Anonymous Reporter

ITN මාධ්‍ය ජාලයට කෙළවෙන දවස වැඩි ඈතකනම් නොවේ

මේ දිනවල ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ දිය යටින් ගින්දර ගෙනයෑමේ සෙල්ලම හොඳින් කෙරේ. වත්මන් සභාපති සහ ඉහළ කළමණාකාරීත්වයේ අපි නොදන්න ලයිව් ගේම් නිසා වසර 6ක් අංක 1කේ වැජඹුනු නාළිකාව 2015 දෙසැම්බර් වන විට 4 හා 5 අතර දෝළනය වෙමින් තිබේ. මේ තත්වය වත්මන් රජයටත්, ආයතනයේ ආදායටමත්, සේවකයන්ගේ වරප‍්‍රසාද වලටත් ඍජුවම බලපා ඇත.

2015 ජනාධිපතිවරණයේ සිදුකළ අනුමැතියක් තොර මුදල් නාස්තියත්, කිසිදු මූල්‍ය හා ඉදිරිකිරීම් සැලැස්මකින් තොරව ඉදිවන ගොඩනැගිලිත්, වරින් වර හිතුමතේට එක් එක් අයගේ පිපාසවන් නිවන්නට හා තම තමන් ගොඩයන්නට සිදුකරන වැඩසටහන් වෙනස් කිරීම්, අවිධිමත් පාලන ක‍්‍රමවේද, අවිධිමත් මූල්‍ය ආයෝජන, අක‍්‍රමවත් වැඩසටහන් හා ප‍්‍රවාහන සැලසුම් මීට ඍජුවම බලපෑම් එල්ල කර ඇත.

මේ දිනවල සිදුවන අලූත්ම සෙල්ලම නම් අගමැතිතුමා කිව්වා යනුවෙන් පවසමින් සෑම අංශයකටම උපදේශකවරුන් පත්කිරීමයි. මේ වන විටත් අළෙවි, වැඩසටහන් හා ඉංජිනේරු අංශ වලට උපදේශකයන් යොදවා තිබේ. එක් උපදේශකයෙකුට මසකට රු. 170,000 ක වරප‍්‍රසාද (වැටුප 100,000, වාහනයට 40,000, රියදුරු 15,000 තෙල් සඳහා 16,000) ලබා දේ.

තවද වත්මන් සභාපති අතිශය කාර්යබහුල, තවත් ප‍්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනයක (මහජන බැංකුවේ) සභාපතිත්වයද උසුලන අයෙකු හෙයින් ඔහුගේ වැඩ සම්බන්ධීකරණයට රු. 75,000ක දීමනාවක්, වාහනයක්, තෙල්, හා රියදුරු දීමනා සහිතව නීතීඥයකු යොදා ඇත. 2016 වසරේ ජනවාරි 1 වනදා සිට මොවුන්ගේ කණ්ඩායමට තවත් උපදේශකයෙකු සම්බන්ධවීමට නියමිතය.

දැනගන්නට ලැබෙන පරිදි අගමැතිතුමා මෙම නියෝගයද සිදුකළ බව සභාපතිතුමාගේ කාර්ය මණ්ඩලය පහල සේවකයන්ට ඒත්තුගන්වා ඇත. කෙසේ වෙතත් මෙම උපදේශකයා පාඩුපිට පාඩු ලබන ලක්හඩ ගුවන් විදුලියට පත්කරන බව වාර්තා වේ. ලක්හඩ ගුවන් විදුලි මාධ්‍යක් වුවත් ඊට පත්කරන උපදේශකවරයා හිටපු පුවත්පත් ජනමාධ්‍යවේදියෙක් හා හිටපු ජවිපේ නායකයෙකි. මෙම උපදේශකයාටද රු. 100,000කට වැඩි දීමනා ලබාදීම වෙනුවෙන් සියලූ අනුමැතීන් හිමි වී ඇත.

වත්මන් ITN සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා වැටුප නොගන්නේ රාජ්‍ය ආයතන 2 කින් වැටුප් ගත නොහැකි නිසාත්, ITNහි වැඩ බලන තනතුරක සිටින නිසාත් යැයි නොකියමින් තමන් කිසිදු වරප‍්‍රසාදයක් ලබා නොගන්නවා යැයි සේවකයන්ට පවසමින් ITN සභාපතිවරයාට හා සිය කාර්ය මණ්ඩලයට හිමි නිළ වාහන 2 වෙනුවට හිටපු සාමාන්‍යාධිකාරිවරයාගේ වාහනයද සම`ග නිළ රථ 3 ක් භාවිත කරයි.

අද රටේ විද්වතුන්, නායකයින්, පරිපාලකයන් මෙන්ම උසස් කළමණාකරුවන් හිගය. එයට හොඳම උදාහරණය ITN පරිපාලනය හා ඉහළ කළමණාකාරිත්වයයි. එහෙත් මෙවන් වගකිව යුතු රාජ්‍ය මාධ්‍යයක් පරිපාලනයට, ආයතනයට හා සේවකයන්ට මෙන්ම යහපාලන රජයට වගකියන පූර්ණ කාලීන සභාපතිවරයෙකු පත් කරගත නොහැකිි තරමට වත්මන් රජය බංකලොත් වී ඇත.

ආයතනය අංක 1 ට ගෙනාවේද එදා සිට අද දක්වා සිටින ITN සේවකයන්මයි. එදා කිසිදු උපදේශකයෙකු හෝ අද වැනි මාසික දීමනා බරක් ආයතනයට නොවීය. අපි උපදේශකයෙකුගෙන් බලාපොරොත්තු විය යුත්තේ දැනට සේවයේ නියුතු ඉහළ ශ්‍රේණියේ නිළධාරියකුටද වඩා ඉහළ මට්ටමේ දැනුමකි. එහෙත් අවාසනාවකට පත්කර ඇති උපදේශකවරුන්ගෙන් අළෙවි උපදේශක නලීන් ආටිගල මහතාට හැරෙන්නට වැඩසටහන් උපදේශක අසංක මහගෙදරගමගේ හෝ ඉංජිනේරු උපදේශක හිටපු නාවික හමුදා අද්මිරාල් වරයාට එවන් උපදේශක මට්ටමේ සුදුසුකමක් හෝ අවබෝධයක් නොමැත.

ඔවුන්ට ඇති එකම සුදුසුකම බවට පෙනෙන්නට තිබෙන්නේ මිනිසුන් නොමග යැවීමට ඇති හැකියාවත් සභාපතිවරයාගේ කාමරයට ගොස් ඔහු සමග සාකච්ඡුා කිරීමට ඇති හැකියාවත් පමණි. දැන් පවතින්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඒකාධිපති මතවාදය, දූෂණය, වංචාව හා ප්‍රෝඩාව පරාජය කළ සම්මුතිවාදී යහපාලන ජාතික ආණ්ඩුවකි. මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කළද ඔහුගේ අශීලාචාර මතවාදය සමග ITN හි සැරිසරන ඔහුගේ සෙවණැලි හඳුනාගැනීමටවත් වත්මන් පරිපාලනය දූරදර්ශී වී නොමැත.

වත්මන් සභාපති සේම, සෑම උපදේශකයකු වටාම රොක්වී ඇත්තේ වංචාව, දූෂණය හා නාස්තිය ඉහවහා ගෙනයමින් පෙර අතීතයේද ෂඔභ විනාශ කිරීමට කටයුතු කල නිළධාරි පිරිසක්මය. ඔවුන් මුදලට, ලිංගික ආශාවට, තනතුරු, වරප‍්‍රසාද හා තාවකාලික ජනප‍්‍රියත්වයට ලොල් වී අද ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයම ඇද වට්ටවා ඇත.

පාඩු පිට පාඩු ලබා භාණ්ඩාගාරයෙන් යැපෙන ජාතික රූපවාහිනියත් මුදලින් රු. 20,000 ක් හා අමතර ත්‍යාග වවුචර තම සේවකයින්ට ලබාදී නැගී එන රූපවාහිනියේ සේවකයන් අගයද්දී ස්වාධීන රූපවාහිනියෙන් ස්වාධීන කෑල්ල ඉවත් කර වෙන කෑල්ලක් දාන්න ඕනෑ යැයි මම අගමැතිතුමාටත් කිව්වා යැයි පවසමින් එක් එක් අයට එක් එක් පොරොන්දු දෙමින්, එකක් කියමින් එකක් කරමින්, ආයතනය තුළ ක‍්‍රියාකාරී වෘත්තීය සමිති මෙන්ම සමගිව එකට කටයුතු කරන වෘත්තීය නිළධාරීන්ද අසමගි කරමින්, තම දිවියේ වැඩි කලක් තම ආයතනයට සේවය කළ, තම දරුවන්ට වඩා ආයතනයට ආදරය කරන කිසිදු දේශපාලනයකින් තොරව ආයතනයටම පමණක් වැඩකරන බහුතරයකට සිය බලාපොරොත්තු දවසින් දවස බිඳ වැට්ටවීමට වත්මන් සභාපතිවරයා කටයුතු කර ඇත.

පෙර වසරේදී රු. 75,000 වාර්ෂික බෝනස් මුදලක් හිමිකරගත් ITN සේවකයන්ට 2015 වසරේදී හිමිවූයේ රු. 44,880 ක බෝනස් මුදලකි. මේ පිළිබඳව සියලූ වෘත්තීය සමිති එක්ව අධ්‍යක්‍ෂක මණ්ඩල ප‍්‍රධානින්ගෙන් හා සභාපතිවරයාගෙන්, ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය ඇමතිවරයා ඉදිරියේ ඉල්ලා සිටියේ මේ වසරට පමණක් පසුගිය 2014 වසරේ තම සේවකයන්ට ලබාදුන් බෝනස් මුදලම ලබාදෙන ලෙසයි.

එහිදි වෘත්තීය සමිති සාමාජිකයන් තවදුරටත් ඉල්ලා සිටියේ එම බෝනස් මුදල ලබාදීමේදී කාර්ය සාධන ඇගයීම් විධිමත් කොට සුදුස්සාට/ ආයතනයට වැඩි දායකත්වයක් ලබාදෙන නිළධාරීන්ට සුදුසු ප‍්‍රතිශතයන්ගෙන් ලබාදෙන ලෙසටයි. එහෙත් ඒ වචන දියේ ඇඳි ඉරිමෙන් මැකී ගියේය. සිදුවූයේ පෙර ආණ්ඩු සේම වැඩ කළත් එකයි, නොකළත් එකයි යන්නට ආශිර්වාද කරමින් වැඩකරන, නොකරන හැමෝටම එක මුදලක් (රු. 44,880) බෙදා දීමයි.

දැන් තවත් මහා විනාශය සිදුවෙමින් ඇත. රටේ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික නාළිකාවට හිමි නැති තාක්‍ෂණික මෙවලම් හා වීඩියෝ කැමරා ITN සතුය. ඒ සම්පත් උපරිමය භාවිත කළ හැකි විශ්ව විද්‍යාල සුදුසුකම් මෙන්ම පශ්චාත් උපාධි සුදුසුකම් ලත් වැඩසටහන් නිශ්පාදකවරුන්, ඉංජිනේරුවරුන්, තාක්‍ෂණික නිළධාරීන් ආයතනය සතුය. එහෙත් පෙරදා මෙන් ර`ගන්නේ දේශපාලන හයිය පෙන්නන, තමාගේ වාසියට කබරගොයාත්, තලගොයා කරගන්නා, පසුගිය ජනාධිපතිවරනයේදී ආයතනයේ සෑම සම්පතක්ම වැරදි ආකාරයට යොදාගත් අතලොස්සකි. ඔවුන් ප‍්‍රමාණයෙන් 20 දෙනෙකුටත් අඩුය.

එහෙත් පීඩා විඳින්නේ පසුගිය ආණ්ඩු සමයේදී පීඩා විඳි අනෙක් සේවකයන් 650 කට වැඩි පිරිසය. යහපාලනයට කර දී සිටින සමහර වෘත්තීය සමිති නායකයන් හා සාමාජිකයන් මෙන්ම වත්මන් රජයත් මේ හේතුවෙන් සේවකයන් ඉදිරියේ අපහසුතාවයට ලක්ව ඇත. තවත් නොබෝ දිනකින් තම පේ‍්‍රක්‍ෂකයා හා ශ‍්‍රාවකයා ඉදිරියේද නැවත වරක් අපහසුතාවයට ලක්වීමේ ලකුණු පහළ වෙමින් තිබේ. දැනට ආයතනයේ සේවය කරන මැදිහත්, නිහතමානී මෙන්ම ආයතනයට අවැඩක් වනවා යැයි දැනෙන එය ඉවසාගත නොහැකි අති බහුතරයක් දැන් කියන්නේ මහින්ද රාජපක්‍ෂ සමයේ අනුර සිරිවර්ධනගේ සභාපතිත්වයේ දෙවන කාලයේ පරිපාලනයත් මීට වඩා හොඳ බවයි.

කවුරු කොහොම සෙල්ලම් කරත් එහි පාඩුව දැරීමට සිදුවන්නේ සමස්ථ රට වාසීන්ටයි. එනම් ITN පේ‍්‍රක්‍ෂකයන්ටයි. එහි ඍජු හා වක‍්‍ර බලපෑම් 1979 වසරේ ITN ආරම්භකළ වසරේ සිට ITN හි ප‍්‍රගමනයට මේ දක්වාත් ඉදිරියටත් කැපවීමෙන් සේවය කරන අති බහුතරයක් සේවක පිරිසට එල්ල වේ. මෙය කිසිම රජයකට හෝ කිසිම පරිපාලනයකට අනුමත කළ හැකි තත්වයක් නම් නොවේ. මෙම තත්වය විසඳා ගත නොහැකි වූවහොත් ITN මාධ්‍ය ජාලයට කෙළවෙන දවස වැඩි ඈතකනම් නොවේ. තීන්දුව ඔබට භාරයි.

-ITN වාර්තාකරු-

Top