අද රනිල් ඉවත් කළ යුතු ය කීවත් එසේ කළ යුත්තේ ඇයි ද යන්න ගැන විවිධ කරුණු කියැවෙනවා. මා නම් රනිල් ඉවත් කරන්න යැයි මුල සිට ම කිව්වේ ඔහු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ හිඳ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව කටයුතු කරනන බැවින්. නව ව්‍යවස්ථාව, එට්කා ආදී සියල්ල එයින් අපෝහනය කර ගන්න පුළුවන්. එහෙත් මා කියන්නේ නැහැ ඔහු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මුළුමනින් ම වැළඳ ගෙන කියා. ඔහු තබා ලංකාවේ කිසිවකුත් ඒ චින්තනය මුළුමනින් ම වැළඳ ගෙන නැහැ. වැළැඳ ගැනීම යන්නට වඩා ඒ චින්තනයට අවශෝෂණය වී ඇත යන්න සුදුසුයි.

රනිල් ඉවත් කළ යුතුව තිබුණේ 43(3) අනුව්‍යවස්ථාව යටතේ. එහෙත් මෛත්‍රිපාලට ඒ සඳහා ශක්තියක් නැහැ. ශක්තිය යනු ඡන්ද බලය නොවෙයි. මෛත්‍රිපාල දුර්වලයෙක්. මහින්ද ඔහුට ශක්තිය ලබා දිය යුතු ය කියා මා කීවේ එබැවිනුයි. එය පෙබරවාර් මැතිවරණයකට බොහෝ කලකට පෙර කියූවක්. එහෙත් මහින්දවත් ඒකාබද්ධ විපක්‍ෂයවත් එය ගණන් ගත්තේ නැහැ. රනිල් මෛත්‍රිපාල විරසකය ඇතිවෙලාත් හුඟක් කල්. පෙබරවාරි මැතිවරණය වන විටත් ඒ විරසකය වර්ධනය වෙලා. එහෙත් පඬියන් රඟපෑම්, කුමන්ත්‍රණ ආදි හේතු මගින් විරසකය විස්තර කරන්න උත්සාහ කළා. විරසකය පෙබරවාරි මැතිවරණයේ ප්‍රතිඵලයක් නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂය ඒ විරසකය තීව්‍ර කිරීමට කිසිවක් කෙළේ නැහැ.

විශ්වාසභංග අදහස ආවේ එ ජා පක්‍ෂයෙන්මයි. ඔවුන්ට අවශ්‍ය වූයේ රනිල් එ ජා ප නායකත්වයෙන් අස්කිරීමට. රංගෙ බණ්ඩාර එහි මූලිකත්වය ගත්තා. එ ජා ප ව්‍යවස්ථාව අනුව රනිල් එහි නායකත්වයෙන් අස් කිරීම පහසු නැහැ. ඒ නිසා රංගෙ බණ්ඩාර වැනි අයට පළමුව රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න අවශ්‍ය වෙන්න ඇති. විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ට ආකර්ෂණීය වුණා. පසුව එය වර්ධනය වුණා. ඔවුන් හා එස් බී දිසානායක, දයාසිරි ජයසේකර ආදීන් එය ඉදිරියට ගෙන ගියා. එහෙත් අද වන විට එහි තවත් පැත්තක් මතුවෙලා තියෙනවා.

රාජපක්‍ෂලාට විරුද්ධව නීතිමය පියවර නොගත් බවට රනිල්ට එරෙහි ව චෝදනාවක් තියෙනවා. රාජිත හා චම්පක එය තවත් වර්ධනය කරනවා. සරත් ෆොන්සේකාත් එයට යම් සහායක් දක්වනවා. ඔවුන්ට අවශ්‍ය රනිල් විරෝධය හා රාජපක්‍ෂ විරෝධය සමපාත කරන්න. එහි දී රනිල් ඉවත් කර රාජපක්‍ෂ විරෝධියකු අගමැති කිරීමට ඔවුන්ට අවශ්‍යයයි. මා ඊයේ ලිපියෙන් ඒ ගැන යමක් කිව්වා. අප මේ කාරණය බැරෑරුම් ව සැලකිය යුතුයි. අද ජාතික බලවේග ප්‍රධාන වශයෙන් ම ඒකරාශි වන්නේ මහින්ද හා ගෝඨාභය වටා. ඔවුන්ට දඬුවම් කිරීමට අද විජාතික බලවේගවලට අවශ්‍යයයි. උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමත් මෙහි එක් අංගයක්. එය ජාත්‍යන්තර මැදිහත්වීමක් වීමට ඉඩ තියෙනවා. අද ජාතික බලවේගවලට මහින්ද හා ගෝඨාභය අවශ්‍යයයි. රාජිතලාට චම්පකලාට සරත් ෆොන්සේකලාට අවශ්‍ය වන්නේ රාජපක්‍ෂලාට දඬුවම් කිරීමට.

රාජිත හෝ ඔහුගේ ආශිර්වාදය ලබන අයකු හෝ අගමැති වීම වැළැක්විය හැක්කේ ඒකාබද්ධ විපක්‍ෂයටයි. රනිල් ඉවත් කිරීමෙන් පසු අගමැති විය යුත්තේ මහින්ද කියා මා කියන්නේ අවුරුදු තුනක සිට. ඒ බව මා කලින් ලිපියකත් පැහැදිලි කර ඇති. මහින්ද නැත්නම් ඒකාබද්ධ විපක්‍ෂයේ වෙනත් අයකු එසේත් නැත්නම් මෛත්‍රිපාල කණ්ඩායමේ අයකු ආදී වශයෙන් මා එය අනුපිළිවෙළින් දක්වා ඇති. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා මඩ ගා ගන්නේ නැතිව 2019ට සූදානම් වන නිසා ඔවුන් කිසිවකු අඩු තරමෙන් ඇමතිකමක් ගැනීමෙන් වළකා තිබෙනවා. එවිට අපට පටන් ගන්න වෙන්නේ මෛත්‍රිපාල කණ්ඩායමේ අයකුගෙන්. ඒකාබද්ධ විපක්‍ෂය ඒ තැනැත්තා වෙනුවෙන් යමක් කෙළේ නැත්නම් එ ජා පෙරමුණේ අයකු පත් කරන්න සිදුවේවි. එය මහින්ද විරෝධී රාජිත වැන්නකුට ගියහොත් එය රාජපක්‍ෂලාට අහිතකර වේවි. එහෙත් ඒ නිසා රනිල් තබා ගත යුතු යැයි නිගමනය වන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය රාජිත වැන්නකු අගමැති වීම වැළැක්වීමට හැකි සෑම දෙයක් ම කළ යුතුයි.

~~කාළය ~~

Published on: Mar 31, 2018 @ 13:05- හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් සහ ව්‍යාජ අන්දමින් ආණ්ඩුවේ ප්‍රබලයෙකු හොටල් ව්‍යාපෘතියක් සදහා පවරා ගැනිමට කටයුතු කරමින් සිටින මැර කල්ලිය එම ස්ථානය නිරික්ෂණය කිරිමට ගිය උඩරට අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති මහා නාහිමියන් ඇතුලු හිමිවරුන්ට පොලිසියෙන් බාධා එල්ල වුනා.

මෙහි ඇති ගුජුප්සාජනක සිද්ධිය නම් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැන මහා දවාලේ එම ගොඩනැගිලි සියල්ලම මැරයන් විනාශ කරමින් සිටියදි 119 පොලිස් හදිසි ඇමතුම් එකකයට ඇමතුම් ලබා දුන් අවස්ථාවේ එය වැලැක්වීමට පැමිණිමට නොහැකිව කොන්ද කැඩුනු පොලිස් සුනඛයන් ලෙස හැසිරුනු පොල්සිය නිරික්ෂණයට පැමිණී හිමිවරුන්ට පොලිසිය තමන්ගේ කොන්දේ හයිය පෙන්විමයි.

Published on: Mar 30, 2018 @ 22:41- ජාතිවාදය දඩමිමා කරගනිමින් පසුගියදා සමාජ ජාලා ලංකාවේ අවහිර කල යහපාලන ආණ්ඩුව ආණ්ඩුවට බලපෑම් ඇතිකිරිමට සමත් සමාජ ජාලා ක්‍රියාකරුවන් සහ වෙබ් මාධ්‍යවේදීන් නීතියට මුවාවී මර්දණය කිරිමට අවශ්‍ය හදිසී නීති ඇතුලත් පනත් සම්මත කර ගැනිමේ සුදානමක් පවතින බව වාර්තා වේ.

ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම සාපරාධී ගනයේ ලා සලකන අණපනත් දස අවුරුද්දකටත් වැඩි කලක් තිස්සේ රටේ තිබියදී එම වැරදිම අපරාධ වශයෙන් සලකා කටයුතු කිරීමට අලුතින් නීති සම්පාදනය කිරීමට රජය සුදානම් වන්නේ ඒ හරහා ජනාධිපතිවරණයකදි හෝ වෙනත් තීරණාත්මක අවස්ථාවකදි සමාජ ජාලා ක්‍රියාකරුවන් සහ වෙබ් මාධ්‍යවේදීන් නීතියට මුවාවි මර්දණය කිරිමට සුදානම් වෙමින් සිටි.

මෙ වනවිට එහි පලමු පියවර තබමින් නව නීති සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරිය කළ යෝජනාවකට රජයේ අනුමැතිය ලැබී තිබේ.

“ඒ අනුව, එක් එක් තැනැත්තාගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන සහ මහජනතා අතර ආගමික, වාර්ගික හෝ ප්‍රජා අසමගිය ඇති කිරීමට කරන උත්සාහයන් අපරාධ වශයෙන් සලකා කටයුතු කිරීමට හැකි වන පරිදි නීති සකස් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී,”

මානව අභිමානය සහ සමාජ සමගිය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යනුවෙන් එය හැඳින්වීමට නියමිත අතර

ඒ අනුව “මානව අභිමානය හා සමාජ සමඟියට හානි වන අයුරින් මහජනයා අතර සමාජ නොසන්සුන්තාව සහ ආගමික හා ප්‍රජා අසමගිය ඇති කිරීම පිණිස වර්ධනය වන රහසිගත උත්සාහයන් මෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා කරන හිංසනය, පළිගැනීම, බියගැන්වීම සහ තර්ජනය කිරීම වැනි ව්‍යසනයන් මැඬපැවැත්වීම සඳහා පියවර ගැනීම වර්තමානයේදී අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇති” බවයි. එම පනත් කෙටුම්පත හරහා පෙන්වා දි ඇත්තේ.

අදාල පනත හරහා යම් පුද්ගලයකු විසින් කරන පැමිණිල්ලකට අනුව වෙබ් සහ සමාජ ජාලා වහාම අක්‍රිය කිරිමටත් එය පවත්වාගෙන යන්නන් හදුනා ගැනිමට හැකිනම් ඔහුන් අත්තඩංගුවට ගැනිමට හැකියාව ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

 Published on: Mar 30, 2018 @ 14:23- ලිපිය ආරම්භයේදීම 2015 අගෝස්තු මස 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයත් (ඇමිණුම – 1) සහ 2018 පෙබරවාරි 10 දින පවත්වන ලද පළාත් පාලන ආයතන ප්‍රතිඵලයත් (ඇමිණුම – 2) දක්වන ලද්දේ  එකී ප්‍රතිඵල අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය පිළිබද කතිකාවත ආරම්භ කිරීම පහසු වන හෙයිනි.

ඒ සමගම පහත කාරණා කෙරෙහිද අවධානය යොමු කිරීම සුදුසුය.

2015 අගෝස්තු 17 දැන පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත සදුදා දිනට පෙර රජයේ වැඩ කරන දිනය වූ සිකුරාදා දින එක්සත් ජනතා නිදහස් සන්ධයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන් ධූරයෙන් ඉවත් කිරීමට කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීම.

 

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාවේ දැක්වෙන ජාතික ආණ්ඩුව සම්බන්ධ අර්ථනිරූපණය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොව කථානායකවරයා වෙතින් ලබා ගැනීම.

 

  1. දෝෂාභියෝගයක් මාර්ගයෙන් නොව අනීතික මාර්ගයෙන් අගවිනිරුවරයා පැය 24ක් තුළ ඉවත් කිරීම.

 

  1. දින 100 පොරොන්දු මල්ල මිරිගුවක් කිරීම.

 

  1. මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධ ක්‍රියාදාමය සහ ප්‍රධාන මොළකරු රටෙන් පිටකිරීම.

ඉහත කාරණා සමග මේ ලිපියට අදාල මාතෘකාව වන “රනිල් ට එරෙහි විශ්වාසභංගය සිංහලයන් අතර සිටින ජාත්‍යන්තර ඔත්තුකරුවන් විසින් පොහොට්ටුවට ඇටවූ කොඩිවිනයක් ද? ” යන්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය ඉහත ඇමිණුම – 1 හි දක්වා ඇත. එය එසේ වුවත් වර්තමාන මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සිටින සියලුම පක්ෂවල ලේකම්වරු විසින් සහාය දක්වනු ලබයි.(එය ජාතික ආණ්ඩුවකි) නාමිකව යහපාලන සංහිදියා ආණ්ඩුවට එරෙහිවන බව පැවසුවද තීරණාත්මක අවස්ථාවලදී න්‍යායාත්මකව සහ නීත්‍යානුකූලව එකී ආණ්ඩුව ආණ්ඩුව ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආදී පක්ෂවල නායකත්වය කටයුතු කරයි. මන්ද මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුව ආරක්ෂා කර නොගතහොත් සිදුවන එකම දේ වන්නේ ජනතාවගේ කැමැත්තට පටහැනිව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව නම් ව්‍යුහය බිදවැටී ආණ්ඩුවම කඩා වැටීමට ලක්වී එකී දේශපාලන යාන්ත්‍රණයම අර්බුදයට යාමත් 2015 ලබූ ජනාධිපතිවරණ ජය පවත්වාගෙන යා නොහැකි වීමයි.

2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේ දී පෙරකී දේශපාලන පක්ෂ සියල්ලම එක්ව පොදු අපේක්ෂකයෙක් හංසයා ලකුණෙන් තරග කරවීමේ දේශපාලන උපක්‍රමය හේතුවෙන් වර්තමානයේ පවතින මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුව නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් වෙනත් දේශපාලන යාන්ත්‍රණයක් බලවත් වීම නීතිමය ලෙස මැඩපැවැත්විය හැකි බවත් ඔවුහු මනාව දනිති.

එකී දේශපාලන පක්ෂ බෙදී වෙනවී යන සෑම අවස්ථාවකදීම ප්‍රතිවාදීන් ජයගන්නා බවත් 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය එය සනාථ කළ බවත් දේශපාලනයේ මුලකුරු කියවන අයෙකුටත් වටහා ගැනීම අසීරු නොවේ.

මෙහිදී 1988 පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලය අධ්‍යයනය කිරීමද වැදගත් වෙයි.

01 එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.%

02 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 2289860 එනම් 44.95%

03 ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔස්වින් අබේගුණසේකර මහතා ඡන්ද 235719 එනම් 4.63ක් ලබා ගන්නා ලදී.

1988 ජනාධිපතිවරණයේදී 2වැනි මනාපය ගැනීමට සිදුවනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය තබා තිබුණද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43% ලබා ගෙන තිබූ හෙයින් එය අවශ්‍ය නොවූයේ සියයට දශම 43ක් වැඩි වීමෙනි.

හංසයා අපේක්ෂකයා 2020 දී දිනවීමේ මෙහෙයුම සහ රනිල් ට එරෙහි විශ්වාස භංගය…

වර්ෂ 2009 මැයි මස 19 වැනි දින බෙදුම්වාදී සන්නද්ධ අරගලය නන්දිකඩාල් කළපුවේදී යුධමය වශයෙන් අවසන් කිරීමත් සමග 2010 පැවති ජනාධිපතිවරණයේ සිට හංසයා ලකුණ යටතේ පොදු අපේක්ෂක භූමිකාවක් ඉදිරිපත් වන්නට විය. ජනාධිපතිවරණය පමණක් ඉලක්කකර ගනිමින් හංසයා පක්ෂය ගොඩනැගුණ බව පෙනෙන්නට තිබුණ අතර 2010 සහ 2015 ජනාධිපතිවරණ සදහා හංසයා ලකුණින් පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කරනු ලැබීය. 2010 ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයාට ජයගත නොහැකි වුවත්, 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

එකී 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජනාධිපති වීමත් සමගම එකී හංසයා සන්ධානයේ අරමුණු සහ ඉලක්ක නීතිමය සහ ජනතාමය වශයෙන් බලවත් කිරීමට එකී පොදු අපේක්ෂකයා කටයුතු කළේය. එයට නිවැරදිම නිදසුන වන්නේ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ආසන්න දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමකින් වෙනස් කර ගැනීමට අවශ්‍ය නෛතික බලය අතැතිව මැතිවරණයෙන් පරාජයට පත් වූ මැතිවරණ අපේක්ෂකයින් රොත්තන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු කර ගැනීමය. එමෙන්ම එවකටත් පැවති නීතියට අනුව පාර්ලිමේන්තු සභාවේ ද අනුමැතිය යටතේ ධූරය දරමින් සිටි අගවිනිසුරුවරයා විධායක ජනාධිපතිවරයාගේ එක් පෑන් පහරකින් නිවසට විසිකර දැමුවේ ය.

ඉන් නොනැවතුන ජයග්‍රාහී හංසයා පොදු අපේක්ෂකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුව අර්ථ දක්වා ඇති 46 ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොව කථානායකවරයා මගින් අර්ථනිරූපණය කරගනිමින් ඊනියා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගෙන අති විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගත්තේ ය.

එවන් වාතාවරණයක් යටතේ පැවති 2018 පළාත් පාලන මැතිවරණයේදී අති බහුතර ජනතාවක් එනම් 44.65% ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එනම් පොහොට්ටුවට ඡන්දය ලබා දී මේ නිර්මාණය කරගෙන සිටින අති විශාල ඇමති මණ්ඩලයකින් යුත් ඊනියා ජාතික ආණ්ඩුවට සහ එහි ප්‍රතිපත්තිවලට සිය විරෝධය ප්‍රකාශය කරන ලදී.

රුණු කාරණා එසේ වුවත් ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුවට එරෙහිව යැයි කියන කණ්ඩායම එකී ජනවරමෙන් ලැබූ පිම්බීම වරදවා වටහා ගෙන අගමැතිවරයාට ඉවත්වන ලෙසත්, නව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙසත් ප්‍රකාශ කරන්නට විය. “මුහුද හත්ගව්වක් තියා අමුඩ ගැසීම” ගැන අප අසා ඇතත් පළාත් පාලන මැතිවරණ පරාජයකින් පසු අගමැතිවරයා ඉවත් වීමක් ලංකාව වැනි රටකින් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි බව එකී දේශපාලන නායකයන් දැන නො සිටින්නට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1 ව්‍යවස්ථාවට පටහැනිව යමින් ජනසම්මතයට පටහැනිව 30ට වැඩියෙන් පවත්වාගෙන යන ඇමති මණ්ඩලය 30 දක්වා අඩු කර ගැනීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවූ ඒකාබද්ධ විපක්ෂය “ගලෙන් පට්ටයක් ගැනීම” වැනි අගමැතිවරයා වෙනස් කර ගැනීමේ දේශපාලන උපායමාර්ගයක් වෙත යොමු විය. පළාත් පාලන මැතිවරණ ජනවරමෙන් පසු ජාතික ආණ්ඩුව බිද වට්ටා අති විශාල ඇමති මණ්ඩලය නඩත්තු කිරීමට වැය කරන අධික මුදල් කන්දරවා අඩු කරනවා වෙනුවට සහ ජනතා සුභවාදී පියවරයන් ගන්නවා වෙනුවට කරගත නොහැකි දේශපාලන උපායමාර්ගයක් වන අගමැතිවරයා වෙනස් කිරීම තෝරා ගත්තේ ය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සමග ඊනියා ජාතික ආණ්ඩුව තීරණාත්මක ලෙස පසු බැස තිබීමත් සමග අගමැති ධුරය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්නට යන බව ඒකාබද්ධ විපක්ෂ නායකත්වය විසින් ජනතාවට විශ්වාසය ඇති කළ අතර ඒ සදහා ඊනියා ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු මනා සහායක් ද දුන්නේ ය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරමින් ජනවරම නොතකා සිටි පොහොට්ටුවට ඡන්දය දුන් අපේක්ෂකයන්ගේ ජනවරම  නැවත වරක් ඒකාබද්ධ විපක්ෂ නායකත්වය විසින් නොතකා සිටියේ ආකාරයෙනි.

මේ සියලු ක්‍රියාන්විතයන් සිදු වන්නේ 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන හංසයා පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බවට වටහා ගැනීම අසීරු නොවේ. 2020 දී ඉදිරිපත්වන හංසයා පොදු අපේක්ෂකයා ජය ගැනීමට නම් පොහොට්ටුවට ලැබෙන්නට ඇති දකුණේ ඡන්ද කඩා ගැනීමේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය , එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වේ. ඒ සදහා හොදම අවස්ථාව 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු අගමැති ධුරය වෙනස් කරන මුවාවෙන්  යහපාලන සංහිදියා ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමත් ජනතා විරෝධය වෙනතකට හැරවීම සදහා රනිල් අගමැතිධුරයෙන් නෙරපීමේ මතයක් ආණ්ඩු විරෝධීන් අතර ඇති කිරීමයි.

2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමග අගමැති ධුරය රනිල්ගෙන් ඉවත්  කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ සහ ඒකාබද්ධ විපක්ෂයත් එක්ව මේ සිදුකරන ක්‍රීඩාව අවසන් වන්නේ 2020 දී තුන් කොන් ජනාධිපතිවරණ සටනක් අවුලුවා දකුණේ ඡන්ද බෙදීමට සළස්වා අවසානයේ 2වන මනාපය ගැනීමෙන් හංසයා ජනාධිපති අපේක්ෂකයා ජයගැන්වීමෙනි.

2020 ජනාධිපතිවරණයේ තුන්කොන් ජනාධිපතිවරණ සටනක දී කිසිත් අපේක්ෂකයෙක් 50%වඩා ඡන්ද ලබා නොගන්නා බව වටහා ගැනීම අසිරු නොවේ.

අගමැතිට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ජයගනීවිද?

2018 අප්‍රේල් 04 දින පැවැත්වීමට නියමිත අගමැතිට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ජයගතහොත් 2015 ජනාධිපතිවරණයෙන් ඇති කරන්නට බලාපොරොත්තු වූ “සිස්ටම් චේන්ජ්” එක කර ගැනීමට නොහැකිවන බවත් එකී ජනාධිපතිවරණ ජයග්‍රහණය වැඩකට නැති තත්ත්වටත් පත්වන අතර 2020 දී පවත්වන ජනාධිපතිවරණයේදී හංසයා අපේක්ෂකයාගේ නියත පරාජයත් සනිටුහන් වේ.

එය වූ කලී වත්මන් ජාතික ආණ්ඩුවේ සහ 2015 ජනාධිපතිවරණය ජයගත් යහපාලන නියමුවන්ගේ අපේක්ෂාව නොවේ. ඒ අනුවම සිදුවිය යුත්තේ අගමැතිට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් හෝ පරාජය කිරීමට හැකි මට්ටමට ඡන්ද බෙදී යාමට සැළැස්වීමයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත්, ඉලංකෙයි තමිල් අරසු කච්චි හී මන්ත්‍රීවරුද, එක්සත් ජාතික පක්ෂයේ අතිශය බහුතර මන්ත්‍රීවරුද මෙකී රනිල්ට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිතාකර පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් (වැඩි ඡන්ද 12-15 අතර)          විශ්වාසභංගය පරාජය වීම අප්‍රේල් 04 දින පාර්ලිමේන්තුවේදී බලාගත හැකි වේ.

ඒ අනුව පැහැදිලි වනු ඇත්තේ පළාත් පාලන ජනවරමෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ වැරදි පීල්ලට ඒකාබද්ධ විපක්ෂය සීරුමාරු කරවීමෙන් 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපයට පාර කපාගත් යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව අද දවසේත් රටේ දේශපාලන ගමන් මග තීරණය කිරීමට සමත් වී ඇති බවයි. එය මෛත්‍රී-රනිල් යහපාලන සංහිදියා ආණ්ඩුවේ දක්ෂතාවය නොව ඒකාබද්ධ විපක්ෂයේ නො හැකියාවයි.

රනිල් ට එරෙහි විශ්වාසභංගය ජාත්‍යන්තර ඔත්තුකරුවන් විසින් පොහොට්ටුවට ඇටවූ කොඩිවිනයක් බව තීරණය කිරීමට අප්‍රේල් 04 දින දක්වා සිටිය යුතු නැත්තේ එහෙයිනි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col),PGDC(Col)

E mail: arunaunawatuna@gmail.com

2018.03.30

Top