ඒ 1987 මැයි පළමු දිනයි. ජේ ආර් ජයවර්ධන ජනාධිපති විසින් ඉතිහාසයේ ප්‍රථම වරට මැයි දින සැමරුම් තහනම් කරන ලදී. කම්කරු අයිතිය පමණක් නොව අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම ද අහිමි කරන මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් සරසවි සිසුහු මහජන එක්සත් පෙරමුණ ඇතුළු මව්බිම සුරැකීමේ ව්‍යාපාරය පෙරටු කරගෙන තහනම නොතකා මැයි දිනය සැමරීමට තීරණය කරන ලදී. තහනම් රැස්වීමක් සඳහා පිට්ටනියක් ලබා දීමට කිසිවෙකු ඉදිරිපත් නොවුණු බැවින් ඒ සඳහා සිය පන්සල වන අභයාරාමය ලබා දීමට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි එකඟ විය. 

පොලිස් අධිකාරි අබ්දුල් ගෆූර්ගේ නායකත්වයෙන් පැමිණි පොලිස් කණ්ඩායමක් පන්සල් භූමියට ඇතුළු වී රැළියට වෙඩි තැබීමෙන් කිත්සිරි මෙවන් රණවක සහ ලෙස්ලි කිරිබත්ගොඩ මරණයට පත් විය. විශාල පිරිසක් තුවාල ලැබූහ. පැන දුවනු වෙනුවට ශබ්ද විකාශන යන්ත්‍ර හරහා පොලිස් නිළධාරින් අමතමින් වෙඩි තැබීම නවතන මෙන් ඉල්ලා සිටීමට තරම් ආනන්ද හිමි එඩිතර විය.

ආනන්ද හිමි පන්සල දේශපාලනයට ලබා දුන් එකම අවස්ථාව එය නොවේ. උන්වහන්සේ රාජ්‍ය සේවා එක්සත් හෙදි සංගමයේ සභාපති ධූරය දැරූ අතර අභයාරාමය එහි මූලස්ථානය විය. එමෙන්ම වෘත්තීය මෙන්ම ජාතික සටන් බොහොමයක මධ්‍යස්ථානය වූයේ අභයාරාමයයි. පාලකයින් කිහිප වරක් ආනන්ද හිමියන් සිරබත් කළත් එයින් උන්වහන්සේගේ ගමන නැවැත්වීමට නොහැකි විය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා දැවැන්ත අර්බූදයකට මුහුණ පා සිටියේය. ඔහු මැතිවරණය පැරදුණු විගස සිය නිල නිවස වූ ජනපති මන්දිරය ආණ්ඩුවට භාර දුන්නේය. ඔහු නිල නිවස භාර දීමට දැක්වූ කාර්යක්ෂමතාවය හිටපු ජනපතිවරයෙකුට හිමි නිල නිවස ලබා දීමට ආණ්ඩුව දැක්වූයේ නැත. ජනපතිවරණය අවසන් වී මාස පහක් ඉක්මවා ගිය ද තවමත් ඔහුට නිල නිවසක් ලබා දී නොමැත. එබැවින් කොළඹ නිවසක් නොමැති බැවින් තංගල්ලේ පිහිටි සිය කාල්ටන් නිවසේ සිට ජනතා ප්‍රශ්න වලට මැදිහත් වීමට ඔහුට සිදුවිය. විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශි ක්‍රියා කලාපය හමුවේ අනතුරට පත් වී ඇති මව්බිම ඉන් මුදා ගැනීමට නායකත්වය සැපයීමට ඔහුට සිදු වී ඇත.

අභයාරාමය යන්නෙහි තේරුම “බය නැති පන්සල“ යන්නයි. වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම පන්සලත් හාමුදුරුවොත් බිය නම් හඳුනන්නේ නැත. එබැවින් මව්බිම අනතුරේ වැටී ඇති මේ මොහොතේ මහින්ද පුනරාගමනයේ සටන් මධ්‍යස්ථානය බවට සිය පන්සල පත් කර ගන්නා මෙන් උන් වහන්සේ රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය. අන්තර්ජාලයේ මඩ වැපිරීමෙන් ද වරින් වර පන්සලේ විදුලිය විසන්ධි කිරීමෙන් ද විවිධ මැර තර්ජන එල්ල කිරීමෙන් ද උන්වහන්සේ සැලී නැත. වියපත් බවින් ලැබුණු අත්දැකීම් උන්වහන්සේගේ එඩිය තවත් දැඩි කර ඇත.

මව්බිම අනතුරේ වැටුණු අවස්ථාවේ ආනන්ද හිමියන් ගත් එඩිතර තීන්දුවෙන් දිරිමත් වුණු රට පුරා වසන භික්ෂුන් වහන්සේලා බෝධි පූජා පවත්වා ආශිර්වාද ලැබීමට පැමිණෙන මෙන් රාජපක්ෂ මහතාට ඇරයුම් කළහ. අතීතයේ දී මෙන් ගමේ පන්සල ඉලක්ක කරගෙන මහින්ද සුළඟ හමන බව අවබෝධ වුණු ආණ්ඩුව බියෙන් සැලිණි. ඉන්පසු පන්සල් යන රාජපක්ෂ මහතාත් බෝධි පූජා සංවිධානය කරන භික්ෂුන් වහන්සේලාටත් පරිභව කිරීමට ආණ්ඩුවේ ඇමතිවරු ඇරඹූහ. ඉන් නොනැවතුණු ඔව්හු රාජ්‍ය නොවන සංවිධාන යොදවා විරෝධතා සංවිධානය කිරීමට ද කටයුතු කළහ. පසුගිය සතියේ රාජපක්ෂ මහතා පන්සල් යෑමට එරෙහිව අනුරාධපුරයේ විරෝධතාවයක් පැවැත්වූ “වීදියේ විරෝධය“ මෙවැනි රාජ්‍ය නොවන සංවිධානයකි. මෙම සංවිධානයට අරමුදල් සපයන්නේ ක්‍රිස්තියානි මූලධර්මවාදි රාජ්‍යයක් වන නෝර්වේ සහ කැනඩාවයි. බටහිර ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන මෙරට ඉතිහාසය නොදැන සිටීමට පුළුවන. නමුත් ඇමතිවරුන් රටේ ඉතිහාසය දැන ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

බුදුරජාණන් වහන්සේ ද රාජ්‍ය පාලනයට සෘජුව මැදිහත් විය. ශාක්‍ය – කෝලිය යුද්ධය මෙන්ම විඩූහභ රජුගේ ශාකය ජනපද ආක්‍රමණය ද වැලකුණේ බුදුන් වහන්සේගේ අනුශාසනා හේතුවෙනි. බිම්බිසාර රජු මෙන්ම කොසොල් රජු ද නිරතුරුව බුදුන් වහන්සේ මුණ ගැසී රාජ්‍ය පාලනයට උපදෙස් ගත්තේය. රජවරුන් රට පාලනය කිරීමට අදාල දශ රාජ ධර්මය සහ චක්ක වත්ත සිහනාථ වැනි සූත්‍ර බිහි වූයේ එබැවිනි. කොසොල් රජතුමාට සප්ත අපරිහානි ධර්ම විස්තර කලේ තමන් ලිච්ඡවි රාජ්‍යය ආක්‍රමණය කිරීමට අපේක්ෂා කරන බව රජතුමා බුදුන් වහන්සේට දැන්වූ විටයි. 

රාජ්‍ය පාලනයෙහි ලා බුදුන් වහන්සේගේ මැදිහත්වීම තව දුරටත් පෝෂණය කරමින් ලාංකික සංස්කෘතියේ දේශපාලනයේ කේන්ද්‍රය බවට පන්සල පත් විය. ලංකාවේ පැවැති රාජාණ්ඩු ප්‍රජාතන්ත්‍රකරණයට ලක් වූයේ පන්සල මුල් කර ගෙනය. රටේ පාලක තනතුර හෙවත් රජකම ලැබුණේ ජනතා කැමැත්ත අනුව නොව පාරම්පරිකවය. එබැවින් රජතුමා ජනතාව වෙනුවෙන් කටයුතු කරන බවට වග බලා ගන්නා මහජන නියෝජිතයින් වූයේ භික්ෂුන් වහන්සේය.

ඕනෑම පවුලක අයෙකුට මහණ විය හැකි බැවින් සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් පිළිබඳ භික්ෂුන් වහන්සේට මනා අවබෝධයක් විය. එමෙන්ම අඹු දරුවන් මෙන්ම පෞද්ගලික දේපල ද නොමැති බැවින් යම් ප්‍රශ්නයක් දෙස ස්වාධීනව මෙන්ම අපක්ෂපාතිව ද බලා පොදු යහපතට අදාළව උපදෙස් දීමේ හැකියාව ද තිබිණි. එබැවින් රාජ්‍ය ව්‍යුහයේ ත්‍රිකෝණය වූයේ රජ, ජනතාව සහ භික්ෂුවයි.

මීට වසර 2,300කට පෙර රට පාලනය කළ ගැමුණු රජතුමා විසින් රජෙකු රට පාලනය කළ යුත්තේ බුදු දහමේ දියුණු වෙනුවෙන් බවට සංකල්පයක් ගෙන එන ලදී. ඒ අනුව යමින් බුදු දහමේ එන දශ රාජ ධර්ම අනුව රට පාලනය කිරීමට රජවරු වෙර දැරූහ. කල් යත්ම රජෙකු බෝසත්වරයෙකු විය යුතුය යන සංකල්පයක් සමාජ ගත විය. එබැවින් බුදු වීමට පෙරුම් පුරන බෝසත්වරුන්ගේ ගුණ තමන් තුල ඇති කර ගැනීමට ඔටුන්න හිමි කුමාරවරු වග බලා ගත්හ. බෝසත් ගුණ වැඩීමට ඔටුන්න හිමි කුමරු අසමත් වුවොත් ඔහුට හිමි රාජ්‍යය වෙනත් කුමරෙකුට ලබා දීමට ද භික්ෂුන් වහන්සේලා වග බලා ගත්හ. රාජාභිෂේක ලැබීමට පෙර සතියක් පුරා අට සිල් සමාදම් වී පන්සලේ ගත කිරීමේ චාරිත්‍රය බිහි වුණේ ද රජු තුල බෝසත් ගුණ වැඩීමේ අරමුණෙනි.

රජු තුල බෝසත් ගුණ වැඩීමේ ප්‍රතිඵලයක් ලෙස බටහිර වීරයින්ට වඩා සිංහල වීරයින් වෙනස්ය. බටහිර රටවල වීරයින් වී ඇත්තේ මහ ඇලෙක්සැන්ඩර්, ජුලියස් සීසර්, ජින්ගිස් ඛාන් සහ නැපෝලියන් බොනපාට්ය. ඔවුන් වීරත්වයට පත් වුණේ වෙනත් රටවල් ආක්‍රමණය කර සම්පත් මංකොල්ලා කෑමෙනි. නමුත් සිංහල සංස්කෘතිය අනුව නම් ඔවුන් දාමරිකයින් සහ හොරුන් මිස වීරයින් නොවේ.

අපේ රටේ වීර රජවරු කිසිවෙක් වෙනත් රටවල් ආක්‍රමණය නොකළහ. එය බෞද්ධ විරෝධි සොරකමක් ලෙස පිලිකුලෙන් බැහැර කළහ. ගජබා රජු මෙන්ම පළමු විජයබා රජු ද ඉන්දියාව යටත්විජිතයක් කර ගැනීමේ අවස්ථාව තිබිය දී එය බැහැර කලේ එබැවිනි. තමන්ට අභියෝග කළ බුරුමය ආක්‍රමණය කර යටත් කර ගත් පළමු පරාක්‍රමබාහු රජු ද එය යටත්විජිතයක් කර ගැනීමට නොසිතීය.

රජ කුමරුන් අධ්‍යාපනය ලබන්නේ හාමුදුරුවන්ගෙන්ය. කුමන කුමරා රජවිය යුතු දැයි තීරණය කරන්නේ හාමුදුරුවන්ය. රාජාභිෂේකයේ දී පිරිත් දෙසමින් ඔටුනු පළඳවන්නේ හාමුදුරුවන්ය. රට සහ ජනතාව වෙනුවෙන් රජු යුතුකම් ඉටු නොකරන්නේ නම් ඔහුව තනතුරින් නෙරපා වෙනත් කුමරෙකු රජ කිරීමට ද හාමුදුරුවරු පසුබට නොවූහ.

එදා රජවරුන්ට තනතුරු අහිමි වූයේ ඡන්දය පැරදීමෙන් නොව යුද්ධය පැරදීමෙන්ය. එවැනි අවස්ථාවන්හි රජවරුන් වෙස් ගන්වා සඟවා තබා ගෙන ආරක්ෂා කලේ හාමුදුරුවරුන්ය. නැවත බලයට ගෙනාවේ ද හාමුදුරුවරුන්ය. අදත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් ප්‍රමුඛ සිංහල භික්ෂු වංශය ඉටු කරන්නේ එම ඓතිහාසික යුතුකමයි.

ලොව දිගුම ලිඛිත ඉතිහාසය හිමි අපටය. එය මහවංශය නමින් රචනා කරන්නේ ද මහනාම හාමුදුරුවන්ය. එම ඉතිහාස කතාව තුල රාජ්‍ය පාලනයට භික්ෂුන් වහන්සේගේ ඓතිහාසික මැදිහත්වීම පිළිබඳ විස්තරාත්මකව දක්වා ඇත. පන්සලේ දේශපාලනයට විරෝධය පළ කරමින් ප්‍රකාශ නිකුත් කරන්නේ ද ඊට එරෙහිව විරෝධතා සංවිධානය කරන්නේ ද මෙරට ඉතිහාසය නොදන්නා දේශපාලකයින්ය. අවාසනාවකට අද දේශපාලකයින් මහවංශය කියවා නැත. ඔවුන් කියවූවත් තේරුම් ගැනීමේ හැකියාව නැත. මහවංශය තේරුම් ගැනීමට අපහසු නම් වීර පුරන් අප්පු, සිරි පැරකුම් හෝ මහරජ ගැමුණු වැනි සිංහල චිත්‍රපටයක්වත් නරඹා මෙරට දේශපාලනයේ පන්සලේ භූමිකාව තේරුම් ගැනීම වැදගත්ය.

උදය ප්‍රභාත් ගම්මන්පිල
2015.06.11

Top