ජනාධිපතිවරණ සමයේ ‘වේදිකාවේ රන් සීනුව’ බවට පත් ව සිටි පාඨලී චම්පික රණවක දැන් වැහැරී, ඇද වැටී තිබෙන බව පැහැදිලි ය. දින 100යේ ජහපාලන ආණ්ඩුව කල් ඉකුත් වී, තවදුරටත් ඇදි ඇදී යමින් පවතී. මහින්ද රාජපක්ෂ තවත් වසර දෙකක් ඉතුරු ව තිබිය දී වේලාසනින් ඡන්දයක් පවත්වා ඉල්ලා ගෙන කෑ අතර, දින 100 ජහපාලන ආණ්ඩුව, පොරොන්දු වූ පරිදි ඡන්දය පවත්වන්නේ නැති ව ඉල්ලා ගෙන කමින් සිටින බව පැහැදිලි ය.
දින 100 ජහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම අප සිතුවේ පාඨලී වැඩ පටන් ගනු ඇතැයි කියා ය. ඊට හේතුව ඔහු ඉකුත් ආණ්ඩුවේ මහා පරිමාණ වංචා පිළිබද ව ‘සද්ද’ දමමින් සිටි නිසා ය. එහෙත් බලයට පත් වීමෙන් පසු ‘සද්ද’ නැති ව ගියේ ද ඔහු ගේ ය.ජනාධිපතිවරණ සමයේ දී ඔහු විසින් පළ කරන ලද ‘ආලාපාඵ ආර්ථිකය’ මිලට ගත් අපි මේවා මෙසේ සිදු වන බව කල් තියා දැන ගත්තෙමු.
මහා ඉන්ධන මාෆියාවක් ඇතැයි කියන ඔහු, තම කෘතියේ ඒ පිළිබද ව දක්වා ඇති කරුණුවලට සම්බන්ධ තොරතුරු මෙසේ ය.
‘බොහෝ රටවල දූෂණ වංචා සිදු වේ. එමෙන්ම ඒවා වැළැක්වීමේ ක්‍රමවේදයන් ද හදුන්වා දී ඇත. බොහෝ විට දූෂණයේ කියැවෙන්නේ ‘කොමිස් පිළිබද ය. ඇතැම් විට අදාළ දේශීය නියෝජිතයාට ඔහු ගේ සේවය වෙනුවෙන් නිල වශයෙන් ම යම් ප්‍රතිශතයක් කොමිස් ලෙස ලැබේ. (ශ්‍රී ලංකාවට ගෙන්වන ආයතනවල දේශීය නියෝජිතයාට 1%ක පාරිතෝෂිතයක් ලැබේ. බොහෝ විදේශ ව්‍යාපෘතිවල දේශීය නියෝජිතයාට 3%ක පාරිතෝෂිතයක් ලැබේ. ඩොලර් බිලියන ගණනක් වැය වන ව්‍යාපෘතිවල දී මෙය අති විශාල මුදලකි.) (පිටුව 28)
ජනාධිපතිවරණ වේදිකා දෙදරන්නට කෑ ගැසූ පාඨලී චම්පික ගේ කෙරුවාව ය, මේ.
අද මහත් ආන්දෝලනයකට පත් ව තිබෙන සාම්පූර් බලාගාරය පිළිබද ව ඔහු සදහන් කර තිබෙන්නේ මෙවැනි කරුණු ය.
‘මේ ගිවිසුම මගින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුඵ ත්‍රිකුණාමලයේම ඉන්දියාව හැර අන් කිසිවකුට බලාගාරයක් ඉදි කළ නො හැකි බවට වූ කොන්දේසියකටද එකග විය. (2වැනි වගන්තිය) එමෙන්ම ත්‍රිකුණාමලයේ ගල් අගුරු ධාරිතාව 4600 MW දක්වා ඉහළ නැංවීමට (2030) ලංවිම සැලසුමක් ද විය. ඒ නිසා මේ ගිවිසුම ලංකාවේ විදුලිබල සුරක්ෂිතතාව, ඉන්දියාවට භාරදීමක් විය. ගිවිසුමේ එකී වගන්තිය වෙනස් වූයේ 2009 දී ය.’ (පිටුව 40)
එකී කෘතියේ අන් තැනක මෙසේ ද සදහන් වේ.
‘පුත්තලම බලාගාරය මෙන් නො ව, සාම්පුර් බලාගාරයේ සියලු තාක්ෂණික හා මූල්‍ය ව්‍යසනයන් පෙන්නා තිබිය දී එය එලෙසම ක්‍රියාත්මක කිරීම ගැන ලංවිමට හෝ එයට සම්බන්ධ කිසිදු නිලධාරියකුට කිසිදු සමාවක් දිය නො හැකි ය.’ (පිටුව 41)
මෙයින් පෙනී යන්නේ පාඨලී, අදාළ චෝදනා එල්ල කර තිබෙන්නේ දේශපාලකයන්ට නො ව, නිලධාරීන්ට එරෙහි ව, බව ය. දින 100ක් ඉක්ම ගියත් ඔහු එකී නිලධාරීන්ට විරුද්ධ ව කිසි පියවරක් නො ගත් බව ද පැහැදිලි ය.
දැන් ඇති වන ගැටලුව වන්නේ, සාම්පූර් බලාගාරය පිළිබද දූෂණයක් හෙළි කරන පාඨලී, ජනාධිපතිවරණයෙන් පසු, විදුලිබල හා බලශක්ති අමාත්‍ය තනතුරට පත් වී කළ කී දේ ය. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති මෛත්‍රී සමග වහා ඉන්දියාව බලා පිටත් වූ චමිපික, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර, න්‍යෂ්ඨික බලාගාරයක් ඉදි කිරීමට අවශ්‍ය ගිවිසුමක් ද අත්සන් කළේ ය.
දැන් 2009දී වෙනස් වූවා යයි කියන උක්ත ගිවිසුමේ වගන්තියට කුමක් සිදු වන්නට ඇද්දැයි, සිතිය හැකි ද?
මෙරට බොහෝ දේශපාලුවන් කරන්නේ, මැතිවරණ, ජනාධිපතිවරණ ආසන්නයේ වීරයන් වී, ජයග්‍රහණය ලබනවා යයි අනුමාන කෙරෙන පාර්ශ්වයට සහයෝගය දක්වන අතරේ, ඊට බාධා පමුණුවන ආකාරයේ චෝදනා ද එල්ල කිරීම ය. ඉන්පසු, ජයග්‍රහණය ලද විට, එකී කේෂේත්‍රයේම බලය අල්ලා ගැනීම ය. ජයග්‍රහණය කළ ඇත්තන් ද සිදු කරන්නේ, අදාළ ‘කරදරකාරයන්ට’ අවශ්‍ය අමාත්‍යාංශ පවරා දී සන්සුන් වීම ය.
පාඨලී ලා වැනි දේශපාලන පුස්සන් නිසා, සිදු වූ එකම දෙය නම්, FB වැනි මහජන කලාපවල තවත් පුස්සන් රැසක් බිහි වී, ගොබ්බ වීරයන් රොත්තක් පැටව් ගැසීම පමණ ය. පාඨලී වැන්නන් කොයි වේලේ හෝ ‘ඇලඩින් ගේ පුදුම පහන’ රැගෙන පැමිණ ඔවුන් අදුරෙන් බේරා ගනු ඇතැයි, ඔවුහු තාමත් සිතා සිටිති. එසේ සිතමින්, ‘නිදි යහනේ සුරංගනා කතා’ රසට ගොතති.
කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com