විස්ස ගැන එකඟතාවක් නැත. ඊනියා කුඩා පක්‍ෂ එකතු වී යෝජනා තුනක් ඉදිරිපත් කර ඇත. මේ දිනවල බේතකටවත මනාප ක්‍රමයට පක්‍ෂ අයකු සොයා ගැනීමට නැත. කුඩා පක්‍ෂ ද මනාප ක්‍රමයට එකඟ නැත. එහෙත් ඔවුන් හෙඳින් ම දන්නා කරුණක් නම් හුදු කේවල ක්‍රමය යටතේ මුස්ලිම් ජාතිවාදී පක්‍ෂයකට හැරෙන්නට අනෙක් කුඩා පක්‍ෂවලට එක් ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි බව ය. බොරුවට කෑ ගැහුවත් යම් ආකාරයක මනාප ක්‍රමයක් ඔවුන්ට අවශ්‍ය වෙයි.

කලකට ඉහත දී ස්වාධීන අපේක්‍ෂකයකුට වුව ද කේවල ක්‍රමය යටතේ මහා පක්‍ෂවල අපේක්‍ෂකයන් පැරදවීමේ හැකියාව තිබිණි. එහෙත් අද කේවල ක්‍රමය යටතේ මන්ත්‍රි ආසනයක් දිනාගත හැක්කේ ජනවර්ග පදනමකින් මන්ත්‍රී තෝරා ගැනෙන කොට්ඨාශයක හැරෙන්නට මහා පක්‍ෂයකට පමණ ය. ජනවාර්ගික පදනමකින් මන්ත්‍රීන් තේරෙන කොට්ඨාශයක සුළු පක්‍ෂයක් සඵල ව මහා පක්‍ෂයක් බවට පත්වෙයි. එබැවින් එවැනි ඡන්ද කොට්ඨාශයක වුව ද මන්ත්‍රින් තේරී පත්වන්නේ සඵල මහා පක්‍ෂයකිනි. නැගෙනහිර පළාතේ ඇතැම් ආසනවල මුස්ලිම් කොංග්‍රසය සඵල ව මහා පක්‍ෂයක් ලෙස ක්‍රියා කරයි. 

මුස්ලිම් කොංග්‍රසය ද්විත්ව ඡන්ද පත්‍රිකාවලට කැමැත්තක් දක්වන්නේ එබැවිනි. අනෙක් සුළු පක්‍ෂවලට ද්විත්ව ඡන්දවලින් එතරම් ප්‍රයෝජනයක් අත් නො වේ. පක්‍ෂ සියල්ලට ම ඊනියා ජාතික ලැයිස්තුව නැති කිරීමට එකඟ වීමට තිබිණි. එහෙත් කුඩා ම පක්‍ෂය වුව ද ජාතික ලැයිස්තුව යටතේ තම හෙංචයියකු පත්කිරීමට අවස්ථාවක් ඇතැයි සිතයි. ඡන්දදායකයන් සංධානයකින් ඉදිරිපත් නොවන මේ කුඩා පක්‍ෂවලට මීළඟ මැතිවරණයේ දී ඡන්දය නොදීමට තීරණය කළ යුතු යැයි සිතමි.

කුඩා පක්‍ෂවල මතය පාර්ලිමේන්තුවේ නියෝජනය නොවුණ ද ජනමාධ්‍ය මගින් ඒ මතවලට වැදගත් තැනක් ලබා දෙනු ලැබේ. වික්‍රමබාහු, සිරිතුංග, මනෝ ගනේෂන් ආදීන්ට පමණක් නොව අනුර දිසානායකට ද ජන පදනමට බෙහෙවින් වැඩි අවස්ථා සපයනු ලැබෙයි. ඔවුන්ට එවැනි ප්‍රචාරයක් ලබා දීමෙන් පසුව ද දේශපාලනයේ තැනක් නොලැබෙන්නේ ඇයි දැයි ඊනියා දේශපාලන විචාරකයන්ගෙන් වුව අසා දැනගත යුතු ය.

විස්ස ගැන දැන් යෝජනා වැස්සක් ඉදිරිපත් වී ඇතැයි සිතමි. ඒ එකදු යෝජනාවකටවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් ලැබේ යැයි සිතිය නො හැකි ය. විස්ස යනු ව්‍යවස්ථා සංශෝධනයක් බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවත් සම්මත වීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. සම්මත වීමට ඉඩ ඇත්තේ විස්තරාත්මක සංයුක්ත  යෝජනාවක් නොව මනාප ක්‍රමය අහොසි කළ යුතු ය වැනි වැදගැම්මකට නැති යෝජනාවකි.

විස්ස ගැන කතා කිරීම අද වන විට කාලය නාස්ති කිරීමක් බවට පත් වී ඇත. එයින් ප්‍රයෝජනයක් ලබන්නේ ජනමාධ්‍ය හා ඊනියා දේශපාලන විචාරකයන් ය. ඔවුන්ට විස්ස යනු කපුටන්ට ලැබුණු කුණු මස් වැදැල්ලකි. එ ජා පක්‍ෂය  විස්සට අකමැති ය. දිස්ත්‍රික්කයක් පුරා මුදල් වියදම් කළ හැකි අය වැඩිපුර සිටින්නේ එ ජා පක්‍ෂයෙහි ය. ඔවුහු බොරුවට මනාප ක්‍රමය වෙනස් කළ යුතු යැයි පවසති. ම එ පෙ ඇතුළු සංධානයේ පක්‍ෂ කිහිපයකට පමණක් සමානුපාතික ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව වෙයි. එහෙත් ඔවුන්ගේ අවශ්‍යතාවට පිළිගැනීමක් ලැබේ යැයි සිතිය නො හැකි ය. අනෙක් බොහෝ වාර්තාවලට අත් වූ ඉරණම දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවටත් අත්වනු ඇත. 

පික්පොකට් ආණ්ඩුව විශ්වාසභංග යෝජනාවලට ද අකුල් හෙළනු ඇත. අප කලින්ද කියා ඇති පරිදි අද අර්බුදයක් ඇති වී තිබෙන්නේ විසුරුවා හැරිය යුතු පාර්ලිමේන්තුවක් විසුරුවා නොහැරීම නිසා ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වන්නේ චම්පක ද, ප්රාජිත ද, රනිල් ද? ඒ කවුරු වුවත් අද සංධානය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සහයෝගය නොදෙන ක්‍රියාමාර්ගයක් ඇරඹීමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සටන පාර්ලිමේන්තුවෙන් පිටතට ගැනීමත් ය.  

නලින් ද සිල්වා


2015 ජූනි 15

Top