අනාගතයේදීවත් වැරදි පුද්ගලයින්ට වැරදි උපදෙස් දීමෙන් වැළකී සිටින්නට ඉන්දියාව වගබලා ගත යුතු බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර සිටි.රෙඩිෆ් ඩොට් කොම්හි නිතින්.ඒ ගෝකාල් සමග ඊමේල් මාර්ගයෙන්ය කල සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් සදහන් කර ඇත්තේ සෑම මැතිවරණයක්ම පැවැත්වුනේ නිදහස්ව හා සාධාරණව පැවැත්වු බවත් 2015 ජනාධිපතිවරණයෙන් අප පරාජය වුනෙත් අපේ රජය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න ඉඩදීලා තිබුණු නිසා බවයි.

පසුගිය කාලයේ ශී‍්‍රලංකාවේ ආරක්ෂක කටයුතු මෙහෙයවූයේ ඔබ.රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔබ පත්ව සිටි එම කාලයේ රට තවත් මිලිටරිකරණයට පත්ව ඇති බවට,පමණ ඉක්මවා ආරක්ෂක අංශ වල පිරිස් බලය තර කර ඇති බවට,ඒ කියන්නේ කුඩා රටක් වන ශී‍්‍රලංකාවට නොගැලපෙන තරමේ විශාල ආරක්ෂක සේනායවක් ගොඩනගාගෙන ඇති බවට නැගෙන චෝදනා වලට ඔබේ ප‍්‍රතිචාරය කුමක්ද?

අප රට මිලිටරිකරණය කරේ නැහැ.ඇත්තටම සිදුවුනේ ඒකෙ අනිත් පැත්ත.ආරක්ෂක සේනා වල පිරිස් බලය වැඩිකිරීම ගැන සදහන් කළොත් ඔව් අපට එසේ කරන්නට සිදුවුනා.මොකද අප යුද්ධයක පැටලිලා සිටියේ.ඔබ මතක තියාගන්න  ඕනේ අප යුද වැදුනේ එසේ මෙසේ කණ්ඩායමක් එක්ක නොවේ කියන එක.ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒකකය පවා අති බිහිසුණු ත‍්‍රස්ත සංවිධානයක් ලෙස හදුන්වාදී තිබුණු සංවිධානයක ත‍්‍රස්තයින් එක්කයි අප සටන් කරමින් සිටියේ.එවන් සංවිධානයක් පරාජය කරන එක ලෙහෙසි පහසු දෙයක් වුනේ නැහැ.පාබල,නාවික,ගුවන් හමුදාවන් එක්ව දියත්කළ මෙහෙයුමකින් පස්සේ තමයි අප ජයග‍්‍රහණය කළේ.ආරක්ෂක සේනා වල පිරිස් බලය වැඩිකරගැනීමට එක ප‍්‍රධාන හේතුවක් තමයි අත්පත් කරගත් ප‍්‍රදේශවල වැඩියෙන් හමුදා භටයින් රැඳවීමට අපට වුවමනා වුනු එක.මොකද එතකොට ත‍්‍රස්තවාදීන්ට නැවත වරක් එම ප‍්‍රදේශ යටත් කරගන්න අපහසුයි.අනෙක නව  සාමාජිකයින් විශාල වශයෙන් බදවා ගැනීම සිදුවූයේ යුධ සමයේ පමණයි.පසුව එසේ සාමාජිකයින් බදවා ගැනීමක් සිදුකෙරුණේ නැහැ.යුධ සමයේ උතුරේ එල්.ටී.ටී.ඊ විරෝධී අවිගත් කණ්ඩායම් කි‍්‍රයාත්මකව තිබුණා.යුද්ධය  අවසන්වූවාට පසු අප මේ කණ්ඩායම් සියල්ල නිරායුධ කළා.මෙම කණ්ඩායම් වලටත්,දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ කණ්ඩායම් වලටත් දිගටම අවි දරා සිටීමට අවසරය ලබාදෙන්න අපට වුවමනානම් හැකියාව තිබුණා.ඔවුන් සළකා බැලිය යුතු හේතු ඉදිරිපත් කළා.මොකද මේ කාලයේ පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 11000 ක් අප උතුරට නිදහස් කරලා තිබුණේ.පුනරුත්ථාපනය කර ඇතත්  සතුරු පාර්ශවයේ සාමාජිකයින් නිසා ඔවුන් තමන්ට හිරිහැර කරනු ඇතැයි එල්.ටී.ටී.ඊ විරෝධී කණ්ඩායම් වල සාමාජිකයින්  බියෙන් සිටියේ.

මේ පුද්ගලයින්ට අවි දරා සිටීමට අවසරය අප එදා ලබාදුන්නා නම් අද උතුරු හා නැගෙනහිර ඡන්ද ප‍්‍රකාශනය මීට වඩා වෙනස් මුහුණුවරක් ගන්නට ඉඩ තිබුණා.යුද්ධයෙන් පීඩාවට පත්වෙලා සිටි උතුර හා නැගෙනහිරත්, භීතියෙන් මුලුගැන්විලා  තිබුණු රටේ අනෙක් කොටස් වලටත් අවසානයේ නිදහස හිමිවූයේ අප නිසා.

අපේ රජයේ කැපවීම නිසා තමයි අද ජනතාවට ඔවුන්ට කැමති පුද්ගලයින් රටේ පාලකයින් හැටියට පත්කරගැනීමට අවස්ථාව හිමිවෙලා තිබෙන්නේ.රටේ බෙදීමක් ඇතිකළාද?මා සිතන්නේ නැහැ.අප රජය පාර්ශවයේ සිටියේ.විපක්ෂ දේශපාලඥයින් හා රජයට විරුද්ධ පුද්ගලයින් කොහොමත් රජයේ පාර්ශවය ගැන හොද කියන්නේ නැහැ.එවැන්නක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.අපේ රජය රටේ බෙදීමක් ඇතිකළා කියන්නේ ඔය අතරින් සමහරු.එල්.ටී.ටී.ය කියන්නේ රටේ දෙමළ ජනතාව නොවේ.අපට එල්.ටී.ටී.ය ට උණ්ඩයෙන්ම පිළිතුරු දෙන්නට සිදුවුනා.කිසිවෙකුට එය ප‍්‍රශ්න කරන්නට බැහැ.නමුත් අප ගැටුනේ  එල්.ටී.ටී.ඊ සංවිධානය එක්ක.රටේ දෙමළ ජනතාව එක්ක නොවේ.දෙමළ ජනතාව එල්.ටී.ටී.ඊ ග‍්‍රහණයෙන් මුදවාගෙන ඔවුන්ට සෑබෑ විමුක්තිය දිනා දුන්නේ අපි.

කොටි සංවිධානය පැවතුනු සමයේ දෙමළ ජනතාවට නිදහසේ ඡන්දය ප‍්‍රකාශ කළ හැකි වාතාවරණයක් තිබුණාද?

2010 ජනපතිවරණයේදී උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාවගේ මනාප විශාල ප‍්‍රමාණයක් දිනාගත්තේ අපගේ රජය සමයේ හිටපු හමුදාපතිවරයා.ඒ වගේම 2015 ජනපතිවරණයේදී එම ජනතාවගේ වැඩි මනාපය හිමිකරගත්තේ පසුගිය යුධ සමයේ හිටපු ජනපතිවරයා දිවයිනෙන් බැහැරව ගොස් සිටි අවස්ථාවක ඔහුගේ අඩුව පුරවමින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කැබිනට් අමාත්‍යවරයා.අපි රටේ බෙදීමක් ඇතිකර නොමැති බව පෙන්වා දෙන්න මේ කරුණුම ප‍්‍රමාණවත්.

මේ නැගෙන චෝදනා වලට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

ශී‍්‍ර ලංකාව කිසිම විටෙක ආඥාදායකයෙක්ට යටත්වෙලා තිබුණේ නැහැ.මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්.මා සේවය කළ රජය සමයේ තමයි ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර නිදහස්ම හා සාධාරණමය මැතිවරණයන් පැවැත්වුනේ.2005 වසරේ අපේ රජය බලයට පත්වූදා පටන් වසරක් පාසාම මැතිවරණයන් පැවැත්වුනා.ඒ සෑම මැතිවරණයක්ම පැවැත්වුනේ නිදහස්ව හා සාධාරණව.2015 ජනාධිපතිවරණයෙන් අප පරාජය වුනෙත් අපේ රජය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න ඉඩදීලා තිබුණු නිසා.රාතී‍්‍ර කාලයේ කඩාපැනලා සෝදිසි මෙහෙයුම් සිදුකර තිබෙනවාය කියලා නැගිලා තිබෙන චෝදනාවට මට කියන්න තියෙන්නේ යුධ සමයේ ඒ වගේ සෝදිසි මෙහෙයුම් සිදුවන්නට ඇතත් පසුව නම් ඒ වගේ කිසිම දෙයක් සිදුවුනේ නැහැ කියලා තමයි.සමහර පුද්ගලයින් දවස ගතකරන්නේ කොහොමද කියලා අප සෝදිසියෙන් හිද තිබෙනවාය,එවැනි පුද්ගලයින්ගේ දුරකථන ඇමතුම් වලට රහසේ සවන්දී තිබෙනවාය කියමින් අපට චෝදනා නගන අයට ඒවා ඔවුන් මවාගෙන තිබෙන මනස්ගාත යැයි කියනවා හැරෙන්නට වෙන කියන්න දෙයක් මට නැහැ.

පසුගිය රජයේ පාලන සමයේදී කිසිදු විපක්ෂ දේශපාලඥයෙක්ට හිරිහැර කිරීමක් හෝ අනිසි බලපෑම් කිරීමක් හෝ සිදුවූයේ නැහැ.ඇත්තටම අපේ ජනපතිවරයා හා විපක්ෂය අතර තිබුණේ ඉතාම හොද සබදතාවක්.ජනපතිවරයා හා  ඕනෑම වෙලාවක සම්බන්ධවීමට විපක්ෂ මන්තී‍්‍රවරුන්ට අවස්ථාව තිබුණා.ඒ නිසාම තමයි ගෙවුනු කාලයේ වරින් වර විපක්ෂ දේශපාලඥයින් රජය හා එක්වූයේ.අපේ රජය ප‍්‍රබලව විවේචනය කරමින් සිටි මංගල සමරවීර පවා අප හා එක්වීමේ සූදානමින් සිටියේ.අපේ රජයයි විපක්ෂයයි අතර වෛරී සබදතාවක් තිබුණේ නැහැ  කියලා පෙන්නවන්න ඒක හොදම උදාහරණයක්.

සිව්වැනි ඊළාම් යුද්ධය නිමවෙලා වසර 6 කට ආසන්න කාලයක් ගතව ගොසින්.ආපසු හැරී බලද්දී එදා ගත් තීරණයක් ගැන අද දිනයේ පසුතැවෙන අවස්ථාවක් ඔබට  තිබෙනවාද?

නැහැ.

ආරක්ෂක ලේකම්වරයා හැටියට ඔබේ තීරණයට අනුව ගෙවුණු දශකයක පමණ කාලයේ ශී‍්‍රලංකා ආරක්ෂක අංශ වලට අවශ්‍ය යුධ උපකරණ බොහෝ විට මිලදී ගැනුනේ චීනයෙන්.එය ඔබ සිතාමතාම ගත් තීරණයක්ද නැතිනම් ඉන්දියාව ඔබට වැඩි සහයක් නොදුන් නිසා අකමැත්තෙන් හරි චීනයේ සහය පතන්න සිදුවුනාද?

1980 වසරේ යුද්ධය ආරම්භ වූ කාලයේ පටන්ම ශී‍්‍රලංකාවේ බලයට පත්වූ රජයන් සියල්ලක්ම පාහේ අවි හා උණ්ඩ සපයාගත්තේ චීනයෙන්.අපත් කළේ එයමයි.යුද්ධයේ අවසන් අදියර ආරම්භ වුනු 2006 වසරේදී තමිල්නාඩුවෙන් එල්ල වන්නට ගත් පීඩනය නිසා අපට අවි විකිණීමේ හැකියාවක් ඉන්දියාවට තිබුණේ නැහැ.ඉන්දියාවෙන් අවි මිලදී ගැනීමට හැකියාවක් තිබුණානම් අප නොඅනුමානවම එසේ කරන්නට තිබුණා.මේ සම්බන්ධයෙන් මා එවක ඉන්දියාවේ ආරක්ෂක ලේකම් විජේ සිං නවදිල්ලියේදී හමුවෙලා කරුණු පැහැදිලි කර දුන්නා.ශී‍්‍ර ලංකාව පත්වෙලා හිටපු තත්ත්වය අනුව කවුරුන් හෝ කැමැත්තෙන්ම අවි සපයනවානම් ඒවා මිලදී ගන්නවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් අපේ රටට  නොතිබුණු බව ඔහු තේරුම් ගත්තා.2006 – 2008 කාලයේදී ඔබේ රජයත් ඉන්දියා රජයත් අතර තිබුණේ ඉතාම සමිප සබදතාවයක්.නමුත් යුද්ධයේ

අවසාන භාගයේදී එම සබදතාවය බිද වැටෙන ලකුණු  පෙනෙන්නට ගත්තා නේද?මොකද ඇත්තටම වුනේ? ඔබට මදක් පැහැදිලි කරන්නට හැකිද?

මා නම් කියන්නේ අප හා ඉන්දියාව අතර තිබුණු සබදතාවයේ කිසිම වෙනසක් සිදුවුනේ නැහැ කියා.යුද්ධයේ අවසානයේදීත්,ඉන් පසුවට එළැඹුනු කාලයේදීත් අප දෙරට අතර හොද සබදතාවක් පැවතුනා.නමුත් ශී‍්‍රලංකාව හා චීනය අතර ඇතිවුනු මිතුදම ඉන්දියාව වරදවා වටහා ගෙන තිබෙන බවක් පසුගිය අවුරුදු කිහිපයෙහි වුනු සිදුවීම් දිහා බැලීමේදී පෙනෙනවා.අපට චීනය සමග එදා සිටම සබදතා තිබුණා.දැනට අප රටේ ව්‍යාපෘති ගණනාවක් කි‍්‍රයාත්මක වනවා චීනයෙන් ලබාගෙන තිබෙන සහනදායී ණය වැඩසටහන් යටතේ.මා සිතන්නේ ඉන්දියාව මේක දැක්කේ ශී‍්‍රලංකාව චීනයට ගැති වීමක් විදිහට.

එල්.ටී.ටී.ය හා කළ සටනට ඉන්දියාවේ සහය කොපමණ වැදගත්වූවාද?

යුධ සමයේ ශී‍්‍රලංකාවේ උද්ගතව තිබූ වාතාවරණය ඉන්දියාව තේරුම් ගෙන තිබීම අපට ඉතාම වැදගත් දෙයක් වුනා.අප දෙරට අ‍න්‍යොන්‍ය අවබෝධතාව මත දෙරටේ ප‍්‍රධාන පෙළේ රාජ්‍ය නිළධාරීන්ගෙන් සැදි කණ්ඩායම් දෙකක් සාදා ගත්තා.අප මෙම කණ්ඩායම් හැදින්වූයේ ට්‍රොයිකා නමින්.ඉන්දියාවේ කණ්ඩායමේ සාමාජිකයින් වූයේ එරට විදේශ අමාත්‍යවරයා,ආරක්ෂක  ලේකම්වරයා හා ජාතික ආරක්ෂකඋපදේශකවරයා.අපේ ශී‍්‍රලංකාවේ කණ්ඩායමේ සාමාජිකයින් හැටියට සිටියේ ආරක්ෂක ලේකම් වන මම,ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ජනාධිපති උපදේශකයෙකු වුනු මගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ.

මේ ට්‍රොයිකා කණ්ඩායම් දෙකේ සාමාජිකයින්ට දිවා? දෙකෙහෙම ඔවුනොවුන් ඇමතීමට පහසුකම් සපයා තිබුණා.මේ විදිහට ඉන්දියාවේ ට්‍රොයිකා කණ්ඩායම සමග සබදතා  පැවැත්වූ බැසිල් ශී‍්‍රලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ මොනවාද යන්න ගැන දිනපතාම ඔවුන්ව දැනුම්වත් කළා.එල්.ටී.ටී.ඊ ය තමන්ටත් තර්ජනයක් බව ඉන්දියාව දැන සිටියා.මේ නිසාම මේ වගේ සබදතා පවත්වාගැනීම ඉන්දියාවේත් හිතසුව පිණිස වුනා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව ශී‍්‍රලංකාවට එරෙහිට පෙනී සිටි අවස්ථාවේ ඔබ කළකිරීමට පත්වූවාද?

මා සිතන හැටියට ඉන්දියාව ශී‍්‍රලංකාව වෙනුවෙන් පෙනී සිටිය යුතුව තිබුණා.මොකද වෙනත් රටකට එරෙහිව ගෙන එන යෝජනාවකට සහය පළ කිරීමෙන් වැළකී සිටි ප‍්‍රතිපත්තියක් ඉන්දියාව එදා සිටම අනුගමනය කළා.නමුත් තමිල්නාඩුවෙන් එල්ල වෙමින් තිබූ පීඩනය නොසළකා හරින්න ඉන්දියා මධ්‍යම රජයට හැකියාවක් තිබුණේ නැහැ.එනිසා යෝජනාවට සහය පළකරනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් ඉන්දියාවට එදා නොතිබුණු බව මා හොදින්ම වටහාගෙන සිටිනවා.

ඉන්දියාවේ සහය හා මිත‍්‍රත්වය ශි‍්‍රලංකාවට කෙතරම් වැදගත්ද?

ඉතාම වැදගත්.නමුත් ඉන්දියාව එසේ නොදකින බවක් පෙනෙන්නට තිබීම කණගාටුවට කරුණක්.ඉන්දියාව හා චීනය අතර උණුසුම් අවස්ථා පසුගිය දශක කිහිපය පුරාම දැකගත හැකිවුනා.නමුත් ශී‍්‍රලංකාව මේ රටවල් දෙක සමගම සමිීප සබදතා පවත්වාගැනීමට එදා සිටම සමත්වුනා.

ශී‍්‍රලංකාව හා චීනය අතර තිබෙන සම්බන්ධය අතීතයේ මෙන්ම අදත් පදනම් වෙලා තියෙන්නේ ආර්ථික කටයුතු මත.කොළඹ වරායට චීන සබ්මැරීන පැමිණියේ බඩු බාහිරාදිය පටවා ගැනීමට පමණයි.ඒවා පැමිණිමේ කිසිදු යුධමය හෝ ආරක්ෂකමය හෝ අරමුණක් තිබුණේ නැහැ.

අලූත් රජයක් පත්වීමේ ඵලවිපාක අත්විදීමට හෝ බටහිර රටවල් ඔබ අල්ලා ගැනීමට දියත් කිරීමට ඉඩ තිබෙන මෙහෙයුමක් ගැන ඔබ බිය වී සිටිනවාද?

මා කිසිම දෙයකට බිය නැහැ.ඇතැම් රටවල් වලින් එල්ල විය හැකි තර්ජනයන් දැන දැනම තමයි අප එල්.ටී.ටී.ය සම්පූර්ණයෙන් විනාශ කර දමන්නට කැපවූයේ.අප යුධ වැදුණේ ත‍්‍රස්තවාදී සංවිධානයක් සමග.අපේ ජනතාව අපට පවරලා තිබුණු රාජකාරිය ඒක.ඔවුන් අදටත් අප කළ කැපකිරීම් හා අප ගත් අවදානම ගැන සිහිකරන්නේ කෘතඥපූර්වකව,හෘදයාංගමව.ඡන්දයකින් පත්වීමයි,ඡන්දයකින් පරාජය වීමයි කියන්නේ වෙනම දෙයක්.දෙවන ලෝක යුද්ධය දින්නත් චර්චිල්ට නැවත වරක් බලය දිනාගන්නට හැකිවූයේ නැහැ.නමුත් එයින් පැවසෙන්නේ බි‍්‍රතාන්‍ය ජනතාව යුධ සමයේදී ඔහු දුන් නායකත්වය අමතක කර ඇති බවක් නොවේ.

දෙමළ ඊළම වෙනුවෙන් කිඹුල් කදුළු හෙළනා පාර්ශවයන්ට එල්.ටී.ටී.ඊ සංවිධානයට පණදී නැවත වරක් ශී‍්‍රලංකාවේ කි‍්‍රයාකාරී වන තත්ත්වයට පත්කරන්නට හැකියාවක් තිබෙනවාද?

අප බලයේ සිටි කාලයේ එවැනි උත්සාහයන් ගැන නිරතුරුව අවධානය යොමු කළා.එම අවධානය ඉදිරියටත් එළෙසම තබාගත යුතුයි.ඉන්දියාවත් තමිල්නාඩුවේ කි‍්‍රයාකාරකම් ගැන වඩාත් සැළකිලිමත් වෙන්න වුවමනායි.දෙමළ බෙදුම්වාදීන් තමිල්නාඩුව ඔවුන්ගේ ප‍්‍රධාන කදවුර කරගන්නට ඉඩ තිබෙනවා.දෙමළ බෙදුම්වාදය ශී‍්‍ර ලංකාවට පැමිණියේ තමිල්නාඩුවේ සිට.දෙමළ බෙදුම්වාදයේ ඉතිහාසය සැළකුවත් ශී‍්‍ර ලංකාවට වඩා වැඩි ඉඩක් හිමිවෙලා තියෙන්නේ ඉන්දියාවට.1980 වසරේදී දෙමළ ත‍්‍රස්තවාදී කණ්ඩායම් වලට සහයෝගය දැක්වීමෙන් ඉන්දියාව කර ගත්තේ විශාල වරදක්.අනාගතයේදීවත් වැරදි පුද්ගලයින්ට වැරදි උපදෙස් දීමෙන් වැළකී සිටින්නට ඉන්දියාව වගබලා ගත යුතුයි.

Top